Wednesday 24 March 2021

බුදු දහම හා විශ්වය





බුදුරජාණන් වහන්සේ තේවිජ්ජ සූත‍්‍රයේ දී සර්වබලධාරී දෙවියෙකු ලොව මවන ලදැයි යන ඊශ්වරනිර්මාණවාදය ප‍්‍රතික්ෂේප කරයි. අග්ගඤ්ඤ සූත‍්‍රය අනුවත්, අංගුත්තර නිකායේ අසංඛෙයිය සූත්‍රරය අනුවත් විශ්වයට ඇත්තේ හැකිලෙන දිග හැරෙන දෝලන ස්වභාවයක් වන අතර එහි ආරම්භයක් හෝ අවසානයක් දැකගත නොහැකිය.


අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ඉන්ද්‍රිය වග්ගයේ අසංඛෙයිය සූත්‍රයේ සුත‍්‍රයේ විග්‍රහය අනුව විශ්වයේ මූලික යුග 4 කි. මෙම අනතඃකල්ප 4 හි එකතුව මහා කල්පයකි.


1. විවට්ඨ කප්ප – විශ්වය ප‍්‍රසාරණය වන කාලය.

2. විවට්ඨති කප්ප – විශ්වයේ ප‍්‍රසාරණය අවසන් වෙමින් නිශ්චිත තත්ත්වයක පවතින කාලය.

3. සංවට්ඨ කප්ප – විශ්වයේ හැකිලීම සිදු වන කාලය.

4. සංවට්ඨති කප්ප – විශ්වයේ හැකිලීම අවසන් වෙමින් නිශ්චිත ස්වභාවයක පවතින කාලය.


නවීන විද්‍යාවේ දියුණුව සමඟ දුරේක්ෂ නිර්මාණය වී විශ්වය හා එහි ස්වභාවය පිළිබඳව නිරීක්ෂණය කළ හැකි වීය. ඉතා බලවත් දුරේක්ෂයක් වූ හබල් දුරේක්ෂයෙන් විශ්වයේ ස්වභාවය නිරීක්ෂණය කරද්දී, විශ්වයේ ලෝක ධාතු එකින් එක කෙමෙන් කෙමෙන් ඈත් වෙමින් පවතින බැව් නිරීක්ෂණය කෙරුණි. ඒ අනුව විශ්වය ප‍්‍රසාරණය වෙමින් පවතින බවට වූ බුදු වදන සැබෑවක් බව අද ඔප්පු වී තිබේ. මෙම ප‍්‍රසාරණය පැහැදිලි කිරීමට නිර්මාණය කෙරුණු විද්‍යාත්මක උපන්‍යාසය වනාහි ස්ටීවන් හෝකින්ස් ඇතුළු භෞතික විද්‍යාඥයන් මඟින් වර්ධනය කෙරුණූ මහා පිපිරුම්වාදයයි. (ථෙ ඹිග් ඹන්ග් ථෙඔර්ය්)


විශ්වය ඈත අතීතයේදී සංයුක්ත පරමාණුවක් බවට පත්ව තිබී, එය පිපිරීමෙන් විශ්වයේ සම්භවය සිදු වූ බවට ඉන් පැවැසුණි. මෙහිලා මතුවූ අර්බුදය වනාහි මෑතක දී Hඉග්ග්ස් සහ ඹොසොම් ලෙස විද්‍යාඥයන් දෙපළකගේ නම් වලින් නම් කෙරුණු මෙම මුල් පරමාණුව, කෙසේ නිර්මාණය වූයේ ද? එය පුපුරා යෑමට මුල් හේතුව (ඵ්‍රිමෙ Mඔවෙර්) කුමක්වීද? යන්නයි.


දේවවාදීන් මෙහිලා පැවැසුවේ එය දෙවියන් වහන්සේගේ කාර්යයක් බවයි. ඊට පෙරලා විද්‍යාඥයන් පැවැසුවේ එම මුල් පරමාණුවේ සම්භවය ස්වාභාවික නීතීන්ගේ ක‍්‍රියාකාරීත්වයේම ප‍්‍රතිඵලයක් බවත්, ඇසට නොපෙනෙන භෞතික තල දෙකක ගැටීමෙන් එම පරමාණුව සම්භවය ලබා පුපුරා යන්නට ඇති බවත්ය.


මහා පිපිරුම්වාදයට විකල්ප ලෙස ඉදිරිපත් වූ දෝලනවාදී න්‍යායක් (ඇ තෙඔර්ය් ඔෆ් ඔස්cඉල්ලටිඔන්) වූ ඹිග් ඹොඋන්cඑ නම් න්‍යායයට අද භෞතික විද්‍යා ලෝකයේ විශාල පිළිගැනීමක් ලැබී ඇත. ඉන් කියැවෙන්නේ විශ්වයේ ඇත්තේ දෝලන ස්වභාවයක් බවයි. එනම් විශ්වය මහා පිපිරුමක ප‍්‍රතිඵලයක් ලෙස සකස් වී, ප‍්‍රසාරණය වී යද්දී, වසර බිලියන ගණනක ඇවෑමෙන් එම පිපිරුමේ බලය හීන වී ගොස්, ද්‍රව්‍යයන් අතර ගුරුත්වාකර්ශණ බලය ක‍්‍රියාත්මක වී විශ්වය හැකිළී යන බවය. එසේ හැකිළීමේ ක‍්‍රියාවලියේ යම් අවස්ථාවක ද්‍රව්‍ය වල සංයුක්තභාවය දරාගත නොහැකිව විශ්වය නැවත පිපිරී යන බවයි. මෙලෙස ඹිග් ඹන්ග් නම් මහා පිපිරුම හා ඹිග් Cරුන්ච් නම් වූ මහා හැකිළුම අතර කාලයන් තුළ විශ්වය පවතින බවයි. විශ්වයේ ආරම්භයක් නොමැති බවත්, ඇත්තේ පැවැත්මක් පමණක් බවත්, මෙම න්‍යායයෙන් කියැවේ. ඒ අනුව මෙම න්‍යාය අසංඛෙයිය සූත‍්‍රයේ බුදු වදන හා සමානුපාතික වේ.


තවද විශ්වයේ ලෝක ධාතූන්ගේ ඇති සංකීර්ණ ස්වභාවය බුදුරජාණන් වහන්සේ මනාව පැහැදිලි කොට දී තිබේ.


රෝහිතස්ස සූත‍්‍රයේදී බුදුරදුන් දේශනා කරන්නේ විශ්වය පරක් තෙරක් දැකිය නොහැකි අතිවිශාල එකක් බවයි.


සං.නි.1 අරුණාවතී සූත‍්‍රයේදී සිඛී බුදුරජාණන් වහන්සේගේ සමයෙහි අභිභූ නම් හිමි නමක් ”ආරභථ නික්ඛමථ” යන ගාථාව සහස්සී ලෝක ධාතුව සිසාරා, ඇසෙන සේ පැවසූ බව ආනන්ද හිමියන් සමඟ වරක් බුදුරජාණන් වහන්සේ පැවැසුහ. අංගුත්තර නිකායේ තික නිපාතයේ ආනන්ද වග්ගයේ අවසාන සූත‍්‍රය වූ චුලනිකා සූත‍්‍රයේදී, මේ පුවත සිහිකරමින් ආනන්ද හිමියන් මෙසේ ප‍්‍රශ්න කරති. ”අභිභූ හිමියන්ට එබඳු හැකියාවක් තිබුණා නම්, භාග්‍යවතුන්වහන්සේට කොපමණ දුරට ශබ්දය ඇසීමට සැලැස් විය හැකිද ?” මීට පිළිතුරු දෙන භාග්‍යවතුන්වහන්සේ, ආනන්ද හෙතෙම (අභිභූ හිමි) ශ‍්‍රාවකයෙකි. භාග්‍යවතුන් වහන්සේලාගේ හැකියාව ප‍්‍රමාණ කිරිමට නොහැකි වෙතියි පිළිතුරු දුන්හ.


එහෙත් ආනන්ද හිමියන් නැවත නැවත ප‍්‍රශ්න කළ බැවින් විශ්වයේ විපුලත්වය පිළිබඳ විවරණය කරමින් බුදුරජාණන්වහන්සේ මෙසේ පිලිතුරු දුන් සේක.


“ආනන්ද, යම්තාක් සඳ – හිරු දෙදෙනා හැසිරෙත් ද, සියලූ දිශාවන් බබළමින් ආලෝකමත් කෙරෙද්ද?, ඒ තාක් සක්වල සහස්සී ලෝක ධාතුවයි. ඒ සහස්සී ලෝක ධාතුවෙහි සඳ හිරු දහසකි. මේරු පර්වත දහසකි. දඹදිව් දහසකි. අපරගොයාන දහසකි. උතුරුකුරු දිවයින් දහසකි. පූර්ව විදේහ දහසකි. සිව්මහ සයුරු දහසකි. සිව්වරම් දිව්‍ය රජවරු දහසකි. චතුම්මහාරාජික දහසකි. නිර්මාණරති දිව්‍යලෝක දහසකි. පරනිම්මිත වසවත්ති දිව්‍යලෝක දහසකි. බඹලොව දහසකි. ආනන්ද මේ සහස්සී චුලනිකා නම් ලෝක ධාතුවයි. දහසින් ගුණ වූ චූලනිකා ලෝකධාතු යම්තාක් වේද ඒ තාක් ද්වි සහස්සි මජ්ඣිමා ලෝක ධාතුව වේ. ද්වී සහශ‍්‍රි මජ්ඣිමා ලෝක ධාතුව යම්තාක් වේද එය දහසින් ගුණ කළ කල්හි තිසහස්සී මහා සහස්සී ලෝක ධාතුවයි. ආනන්ද, මෙන්න මේ තිසහස්සී මහා සහස්සී ලෝක ධාතුව දක්වා භාග්‍යවතුන් වහන්සේට අවශ්‍ය නම් ආලෝක ධාරා යවා ඒ ඔස්සේ ශබ්දය යවා, පිටසක්වල ජීවීන්ට ධර්මය දේශනා කළ හැක්කේය.”


