Thursday, 16 September 2021

“හීනයාන-මහායාන භේදය ශාසන ඉතිහාසයේ එක්තරා අවස්ථාවක සිදු වූවක් වශයෙන් විනා වර්තමානයට අදාළ වූවක් වශයෙන් හඳුනාගත නොහැක.

 




01. හැඳින්වීම


        සසරේ බිය දුටු සත්වයෝ විමුක්තිය උදෙසා බුදුරජාණන් වහන්සේ වටා එකතුවීම මත භික්ෂු ශාසනයක් නිර්මාණය වේ. මුල් කාලීන භික්ෂූන් වහන්සේලා සමගිව එක අරමුණකින් කටයුතු කළහ.එනම් විමුක්තිය ලැබීමේ අරමුණෙනි. එහෙත් පසුකාලීනව සසුනට එකතු වූ භික්ෂු පිරිස් එම අරමුණෙන් බැහැරවී විවිධ අරමුණින් සසුන තුළ කටයුතු කළ ආකාරය සාසන ඉතිහාසය දෙස බැලීමේදි පැහැදිළිවෙයි. එම භික්ෂු පිරිස් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ගැඹුරින් අධ්‍යනය කිරීමට හා එහි දාර්ශනික පැතිකඩ නිරාවරණය කිරීමටත් බුද්ධ භාෂිතය පිළිබඳව යම් යම් අර්ථ විවිරණයන් ඉදිරිපත් කිරිමටත් පෙළඹුනහ. එහි ප්‍රතිඵලයක් ලෙස ශාක්‍යපුත්‍රීය ශ්‍රමණ සම්ප්‍රධායක් වශයෙන් ඒකීයව පැවති සංඝ සමාජය පසුකාලීනව විලෝපනයන්ට බඳුන් වීමත් විවිධ සම්ප්‍රදායන් බිහිවීමත් සිදුවිය. එසේම පසුකාලීනව සිදු වූ මෙම නිකායභේදය හුදෙක් පසුකාලීන ප්‍රවනතාවයක්ම පමණක් වශයෙන් දැක්විය නොහැකි බව සාසන ඉතිහාසය දෙස බැලීමේදි මැනවින් හඳුනාගත හැකිය. 

         මෙසේ සංඝ සමාජය තුළ සිදු වූ විවිධ නිකායභේදයන් අතර වඩාත් සාධනීයම අවස්ථාවක් ලෙස ථේරවාද - මහායාන සම්ප්‍රධායන් බිහීම දැක්විය හැකිය. ඒ අනුව ඓතිහාසික වශයෙන් සිදු වූ මෙම නිකායභේදයන් සිදුවීම පිළිබඳවත් එම නිකාය භේදයන් සිදුවීම සඳහා බලපෑ මූලබීජයන් පිළිබඳවත් සාසන ඉතිහාසයේ නොයෙකුත් අවස්ථා සිදුවීම් ඓතිහාසික වාර්තා ආශ්‍රයෙන් විමසමින් මෙම ථේරවාද -මහායාන වශයෙන් බිහි වූ සම්ප්‍රධායන්ගේ ප්‍රභවය පිළිබඳව විමසීම මෙම නිබන්ධය තුළින් අරමුණුකොට ඇත. එහිදි බුදුන් වහන්සේ ධරමාන සමයේ සිටම පසුකාලීන සංඝායනා අවස්ථාවන් පිළිබඳවත් විමසමින් මෙම නිබන්ධය තුළ ඓතිහාසික වශයෙන් ථේරවාද - මහායාන සම්ප්‍රධායන්ගේ බිහිවීම පිළිබඳව කරුණු සාකච්ඡා කෙරේ.


02. නිකාය භේදයට පෙර බුදුසමය.

       බෞද්ධ දර්ශනයෙහි ප්‍රාරම්භය ගෞතම බුදුරජාණන්වහන්සේ පන් සාළිස් වසක් මුළුල්ලේ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පදනම් කොට ගෙන සිදුවූවකි. එහෙත් එය බුද්ධ පරිනිර්වාණයෙන් පසුව විවිධ වූ දාර්ශනික චින්තාවන් පදනම් කොට ගනිමින් සංවර්ධනය විය. විශේෂයෙන් නිකායාන්තර ධර්ම කාරණා සම්බන්ධයෙන් ගොඩ නැගුණු මතවාද ද සමයාන්තර ආගමික මතවාද ද කරණ කොටගෙන මෙසේ බෞද්ධ දර්ශනයෙහි ප්‍රභවය සිදුවිය. බෞද්ධ සමාජය දර්ශනය වශයෙන් ථෙරවාද මහායාන යැයි ප්‍රධාන විභජන දෙකකි. මේ දෙක අතරින් බුද්ධ ධර්මයේ බොහො තැන් සියුම්ව නිරීක්‍ෂණය කොට විග්‍රහ කළෝ මහායානිකයෝය. ථෙරවාදීහු බුද්ධ භාෂිත ශ්‍රී සද්ධර්මයම ප්‍රාමාණිකත්වයෙන් සළකා එයම බුද්ධ වචනයට අනුව විවරණය කළ අතර මහායානිකයෝ මූලික බුද්ධ වචනය සිය සම්ප්‍රදායේ මතවාද සමඟින්ම විවරණය කළහ. 


