Showing posts with label උ/පෙළට අත්වැලක්. Show all posts
Showing posts with label උ/පෙළට අත්වැලක්. Show all posts

Thursday, 16 September 2021

“හීනයාන-මහායාන භේදය ශාසන ඉතිහාසයේ එක්තරා අවස්ථාවක සිදු වූවක් වශයෙන් විනා වර්තමානයට අදාළ වූවක් වශයෙන් හඳුනාගත නොහැක.

 




01. හැඳින්වීම


        සසරේ බිය දුටු සත්වයෝ විමුක්තිය උදෙසා බුදුරජාණන් වහන්සේ වටා එකතුවීම මත භික්ෂු ශාසනයක් නිර්මාණය වේ. මුල් කාලීන භික්ෂූන් වහන්සේලා සමගිව එක අරමුණකින් කටයුතු කළහ.එනම් විමුක්තිය ලැබීමේ අරමුණෙනි. එහෙත් පසුකාලීනව සසුනට එකතු වූ භික්ෂු පිරිස් එම අරමුණෙන් බැහැරවී විවිධ අරමුණින් සසුන තුළ කටයුතු කළ ආකාරය සාසන ඉතිහාසය දෙස බැලීමේදි පැහැදිළිවෙයි. එම භික්ෂු පිරිස් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ගැඹුරින් අධ්‍යනය කිරීමට හා එහි දාර්ශනික පැතිකඩ නිරාවරණය කිරීමටත් බුද්ධ භාෂිතය පිළිබඳව යම් යම් අර්ථ විවිරණයන් ඉදිරිපත් කිරිමටත් පෙළඹුනහ. එහි ප්‍රතිඵලයක් ලෙස ශාක්‍යපුත්‍රීය ශ්‍රමණ සම්ප්‍රධායක් වශයෙන් ඒකීයව පැවති සංඝ සමාජය පසුකාලීනව විලෝපනයන්ට බඳුන් වීමත් විවිධ සම්ප්‍රදායන් බිහිවීමත් සිදුවිය. එසේම පසුකාලීනව සිදු වූ මෙම නිකායභේදය හුදෙක් පසුකාලීන ප්‍රවනතාවයක්ම පමණක් වශයෙන් දැක්විය නොහැකි බව සාසන ඉතිහාසය දෙස බැලීමේදි මැනවින් හඳුනාගත හැකිය. 

         මෙසේ සංඝ සමාජය තුළ සිදු වූ විවිධ නිකායභේදයන් අතර වඩාත් සාධනීයම අවස්ථාවක් ලෙස ථේරවාද - මහායාන සම්ප්‍රධායන් බිහීම දැක්විය හැකිය. ඒ අනුව ඓතිහාසික වශයෙන් සිදු වූ මෙම නිකායභේදයන් සිදුවීම පිළිබඳවත් එම නිකාය භේදයන් සිදුවීම සඳහා බලපෑ මූලබීජයන් පිළිබඳවත් සාසන ඉතිහාසයේ නොයෙකුත් අවස්ථා සිදුවීම් ඓතිහාසික වාර්තා ආශ්‍රයෙන් විමසමින් මෙම ථේරවාද -මහායාන වශයෙන් බිහි වූ සම්ප්‍රධායන්ගේ ප්‍රභවය පිළිබඳව විමසීම මෙම නිබන්ධය තුළින් අරමුණුකොට ඇත. එහිදි බුදුන් වහන්සේ ධරමාන සමයේ සිටම පසුකාලීන සංඝායනා අවස්ථාවන් පිළිබඳවත් විමසමින් මෙම නිබන්ධය තුළ ඓතිහාසික වශයෙන් ථේරවාද - මහායාන සම්ප්‍රධායන්ගේ බිහිවීම පිළිබඳව කරුණු සාකච්ඡා කෙරේ.


02. නිකාය භේදයට පෙර බුදුසමය.

       බෞද්ධ දර්ශනයෙහි ප්‍රාරම්භය ගෞතම බුදුරජාණන්වහන්සේ පන් සාළිස් වසක් මුළුල්ලේ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පදනම් කොට ගෙන සිදුවූවකි. එහෙත් එය බුද්ධ පරිනිර්වාණයෙන් පසුව විවිධ වූ දාර්ශනික චින්තාවන් පදනම් කොට ගනිමින් සංවර්ධනය විය. විශේෂයෙන් නිකායාන්තර ධර්ම කාරණා සම්බන්ධයෙන් ගොඩ නැගුණු මතවාද ද සමයාන්තර ආගමික මතවාද ද කරණ කොටගෙන මෙසේ බෞද්ධ දර්ශනයෙහි ප්‍රභවය සිදුවිය. බෞද්ධ සමාජය දර්ශනය වශයෙන් ථෙරවාද මහායාන යැයි ප්‍රධාන විභජන දෙකකි. මේ දෙක අතරින් බුද්ධ ධර්මයේ බොහො තැන් සියුම්ව නිරීක්‍ෂණය කොට විග්‍රහ කළෝ මහායානිකයෝය. ථෙරවාදීහු බුද්ධ භාෂිත ශ්‍රී සද්ධර්මයම ප්‍රාමාණිකත්වයෙන් සළකා එයම බුද්ධ වචනයට අනුව විවරණය කළ අතර මහායානිකයෝ මූලික බුද්ධ වචනය සිය සම්ප්‍රදායේ මතවාද සමඟින්ම විවරණය කළහ. 


    ලෝකයේ ප්‍රධාන ආගම් දෙස බැලීමේ දී පෙනීයන වැදගත් කරුණක් නම් එම සෑම සමයක ම පාහේ නිකායන් හෙවත් සම්ප්‍රදායන් බිහිවීම පෙන්වා දිය හැකිය.

 බුදුසමය - ස්ථවිරවාද, මහායාන

 ක්‍රිස්තියානි සමය - කතෝලික, ප්‍රොතෙස්තන්ත

 ඉසලාම් සමය - ශුන්නි, ශියා 

 හින්දු සමය - ශිව, විෂ්ණු 


    මෙසේ සම්ප්‍රදායන් බිහිවීම සාමාන්‍ය තත්ත්වයකි. මෙම ප්‍රධාන ප්‍රභේදයන්ට අමතරව තවත් කුඩා බෙදීම් රාශියක් ඇති වූ අතර ධර්මයේ ව්‍යාප්තිය එම සම්ප්‍රදායන් බිහිවීමටත්, එම සම්ප්‍රදායන් බිහිවීම ධර්මයේ ව්‍යාප්තියටත් ඉවහල් වූ බව පෙනේ. ලොව කිසිදු ආගමක් හෝ දර්ශනයක් ආකස්මිකව පහළ නො වූ අතර දේශ, කාල, සමාජ හා ආර්ථික පරිසරය ඒ සඳහා ඉවහල් විය.


    නිකාය භේදයේ ආරම්භය දෙවන සංගායනාවෙන් පසුව සිදුවූයේ යැයි බොහෝ දෙනාගේ පිළිගැනීමයි- එහෙත් එයට මූලබීජ බුද්ධකාලයේ සිටම පැවති බව පෙනේ- මුල්කාලයේ බුද්ධශාසනයට ඇතුළත් වූ පුද්ගලයෝ ගිහිගෙයි කටුක බව දැක පැවිද්ද ආකාශය මෙන් නිදහස් යැයි අවබෝධ කොට ගෙන පැවිදි වූහ- ඔවුන්ගේ ඒකායන අරමුණ වූයේ නිර්වාණය සාක්ෂාත් කරණයයි- එහෙත් කල්ගත වීමේදී ශාසනයට ඇතුළු වූ පිරිසගේ පරමාර්ථ විවිධ විය- එම පිරිස මුඛ්‍ය පරමාර්ථයෙන් බැහැරවීම යන කාරණාව හේතුවෙන් බුදුරජාණන් වහන්සේ ධරමාන අවධියේ ම භික්ෂු සමාජය තුළ නොයෙක් අර්බුද හටගත්තේ ය.


     භික්ෂූන්ගේ නායකත්වය අපේක්ෂා කළ දේවදත්ත තෙරුන් වහන්සේ බුදුන් නැසීම සඳහා නොයෙක් උපාය මාර්ග ගත්ත ද එය අසාර්ථක වූ තැන පඤ්චවරයක් ඉදිරිපත් කළහ- එහි දී බුදුන් වහන්සේ දේශනා කළේ කැමති කෙනෙක් ඇත්නම් මෙම පඤ්චවරය පිළිගන්නා ලෙසයි- එහි දී භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් දේවදත්ත තෙරුන්ගේ පාර්ශ්වයට එකතු වූ බව මූලාශ්‍ර සඳහන් කරයි. කොසඹෑනුවර ඝෝසිතාරාමයේ ධර්මධර විනයධර භික්ෂූන් අතර මතභේදයක් හටගත් අවස්ථාවේ එය සමථයකට පත් කිරීමට බුදුන් වහන්සේ උත්සාහ ගත්ත ද එය නොහැකි වූ තැන උන්වහන්සේ පාරිලෙය්‍ය වනයට වැඩම කළ බවට තොරතුරු හමුවේ. කීටාගිරි භික්ෂූන්, ඡබ්බග්ගිය භික්ෂූන්, සුනක්ඛත්ත භික්ෂුව, සාති භික්ෂුව, මාලුංක්‍යපුත්ත භික්ෂුව ආදි භික්ෂූන් වහන්සේලා නිසා බුදුන් වහන්සේ ධරමාන කාලයේ දීම ශාසනයේ නොයෙක් අර්බුද නිර්මාණය වී ඇත- මෙකී තත්වයන් පසුකාලීන නිකාය භේදයේ ආරම්භයට උපස්ථම්භක වූ බව නිගමනය කළ හැකිය.


      බුදුරජාණන් වහන්සේ තම පරිනිර්වාණයට පෙර ආනන්ද තෙරුන් වහන්සේ අමතා “ආනන්දය, ප්‍රවචනය ඉකුත් වූ ශාස්තෘ ඇති එකකැයි අපගේ ශාස්තෘහු නැතැයි තොපට මෙබඳු සිතක් ඇති විය හැක්කේමය. ආනන්දය, එය එසේ දැක්ක යුතු නොවේ. ආනන්දය, මා විසින් යම් දහමක් දේශනා කරන ලද්දේ ද පණවන ලද ද එය මා ඇවෑමෙන් තොපට ශාස්තෘ වෙයි”  යනුවෙන් දේශනා කළ සේක.


“සියා ඛො පනානන්ද තුම්හාකමං එවමස්ස, අතීතසත්ථුකං පාවචනං, නත්ථි නො සත්ථාති- න ඛො පනෙතං ආනන්ද එවං දට්ඨබ්බං. යො ඛො ආනන්ද මයා ධම්මෝ ච විනයෝ ච දෙසිතො පඤ්ඤත්තො සො වො මමච්චයෙන සත්ථාති” 


මෙම ප්‍රකාශය ගෙනහැර දක්වන සමහර වියතුන් ප්‍රකාශ කරනුයේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ශාසනයෙහි පුද්ගල නායකත්වයක් නොවූ හෙයින් එය ද භික්ෂූන් වහන්සේලා බෙදී යාමට හේතු වූ බවයි. එහෙත් එම ප්‍රකාශයෙහි සත්‍යතාවයක් නොවන බව පෙනේ. මන්ද ශාසනය පුද්ගල නායකත්වයකට පත්කළේ නම් එය රුචි නොකරන භික්ෂූන් වහන්සේලා අතින් මෙයටත් වැඩි බෙදීමකට හේතු වන්නට ඉඩ තිබුණ බැවිණි. කෙසේ වුව ද මෙම කරුණු දෙස විමර්ශනශීලීව බලන විට පෙනෙන්නේ නිකාය භේදය දෙවන සංගායනාවෙන් පසුව එකවරම ඇති වූවක් නොවන බවත් එය දීර්ඝ කාලයක් තුළ පැවැති නොයෙක් අර්බුද හා මතභේදවල අවසන් ප්‍රතිඵලයක් බවයි.

03. සංඝායනා ආශ්‍රිතව සිදු වූ නිකාය භේදය

 බුදුරජාණන් වහන්සේගේ ශාස්තෘත්වයේ අද්විතීය නායකත්වය හමුවේ යටපත්ව තිබූ සංඝ සමාජයේ බෙදීම් උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් සත් දිනක් ඉක්මයන්නට පෙර ඉස්මතු වූ බව පාලි මූලාශ්‍ර දෙස බලන විට පෙනෙන්නට තිබේ- එහිලා චුල්ලවග්ග පාළිය,  සමන්තපාසාදිකාව ආදි කෘති සාක්ෂි සපයයි. මේ පිළිබඳව වැඳගත් තොරතුරු සපයන චුල්ලවග්ග පාලිය කෙරෙහි ප්‍රථමයෙන් ම අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙමු- චුල්ලවග්ග පාළියේ පඤ්චසතිකක්ඛන්ධකය දෙස බලන විට පෙනෙන කාරණය නම් නිකාය භේදයට තුඩු දෙන ප්‍රකාශයක් එහි සඳහන් වේ- එය බුද්ධපරිනිර්වාණයෙන් සත් දිනක් ඉක්ම යන්නටත් මත්තෙන් සුභද්‍ර නම් මහළු පැවිද්දෙක් විසින් කරන ලද්දකි. “සුභද්දෝ නාම වුඞ්ඪපබ්බජිතෝ” යන ප්‍රකාශයෙන් පැහැදිලි වේ. එම සුභද්‍ර භික්ෂුව ප්‍රකාශ කළ කාරණාව නම්,


“අලං ආවුසො, මා සොචිත්ථ- මා පරිදෙවිත්ථ- සුමුත්තා මයං තෙන මහාසමණෙන- උපද්දුතා ච මයං හොම ‘ඉදං වො කප්පති, ඉදං වො න කප්පතීති- ඉදානි පන මයං යං ඉච්ඡිස්සාම තං කරිස්සාම, යං න ඉච්ඡිස්සාම න තං කරිස්සාමාති” 

  “ඇවැත්නි කම් නැත. ශෝක නොකරව්. නොවැලපෙව්. අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මිදුණෝ වෙමු. මෙය තොපට කැපය. මෙය තොපට අකැපය යැයි කීමෙන් උපද්‍රවයට ද පත්කරන ලද්දෝ වෙමු. දැන් අපි යමක් කැමති නම් එය කරන්නෙමු. යමක් අකැමැති නම් එය නොකරන්නෙමු” යි යන ප්‍රකාශයයි. මෙම සුභද්‍රගේ ප්‍රකාශය මූලික වශයෙන් ම දැඩි විනය නීති පිළිබඳ අප්‍රසාදයක් ද නායකත්වය කෙරෙහි වක්‍ර විරෝධයක් ද මතු කරයි. සුභද්‍ර මහළු කළ පැවිදි වූ නොවැඳගත් භික්ෂුවක ලෙස තැකිය නොහැකිය. එසේ ම ඔහු තනි පුද්ගලයෙකු ලෙස මෙම ප්‍රකාශය කළ ද ඔහු පසු පස විශාල භික්ෂු පිරිසක් සිටි බවත් මෙය ඒ සියළු දෙනාගේම මතය යැයි සිතිය හැකිය.


  මේ ප්‍රකාශය අසා ධර්ම සංවේගයට පත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ සංගායනාවක අවශ්‍යතාව මතු කරයි. එසේ කිරීමට හේතුවූයේ,

“පුරෙ අධම්මො දිප්පති ධම්මො පටිබාහීයති. පුරෙ අවිනයො දිප්පති විනයො පටිබාහීයති. පුරෙ අධම්මවාදිනො බලවන්තො හොන්ති. ධම්මවාදිනො දුබ්බලා හොන්ති. පුරෙ අවිනයවාදිනො බලවන්තො හොන්ති. විනයවාදිනො දුබ්බලා හොන්තීති” 


  ඉදිරියේ අධර්මය බැබලීමටත් ධර්මය බැහැර කරනු ලැබීමටත් පෙර, අවිනය බැබලීමටත් විනය බැහැර කරනු ලැබීමටත් පෙර, අධර්මවාදීන්, අවිනයවාදීන් බලවත් වීමටත් ධර්මවාදීන්, විනයවාදීන් දුර්වලවීමටත් පෙර සංගායනාවක් කිරීමට ගත් තීරණය ශාසනයාගේ චිරපැවැත්ම උදෙසා ගනු ලැබූ ඓතිහාසික තීරණයක් බව මනාව පැහැදිලි වේ.


   මෙහි දී භික්ෂුහු සංගායනාවට පුද්ගලයන් තෝරා ගැනීමේ කටයුත්ත පවරනු ලැබුවේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේට ය. එහි දී උන්වහන්සේ 499ක් රහතන් වහන්සේලා තෝරා ගත්හ. මෙහි දී රහතන් වහන්සේලා තෝරා ගත් බැවින් රහත් නොවූ ආනන්ද හිමියන් තෝරා ගැනීම භික්ෂූන් අතර යම් භේදයකට හේතුවිය හැකි යැයි කල්පනා කළා විය හැකිය. එසේ ම ආනන්ද හිමියන් තෝරා ගැනීම භික්ෂූන්ගේ අනුමතයෙන් සිදු කරගැනීම වඩාත් යෝග්‍ය යැයි ද සිතුවා විය හැකිය. කෙසේ නමුදු භික්ෂූන්ගේ අනුමතයෙන් ආනන්ද හිමියන් තෝරා ගන්නා ලද බව පහත පාඨයෙන් පෙනේ.


“බහූ ච අනෙන භගවතො සන්තිකෙ ධම්මො ච විනයො ච පරියත්තො- තෙනහි භන්තෙ ථෙරො ආයස්මන්තම්පි ආනන්දං උච්චිනතූති” 


ඉන්පසු මහාකාශ්‍යප හිමියන් භික්ෂූන් අමතා සිදුකරන ලද ප්‍රකාශය ඉතා වැඳගත් වේ. එනම්,


“ඉමානි පඤ්ච භික්ඛුසතානි සම්මන්නෙය්‍ය රාජගහෙ වස්සං වසන්තා ධම්මඤ්ච විනයඤ්ච සංගායිතුං න අඤ්ඤේ භික්ඛූහි රාජගහෙ වස්සං වසිතබ්බං” 


   මේ පන්සිය නම රජගහනුවර වස් වැස ධර්ම සංගායනාව සිදුකරන බවත් අනෙක් භික්ෂූන් රජගහනුවර වස් නොවැසිය යුතු බවත්ය. මෙම ප්‍රකාශය තුළ මේ කටයුත්තට විරුද්ධ පිරිසක් සිටි බව පැහැදිලි වේ. ඒ අතර මෙම සංගායනාවට සහභාගි නොකරගත් භික්ෂූන්, නැවත විනය නීති අනුව හික්මෙන්නට අකැමැති භික්ෂූන්, බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශාසනයේ නායකත්වය අපේක්ෂා කළ අය ආදී වශයෙන් විශාල විරුද්ධ පිරිසක් සිටි බව පැහැදිලි වේ. කෙසේ නමුදු මෙය රජගහනුවර පැවැත්වීම යන කාරණාව අනුව මෙයට අජාසත්ත රජතුමා අනුග්‍රහ කළා යැයි සිතිය හැකිය.

   සංගායනාවෙන් පසු ස්ථවිර භික්ෂූහු පුරාණ තෙරණුවන් වෙත එළඹ තමන් ධර්මයත් විනයත් සංගායනා කළ බවත් එය පිළිගනු මැනවැයි ප්‍රකාශ කළහ. එහි දී පුරාණ තෙරුන්ගේ අදහස වූයේ ඔබලා ධර්මයත් විනයත් මැනවින් සංගායනා කරන ලද බවත් එසේ වුවද තමන් බුදුන් හමුවේ දී අසන ලද ආකාරයට පිළිගන්නා බව ප්‍රකාශ කළේය. කෙසේ නමුදු පුරාණ තෙරුන්ගේ මෙම ප්‍රකාශයෙන් ප්‍රකට වනුයේ සංඝ සමාජය තුළ  ඒකමතිකත්වයක් නොමැති බව හා භික්ෂූන් වෙන වෙන ම කණ්ඩායම්වලට බෙදී තමන්ගේ මතය ඉදිරියට ගෙන ගිය බවක්ය. මේ අනුව බුදුන් වහන්සේ ධරමාන අවධියේ සංඝ සමාජයේ යම් යම් වශයෙන් පැවති දුර්මතයන් බුදුන් වහන්සේගේ පිරිනිවීමත් සමගම නැවත හිස ඔසවන්නට වු ආකාරයත් එය වළක්වාලීම සඳහා  කරන ලද මෙම සංඝායනාවන් ඒකීය වශයෙන් පැවති සංඝ සමාජයේ යම් යම් බෙදීම් සඳහා බලපෑමක් කරන්නට ඇති බවත් හඳුනාගත හැකිය. 


  බුද්ධ පරිනිර්වානයෙන් අවුරුදු 100ක් ගිය තැන නැවතත් ධර්ම විනය ආරක්ෂා කිරීමටත්, ශාසනයේ නොයෙක් බෙදීම් වළකාලීමටත් සංගායනාවක අවශ්‍යතාව ඇති වූ බව පෙනේ. එයට ප්‍රධාන හේතුව වුයේ විනයානුකූල නොවන කරුණු දහයක් වේසාලික වජ්ජිපුත්තක භික්ෂූන් වෙතින් ඉදිරිපත් වීමයි.


“තෙන කො පන සමයෙන වස්සසතපරිනිබ්බුතෙ භගවති වෙසාලිකාවජ්ජිපුත්තකා භික්ඛූ වෙසාලියං දසවත්ථූනි දීපෙන්ති” 


වජ්ජි ජනපදයෙහි චාරිකාවෙහි හැසිරුණ කාකණ්ඩපුත්‍ර යස තෙරුන් වහන්සේ විනය සම්බන්ධ වූ පහත කරුණු දහය එහි ක්‍රියාත්මක බව දැනගත්හ. එනම්,


“කප්පති සිංගිලොණකප්පො- කප්පති ද්වංගුලකප්පො. කප්පති ගාමන්තරකප්පො. කප්පති ආවාසකප්පො. කප්පති අනුමතිකප්පො. කප්පති ආචිණ්ණකප්පො. කප්පති අමථිතකප්පො. කප්පති ජලෝගිපාතුං. කප්පති අදසක නිසීදනං. කප්පති ජාතරූපරජන්ති”  


    යන කරුණු දහයයි. ඒ අනුව මේ දශවස්තුව අවිනය බව විනිශ්චය කිරීම දෙවන සංගායනාවේ අරමුණ වූ බව පෙනේ. මෙහි දී ද පෙනෙන කාරණය නම් අධර්මය හා අවිනය බලවත් වීමට පෙර සංගායනාවක් කොට මූලික බුද්ධ දේශනාව එපරිදිම සුරක්ෂිත කිරීමේ අදහස ස්ථවිර භික්ෂූන් තුළ වූ බවයි.