මෙම බුද්ධ දේශනාව දෙස මුල සිට අවධානය යොමු කිරීමේදී, පළමුව පැහැදිලි කරගත යුත්තේ සහස්සී ලෝකධාතුව දක්වා අප හිරු – සඳු හැසිරෙමින් ආලෝකය විහිදුවන්නේද? යන්නයි. හිරු සඳු (චන්ද සූරියෝ) ලෙස කෙටියෙන් හැඳින්වෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයම විය හැක. වර්තමාන විද්‍යාඥයින් සොයාගෙන ඇති ලෙස අපගේ සූර්යයා ඇතුළු සෞරග‍්‍රහ මණ්ඩලය ක්ෂීරපථ මන්දාකිණිය වටා ගමන් ගන්නා අතර, එම වටය සම්පූර්ණ කිරීමට ගතවන කාලය වසර මිලියන 230 කි. එම කාලය ඝලටිc ‍යේර් එකක් ලෙස හැඳින්වේ. මෙලෙස අප සූර්යයා ඇතුළු සෞරග‍්‍රහ මණ්ඩලය ක්ෂීරපථ මන්දාකිණියේ ජීවයට හිතවත් ප‍්‍රදේශය (ළිෆෙ හේල්ත්ය් ෆීල්ඩ්) හි වටයක් කරකැවෙද්දී, අප සූර්යයාගේ ආලෝකය තරුවක් ලෙස ක්ෂීරපථ මන්දාකිණියේ කෙළවර දක්වා විහිද යයි. එහෙයින් සහස්සි ලෝක ධාතුව ලෙස බුදුරජාණන් වහන්සේ හැඳින්වුයේ ක්ෂීරපථ මන්දාකිණිය බැව් අනුමාන කළ හැකිය.


මීළග ගැටළුව වන්නේ දඹදිව් – අපරගෝයාන – උතුරු කුරු දිවයින් – පූර්ව විදේහ හා මහාමේරු පර්වත යනු කුමන ඒවාද? අනෙක් ලෝකවලත් එබඳුම මහද්වීප පවතිද්ද ? යන්නයි. ‘


සූත‍්‍ර පිටකයෙන් හෙළිවන පුරාණ ලෝක විස්තරයේ කියැවෙන්නේ, මහා පෘථිවියෙහි මහාමේරු පර්වතය පිහිටා ඇති බවය. ඊට උතුරින් උතුරුකුරු දිවයිනත්, නැගෙනහිරින් පූර්ව විදේහයත්, දකුණින් දඹදිවත්, බස්නාහිරින් අපරගෝයානයත් පිහිටා ඇති බවයි.


වත්මන් විද්වතුන් විශ්වාස කරන්නේ මහාමේරු පර්වතය වනාහී ආක්ටික් මහා අයිස් කන්ද නොහොත් උත්තරධ‍්‍රැවය බවත්, ඒ වටා පිහිටි ඇමරිකා මහද්වීපය උතුරුකුරු දිවයින ලෙසත්, පූර්ව විදේහය ලෙස ඕස්ටේ‍්‍රලියා මහද්වීපයත්, දඹදිව ලෙස ඉන්දියාව ප‍්‍රමුඛ ආසියා – යුරෝපා මහද්වීපයත්, අපරගෝයානය ලෙස අප‍්‍රිකා මහද්වීපයත් අදහස් කළ බවය.


පළමුවන ධර්ම සංගායනාවේදී ධර්මය සූත‍්‍ර ලෙස සකස් කිරිමේදි සජ්ඣායනා කිරිමට පහසු ලෙස බුද්ධ දේශනා සකස් කෙරුණි. අනෙකුත් විශ්වයේ ලෝකවලද මෙලෙසම මහද්වීප පවතින බවට උක්ත දේශනාවෙන් පෙනෙන්නේ, එසේ අප ලෝකයේ මහද්වීප (ඓන්හබිටෙඩ් ර්‍එගිඔන්ස්) අනුවම යමින්, අනිත් ලෝකයන් ද ඊට ඇතුලත් කළ නිසා බව පැහැදිලිය. එය සජ්ඣායනාවට පහසු ලෙස සකස් කිරීමට ගොස් ඇති වූ දෝෂයක් බැව් පෙනේ.


මීළගට අවධානය යොමු කළ යුත්තේ, බුදුරජාණන්වහන්සේ ආලෝක ධාරා යවා, ඒ දිගේ ශබ්දය යවන බැව් ප‍්‍රකාශ කළේ මන්ද? යන්නයි. ඇතැම් විද්වතුන්ගේ අදහස වන්නේ, අප පෘථිවියේ වායුගෝලයෙන් එපිට ඇත්තේ රික්තයක් බවත්, එහි ශබ්දය ගමන් නොගන්නා බැව් බුදුරදුන් දැන සිටිය බවත්, ඒ අනුව ශබ්දය සන්නිවේදනයට නම් සිදු කළ යුත්තේ රික්තයේ ගමන් ගන්නා ආලෝකය හරහා ශබ්දය යැවීම බවත්, බුදුරදුන් දැන සිටි බවයි.


මේ සියල්ලටම අමතරව තවත් විස්මිත කරුණක් වනුයේ බුදුන්වහන්සේ පහත දේශනාව විශ්වයේ ඇති සුවිශේෂී සංසිද්ධියක් වන කලුකුහර සම්බන්ධයෙන් අනාවරණය කළාක් මෙන් පෙනී යාමය. එම දේශනාව මෙසේය.


අත්ථි, භික්ඛවෙ, ලොකන්තරිකා අඝා අසංවුතා අන්ධකාරා අන්ධකාරතිමිසා, යත්ථමිමෙසං චන්දිමසූරියානං එවංමහිද්ධිකානං එවං මහානුභාවානං ආභාය නානුභොන්තී’’ති.


“මහණෙනි, ලොකයන්ගෙන් අතරෙහිවූ වැස්මක් නැත්තාවූ අඳුරෙන් පිරී ගියාවූ මේ මහත් ඍද්ධි ඇත්තාවූ මහත් ආනුභාව ඇත්තාවූ චන්ද්‍ර සූර්‍ය්‍යයන්ගේ ආලෝකය නොවැටෙන්නාවූ ආකාශ කුහරයෝ ඇත්තාහ”


සංයුක්ත නිකාය, සච්ච සංයුක්තය , පපාත වර්ගය, ලෝකන්තරික සූත්‍රය.


මෙබඳු විශ්වය පිළිබඳ සුවිශේෂී කරුණු වසර දෙදහස් පන්සියයකට ඉහතදී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට, සංඝයා විසින් සූත්‍රගත කොට තිබීමෙන් පෙනී යන්නේ උන්වහන්සේ සතුව තිබූ “ලෝකවිදූ” ඥානයයි. උන්වහන්සේගේ විස්මිත ප්‍රඥාවට හා අනාවරණ ඥානයට මේවා සාක්ෂිය.






සමාජ සංස්ථාවන්ගේ ප්‍රභවය සහ පරිණාමය

 



මානව සමාජය තුළ විවිධ සමාජ සංස්ථාවන් පරිණාමයට පත් වූ ආකාරය පිළිබඳව කථාන්තර ස්වරූපයෙන් කරුණු ඉදිරිපත් කිරීම සෑම සමාජ දර්ශනයක ම පාහේ දක්නා ලැබෙන ලක්ෂණයකි. මෙම කථා ඉතිහ‍ාසඥයන් හා පුරා විද්‍යාඥයන් කරුණු දක්වන නිශ්චිත විද්‍යානුකූල ඓතිහාසික ස්වරූපය දරන්නේ නැත. හරියට ම අසවල් දින අසවල් පුද්ගලයන් අතර මෙසේ  සිදු වී යැයි සනාථ කර දැක්වීමට හැකි වන්නේ ඓතිහාසික කරුණු පමණි. මානව විද්‍යාඥයන් ශිෂ්ටාචාරයෙහි පරිණාමය සිදු වීම පිළිබඳ තම නිරීක්ෂණ දක්වන්නේ එබදු රටාවකින් නොව පුරාණ කථා (ම්ය්ත්) ආකෘතියෙනි. එබඳු පුරාණ කථා ඇත්ත හෝ බොරු වශයෙන් විග්‍රහ කරනු නො ලැබේ. අතීතය පිළිබඳව ලැබෙන සීමිත සාධක ඔස්සේ විචාරාක්ෂිය යොමු කරන චින්තකයන් ගේ සියුම් පරිකල්පන ශක්තිය දාර්ශනිකය. එහි තාර්කිකත්වය හා සත්‍යානුරූපී බව තහවුරු වන්නේ ඉතිහාසය ඇසුරෙන් ම නොවේ. එහෙයින් ම ඒවා ඉදිරිපත් කරන ස්වරූපය බොහෝ විට කථාරූපී බවක් ගනි යි. මානව සමාජයේ ආදීම අවස්ථාවෙහි මිනිසා ක්‍රියා කළ අන්දම හා ක්‍රමයෙන් මානව සමාජය සංකීර්ණ වූ ආකාරය පිළිබඳ මේ පුරාණ කථා තුළින් වැදගත් කරුණු උකහා ගැනීම මිස  කථාවේ අංගෝපාංග  සැබෑ දැයි විග්‍රහ කිරීම අනවශ්‍ය බව මානව විද්‍යාඥයෝ සිතති. මාක්ස්වාදීන් ආදිතාලීන සාමූහික සමාජය පිළිබඳව දක්වන පුරාණ කථාව මෙන්ම බුදුසමයෙහි එන අග්ගඤ්ඤ සූත්‍ර පුරාණ කථාව ද මෙ බඳු මානව විද්‍යානුකූල කරුණු ප්‍රකාශ කරන පුරාණ කථා ය.

බුදුදහම මිනිසාගේ හෝ සත්වයා ගේ සම්භවය පිළිබඳ විද්‍යාත්මක න්‍යායයක් ඉදිරිපත් නො කරන බව ප්‍රකට කරුණකි. ලෝකය ඉබේ ඇති වී ද, කවුරුන් විසින් හෝ මවන ලද ද, ප්‍රථම මිනිසා පහළ වූයේ කවරදා ද වැනි ප්‍රශ්න බුදු දහමේ විෂය කේෂත්‍රයට නො ගන්නා ලදී. මෙ බඳු අතීත ගවේෂණ කාර්යයන් බුදුරජාණන් වහන්සේ විසින් ඉවත ලන ලද්දේ එයින් මිනිසා ගේ  විමුක්තිය විෂයයෙහි කිසි ම ප්‍රයෝජනයක් නැති බැවිනි. බුදුරදුන් විසින් පෙන්වා දී ඇත්තේ මිනිසා සසර දුකට මැදි වී මහත් ව්‍යසනයක‍ට පත්ව සිටින හෙයින් , ඔහු එයින් විමුක්තිය ලබා ගත යුතු බවය. තමන් සසරට බැඳ තබන බැඳුම් මොනවාදැයි මැනවින්  දැන ගැනීම තුළින් ඔහුට විමුක්තිය ලබා ගැනීමේ ශක්තිය ලැබේ. චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධය මේ සඳහා හොඳට ම ප්‍රමාණවත්ය. එහෙයින් අනවශ්‍ය වූත් ඉන්ද්‍රීය ඥාන විෂයයෙන් ( ඉදුරන් මෙහෙයවා ප්‍රත්‍යක්ෂ කර ගත හැකි දැනුම් පථයෙන් ) පරිබාහිර වූත් කරුණු පිළිබඳ ගැටළු බුදු දහමෙහි “අව්‍යාකෘත” ලෙස ඉවත ලා ඇත.

