Friday 5 April 2019

තොරතුරු දැනගැනීම පුරවැසි අයිතියකී. ( RIGHT TO INFORMATION )




තොරතුරු අයිතිය යනු පොදු අරමුදල් භාවිතා කරන ආයතනවල පවතින තොරතුරු පුරවැසියන්ට ලබාගැනීමට ඇති අයිතිය වේ.

මෙම අයිතිය අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකමක් වන අතර ම 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ එකී අයිතිය භාවිතා කිරීම පිළිබඳ ව ප්‍රතිපාදන සලසා දී තිබේ.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු දැනගැනීම සඳහා හැකියාවක් ඇත්තේ කුමන ආයතනවලින් ද යන්න දැනගැනීම තුළින් පුරවැසි ඔබට මුහුණ පෑමට වන ගැටලු මගහැරවා ගත හැක.

  • මධ්‍යම රජයට හෝ පලාත් සභාවකට අයත් සියලූ ම ආයතන

  • රජයට අයත් සමාගම්

  • කොටස් සියයට 25කට වඩා වැඩි රජය සතු පෞද්ගලික සමාගම්

  • රාජ්‍ය ආයතනයක් සමඟ ගිවිසුම් හෝ බලපත්‍ර මත ක්‍රියාත්මක වන පෞද්ගලික ආයතන

  • රාජ්‍ය නොවන සංවිධාන

මෙම ආයතනවලට තොරතුරු පනත අදාළ වන අතර මෙම ආයතන පොදු අධිකාරිය යන විශේෂ පදයකින් තොරතුරු පනතේ හැඳින්වේ.

තොරතුරු පනතට අනුව තොරතුරු ලබා ගන්නා ආකාරය පිළිබඳව මීළඟට ඔබ දැනුම්වත් විය යුතුය.

තොරතුරු පනතේ දැක්වෙන පනතට යටත් සෑම පොදු අධිකාරියක් ම පුරවැසියන්ට ආකාර දෙකකින් තොරතුරු සැපයීමට බැඳී සිටියි.

මෙය දෙයාකාරයකට සිදුවන්නකී.

  1. ස්වේච්ඡාවෙන් තොරතුරු ප්‍රසිද්ධ කිරීම
මෙහි දී තොරතුරු කොමිෂන් සභාව විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව සෑම පොදු අධිකාරියක් ම එම ආයතනයට අදාළ ප්‍රධාන තොරතුරු ආයතනය තුළ හා ආයතනයේ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කළ යුතුය.

   2. පුරවැසියෙකු තොරතුරු ඉල්ලා සිටින අවස්ථාවක දී තොරතුරු ලබා දීම 

පුරවැසියන් විසින් ඉල්ලා සිටිනු ලබන අවස්ථාවක දී ස්වීච්ඡාවෙන් ප්‍රසිද්ධ කර නොමැති තොරතුරු ලබා දීමට කටයුතු කිරීම.එම වගකීම මෙම පනත යටතේ එම ආයතන වෙත පැවරේ.

මතක තබා ගන්න ඔබට තොරතුරු ලබා ගැනීම සඳහා වයස් සීමාවක් නැත.එහෙත් ඔබ ශ්‍රී ලාංකීක පුරවැසියෙකු වීම අත්‍යවශ්‍ය කාරණයකී.

මී ළඟට ඔබ දැනුම්වත් විය යුත්තේ ඔබ තොරතුරු ඉල්ලා සිටින්නේ කෙසේ ද යන්නයි.
ඔබ විසින් තොරතුරු ඉල්ලා සිටීම කළ යුත්තේ ලිඛිතව ය.මේ සඳහා ඊමේල් ද අදාළ වේ.

තොරතුරු ලබා ගැනීම සඳහා වන අයදුම් පත්‍රයක් ඕනෑ ම පොදු අධිකාරියක තොරතුරු නිළධාරියෙකු වෙතින් නොමිලයේ ලබා ගත හැක.එසේ නොමැතිනම් www.rti.gov.lk වෙබ් අඩවියෙන් බාගත කළ හැක.

තොරතුරු ලබා ගැනීම සඳහා නියමිත තොරතුරු ආකෘතිය පුරවා දීම අත්‍යවශ්‍ය නොවේ.තමන්ගේ නම ලිපිනය පැහැදිලි ව හා නිවැරදිව සඳහන් කර ලිපියක් මඟින් අදාළ තොරතුරු ඉල්ලුම්පත්‍රය අදාළ පොදු අධිකාරියේ තොරතුරු නිළධාරියා වෙත යොමු කළ හැක.

සෑම පොදු අධිකාරියක් සඳහා ම එක් තොරතුරු නිළධාරියෙකු හෝ තොරතුරු නිළධාරීන් වැඩි ගණනක් පත් කර ඇත.