“හන්ද මයං භන්තෙ ඉමං අධිකරණං ආදියාම. පුරෙ අධම්මො දිප්පති ධම්මො පටිබාහීයති. පුරෙ අවිනයො දිප්පති විනයො පටිබාහීයති. පුරෙ අධම්මවාදිනො බලවන්තො හොන්ති. ධම්මවාදිනො දුබ්බලා හොන්ති. පුරෙ අවිනයවාදිනො බලවන්තො හොන්ති. විනයවාදිනො දුබ්බලා හොන්තීති” 


  කෙසේ වුවද මෙම කරුණු දහය සම්බන්ධයෙන් නිසි නිගමනයකට පැමිණීමට සමහර භික්ෂූන්ට නොහැකි වූ බවට කරුණු සඳහන් වෙයි. ඒ අතර සාළ්හ තෙරුන්ට මෙසේ කල්පනාවක් ඇති වූ බව සඳහන් වීමෙන් එය පැහැදිලි වෙයි.


“කොනු ඛො ධම්මවාදිනො පාචිනකා වා භික්ඛූ පාවෙය්‍යකා වාති” 


  ධර්මවාදීහු පෙරදිග භික්ෂුහු ද නැතහොත් පාවෙය්‍යක භික්ෂුහු ද යනුවෙනි. මෙයින් පැහැදිලි වන කාරණාව නම් මෙම කරුණු විනය හා ගැළපීමේදී විනයට නොගැළපුණ ද එවක සමාජය තුළ භික්ෂුවගේ පැවැත්මට මේවා අවශ්‍යකර තිබූ බවයි. කෙසේ වුව ද පෙරදිගවැසි හෙවත් වජ්ජීන්ගේ මෙම කරුණු දහය මූලික කරගෙන දෙවන සංගායනාව පැවැත් වූ බව පෙනේ. එහි දී පාචීනක හා පාවෙය්‍යක භික්ෂූන් හතර නම බැගින් යොදා ගනිමින් අධිකරණ උබ්බාහිකාවකින් මෙම ගැටළුව සංසිදුවීමට කටයුතු කළේය.


“චතුණ්ණං පාචීනකානං භික්ඛූනං චතුණ්ණං පාවෙය්‍යකානං භික්ඛූනං සම්මුති උබ්බාහිකාය ඉමං අධිකරණං වූපසමෙතුං” 


  එහි දී මෙම කරුණු දහය සබ්බකාමි තෙරණුවෝ විසර්ජනය කළහ. “පුට්ඨො පුට්ඨො ආයස්මා සබ්බකාමි විස්සජ්ජේසි” ඒ අනුව මෙම කරුණු දහය ධර්මයට, විනයට අනුව බැහැර කරන ලදි. එසේ ම ශාස්තෘන් වහන්සේගේ අනුශාසනා සළකා බැලීමෙන් පසු මෙම කරුණු සංගායනාව මගින් සංසිදුවන ලදි- බැහැර කරන ලදි.


“ඉතිපිමානි දසවත්ථුනි උද්ධම්මානි උබ්බීනයානි අපගත සත්ථුසාසනානීති” 


    මෙසේ මෙම කරුණු දහය අකැප වස්තූන් ලෙස බැහැර කොට ප්‍රථම සංගීතියෙහි පරිද්දෙන් ධර්මයත් විනයත් සංගායනා කොට බුද්ධ වචනය දූෂණය වීම වළකා ලීය. මෙමගින් බුද්ධ භාෂිතය ආරක්ෂා වුව ද නිකායාන්තර බෙදීම්වලට හේතු සාධක වූ බවක් ද පෙනෙන්නට තිබේ. එයට හේතුව නම් මෙම දෙවන සංඝායනාවත් සමගම ඓතිහාසික වශයෙන් සංඝ සමාජය නිකාය වශයෙන් දෙකොටසක් ලෙස බෙදීමයි. ඓතිහාසික පිළිගැනීමට අනුව එය සිදි වූයේ දසවස්තුව ප්‍රතික්ෂේප වීමත් සමග එය ඉදිරිපත් කළ වජ්ජිපුත්තක භික්ෂූන් ගාන්ධාර කාෂ්මීර ප්‍රදේශයන්ට ගොස් වෙනම සංඝායනාවක් සිදුකොට මහාසාංඝික නමින් නිකායක් පිහිටුවාගත් බවයි. කෙසේ වුවද මෙම මහාසාංඝිකයන්ද එම සංඝායනාවේදි දසවස්තුව පිළිගත් බවක් සඳහන් නොවේ. ඔවුන්ගේ විනය කරුණු අනුව මෙම දස වස්තුව බැහැර කොට ඇති බව පෙනේ. මෙසේ මූලික වශයෙන් සංඝායනාව සිදුකළ පිරිස ථේරවාදීන් ලෙසත් අනෙක් පිරිස මහාසාංඝික වශයෙනුත් දෙපිරිසක් විය. මෙම නිකායන් දෙකට අමතරව කාලීනව තෙවන සංඝායනාව සිදුවන අවදිය වන විට සංඝ සමාජය නිකායන් රැසකට බෙදීගොස් තිබු බව පෙනේ. ඓතිහාසික වාර්තා අනුව අටලොස් නිකායක් වශයෙන් සංඝ සමාජය බෙදී පැවති බව පෙනේ. එම අටලොස් නිකාය මෙසේය.


“මහාසංඝික, ගොකුලික, එකබ්බොහාරික, ප්‍රඥප්තිවාදී, බාහුලික, වෛතුල්‍යවාදී, මහිංසාසක, වජ්ජිපුත්තක ධර්මොත්තරික, භද්‍රයානික, ඡන්නාගාරික, සම්මිත්තික, සර්වාර්ථවාදී, ධර්ම ගුප්තික, කප්පීය, සූත්‍රවාදි,”  යනුවෙන් නිකාය 17ක් බිහිවිය. ස්ථවිර භික්ෂූන් ඇතුළත්ව මෙය අටලොසක් වූවා විය හැකිය.


“ථෙරවාදෙන සහ තේ හොන්ති ද්වාදස මේ පිච

පුබ්බේ වුත්තා ඡ වාදා ච ඉති අට්ඨාරසාඛිලා” 

 යනුවෙන් මහාසංගීතිකයන්ගෙන් නිකාය 06ක් ද ථෙරවාදයෙන් නිකාය 12ක් ද වශයෙන් අටලොස් නිකායක් දෙවන සංගායනාවෙන් පසුව බිහි වූ සඳහන් වේ. ඉන්පසුව කාලයේ දී උපන් ආචාර්යවාද කිහිපයක් පිළිබඳව ද සඳහන් වේ- එනම් හේමවතය, රාජගිරිකය, සිද්ධාර්තිකය, පුබ්බසෙලිකය, අපරසෙලිකය, වාජිරිකය යන ෂට් විධ දර්ශනවාද ජම්බුද්වීපයෙහි ද ධම්මරුචිකය, සාගලිකය යන දර්ශනවාද දෙක ලංකාද්වීපයෙහි ද ඇති වූ බව වාර්තා කරයි.


   මේ අනුව ධර්මය, විනය සුරක්ෂා කිරීම උදෙසා සිදුකරන ලද මෙම ධර්ම සංඝායනා මගින් ධර්මය විනය බොහෝ දුරකට ආරක්ෂා වූ නමුදු සාසනික වශයෙන් මෙම සංඝ සමාජය බෙදීමට ලක් වූ බව පෙනේ. එය හුදෙක් සංඝායනා නිසාවෙන්ම සිදු වූවක් නොවේ. බුදුන් වහන්සේ ධරමාන සමයේ සිටම සසුන තුළ ඇතිවී තිබු යම් දුර්මතයන් පසුකාලීනව පෝෂණය වීම නිසාවෙන් සිදු වු බව පෙනේ. එසේම බුද්ධ දේශනාව විවිධාකාරයෙන් විග්‍රහයන්ට බඳුන් කරලීමටත් ඒවාට අර්ථ නිරූපණයන් ඉදිරිපත් කිරීම තුළ සසුනේ ඇතැම් පිරිස් එසේ ගොඩනගාගත් නව දර්ශනයන් පිළිගැනී අදහස් බුදු දහම ලෙසින් ඉදිරිපත් කිරීමට උත්සාහ කිරිම නිසාවෙන් සංඝ සමාජය තුළ බොහෝ දාර්ශනික සම්ප්‍රධායන් ආචරියවාදයන් ඇතිවූ බව හඳුනාගත හැකිය. එම දාර්ශනික සම්ප්‍රධායන් දුර්මතයන් ලෙස එකහෙලා ප්‍රතික්ෂේප කළ නොහැකිය. එයට හේතුව එසේ ඉදිරිපත් වු ඇතැම් දාර්ශනික සම්ප්‍රධායන් දාර්ශනික වශයෙන් ඉදිරිපත් කළ කරුණු දාර්ශනික වශයෙන් පොහොසත් වු බැවිනි. 


04. මහායාන සම්ප්‍රධායේ ප්‍රභවය.

   ඓතිහාසික වශයෙන් දෙවන ධර්ම සංඝායනාවත් සමග සිදුවු නිකාය භේදයත් සමග සාසන ඉතිහාසය ක්‍රමයෙන් නිකායන් හෙවත් එක් එක් සම්ප්‍රධායන් වශයෙන් බෙදීගිය ආකාරය දැකිය හැකිය. එහ් අනුව සාසන ඉතිහාසයේ එසේ බිහිවු දාර්ශනික සම්ප්‍රධායක් වශයෙන් මෙම මහායාන සම්ප්‍රධාය හඳුනාගත හැකිය. මෙම මහායාන සම්ප්‍රධායේ ප්‍රභවය. එහි පසුබිම සහ එය ප්‍රභවය වූ කාල වකවානුවක් පිළිබඳ නිශ්චිත සාධක හෝ උගතුන් අතර ඒකමතිකත්වයක් නොමැත. ඒ අනුව මෙම මසහායාන සම්ප්‍රදාය සහ එහි සම්භවය පිළිබඳව විමසීමේදි ප්‍රධාන වශයෙන් මෙම මහායාන යන නාමයෙන් හඳුනවනු ලබන්නේ කුමක්ද යන්න පිළිබඳව විමසීම වැදගත්වේ.

   “මහායාන යන යෙදුම සකසාගෙන ඇත්තේ මහායානිකයින් විසින්මය. තමන් දරන මතවාදත් එම හේතුවෙන්ම තමන්ව සෙසු බෞද්ධ කොට්ඨාශයන්ගෙන් වෙන්කොට හැඳින්විම සඳහාත් ඔවුහු මෙම නාමය යොදාගෙන ඇත. මෙම යෙදුම වඩාත් අර්ථවත් වනුයේ ඔවුන් දරන මතවාදයන්ට වෙනස් මතවාදයන් දැරූ බෞද්ධ කොට්ටාශයන් හැඳින්වීම සඳහා ඔවුන් විසින්ම යොදාගෙන ඇති හීන යාන යන පදයට සාපේක්ෂව ගත් විටය. “මහායාන” යන පදය ඔවුන් තමන් වෙනුවෙන් යොදාගත්තේ එම ඉගැන්වීම් හා තම ඉගැන්වීම් අනුගමනය කරන තමන් සෙසු බෞද්ධ කොට්ඨාශයන්ගෙන් ඉගැන්වීම් හා එම අනුගාමිකයන්ට වඩා ශ්‍රේෂ්ට බව අවධාරණය කිරීමට යනු නිසැකය.” 


    හීනයාන යෙදුමෙන් ඔවුන් අදහස් කළේ කිනම් ගුරුකුලයක්ද යන්න අපැහැදිලි  වුවද පුළුල් ලෙස ගත් කළ පෙනීයන්නේ පොදුවේ ශ්‍රාවක පරමාදර්ශය පිළිගත් බෞද්ධ සම්ප්‍රධායන්ද ස්වභාව වාදය, සත්වාදය ආදි දාර්ශනික මතවාදත් ඔවුන් විසින් එහිලා ඇතුළත්කොට ඇති බවයි. ක්‍රි: ව පළමු සියවසේදි පමණ ප්‍රභවය වූ මෙම නව සම්ප්‍රධාය වර්තමානයේ හඳුන්වනුයේ මහායාන වශයෙන් වුවද පැරණි මහායාන සූත්‍රවල මෙම සම්ප්‍රධාය හැඳින්වීම සඳහා විවිධ යෙදීම් යොදාගෙන ඇති බව පෙනේ. ඒ අනුව 

 පරමයානය

 උත්තමයානය

 බෝධිසත්වයානය

 තථාගතයානය

 ඒකයානය  ආදි නම් එසේ භාවිතා වී ඇති බව පෙනේ.

  විශේෂයෙන්ම මහායාන සූත්‍ර වල සඳහන්වන ආකාරයට ඔවුන් මෙම මහායාන යන යෙදුමෙන් මූලීකවම අදහස්කොටඅඳා ඇත්තේ නිවන ලැබීමේ මහා මාර්ගය යන්නයි. එසේම මෙම මහායානය පිළිබඳව උගතුන්ගේ අදහස් වී ඇත්තේ “මහායානය ආශ්චර්ය වූත් විශිෂ්ට හෙවත් ලෝකෝත්තර වූත් දේ පිළිබඳව වටහාගතහැකි මූලධර්මයකි. එයින් ජීවන පැවැත්ම පිළිබඳව හඳුනාගත හැකිය.”  එසේම මෙම මහායානය පිළිබඳව ආර්යදේව දක්වන අදහසද වැදගත්වේ.


  “හීනයානිකයෝ පියක් පාසා මරණයට බිය වෙත්. යුදෙහිදි ඔවුන්ට ජය ලැබෙන්නේ කල් ගොස්ය. මහායානිකයා කරුණාවෙන් සන්නද්ධ වූයේ දයාවෙන් හා ගුණයෙන් සැදි ලෝකයා ගොඩලනු කැමැත්තේය.” 

මේ අනුව බෞද්ධ දාර්ශනික සංකල්පයන් වශයෙන් ඉදිරිපත් වූ සම්ප්‍රධායක් වු මෙම මහායානය යනුවෙන් හඳුනස්වා ඇත්තේ කුමක්ද යන්න හෙවත් මෙම ඉගැන්වීම් හඳුන්වා ඇති මහායාන යන නාමයෙන් අර්ථ නිරූපණය කොට ඇත්තේ කුමක්ද යන්න පිළිබඳව හඳුනාගත හැකිය.

  විශේෂයෙන්ම අශ්වඝෝෂාචාර්යන්ගේ මහායාන ශ්‍රද්ධෝපාද සූත්‍රයෙහි “මහායාන” ශබ්දය පළමුව යෙදී ඇතැයි සිතිය හැකිය. වර්තමානයේදි මහායානය යනුවෙන් අප අදහස් කරණුයේ මධ්‍යමක හා යෝගාචාර දර්ශනවාදයයි. නමුත් මහායාන සම්ප්‍රධාය පිළිබඳව ඓතිහාසික කරුණු ආශ්‍රයෙන් විමසීම තුළ පැහැදිලි වනුයේ මහායානය යනුවෙන් හඳුන්වා ඇත්තේ හුදෙක් එමස චතුර්විධ බෞද්ධ සම්ප්‍රධාය තුළ එන මධ්‍යමක හා යෝගාචාර දර්ශනවාද නොවේ. මෙම මහායාන සම්ප්‍රධාය විවිධ රටවල විවිධ වශයෙන් සම්ප්‍රධායන් ගොඩනගාගෙන ඇති බව පෙනේ. ඒ අනුව මෙම මහායාන සම්ප්‍රධාය භාරතයට පමණක් සීමා නොවි චීනය, ජපානය අදි රටවලද ව්‍යාප්ත වී ඇති බව පෙනේ.


“ චීනයේ ඇති වු බෞද්ධ නිකාය වනුයේ: ඨීන්-ටʼ ඉ" Hඋඅ - යෙන්"ඡෙන් - යෙන්" පුරෙ - ලන්ඩ්" ඡ්ʼඅන්" 

එසේම මධ්‍යමක සහ යෝගාචාර දර්ශන ආශ්‍රයෙන් ගොඩනැගුණු : සුන් - ලුන්" ඡ්ʼඑන්ග්" වේ – ශින් ලුන්" Fඅ - හ්සිඅන්ග්" යන ගුරුකුලද බිහිවී ඇත.  මේ අනුව පැහැදිලි වනුයේ වර්තමානයේ අප හඳුන්වනු ලබන මෙම මහායාන සම්ප්‍රධාය වු කලි මධ්‍යමක හා යෝගාචාර සම්ප්‍රධායන් චීනයට ගෙනගිය පසු එකී ඉභාරතීය ගුරුකුල ක්‍රමයෙන් පිරිහී ගොස් ඒවායේ බලපෑමද සහිතව විකාශනය වූ මෙම නව මහායාන බෞද්ධ සම්ප්‍රධායන් ඇති වූ බවයි.

  

        විශේෂයෙන්ම බෞද්ධ දර්ශනය තුළ නව ආකල්ප පිළිගැනීම් සංකල්ප මුල්කොට ගනිමින් ගොඩනැංවුණු නවමු සම්ප්‍රධාය වූ මෙම මහායාන සම්ප්‍රධාය කවදා කෙසේ ප්‍රභවය වූයේද යන්න නිශ්චිතව දැක්විය නොහැකිය. එසේ වුවද ඒ සඳහා මතවාද සහ සාධක විවිධාකාරයෙන් දක්නට ලැබෙයි. සංඝ සමාජය තුළ බුදුන් වහන්සේගේ දර්ශනය මූලික කොටගනිමින් ඉදිරිපත් වූ මෙම මහායානය වැනි සුවිශේෂි ආගමික සම්ප්‍රධායන් ආකස්මිකව ඉදිරිපත් වූ අදහස් සමුදායක් චින්තනයක් නොවේ. බුදු දහම තුළ ඉගැන්වෙන ආකාරයට අනුව සියල්ලටම හේතුවක් ඇත්තාක් මෙන් සියලු දේ ප්‍රතීත්‍යසමුප්පන්නව සිදුවේ. ඒ අනුව මෙම දර්ශන සම්ප්‍රධායන් බිහිවීමෙහිලාද ඓතිහාසික දාර්ශනික ආගමික දේශලානික සාමාජික ආදි බලපෑම් සිදුවි ඇති අතර මහායානයේ ප්‍රභවය අවබෝධ කරගැනීම උදෙසා එම හේතුසාධකයන්ද විමසීම වැදගත්වේ.


  ඒකීයව පැවති සංඝ සමාජය ඓතිහාසික වශයෙන් බෙදීයෑම සිදුවනුයේ දෙවන සංඝායනාවෙන් පසු අවධියේදීය. මෙම නිකාය භේදයට මූලික වූ මූලබීජයන් බුදුන් වහන්සේ ධරමාන අවධියේ සිටම පැවති නමුදු වෙන් වෙන් වශයෙන් නිකායන් ඇතිවෙනුයේ දෙවන සංඝායනාවෙන් පසුවයි. එය අටලොස් නිකායක් වශයෙන් බෙදීයනුයේ මෙම දෙවන සංඝායනාවෙන් පසුවයි. ඒ අනුව මෙම දෙවන සංඝායනාව සඳහා මූලික හේතුව ලෙස දක්වනුයේ වජ්ජි භික්ෂූන් විසින් ඉදිරිපත්කළ දසවස්තුව විනය විරෝධි බවට තීරණය කිරීමට අවශ්‍ය වීමයි. මෙහි දී අධර්මය හා අවිනය බලවත් වීමට පෙර සංගායනාවක් කොට මූලික බුද්ධ දේශනාව එපරිදිම සුරක්ෂිත කිරීමේ අදහස ස්ථවිර භික්ෂූන් තුළ වූ බව පෙනෙයි. ඒ අනුව මෙම කරුණු දහය ධර්මයට, විනයට අනුව බැහැර කරන ලදි- එසේ ම ශාස්තෘන් වහන්සේගේ අනුශාසනා සළකා බැලීමෙන් පසු මෙම කරුණු සංගායනාව මගින් සංසිදුවන ලදි- එහිදි වජ්ජි භික්ෂුන් එම සංඝායනාව පිළිනොගෙන කාශ්මීර ප්‍රදේශයේ වෙනම සංඝායනාවක් සිදුකොට මහා සාංඝික නමින් නිකායක් පිහිටුවා ගත් බව පොදු පිළිගැනීමයි. එසේ වුවද මහා සාංඝිකයන් වූයේද මෙම වජ්ජි භික්ෂූන්ම බව පිළිගැනීමට උගතුන් මැළිකමක් දක්වන බව පෙනේ. එයට හේතුව වනුයේ මහාසාංඝිකයන්ගේ විනය තුළින්ද මෙම දසවස්තුව ප්‍රතික්ෂේප වී ඇති බව නිසාවෙනි. එසේම මෙම පළමු නිකාය භේදය සඳහා හේතුව ලෙස උගතුන් දක්වනුයේ මහාදේව නමැති භික්ෂුව රහතන් වහන්සේ පිළිබඳව දක්වන ලද මතයයි. 


 රහතන් වහන්සේ හට රාගය ඇත. (අතථි අරහතො රාගො)

 රහතන් වහන්සේ හට නොදැනීම ඇත. ( අතථි අරහතො අඤඤාණං)

 රහතන් වහන්සේට සැකය ඇත. ( අතථි අරහතො කංඛා)

 රහතන් වහන්සේ හට අන්‍යයෙකුගේ උපදෙස් අවශ්‍යවෙයි. ( අතථි අරහතො පරවිතාරණා)

 ‘අහෝ දුකකි’ වැනි ප්‍රකාශයක් කිරිම තුළින් ධර්මාවබෝධය සිදුවිය හැකිය. 