එසේ නම් සමාජ සංස්ථාවන් ගේ  පරිණාමය ගැන ප්‍රවාදරූපී ව හෝ කථා කරන්නේ කුමට දැයි ප්‍රශ්නයක් මතු කළ හැකිය. සමාජ විකාශය පිළිබඳ ව කරුණු පුරාණයක් වශයෙන් හෝ කථා කිරීමෙන් ප්‍රයෝජනයක් තිබේද? එය මිනිසාගේ විමුක්තියට අදාල වන්නේ කෙසේ ද? ඒවා ගැන කථා නො කර විමුක්තිය ලද හැකිව තිබියදී ඒ පිළිබඳව සාකච්ඡා කරන්නේ කුමට ද? මීට ම අදාල ව නැගිය හැකි තවත් ප්‍රශ්නයක් නම් එම දුරාතීත සිද්ධීන් ගැන බුදුරද්න් ඉදිරිපත් කරන්නේ හුදු පරිකල්පනයන් ප්‍රබන්ධ කළ කථාවක් ද, නැතහොත් සර්වඥතා ඥානයෙන් දුටු යථාර්ථයක් ද යන්නයි. දෙවන ප්‍රශ්නයට මුලින් පිළිතුරු දීම වඩාත් යෝග්‍ය යැයිහැ‍ඟේ. සමාජ මානව විද්‍යාඥයන් හා දේශපාලන චින්තකයන් තම පුරාණ කථා ඉදිරිපත් කරන්නේ තමන් ලද විද්‍යානුකූල  ශීක්ෂණය හෝ තමන් පිළිගත් දේශපාලන න්‍යාය පදනම් කර ගත් තාර්කික පරිකල්පනය මගින් දක්නා යමක් බව සැබෑය. ( එසේ වූ පමණින් එම අදහස් වැදගත් කමින්  අඩු වන්නේ නැත. ) එහෙත් බුදුරදුන්ගේ නුවණට ගෝචර වන සත්‍යය ඊට වඩා යථාර්ථවත් වන්නේ සර්වඥතා ඥානයට දීර්ඝ අතීතය සම්මර්ශනය කිරීමේ ශක්තියක්  අන්තර්ගත නිසාය. බුදු වර‍යකුට සත්වයන් පිළිබඳ දීර්ඝ  අතීත ඉතිහාසය ආවර්ජනා‍ කිරීමේ කෞශල්‍යය ලැබේ. එමෙන් ම අනෙක් ධාතුක වූ මහා විශ්වය පිළිබඳව ද ප්‍රත්‍යක්ෂ ඥානයක් බුද්ධඥානයට අයත්ය. එහෙයින් සර්වඥයන් වහන්සේට පරිකල්පනයෙන් කරුණු ගොතන්නට  අනවශ්‍ය ය . එහෙත් ඒවා ශ්‍රාවකයනට දේශනා කිරීමේ දී උන්වහන්සේ ට කාලයට අනුරූප ව ( කාලවාදී ) ශ්‍රාවකයන් ගේ ආසය අනුසය විමසා ඔවුන්ගේ  අවබෝධ ශක්තියට ගැලපෙන පරිද්දෙන් දේශනා කිරීමට සිදුවෙයි. සාමාන්‍ය පෘථග්ජන අසන්නන්ට මානව ඉතිහාසය හා විශ්ව විකාශය පිළිබඳ කරුණු ග්‍රහණය කර ගැනීමට හැකියාව අඩු නම් , ඔවුනට හුරු පුරුදු පුරාණ කථා ආකෘතිය තුළට මානව විද්‍යාත්මක කරුණු ආරෝපණය කර දේශනා කිරීම අවශ්‍ය වෙයි. එහෙයින් සන්නිවේදන ශිල්පයෙහි ඇති සුක්ෂම කෞශල්‍යයෙන් අනූන  ව සිටි තථාගතයන් වහන්සේ විසින් තම ධර්මය ශාවක ජනයාට අනුරූප වෙමින්  භාරතීය ජනතාවට එවකට හුරුව පැවති ආකෘතියෙන් දේශනා කළ බව නිරතුරුව ම සිත්හි තබා ගත යුතු ය.  උන්වහන්සේ විසින් විශ්වය පිළිබඳ ව වදාළ කරුණු විද්‍යානුකූලව නිවැරැදි යයි මැනවින් සනාථ වී ඇති බව මෙහිදී සැළකිල්ලට ගැනීම ද වටි යි.

සමාජ පරිණාමය ගැන පුරාණ කථා ස්වරූපයෙන් හෝ කරුණු දක්වන්නේ කුමට ද, එයින් විමුක්තියට කවර උපයෝගිතාවක් තිබේ ද යන ප්‍රශ්නය ගැන දැන් අපේ සිත් යොමු කළ හැකිය. බුදු දහම මිනිසාගේ ආධ්‍යාත්මික විමුක්තිය ගැන මෙන්ම සමාජගත විමුක්තිය හෙවත් යහපත් සමාජයක් තුළ ප්‍රසන්න පරිසරයක ජීවත් වීමේ අවස්ථාව සලසා දීමගැන ද උනන්දු වන බව මෙහිදී කිව යුතුව තිබේ. වෙනත් වචන වලින් කියතොත් පුදුගලයාගේ සන්තානගත දුක මෙන්ම සමාජයේ සංස්ථාගත දුකද නිවාරණය කිරීම බුදුදහමෙහි අරමුණ වෙයි. එහෙයින් සමාජයෙහි පවත්නා ජාති- කුල භේද, වර්ගවාදී ගැටුම් , අපරාධ , අයුක්තිය, අසාධාරණය, දිළිඳුකම වැනි ගැටළු කෙරෙහි යම් ආලෝකයක් ලැබෙන ඉගැන්වීම් ද බුදු දහම තුළින් ඉදිරිපත් කර ඇත. සමාජ සංස්ථාවන් ගේ පරිණාමය පිළිබඳ පුරාණ කථාව ඉදිරිපත් කර ඇත්තේ ද පූර්වෝක්ත අතිශය වැදගත් අරමුණ සනාථ කර ගැනීමට මිස අසන්නට රසවත් කථා පුවතක් මඟින් විනෝදාස්වාදයක් සැපයීමට නොවේ. දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රයෙහි ආරම්භය මඟින් ම මෙය සනාථ කළ හැකිය. වාසෙට්ඨ හා භාරද්වාජ නම් උපතින් බ්‍රාහ්මණයන් වූ හිමි ‍ෙදනමක්  අමතා කර ඇති මෙම දෙසුම තුළින් මානව සමාජයේ සංස්ථාවන් සංකීර්ණ වූ ආකාරය පිළිබඳ කථා පුවත ඉදිරිපත් කර ඇත්තේ වර්ණ භේදය ( කුල , ජාති, ගොත්ත ආදී වචන වලින් ද හදුන්වා ඇති උපතින් මිනිසුන් උස් - පහත් වශයෙන් බෙදා දක්වන ක්‍රමය) පිළිබඳ දුර්මත නිරාකරණය කර චතුර් වර්ණයෙහි ජනයාගේ සාම්‍යය  තහවුරු කරණු පිණිසය.  එක් යුගයක දී කිසියම් කාලීන ප්‍රයෝජනයක් සඳහා ඇතිකර ගත් සම්මුතියක් කලකට පසු විකෘති වී මූලික අරමුණින් ඈත් වී යල් පැන ගිය හ‍ා අහිතකර සංස්ථාවක් බවට පත් වූ ආකාරය එයින් පැහැදිලි කර ඇත. එමෙන් ම නීතිය , රාජ්‍යය, බදු ක්‍රමය, දණ්ඩනය ආදී සංස්ථාවන් ගේ ද මූලික අරමුණු පහදා දීම තුළින් තත් කාලීන සමාජ සංස්ථාවන් වෙන මාර්ගෝපදේශයක්  සැපයීම ද එයින් ඉටු වෙයි. යම් යම් දේශපාලන හා සමාජ ආයතන වෙත එක එල්ලේ දැඩි විවේචන එල්ල කිරීම තුළින් සිදු කර ගත නොහැකි සංසෝධන හා සංස්කරණ මෙ බදු සියුම් හා මෘදු දාර්ශනික සන්නිවේදන උපාය මාර්ග මඟින් සාධනය කර ගත හැකි බව බුදුරජාණන් වහන්සේ ගේ දේශනාවලින් පෙනේ. උන්වහන්සේ ගේ මෙ බදු දේශන මඟින් තත් කාලීන සමාජ චින්තනයේ වෙනසක් සිදු වූ බව පසු කාලීන බ්‍රාහ්මණ ආගමික ලේඛන පවා කුල භේදය හා රාජ්‍යය වැනි විෂය පිළිබඳ ව  කරුණු දැක්වීමේ දී පෙරට වඩා මෘදු වූත් හිතකර වූත් ස්වරූපයෙන් කරුණු දැක්වීමට පෙළඹීමෙන් පෙනේ. එහෙයින් බුදුරදුන් සමාජ සජස්ථාවන් ගේ ක්‍රම  විකාශය පිළිබඳව වදාළ දේශන ඉතා වැදගත් සමාජ කාර්යය භාරයක් අරමුණු කරගත් අර්ථ සම්පන්න දේශන බව කිව යුතුව තිබේ.