    ලෝකයේ ප්‍රධාන ආගම් දෙස බැලීමේ දී පෙනීයන වැදගත් කරුණක් නම් එම සෑම සමයක ම පාහේ නිකායන් හෙවත් සම්ප්‍රදායන් බිහිවීම පෙන්වා දිය හැකිය.

 බුදුසමය - ස්ථවිරවාද, මහායාන

 ක්‍රිස්තියානි සමය - කතෝලික, ප්‍රොතෙස්තන්ත

 ඉසලාම් සමය - ශුන්නි, ශියා 

 හින්දු සමය - ශිව, විෂ්ණු 


    මෙසේ සම්ප්‍රදායන් බිහිවීම සාමාන්‍ය තත්ත්වයකි. මෙම ප්‍රධාන ප්‍රභේදයන්ට අමතරව තවත් කුඩා බෙදීම් රාශියක් ඇති වූ අතර ධර්මයේ ව්‍යාප්තිය එම සම්ප්‍රදායන් බිහිවීමටත්, එම සම්ප්‍රදායන් බිහිවීම ධර්මයේ ව්‍යාප්තියටත් ඉවහල් වූ බව පෙනේ. ලොව කිසිදු ආගමක් හෝ දර්ශනයක් ආකස්මිකව පහළ නො වූ අතර දේශ, කාල, සමාජ හා ආර්ථික පරිසරය ඒ සඳහා ඉවහල් විය.


    නිකාය භේදයේ ආරම්භය දෙවන සංගායනාවෙන් පසුව සිදුවූයේ යැයි බොහෝ දෙනාගේ පිළිගැනීමයි- එහෙත් එයට මූලබීජ බුද්ධකාලයේ සිටම පැවති බව පෙනේ- මුල්කාලයේ බුද්ධශාසනයට ඇතුළත් වූ පුද්ගලයෝ ගිහිගෙයි කටුක බව දැක පැවිද්ද ආකාශය මෙන් නිදහස් යැයි අවබෝධ කොට ගෙන පැවිදි වූහ- ඔවුන්ගේ ඒකායන අරමුණ වූයේ නිර්වාණය සාක්ෂාත් කරණයයි- එහෙත් කල්ගත වීමේදී ශාසනයට ඇතුළු වූ පිරිසගේ පරමාර්ථ විවිධ විය- එම පිරිස මුඛ්‍ය පරමාර්ථයෙන් බැහැරවීම යන කාරණාව හේතුවෙන් බුදුරජාණන් වහන්සේ ධරමාන අවධියේ ම භික්ෂු සමාජය තුළ නොයෙක් අර්බුද හටගත්තේ ය.


     භික්ෂූන්ගේ නායකත්වය අපේක්ෂා කළ දේවදත්ත තෙරුන් වහන්සේ බුදුන් නැසීම සඳහා නොයෙක් උපාය මාර්ග ගත්ත ද එය අසාර්ථක වූ තැන පඤ්චවරයක් ඉදිරිපත් කළහ- එහි දී බුදුන් වහන්සේ දේශනා කළේ කැමති කෙනෙක් ඇත්නම් මෙම පඤ්චවරය පිළිගන්නා ලෙසයි- එහි දී භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් දේවදත්ත තෙරුන්ගේ පාර්ශ්වයට එකතු වූ බව මූලාශ්‍ර සඳහන් කරයි. කොසඹෑනුවර ඝෝසිතාරාමයේ ධර්මධර විනයධර භික්ෂූන් අතර මතභේදයක් හටගත් අවස්ථාවේ එය සමථයකට පත් කිරීමට බුදුන් වහන්සේ උත්සාහ ගත්ත ද එය නොහැකි වූ තැන උන්වහන්සේ පාරිලෙය්‍ය වනයට වැඩම කළ බවට තොරතුරු හමුවේ. කීටාගිරි භික්ෂූන්, ඡබ්බග්ගිය භික්ෂූන්, සුනක්ඛත්ත භික්ෂුව, සාති භික්ෂුව, මාලුංක්‍යපුත්ත භික්ෂුව ආදි භික්ෂූන් වහන්සේලා නිසා බුදුන් වහන්සේ ධරමාන කාලයේ දීම ශාසනයේ නොයෙක් අර්බුද නිර්මාණය වී ඇත- මෙකී තත්වයන් පසුකාලීන නිකාය භේදයේ ආරම්භයට උපස්ථම්භක වූ බව නිගමනය කළ හැකිය.


      බුදුරජාණන් වහන්සේ තම පරිනිර්වාණයට පෙර ආනන්ද තෙරුන් වහන්සේ අමතා “ආනන්දය, ප්‍රවචනය ඉකුත් වූ ශාස්තෘ ඇති එකකැයි අපගේ ශාස්තෘහු නැතැයි තොපට මෙබඳු සිතක් ඇති විය හැක්කේමය. ආනන්දය, එය එසේ දැක්ක යුතු නොවේ. ආනන්දය, මා විසින් යම් දහමක් දේශනා කරන ලද්දේ ද පණවන ලද ද එය මා ඇවෑමෙන් තොපට ශාස්තෘ වෙයි”  යනුවෙන් දේශනා කළ සේක.