ඔබට අවශ්‍ය තොරතුරු ඉල්ලා සිටීමේ දී ඊට අදාළ හේතු දැක්වීම අදාළ නොවේ.

තොරතුරු ලබා ගත හැකි ආකාර මොනවාදැයි ඔබ දන්නවා ද?

  • අදාළ වැඩ, ලේඛන, වාර්ථා අධීක්ෂණය කිරීම

  • අදාළ ලේඛනයෙන් හෝ වාර්ථාවලින් සටහන්, උද්ධෘත හෝ සහතික පිටපත් ලබා ගැනීම

  • අදාළ ද්‍රව්‍යන්ගේ සහතික කළ නිදර්ශන ලබා ගැනීම.

  • අවශ්‍ය තොරතුරු පරිගණකයක හෝ වෙනත් යම් උපාංගයක ගබඩා කර ඇති අවස්ථාවක දී ඩිස්කට්, ෆ්ලොපි, පෙන්ඩ්‍රයිව් හෝ වෙනත් ඕනෑ ම විද්‍යුත් ක්‍රමයකින් හෝ මුද්‍රිත පිටපත් වශයෙන් තොරතුරු ලබා ගැනීමට හැකිය.
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඕනෑ ම පොදු අධිකාරියකින් තොරතුරු ලබාගැනීමට හැකි වූවත් තොරතුරු ඉල්ලීමක් ප්‍රතික්ෂේප වන අවස්ථා 22ක් පනතේ සඳහන් කර තිබේ.එවැනි තොරතුරු සාමාන්‍ය තත්ත්වයන් යටතේ ලබා නොදෙයි.

ඒ අනුව යම් තොරතුරු ලබා දීමක් මඟින් ජාතික ආරක්ෂාවට හෝ ආර්ථිකයට දැඩි ලෙස අගතිගාමී එමෙන් ම පෞද්ගලිකත්වය ආක්‍රමණය කරන තොරතුරු වැනි තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළ හැක.

මතක තබා ගන්න.එම තොරතුරු වූව ද නිදහස් කිරීම මඟින් දඩි මහජන යහපතක් සිදු වන්නේ නම් එවැනි විටෙක එම සීමා කර ඇති තොරතුරු ද නිදහස් කිරීමක් සිදු කෙරේ.

ඔබ ඉල්ලා සිටින තොරතුරු ඔබට ලබා නොදුන්හොත් ඔබට ගත හැකි පියවර කිහිපයකී.

1. තොරතුරු අයදුම්පත්‍රය යොමු කරන ලද නිළධාරියා විසින් එම තොරතුරු ඉල්ලීම  ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ බව දින 14ක් ඇතුළත හේතු සහිත ව ලිඛිත ව දන්වනු ලැබේ.

2. එසේ දැන්වීමක් ලැබුණු විට හෝ දින 14ක් ඇතුළත ප්‍රතිචාර නොමැති නම් එම ආයතනයේ ම සිටින නම් කළ නිළධාරියා වෙත අභියාචනයක් සිදු කළ හැකිය.

3. ඔහු විසින් ද එම අභියාචනය ප්‍රතික්ෂේප කළහොත් මාස දෙකක කාලයක් තුළ තොරතුරු කොමිෂන් සභාව වෙත ද ඉන් පසු ව අභියාචනාධිකරණය වෙත ද අභියාචනා කළ හැකිය.මීටත් අමතරව ද අභියාචනයක් සිදු කළ හැකි අවස්ථා කිහිපයකී.

  • තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම 
  • 5වන වගන්තිය යටතේ ප්‍රධානය කිරීමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සඳහා අවස්ථාව ලබා දීම ප්‍රතික්ෂේප කිරීම.
  • මෙම පනත මඟින් නිශ්චිත ව දක්වා ඇති කාලසීමාවන්ට අනුකූල නොවීම.
  • සම්පූර්ණ නොවූ , නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ලබා දීම.
  • වැඩියෙන් ගාස්තු අය කිරීම.
  • අදාළ තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශ වීම වැළැක්වීම සඳහා එම තොරතුර විකෘති කර, අස්ථානගතකර ඇති බවට එම තොරතුර ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම.
තොරතුරු අයදුම්පත සඳහා කිසිඳු මුදලක් අය නොකරන අතර තොරතුරු ලබා දීම සඳහා මුදල් අය කරනු ලැබේ.එසේ ම එම අදාළ ගාස්තු ගෙවීම බැංකු අණකර මඟින් හෝ සෘජුව ම පොදු අධිකාරිය වෙතට ගොස්, ගෙවිය හැකිය.

තොරතුරු ලබා දෙන්නේ ගාස්තු ගෙවීම සිදු කළ පසුව බව මතක තබා ගන්න.

"තොරතුරු දැනගැනීම ඔබේත් මගේත් අයිතියකී.මෙම දනුම්වත් කිරීම එම අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා ය."