අග්ගඥ සූත්‍රය මෙම ප්‍රස්තුතය පිළිබඳ ප්‍රධානතම මූලාශය හෙයින් ඒ පිළිබඳ ව  විධිමත් ව සාකච්ඡා කිරීම අවශ්‍ය ය. දීඝ නිකායෙහි එන මෙම සූත්‍රය බෞද්ධ සමාජ දර්ශනයෙහි මූලික සංකල්ප රාශියක් ඉතා රමණීය ආකෘතියකින් ඉදිරිපත් කරන දේශනයකි. මහාචාර්යය කේ. එන්. ජයතිලක මෙම සූත්‍රයෙහි ප්‍රධාන තේමා තුනක් දකියි.


 වර්ණ භේද සංකල්පය උපකාරී කර ගනිමින් බ්‍රාහ්මණයන් විසින් තමන් අන් අයට වඩා උසස් බව කියා ගැනීමෙහි සාවද්‍ය බව හෙළි කිරීම.

පොළොවෙහි ක්‍රම විකාශය දැක්වීම


මානව ස්වභාවයෙහි ඇතිවන වෙනස්කම් හා භෞතික ආර්ථික සාධකයන්හි ඇතිවන වෙනස්කම් සදාචාර සංකල්පවලට බලපාන ආකාරය හෙළි කිරීම.

මේ කරුණු විවරණය කරන ආකෘතියෙහි  ඇති තවත් සුවිශෙෂ වැදගත් කමක් නම් අතීතයෙහි පැවති යම් යම් ව්‍යවහාර වර්තමානය දක්වා පැවත ඒමේ දී මූලික පැරණි ස්වරූපය අමතක කර බාහිර රූපය විසින් පමණක් පුරාණ දෙය ( පෝරාණං අග්ගඤ්ඤං අකඛරං) පැවති ඇති අයුරු පෙන්වා දීමය. මෙය මානව විද්‍යාඥයන් වත්මනෙහි බල්ලන් කවර තැනක නින්දට යතත් වට තුනක් කැරකී නින්දට යාම පිළිබඳ ව ඔවුන් වනචාරී සත්වයන් ලෙස ජීවත් වූ යුගයෙහි කළ ක්‍රියාවක් දිගට ම අනුකරණාත්මක ව පවත්වා ගෙන ඒමක් සේ කරන විග්‍රහයට සම කළ හැකිය. අග්ගඥ සූත්‍රය එබඳු කරුණු හතක් මුල්කරගෙන අතීතය පිළිබඳ සමාලෝචනයක යෙදෙයි. 


අහෝ රසං, අහෝ රසං ( අනේ රසයි, අනේ රසයි.)

අහු වත නෝ , අහායි වත නෝ. ( අපිට තිබුණා, නැති වුණා)

වධුයා තිබ්බුයහමානාය ...... පංසුං ඛීපන්ති , සෙට්ඨිං ඛීපන්ති , ගොමයං ඛීපනති ( මනාලියක කැදවා ලගන යන විට පස් , ගල් කැට, ගොම ආදියෙන් දමා ගසති. )

මහා සම්මත, ඛත්තිය , රාජා. (ක්ෂත්‍රීය)

බ්‍රාහ්මණ , කඣායක, අජ්ඣායක. (බ්‍රාහ්මණ)

වෙස්ස ( වෛශ්‍ය)

සුද්ද ( ශුද්‍ර)


මෙම සමාලොචනය කරනු ලබන්නේ පූර්වෝක්ත තේමාවන් මුල් කරගනිමින් වර්ථමාන සමාජයට අතිශයින් වැදගත් සමාජ දේශපාලන හා ආර්ථික විචක්ෂණයක් ලබා දීම සඳහා ය. වර්ථමාන කුල භේදය වැරදි අරමුණක් සඳහා යොදාගත් දෙයක් බව එයින් පැහැදිලි කර දෙයි. පැරණි යුගයේ කුල භේදය එක්තරා ප්‍රායෝගික හේතු කීපයක් නිසා කාලීන ව ඇති කර ගත් සම්මුතියක් වශයෙන් එකලට අර්, සම්පන්නව තිබුනත් දැන් එහි අර්ථ සම්පන්න බව ගිලිහී ඇති බව මැනවින් පහදා දී ඇත. එමෙන් ම රජ පදවිය මහජනතාව විසින් පොදු සම්මුතියක් මත ප්‍රජාත්‍රාන්ත්‍රික ලෙස ඇතිකරගත් දෙයක් බව ද ගම්‍ය වෙයි. එය වැදගත් වන්නේ තත්කාලීන රජවරුන්ට තමන් ජනතාවට වග කිවයුතු බව එමගින් සිහිපත් කර දෙන හෙයිනි. 

අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වෙන කතා පුවත ඇරඹෙන්නේ ලෝකය විවට්ටමාන යුගයට පිවිසීමත් සමඟය. බෞද්ධ ලෝක විභාගයේ දැක්වෙන්නේ අප ජීවත්වන ලෝකය වරින් වර සංවට්ටනය ( හැකිලීම ) හා විවට්ටනය ( විකසනය) වන බවය. ලෝකය නම් විශ්වයයි. බුදුරදුන් දුටු විශ්වය වුලනිතා ලෝකධාතුව මජ්ඣිමකා ලෝක ධාතුව හා මහා ලෝක ධාතුව වශයෙන් තුනකට බෙදේ.  වුලනිතා ලෝකධාතුව මෙයින් කුඩාම ඒකකයයි. එහි අප වසන සෞරග්‍රහ මණ්ඩලය බදු සෞරග්‍රහ මණ්ඩල රාශියක් අන්තර්ගත ය. නූතන විද්‍යාත්මක ව්‍යවහාරය හා සම කර බලන්නේ නම් එය ගැලැක්සියකට සම කළ හැක. එබදු වුලනිතා ලෝක ධාතු සමූහයකින් මජ්ඣිමකා ලෝක ධාතුවක් සෑදේ. එය ගැලැක්සි පොකුරක් හා සමානය. එබදු මජ්ඣිමකා ලෝක ධාතු රැසක් එක් වී මහා ලෝක ධාතුව තැනී ඇත. මෙම ලෝක ධාතුවෙහි සංවට්ටමාන යුගය එහි ස්වභාවය මුළුමනින් ම විකෘ.කරන්නකි. එබදු යුගයක දී පෘථිවියේ සත්ව ජීවිතය අපහසුයි. සත්වයෝ ආභස්සර කායික ව ( සූක්ෂම ස්වරූපයකින් ) රැකී සිට විවට්ටමාන යුගය පටන් ගත් විට පෘථිවියට එති. පෘථිවිය එකම ජල ගෝලයක් මෙන් අඳුරෙහි දිගු කලක් පවති යි.  මෙහි වාසයට එන සත්වයා අහසෙහි හැසිරෙන්නට සමත් මනෝමය සිරුරින් යුත් , ප්‍රීතිය ආහාර කරගෙන ජීවත් වන සිරුරින් ආලෝකයක් විහිදුවන ජීවීහු වෙති.මෙසේ කලක් ගත වූ පසු දිය මත රස තලය හෙවත් වර්ණවත් රසවත් සුවඳ පොළෝ තලයක් සැකසෙයි. මේ මිහිරි පෘථිවිය දක්නා එක් සත්වයෙක් ස්වකීය ලොල් බව ( ආශාව ) නිසා පොළොවේ ඇඟිල්ල හා රස බලයි. ඔහුට එය රසවත් ව මිහිරිව දැනීමෙන් ඒ කෙරහි තෘෂ්ණාව උපදියි. අනිකුත් සත්ත්වයෝ ද එය රස විදිති. හැම දෙනා ම ඊට ගිජු ව අනුභව කරන්නට පටන් ගනිති. මෙහි ප්‍රතිඵලය වන්‍න් ඔවුන්ගේ ශරීරවල ප්‍රභාව අතුරුදහන් වීමයි. ඉන් පසු ඔවුන් ආලෝකය දකින්නේ හිරු - සඳු ඇසුරෙනි. මෙසේ දිගු කලක් රස පොළොව අනුභව කරන සත්ත්වයන් ගේ ශරීර ක්‍රමයෙන් ගොරෝසු විය. සමහරුන් තුළ වර්ණවත් බව හා සමහරුන් තුළ දුර්වර්ණ බව ඇතිවිය. ඔවුනතුරෙන් වඩා පැහැපත් සිරුරු ඇත්තෝ පැහැපත් බවින් ඌන වූවන් හෙළා දක්නට පටන් ගත්හ. මෙම මානය හෙතුවෙන් රස පොළෙ‍ාව අතුරුදහන් විය. ( පොළොවේ රසය නැති විය. ) එවිට මිනිස්සු තමන් කලින් අනුභව කළ රස පොළොව මතක් කරමින් “අනේ රසයි, අනේ රසයි” යනුවෙන් සිහි කරන්නේ එම පැරණි වහර මතු කරමිනි. එය මතක් කළ ද අරුත නො දනිති.

අනතුරුව ඔවුන්ගේ ප්‍රයෝජනය පිණිස “ පප්පටක” නම් බිම් හතු වර්ගයක් පහළ විය. එය ද ඉතා වර්ණවත් සුවදැති රසවත් ආහාරයක් වූයෙන් සත්ත්වයෝ එය අනුභව කරමින් කලක් විසූ හ. එහෙත් එහි ප්‍රතිඵය වූයේ ඔවුන්ගේ ශරීර වඩාත් ගොරෝසු වීමයි. පැහැපත් - දුර්වර්ණ වෙනස් කම් ද වැඩිවිණි. පැහැපත් වූවෝ මානාධික ව පැහැපත් නොවූවන් හෙළා දුටූ හ.   මෙම වර්ණ මානය නිසා භූමි පප්පටක ද අතුරුදහන් විය.

ඉන් පසු බද්‍රලතා නම් රසවත් වැල් වර්ගයක් පහල වූයෙන් සත්වයෝ එය අනුභව කරන්නට පටන් ගත් හ. එයින් ද වූයේ වර්ණ භේද වැඩි වීමයි. එයින් මානය වර්ධනය කර ගත් පැහැපත් වූවන් ගේ නො මනා මානය නිසා එය ද අතුරුදහන් විය. එයින් තැවුලට පත් සත්ත්වයෝ එක් රැස්ව සාකච්ඡා කළහ. “ අපට තිබුන දේ නැති වුණා” යි ඔවුහු දුක් වූහ. වත්මන් මිනිස්සු ද යමක් තිබී නැති වූ විට “අපට තිබුණ දේ නැති වුණා” යි දොම්නස් වෙති. එහෙත් එහි ආදි නිදානය නො දනිති.   