“සියා ඛො පනානන්ද තුම්හාකමං එවමස්ස, අතීතසත්ථුකං පාවචනං, නත්ථි නො සත්ථාති- න ඛො පනෙතං ආනන්ද එවං දට්ඨබ්බං. යො ඛො ආනන්ද මයා ධම්මෝ ච විනයෝ ච දෙසිතො පඤ්ඤත්තො සො වො මමච්චයෙන සත්ථාති” 


මෙම ප්‍රකාශය ගෙනහැර දක්වන සමහර වියතුන් ප්‍රකාශ කරනුයේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ශාසනයෙහි පුද්ගල නායකත්වයක් නොවූ හෙයින් එය ද භික්ෂූන් වහන්සේලා බෙදී යාමට හේතු වූ බවයි. එහෙත් එම ප්‍රකාශයෙහි සත්‍යතාවයක් නොවන බව පෙනේ. මන්ද ශාසනය පුද්ගල නායකත්වයකට පත්කළේ නම් එය රුචි නොකරන භික්ෂූන් වහන්සේලා අතින් මෙයටත් වැඩි බෙදීමකට හේතු වන්නට ඉඩ තිබුණ බැවිණි. කෙසේ වුව ද මෙම කරුණු දෙස විමර්ශනශීලීව බලන විට පෙනෙන්නේ නිකාය භේදය දෙවන සංගායනාවෙන් පසුව එකවරම ඇති වූවක් නොවන බවත් එය දීර්ඝ කාලයක් තුළ පැවැති නොයෙක් අර්බුද හා මතභේදවල අවසන් ප්‍රතිඵලයක් බවයි.

03. සංඝායනා ආශ්‍රිතව සිදු වූ නිකාය භේදය

 බුදුරජාණන් වහන්සේගේ ශාස්තෘත්වයේ අද්විතීය නායකත්වය හමුවේ යටපත්ව තිබූ සංඝ සමාජයේ බෙදීම් උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් සත් දිනක් ඉක්මයන්නට පෙර ඉස්මතු වූ බව පාලි මූලාශ්‍ර දෙස බලන විට පෙනෙන්නට තිබේ- එහිලා චුල්ලවග්ග පාළිය,  සමන්තපාසාදිකාව ආදි කෘති සාක්ෂි සපයයි. මේ පිළිබඳව වැඳගත් තොරතුරු සපයන චුල්ලවග්ග පාලිය කෙරෙහි ප්‍රථමයෙන් ම අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙමු- චුල්ලවග්ග පාළියේ පඤ්චසතිකක්ඛන්ධකය දෙස බලන විට පෙනෙන කාරණය නම් නිකාය භේදයට තුඩු දෙන ප්‍රකාශයක් එහි සඳහන් වේ- එය බුද්ධපරිනිර්වාණයෙන් සත් දිනක් ඉක්ම යන්නටත් මත්තෙන් සුභද්‍ර නම් මහළු පැවිද්දෙක් විසින් කරන ලද්දකි. “සුභද්දෝ නාම වුඞ්ඪපබ්බජිතෝ” යන ප්‍රකාශයෙන් පැහැදිලි වේ. එම සුභද්‍ර භික්ෂුව ප්‍රකාශ කළ කාරණාව නම්,


“අලං ආවුසො, මා සොචිත්ථ- මා පරිදෙවිත්ථ- සුමුත්තා මයං තෙන මහාසමණෙන- උපද්දුතා ච මයං හොම ‘ඉදං වො කප්පති, ඉදං වො න කප්පතීති- ඉදානි පන මයං යං ඉච්ඡිස්සාම තං කරිස්සාම, යං න ඉච්ඡිස්සාම න තං කරිස්සාමාති” 

  “ඇවැත්නි කම් නැත. ශෝක නොකරව්. නොවැලපෙව්. අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මිදුණෝ වෙමු. මෙය තොපට කැපය. මෙය තොපට අකැපය යැයි කීමෙන් උපද්‍රවයට ද පත්කරන ලද්දෝ වෙමු. දැන් අපි යමක් කැමති නම් එය කරන්නෙමු. යමක් අකැමැති නම් එය නොකරන්නෙමු” යි යන ප්‍රකාශයයි. මෙම සුභද්‍රගේ ප්‍රකාශය මූලික වශයෙන් ම දැඩි විනය නීති පිළිබඳ අප්‍රසාදයක් ද නායකත්වය කෙරෙහි වක්‍ර විරෝධයක් ද මතු කරයි. සුභද්‍ර මහළු කළ පැවිදි වූ නොවැඳගත් භික්ෂුවක ලෙස තැකිය නොහැකිය. එසේ ම ඔහු තනි පුද්ගලයෙකු ලෙස මෙම ප්‍රකාශය කළ ද ඔහු පසු පස විශාල භික්ෂු පිරිසක් සිටි බවත් මෙය ඒ සියළු දෙනාගේම මතය යැයි සිතිය හැකිය.