       ඒ අනුව ඒ ඒ නිකායන්ද මෙම මහා සාංඝිකයන්ගේ ප්‍රභවය පිළිබඳව දක්වන හේතු සාධක විවිධාකාරවෙයි. කෙසේ වුවද සාසන ඉතිහාසයේ පළමු නිකායභේදය ලෙස ස8ිදුවු මෙම ථේරවාද මහා සාංඝික යන නිකායන් දෙක හරහා අනෙකුත් අටළොස් නිකායම ප්‍රභවය වූ බව හඳුනාගත හැකිය. ඒ අනුව පසු කාලීනව සංඝ සමාජයේ ඉදිරිපත් වූ ඒ ඒ නව දාර්ශනික සම්ප්‍රධායන් මෙම ථේරවාද හෝ මහා සාංඝික කවර හෝ සම්ප්‍රධායක් හරහා ප්‍රභවය වූ දාර්ශනික සම්ප්‍රධායක් බව පැහැදිළි කරුණකි.


     මහායානයේ මූලාරම්භය සොයන පිරිස් ඉදිරිපත් කරන්නා වු තවත් මතයක් වනුයේ මෙම මහායාන සම්ප්‍රධාය නිසැකවම මහා සාංඝික නිකායෙන් ප්‍රභවයට පත් වූ බවයි. එහෙත් ඇතැම් මහා සාංඝික අදහස් හා ප්‍රවණතා වැඩි අවධානයකින් යුක්තව මහායාන ග්‍රන්ථ වලින් ඉදිරිපත් කෙරෙතත් මහායාන බුදු දහම මහා සාංඝික නිකායේ විකාශනයක් සේ පිළිගැනීමට තරම් හේතුසාධක නොමැති බව ඇතැම් උගතුන්ගේ මතයයි. එයට හේතුව ලෙස ඔවුන් දක්වනුයේ මහායානය බිහිවීමෙන් පසුද මහාසාංඝික නිකාය ස්වාධීනව පැවති බවයි. ඒ අනුව මහායානය වු කලි මහා සාංඝික නිකායේ පරිවර්ථන ස්වරූපයක් නොවන බව ඔවුන් පෙන්වාදෙයි.

    එසේම මෙම මහායානයේ ප්‍රභවය පිළිබඳව ඉදිරිපත්ව ඇති තවත් මතවාදයක් වනුයේ මහාසාංඝික නිකායෙන් බෙදි ගිය සම්ප්‍රධායක් වූ චේතියවාදීන් ධාතු වන්දනාව ආදි පූජාවන්ට රුචිකත්වය දැක්වූ හෙයින් ඔවුන් මෙම මහායාන සම්ප්‍රධාය ගොඩනැගු බවයි.එහෙත් එම මතය සඳහා සාධක දක්නට නොමැත. එසේම ලෝකෝත්තරවාදීන් බුදුන් වහන්සේගේ බුද්ධ චරිතයත් ඒ හා සම්බන්ධ සිදුවීම් ඓෂ්චර්යමත් ස්වරූපයෙන් දැක්වීමට රුචිකල බව ද ඒ අනුව මෙම මහායාන සම්ප්‍රධාය සංවර්ධනය වී ඇති බවද එක් මතයකි. එහිදි ඔවුන් දක්වන ලද්දේ බුදුරඳුන් යනු මේ ලෝකය හා සම්බන්ධ නැති ලෝකෝත්තර පුද්ගලයෙකු වූ බවයි. ලෝකෝත්තරවාදීන්ගේ විනය කෘතියක් වු මහාවස්තුවේ ඒ පිළිබඳව දැක්වෙනුයේ මෙසේය.


“බුදුරඳුන්ගේ චර්යාව ලෝකෝත්තරය, උන්වහන්සේගේ ගුණ ලෝකෝත්තරය. උන්වහන්සේගේ ඇවිදීම, සිටීම, හිඳීම හා සැතපීම යන සියලු ඉරියව් ලෝකෝත්තරය. බුදුරඳුන් දිය නෑවද උන්වහන්සේගේ ශරීරයේ කිසි දූවිල්ලක් නැත. එසේ කරණුයේ ලෝක සම්මතයට අනුගත වීම සඳහාය.උන්වහන්සේලාගේ ශරීර ස්වර්ණමය.බුදුරජාණන් වහන්සේලාට කර්මය ඉක්මවා යා හැකි වුවද උන්වහන්සේලා කර්මානුගත වන බවක් පෙන්වති.එසේ කරණුයේ ලෝක සම්මතයට අනුගතවීම සඳහාය.” 


       මෙවැනි ලෝකෝත්තරවාදීන්ගේ අදහස්වල බලපෑම් මජ්ඣිම නිකායේ අච්ඡරිය අබ්භූතධම්ම, දීඝ නිකායේ මහා පධාන ආදි සූත්‍රවල දක්නට ලැබෙයි. එසේම ලලිතවිස්තරය වැනි මහායාන සූත්‍ර වලද එම ලක්ෂණ දක්නට ඇති බව පෙනේ. එහිදි බුද්ධාභිවාදනය බුද්ධාපධාන ගොඩනැගීම චෛත්‍ය වන්දනාව බුද්ධ සංකල්ප දියුණු කිරීම ආදි ජනප්‍රිය ලක්ෂණ ථේරවාද මෙන්ම මහා සාංඝික නිකායන් ආශ්‍රයෙන් බිහි වූ සම්ප්‍රධායන් තුළ දක්නට ලැබෙයි. ඒ අනුව මහායානයේ ප්‍රභවය උදෙසා එකී සාධක ද බලපෑමක් සිදුකොට ඇති බව පෙනේ. 


     එසේම මෙම මහායාන සම්ප්‍රධායෙහි ආරම්භය සම්බන්ධයෙන් වජ්‍රයාන සම්ප්‍රධාය විසින් දක්නව සාම්ප්‍රධායික මතවාදය තාරානාථ නම් බෞද්ධාචාර්යවරයාගේ කෘති තුළින් දැකගත හැකිය. ඒ අනුව, “මහායානය බුදුරඳුන් දේශනා කරන ලදුව ඒවායෙහි අන්තර්ගතය වටහාගැනීමට ශක්තිය ඇති පුද්ගලයින් ලොව බිහිවන තුරු නාග ලෝකයෙහි තැන්පත්ව තිබී ඇත. එසේ තැන්පත්ව තබූ කෘති නාගර්ජුනපාදයන් විසින් මනුෂ්‍ය ලෝකයට ගෙන එන ලද බව සඳහන්වේ.” 


       මෙම මතය පිළිබඳව විමසීමේදි එය ථේරවාදීන් අභිධර්මය බුද්ධභාෂිතයක් බව දැක්වීම සඳහා ඉදිරිපත් කල පුරාවෘතයට සමානව වජ්‍රයානය තුළද මෙම මහායානයේ ප්‍රභවය දැක්විම සඳහා පුරාවෘතයක් ගොඩනංවා ඇති බව පෙනේ. මෙම මතය නූනත උගතුන් විසින් බැහැරලන අතර එසේම එය බුදුන් වහන්සේගේ ධර්මය දෙසිම පිළිබඳව වූ ශ්‍රේෂ්ට සංජානන ශක්‍යතාව හින කරලීමක් ලෙසින්ද පෙන්වාදෙයි. එසේම මෙම මහායානයේ ප්‍රභවය පිළිබඳව වඩාත් සාධනීය මතවාදයක් අකිරා හිරකාවා නම් ජපන් ජාතික බෞද්ධ ඉතිහාසඥයෙකු විසින් ඉදිරිපත්කොට ඇත. 


නිකාය බුදුසමය

   මහායානික ලෙස සලකනු ලබන බොහෝ අදහස් හා විශ්වාස ආරම්භව වැඩි දියුණු වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් සියවසකට පමණ පසු ඇතිවන්නට පටන්ගත් විවිධ නිකාය තුළය.


බුද්ධ චරිතය

     බුද්ධ චරිතය පිළිබඳව ලියවුණු ග්‍රන්ථ සමූහය තුළින් ක්‍රමයෙන් උන්වහන්සේ ලෝකෝත්තර පුද්ගලයෙකු බවට පත් කරනු ලැබීය. මෙසේ බුදුරඳුන් වටා ගොඩනැගුණු අතිවිශාල සාහිත්‍ය මහායානය ඇති වීම සඳහා පාදක වූ බව හිරකාවා සඳහන් කරයි.

චෛත්‍ය වන්දනාව

   චෛත්‍ය වන්දනාවත් ධාතු වන්දනාවත් එකිනෙක සම්බන්ධය. සූත්‍ර සාහිත්‍යයේ දැක්වෙන ආකාරයට බුදුන් වහන්සේගේ පිරිණිවීමෙන් පසු ධාතු බෙදීමේදි ඒඒ රජවරුන් එම ධාතුන් තැන්පත්කොට චෛත්‍යන් ගොඩනැගු බවත් එසේම පසුකාලීනව අශෝක ආදීන් චෛත්‍යන් විශාල වශයෙන් ඉඳිකිරීමත් සමගම මෙම චෛත්‍ය වන්දනාව ජනප්‍රිය වූ බවත් එහිලා මෙම චෛත්‍ය වන්දනාවේ නිරතව සිටීයන් ගිහියන් බවත් හිරකාවා සඳහන් කරයි.


        මෙහිදි ධාතු වන්දනාව පිළිබඳවත් එහි ගිහි සහභාගීත්වය පිළිබඳවත් එතියන් ලමෝත් ද කරුණු දක්වා ඇති බව පෙනේ. ඔහුට අනුව මහා සාංඝික යනුවෙන් භික්ෂූන් මෙන්ම ගිහි උපාසක හා උපාසිකා පිරිස්ද ගැනෙන්නට ඇතැයි සිතති. විශේෂයෙන්ම මහායානයේ ආරම්භය හා සම්බන්ධව එහිලා ගිහි සහභාගිත්වය පිළිබඳව විමසීමේදි මහායානය තුළ වඩාත් ජනප්‍රිය වූ බෝධිසත්ව සංකල්පය වැදගත්වේ. බුදුන් වහන්සේ පරිපූර්ණ ලෝකෝත්තර පුද්ගලයෙකු බවට පත්කිරරීම හ ාරහතන් වහන්සේගේ උත්තරීතර ත්තවය පහත හෙලීම තුළ බෝධිසත්ව සංකල්පය බලවත් කිරීමට යත්න දරා ඇති බව පෙනේ.


          විශේෂයෙන්ම මෙම මහායාන සම්ප්‍රධාය තුළ එන සංකල්පයන් වූ බෝධිසත්ව චරිතය ඉස්මතු කරලීම හා රහතුන් වහන්සේගේ චරිතය පහත හෙලීම පිළිබඳව විමසීමේදි එම ප්‍රයත්නය හුදෙක් මෙම මහායාන සම්ප්‍රධාය තුළ පමණක් දක්නට ලැබෙන්නක් බව කිවි නොහැක. මහායානයට පෙර සාසනයේ ඇතිවූ බොහෝ දාර්ශනික සම්ප්‍රධායන් තුළද මෙම රහත් බව පහත හෙළිමේ අපේක්ෂාවක් අවශ්‍යතාවයක් පැවති බව එම ඉගැන්වීම් පිළිබඳව විමසීමෙන් හඳුනාගත හැකිය.


මහා සාංඝික : රහත් බව පිරිහි යා හැකිය. අවිද්‍යාව හා විචිකිච්ඡාව තිබියදි රහත් විය හැකිය.

වච්ඡිපුත්තක : රහත් බව පිරිහි යහා හැකි බව.


සබ්බත්ථිවාද : රහත් බව පිරිහි යහා හැකි බව. 


සම්මිතීය : ක්ලේශයන් වරින් වර දුරුකළ හැකි බව. පූර්ව කර්මබලයෙන් රහත් තත්වය පිරිහි යා හැකි බව.


පුබ්බසෙලිය : රහතුන්ට ශුක්‍රමෝචනය සිදුවන බව. රහතුන්ට නොදැනීම ඇති බව. සෝවාන් සහ සෙදගැමි වූවන් අතින් පරපණ නැසෙන බව. පූර්ව කර්මයන් හේතුවෙන් රහත් බව පිරිහි යා හැකි බව.


රාජගිරික : රහතුන්ට අකල් මරණ නොමැති බව. සියල්ල පූර්ව කර්මයෙන් සිදුවන බව. 


       එසේම මෙම ප්‍රයත්නයම මහායාන සම්ප්‍රධාය තුළද දක්නට ලැබෙන අවස්ථාවක් ලෙස විමලකීර්ති නිර්දේශ සූත්‍රය දැක්විය හැකිය. එහි දැක්වෙන ආකාරයට විමලකීර්ති යනු ගිහි බෝධි සත්වයෙකි. ඔහු සැරියුත් කාශ්‍යප ආදි වියත් මහරහතුන්ගේ ඥාණයට වඩා ප්‍රබල ඥාණයකින් යුතු වු අතර ධර්ම සාකච්ඡා වලදි එම රහතුන් පරාජය කල බව දක්වයි. එහිදි රහතන් වහන්සේලා උපහාසයට ලක්කොට ඇති ආකාරය පෙනේ. මේ අනුව මෙම මහායාන සම්ප්‍රධාය තුළින් ඉදිරිපත් වූ දාර්ශනික සංකල්ප කාලීනව පෝෂණය වෙමින් අනෙකුත් බෞද්ධ සම්ප්‍රධායවාදින් විසින්ද ගොඩනංවමින් ආ මතවාදයන්ගේ නව මුහුණුවරක් බව හඳුනාගත හැකිය.


      මේ අනුව චෛත්‍ය වන්දනාව ධාතු වන්දනාව ආදි ජනප්‍රිය චාරිත්‍ර ඉදිරිපත් කරමින් මෙම මහායාන සම්ප්‍රධාය ගිහියන් අතින් ප්‍රභවය වූ බවට ඇතමුන් දැක්වූ මතය ප්‍රතික්ෂේප වෙන බව දැකිය හැකිය. මෙම මහායාන සූත්‍ර සාහිත්‍ය ද ගිහි කාර්යක් නොවු අතර එසේම මහායාන සම්ප්‍රධාය ප්‍රභවය සඳහා බලපෑ ඓතිහාසික මූලබීජයන් ද ගිහියන් සම්බන්ද වුවක් නොවන බව පැහැදිලි වෙයි.

     “මහායාන සම්ප්‍රධායේ ඓතිහාසික ප්‍රභවය හා විකාශනය පිළිබඳව විමසීමේදි මුලික බෞද්ධ සම්ප්‍රධායෙහි වූ වාචික හා ශ්‍රව්‍ය අවස්ථාවෙන් ලිඛිත හා දෘශ්‍ය අවස්ථාවට පත්වීම මහායාන සම්ප්‍රධායේ සුවිශේෂි ලක්ෂණයක් බව ඇතැම් උගතුන් පෙන්වාදෙයි. ආදි බෞද්ධ සූත්‍ර දේශනා වල දක්නට ලැබුණු හුදු වාචසික විලාසය වෙනුවට බුදුරඳුන් තම සෘද්ධි බලයෙන් දෘෂ්‍යමය මැවීම් කළ බවත් ධර්මදේශනාවේම කොටසක් වූ මේවා දැකගත හැක්කේ දියුණු කල මනසක් සහිත බෝධි සත්වයන්ට පමනක් බවත් මහායාන සාහිත්‍ය තුළ දක්නට ලැබෙයි.” 

මෙම මතය තහවුරු කිරිම උදෙසා මහායානිකයන් ගණ්ඩව්‍යුහ වැනි සූත්‍ර නිදසුන් ලෙස ඉදිරිපත්කොට ඇති බව පෙනේ. කෙසේ වුවද මෙම මතය කිසියම් ආගමික සම්ප්‍රධායක සම්භවය පිළිබඳව නිශ්චිත සාධකයක් ලෙස දැක්විය නොහැකි බව උගතුන් ප්‍රකාශ කරයි. එසේම එමඟින්ද සිදුවනුයේ බුදුරඳුන්ගේ සුවිසල් ශක්‍යතාවය සීමා කිරිමටත් බෝධිසත්වයන්ගේ චරිතය වර්ණනා කිරිමටත් යත්න දරා ඇති බවයි.


       විශේෂයෙන්ම මෙම මහායාන සම්ප්‍රධායේ ප්‍රභවය පිළිබඳව විමසීමේදි ඒ සඳහා වැදගත් වන්නා වූ ප්‍රධාන සාධකයක් වශයෙන් මහායානය බිහිවූයේ කුමක් හෙයින්ද, එහි මූලීක අවශ්‍යතාවය, සන්දර්භය පිළිබඳව විමසීම වැදගත්වේ. ඒ අනුව මහායානය වූ කලි දෙවන ධර්ම සංඝායනාවෙන් පසු සාසනය තුළ ඇතිවු අටලොස් නිකාය මෙන් ප්‍රභවය වූ සාම්ප්‍රධායික ගුරුකුලයක් නොවේ.සෙසු සාම්ප්‍රධායික සර්වාස්ථිවාද, සෞත්‍රාන්තික වැනි ගුරුකුලවලින් සිදු කරණුයේ බුදුසමයේ මූලික ඉගැන්වීම් සඳහා අර්ථකතන නව නිර්දේශ එකතු කිරීමත්ය.එහෙත් මහායානය විකාශනය වනුයේ බුද්ධ දේශනාව ලෙසින්මය. එමඟින් නව නිෂ්ඨාවක් ලෙස බුද්ධත්වයත් එසේම නව චරණය ලෙසින් බෝධිසත්ව චරණයත් ඉදිරිපත්වී ඇත. එසේම මහායානය තුළ බුද්ධ චරිත විස්තර ආදි වර්ණනාවන් මෙන්ම පාරභෞතික අදහස් මෙන්ම ගූඪ අදහස් සහිත ඉගැන්වීම්ද දක්නට ඇත. එසේම මෙම මහායාන සම්ප්‍රධාය තත්කාලීන සමාජ ප්‍රවණතාවක් මුල්කොටගෙන ගොඩනැගුනක් බව විද්වතුන්ගේ අදහසයි. ඒ සාධක ලෙසින් ඉදිරිපත්කොට ඇත්තේ මහායානයේ ඉගැන්වීම් ජනකාන්ත ලක්ෂණයන්ගෙන් යුක්තවීමයි. එසේම මෙම මහායාන සම්ප්‍රධාය ගිහියන් සමග පොදු සමාජය සමග වඩාත් සමීප වෙමින් ඇති වූ සම්ප්‍රධායක් බව මෙම මහායාන ඉගැන්වීම් ආශ්‍රයෙන් කරුණු ඉදිරිපත් කල උගතුන්ගේ අදහසවී ඇත. 


“මහායානයේ සියලු ප්‍රමුඛ ඉගැන්වීම් අනුව මහායානිකයා තමා ගැන සිතනවාට වඩා අනුන් ගැන අනුන්ගේ විමුක්තිය ගැන සිතන්නෙකි. ඒ අනුවම ක්‍රියාකරන්නෙකි. එය ඔවුන්ගේ ව්‍රතයකි. ඔහු හීනයානිකයා හෙවත් ශ්‍රාවක යානිකයා මෙන් තමාගැන වැඩිපුර සිතා තමාගේ මුක්තිය සලකාගෙන එයින් තෘප්තිය ලබන්නෙක් නොවේ. මේ නිසා ඔහු හිනයානිකයා මෙන් රහත් බව හෝ මධ්‍යම යානිකයා මෙන් පසේබුදු බව හෝ නොපතයි. මහායානිකයා පතන්නේ බුදු බවමය.”  එසේම මෙම මහායානයේ පරමාර්ථ වශයෙන් එම සූත්‍ර තුළ ඉගැන්වෙන කරුණු කිහිපයක්ද වෙයි. 


 සියල්ලන් සසර දුකින් මුදවාලීම

 සියලු කෙලෙස් නැති කිරීම

 පාරමිතා පිරීම හෙවත් පරාර්ථ සේවනයේ යෙදිම

 සත්‍ය අවබෝධ කොටගෙන එය ලෝකයාට කියාදීම

 සියල්ලන් බුද්ධත්වයට පැමිණවීම සඳහා ක්‍රියාකිරීම 

       ඒ අනුව රහත්වීම තුළ තමා පමණක් දුකෙන් මිදීම සිදුවන හෙයින් මහායානිකයින් එම තත්වය පහත් සේ සලකා ඇති බව පෙනේ. ඒ අනුව ඔවුන්ට අවශ්‍ය වූයේ සදාචාරවත් සමාජයක් සහ සියල්ලන් සසරින් මුදවීමේ ක්‍රමවේදයකි. මෙය තත්කාලීන සමාජ අවශ්‍යතාවයක් වු බව පෙනේ. එබැවින් එම සමාජ අවශ්‍යතාවයට අනුව සමාජ අවම සබඳතා ඇති රහතන් වහන්සේ වෙනුවට සමාජය හා නිරතුරු සබඳතා ඇති බෝධිසත්වයෙකු ඔවුන් විසින් ඉදිරිපත් කළ බව පෙනේ. බෝධිසත්වයන් පුද්ගලයා සසරින් එතර කරවන තෙක් ඔහු සසරින් එතෙර නොවේ. ඔහු ජනතාවට වඩාත් සමීප චරිතයකි. කාමභෝගි ගිහියෙකි. එසේම මෙම මහායාන සම්ප්‍රධාය සාමජයත් සමග වඩාත් සම්බන්ධ වූ අවස්ථාවක් වශයෙන් මහායානය තුළ දක්නට ලැබෙන ගූඪ ඉගැන්වීම් ආදිය දැක්විය හැකිය. තත්කාලීනව භාරතීය සමාජයේ මිනිසුන් තුළ පැවති යක්ෂ ප්‍රේත ආදි බියජනක දේ සහ යන්ත්‍ර මන්ත්‍ර ආදියට දක්වන ලද කැමැත්ත ගරුත්වය හේතුකොටගනිමින් මෙම මහායාන සම්ප්‍රධාය තත්කාලීනව සමාජය තුළ වඩාත් සීඝ්‍රයෙන් වර්ධනය වූ අයුරු දැකිය හැකිය. ඒ අනුව මෙම මහායාන සම්ප්‍රධාය තත්කාලීන සමාජ අවශ්‍යතාවයන් හඳුනාගනිමින් ඒවා මුල්කොට ගනිමින් සංවර්ධනය වූ අතර එබැවින්ම මෙම මහායානයේ අදහස් සමාජය තුළ වර්ධනය වූ බව හඳුනාගත හැකිය.