අනතුරුව පොතු ( දහයියා ) නැතිව පැසෙන පිරිසිදු සුවඳ ඇල් හාල් වර්ගයක් ඇති විය. ඒ සුවඳ සහල් උදේ කපා ගත් විට සවසට යළි වැවෙයි. ඉවර නොවෙයි. හිඟ නොවෙයි. එය අනුභව කරමින් සත්ත්වයෝ බොහෝ කලක් සුවසේ විසූ හ. එහි ප්‍රතිඵල ලෙස ශරීර වඩ වඩාත් රළු වූවා මෙන් ම ස්ත්‍රී හා පුරුෂ වශ‍ෙයන් ලිංග භේදය ද ප්‍රකට විය. මෙසේ ස්ත්‍රී පුරුෂ දෙවර්ගය වෙන වෙන ම පැහැදිලි වූ පසු ස්ත්‍රී පුරුෂයෝ ඔවුනොවුන් දෙස බොහෝ වේලා බලා සිටින්නට පටන් ගත්හ. එයින් ඔවුන්ගේ සිත් තුළ රාගය ඇති විය. ඔවුහු මෛථුන සේවනයෙහි යෙදුණා හ.  මේ කවර විදියේ හැසිරීමක් දැයි නො දත් අය “ සත්ත්වයෙක් තවත් සත්ත්වයෙකුට මෙ බදු දෙයක් කරන්නේ කෙසේ දැයි” විමසමින් පස්, ගොම ආදියෙන් දමා ගැසූ හ. නිග්‍රහ කළහ. අද වුව ද මනාලියක ගෙන යන විට ඇතැම් සමාජවල  මෙසේ පස් , ගල්කැට, ගොම ආදියෙන් දමා ගසති. එහෙත් එම ක්‍රියාවෙහි ආදි අරුත නො දනිති. පසුව සත්ත්වයෝ එබදු ක්‍රියාවක යෙදෙන අය වෙනුවෙන් වෙන ම පිළිවෙතක් යෙදූ හ. එනම් මසක් දෙකක් ගම මැදට පිවිසෙන්නට ඉඩ නො තබා කොන් කිරීමයි. මේ දඩුවමින් මිදී ලිංගික හැසිරීම් වල යෙදෙනු කැමැත්තෝ රහසිගත ව එය ඉටුකරගනු පිණිස ගෙවල් තනා ගත්හ.

මේ අතර එක් අලස පුද්ගලයෙක් වේලෙන් වේලට හැල් කපා ගෙන ඒම කරදරයක් සේ සිතා දෙතුන් වේලකට එක වර කපා ගෙනවුත් ගබඩා කර ගත්තේ ය. මෙය දුටු අන්‍යයෝ ද එසේ කරන්නට පටන් ගත් හ. ඔවුන් මෙසේ රැස් කර  ගබඩා කර ගැනීම ( සන්ධිකරණය ) ඇරඹූ පසු සහල්වල දහයියා හා කුඩු ඇතිවිණි. කැපූ තැන වැවීම ද අඩු විය. තැන තැන පාළු වී ගියේ ය.

මෙයින් දොම්නසට පත් ඔවුහු රැස්ව කතිකා කර සහල් කෙත් බෙදා මායිම් ගසා ගත්හ. එහෙත් එක් තෘෂ්ණාධික පුද්ගලයෙක් තම කොටස පරෙස්සම් කර ගෙන අනුන්ගේ කෙතින් හැල් කපා ගත්තේ ය. ඔහු අල්ලාගෙන තර්ජනය කළ නමුත් දෙවන තෙවන වරට ද එසේ කළ හෙයින් අතින් පයින් හා පොලුවලින් ද පහර දෙන්නට සිදු විය.

මේ තත්වය යටතේ මිනිසුන්ට නැවත රැස්ව කතා කරන්නට සිදු විය. මෙය ඔවුන් සාමූහික ව රැස් ව සාකච්ඡා කළ තුන්වන වතාවයි. “ අප අතර පාපී හැසිරීම් හෙවත් අපරාධ නැති වී තිබේ. නුදුන් දේ ගැනීම, ගැරහීම , බොරු කීම , දඬු මුගුරු ( ආයුධ වශයෙන් ) භාවිත කිරීම යන වැරදි වැඩ අප අතර පහළ වී ඇති හෙයින් හෙළා දැකිය යුත්තන් හෙළා දැක, ගැරහිය යුත්තන්ට ගරහා, පිටුවාහල්  කළ යුත්තන් පිටුවාහල් කරන්නට සමත් එක් සත්වයකු තෝරා ගනිමු. ( සම්මත කර ගනිමු.) අපි ඔහුට අපේ හැල් අස්වැන්නෙන් කොටසක් දෙමු.” යි කතිකා කර ගත් හ. ඒ අනුව ඔවුහු අභිරූපී දර්ශනීයතර , සිත් පහදන සුළු, මහේශාක්‍ය පෙනුමක් ඇති පුද්ගලයෙකු තෝරා ඔහුට පූර්වෝක්ත කාර්යය පැවරූහ. මහජනතාව ගේ සම්මතයෙන් පත් වූ හෙයින් මහා සම්මත යන නමද  කෙත් වතුවලට අධිපති ව ඒවායේ නිසි පරිහරණය සහතික කරන්නා හෙයින් ඛත්තීය යන නම ද ධර්මයෙන් අනුන්ගේ සිත් රංජනය ( සතුටු කිරීම) කරන හෙයින් “රාජා” යන නම ද මේ පුද්ගලයාට  යෙදිණි. දැන් මේ වචන ක්ෂත්‍රීයයන් අරබයා යොදන නමුත් එහි මුල් අරුත් අමතක ව ගොස් ඇති බව බුදුරදහු පෙන්වා දුන් හ. එසේ වුවද ඒවා යෙදි ය යුත්තේ ඒ පැරණි අයට ම සම, එම ධර්මය ම අනුගමනය කරන සුදුසු ම අයට මිස නුසුදුස්සන්ට නොවන බව ද උන්වහන්සේ අවධාරණය කළ හ.    

අනතුරු ව එම සත්ත්වයන් අතුරින් එක්තරා පිරිසක් “ අප අතර පාපී හැසිරීම් ඇති වී තිබේ. අපි ඒ පවුකම් බැහැර කළ යුත්තෝ වෙමු.” යි සිතූහ. පවු බැහැර කරන්නෝ යන අරුතින් බ්‍රාහ්මණ නම් වූ ඔවුහු වනගත ව කොළ අතුවලින් පන්සල් ඉදි කර ගෙන දිනපතා ගම් නියම් ගම් වැද පිඬු සිඟා වළඳමින් යළි වනයට පිවිසෙමින් භාවනා කිරීමේ යෙදුණ හ. භාවනා හෙවත් ධ්‍යාන වඩන හෙයින් ඔවුහු ‘ඣායක’ නම් වූහ. ඔවුනතුරෙන් සමහරු  හරි හැටි භාවනා කරන්නට අසමත් ව යළි ගම් නියම් ගම් වාසයට අවුත් පතපොත ලියමින් හදාරමින් වසන්නට පටන් ගත්හ. “ඣායනය” හෙවත් භාවනාව අත්හළ නිසා ‘අජ්ඣායක’ යන නම ඔවුනට යෙදිණි. එකල අජ්ඣායකත්වය ( භාවනාව වෙනුවට අධ්‍යනය තෝරා ගැනීම ) එතරම් වැදගත් පිළිවෙතක් නො වීය.   බුද්ධ කාලය වන විට  එය ගෞරවනීය වු බව සූත්‍රයෙහි කියැවේ. මෙම ව්‍යවහාරයන්ගේ  ද නිසි අරුත් අමතක ව ගොස් ප්‍රඥප්ති වශයෙන් බුද්ධ කාලයෙහි ව්‍යවහාර වූ බව පෙන්වා දී ඇත.

මේ අතර විවාහ වී අඹු දරු පෝෂණය කරමින් විවිධ කර්මාන්තවල නිරත වූ පිරිස් ‘වෛශ්‍ය’ නමින් හඳුන්වන ලදී. අතපය දැඩි සේ වෙහෙසමින් ගොරෝසු  රළු රැකියාවල නිරත වූ සුළු ජනයා ‘ශුද්‍ර’ නමින් හැදින්විණි. මෙ සියළු වහර එකල විශේෂ අර්ථ අරබයා යොදා ගත් නිසා ඒවා එබදු අර්ථවත් පරිසරයක මිස නොයෙදිය යුතු බව පැහැදිලි ය. මේ කවර වර්ගයකට වෘත්තීය හා සමාජගත කාර්යයක නිරත වූ අයකු වුව ද ගිහිගෙයින් නික්ම ශ්‍රමණයන් බවට පත් වුවහොත් සියළු පෙර නම් ගොත් වෙනස් වී ‘ශ්‍රමණ’  නමින් හැදින්වෙයි. ගිහිගෙයි වසමින් සුසි‍රිතෙහි හැසිරෙන කවුරුන් වුව ද සුගතියෙහි ඉපදෙන අතර  දුසිරිතෙහි හැසිරෙන කවුරුන් වුව ද   සුගතියෙහි ඉපැදීම ස්වභාවය යි.

මේ දැක්වූයේ සමාජ විකාශය පිළිබඳ අග්ගඤ්ඥ සූත්‍රයෙහි ඉදිරිපත් වන පුරාණයයි. එය නූකන මානව  විද්‍යානුකූල නිරීක්ෂණ හා සමගාමී වැදගත්කමක් දරන්නේ මානව ශිෂ්ටාචාරයෙහි ආර්ථික දේශපාලන සංස්ථාවන් ගේ පරිණාමය පිළිබඳ යථාර්ථවාදී රීතියකින් මූලික නැඹුරුවීම් ( උපනතින් ) පිළිබඳ පිළිගත හැකි විවරණයක් ඉදිරිපත් කරන නිසාත් , ඊශ්වර නිර්මාණය වැනි අධිභෞතික සංකල්පවලින් තොරව කරුණු ඉදිරිපත් කරන නිසාත ය. එමෙන් ම දේශපාලන බලය මහජනතාව තුළින් මතුවන්නක් බව අතිශය ප්‍රජාත්‍රාන්ත්‍රික ස්වරූපයකින් දක්වන අතර සියළු සමාජ සංස්ථා සුනම්‍ය හා ප්‍රායෝගික බව ද එයින් ගම්‍යමාන වෙයි.