  මේ ප්‍රකාශය අසා ධර්ම සංවේගයට පත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ සංගායනාවක අවශ්‍යතාව මතු කරයි. එසේ කිරීමට හේතුවූයේ,

“පුරෙ අධම්මො දිප්පති ධම්මො පටිබාහීයති. පුරෙ අවිනයො දිප්පති විනයො පටිබාහීයති. පුරෙ අධම්මවාදිනො බලවන්තො හොන්ති. ධම්මවාදිනො දුබ්බලා හොන්ති. පුරෙ අවිනයවාදිනො බලවන්තො හොන්ති. විනයවාදිනො දුබ්බලා හොන්තීති” 


  ඉදිරියේ අධර්මය බැබලීමටත් ධර්මය බැහැර කරනු ලැබීමටත් පෙර, අවිනය බැබලීමටත් විනය බැහැර කරනු ලැබීමටත් පෙර, අධර්මවාදීන්, අවිනයවාදීන් බලවත් වීමටත් ධර්මවාදීන්, විනයවාදීන් දුර්වලවීමටත් පෙර සංගායනාවක් කිරීමට ගත් තීරණය ශාසනයාගේ චිරපැවැත්ම උදෙසා ගනු ලැබූ ඓතිහාසික තීරණයක් බව මනාව පැහැදිලි වේ.


   මෙහි දී භික්ෂුහු සංගායනාවට පුද්ගලයන් තෝරා ගැනීමේ කටයුත්ත පවරනු ලැබුවේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේට ය. එහි දී උන්වහන්සේ 499ක් රහතන් වහන්සේලා තෝරා ගත්හ. මෙහි දී රහතන් වහන්සේලා තෝරා ගත් බැවින් රහත් නොවූ ආනන්ද හිමියන් තෝරා ගැනීම භික්ෂූන් අතර යම් භේදයකට හේතුවිය හැකි යැයි කල්පනා කළා විය හැකිය. එසේ ම ආනන්ද හිමියන් තෝරා ගැනීම භික්ෂූන්ගේ අනුමතයෙන් සිදු කරගැනීම වඩාත් යෝග්‍ය යැයි ද සිතුවා විය හැකිය. කෙසේ නමුදු භික්ෂූන්ගේ අනුමතයෙන් ආනන්ද හිමියන් තෝරා ගන්නා ලද බව පහත පාඨයෙන් පෙනේ.


“බහූ ච අනෙන භගවතො සන්තිකෙ ධම්මො ච විනයො ච පරියත්තො- තෙනහි භන්තෙ ථෙරො ආයස්මන්තම්පි ආනන්දං උච්චිනතූති” 


ඉන්පසු මහාකාශ්‍යප හිමියන් භික්ෂූන් අමතා සිදුකරන ලද ප්‍රකාශය ඉතා වැඳගත් වේ. එනම්,


“ඉමානි පඤ්ච භික්ඛුසතානි සම්මන්නෙය්‍ය රාජගහෙ වස්සං වසන්තා ධම්මඤ්ච විනයඤ්ච සංගායිතුං න අඤ්ඤේ භික්ඛූහි රාජගහෙ වස්සං වසිතබ්බං” 


   මේ පන්සිය නම රජගහනුවර වස් වැස ධර්ම සංගායනාව සිදුකරන බවත් අනෙක් භික්ෂූන් රජගහනුවර වස් නොවැසිය යුතු බවත්ය. මෙම ප්‍රකාශය තුළ මේ කටයුත්තට විරුද්ධ පිරිසක් සිටි බව පැහැදිලි වේ. ඒ අතර මෙම සංගායනාවට සහභාගි නොකරගත් භික්ෂූන්, නැවත විනය නීති අනුව හික්මෙන්නට අකැමැති භික්ෂූන්, බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශාසනයේ නායකත්වය අපේක්ෂා කළ අය ආදී වශයෙන් විශාල විරුද්ධ පිරිසක් සිටි බව පැහැදිලි වේ. කෙසේ නමුදු මෙය රජගහනුවර පැවැත්වීම යන කාරණාව අනුව මෙයට අජාසත්ත රජතුමා අනුග්‍රහ කළා යැයි සිතිය හැකිය.

   සංගායනාවෙන් පසු ස්ථවිර භික්ෂූහු පුරාණ තෙරණුවන් වෙත එළඹ තමන් ධර්මයත් විනයත් සංගායනා කළ බවත් එය පිළිගනු මැනවැයි ප්‍රකාශ කළහ. එහි දී පුරාණ තෙරුන්ගේ අදහස වූයේ ඔබලා ධර්මයත් විනයත් මැනවින් සංගායනා කරන ලද බවත් එසේ වුවද තමන් බුදුන් හමුවේ දී අසන ලද ආකාරයට පිළිගන්නා බව ප්‍රකාශ කළේය. කෙසේ නමුදු පුරාණ තෙරුන්ගේ මෙම ප්‍රකාශයෙන් ප්‍රකට වනුයේ සංඝ සමාජය තුළ  ඒකමතිකත්වයක් නොමැති බව හා භික්ෂූන් වෙන වෙන ම කණ්ඩායම්වලට බෙදී තමන්ගේ මතය ඉදිරියට ගෙන ගිය බවක්ය. මේ අනුව බුදුන් වහන්සේ ධරමාන අවධියේ සංඝ සමාජයේ යම් යම් වශයෙන් පැවති දුර්මතයන් බුදුන් වහන්සේගේ පිරිනිවීමත් සමගම නැවත හිස ඔසවන්නට වු ආකාරයත් එය වළක්වාලීම සඳහා  කරන ලද මෙම සංඝායනාවන් ඒකීය වශයෙන් පැවති සංඝ සමාජයේ යම් යම් බෙදීම් සඳහා බලපෑමක් කරන්නට ඇති බවත් හඳුනාගත හැකිය. 