“දෙවන සංගායනාවෙන් පසු රහස් බණ ලෙස සළකන ලද මහායාන අදහස් පශ්චාත්කාලීනයන් විසින් විවිධ අරුත් බහා විකාශනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තන්ත්‍ර විධි බිහි වී ආයේය. අනතුරුව ක්‍රි.ව. 6, 7 වැනි සියවස්වලදී තාන්ත්‍රිකයන් විසින් මහායානයේ මූලික සිද්ධාන්තයන් හා තන්ත්‍ර විධි ජන ජීවිතයේ ප්‍රමුඛ අංගයන් බවට පත් කරන ලදි. මේ නිසා වජ්‍රයානය ප්‍රමුඛ කොට ගත් යාන විධි රාශියක් බිහි වී ආයේය. තාන්ත්‍රිකයන් විසින් මහායානික සිද්ධාන්තයන්හි ගුප්තාර්ථයන්ට පෘථුලාර්ථ කැවූහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් භක්ති මාර්ගය දියුණු වූ අතර තාන්ත්‍රිකයින් විසින් මූලික අරමුණ ඉක්මවා යමින් පූජා විධීන්ට මුල් තැන ලබා දුනි. අභිමතාර්ථය මුදුන්පත් වනුයේ කාමසේවනය, සුරාව, මතස්‍ය මාංශානුභවය, හා අක්‍ෂර නොවරද්දා කියන මන්ත්‍ර මඟිනි, යන අදහස මන්ත්‍රයානිකයන් තුළින් බිහි විය. අනවින, කොඩිවින, හදිහූනියම්, වශීකරන අඤ්ජනම්, පේනකීම්, අමනුෂ්‍යයන් කැඳවීම්, පොරොන්දම් වැනි බුදුන් එපා කොට වදාළ නීති මහායානය තුළට රිංගුවේ ඒ තාන්ත්‍රික ඉගැන්වීම්වල බලපෑම නිසායි.”  


       එසේම මෙම මහායාන සම්ප්‍රධාය ඇතිවීම සඳහා හේතුවක් ලෙස ථේරවාදීන් විසින් ඉදිරිපත් කරනුයේ විනය කරුණු පිළිබඳ අදහසකි. එහෙත් මහායාන සම්ප්‍රධාය ඇතිවු භාරතයේ හෝ එය පසුව වෙනම සම්ප්‍රධායක් ලෙස විකාශනය වූ චීනයේ හෝ මහායාන සම්ප්‍රධායට අයත් විනය  පිටකයක් හෝ ත්‍රිපිටකයක් නොමැත. උගතුන් දක්වන ආකාරයට මහායානිකයින් විසින් පිළිපදින ලද්දේ ධර්මගුප්තික හෝ මූල සර්වාස්ථිවාද විනය බවයි. මීට අමතරව මෙම මහායාන සම්ප්‍රධාය ප්‍රභයව වීම සඳහා සමාජ දේශපාලන දාර්ශනික ආදි පසුබිම් මතවාද මෙන්ම මනෝවිද්‍යාත්මක හේතුසාධකයන්ද බලපෑ බව උගතුන් දක්වයි. එයට සාධක ලෙස උගතුන් දක්වනුයේ තත්කාලීනව සමාජ තුළ රහතන් වහන්සේට තිබු ප්‍රබලත්වයයි. ප්‍රථම සංගීතියේ සිට සංඝ සංස්ථාව තුළ රහතන් වහන්සේට ප්‍රධානත්වයක් හිමිවීමත්  ජේ්‍යෂ්ට රහතන් වහන්සේලා ධර්මය හා විනය ගුරු කොට ගනිමින් කටයුතු කිරිමත් හේතුවෙන් රහත්බව නොලැබු භික්ෂූ පිරිසට එතරම් පිළිගැනීමක් එම සමාජය තුළ නොවු බව පෙනේ. එම හේතු සාධකයන් පදනම් වෙමින් මෙම මහායානය නමින් නව සම්ප්‍රධායක් ඇතිවීම සඳහා ඉඩ සැලසුනු බව පෙනේ. ඒ අනුව රහතන් වහන්සෙලා හට සමාජයේ පැවති ප්‍රබලත්වයට නොකැමති වූ පිරිස් හරහා මෙම නව දාර්ශනික සම්ප්‍රධාය ගොඩනැංවුණු බව ඇතැම් උගතුන්ගේ මතයයි.


       මේ අනුව සංඝ සමාජය තුළ ඇති වූ මෙම නවමු දාර්ශනික සම්ප්‍රධාය පිළිබඳව විමසීමේදි එහි ප්‍රභවය හා කාල වකවානුව පිළිබඳවත් නිශ්චිත තොරතුරු සාධක දක්නට නොමැති වුවද සාසනික වශයෙන් අනෙකුත් දාර්ශනික සම්ප්‍රධායන් තුළින් සහ උගතුන් දක්වන විවිධ මතවාදත් පිළිබඳවත් එසේම මෙම මහායාන දර්ශනය තුළ මූලික වශයෙන් අවධානය යොමුකොට ඇති දාර්ශනික පැතිකඩ පිළිබඳවත් විමසීම තුළින් මෙම මහායාන සම්ප්‍රධාය ඓතිහාසික වශයෙන් ප්‍රභවය වීම සඳහා බලපාන ලද ආගමික සාමාජික දාර්ශනික පසුබිමත් එය වෙනම බෞද්ධ දාර්ශනික සම්ප්‍රධායක් වශයෙන් සම්භවය වී මපිළිබඳවත් තොරතුරු අනාවරණය කොටගත හැකි බව මෙම කරුණු තුළින් ස්ඵුටවේ. 


    “එසේම මෙම මහායාන සම්ප්‍රධාය වු කලි හුදු දාර්ශනික සම්ප්‍රධායක් පමණක්ම නොව ආගමික විශ්වාස පුදපූජා ප්‍රතිපදාවන්ද සහිත පූර්ණ ආගමික සම්ප්‍රධායක් බවයි. එතුළ යෝගාචාර මාධ්‍යමක වැනි දාර්ශනික අංශයන්ද එසේම පුදපූජා ප්‍රතිපදා හා විශ්වාස වැනි දෙයින් සමන්විත ආගමික අංශයක්ද එසේම මූලික මහායාන අදහස් ක්‍රමයෙන් සංවර්ධනය වූ ආකාරය දැක්වෙන සූත්‍ර සාහිත්‍යක්ද මෙම සම්ප්‍රධාය බිහිකිරීම සඳහා දායක වූ ගිහි මෙන්ම පැවිදි අනුගාමිකයින් පිරිසක් සහිත සංවිධානයක් ද ආදි වශයෙන් හුදු දාර්ශනික අංශයකට වඩා පරිභාහිර වූවක් බව පෙනේ.”  එහෙත් මෙම මහායාන සම්ප්‍රධාය ඓතිහාසික වශයෙන් විකාශනය වීම තුළ එම එක් එක් අංග වෙන් වෙන්ව දැක්විය නොහැකි බව උගතුන්ගේ අදහසයි.


     මහායානය වු කලී සෙසු බෞද්ධ දාර්ශනික සම්ප්‍රධායන් තුළ ඉගැන්වුනු සත්වාදි ද්‍රව්‍යවාදි ඉගැන්වීම් වෙනුවට ඒවා විවේචනය කරමින් ශූන්‍යතා සය විඥප්තිමාත්‍ර ආදි දර්ශනයන් ඉදිරිපත් කල දර්ශනයක් ලෙස හඳුනාගත හැකිය. මෙම මහායාන සම්ප්‍රධායේ සූත්‍ර සාහිත්‍ය ආශ්‍රයෙන් විමසු විට මෙම සම්ප්‍රධාය ක්‍රි: ව පළමු සියවසේදි පමණ වනවිට ගොඩනැගුණු බවට දැකිය හැකිවුවද එම මහායාන සූත්‍ර සාහිත්‍ය එක්වරම බිහිවූවක්ද නොවේ. එය කාලීනව සකස් වූවකි. එසේම ථේරවාදීන්ට අනුව මෙම මහායාන සම්ප්‍රධාය පසුකාලීන නවෝත්පාදනයකි. එහෙත් විචාරකයන් මෙම ථේරවාද මතයත් එසේම මෙම මහායාන සූත්‍ර බුද්ධ දේශනාවක් වන බවට වූ මතයද පිළි ගැනීමට මැළිවෙන බව පෙනේ. එසේම මහායාන සූත්‍ර නාග ලෝකයේ සිට රැගෙන ආවක් ලෙසද නාගර්ජුන මෙහි කතෘ ලෙසද එය ආන්ද්‍රා ප්‍රදේශයේ බිහිවූවක්ය ආදි වශයෙන් මෙම මහායාන සූත්‍ර සාහිත්‍ය පිළිබඳව ඒකමතිකත්වයක් නොමැති වීම තුළ එහි ප්‍රභවය පිළිබඳව සූත්‍ර සාහිත්‍ය ඇසුරින් විමිසීමට ද අවස්ථාවක් නොලැබෙයි.


“ මහායානයේ ආරම්භය හුදෙක් බුදුරඳුන්ගේ ලෝකෝත්තරත්වය, බෝධිසත්ව සංකල්පය, ධාතු චෛත්‍ය වන්දනාව, හා ගිහි මූලිකත්වය වැනි කරුණු වලට ආරෝපණය කිරීම එතරම් සාර්ථක නොවනබව පෙනේ. එහෙත් මෙම සඳහන් කරන ලද සියලුම කරුණු එක්තරා ආකාරයකින් සංකලනය වීමෙන් මහායානය ප්‍රභවය වූ බව සිතිය හැකිය.” 


         මේ අනුව විමසීමේදි දාර්ශනික අංශයත් ආගමික අංශයත් සූත්‍ර සාහිත්‍යත් අනුගාමික සංවිධානයත් සහිත වූ මෙම මහායාන සම්ප්‍රධාය ආකස්මිකව ඇති වූ සම්ප්‍රධායක් නොවේ. එය දාර්ශනික සාමාජික දේශපාලනික ආගමික ආදි පුළුල් පසුබිමක් මත ඉදිරිපත් වූ අදහස් සමුදායකින් යුක්ත වූ සම්ප්‍රධායකි. එය හා සම්බන්ධ මනෝවිද්‍යාත්මක පදනමක්ද ඇති බව පෙනේ. ඒ අනුව මෙම මහායාන සම්ප්‍රධාය වු කලි ශ්‍රාවක යානිකයින් දක්වන පරිදි පසුකාලීන නවෝත්පාදනයක් නොවේ. එය දීර්ඝකාලීන සමාජ අවශ්‍යතාවයක් බව හඳුනාගත හැකිය. 


          බුදුන් වහන්සේ ධරමාන අවධියේ සිටම පැවති යම් යම් පුද්ගලාන්තර අදහස් පසුකාලීනව සංඝ සමාජයේ ඇති වූ නිකායභේදයට මූලබීජ වූ බව පැහැදිළි කරුණකි. ඒ අනුව එම නිකයභේදය සිදුවු දෙවන සංඝායනාව මෙම මහායාන සම්ප්‍රධාය ප්‍රභවය වීම සඳහා මූලික පදනමක් වූ බව පෙනේ. එසේම මෙම මහායාන සම්ප්‍රධාය තුළින් සමාජගත කරණුයේ ද ළාමක අදහසක් නොවේ. එය ශූන්‍යතාවාදි විඥප්තිමාත්‍රතා සිද්ධාන්තික වැනි දාර්ශනික වශයෙන් පොහොසත් අදහසකි. එසේම මෙම මහායාන සම්ප්‍රධායේ සමාජ අවශ්‍යතාත් ඒ සඳහා බලපෑ මනෝවිද්‍යාත්මක සාධකත් පිළිබඳව විමිසිම තුළින් පැහැදිළි වනුයේ මෙම මහායාන සම්ප්‍රධාය වු කලි හුදෙක් පසුකාලීන සංඝ සමාජයේ  සිදු වූ නවෝත්පාදනයක් නොව, බුද්ධකාලිනව සිට සමාජයෙ පැවති යම් යම් මතවාද මූලබීජ කොටගනිමින් එම මතවාදයන්ට පිළිතුරක් ලෙස ප්‍රභවය වූ සම්ප්‍රධායක් බවයි.


නිගමනය

         බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථය වූයේ සත්ත්වයා සංසාර දුකින් එතෙර කරවීමය. ඒ සඳහා වන ධර්මය ප්‍රගුණ කිරීමේ දී විදර්ශනා ධූරය හා ග්‍රන්ථ ධූරය ද ඉවහල් කරගත හැකි බව බුදුන් වහන්සේ දේශනා කළහ. මුල්කාලයේ බොහෝ සෙයින් විදර්ශනා ධූරය ප්‍රගුණ කළ ද පසුකාලීනව භික්ෂූන් විදර්ශනා ධූරයෙන් බැහැර වී ග්‍රන්ථ ධූරය වැඩීමට යොමුවූහ. තර්කය උපයෝගි කොට ගෙන ධර්ම කරුණු දාර්ශනිකව ඉදිරිපත් කිරිමට ඔවුන් පෙළඹීම සඳහා මුල් බුදුසමයෙන් ලැබී තිබූ නිදහස ද උපයෝගී කර ගත්හ. මේ අනුව කාලීනව බුද්ධ භාෂිත ධර්මය සම්බන්ධයෙන් සංඝ සමාජය තුළ විවිධ මතවාදයන් ඇතිවිය. එම මතවාදයන් පොදු සම්මුතීන් නොවුනු නිසාවෙන් විවිධ මතගැටුම් සසුන තුළ නිර්මාණය විය. නිකාය වශයෙන් සංඝ සමාජය තුළ බෙදීම් ඇතිවීම මෙසේ සිදුවිය.


       මෙසේ ඇති වූ නිකාය භේදය නිසාප්‍රධාන වශයෙන් ඇති වූ සම්ප්‍රධායන් වනුයේ මහායානය සහ ථේරවාදයයි. මෙම සම්ප්‍රධායන් හරහා බෞද්ධ දර්ශනය පිළිබඳතවත් සම්ප්‍රදායන් 04ක් බිහිවිය. වෛභාෂික, සෞත්‍රාන්තික, මාධ්‍යමික, යෝගාචාර වශයෙනි. එයින් වෛභාෂිකයෝ යැයි කියනු ලබන සර්වාස්තිවාදීහු බුද්ධ පරනිර්වාණයෙන් තෙවනි ශතවර්ෂයේ ද ඔවුන්ගේම ශාඛාවක් වන සෞත්‍රාන්තිකයෝ සිවුවන ශතවර්ෂයේ ද මාධ්‍යමිකයෝ බුද්ධ පරිනිර්වාණනේ පස්වන ශතවර්ෂයේ ද යෝගාචාර නමින් හඳුන්වනු ලබන විඤ්ඤාණවාදීහුද ශතවර්ෂ අටකට පමණ පසුව බිහි වූ බව සාසන ඉතිහාසය තුළින් පැහැදිළිව හඳුනාගත හැකිය. කෙසේ වුවද ඓතිහාසික වශයෙන් ඒ ඒ අවස්ථාවන්හි  මෙම මහායානය සහ ථේරවාදයත් බිහි වුව ද එය හුදෙක් පසුකාලීන සංඝ සමාජයේ සිදුවූ නව ප්‍රවනතාවයක් ම නොවේ. බුදුන් වහන්සේ ධරමාන අවධියේ සිටම ධර්මය සහ විනය මුල්කොට ගනිමින් සසුන තුළ විවිධ මතවාදයන් ඇති වූ ආකාරයත් එම මතගැටුම් බුදුන් වහන්සේට පවා සමථයකට පත් කිරිමට නොහැකි වූ ආකාරයත් දැකිය හැකිය. ඒ අනුව බුදුන් වහන්සේ ධරමාන අවධියේ සිටම පැවති යම යම් ධර්මය විනය මුල්කොටගත් මතගැටුම් මෙන් ම පසුකාලීනව සසුන තුළ ඇති වූ විවිධ මතගැටුම්ද පදනම්ව මෙම ථේරවාද මහායාන යන නිකාය භේදයන් සිදුවු ආකාරය මෙම නිබන්ධය තුළින් හඳුනාගත හැකිය. එසේම මෙම ථේරවාද මහායාන යන සම්ප්‍රධායන්ගේ ඓතිහාසික ප්‍රභවය හුදෙක් පසුකාලීන සමාජ ප්‍රවනතාවයක් නොවන බව මෙම නිබන්ධය තුළින් මැනවින් ස්ඵුටකොට ඇත. 


 මූලාශ්‍ර.


මහාවග්ගපාළි ඓඓ, කොසම්බක්ඛන්ධකය, බු:ජ:මු: දෙහිවල: නැදිමාල බෞද්ධ සංස්කෘතික මද්‍යස්ථානය. 2004.

දීඝනිකාය ඓඓ, මහාවග්ග, පරිනිබ්බාණ සූත්‍රය, බු.ජ.මු. දෙහිවල: නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 2004.


චුල්ලවග්ග පාළි, පඤ්චසතිකක්ඛන්ධකය, බු- ජ- මු. දෙහිවල: නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය 1960.


චුල්ලවග්ග පාළි, සත්තසතිකක්ඛන්ධකය, බු.ජ.මු. දෙහිවල: නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 2013.


ද්විතීයික මූලාශ්‍ර.


ධම්මජෝති හිමි, මැදවච්චියේ. මහායාන මූලීක සංකල්ප. මරදාන: විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය, 2011.


ධර්මසිරි, ගුණපාල.  බෞද්ධ සදාචාරයේ මූලධර්ම. දෙහිවල: නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 1988.


සාසානරතන හිමි, මොරටුවේ. ලක්දිව මහායාන අදහස්. මහරගම: විසිඳුනු ප්‍රකාශකයෝ, 1992.


නානායක්කාර, සනත්. මුල් බුදුසමයේ සිට වජ්‍රයානය දක්වා. දෙහිවල: නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය. 2002.


විජේබන්ඩාර, චන්දිම. බෞද්ධ අධ්‍යනය. මරදාන: සමයවර්ධන ප්‍රකාශකයෝ, 2007.


බුද්ධදත්ත හිමි, පොල්වත්තේ. ථේරවාද බෞද්ධ දර්ශනය. දෙහිවල: නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 2003.


අරියවිමල හිමි, කොස්වත්තේ. මරදාන: සමයවර්ධන ප්‍රකාශකයෝ, 2010.


බෞද්ධ හා පාලි අධ්‍යනය. සංස්. ගොඩගම මංගල හිමි. මාදිපොළ විමලජෝති හිමි. කොළඹ 10: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 2013.


රාහුල හිමි, අත්තුඩාවේ, මහානාම හිමි, බඹරැන්දේ. මහායානය. නුගේගොඩ: දීපානී ප්‍රකාශකයෝ 1970.


මේධානන්ද හිමි, දේවාලේගම. චතුර්විධ බෞද්ධ දර්ශන සම්ප්‍රධාය හැඳින්වීමක්. වරකාපොළ: ආරිය ප්‍රකාශකයෝ. 1988.


අභයවංශ, කපිල. බෞද්ධ අධයනය. කොළඹ 10: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 1999.


තෘතීයික මූලාශ්‍ර.


චරණ ශාස්ත්‍රීය සංග්‍රහය මංගල කලාපය, සංස්. මඩවලතැන්නේ පඤ්ඤාරතන හිමි ආදීහු, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය: සාමුහික භික්ෂු සංගමය. 2011.


බෞද්ධ හා පාලි අධ්‍යනය. සංස්. ගොඩගම මංගල හිමි. මාදිපොළ විමලජෝති හිමි. කොළඹ 10: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 2013.


ආචාර්යතුමා

Wednesday, 8 September 2021

කතුවැකිය



කතුවැකිය යනු, 

පුවත්පතේ කතෘවරයාගේ වාක්‍යයයි. කතෘවරයාගේ ප‍්‍රකාශනයයි. නමුත් කතුවරයා විසින් බලය පවරන ලද ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙක් හෝ මණ්ඩලයකින් ද කතුවැකිය රචනා කරනු ලැබේ. එසේම පුවත්පතක හෝ කාලීනය ප‍්‍රකාශයට පත් කරන මුද්‍රිත ප‍්‍රකාශයක කර්තෘවරයා හෝ කර්තෘ මණ්ඩලය විසින් කිසියම් මතයක් ඉදිරිපත් කිරීම සඳහා කතුවැකිය උපයෝගී කර ගන්නා බව කියවේ.


යම් අයුරකින් මුද්‍රණය කර ප‍්‍රකාශයට පත් කරන පුවත්පතක හෝ සඟරාවක ජ්‍යෙෂ්ඨ කර්තෘවරුන් විසින් සිය මතය දක්වන කොටස කතුවැකිය වශයෙන් හැඳින්වේ. 

                                                                          (විකිපීඩියා විශ්වකෝශය)

                        කර්තෘ මණ්ඩලය සිය මතය දැක්වීමේ දී පුවත්පතක හෝ සඟරාව ප‍්‍රකාශයට පත් කරන  වාරයක් පාසා කාලානුරූපව කතුවැකිය භාවිතයට ගන්නා බව විකිපීඩියා විශ්වකෝෂයේ වැඩි දුරටත් සඳහන් වේ. කාලීන ප‍්‍රස්තුතයක් සම්බන්ධව කර්තෘ මණ්ඩලයේ මතවාදය දැක්වීමට පළ කරන ලියවිල්ලක් වශයෙන් ඔක්ස්ෆර්ඞ් ශබ්ද කෝෂය කතුවැකිය හඳුන්වයි. ප‍්‍රකාශයට පත් වන පුවත්පතක පළවන කාලීන තොරතුරු පිළිබඳ ප‍්‍රධාන කර්තෘවරයාගේ දැක්ම ඉදිරිපත් කෙරෙන ලියවිල්ලක් වශයෙන් ද කතුවැකිය හැඳින්වීමට පිළිවන. 



පුවත්පත් කලාවේ ආරම්භයේ පටන් සම්මතව පැවත එන සාම්ප‍්‍රදායික ලේඛන විශේෂයක් වශයෙන් කතුවැකිය හැඳින්විය හැකිය. කතුවැකිය පුවත්පතක හෝ සඟරාවක හෝ වෙනයම් වාර ප‍්‍රකාශනයක දී  කතුවරයෙකු විසින් ලියනු ලබන හෝ කතුවරයාගේ මතය නියෝජනය කරමින් ලියනු ලබන මත ප‍්‍රකාශනයකි. ජාතික පුවත්පතක ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය හෝ සමාජ දෘෂ්ටිය හෙලි කරන්නේ කතුවැකියෙනි. එය පුවත්පත ගමන් ගන්නා මාර්ගය මේ යැයි හෙලි කරනු ලබයි. 