මූලික මිනිස් ස්වභාවයන් වූ තෘෂ්ණාව ( ලෝල ජාතිකත්වය ) අනුකරණය (දිට්ඨානුගති) සහ අලසකම සමාජ පරිණාමයෙහි ලා ක්‍රියාත්මක වූ ආකාරය මෙම පුරාණයෙන් සිත් ගන්නා සුළු අයුරින් දක්වා තිබේ. මිනිසා සදාචාරය අතින් පිරිහෙන විට සොබා දහම ඔහුට දැක් වූ දයාන්විත දායකත්වය හීනව ගිය බව ද ජීවිතය වඩ වඩා කර්කශ වූ බව මේ සූත්‍රය පැහැදිලි කරයි.

මෙම සූත්‍රය මගින් දේපල අයිතිය , රාජ්‍ය පාලනය, බදු ක්‍රමය, අධිකරණය වැනි සංස්ථා මෙන් ම පවුල් ජීවිතය සංවිධානය වූ ආකාරය ද යථාර්ථවාදී ලෙස විවරණය වෙයි. ලිංගික හැසිරීම් හේතුවෙන් ස්ත්‍රී පුරුෂනයට සහවාසය සඳහා ගෘහයක් අවශ්‍ය වූ බව කියැවේ. පවුල් ඒකක වශයෙන් සමාජය සංවිධානය වූ පසු පෞද්ගලිකත්වය වර්ධනය විය. සොරකම හා ආයුධ භාවිතය පැතිර ගියේ මෙම පෞද්ගලික අයිතිය පිළිබඳ සංකල්පයේ වර්ධනය සමගය.

බුදු දහම අධි‍ෙභෟතික සංකල්පය ප්‍රතික්ෂේප කරමින් ප්‍රතිත්‍ය සමුත්පාදයට අනුව සියලු සංසිද්ධීන් පිළිබඳ හේතු - ඵල  විග්‍රහය යෙදෙ යි. යථාර්ථවාදී චින්තනයක් ඉදිරිපත් කරයි. එහෙයින් සමාජ සංස්ථාවන් ගේ විකාශය පිළිබඳ  මෙම පුරාණ කථාව ද ඓතිහාසික වාර්ථාගත  නියාමයන් පැහැදිලි කරන ස්වරූපයෙන් ඉදිරිපත් වන්නක් බව කිව යුතුය. අප එහි කතා පුවතට වඩා එයින් ධ්වනිත වන නියාම ධර්මයන් පිළිබඳව අවධානය යොමු කරන්නේ නම් බුදු දහමේ ගැබ්වන මානව විද්‍යාත්මක පරිඥානය පිළිබඳ ව වඩාත් නිවැරදි ඇගයුමක් කර ගන්නට හැකි වෙයි.

Saturday 13 March 2021

නව සංස්කෘතිකාංග සමාජගතවීම කෙරෙහි රූපවාහිනී මාධ්‍යයේ බලපෑම

 





වර්තමානයවන විට සමස්ථ ජනමාධ්‍ය පද්ධතිය තුළ සමාජීය ජීවිතය මෙන්ම පුද්ගලික ජීවිතය කෙරෙහිද ප‍්‍රබල බලපෑමක් කරමින් තීරණාත්මක ආධිපත්‍යයක් පවත්වාගෙන යන්නේ රූපවාහිනී මාධ්‍යයයි.

මානව සංජානන ක‍්‍රියාවලියෙහි පවත්නා යම් යම් විශේෂතාත්, දෘශ්‍ය මාධ්‍යයෙහි පවත්නා තාක්‍ෂණික ගති ස්වභාවයනුත් පදනම් කරගෙන රූපවාහිනී මාධ්‍ය සෙසු මාධ්‍ය අභිබවා සිටී. එම තත්වය තුළ මිනිසාගේ පෞද්ගලික මෙන්ම සමාජ ජීවිතය කෙරෙහි සෘජු බලපෑමක් කිරීමට රූපවාහිනී මාධ්‍යයට හැකියාව ලැබී ඇත . රූපවාහිනිය ගෝලීය ප‍්‍රපංචයකි. ලොව පුරා පේ‍්‍රක්‍ෂකයන් රූපවාහිනිය නරඔති. ඒ අනුව වර්තමාන ලෝකයේ ගෝලීයකරණයේ තීරණාත්මක ජනමාධ්‍ය බවට රූපවාහිනී මාධ්‍ය පත්ව ඇත. එම තත්වය තුළ සංස්කෘතිකාංග සමාජගතවීම සඳහා රූපවාහිනී මාධ්‍යය සෘජුලෙස බලපෑම් කරයි.

මානව සමාජය වෙනත් සත්ව සමූහයාගෙන් වෙන්කර පැහැදිලිවම දැක්විය හැකි මුලික සාධකයක් වශයෙන් සංස්කෘතිය  හඳුනාගැනීමට ලැබේ. සංස්කෘතිය යන සංකල්පය එදිනෙදා ව්‍යවහාරයේ යෙදෙන ආකාරයට වඩා වෙනස් ස්වරූපයෙන් සමාජ ශාස්ත‍්‍ර වලදී අධ්‍යනය කෙරේ. සංස්කෘතිය සම්බන්ධයෙන් ප‍්‍රධාන වශයෙන් අධ්‍යයනය කරනු ලබන්නේ මානව විද්‍යාඥයින්ය. ඊට අමතරව සමාජ විද්‍යාඥයන්ද මේ සම්බන්ධයෙන් විවිධ අධ්‍යයන සිදුකොට ඇත. නමුත් සංස්කෘතිය යන සංකල්පය සම්බන්ධයෙන් එක් පැහැදිලි නිර්වචනයක් සැපයීම අපහසුවී ඇත. සංස්කෘතිය චර්යාත්මක විෂයන්ට සම්බන්ධවූවකි. මිනිසාගේ චර්යාව කලින් අනාවරණය කිරීමට හැකියාවක් නොමැත. එය සැනෙකින් වෙනස්වන  සුළුය. සමාජය පිළිබඳව විමසා බලන විට එය තවදුරටත් සංකීර්ණවේ. එබඳු තත්වයක් තුල පුද්ගල චර්යාවන් පිළිබඳව විවරණ සපයන සංස්කෘතිය නැමැති සංකල්පය පිළිබඳව පොදු නිර්වචනයක් සැපයීම අපහසුවී ඇත. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් පිළිගත් නිර්වචන ගනණාවක්ම ඉදිරිපත්වී ඇත.




”1951 දී සංස්කෘතිය පිළිබඳව ගවේෂණාත්මකව අධ්‍යනයකළ ඒ.එල්. ක්‍රෝබර් හා ක්ලයිඞ් ක්ලක්හෝන් යන මානව විද්‍යාඥයන් පෙන්වාදුන්නේ මෙම සංකල්පයට එවකට නිර්වචන 164ක් තිබූ බවයි ”
                                                                                                            
                                                                                                                       ( පෙරේරා, 2013,  පි. 75)


සමාජ මානව විද්‍යාවේ පියා වශයෙන් සැළකෙන ඊ.බී. ටයිලර් (EB Tylor 1)771 දී ”ප‍්‍රාථමික සංස්කෘතිය” (Primative Calture ) යන මැයෙන් රචනා කරන ලද ග‍්‍රන්ථයේ ඇතුළත් නිර්වචනය සම්භාව්‍ය නිර්වචනයක් ලෙසින් සැලකේ. ” දැනුම ,විශ්වාස ,කලා, සදාචාර දහම්, නීති, සිරිත්/විරිත් හා මිනිසා විසින් සමාජයේ සාමාජිකයෙකු වශයෙන් ලබාගන්නා අනෙක්  ඕනෑම හැකියාවන් හා පුරුදුවල සමස්ත සංකීර්ණ”
                                                                                                                 
                                                                                                                        ( සරච්චන්ද්‍ර ,2013, පි. 56 )


”සංස්කෘතිය යන සංකල්පය සමාජ සංවිධාන හා සම්බන්ධ කරගනිමින් මලිනොවුස්කි හා ප‍්‍රාන්ස් බෝආස් නම් මානව විද්‍යාඥයින් පැහැදිලිකර ඇත. මලිනොවුස්කි ප‍්‍රකාශකල පරිදි සංස්කෘතිය ශිල්පීය ක‍්‍රම, භාණ්ඩ, තාක්‍ෂණික ක‍්‍රියාවලින්, අදහස් පුරුදු සහ ඇගයීම් වලින් සංයුක්තවී ඇතිබව කියවේ. ඔහු වැඩිදුරටත් පවසනුයේ මේ සියලූ අංග ලක්‍ෂණ අන්තර් සම්බන්ධවී ඇති අතර සමස්ත ජිවන රටාවේ ස්වරූපයක් එමගින් ගොඩනංවන බවයි.”
                                                                                                      
                                                                                                                       ( විකිපීඩියා නිදහස් විශ්වකෝෂය,)


”මාග‍්‍රට් මීඞ්, ඒ.එල්.ක්‍රෝබර්,රූත් බෙනඩික්ත් සංස්කෘතිය  සමාජීය විද්‍යාවන්වල මධ්‍යගත සංකල්පය ලෙස හඳුන්වාදී ඇත. 1940 දි රැල්ෆ් ලින්ටන් සංස්කෘතිය හඳුන්වා දුන්නේ සමාජයේ සාමාජිකයන් විසින් පවරනු ලබන බෙදාහදාගනු ලබන ඉගෙනගත් හැසිරීම් රටාව ලෙසයි.”
                                                                                              
                                                                                                                       ( විකිපීඩියා නිදහස් විශ්ව කෝෂය)



සංස්කෘතිය යනු සමාජ උරුමයකි. එය තනි පුද්ගලයෙකු එක මොහොතක ගොඩනගාගත් දෙයක් නොවේ. කාලයක සිට විවිධ සමාජ සමූහ ක‍්‍රම ක‍්‍රමයෙන් සකස්කරගන්නා ලද ක‍්‍රියාවලියකි. දැනුම, විශ්වාස, හෝ  ඕනෑම මානවීය ක‍්‍රියාවලියක් කාලයක් තිස්සේ පරිණාමයවෙමින් ඉදිරියට ගමන්කරයි. මෙවැනි තත්වයක් මත සංස්කෘතිය සමාජයක් මගින් උරුම කරගත් දෙයක් වශයෙන් දැක්වීමට හැකියාවක් ඇත. එසේම පරම්පරාවෙන් පරම්පරාවට මිනිසා විසින් ගෙනයන ලද දෙයක් වශයෙන්ද  සංස්කෘතිය අගයකළ හැකිය. සංස්කෘතියක් තුළ එකතු කිරීම්, අඩු කිරීම්, දක්නට ඇත. එසේ වන්නේ එක් එක් කාලයට සමගාමීව පුද්ගල අවශ්‍යතාවල වෙනසක් ඇතිවන බැවිනි. නව තාක්‍ෂණය, නව අදහස් සංස්කෘතියට අලූතින් එකතුවෙයි. එසේම පැරණි සංස්කෘතියට අදාල වූ එහෙත් නව සංස්කෘතියට එතරම් අදාල නොවන සංස්කෘතිකාංග ක‍්‍රමයෙන් බැහැරවේ.