  බුද්ධ පරිනිර්වානයෙන් අවුරුදු 100ක් ගිය තැන නැවතත් ධර්ම විනය ආරක්ෂා කිරීමටත්, ශාසනයේ නොයෙක් බෙදීම් වළකාලීමටත් සංගායනාවක අවශ්‍යතාව ඇති වූ බව පෙනේ. එයට ප්‍රධාන හේතුව වුයේ විනයානුකූල නොවන කරුණු දහයක් වේසාලික වජ්ජිපුත්තක භික්ෂූන් වෙතින් ඉදිරිපත් වීමයි.


“තෙන කො පන සමයෙන වස්සසතපරිනිබ්බුතෙ භගවති වෙසාලිකාවජ්ජිපුත්තකා භික්ඛූ වෙසාලියං දසවත්ථූනි දීපෙන්ති” 


වජ්ජි ජනපදයෙහි චාරිකාවෙහි හැසිරුණ කාකණ්ඩපුත්‍ර යස තෙරුන් වහන්සේ විනය සම්බන්ධ වූ පහත කරුණු දහය එහි ක්‍රියාත්මක බව දැනගත්හ. එනම්,


“කප්පති සිංගිලොණකප්පො- කප්පති ද්වංගුලකප්පො. කප්පති ගාමන්තරකප්පො. කප්පති ආවාසකප්පො. කප්පති අනුමතිකප්පො. කප්පති ආචිණ්ණකප්පො. කප්පති අමථිතකප්පො. කප්පති ජලෝගිපාතුං. කප්පති අදසක නිසීදනං. කප්පති ජාතරූපරජන්ති”  


    යන කරුණු දහයයි. ඒ අනුව මේ දශවස්තුව අවිනය බව විනිශ්චය කිරීම දෙවන සංගායනාවේ අරමුණ වූ බව පෙනේ. මෙහි දී ද පෙනෙන කාරණය නම් අධර්මය හා අවිනය බලවත් වීමට පෙර සංගායනාවක් කොට මූලික බුද්ධ දේශනාව එපරිදිම සුරක්ෂිත කිරීමේ අදහස ස්ථවිර භික්ෂූන් තුළ වූ බවයි.


“හන්ද මයං භන්තෙ ඉමං අධිකරණං ආදියාම. පුරෙ අධම්මො දිප්පති ධම්මො පටිබාහීයති. පුරෙ අවිනයො දිප්පති විනයො පටිබාහීයති. පුරෙ අධම්මවාදිනො බලවන්තො හොන්ති. ධම්මවාදිනො දුබ්බලා හොන්ති. පුරෙ අවිනයවාදිනො බලවන්තො හොන්ති. විනයවාදිනො දුබ්බලා හොන්තීති” 


  කෙසේ වුවද මෙම කරුණු දහය සම්බන්ධයෙන් නිසි නිගමනයකට පැමිණීමට සමහර භික්ෂූන්ට නොහැකි වූ බවට කරුණු සඳහන් වෙයි. ඒ අතර සාළ්හ තෙරුන්ට මෙසේ කල්පනාවක් ඇති වූ බව සඳහන් වීමෙන් එය පැහැදිලි වෙයි.


“කොනු ඛො ධම්මවාදිනො පාචිනකා වා භික්ඛූ පාවෙය්‍යකා වාති” 


  ධර්මවාදීහු පෙරදිග භික්ෂුහු ද නැතහොත් පාවෙය්‍යක භික්ෂුහු ද යනුවෙනි. මෙයින් පැහැදිලි වන කාරණාව නම් මෙම කරුණු විනය හා ගැළපීමේදී විනයට නොගැළපුණ ද එවක සමාජය තුළ භික්ෂුවගේ පැවැත්මට මේවා අවශ්‍යකර තිබූ බවයි. කෙසේ වුව ද පෙරදිගවැසි හෙවත් වජ්ජීන්ගේ මෙම කරුණු දහය මූලික කරගෙන දෙවන සංගායනාව පැවැත් වූ බව පෙනේ. එහි දී පාචීනක හා පාවෙය්‍යක භික්ෂූන් හතර නම බැගින් යොදා ගනිමින් අධිකරණ උබ්බාහිකාවකින් මෙම ගැටළුව සංසිදුවීමට කටයුතු කළේය.


“චතුණ්ණං පාචීනකානං භික්ඛූනං චතුණ්ණං පාවෙය්‍යකානං භික්ඛූනං සම්මුති උබ්බාහිකාය ඉමං අධිකරණං වූපසමෙතුං” 


  එහි දී මෙම කරුණු දහය සබ්බකාමි තෙරණුවෝ විසර්ජනය කළහ. “පුට්ඨො පුට්ඨො ආයස්මා සබ්බකාමි විස්සජ්ජේසි” ඒ අනුව මෙම කරුණු දහය ධර්මයට, විනයට අනුව බැහැර කරන ලදි. එසේ ම ශාස්තෘන් වහන්සේගේ අනුශාසනා සළකා බැලීමෙන් පසු මෙම කරුණු සංගායනාව මගින් සංසිදුවන ලදි- බැහැර කරන ලදි.