👉 කතුවැකි භාෂාවේ නිර්මාණශිලී ලක්ෂණ:


පුවත්පත් භාෂාව විවිධාංගීකරණයට ලක් වූවකි. පුවත්පතේ ලේඛන ආකෘති සහ විෂය අන්තර්ගතයන්ට අනුව එහි භාෂා ලක්ෂණ වෙනස් වේ. ඒ අනුව පුවත්පතක දැකිය හැකි මූලිකාංග වෙන් වෙන් භාෂා ලක්ෂණ ප‍්‍රකට කරනු ලබයි. නිර්මාණශීලී ලේඛකයෝ සාම්ප‍්‍රදායික ලේඛන ආකෘතියේ නොසිට සූක්ෂ්ම ලෙස භාෂා රටා වෙනස් කරති. ඒ සඳහා ලේඛකයාට මනා ලෙස බස හැසිරවීමේ පරිචයක් හා සමාජ ඥානයක් අවශ්‍ය වේ. 


පුවත්පතක කතුවරයාගේ ප‍්‍රකාශනය වන කතුවැකියට සෙසු පුවත්පත් ලේඛන ආකෘතින්ට වඩා ඉහත කියමන අදාළ වේ. එනම් පුවත්පතෙහි අනන්‍යතාවෙහි, ගමන් මගෙහි කැඩපතක් බඳු කතුවැකිය නිර්මාණශිලි වූ දාර්ශනික ලේඛනයක් විය යුතුය. එහි දී කතුවැකියේ භාෂා භාවිතය සහ ආඛ්‍යානය සුවිශේෂී වේ. 

කතුවැකි භාෂාවේ නිර්මාණශීලි ස්වරූප පිළිබඳ අවධානය යොමු කිරීමේ දී මූලික වශයෙන් කතුවැකිය දෙඅංශයක් යටතේ හඳුනාගත හැකිය. 


01 කතුවැකියේ ආකෘතිය

02 කතුවැකියේ අන්තර්ගතය



 👉 කතුවැකියේ ආකෘතිය :


ආකෘතිය යටතේ කතුවැකියේ බාහිර ස්වරූපය පිළිබන්දව අවධානය යොමු කෙරේ. ඒ අනුව පුවත්පතේ කර්තෘවරයා හෝ ඔහු විසින් බලය පවරන ලද තනි පුද්ගලයෙක් හෝ මණ්ඩලයක් විසින් කතුවැකිය රචනා කරනු ලබයි. සමකාලීන සමාජ ප‍්‍රස්තුතයක්, සමාජය තුළ පැවතුන දෙයක්, අනාගතයේ සිදු වී යැයි අපේක්ෂිත  දෙයක් කතුවැකිය සඳහා විෂය වේ. බොහෝවිට ජනමාධ්‍ය තුළ වාර්තා වූ  සිදුවීමක් ඇසුරෙන් කතුවැකිය නිර්මාණය විය හැකිය. 


ඇතැම්විට සමාජයේ කිසිවෙකුටවත් හසු නොවන, විෂය නොවන සිදුවීමක් කතුවැකිය සඳහා තේමා වීමට පිළිවන. සමාජ ගැටඵවක ස්වාභාවය විවරණය කිරීම, එහි ආදීනව පැහැදිලි කිරීම, එයට විසඳුම් යෝජනා කිරීම, යහපත් මානුෂීය කටයුතු සඳහා ප‍්‍රසාදය පළ කිරීම, සුබ පැතීම, සමාජයට නිසි මග පෙන්වීම, අනාගතයේ සිදු විය හැකි ඉෂ්ට අනිෂ්ට ක‍්‍රියා විවරණය කිරීම යනා දී අභිප‍්‍රායන් පෙරදැරිව කතුවැකියක් රචනා විය හැකිය. ඉහත සියලූ ක්ෂේත‍්‍රයන්හි තේමා කතුවරයාගේ සහ පුවත්පතේ දෘෂ්ටියෙන් ජාතික වැදගත්කමකින් යුක්තව සමාජ, ආර්ථික, සංස්කෘතික මානයකින් කතුවැකිය තුළ සාකච්ඡා කෙරේ.


ඕනෑම පුවත්පතක කතුවැකිය පළවීම සඳහා නියමිත ස්ථානයක් තිබේ. බොහෝවිට මෙය පළවන්නේ පුවත්පතේ ප‍්‍රධාන පිටුවෙහිය. මෙය පුවත්පතේ මැද කොටසෙහි ද පිහිටා ඇත. ඇතැම් අවස්ථාවන්හි දී පුවත්පතේ මුල් පිටුවෙහි වුව ද කතුවැකිය පළවිය හැකිය. ප‍්‍රධාන තේමාවට අදාළව ගොඩනගා ගන්නා ආඛ්‍යානය ඔස්සේ පියවර කිහිපයක් යටතේ කතුවැකිය ඉදිරිපත් කෙරේ. කතුවැකිය අවසන් වන්නේ පුවත්පතේ දෘෂ්ටියට හා ප‍්‍රතිරූපයට අනුව සියල්ල සමාලෝචනය කිරීමෙනි. ඒ අනුව කතුවැකියේ නිර්මාණශීලි බව උදෙසා එහි ආකෘතික ලක්ෂණ ඉවහල් වේ.



👉 කතුවැකියේ අන්තර්ගතය :


කතුවැකියේ අන්තර්ගතය යටතේ එහි ආඛ්‍යානය, භාෂා ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කෙරේ. යම් තේමාවක් ඉදිරිපත් කිරීම සඳහා උපයුක්ත භාෂාව නිර්මාණශීලිව භාෂාව ගොඩනැංවීමේ රටාව, නිර්මාණශීලීව භාෂා උපාංග භාවිත කිරීම පිළිබඳ කතුවැකියේ අන්තර්ගතය විශ්ලේෂණයෙන් හඳුනාගැනීමට පිළිවන.


පාඨක අවධානයට ලක්වන පරිදි නිර්මාණශීලීව කතුවැකියක් රචනා කිරීම කතුවැකි රචකයා මතම තීරණය වන සාධකයකි. නිර්මාණශීලී කතුවැකි රචනාවක් වූ කලී දර්ශනයෙන් හා භාෂා ගුණයෙන් පෝෂණය වූවකි. මෙහිදී රචකයා අන්තර් සංස්කෘතිකමය වශයෙන් ලබන ශික්ෂණය වැදගත් වේ. පුරාතන නූතන භාෂා සම්ප‍්‍රදායන් මෙන්ම ඒවායෙහි නව ප‍්‍රවණතා පිළිබඳව කතුවැකි රචකයාට ප‍්‍රමාණවත් අවබෝධයක් පැවතිය යුතුය. එසේම භාෂාව සහ සංස්කෘතිය, ජනවහර හදාරා තිබීම ද වැදගත් වේ. භාෂාව ගොඩනැංවීමේ රටාවක් සේම බස හැසිරවීමේ වියරණ රීති ද හඳුනාගෙන තිබීම නිර්මාණශීලි කතුවැකි රචකයෙකුට අවශ්‍ය වූවකි. 


කතුවැකිය (Eඩිටොරිඅල්) පුවත්පතේ විශේෂාංග යටතේ පළ කරනු ලබන ප‍්‍රධාන රචනා විශේෂයකි. දේශීය විද්වතුන් කතුවැකිය විවිධාකාරයෙන් අර්ථ ගන්වා ඇත. කතුවැකිය යනු සමාජයට හානිකර වූ තත්ත්වයක් පිළබඳ වේගවත්ව ලියන ලද ප‍්‍රහාරාත්මක රචනයක් හෝ කිසියම් විශේෂ වූ සිදුධියක් පිළිබඳව මහාචාර්ය තිස්ස කාරියවසම් ප‍්‍රකාශ කරයි. ඔහු වැඩි දුරටත් ප‍්‍රකාශ කරන පරිදි කතුවැකි ලිවීම සම්බන්ධයෙන් පිළිගත් උපදේශක නීති ද ඇත. ඒවා නම් රචනාවට මාතෘකා වුණු විෂය ගැන හොඳින් සිතා බැලීම, දෘෂ්ටිකෝණයේ ස්ථාවරභාවය, වේගවත්ව කලම්බන්නට පුළුවන්කම තිබීම, සම්භාවනීය හා අධිකාරීත්වයක් තිබීම යනාදියයි.


👀 පුවත්පත් කලාවේ ආරම්භයේ පටන්ම මෙම ලියවිල්ල සම්මතව පැවත ආ සාම්ප‍්‍රදායික ලේඛන විශේෂයක් විය. ජාතික පුවත්පතක ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය හෝ සමාජ දෘෂ්ටිය කතුවැකිය තුළින් හෙලි කරන නිසා බොහෝ විට එම පුවත්පත ගමන් ගන්නා මාර්ගය මේ යැයි කතුවැකිය තුළින් හෙලි කරනු ලැබේ.

යනුවෙන් ‘සන්නිවේදන ශබ්දාකරය’ කෘතිය කතුවැකිය පිළිබඳව තව දුරටත් විග‍්‍රහ කරයි.


👄
කතුවැකිය සංක්ෂිප්ත ලේඛනයකි. මේ නිසා කතුවැකියේ ප‍්‍රබලත්වය කැපී පෙනේ. කිවයුතු දේ ඉතාමත් කෙටියෙන් කීම මෙමගින් සිදු කරනු ලැබේ. එමනිසා යොදා ගන්නා බස් වහර සරලය. භාෂාවේ ව්‍යක්ත බවක් දැකිය හැකි අතර  වනිගාසිංහකෙටි වැකිවලින් අදහස් ප‍්‍රකාශ කරයි. කතුවැකියේ ස්වරූපයට ගැළපෙන පරිදි වචනවල නියම අර්ථය දැක්වෙන බස් වහරක් කතුවැකිය සඳහා යොදා ගැනීමට කර්තෘවරයා හැම විටම සැලකිලිමත් වේ. එහෙත් දීර්ඝ වාක්‍යයක් භාවිත කරමින් වුව ද තම අදහස නිරවුල්ව වුව ද ප‍්‍රකාශ කිරීමේ හැකියාවකින් යුක්ත කතුවරුන් මෙරට සිටි බවට කොතෙකුත් නිදසුන් ඇත. 


ආචාර්යතුමා

Monday, 7 June 2021

කාන්තාවට සැනසුම් සමය වූ බුදුසමය

 

බුදු දහමින් කාන්තාවට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. මානව සමාජයෙහි ප්‍රගමනය උදෙසා නිහඬ සේවාවක් ඉටු කරන කාන්තා සමාජයට බෞද්ධ දර්ශනය තුළින් හිමි වු වරප්‍රසාද අන් කිසි ආගමකින් හිමි වී නොමැති අතර, බුදුදහම සමාජ අසාධාරණයෙන් තොරව සුදුස්සාට සුදුසු තැන ලබා දී ඇති අයුරු එයින් මැනවින් තහවුරු වේ.

භාරත දේශයෙහි පැවැති යුග හෙවත් කාලවකවානු දෙස අවධානය යොමු කිරීමේ දී පූර්ව වෛදික හා වෛදික යුගයේදී කාන්තාවට හිමි වූයේ ඉතා ඉහළ සමාජ තත්ත්වයකි. මාතෘ මූලික සමාජයක් පැවැති මෙම කාලය තුළ ජගන් මාතා ආදී වන්දනා ක්‍රම පැවතීම මගින් කාන්තාව ඉතා ඉහළ සමාජ පිළිගැනීමක් අනුව දිවි ගෙවූ බව හොඳින් පැහැදිලි වෙයි. එහෙත් පශ්චාත් වෛදික හෙවත් බ්‍රාහ්මණ යුගය තුළ ඒකදේවවාදය ප්‍රචලිත වීමත් සමග මුළු මහත් සමාජය වෙනස් මුහුණුවරක් ගත් අතර ඒ තුළ කාන්තාව අන්ත අසරණ භාවයට පත් වු වග මනුස්මෘතිය වැනි බ්‍රාහ්මණ ග්‍රන්ථ දෙස අවධානය යොමු කිරීමේ දි සනාථ වෙයි.

වර්ණ ධර්ම , ස්ව ධර්ම හා ආපද් ධර්ම තුළින් සමාජයෙහි ආධිපත්‍යය තහවුරු කර ගත් බමුණන් ඒ ඔස්සේ යමින් කාන්තාව සතු සියලු නිදහස අහිමි කරමින් ක්‍රියා කළහ. ඒ අනුව ආගමික , අධ්‍යාපනික , ආර්ථික සමාජයීය ආදී සියලු වරප්‍රසාද අහිමි වූ කාන්තාවගේ ජීවිතය අවධි කිහිපයක් අනුව බමුණන් විසින් බෙදා වෙන් කරන ලදී.

"බාලෙය්‍ය පිතුර්වශේ තිෂ්ඨෙත්

පැණි ග්‍රාහස්‍ය යෞවනේ

පුත්‍රාණං භර්තජී පේ‍්‍රතේ

නභජේත් ස්ත්‍රී ස්වතන්ත්‍රතාම් "

බාල කාලය පියා යටතේ ද තරුණ කල සැමියා යටතේද සැමියා මළ පසු වැඩිමහල් පුතු යටතේ ද දිවිගෙවිය යුතුය.

සැමියා මිය ගිය පසු ඔහු දවන දර සෑයට පැන දිවි නසාගත යුතු බව ද එක් යුගයකදී බමුණු දහම මගින් නියම කැර තිබිණි.

එය සති පූජාව නමින් හැඳින්වේ. එලෙස ක්‍රියා කිරීමට නොහැකි නම් කිළිටි වස්ත්‍ර අඳිමින්, කටුක අමිහිරි ආහාර ගනිමින් කිසිම ආභරණයක් නොපැළඳ ස්වා මියා ප්‍රාර්ථනා කරගෙනම කල් ගෙවිය යුතු බව මනුස්මෘතිය තුළ සඳහන් කර ඇත.

මේ අයුරින් සියලු වරප්‍රසාද අහිමී වූ කාන්තාව නිවසට පමණක් සීමා වූ අතර ඇය " ද්වංගුල පඤ්ඤා " (දෑඟුල් නුවණ) ඇති තැනැත්තියක් බව බමුණෝ පැවසුහ.

" මුඛ පද්ම දලාකාරං

වාචා චන්දන සීතලං

මධු තිෂ්ඨති ජිව්හාග්‍රේ

හදයේතු හලා හලං ""

(ගැහැණියකගේ මුහුණ පද්මයක් බඳුය. වචන සිසිල් සඳුන් මෙන් මනහරය. දිව අග මී පැණි ඇතත් හදවතෙහි හලාහල නම් විෂ ඇත )

මෙවැනි ප්‍රකාශ අනුව විමසා බැලීමේදී ප්‍රශ්චාත් වෛදික යුගය තුළ කාන්තාව දිවි ගෙවූ අයුරු හා ඇය විඳින ලද කටුක දුක් වේදනා මෙන්ම නින්දා අපහාසද අඩුවක් නොවීය .

එහෙත් ක්‍රි.පූ. 6 වන සියවස තුළ ලොව පහළ වන අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ මුළු මහත් සමාජයෙහි යහපත උදෙසා ක්‍රියා කළ අන්දම ඉතා ප්‍රශංසනීයයි. ක්‍රම ක්‍රමයෙන් නිර්මල දහම භාරතය පුරා විකාශනය වීමත් සමග කාන්තා සමාජයට ද හිමි වූයේ සුවිශේෂ ස්ථානයකි. සමානාත්මතා ගුණය අගය කළ බුදුරදුන් ඒ ඔස්සේ පුරුෂයාට සමාන තත්ත්වයක් කාන්තාවට ද හිමි කර දුන් බව බෞද්ධ දර්ශනයට අනුව විමසීමේ දී මනාව පැහැදිලි වේ.

“නසෝ සබ්බේසු ඨාතේසු

පුරිසෝ හෝති පණ්ඩිතෝ


ඉත්ථිපි පණ්ඩිතා හෝති

තත්ථ තත්ථ විචඣනා”

“සෑම තැන්හි පිරිමින් ම පණ්ඩිත නොවන බවත් ඒ ඒ තැන්හි ස්ත්‍රිය ද බුද්ධිමත් වේ.” යන ප්‍රකාශයට අනුව එකල කාත්තාවට හිමි වූ සමාජ තත්ත්වය මනාව සනාථ වේ. එපමණක්ද නොව මවක්, ගෘහණියක්, සමාජ සේවිකාවක්, උපාසිකාවක් ආදී වශයෙන් බුද්ධ දේශනාව අනුව භාරතීය සමාජයෙහි ඉහළ මට්ටමක දිවි ගෙවූ ස්ත්‍රියට අප සම්බුදු හිමියන් සම්මා සම්බුද්ධත්වයෙන් වසර 5 ක් ගිය පසු භික්‍ෂුණී සසුන ආරම්භ කොට විමුක්ති මඟ පෙන්වා දුන්හ. ඒ අනුව භික්‍ෂුණිය මැනවින් වත් පිළිවෙත් සපුරා රහත් ඵලයට මෙන්ම බුදු සසුනෙහි විවිධ තනතුරු ද ලද බව දැක්වේ. ඒ අනුව

චිතරාත්‍රඥ භික්‍ෂුණිය – මහා ප්‍රජාපතී
අභිඤ්ඤාලාභි භික්‍ෂුණිය – භද්ද කච්චායනා
සෘද්ධිමත් භික්‍ෂුණිය – උප්පලවන්නා
ධුතාංගධාරී භික්‍ෂුණිය – පටාචාරා
ධර්ම කථිකාවිය – ධම්ම දින්නා

ආදී වශයෙන් නොයෙක් දක්‍ෂතා ඔස්සේ තනතුරු ලැබීම තුළ බුදු සමය ඔස්සේ කාන්තාවට හිමි වූ නිදහස කෙබඳු ද යන්න මනාව අවධාරණය වේ.

“බ්‍රහ්මාති මාතා පිතරෝ

පුබ්බාචරියානි වුච්චරේ

ඇහුණෙය්‍යා ච පුත්තානං

පජාය අනුකම්පකා”

මව්පියන් මහා බ්‍රහ්මයා ලෙසත් දරුවන්ගේ පූර්වාචාර්යවරු බවද ආහුණෙය්‍ය ගුණයෙන් යුතු ඔවුහු මුළු මහත් ප්‍රජාවටම අනුකම්පා කරන බව ඉහත ගාථා ධර්මයෙන් බුදු හිමියන් දේශනා කොට ඇත. එපමණක් ද නොව “බුද්ධෝ විය මාතා” මව බුදුන් හා සමාන බවත් “මාතා මිත්තං සතේසරේ” මව නිවසේ මිතුරිය ලෙසත් දේශනා කිරීම තුළ බෞද්ධ දර්ශනයෙහි කාත්තාවට හිමි වන ඉහළ සමාජ තත්ත්වය තව දුරටත් විග්‍රහ කරන තථාගත බුදුරදුන් සිඟාලෝවාද සූත්‍රය මගින් දරුවන්ගෙන් මව්පියන්ට ඉටුවිය යුතු යුතුකම් 5 ක් ද පෙන්වා දෙයි. එනම්,

1. වයස්ගත මව්පියන් පෝෂණය කිරීම
2. ඔවුන් රැක බලා ගැනීම
3. ඔවුන්ගේ දායාද රැක ගැනීම
4. කුල පරපුර ආරක්‍ෂා කිරීම
5. මිය ගිය පසු පින්කම් කොට පින් දීම.

දිනක් පසේනදි කොසොල් මහ රජු තම බිසවට දියණියක් උපත ලද බව අසා ඉතා දුක්‍ඛිත අන්දමින් බුදුරදුන් වෙත පැමිණි පසු නුවණැති සිල්වත් කාන්තාව අගය කොට රජුට දහම් දේශනා කොට ඇත.

“ඉථීපි ඒකච්ඡියා

සෙය්‍යා පෝස ජනාධිප

මේධාවිනී සීලවතී

සස්සු දේවා පතිබ්බතා”

මේ අයුරින් පුරුෂයාට මෙන්ම ස්ත්‍රියට ද සමාන සමාජ තත්ත්වයක් උරුම කර දුන් බුදු සමය ඒ ඔස්සේ නව චින්තන විප්ලවයක් ද ඇති කරන ලද බව, බොහෝ රහත් මෙහෙණින් වහන්සේ විසින් සිදු කරන ලද වාද විවාද, ධර්ම දේශනා ආදිය දෙස මෙන්ම ථේරී ගාථාවන්හි සඳහන් විමුක්තියෙහි අගය පෙන්වා දීම් මගින් මනාව තහවුරු වේ.

බමුණු සමාජය හමුවේ අන්ත අසරණ වූ කාන්තාව නැවත පුනර්ජීවනය ලැබුවේ තථාගත බුදුපියාණන් වහන්සේ ලොව පහළ වීමත් සමගය. ඒ ඔස්සේ යමින් සෑම අංශයකින්ම දියුණුවට පත් කාන්තාව අධ්‍යාපන, ආගමික, ආර්ථික, සමාජයීය වැනි ඉහළ තනතුරු දැරීමට සමත් වූ වග එකල සමාජයෙහි පමණක් නොව වත්මන් ලෝකය දෙස අවධානය යොමු කිරීමේ දී මැනවින් පැහැදිලි වෙයි. නිවසට පමණක් සීමා වූ කාන්තාවට මේ අයුරින් නිදහස් ලෙස අදහස් ප්‍රකාශ කරමින් ඉදිරියට පැමිණීම උදෙසා මූලික පදනම දමනු ලැබුවේ තිලොවට තිලක වූ අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බව මේ අනුව පැහැදිලිව වටහා ගැනීමට හැකි ය.

බමුණු සමාජය හා කාන්තාව

 බමුණු දහම භාරතයේ ව්‍යාප්ත වීමට පෙර හෙවත් ප්‍රාග් වෛදික යුගයේ කාන්තාවට හිමි විය යුතු නිදහස ලැබී ඇත. භාරතයේ ඉපැරැණි ශිෂ්ටාචාර දෙකක් වන මොහෙන්දොජාරෝ හරප්පා වැනි ශිෂ්ටාචාරවල දී හමු වූ පුරාවිද්‍යාත්මක නටබුන් වලින් කාන්තාව එකල දේවත්වයෙන් සලකා ඇති බව පෙනී යයි. ජගන්මාතා වන්දනාව වැනි පිළිවෙත්වලින් එය පැහැදිලි වන බව සර් ජෝන් මාර්ෂල් නම් විද්‍යාඥයා විසින් පෙන්වා දෙන ලදී. කාන්තාවන්ට සමාන දේවරූප නිර්මාණය කොට ඔවුන්ට උදේ සවස වන්දනාමාන කළ බවට සාධක ඇත.