 සංස්කෘතිය යන සංකල්පය හඳුනා ගැනීමේදී එහි අන්තර්ගතය විමසා බැලීම ඉතා වැදගත්වේ.  ඕනෑම සංස්කෘතියක් තුළ ප‍්‍රධාන වශයෙන් අංග ලක්‍ෂණ ත‍්‍රිත්වයක් හඳුනා ගැනීමට ලැබේ. අදහස්, ධර්මතා සහ භෞතික සංස්කෘතිය එම අංග ලක්‍ෂණයි. අදහස් යනු සිතන දේවල්ය. එහෙත් සියලූදෙනා සිතන සියල්ලක් අදහස් වශයෙන් සංස්කෘතියට ඇතුළත් නොවේ. සමාජයට හිතකර, සමාජයේ කටයුතු වලට දායකවන, කලක් තිස්සේ සමාජය තුළ පැවතුණු අදහස් මේ අනුව සංස්කෘතියට අන්තර්ගතවේ. සාම්ප‍්‍රදායික ජන ශ‍්‍රැති, ජන කතා, උපමා, ප‍්‍රස්ථා පිරුළු ආදිය අදහස් වශයෙන් ක‍්‍රියාත්මකවේ. නවීන සමාජවල සාම්ප‍්‍රදායක සමාජවලට වඩා සංකීර්ණ අදහස් හඳුනා ගැනීමට ලැබේ. තාක්‍ෂණික අදහස්, ආගමික අදහස්, විද්‍යාත්මක අදහස්, දේශපාලනික අදහස් ඒ අතර ප‍්‍රධානවේ. අදහස් පිළිබඳ ලැයිස්තුවක් රොබට් බියෙස්ටෙඞ් නම් සමාජ විද්‍යාඥයා සිය සමාජ පර්යාය නැමැති කෘතියේ ඉදිරිපත්කර ඇත. එනම් 

”ආගමික සත්‍යයන්, ආගමික විශ්වාස, මිත්‍යාවන්, පුරාවෘත්ත, සාහිත්‍ය, අද්භූත කතා, උපමා, ප‍්‍රස්ථාව පිරුළු හා ජන ශ‍්‍රැතිවේ.”
                                                                                                                    
                                                                                                                        ( පෙරේරා,2013,පි . 83 )

ධර්මතා යනු සංස්කෘතියේ තවත් වැදගත් අංගයකි. ධර්මතා යන්නෙන් අදහස් කරනුයේ මිනිසා විසින් කරනු ලබන දෑය. අදහස් මෙන්ම ධර්මතාවයන් ද ප‍්‍රත්‍යක්‍ෂයට හසුනොවේ. සමාජයක යහපැවැත්ම උදෙසා ධර්මතා අනිවාර්යයෙන්ම අවශ්‍යවේ. සමාජය වෙනුවෙන් මිනිසුන් විසින් ඉටුකරන යුතුකම් හා වගකීම්ද ධර්මතා වලට අයත්වේ. ආචාරශීලීබව , ස්තුතිපූර්වකබව, සදාචාරසම්පන්නබව යනාදිය ධර්මතාවල වැදගත් අංගයන්ය. අදහස් හා ධර්මතා ප‍්‍රත්‍යක්‍ෂට හසුනොවේ. ප‍්‍රත්‍යක්‍ෂයට ලක්වන සංස්කෘතික අංගයක් ද සංස්කෘතිය තුළ අන්තර්ගතව ඇත. භෞතික සංස්කෘතිය වශයෙන් එය හඳුනාගැනිමට ලැබේ. මිනිසා විසින් නිර්මාණයකර ඇති දෘෂ්ඨියට හසුවන සියලූමදෑ භෞතික සංස්කෘතියට අයත්වේ. භෞතික සංස්කෘතියට අංග ඇතුළත්වීමේදී පිළිගැනීම, අගය කිරීම, ප‍්‍රයෝජනයට ගැනීම ආදී සාධක වලට අනුව ප‍්‍රමුඛතාවයක් දක්වන දෑ කෙරෙහි වැඩි අවධානයක් යොමුවේ. ඉතා විශාල දෙයක් වුවද එය ප‍්‍රයෝජනයට නොගනීනම් එය භෞතික සංස්කෘතියට ඇතුළත් නොවේ. නමුත් ඉතා කුඩා දෙයක්වුව ප‍්‍රයෝජනයටගනීනම් එය භෞතික සංස්කෘතියට ඇතුළත් වේ.
                              1945 දී විශ්වීය  සංස්කෘතිය තුළ පවතින ලක්‍ෂණ පිළිබඳව ජෝර්ජ් මර්ඩොක් නැමැති සමාජ විද්‍යාඥයා  අදහස් ඉදිරිපත්කර ඇත. ඔහු දැක්වූ ආකාරයට විශ්වීය සංස්කෘතියක අංග ලක්‍ෂණ මෙසේය. 
  1.  ආගම 
  2. ඉවුම්/පිහුම් 
  3. මෝස්තර 
  4. ජනශ‍්‍රැති
  5.  පවුලඅවමංගල්‍ය චාරිත‍්‍ර
  6.  විවාහය
  7. මිත්‍යා විශ්වාස
  8. නීති  ක‍්‍රීඩා
  9. දින දසුන්භාෂාව
  10. අධිකරණ ක‍්‍රමවේදයන්
  11.  දේශගුණික තත්වයන්ට ගැළපෙනසේ අනුගතවීම
  12.  නෘත්‍ය රංගන
  13.  සිහින අරත්නිරූපන
  14.  ආහාර පුරුදු
  15.  ආහාර තහංචි
  16. ත්‍යාග හුවමාරු
  17. කොණ්ඩා මෝස්තර
  18.  වෛද්‍ය ක‍්‍රම 
  19. සංගීතය අක්ෂර
  20.  පුද්ගල නාම
  21.  දේපළ
  22.  ලිංගික තහංචිවානිජ කටයුතු  අවි නිපැයුම”

                             
                                                                                                               ( සරච්චන්ද්‍ර,2013, පි . 69-70 ) 
  

සරච්චන්ද්‍ර තම කෘතිය තුළ මර්ඩොක් විසින් හඳුන්වා දෙනලද සංස්කෘතිකාංග 28ක් ඉදිරිපත්කොට ඇත.එම සියලූ අංග අඩු වැඩි වශයෙන් සමාජගතවන අතරම විකාශනයවීමක්ද සිදුවේ. එහිදී ඇතැම්විට නව්‍යතාවයෙන් යුතුව එම අංග නැවත සමාජගතවේ. එම ක‍්‍රියාවලියේදී රූපවාහිනී මාධ්‍යයෙන්  සෘජු බලපෑමක් සිදුවේ.

සංස්කෘතිකාංග සමාජගතවීම විවිධ ස්වරූපයන්ගෙන් හඳුනා ගැනීමට ලැබේ. සංස්කාතික විසරණය යනු එවැන්නකි. එහිදී සිදුවන්නේ කිසියම් සංස්කෘතියකට අයත් අයත් සංස්කෘතිකාංග තවත් සංස්කෘතියක අංග අතරට ඇතුළත් කරගැනීමයි. උදාහරණ වශයෙන් බි‍්‍රතාන්‍ය පාලනය යටතේ දකුණු ආසියාතික රටවලට ඉංග‍්‍රීසි සංස්කෘතික ලක්‍ෂණ ඇතුළත්වීම දැක්විය හැකිය. සංස්කෘතිකාංග විසරණයට අමතරව විකාශනයවීමක්ද සිදුවේ. එමගින් නව සංස්කෘතිකාංග සමාජගතවීම සිදුවේ. ඒ ඔස්සේ ජනප‍්‍රිය සංස්කෘතියකට මගපෑදීමක්ද සිදුවේ.

” ප‍්‍රචාරණ ආකෘතිය භාවිතාකර අවධානය අල්ලාගැනීමේ කාර්යය මේවනවිට වැඩිවශයෙන් ක‍්‍රියාත්මක කෙරෙන්නේ ජනප‍්‍රිය සංස්කෘතිය යනුවෙන් හැඳින්වෙන ක්ෂේත‍්‍රයේය. හුදෙක් ග‍්‍රාහක අවධානය අල්ලාගැනීමේ අරමුණෙන් නොයෙක් වැඩසටහන් වලින් මෙකළ මතුවන කලාව , කලා රුචිය, විලාසිතා, හැසිරීම් රටා, පරිභෝජන රටා, විනෝදාස්වාද මාර්ග ආදිය සාමාන්‍යයෙන් ඇතුලත්කෙරෙන්නේ ජනප‍්‍රිය සංස්කෘතිය යටතටය. මේ නිසා ජනප‍්‍රිය සංස්කෘතිය යන අංගයද රූපවාහිනිය යන මාධ්‍යයද තෙවැනි ලොව සංස්කෘතික ආරක්‍ෂණවාදීන්ගේ කෝපයට හේතුවී ඇත.”                                                                                                                                                                               (විකිපීඩියා නිදහස් විශ්වකෝෂය,)