“ඉතිපිමානි දසවත්ථුනි උද්ධම්මානි උබ්බීනයානි අපගත සත්ථුසාසනානීති” 


    මෙසේ මෙම කරුණු දහය අකැප වස්තූන් ලෙස බැහැර කොට ප්‍රථම සංගීතියෙහි පරිද්දෙන් ධර්මයත් විනයත් සංගායනා කොට බුද්ධ වචනය දූෂණය වීම වළකා ලීය. මෙමගින් බුද්ධ භාෂිතය ආරක්ෂා වුව ද නිකායාන්තර බෙදීම්වලට හේතු සාධක වූ බවක් ද පෙනෙන්නට තිබේ. එයට හේතුව නම් මෙම දෙවන සංඝායනාවත් සමගම ඓතිහාසික වශයෙන් සංඝ සමාජය නිකාය වශයෙන් දෙකොටසක් ලෙස බෙදීමයි. ඓතිහාසික පිළිගැනීමට අනුව එය සිදි වූයේ දසවස්තුව ප්‍රතික්ෂේප වීමත් සමග එය ඉදිරිපත් කළ වජ්ජිපුත්තක භික්ෂූන් ගාන්ධාර කාෂ්මීර ප්‍රදේශයන්ට ගොස් වෙනම සංඝායනාවක් සිදුකොට මහාසාංඝික නමින් නිකායක් පිහිටුවාගත් බවයි. කෙසේ වුවද මෙම මහාසාංඝිකයන්ද එම සංඝායනාවේදි දසවස්තුව පිළිගත් බවක් සඳහන් නොවේ. ඔවුන්ගේ විනය කරුණු අනුව මෙම දස වස්තුව බැහැර කොට ඇති බව පෙනේ. මෙසේ මූලික වශයෙන් සංඝායනාව සිදුකළ පිරිස ථේරවාදීන් ලෙසත් අනෙක් පිරිස මහාසාංඝික වශයෙනුත් දෙපිරිසක් විය. මෙම නිකායන් දෙකට අමතරව කාලීනව තෙවන සංඝායනාව සිදුවන අවදිය වන විට සංඝ සමාජය නිකායන් රැසකට බෙදීගොස් තිබු බව පෙනේ. ඓතිහාසික වාර්තා අනුව අටලොස් නිකායක් වශයෙන් සංඝ සමාජය බෙදී පැවති බව පෙනේ. එම අටලොස් නිකාය මෙසේය.


“මහාසංඝික, ගොකුලික, එකබ්බොහාරික, ප්‍රඥප්තිවාදී, බාහුලික, වෛතුල්‍යවාදී, මහිංසාසක, වජ්ජිපුත්තක ධර්මොත්තරික, භද්‍රයානික, ඡන්නාගාරික, සම්මිත්තික, සර්වාර්ථවාදී, ධර්ම ගුප්තික, කප්පීය, සූත්‍රවාදි,”  යනුවෙන් නිකාය 17ක් බිහිවිය. ස්ථවිර භික්ෂූන් ඇතුළත්ව මෙය අටලොසක් වූවා විය හැකිය.


“ථෙරවාදෙන සහ තේ හොන්ති ද්වාදස මේ පිච

පුබ්බේ වුත්තා ඡ වාදා ච ඉති අට්ඨාරසාඛිලා” 

 යනුවෙන් මහාසංගීතිකයන්ගෙන් නිකාය 06ක් ද ථෙරවාදයෙන් නිකාය 12ක් ද වශයෙන් අටලොස් නිකායක් දෙවන සංගායනාවෙන් පසුව බිහි වූ සඳහන් වේ. ඉන්පසුව කාලයේ දී උපන් ආචාර්යවාද කිහිපයක් පිළිබඳව ද සඳහන් වේ- එනම් හේමවතය, රාජගිරිකය, සිද්ධාර්තිකය, පුබ්බසෙලිකය, අපරසෙලිකය, වාජිරිකය යන ෂට් විධ දර්ශනවාද ජම්බුද්වීපයෙහි ද ධම්මරුචිකය, සාගලිකය යන දර්ශනවාද දෙක ලංකාද්වීපයෙහි ද ඇති වූ බව වාර්තා කරයි.


   මේ අනුව ධර්මය, විනය සුරක්ෂා කිරීම උදෙසා සිදුකරන ලද මෙම ධර්ම සංඝායනා මගින් ධර්මය විනය බොහෝ දුරකට ආරක්ෂා වූ නමුදු සාසනික වශයෙන් මෙම සංඝ සමාජය බෙදීමට ලක් වූ බව පෙනේ. එය හුදෙක් සංඝායනා නිසාවෙන්ම සිදු වූවක් නොවේ. බුදුන් වහන්සේ ධරමාන සමයේ සිටම සසුන තුළ ඇතිවී තිබු යම් දුර්මතයන් පසුකාලීනව පෝෂණය වීම නිසාවෙන් සිදු වු බව පෙනේ. එසේම බුද්ධ දේශනාව විවිධාකාරයෙන් විග්‍රහයන්ට බඳුන් කරලීමටත් ඒවාට අර්ථ නිරූපණයන් ඉදිරිපත් කිරීම තුළ සසුනේ ඇතැම් පිරිස් එසේ ගොඩනගාගත් නව දර්ශනයන් පිළිගැනී අදහස් බුදු දහම ලෙසින් ඉදිරිපත් කිරීමට උත්සාහ කිරිම නිසාවෙන් සංඝ සමාජය තුළ බොහෝ දාර්ශනික සම්ප්‍රධායන් ආචරියවාදයන් ඇතිවූ බව හඳුනාගත හැකිය. එම දාර්ශනික සම්ප්‍රධායන් දුර්මතයන් ලෙස එකහෙලා ප්‍රතික්ෂේප කළ නොහැකිය. එයට හේතුව එසේ ඉදිරිපත් වු ඇතැම් දාර්ශනික සම්ප්‍රධායන් දාර්ශනික වශයෙන් ඉදිරිපත් කළ කරුණු දාර්ශනික වශයෙන් පොහොසත් වු බැවිනි. 