එපමණක් නොව එකල පවුලේ නායිකාව වුයේ ද කාන්තාවයි. නව යොවුන් වියේ පසුවන කාන්තාවන්ට විවිධ වර්ණයන්ගෙන් යුත් වස්ත්‍රාභරණ හැඳ පැළඳගෙන විවාහ උත්සව ආදි තැන්වලට යෑමට ඉඩ ලබා දී තිබුණි. ගී සින්දු කියමින් නටමින් විනෝදවීමට සම්පූර්ණ අයිතියක් තිබුණි.

මෙසේ පැවැති කාන්තා නිදහස බිඳ වැටුණේ බ්‍රාහ්මණ ආධිපත්‍ය භාරතීය සමාජයේ පැතිරීමත් සමඟය. කාන්තාවන්ගේ සිතුම් පැතුම්වලට සීමා පැනවිණ. බමුණන්ගේ තර්ජන තදින්ම කාන්තාව වෙත එල්ල වූ අතර ඇයගේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම පාහේ නැතිවී ගියේය. කුල සතරෙන් පහත් ම කුලය වූ ශුද්‍රයින්ටත් වඩා පහත් තැනක් ඔවුන්ට හිමි වී තිබුණි. පුරුෂාධිපත්‍ය වැඩි දියුණු වූ මේ යුගයේ පුරුෂයන්ට ආවතේව කිරීම හා කීකරු වීම පමණෙකින් ස්වර්ග සම්පත් ලබා ගත හැකි බව ඔවුන් වෙනුවෙන් සකසන ලද නීති – රීති මාලා ඇතුළත් මනුස්මෘතියෙහි සඳහන් වේ.

නාස්ති ස්ත්‍රීනාං පෘතග් යඥෙ

වන වූතං නාප්‍යුපොසථම්

පතිං ශුශ්‍රෑයතේ යෙන

තෙන ස්වර්ගේ මනියතෙ

යන්නෙන් එය පැහැදිලි වේ. එපමණක් නොව කාන්තාව බාල කාලයේ පියා යටතේ ද, තරුණ කාලයේ ස්වාමියා යටතේ ද, මහලු කාලයේ පුත්‍රයන් යටතේ ද ජීවත් වියයුතු බව සඳහන්වේ.

බාල්‍යෙ පිතුර් වශේ තිෂ්ඨෙත්
පාණි ග්‍රාහස්‍ය යෞවනෙ
පුත්‍රානාං භර්තරී ප්‍රෙතේ
න භජෙත් ස්ත්‍රී ස්වතන්ත්‍රතාම්

පිතා රක්‍ෂති කෞමාරෙ
භර්තා රක්‍ෂති යෞවනෙ
රක්‍ෂන්ති ස්ථවිරෙ පුත්‍රෙ
න ස්ත්‍රීස්වතන්ත්‍රමර්හතෙ

විවාහක කාන්තාවක තරුණ කාලයේ දී ම ඇයගේ ස්වාමියා මළහොත් එම ගිනි ගොඩටම පැන ඇය ද සියදිවි නසාගත යුතුය. නැතහොත් ජීවිතාන්තය දක්වා වැන්දඹුවක වශයෙන් සුදු වස්ත්‍ර, කිලිටි වස්ත්‍ර අඳිමින් කටුක අමිහිරි ආහාර ගනිමින් කිසිම ආභරණයක් නොපැළැඳ කල් ගෙවිය යුතුය. මෙකී සම්ප්‍රදාය වර්තමානයේ ද ඉන්දියාව තුළ දැකිය හැකිය. විවාහ කර ගැනීමේදී වයස අවුරුදු තිහක පුරුෂයන්ට අවුරුදු දහයේ ගැහැනු ළමයින් ද අවුරුදු විසිහතක පුරුෂයන්ට අවුරුදු හතක ගැහැනු ළමයින් ද විවාහ කරගත හැකිය. වනිතාව පිළිබඳ දක්වන මෙවැනි ආකල්ප මානව හිතවාදී සමාජයක් සංස්කෘතියක් ඇති කිසිම තැනකට නොගැළැපේ. සමහර කාන්තාවන් කෙතරම් ස්වාමියාට අවනත ව සිටියත් කිසිදා වහල් තත්ත්වයෙන් මිදිය නොහැකි විය. මෙම තත්ත්වය විඳීමට නොහැකි වූ ඇතැම් කාන්තාවෝ ගණිකා වෘත්තියෙහි යෙදුණාහ. කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රයේ ගණිකා වෘත්තිය එකල නීත්‍යානුකූල එකක් යැයි සඳහන්වේ. අම්බපාලි, අඩ්ඪකාසි සහ පදුමා වැනි අය ප්‍රසිද්ධ ගණිකාවෝ වූහ.

යම් පුරුෂයෙකුට කාන්තාවක දැකීමෙන් සිහි විකල් වන බවත්, ස්පර්ශ කිරීමෙන් ධනය හානිවෙන බවත්, එක යහනෙහි නිදාගැනීම මරණයට හේතුවන බවත් දක්වමින් ස්ත්‍රිය ප්‍රත්‍යක්‍ෂයෙන් ගතහොත් රාක්ෂසියක් වන බවත් දක්වා තිබේ.

දර්ශනං චිත්ත වෛකල්‍යං
ස්පර්ශං ධන නාසකං
සයනේ මරණං කුර්යාත්
ස්ත්‍රී ප්‍රත්‍යක්‍ෂ රාක්‍ෂසි

ලොව අභව්‍ය සිදුවීම් වන අට්ටික්කා ගහේ මල් පිපීම, සුදු කපුටන් ඇතැයි කීම, ජලයෙහි මසුන්ගේ පාද දැක්කේ යයි කීම යනාදිය කිසිවකු කියන්නේ නම් එය විශ්වාස කළත් ගැහැනුන් කියන වාක්‍ය විශ්වාස නොකළ යුතු බව මනුස්මෘතියෙහි දක්වා තිබේ.

ඖදුම්බර භවං පුෂ්ඵං
ශ්වෙත වර්ණස්‍ය කාකයෝ ඞ
මත්ස්‍ය පාදෙ ජලෙ තිෂ්ඨෙත්
ස්ත්‍රී වාක්‍යං න විස්සසෙ

භාරතීය වනිතාව කෙරෙහි උපහාසාත්මක බැල්මෙන් බැලූ බමුණන් ප්‍රකාශ කර ඇත්තේ ඇයගේ මුහුණ පියුමක් සේ පියකරුය, වචන සඳුන් සේ සිසිල් වේ, දිවඟ මී බඳුය, එහෙත් හදවතෙහි ඇත්තේ හලාහල විෂයි යනුවෙනි.

මුඛ පද්ම දලාකාරං - වාචා චන්දන සීතලං
මධු තිෂ්ඨති ජිව්හාග්‍රෙ - හෘදයෙතු හලාහලං

ක්‍රි. පූ. 6 වන සියවසේ බුදුරජුන් පහළ වන විට විවිධ ආගමික දාර්ශනිකයෝ භාරතය පුරා සිටියහ. ඔවුහු විවිධ ආගමික ප්‍රචාරයන් පතුරුවමින් තැන් තැන්වල ගියහ. මේ සියලු පිරිස් ශ්‍රමණ හා බ්‍රාහ්මණ වශයෙන් දෙයාකාර වූහ. ශ්‍රමණ සම්ප්‍රදායට අයත් වූයේ ෂට් ශාස්තෘවරුන්, ආජීවක, පරිව්‍රාජක, අචේලක, තුන්බෑ ජටිල ආදී විවිධ ව්‍යවහාරයන්ගෙන් සමන්විත පිරිස්ය. මීට පෙර කාලයේ පටන් ආගමික කාර්යයන් කරමින් පැවැතගෙන ආවේ බ්‍රාහ්මණ සම්ප්‍රදායයි. බ්‍රාහ්මණ සම්ප්‍රදාය තුළ කාන්තාවට හිමිවූයේ ඉහතින් සඳහන් කළ ආකාරයට පහත් තත්ත්වයකි. බුදුන් වහන්සේ පහළවීමත් සමඟ කාන්තාවට නිසි තැනක් ලැබුණි. සම්බුද්ධ ශාසනය තුළ මූලික වශයෙන් කාන්තාවට හිමි වුයේ උපාසිකා තත්ත්වයයි. යස කුල පුත්‍රයාගේ මෑණියන් බුදුසසුනේ තෙරුවන් සරණ ගිය මුල්ම කාන්තාවයි. අනතුරුව මහා ප්‍රජාපතී ගෝතමියට සහ පරිවාර ස්ත්‍රීන්ට ලබා දුන් පැවිද්ද සමඟ භික්‍ෂුණී තත්ත්වය හිමිවුණි. එසේම ගෘහය තුළ ගෘහණිය වශයෙන් ද මවක ලෙසද ඇයට ලැබුණේ උත්තරීතර තත්ත්වයකි. දරුවන්ගේ පූර්වාචාරීන් ලෙස මව හා පියා සලකන ලෙසට බුදුන් වහන්සේ අනුදැන වදාළ සේක.

බ්‍රහ්මාති මාතා පිතරෝ
පුබ්බාචරියාති වුච්චරෙ
ආහුණෙය්‍යා ච පුත්තානං
පජාය අනුකම්පකා

දක්ඛිණා විභංග සූත්‍රයෙහි සඳහන් වන අන්දමට මහා ප්‍රජාපතී ගෝතමියගේ මාතෘත්වය හා සේවය ඉතා ඉහළින් අගය කොට ඇත. ඇය ‘ බුද්ධමාතා’ යන නාමයෙන් පිදුම් ලැබූ අතර එය මිහිපිට කාන්තාවකට ලැබිය හැකි උතුම්ම සම්මානයයි. නිවන් අවබෝධ කිරීමේ දී පුරුෂයන්ට මෙන්ම කාන්තාවන්ට ද එම තත්ත්වය ලැබි ඇති බව භික්ඛුණීක්ඛන්ධකයෙහි දැක්වේ. එකල බ්‍රාහ්මණ සම්ප්‍රදාය තුළ කාන්තාවට ලැබුණු ස්ථානය නිසා කොසොල් මහරජතුමා තම දේවියට දියණියක ලැබුණු බව අසා මහත් කලකිරීමට පත්විය. එහෙත් බුදුරජුන් පෙන්වා දුන්නේ ගැහැනු දරුවකු වුවද ප්‍රඥාවෙන්, ගුණගරුක බවින් හා පතිව්‍රතාවෙන් යුක්ත වන්නේ නම් උසස් තත්ත්වයකට පත්වන බවය. (සංයුක්ත නිකාය -ධීතු සූත්‍රය ) එම නිසා කලකිරීම නුසුදුසු බව වටහා දුන් සේක.

බුදුන් වහන්සේ ස්වකීය මවට හා සුළු මවට විශේෂ සැලකිල්ලක් දැක්වූ සේක.තව්තිසා දිව්‍ය ලෝකයේ මාතෘ දිව්‍ය රාජයාණන්ට අභිධර්මය දේශනා කිරීම හා ප්‍රජාපතී ගෝතමියට පැවිද්ද ලබාදීම, ඇය පරිනිර්වාණයට පත්වූ පසු ඇයගේ දේහය පසුපස ගමන් කොට ගෞරව දැක්වීම හා ඇයගේ භෂ්මාවශේෂ නිදන්කොට ස්ථූපයක් කිරීම ආදී සියල්ල ඉටුකොට කළගුණ සැලකූ සේක. එයින් අන් අයට ද තමන්ගේ මෑණියන් කෙරෙහි දැක්විය යුතු ආකල්පය කෙබඳුද යන ආදර්ශය ලබාදුනි. එය බුදුන්ගේ ‘ යථාවාදී තථාකාරී’ (යමක් කියයිද එය සිදුකොට පෙන්වීම) ගුණය විදහා පෙන්වීමකි.

බුදුන් වහන්සේ කිසිවිටෙකත් ගැහැනිය පහත් කොට නොසැලකූ සේක. රජ්ජුමාලා වැනි අසරණ දාසියන්ට, අම්බපාලි වැනි ගණිකාවන්ට, ඛේමා වැනි රූපය නිසා අහංකාරවූ තැනැත්තියන්ට, පටාචාරා සහ කිසාගෝතමී වැනි අසරණියන්ට පවා පැවිද්ද ලබා දුන් අතර සුදුසු පරිදි ශාසනයේ තනතුරු පිරිනැමීමද සිදු කළ සේක.

ජාතක කථා දේශනාවන්හිද කාන්තාවගේ ගුණ සමුදායන් අගැයීමට ලක් කර ඇත. චන්දකින්නර ජාතකය, කුරුධර්ම ජාතකය, මහා සුදස්සන ජාතකය සහ මාතංග ජාතකය ආදිය නිදසුන්ය. මේවායෙහි උසස් චරිතයකින් හෙබි කාන්තාවනට ප්‍රශංසා කර තිබේ. නුවණින් මුහුකුරා යන්නේ පුරුෂයන් පමණක් නොව ස්ත්‍රීන්ද ඒ ඒ තැන්වලදී ඤාණවන්ත වන බව දක්වා තිබේ.

මේ අනුව පුරුෂාධිපත්‍යයක් සමාජය තුළ හිස ඔසවා තිබුණු කාලවකවානුවේ කාන්තාවට නිසි තැන දීමෙන් පෙනී යන්නේ බුදුසමය තුළ කාන්තාවට ද පුරුෂයාට මෙන් ම සෑම අංශයකින් ම ප්‍රමුඛත්වය ලබාදුන් බවය. බුදුන් වහන්සේගේ මහා කරුණාව ඇය දෙසට ද යොමුවූ බවය.

Wednesday, 24 March 2021

බුදු දහම හා විශ්වය





බුදුරජාණන් වහන්සේ තේවිජ්ජ සූත‍්‍රයේ දී සර්වබලධාරී දෙවියෙකු ලොව මවන ලදැයි යන ඊශ්වරනිර්මාණවාදය ප‍්‍රතික්ෂේප කරයි. අග්ගඤ්ඤ සූත‍්‍රය අනුවත්, අංගුත්තර නිකායේ අසංඛෙයිය සූත්‍රරය අනුවත් විශ්වයට ඇත්තේ හැකිලෙන දිග හැරෙන දෝලන ස්වභාවයක් වන අතර එහි ආරම්භයක් හෝ අවසානයක් දැකගත නොහැකිය.


අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ඉන්ද්‍රිය වග්ගයේ අසංඛෙයිය සූත්‍රයේ සුත‍්‍රයේ විග්‍රහය අනුව විශ්වයේ මූලික යුග 4 කි. මෙම අනතඃකල්ප 4 හි එකතුව මහා කල්පයකි.


1. විවට්ඨ කප්ප – විශ්වය ප‍්‍රසාරණය වන කාලය.

2. විවට්ඨති කප්ප – විශ්වයේ ප‍්‍රසාරණය අවසන් වෙමින් නිශ්චිත තත්ත්වයක පවතින කාලය.

3. සංවට්ඨ කප්ප – විශ්වයේ හැකිලීම සිදු වන කාලය.

4. සංවට්ඨති කප්ප – විශ්වයේ හැකිලීම අවසන් වෙමින් නිශ්චිත ස්වභාවයක පවතින කාලය.


නවීන විද්‍යාවේ දියුණුව සමඟ දුරේක්ෂ නිර්මාණය වී විශ්වය හා එහි ස්වභාවය පිළිබඳව නිරීක්ෂණය කළ හැකි වීය. ඉතා බලවත් දුරේක්ෂයක් වූ හබල් දුරේක්ෂයෙන් විශ්වයේ ස්වභාවය නිරීක්ෂණය කරද්දී, විශ්වයේ ලෝක ධාතු එකින් එක කෙමෙන් කෙමෙන් ඈත් වෙමින් පවතින බැව් නිරීක්ෂණය කෙරුණි. ඒ අනුව විශ්වය ප‍්‍රසාරණය වෙමින් පවතින බවට වූ බුදු වදන සැබෑවක් බව අද ඔප්පු වී තිබේ. මෙම ප‍්‍රසාරණය පැහැදිලි කිරීමට නිර්මාණය කෙරුණු විද්‍යාත්මක උපන්‍යාසය වනාහි ස්ටීවන් හෝකින්ස් ඇතුළු භෞතික විද්‍යාඥයන් මඟින් වර්ධනය කෙරුණූ මහා පිපිරුම්වාදයයි. (ථෙ ඹිග් ඹන්ග් ථෙඔර්ය්)


විශ්වය ඈත අතීතයේදී සංයුක්ත පරමාණුවක් බවට පත්ව තිබී, එය පිපිරීමෙන් විශ්වයේ සම්භවය සිදු වූ බවට ඉන් පැවැසුණි. මෙහිලා මතුවූ අර්බුදය වනාහි මෑතක දී Hඉග්ග්ස් සහ ඹොසොම් ලෙස විද්‍යාඥයන් දෙපළකගේ නම් වලින් නම් කෙරුණු මෙම මුල් පරමාණුව, කෙසේ නිර්මාණය වූයේ ද? එය පුපුරා යෑමට මුල් හේතුව (ඵ්‍රිමෙ Mඔවෙර්) කුමක්වීද? යන්නයි.


දේවවාදීන් මෙහිලා පැවැසුවේ එය දෙවියන් වහන්සේගේ කාර්යයක් බවයි. ඊට පෙරලා විද්‍යාඥයන් පැවැසුවේ එම මුල් පරමාණුවේ සම්භවය ස්වාභාවික නීතීන්ගේ ක‍්‍රියාකාරීත්වයේම ප‍්‍රතිඵලයක් බවත්, ඇසට නොපෙනෙන භෞතික තල දෙකක ගැටීමෙන් එම පරමාණුව සම්භවය ලබා පුපුරා යන්නට ඇති බවත්ය.


මහා පිපිරුම්වාදයට විකල්ප ලෙස ඉදිරිපත් වූ දෝලනවාදී න්‍යායක් (ඇ තෙඔර්ය් ඔෆ් ඔස්cඉල්ලටිඔන්) වූ ඹිග් ඹොඋන්cඑ නම් න්‍යායයට අද භෞතික විද්‍යා ලෝකයේ විශාල පිළිගැනීමක් ලැබී ඇත. ඉන් කියැවෙන්නේ විශ්වයේ ඇත්තේ දෝලන ස්වභාවයක් බවයි. එනම් විශ්වය මහා පිපිරුමක ප‍්‍රතිඵලයක් ලෙස සකස් වී, ප‍්‍රසාරණය වී යද්දී, වසර බිලියන ගණනක ඇවෑමෙන් එම පිපිරුමේ බලය හීන වී ගොස්, ද්‍රව්‍යයන් අතර ගුරුත්වාකර්ශණ බලය ක‍්‍රියාත්මක වී විශ්වය හැකිළී යන බවය. එසේ හැකිළීමේ ක‍්‍රියාවලියේ යම් අවස්ථාවක ද්‍රව්‍ය වල සංයුක්තභාවය දරාගත නොහැකිව විශ්වය නැවත පිපිරී යන බවයි. මෙලෙස ඹිග් ඹන්ග් නම් මහා පිපිරුම හා ඹිග් Cරුන්ච් නම් වූ මහා හැකිළුම අතර කාලයන් තුළ විශ්වය පවතින බවයි. විශ්වයේ ආරම්භයක් නොමැති බවත්, ඇත්තේ පැවැත්මක් පමණක් බවත්, මෙම න්‍යායයෙන් කියැවේ. ඒ අනුව මෙම න්‍යාය අසංඛෙයිය සූත‍්‍රයේ බුදු වදන හා සමානුපාතික වේ.


තවද විශ්වයේ ලෝක ධාතූන්ගේ ඇති සංකීර්ණ ස්වභාවය බුදුරජාණන් වහන්සේ මනාව පැහැදිලි කොට දී තිබේ.


රෝහිතස්ස සූත‍්‍රයේදී බුදුරදුන් දේශනා කරන්නේ විශ්වය පරක් තෙරක් දැකිය නොහැකි අතිවිශාල එකක් බවයි.


සං.නි.1 අරුණාවතී සූත‍්‍රයේදී සිඛී බුදුරජාණන් වහන්සේගේ සමයෙහි අභිභූ නම් හිමි නමක් ”ආරභථ නික්ඛමථ” යන ගාථාව සහස්සී ලෝක ධාතුව සිසාරා, ඇසෙන සේ පැවසූ බව ආනන්ද හිමියන් සමඟ වරක් බුදුරජාණන් වහන්සේ පැවැසුහ. අංගුත්තර නිකායේ තික නිපාතයේ ආනන්ද වග්ගයේ අවසාන සූත‍්‍රය වූ චුලනිකා සූත‍්‍රයේදී, මේ පුවත සිහිකරමින් ආනන්ද හිමියන් මෙසේ ප‍්‍රශ්න කරති. ”අභිභූ හිමියන්ට එබඳු හැකියාවක් තිබුණා නම්, භාග්‍යවතුන්වහන්සේට කොපමණ දුරට ශබ්දය ඇසීමට සැලැස් විය හැකිද ?” මීට පිළිතුරු දෙන භාග්‍යවතුන්වහන්සේ, ආනන්ද හෙතෙම (අභිභූ හිමි) ශ‍්‍රාවකයෙකි. භාග්‍යවතුන් වහන්සේලාගේ හැකියාව ප‍්‍රමාණ කිරිමට නොහැකි වෙතියි පිළිතුරු දුන්හ.


එහෙත් ආනන්ද හිමියන් නැවත නැවත ප‍්‍රශ්න කළ බැවින් විශ්වයේ විපුලත්වය පිළිබඳ විවරණය කරමින් බුදුරජාණන්වහන්සේ මෙසේ පිලිතුරු දුන් සේක.