නව සංස්කෘතිකාංග සමාජගතවීම කෙරෙහි රූපවාහිනී මාධ්‍යයේ බලපෑම පිළිබඳ හැඳින්වීමේදී අවධානය යොමුකළයුතු අනෙක් වැදගත් අංශය වන්නේ රූපවාහිනි මාධ්‍යයයි. එසේම නව සංස්කෘතිකාංග සමාජගතවීමට රූපවාහිනී මාධ්‍යයෙන් සිදුවන බලපෑම පිළිබඳවද අවධානය යොමුකිරීම වැදගත්වේ.
රූපවාහිනී මාධ්‍ය හුදෙකලාව වර්ධනයවූවක් නොවේ. එය ඊට පෙර  පැවති ගුවන් විදුලිය, නිශ්චල  රූපය, සිනමාව වැනි මධ්‍යයන්ගේ තාක්‍ෂණික ශක්‍යතාවය ආශ‍්‍රය කරගෙන නිර්මාණයවූවකි ”ශ‍්‍රව්‍ය හා දෘශ්‍ය වශයෙන් සම්පේ‍්‍රෂණය කළහැකි මෙම මාධ්‍ය සඳහා Television  යන යෙදුම මුලින්ම භාවිතාකර ඇත්තේ ප‍්‍රංශ ජාතිකPerski   නැමැති අයෙකි. Tele   යන්නෙන් දුරත්,  "  Vision     යන්නෙන් දැකීමත් අර්ථවත්වේ. .                                     
                                                                                                             

තාක්‍ෂණික වශයෙන් රූපවාහිනී මාධ්‍යය දියුණුවීමෙන් පසු එය ව්‍යාප්තවූයේ මහජනසේවා මාධ්‍යයක් වශයෙනි. II වන ලෝක යුද්ධයෙන් පසු මුලින්ම තොරතුරු දැනගැනීමේ අවශයතාවය පදනම් කරගෙන රූපවාහිනිය ජනතාවට සමීපවිය.රූපවාහිනිය ආරම්භවී දශකයක් පමණ ගතවනවිට රූපවාහිනිය සඳහා නාට්‍යය නිෂ්පාදනය කිරීම වැනිදෑ ආරම්භවිය. ඒ අනුව රූපවාහිනිය විනෝදාස්වාදය සපයන මාධ්‍යයක් වශයෙන්ද ජනතාවට වඩාත් සමීප විය.

—1940 දශකයේදී මුල්ම රූපවාහිනී නාට්‍යය ඇමෙරිකා එක්සත් ජනපදයේ රූපවාහිනී මගින් හඳුන්වාදෙන ලදී. සබන් නිෂ්පාදන සමාගම් මගින් මෙම නාට්‍ය විකාශනය සඳහා රූපවාහිනී ආයතන වලට අනුග‍්‍රහය දක්වන ලදී. එම හේතුව නිසා එම නාට්‍ය සෝප් ඔපෙරා නමින් හඳුන්වති ”  


 නව සංස්කාතිකාංග සමාජගත කිරීම සඳහා සෘජු ලෙස දායකවන රූපවාහිනී වැඩසටහන් ගණනාවක් හඳුනා ගැනීමට ලැබේ. ටෙලි නාට්‍ය, චිත‍්‍රපට, සංගීත වැඩසටහන්, වාර්තා වැඩටහන්, ක‍්‍රීඩා වැඩසටහන් ඒ අතර ප‍්‍රධානවේ.

                    කිසියම් රටක් තුළ වැඩි වශයෙන්ම නව සංස්කෘතිකාංග සමාජගතවීම සඳහා දායකත්ව සපයනු ලබන්නේ එම සමාජයට සහ සංස්කෘතියට පරිබාහිරවූ සංස්කෘතිකාංග ඇතුළත්වන ලෙස සකස්කරන ලද  ටෙලි නාට්‍යයන්ය. ටෙලි නාට්‍ය යනු විනෝදාස්වාදය සපයන වැඩසටහන් විශේෂයක් පමණක් නොව ඉන් ඔබ්බට ගිය කාර්යයන් ගණනාවක්ම සිදුකරන වැඩසටහන් විශේෂයකි. නව සංස්කෘතිකාංග සමාජගතකිරීම එවැන්නකි. ඇතැම් විට සෘජු ලෙසද ඇතැම් විට වක‍්‍රාකාරයෙන්ද මෙම කටයුත්ත සිදුකෙරේ. මෑත කාලයේදී ශ‍්‍රී ලංකාවේ විකාශනය වූ සහ වර්තමානයේ දී විකාශනයවන ටෙලි නාට්‍ය කිහිපයක් උදාහරණ ලෙස ගෙන විමසා බැලීම තුළින් එය සිදුවන්නේ කෙසේද? යන්න මනාව පැහැදිලි කරගත හැකිය.

මෑත කාලයේ දී විකාශනය වූ සුජාත දියණිය ටෙලි නාට්‍ය මෙරට සමාජයේ ඉහළ ප‍්‍රතිචාර ලබාගැනීමට සමත්වූ ටෙලි නාට්‍යයකි. කොරියන් සමාජය සහ එයට අයත් සංස්කෘතිකාංග ඇසුරින් නිර්මාණය කරනලද එය හඬකැවූ ටෙලි නාට්‍යයක් ලෙස විකාශනය විය. එම ටෙලි නාට්‍යය ශ‍්‍රී ලංකාව තුළ සාර්ථක අන්දමින් ග‍්‍රාහකගත විය. එහි ප‍්‍රතිපලයක් වශයෙන් එම ටෙලිනාට්‍යය තුළ අන්තර්ගතව තිබූ ඇතැම් සංස්කෘතිකාංග අනුකරණය කිරීමට ඇතැමුන් පෙළඹී තිබේ.  ඇඳුම්, පැළඳුම් එහිදී ප‍්‍රමුඛතාවයක් ගෙන ඇත.
  • උදා- චංගුමී කටුව නැමැති හිස් පළඳනාව

                    ශ‍්‍රී ලංකාව තුළ කොරියන් ටෙලි නාට්‍යවලට අමතරව තවත් විවිධ භාෂාවන්ට අයත් ටෙලි නාට්‍ය හඬකවා විකාශනය කෙරේ. එහිදී ඉංදියානු ටෙලි නාට්‍යවලට වැදගත් ස්ථානයක් හිමිවේ. එමගින්ද එම සංස්කෘතියට අයත් ඇතැම් සංස්කෘතිකාංග මෙරටෙහි සංස්කෘතිය සමඟ බද්ධවී ඇත. එම කටයුත්තේදී ඇතැම් විට සංස්කෘතිකාංගයන්හි මුල් ස්වරූපවල යම් යම් වෙනස්වීම් සිදුවේ.

                    නව සංස්කෘතිකාංග සමාජගතවීමේදී සිනමා කෘති මගින් ද ඉහත ක‍්‍රියාවලියට සමාන ක‍්‍රියාවලියක් සිදුවේ. බොහෝවිට විවිධ රටවලට අයත්, විවිධ සංස්කෘතිවලට අයත් සිනමා කෘති අදාල සංස්කෘතීන් හෝ රටවලට පරිබාහිරව විකාශනය කිරීම තුළින් මෙම ක‍්‍රියාවලිය සක‍්‍රිය ලෙස සිදුවේ.



උදාහරණ- ඉංග‍්‍රීසි, කොරියන්, හින්දි වැනි භාෂාවලට අයත් සිනමාකෘති ශ‍්‍රී ලංකාව තුළ විකාශනය කිරීම තුළින් එම සංස්කෘතීන්ට අයත් ඇඳුම්,පැළඳුම්, ආහාර පාන සහ ආහාර රටා, සිරිත්, විරිත් වැනි අංගලක්ෂණ මෙරට සංස්කෘතියට ඇතුළත්වීම.

                    අතට අත දීම, සිප වැළඳගැනීම වැනි සංස්කෘතිකාංග මෙරට සංස්කෘතිය යටතට අතුළත්වී ඇත්තේ වෙනත් සංස්කෘතීන් තුළිනි. එවැනි සංස්කෘතිකාංග සමාජගතවීමට රූපවාහිනිය මගින් විකාශනයවන ඉහත ආකාරයේ වැඩසටයන් සෘජු ලෙස දායකවී ඇත. ඊට අමතරව රූපවාහිනිය මගින් විකාශනයවන වාර්තා වැඩසටහන්, සංගීත වැඩසටහන් , වැනි විවිධ වැඩසටන් මගින් ද නව සංස්කෘතිකාංග සමාජගතකිරීම සඳහා යම් දායකත්වයක් ලබාදේ.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය


දිසානායක විජේසිංහ ,2007,රූපවාහිනී මාධ්‍ය ආධිපත්‍යය ,සරසවි ප‍්‍රකාශකයෝ.


පෙරේරා ටෙනිසන් ,2013 ,සමාජ විද්‍යාව ,නුවණි ප‍්‍රින්පර්ස් ඇන්ඞ් පබ්ලිසර්ස්.


විජේතුංග ගාමිණී,1994සිනමාව සංස්කෘතිය හා මතවාදය,


සරච්චන්ද්‍ර ඩබ්ලිව්.ඒ2003 ,සමාජ විද්‍යාව ,ඇම්.ඞී. ගුණසේන සමාගම.


සෙනෙවිරත්න සේනක,1999 ,ජනපි‍්‍රය සංස්කෘතිය හා ජනමාධ්‍ය  ,රත්න ප‍්‍රකාශකයෝ.

අන්තර්ජාල මූලාශ‍්‍ර

විකිපීඩියා නිදහස් විශ්ව කෝෂය (2011 08 24)


ග‍්‍රන්ථ නාමාවලිය

දනන්සූරිය ජිනදාස ,2002 ,ජනශ‍්‍රැති අධ්‍යයනයපියසිරි ප‍්‍රින්ටින් සිස්ටම්,ගංගොඩවිල නුගේගොඩ. ගුණසේකර 

බන්ධුසේන2,001ජ,න ශ‍්‍රැතිය හා ජනකතාඑ,ස් ගොඩගේ සහ සහෝදරයෝ කොළඔ 10

කුලරත්න සාලිය ,2006, සන්නිවේදනය සහ ජනශ‍්‍රැතිය ,ආරිය ප‍්‍රකාශකයෝ වරකාපොල. 
මහේන්ද්‍ර සුනන්ද ,2007 ,ජන මාධ්‍යයේ නැගීම ,ගොඩගේ සහ සහෝදරයෝ ,කොළඔ 10
 
ඵීජයානන්ද රූපසිංහ, සංස්: 2005 ,මාධ්‍ය විමර්ශී ,සන්නිවේදන ලිපි සංග‍්‍රහය, කලාපය අ,යි. සී.ඞී. කි‍්‍රයේෂන් මාකොළ.,