04. මහායාන සම්ප්‍රධායේ ප්‍රභවය.

   ඓතිහාසික වශයෙන් දෙවන ධර්ම සංඝායනාවත් සමග සිදුවු නිකාය භේදයත් සමග සාසන ඉතිහාසය ක්‍රමයෙන් නිකායන් හෙවත් එක් එක් සම්ප්‍රධායන් වශයෙන් බෙදීගිය ආකාරය දැකිය හැකිය. එහ් අනුව සාසන ඉතිහාසයේ එසේ බිහිවු දාර්ශනික සම්ප්‍රධායක් වශයෙන් මෙම මහායාන සම්ප්‍රධාය හඳුනාගත හැකිය. මෙම මහායාන සම්ප්‍රධායේ ප්‍රභවය. එහි පසුබිම සහ එය ප්‍රභවය වූ කාල වකවානුවක් පිළිබඳ නිශ්චිත සාධක හෝ උගතුන් අතර ඒකමතිකත්වයක් නොමැත. ඒ අනුව මෙම මසහායාන සම්ප්‍රදාය සහ එහි සම්භවය පිළිබඳව විමසීමේදි ප්‍රධාන වශයෙන් මෙම මහායාන යන නාමයෙන් හඳුනවනු ලබන්නේ කුමක්ද යන්න පිළිබඳව විමසීම වැදගත්වේ.

   “මහායාන යන යෙදුම සකසාගෙන ඇත්තේ මහායානිකයින් විසින්මය. තමන් දරන මතවාදත් එම හේතුවෙන්ම තමන්ව සෙසු බෞද්ධ කොට්ඨාශයන්ගෙන් වෙන්කොට හැඳින්විම සඳහාත් ඔවුහු මෙම නාමය යොදාගෙන ඇත. මෙම යෙදුම වඩාත් අර්ථවත් වනුයේ ඔවුන් දරන මතවාදයන්ට වෙනස් මතවාදයන් දැරූ බෞද්ධ කොට්ටාශයන් හැඳින්වීම සඳහා ඔවුන් විසින්ම යොදාගෙන ඇති හීන යාන යන පදයට සාපේක්ෂව ගත් විටය. “මහායාන” යන පදය ඔවුන් තමන් වෙනුවෙන් යොදාගත්තේ එම ඉගැන්වීම් හා තම ඉගැන්වීම් අනුගමනය කරන තමන් සෙසු බෞද්ධ කොට්ඨාශයන්ගෙන් ඉගැන්වීම් හා එම අනුගාමිකයන්ට වඩා ශ්‍රේෂ්ට බව අවධාරණය කිරීමට යනු නිසැකය.” 


    හීනයාන යෙදුමෙන් ඔවුන් අදහස් කළේ කිනම් ගුරුකුලයක්ද යන්න අපැහැදිලි  වුවද පුළුල් ලෙස ගත් කළ පෙනීයන්නේ පොදුවේ ශ්‍රාවක පරමාදර්ශය පිළිගත් බෞද්ධ සම්ප්‍රධායන්ද ස්වභාව වාදය, සත්වාදය ආදි දාර්ශනික මතවාදත් ඔවුන් විසින් එහිලා ඇතුළත්කොට ඇති බවයි. ක්‍රි: ව පළමු සියවසේදි පමණ ප්‍රභවය වූ මෙම නව සම්ප්‍රධාය වර්තමානයේ හඳුන්වනුයේ මහායාන වශයෙන් වුවද පැරණි මහායාන සූත්‍රවල මෙම සම්ප්‍රධාය හැඳින්වීම සඳහා විවිධ යෙදීම් යොදාගෙන ඇති බව පෙනේ. ඒ අනුව 

 පරමයානය

 උත්තමයානය

 බෝධිසත්වයානය

 තථාගතයානය

 ඒකයානය  ආදි නම් එසේ භාවිතා වී ඇති බව පෙනේ.

  විශේෂයෙන්ම මහායාන සූත්‍ර වල සඳහන්වන ආකාරයට ඔවුන් මෙම මහායාන යන යෙදුමෙන් මූලීකවම අදහස්කොටඅඳා ඇත්තේ නිවන ලැබීමේ මහා මාර්ගය යන්නයි. එසේම මෙම මහායානය පිළිබඳව උගතුන්ගේ අදහස් වී ඇත්තේ “මහායානය ආශ්චර්ය වූත් විශිෂ්ට හෙවත් ලෝකෝත්තර වූත් දේ පිළිබඳව වටහාගතහැකි මූලධර්මයකි. එයින් ජීවන පැවැත්ම පිළිබඳව හඳුනාගත හැකිය.”  එසේම මෙම මහායානය පිළිබඳව ආර්යදේව දක්වන අදහසද වැදගත්වේ.