“ආනන්ද, යම්තාක් සඳ – හිරු දෙදෙනා හැසිරෙත් ද, සියලූ දිශාවන් බබළමින් ආලෝකමත් කෙරෙද්ද?, ඒ තාක් සක්වල සහස්සී ලෝක ධාතුවයි. ඒ සහස්සී ලෝක ධාතුවෙහි සඳ හිරු දහසකි. මේරු පර්වත දහසකි. දඹදිව් දහසකි. අපරගොයාන දහසකි. උතුරුකුරු දිවයින් දහසකි. පූර්ව විදේහ දහසකි. සිව්මහ සයුරු දහසකි. සිව්වරම් දිව්‍ය රජවරු දහසකි. චතුම්මහාරාජික දහසකි. නිර්මාණරති දිව්‍යලෝක දහසකි. පරනිම්මිත වසවත්ති දිව්‍යලෝක දහසකි. බඹලොව දහසකි. ආනන්ද මේ සහස්සී චුලනිකා නම් ලෝක ධාතුවයි. දහසින් ගුණ වූ චූලනිකා ලෝකධාතු යම්තාක් වේද ඒ තාක් ද්වි සහස්සි මජ්ඣිමා ලෝක ධාතුව වේ. ද්වී සහශ‍්‍රි මජ්ඣිමා ලෝක ධාතුව යම්තාක් වේද එය දහසින් ගුණ කළ කල්හි තිසහස්සී මහා සහස්සී ලෝක ධාතුවයි. ආනන්ද, මෙන්න මේ තිසහස්සී මහා සහස්සී ලෝක ධාතුව දක්වා භාග්‍යවතුන් වහන්සේට අවශ්‍ය නම් ආලෝක ධාරා යවා ඒ ඔස්සේ ශබ්දය යවා, පිටසක්වල ජීවීන්ට ධර්මය දේශනා කළ හැක්කේය.”


මෙම බුද්ධ දේශනාව දෙස මුල සිට අවධානය යොමු කිරීමේදී, පළමුව පැහැදිලි කරගත යුත්තේ සහස්සී ලෝකධාතුව දක්වා අප හිරු – සඳු හැසිරෙමින් ආලෝකය විහිදුවන්නේද? යන්නයි. හිරු සඳු (චන්ද සූරියෝ) ලෙස කෙටියෙන් හැඳින්වෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයම විය හැක. වර්තමාන විද්‍යාඥයින් සොයාගෙන ඇති ලෙස අපගේ සූර්යයා ඇතුළු සෞරග‍්‍රහ මණ්ඩලය ක්ෂීරපථ මන්දාකිණිය වටා ගමන් ගන්නා අතර, එම වටය සම්පූර්ණ කිරීමට ගතවන කාලය වසර මිලියන 230 කි. එම කාලය ඝලටිc ‍යේර් එකක් ලෙස හැඳින්වේ. මෙලෙස අප සූර්යයා ඇතුළු සෞරග‍්‍රහ මණ්ඩලය ක්ෂීරපථ මන්දාකිණියේ ජීවයට හිතවත් ප‍්‍රදේශය (ළිෆෙ හේල්ත්ය් ෆීල්ඩ්) හි වටයක් කරකැවෙද්දී, අප සූර්යයාගේ ආලෝකය තරුවක් ලෙස ක්ෂීරපථ මන්දාකිණියේ කෙළවර දක්වා විහිද යයි. එහෙයින් සහස්සි ලෝක ධාතුව ලෙස බුදුරජාණන් වහන්සේ හැඳින්වුයේ ක්ෂීරපථ මන්දාකිණිය බැව් අනුමාන කළ හැකිය.


මීළග ගැටළුව වන්නේ දඹදිව් – අපරගෝයාන – උතුරු කුරු දිවයින් – පූර්ව විදේහ හා මහාමේරු පර්වත යනු කුමන ඒවාද? අනෙක් ලෝකවලත් එබඳුම මහද්වීප පවතිද්ද ? යන්නයි. ‘


සූත‍්‍ර පිටකයෙන් හෙළිවන පුරාණ ලෝක විස්තරයේ කියැවෙන්නේ, මහා පෘථිවියෙහි මහාමේරු පර්වතය පිහිටා ඇති බවය. ඊට උතුරින් උතුරුකුරු දිවයිනත්, නැගෙනහිරින් පූර්ව විදේහයත්, දකුණින් දඹදිවත්, බස්නාහිරින් අපරගෝයානයත් පිහිටා ඇති බවයි.


වත්මන් විද්වතුන් විශ්වාස කරන්නේ මහාමේරු පර්වතය වනාහී ආක්ටික් මහා අයිස් කන්ද නොහොත් උත්තරධ‍්‍රැවය බවත්, ඒ වටා පිහිටි ඇමරිකා මහද්වීපය උතුරුකුරු දිවයින ලෙසත්, පූර්ව විදේහය ලෙස ඕස්ටේ‍්‍රලියා මහද්වීපයත්, දඹදිව ලෙස ඉන්දියාව ප‍්‍රමුඛ ආසියා – යුරෝපා මහද්වීපයත්, අපරගෝයානය ලෙස අප‍්‍රිකා මහද්වීපයත් අදහස් කළ බවය.


පළමුවන ධර්ම සංගායනාවේදී ධර්මය සූත‍්‍ර ලෙස සකස් කිරිමේදි සජ්ඣායනා කිරිමට පහසු ලෙස බුද්ධ දේශනා සකස් කෙරුණි. අනෙකුත් විශ්වයේ ලෝකවලද මෙලෙසම මහද්වීප පවතින බවට උක්ත දේශනාවෙන් පෙනෙන්නේ, එසේ අප ලෝකයේ මහද්වීප (ඓන්හබිටෙඩ් ර්‍එගිඔන්ස්) අනුවම යමින්, අනිත් ලෝකයන් ද ඊට ඇතුලත් කළ නිසා බව පැහැදිලිය. එය සජ්ඣායනාවට පහසු ලෙස සකස් කිරීමට ගොස් ඇති වූ දෝෂයක් බැව් පෙනේ.


මීළගට අවධානය යොමු කළ යුත්තේ, බුදුරජාණන්වහන්සේ ආලෝක ධාරා යවා, ඒ දිගේ ශබ්දය යවන බැව් ප‍්‍රකාශ කළේ මන්ද? යන්නයි. ඇතැම් විද්වතුන්ගේ අදහස වන්නේ, අප පෘථිවියේ වායුගෝලයෙන් එපිට ඇත්තේ රික්තයක් බවත්, එහි ශබ්දය ගමන් නොගන්නා බැව් බුදුරදුන් දැන සිටිය බවත්, ඒ අනුව ශබ්දය සන්නිවේදනයට නම් සිදු කළ යුත්තේ රික්තයේ ගමන් ගන්නා ආලෝකය හරහා ශබ්දය යැවීම බවත්, බුදුරදුන් දැන සිටි බවයි.


මේ සියල්ලටම අමතරව තවත් විස්මිත කරුණක් වනුයේ බුදුන්වහන්සේ පහත දේශනාව විශ්වයේ ඇති සුවිශේෂී සංසිද්ධියක් වන කලුකුහර සම්බන්ධයෙන් අනාවරණය කළාක් මෙන් පෙනී යාමය. එම දේශනාව මෙසේය.


අත්ථි, භික්ඛවෙ, ලොකන්තරිකා අඝා අසංවුතා අන්ධකාරා අන්ධකාරතිමිසා, යත්ථමිමෙසං චන්දිමසූරියානං එවංමහිද්ධිකානං එවං මහානුභාවානං ආභාය නානුභොන්තී’’ති.


“මහණෙනි, ලොකයන්ගෙන් අතරෙහිවූ වැස්මක් නැත්තාවූ අඳුරෙන් පිරී ගියාවූ මේ මහත් ඍද්ධි ඇත්තාවූ මහත් ආනුභාව ඇත්තාවූ චන්ද්‍ර සූර්‍ය්‍යයන්ගේ ආලෝකය නොවැටෙන්නාවූ ආකාශ කුහරයෝ ඇත්තාහ”


සංයුක්ත නිකාය, සච්ච සංයුක්තය , පපාත වර්ගය, ලෝකන්තරික සූත්‍රය.


මෙබඳු විශ්වය පිළිබඳ සුවිශේෂී කරුණු වසර දෙදහස් පන්සියයකට ඉහතදී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට, සංඝයා විසින් සූත්‍රගත කොට තිබීමෙන් පෙනී යන්නේ උන්වහන්සේ සතුව තිබූ “ලෝකවිදූ” ඥානයයි. උන්වහන්සේගේ විස්මිත ප්‍රඥාවට හා අනාවරණ ඥානයට මේවා සාක්ෂිය.






සමාජ සංස්ථාවන්ගේ ප්‍රභවය සහ පරිණාමය

 



මානව සමාජය තුළ විවිධ සමාජ සංස්ථාවන් පරිණාමයට පත් වූ ආකාරය පිළිබඳව කථාන්තර ස්වරූපයෙන් කරුණු ඉදිරිපත් කිරීම සෑම සමාජ දර්ශනයක ම පාහේ දක්නා ලැබෙන ලක්ෂණයකි. මෙම කථා ඉතිහ‍ාසඥයන් හා පුරා විද්‍යාඥයන් කරුණු දක්වන නිශ්චිත විද්‍යානුකූල ඓතිහාසික ස්වරූපය දරන්නේ නැත. හරියට ම අසවල් දින අසවල් පුද්ගලයන් අතර මෙසේ  සිදු වී යැයි සනාථ කර දැක්වීමට හැකි වන්නේ ඓතිහාසික කරුණු පමණි. මානව විද්‍යාඥයන් ශිෂ්ටාචාරයෙහි පරිණාමය සිදු වීම පිළිබඳ තම නිරීක්ෂණ දක්වන්නේ එබදු රටාවකින් නොව පුරාණ කථා (ම්ය්ත්) ආකෘතියෙනි. එබඳු පුරාණ කථා ඇත්ත හෝ බොරු වශයෙන් විග්‍රහ කරනු නො ලැබේ. අතීතය පිළිබඳව ලැබෙන සීමිත සාධක ඔස්සේ විචාරාක්ෂිය යොමු කරන චින්තකයන් ගේ සියුම් පරිකල්පන ශක්තිය දාර්ශනිකය. එහි තාර්කිකත්වය හා සත්‍යානුරූපී බව තහවුරු වන්නේ ඉතිහාසය ඇසුරෙන් ම නොවේ. එහෙයින් ම ඒවා ඉදිරිපත් කරන ස්වරූපය බොහෝ විට කථාරූපී බවක් ගනි යි. මානව සමාජයේ ආදීම අවස්ථාවෙහි මිනිසා ක්‍රියා කළ අන්දම හා ක්‍රමයෙන් මානව සමාජය සංකීර්ණ වූ ආකාරය පිළිබඳ මේ පුරාණ කථා තුළින් වැදගත් කරුණු උකහා ගැනීම මිස  කථාවේ අංගෝපාංග  සැබෑ දැයි විග්‍රහ කිරීම අනවශ්‍ය බව මානව විද්‍යාඥයෝ සිතති. මාක්ස්වාදීන් ආදිතාලීන සාමූහික සමාජය පිළිබඳව දක්වන පුරාණ කථාව මෙන්ම බුදුසමයෙහි එන අග්ගඤ්ඤ සූත්‍ර පුරාණ කථාව ද මෙ බඳු මානව විද්‍යානුකූල කරුණු ප්‍රකාශ කරන පුරාණ කථා ය.

බුදුදහම මිනිසාගේ හෝ සත්වයා ගේ සම්භවය පිළිබඳ විද්‍යාත්මක න්‍යායයක් ඉදිරිපත් නො කරන බව ප්‍රකට කරුණකි. ලෝකය ඉබේ ඇති වී ද, කවුරුන් විසින් හෝ මවන ලද ද, ප්‍රථම මිනිසා පහළ වූයේ කවරදා ද වැනි ප්‍රශ්න බුදු දහමේ විෂය කේෂත්‍රයට නො ගන්නා ලදී. මෙ බඳු අතීත ගවේෂණ කාර්යයන් බුදුරජාණන් වහන්සේ විසින් ඉවත ලන ලද්දේ එයින් මිනිසා ගේ  විමුක්තිය විෂයයෙහි කිසි ම ප්‍රයෝජනයක් නැති බැවිනි. බුදුරදුන් විසින් පෙන්වා දී ඇත්තේ මිනිසා සසර දුකට මැදි වී මහත් ව්‍යසනයක‍ට පත්ව සිටින හෙයින් , ඔහු එයින් විමුක්තිය ලබා ගත යුතු බවය. තමන් සසරට බැඳ තබන බැඳුම් මොනවාදැයි මැනවින්  දැන ගැනීම තුළින් ඔහුට විමුක්තිය ලබා ගැනීමේ ශක්තිය ලැබේ. චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධය මේ සඳහා හොඳට ම ප්‍රමාණවත්ය. එහෙයින් අනවශ්‍ය වූත් ඉන්ද්‍රීය ඥාන විෂයයෙන් ( ඉදුරන් මෙහෙයවා ප්‍රත්‍යක්ෂ කර ගත හැකි දැනුම් පථයෙන් ) පරිබාහිර වූත් කරුණු පිළිබඳ ගැටළු බුදු දහමෙහි “අව්‍යාකෘත” ලෙස ඉවත ලා ඇත.

එසේ නම් සමාජ සංස්ථාවන් ගේ  පරිණාමය ගැන ප්‍රවාදරූපී ව හෝ කථා කරන්නේ කුමට දැයි ප්‍රශ්නයක් මතු කළ හැකිය. සමාජ විකාශය පිළිබඳ ව කරුණු පුරාණයක් වශයෙන් හෝ කථා කිරීමෙන් ප්‍රයෝජනයක් තිබේද? එය මිනිසාගේ විමුක්තියට අදාල වන්නේ කෙසේ ද? ඒවා ගැන කථා නො කර විමුක්තිය ලද හැකිව තිබියදී ඒ පිළිබඳව සාකච්ඡා කරන්නේ කුමට ද? මීට ම අදාල ව නැගිය හැකි තවත් ප්‍රශ්නයක් නම් එම දුරාතීත සිද්ධීන් ගැන බුදුරද්න් ඉදිරිපත් කරන්නේ හුදු පරිකල්පනයන් ප්‍රබන්ධ කළ කථාවක් ද, නැතහොත් සර්වඥතා ඥානයෙන් දුටු යථාර්ථයක් ද යන්නයි. දෙවන ප්‍රශ්නයට මුලින් පිළිතුරු දීම වඩාත් යෝග්‍ය යැයිහැ‍ඟේ. සමාජ මානව විද්‍යාඥයන් හා දේශපාලන චින්තකයන් තම පුරාණ කථා ඉදිරිපත් කරන්නේ තමන් ලද විද්‍යානුකූල  ශීක්ෂණය හෝ තමන් පිළිගත් දේශපාලන න්‍යාය පදනම් කර ගත් තාර්කික පරිකල්පනය මගින් දක්නා යමක් බව සැබෑය. ( එසේ වූ පමණින් එම අදහස් වැදගත් කමින්  අඩු වන්නේ නැත. ) එහෙත් බුදුරදුන්ගේ නුවණට ගෝචර වන සත්‍යය ඊට වඩා යථාර්ථවත් වන්නේ සර්වඥතා ඥානයට දීර්ඝ අතීතය සම්මර්ශනය කිරීමේ ශක්තියක්  අන්තර්ගත නිසාය. බුදු වර‍යකුට සත්වයන් පිළිබඳ දීර්ඝ  අතීත ඉතිහාසය ආවර්ජනා‍ කිරීමේ කෞශල්‍යය ලැබේ. එමෙන් ම අනෙක් ධාතුක වූ මහා විශ්වය පිළිබඳව ද ප්‍රත්‍යක්ෂ ඥානයක් බුද්ධඥානයට අයත්ය. එහෙයින් සර්වඥයන් වහන්සේට පරිකල්පනයෙන් කරුණු ගොතන්නට  අනවශ්‍ය ය . එහෙත් ඒවා ශ්‍රාවකයනට දේශනා කිරීමේ දී උන්වහන්සේ ට කාලයට අනුරූප ව ( කාලවාදී ) ශ්‍රාවකයන් ගේ ආසය අනුසය විමසා ඔවුන්ගේ  අවබෝධ ශක්තියට ගැලපෙන පරිද්දෙන් දේශනා කිරීමට සිදුවෙයි. සාමාන්‍ය පෘථග්ජන අසන්නන්ට මානව ඉතිහාසය හා විශ්ව විකාශය පිළිබඳ කරුණු ග්‍රහණය කර ගැනීමට හැකියාව අඩු නම් , ඔවුනට හුරු පුරුදු පුරාණ කථා ආකෘතිය තුළට මානව විද්‍යාත්මක කරුණු ආරෝපණය කර දේශනා කිරීම අවශ්‍ය වෙයි. එහෙයින් සන්නිවේදන ශිල්පයෙහි ඇති සුක්ෂම කෞශල්‍යයෙන් අනූන  ව සිටි තථාගතයන් වහන්සේ විසින් තම ධර්මය ශාවක ජනයාට අනුරූප වෙමින්  භාරතීය ජනතාවට එවකට හුරුව පැවති ආකෘතියෙන් දේශනා කළ බව නිරතුරුව ම සිත්හි තබා ගත යුතු ය.  උන්වහන්සේ විසින් විශ්වය පිළිබඳ ව වදාළ කරුණු විද්‍යානුකූලව නිවැරැදි යයි මැනවින් සනාථ වී ඇති බව මෙහිදී සැළකිල්ලට ගැනීම ද වටි යි.

සමාජ පරිණාමය ගැන පුරාණ කථා ස්වරූපයෙන් හෝ කරුණු දක්වන්නේ කුමට ද, එයින් විමුක්තියට කවර උපයෝගිතාවක් තිබේ ද යන ප්‍රශ්නය ගැන දැන් අපේ සිත් යොමු කළ හැකිය. බුදු දහම මිනිසාගේ ආධ්‍යාත්මික විමුක්තිය ගැන මෙන්ම සමාජගත විමුක්තිය හෙවත් යහපත් සමාජයක් තුළ ප්‍රසන්න පරිසරයක ජීවත් වීමේ අවස්ථාව සලසා දීමගැන ද උනන්දු වන බව මෙහිදී කිව යුතුව තිබේ. වෙනත් වචන වලින් කියතොත් පුදුගලයාගේ සන්තානගත දුක මෙන්ම සමාජයේ සංස්ථාගත දුකද නිවාරණය කිරීම බුදුදහමෙහි අරමුණ වෙයි. එහෙයින් සමාජයෙහි පවත්නා ජාති- කුල භේද, වර්ගවාදී ගැටුම් , අපරාධ , අයුක්තිය, අසාධාරණය, දිළිඳුකම වැනි ගැටළු කෙරෙහි යම් ආලෝකයක් ලැබෙන ඉගැන්වීම් ද බුදු දහම තුළින් ඉදිරිපත් කර ඇත. සමාජ සංස්ථාවන් ගේ පරිණාමය පිළිබඳ පුරාණ කථාව ඉදිරිපත් කර ඇත්තේ ද පූර්වෝක්ත අතිශය වැදගත් අරමුණ සනාථ කර ගැනීමට මිස අසන්නට රසවත් කථා පුවතක් මඟින් විනෝදාස්වාදයක් සැපයීමට නොවේ. දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රයෙහි ආරම්භය මඟින් ම මෙය සනාථ කළ හැකිය. වාසෙට්ඨ හා භාරද්වාජ නම් උපතින් බ්‍රාහ්මණයන් වූ හිමි ‍ෙදනමක්  අමතා කර ඇති මෙම දෙසුම තුළින් මානව සමාජයේ සංස්ථාවන් සංකීර්ණ වූ ආකාරය පිළිබඳ කථා පුවත ඉදිරිපත් කර ඇත්තේ වර්ණ භේදය ( කුල , ජාති, ගොත්ත ආදී වචන වලින් ද හදුන්වා ඇති උපතින් මිනිසුන් උස් - පහත් වශයෙන් බෙදා දක්වන ක්‍රමය) පිළිබඳ දුර්මත නිරාකරණය කර චතුර් වර්ණයෙහි ජනයාගේ සාම්‍යය  තහවුරු කරණු පිණිසය.  එක් යුගයක දී කිසියම් කාලීන ප්‍රයෝජනයක් සඳහා ඇතිකර ගත් සම්මුතියක් කලකට පසු විකෘති වී මූලික අරමුණින් ඈත් වී යල් පැන ගිය හ‍ා අහිතකර සංස්ථාවක් බවට පත් වූ ආකාරය එයින් පැහැදිලි කර ඇත. එමෙන් ම නීතිය , රාජ්‍යය, බදු ක්‍රමය, දණ්ඩනය ආදී සංස්ථාවන් ගේ ද මූලික අරමුණු පහදා දීම තුළින් තත් කාලීන සමාජ සංස්ථාවන් වෙන මාර්ගෝපදේශයක්  සැපයීම ද එයින් ඉටු වෙයි. යම් යම් දේශපාලන හා සමාජ ආයතන වෙත එක එල්ලේ දැඩි විවේචන එල්ල කිරීම තුළින් සිදු කර ගත නොහැකි සංසෝධන හා සංස්කරණ මෙ බදු සියුම් හා මෘදු දාර්ශනික සන්නිවේදන උපාය මාර්ග මඟින් සාධනය කර ගත හැකි බව බුදුරජාණන් වහන්සේ ගේ දේශනාවලින් පෙනේ. උන්වහන්සේ ගේ මෙ බදු දේශන මඟින් තත් කාලීන සමාජ චින්තනයේ වෙනසක් සිදු වූ බව පසු කාලීන බ්‍රාහ්මණ ආගමික ලේඛන පවා කුල භේදය හා රාජ්‍යය වැනි විෂය පිළිබඳ ව  කරුණු දැක්වීමේ දී පෙරට වඩා මෘදු වූත් හිතකර වූත් ස්වරූපයෙන් කරුණු දැක්වීමට පෙළඹීමෙන් පෙනේ. එහෙයින් බුදුරදුන් සමාජ සජස්ථාවන් ගේ ක්‍රම  විකාශය පිළිබඳව වදාළ දේශන ඉතා වැදගත් සමාජ කාර්යය භාරයක් අරමුණු කරගත් අර්ථ සම්පන්න දේශන බව කිව යුතුව තිබේ.


අග්ගඥ සූත්‍රය මෙම ප්‍රස්තුතය පිළිබඳ ප්‍රධානතම මූලාශය හෙයින් ඒ පිළිබඳ ව  විධිමත් ව සාකච්ඡා කිරීම අවශ්‍ය ය. දීඝ නිකායෙහි එන මෙම සූත්‍රය බෞද්ධ සමාජ දර්ශනයෙහි මූලික සංකල්ප රාශියක් ඉතා රමණීය ආකෘතියකින් ඉදිරිපත් කරන දේශනයකි. මහාචාර්යය කේ. එන්. ජයතිලක මෙම සූත්‍රයෙහි ප්‍රධාන තේමා තුනක් දකියි.


 වර්ණ භේද සංකල්පය උපකාරී කර ගනිමින් බ්‍රාහ්මණයන් විසින් තමන් අන් අයට වඩා උසස් බව කියා ගැනීමෙහි සාවද්‍ය බව හෙළි කිරීම.

පොළොවෙහි ක්‍රම විකාශය දැක්වීම


මානව ස්වභාවයෙහි ඇතිවන වෙනස්කම් හා භෞතික ආර්ථික සාධකයන්හි ඇතිවන වෙනස්කම් සදාචාර සංකල්පවලට බලපාන ආකාරය හෙළි කිරීම.

මේ කරුණු විවරණය කරන ආකෘතියෙහි  ඇති තවත් සුවිශෙෂ වැදගත් කමක් නම් අතීතයෙහි පැවති යම් යම් ව්‍යවහාර වර්තමානය දක්වා පැවත ඒමේ දී මූලික පැරණි ස්වරූපය අමතක කර බාහිර රූපය විසින් පමණක් පුරාණ දෙය ( පෝරාණං අග්ගඤ්ඤං අකඛරං) පැවති ඇති අයුරු පෙන්වා දීමය. මෙය මානව විද්‍යාඥයන් වත්මනෙහි බල්ලන් කවර තැනක නින්දට යතත් වට තුනක් කැරකී නින්දට යාම පිළිබඳ ව ඔවුන් වනචාරී සත්වයන් ලෙස ජීවත් වූ යුගයෙහි කළ ක්‍රියාවක් දිගට ම අනුකරණාත්මක ව පවත්වා ගෙන ඒමක් සේ කරන විග්‍රහයට සම කළ හැකිය. අග්ගඥ සූත්‍රය එබඳු කරුණු හතක් මුල්කරගෙන අතීතය පිළිබඳ සමාලෝචනයක යෙදෙයි. 


අහෝ රසං, අහෝ රසං ( අනේ රසයි, අනේ රසයි.)

අහු වත නෝ , අහායි වත නෝ. ( අපිට තිබුණා, නැති වුණා)

වධුයා තිබ්බුයහමානාය ...... පංසුං ඛීපන්ති , සෙට්ඨිං ඛීපන්ති , ගොමයං ඛීපනති ( මනාලියක කැදවා ලගන යන විට පස් , ගල් කැට, ගොම ආදියෙන් දමා ගසති. )

මහා සම්මත, ඛත්තිය , රාජා. (ක්ෂත්‍රීය)

බ්‍රාහ්මණ , කඣායක, අජ්ඣායක. (බ්‍රාහ්මණ)

වෙස්ස ( වෛශ්‍ය)

සුද්ද ( ශුද්‍ර)


මෙම සමාලොචනය කරනු ලබන්නේ පූර්වෝක්ත තේමාවන් මුල් කරගනිමින් වර්ථමාන සමාජයට අතිශයින් වැදගත් සමාජ දේශපාලන හා ආර්ථික විචක්ෂණයක් ලබා දීම සඳහා ය. වර්ථමාන කුල භේදය වැරදි අරමුණක් සඳහා යොදාගත් දෙයක් බව එයින් පැහැදිලි කර දෙයි. පැරණි යුගයේ කුල භේදය එක්තරා ප්‍රායෝගික හේතු කීපයක් නිසා කාලීන ව ඇති කර ගත් සම්මුතියක් වශයෙන් එකලට අර්, සම්පන්නව තිබුනත් දැන් එහි අර්ථ සම්පන්න බව ගිලිහී ඇති බව මැනවින් පහදා දී ඇත. එමෙන් ම රජ පදවිය මහජනතාව විසින් පොදු සම්මුතියක් මත ප්‍රජාත්‍රාන්ත්‍රික ලෙස ඇතිකරගත් දෙයක් බව ද ගම්‍ය වෙයි. එය වැදගත් වන්නේ තත්කාලීන රජවරුන්ට තමන් ජනතාවට වග කිවයුතු බව එමගින් සිහිපත් කර දෙන හෙයිනි. 

අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වෙන කතා පුවත ඇරඹෙන්නේ ලෝකය විවට්ටමාන යුගයට පිවිසීමත් සමඟය. බෞද්ධ ලෝක විභාගයේ දැක්වෙන්නේ අප ජීවත්වන ලෝකය වරින් වර සංවට්ටනය ( හැකිලීම ) හා විවට්ටනය ( විකසනය) වන බවය. ලෝකය නම් විශ්වයයි. බුදුරදුන් දුටු විශ්වය වුලනිතා ලෝකධාතුව මජ්ඣිමකා ලෝක ධාතුව හා මහා ලෝක ධාතුව වශයෙන් තුනකට බෙදේ.  වුලනිතා ලෝකධාතුව මෙයින් කුඩාම ඒකකයයි. එහි අප වසන සෞරග්‍රහ මණ්ඩලය බදු සෞරග්‍රහ මණ්ඩල රාශියක් අන්තර්ගත ය. නූතන විද්‍යාත්මක ව්‍යවහාරය හා සම කර බලන්නේ නම් එය ගැලැක්සියකට සම කළ හැක. එබදු වුලනිතා ලෝක ධාතු සමූහයකින් මජ්ඣිමකා ලෝක ධාතුවක් සෑදේ. එය ගැලැක්සි පොකුරක් හා සමානය. එබදු මජ්ඣිමකා ලෝක ධාතු රැසක් එක් වී මහා ලෝක ධාතුව තැනී ඇත. මෙම ලෝක ධාතුවෙහි සංවට්ටමාන යුගය එහි ස්වභාවය මුළුමනින් ම විකෘ.කරන්නකි. එබදු යුගයක දී පෘථිවියේ සත්ව ජීවිතය අපහසුයි. සත්වයෝ ආභස්සර කායික ව ( සූක්ෂම ස්වරූපයකින් ) රැකී සිට විවට්ටමාන යුගය පටන් ගත් විට පෘථිවියට එති. පෘථිවිය එකම ජල ගෝලයක් මෙන් අඳුරෙහි දිගු කලක් පවති යි.  මෙහි වාසයට එන සත්වයා අහසෙහි හැසිරෙන්නට සමත් මනෝමය සිරුරින් යුත් , ප්‍රීතිය ආහාර කරගෙන ජීවත් වන සිරුරින් ආලෝකයක් විහිදුවන ජීවීහු වෙති.මෙසේ කලක් ගත වූ පසු දිය මත රස තලය හෙවත් වර්ණවත් රසවත් සුවඳ පොළෝ තලයක් සැකසෙයි. මේ මිහිරි පෘථිවිය දක්නා එක් සත්වයෙක් ස්වකීය ලොල් බව ( ආශාව ) නිසා පොළොවේ ඇඟිල්ල හා රස බලයි. ඔහුට එය රසවත් ව මිහිරිව දැනීමෙන් ඒ කෙරහි තෘෂ්ණාව උපදියි. අනිකුත් සත්ත්වයෝ ද එය රස විදිති. හැම දෙනා ම ඊට ගිජු ව අනුභව කරන්නට පටන් ගනිති. මෙහි ප්‍රතිඵලය වන්‍න් ඔවුන්ගේ ශරීරවල ප්‍රභාව අතුරුදහන් වීමයි. ඉන් පසු ඔවුන් ආලෝකය දකින්නේ හිරු - සඳු ඇසුරෙනි. මෙසේ දිගු කලක් රස පොළොව අනුභව කරන සත්ත්වයන් ගේ ශරීර ක්‍රමයෙන් ගොරෝසු විය. සමහරුන් තුළ වර්ණවත් බව හා සමහරුන් තුළ දුර්වර්ණ බව ඇතිවිය. ඔවුනතුරෙන් වඩා පැහැපත් සිරුරු ඇත්තෝ පැහැපත් බවින් ඌන වූවන් හෙළා දක්නට පටන් ගත්හ. මෙම මානය හෙතුවෙන් රස පොළෙ‍ාව අතුරුදහන් විය. ( පොළොවේ රසය නැති විය. ) එවිට මිනිස්සු තමන් කලින් අනුභව කළ රස පොළොව මතක් කරමින් “අනේ රසයි, අනේ රසයි” යනුවෙන් සිහි කරන්නේ එම පැරණි වහර මතු කරමිනි. එය මතක් කළ ද අරුත නො දනිති.

අනතුරුව ඔවුන්ගේ ප්‍රයෝජනය පිණිස “ පප්පටක” නම් බිම් හතු වර්ගයක් පහළ විය. එය ද ඉතා වර්ණවත් සුවදැති රසවත් ආහාරයක් වූයෙන් සත්ත්වයෝ එය අනුභව කරමින් කලක් විසූ හ. එහෙත් එහි ප්‍රතිඵය වූයේ ඔවුන්ගේ ශරීර වඩාත් ගොරෝසු වීමයි. පැහැපත් - දුර්වර්ණ වෙනස් කම් ද වැඩිවිණි. පැහැපත් වූවෝ මානාධික ව පැහැපත් නොවූවන් හෙළා දුටූ හ.   මෙම වර්ණ මානය නිසා භූමි පප්පටක ද අතුරුදහන් විය.

ඉන් පසු බද්‍රලතා නම් රසවත් වැල් වර්ගයක් පහල වූයෙන් සත්වයෝ එය අනුභව කරන්නට පටන් ගත් හ. එයින් ද වූයේ වර්ණ භේද වැඩි වීමයි. එයින් මානය වර්ධනය කර ගත් පැහැපත් වූවන් ගේ නො මනා මානය නිසා එය ද අතුරුදහන් විය. එයින් තැවුලට පත් සත්ත්වයෝ එක් රැස්ව සාකච්ඡා කළහ. “ අපට තිබුන දේ නැති වුණා” යි ඔවුහු දුක් වූහ. වත්මන් මිනිස්සු ද යමක් තිබී නැති වූ විට “අපට තිබුණ දේ නැති වුණා” යි දොම්නස් වෙති. එහෙත් එහි ආදි නිදානය නො දනිති.   

අනතුරුව පොතු ( දහයියා ) නැතිව පැසෙන පිරිසිදු සුවඳ ඇල් හාල් වර්ගයක් ඇති විය. ඒ සුවඳ සහල් උදේ කපා ගත් විට සවසට යළි වැවෙයි. ඉවර නොවෙයි. හිඟ නොවෙයි. එය අනුභව කරමින් සත්ත්වයෝ බොහෝ කලක් සුවසේ විසූ හ. එහි ප්‍රතිඵල ලෙස ශරීර වඩ වඩාත් රළු වූවා මෙන් ම ස්ත්‍රී හා පුරුෂ වශ‍ෙයන් ලිංග භේදය ද ප්‍රකට විය. මෙසේ ස්ත්‍රී පුරුෂ දෙවර්ගය වෙන වෙන ම පැහැදිලි වූ පසු ස්ත්‍රී පුරුෂයෝ ඔවුනොවුන් දෙස බොහෝ වේලා බලා සිටින්නට පටන් ගත්හ. එයින් ඔවුන්ගේ සිත් තුළ රාගය ඇති විය. ඔවුහු මෛථුන සේවනයෙහි යෙදුණා හ.  මේ කවර විදියේ හැසිරීමක් දැයි නො දත් අය “ සත්ත්වයෙක් තවත් සත්ත්වයෙකුට මෙ බදු දෙයක් කරන්නේ කෙසේ දැයි” විමසමින් පස්, ගොම ආදියෙන් දමා ගැසූ හ. නිග්‍රහ කළහ. අද වුව ද මනාලියක ගෙන යන විට ඇතැම් සමාජවල  මෙසේ පස් , ගල්කැට, ගොම ආදියෙන් දමා ගසති. එහෙත් එම ක්‍රියාවෙහි ආදි අරුත නො දනිති. පසුව සත්ත්වයෝ එබදු ක්‍රියාවක යෙදෙන අය වෙනුවෙන් වෙන ම පිළිවෙතක් යෙදූ හ. එනම් මසක් දෙකක් ගම මැදට පිවිසෙන්නට ඉඩ නො තබා කොන් කිරීමයි. මේ දඩුවමින් මිදී ලිංගික හැසිරීම් වල යෙදෙනු කැමැත්තෝ රහසිගත ව එය ඉටුකරගනු පිණිස ගෙවල් තනා ගත්හ.

මේ අතර එක් අලස පුද්ගලයෙක් වේලෙන් වේලට හැල් කපා ගෙන ඒම කරදරයක් සේ සිතා දෙතුන් වේලකට එක වර කපා ගෙනවුත් ගබඩා කර ගත්තේ ය. මෙය දුටු අන්‍යයෝ ද එසේ කරන්නට පටන් ගත් හ. ඔවුන් මෙසේ රැස් කර  ගබඩා කර ගැනීම ( සන්ධිකරණය ) ඇරඹූ පසු සහල්වල දහයියා හා කුඩු ඇතිවිණි. කැපූ තැන වැවීම ද අඩු විය. තැන තැන පාළු වී ගියේ ය.

මෙයින් දොම්නසට පත් ඔවුහු රැස්ව කතිකා කර සහල් කෙත් බෙදා මායිම් ගසා ගත්හ. එහෙත් එක් තෘෂ්ණාධික පුද්ගලයෙක් තම කොටස පරෙස්සම් කර ගෙන අනුන්ගේ කෙතින් හැල් කපා ගත්තේ ය. ඔහු අල්ලාගෙන තර්ජනය කළ නමුත් දෙවන තෙවන වරට ද එසේ කළ හෙයින් අතින් පයින් හා පොලුවලින් ද පහර දෙන්නට සිදු විය.

මේ තත්වය යටතේ මිනිසුන්ට නැවත රැස්ව කතා කරන්නට සිදු විය. මෙය ඔවුන් සාමූහික ව රැස් ව සාකච්ඡා කළ තුන්වන වතාවයි. “ අප අතර පාපී හැසිරීම් හෙවත් අපරාධ නැති වී තිබේ. නුදුන් දේ ගැනීම, ගැරහීම , බොරු කීම , දඬු මුගුරු ( ආයුධ වශයෙන් ) භාවිත කිරීම යන වැරදි වැඩ අප අතර පහළ වී ඇති හෙයින් හෙළා දැකිය යුත්තන් හෙළා දැක, ගැරහිය යුත්තන්ට ගරහා, පිටුවාහල්  කළ යුත්තන් පිටුවාහල් කරන්නට සමත් එක් සත්වයකු තෝරා ගනිමු. ( සම්මත කර ගනිමු.) අපි ඔහුට අපේ හැල් අස්වැන්නෙන් කොටසක් දෙමු.” යි කතිකා කර ගත් හ. ඒ අනුව ඔවුහු අභිරූපී දර්ශනීයතර , සිත් පහදන සුළු, මහේශාක්‍ය පෙනුමක් ඇති පුද්ගලයෙකු තෝරා ඔහුට පූර්වෝක්ත කාර්යය පැවරූහ. මහජනතාව ගේ සම්මතයෙන් පත් වූ හෙයින් මහා සම්මත යන නමද  කෙත් වතුවලට අධිපති ව ඒවායේ නිසි පරිහරණය සහතික කරන්නා හෙයින් ඛත්තීය යන නම ද ධර්මයෙන් අනුන්ගේ සිත් රංජනය ( සතුටු කිරීම) කරන හෙයින් “රාජා” යන නම ද මේ පුද්ගලයාට  යෙදිණි. දැන් මේ වචන ක්ෂත්‍රීයයන් අරබයා යොදන නමුත් එහි මුල් අරුත් අමතක ව ගොස් ඇති බව බුදුරදහු පෙන්වා දුන් හ. එසේ වුවද ඒවා යෙදි ය යුත්තේ ඒ පැරණි අයට ම සම, එම ධර්මය ම අනුගමනය කරන සුදුසු ම අයට මිස නුසුදුස්සන්ට නොවන බව ද උන්වහන්සේ අවධාරණය කළ හ.    

අනතුරු ව එම සත්ත්වයන් අතුරින් එක්තරා පිරිසක් “ අප අතර පාපී හැසිරීම් ඇති වී තිබේ. අපි ඒ පවුකම් බැහැර කළ යුත්තෝ වෙමු.” යි සිතූහ. පවු බැහැර කරන්නෝ යන අරුතින් බ්‍රාහ්මණ නම් වූ ඔවුහු වනගත ව කොළ අතුවලින් පන්සල් ඉදි කර ගෙන දිනපතා ගම් නියම් ගම් වැද පිඬු සිඟා වළඳමින් යළි වනයට පිවිසෙමින් භාවනා කිරීමේ යෙදුණ හ. භාවනා හෙවත් ධ්‍යාන වඩන හෙයින් ඔවුහු ‘ඣායක’ නම් වූහ. ඔවුනතුරෙන් සමහරු  හරි හැටි භාවනා කරන්නට අසමත් ව යළි ගම් නියම් ගම් වාසයට අවුත් පතපොත ලියමින් හදාරමින් වසන්නට පටන් ගත්හ. “ඣායනය” හෙවත් භාවනාව අත්හළ නිසා ‘අජ්ඣායක’ යන නම ඔවුනට යෙදිණි. එකල අජ්ඣායකත්වය ( භාවනාව වෙනුවට අධ්‍යනය තෝරා ගැනීම ) එතරම් වැදගත් පිළිවෙතක් නො වීය.   බුද්ධ කාලය වන විට  එය ගෞරවනීය වු බව සූත්‍රයෙහි කියැවේ. මෙම ව්‍යවහාරයන්ගේ  ද නිසි අරුත් අමතක ව ගොස් ප්‍රඥප්ති වශයෙන් බුද්ධ කාලයෙහි ව්‍යවහාර වූ බව පෙන්වා දී ඇත.

මේ අතර විවාහ වී අඹු දරු පෝෂණය කරමින් විවිධ කර්මාන්තවල නිරත වූ පිරිස් ‘වෛශ්‍ය’ නමින් හඳුන්වන ලදී. අතපය දැඩි සේ වෙහෙසමින් ගොරෝසු  රළු රැකියාවල නිරත වූ සුළු ජනයා ‘ශුද්‍ර’ නමින් හැදින්විණි. මෙ සියළු වහර එකල විශේෂ අර්ථ අරබයා යොදා ගත් නිසා ඒවා එබදු අර්ථවත් පරිසරයක මිස නොයෙදිය යුතු බව පැහැදිලි ය. මේ කවර වර්ගයකට වෘත්තීය හා සමාජගත කාර්යයක නිරත වූ අයකු වුව ද ගිහිගෙයින් නික්ම ශ්‍රමණයන් බවට පත් වුවහොත් සියළු පෙර නම් ගොත් වෙනස් වී ‘ශ්‍රමණ’  නමින් හැදින්වෙයි. ගිහිගෙයි වසමින් සුසි‍රිතෙහි හැසිරෙන කවුරුන් වුව ද සුගතියෙහි ඉපදෙන අතර  දුසිරිතෙහි හැසිරෙන කවුරුන් වුව ද   සුගතියෙහි ඉපැදීම ස්වභාවය යි.

මේ දැක්වූයේ සමාජ විකාශය පිළිබඳ අග්ගඤ්ඥ සූත්‍රයෙහි ඉදිරිපත් වන පුරාණයයි. එය නූකන මානව  විද්‍යානුකූල නිරීක්ෂණ හා සමගාමී වැදගත්කමක් දරන්නේ මානව ශිෂ්ටාචාරයෙහි ආර්ථික දේශපාලන සංස්ථාවන් ගේ පරිණාමය පිළිබඳ යථාර්ථවාදී රීතියකින් මූලික නැඹුරුවීම් ( උපනතින් ) පිළිබඳ පිළිගත හැකි විවරණයක් ඉදිරිපත් කරන නිසාත් , ඊශ්වර නිර්මාණය වැනි අධිභෞතික සංකල්පවලින් තොරව කරුණු ඉදිරිපත් කරන නිසාත ය. එමෙන් ම දේශපාලන බලය මහජනතාව තුළින් මතුවන්නක් බව අතිශය ප්‍රජාත්‍රාන්ත්‍රික ස්වරූපයකින් දක්වන අතර සියළු සමාජ සංස්ථා සුනම්‍ය හා ප්‍රායෝගික බව ද එයින් ගම්‍යමාන වෙයි.

මූලික මිනිස් ස්වභාවයන් වූ තෘෂ්ණාව ( ලෝල ජාතිකත්වය ) අනුකරණය (දිට්ඨානුගති) සහ අලසකම සමාජ පරිණාමයෙහි ලා ක්‍රියාත්මක වූ ආකාරය මෙම පුරාණයෙන් සිත් ගන්නා සුළු අයුරින් දක්වා තිබේ. මිනිසා සදාචාරය අතින් පිරිහෙන විට සොබා දහම ඔහුට දැක් වූ දයාන්විත දායකත්වය හීනව ගිය බව ද ජීවිතය වඩ වඩා කර්කශ වූ බව මේ සූත්‍රය පැහැදිලි කරයි.

මෙම සූත්‍රය මගින් දේපල අයිතිය , රාජ්‍ය පාලනය, බදු ක්‍රමය, අධිකරණය වැනි සංස්ථා මෙන් ම පවුල් ජීවිතය සංවිධානය වූ ආකාරය ද යථාර්ථවාදී ලෙස විවරණය වෙයි. ලිංගික හැසිරීම් හේතුවෙන් ස්ත්‍රී පුරුෂනයට සහවාසය සඳහා ගෘහයක් අවශ්‍ය වූ බව කියැවේ. පවුල් ඒකක වශයෙන් සමාජය සංවිධානය වූ පසු පෞද්ගලිකත්වය වර්ධනය විය. සොරකම හා ආයුධ භාවිතය පැතිර ගියේ මෙම පෞද්ගලික අයිතිය පිළිබඳ සංකල්පයේ වර්ධනය සමගය.

බුදු දහම අධි‍ෙභෟතික සංකල්පය ප්‍රතික්ෂේප කරමින් ප්‍රතිත්‍ය සමුත්පාදයට අනුව සියලු සංසිද්ධීන් පිළිබඳ හේතු - ඵල  විග්‍රහය යෙදෙ යි. යථාර්ථවාදී චින්තනයක් ඉදිරිපත් කරයි. එහෙයින් සමාජ සංස්ථාවන් ගේ විකාශය පිළිබඳ  මෙම පුරාණ කථාව ද ඓතිහාසික වාර්ථාගත  නියාමයන් පැහැදිලි කරන ස්වරූපයෙන් ඉදිරිපත් වන්නක් බව කිව යුතුය. අප එහි කතා පුවතට වඩා එයින් ධ්වනිත වන නියාම ධර්මයන් පිළිබඳව අවධානය යොමු කරන්නේ නම් බුදු දහමේ ගැබ්වන මානව විද්‍යාත්මක පරිඥානය පිළිබඳ ව වඩාත් නිවැරදි ඇගයුමක් කර ගන්නට හැකි වෙයි.