  “හීනයානිකයෝ පියක් පාසා මරණයට බිය වෙත්. යුදෙහිදි ඔවුන්ට ජය ලැබෙන්නේ කල් ගොස්ය. මහායානිකයා කරුණාවෙන් සන්නද්ධ වූයේ දයාවෙන් හා ගුණයෙන් සැදි ලෝකයා ගොඩලනු කැමැත්තේය.” 

මේ අනුව බෞද්ධ දාර්ශනික සංකල්පයන් වශයෙන් ඉදිරිපත් වූ සම්ප්‍රධායක් වු මෙම මහායානය යනුවෙන් හඳුනස්වා ඇත්තේ කුමක්ද යන්න හෙවත් මෙම ඉගැන්වීම් හඳුන්වා ඇති මහායාන යන නාමයෙන් අර්ථ නිරූපණය කොට ඇත්තේ කුමක්ද යන්න පිළිබඳව හඳුනාගත හැකිය.

  විශේෂයෙන්ම අශ්වඝෝෂාචාර්යන්ගේ මහායාන ශ්‍රද්ධෝපාද සූත්‍රයෙහි “මහායාන” ශබ්දය පළමුව යෙදී ඇතැයි සිතිය හැකිය. වර්තමානයේදි මහායානය යනුවෙන් අප අදහස් කරණුයේ මධ්‍යමක හා යෝගාචාර දර්ශනවාදයයි. නමුත් මහායාන සම්ප්‍රධාය පිළිබඳව ඓතිහාසික කරුණු ආශ්‍රයෙන් විමසීම තුළ පැහැදිලි වනුයේ මහායානය යනුවෙන් හඳුන්වා ඇත්තේ හුදෙක් එමස චතුර්විධ බෞද්ධ සම්ප්‍රධාය තුළ එන මධ්‍යමක හා යෝගාචාර දර්ශනවාද නොවේ. මෙම මහායාන සම්ප්‍රධාය විවිධ රටවල විවිධ වශයෙන් සම්ප්‍රධායන් ගොඩනගාගෙන ඇති බව පෙනේ. ඒ අනුව මෙම මහායාන සම්ප්‍රධාය භාරතයට පමණක් සීමා නොවි චීනය, ජපානය අදි රටවලද ව්‍යාප්ත වී ඇති බව පෙනේ.


“ චීනයේ ඇති වු බෞද්ධ නිකාය වනුයේ: ඨීන්-ටʼ ඉ" Hඋඅ - යෙන්"ඡෙන් - යෙන්" පුරෙ - ලන්ඩ්" ඡ්ʼඅන්" 

එසේම මධ්‍යමක සහ යෝගාචාර දර්ශන ආශ්‍රයෙන් ගොඩනැගුණු : සුන් - ලුන්" ඡ්ʼඑන්ග්" වේ – ශින් ලුන්" Fඅ - හ්සිඅන්ග්" යන ගුරුකුලද බිහිවී ඇත.  මේ අනුව පැහැදිලි වනුයේ වර්තමානයේ අප හඳුන්වනු ලබන මෙම මහායාන සම්ප්‍රධාය වු කලි මධ්‍යමක හා යෝගාචාර සම්ප්‍රධායන් චීනයට ගෙනගිය පසු එකී ඉභාරතීය ගුරුකුල ක්‍රමයෙන් පිරිහී ගොස් ඒවායේ බලපෑමද සහිතව විකාශනය වූ මෙම නව මහායාන බෞද්ධ සම්ප්‍රධායන් ඇති වූ බවයි.

  

        විශේෂයෙන්ම බෞද්ධ දර්ශනය තුළ නව ආකල්ප පිළිගැනීම් සංකල්ප මුල්කොට ගනිමින් ගොඩනැංවුණු නවමු සම්ප්‍රධාය වූ මෙම මහායාන සම්ප්‍රධාය කවදා කෙසේ ප්‍රභවය වූයේද යන්න නිශ්චිතව දැක්විය නොහැකිය. එසේ වුවද ඒ සඳහා මතවාද සහ සාධක විවිධාකාරයෙන් දක්නට ලැබෙයි. සංඝ සමාජය තුළ බුදුන් වහන්සේගේ දර්ශනය මූලික කොටගනිමින් ඉදිරිපත් වූ මෙම මහායානය වැනි සුවිශේෂි ආගමික සම්ප්‍රධායන් ආකස්මිකව ඉදිරිපත් වූ අදහස් සමුදායක් චින්තනයක් නොවේ. බුදු දහම තුළ ඉගැන්වෙන ආකාරයට අනුව සියල්ලටම හේතුවක් ඇත්තාක් මෙන් සියලු දේ ප්‍රතීත්‍යසමුප්පන්නව සිදුවේ. ඒ අනුව මෙම දර්ශන සම්ප්‍රධායන් බිහිවීමෙහිලාද ඓතිහාසික දාර්ශනික ආගමික දේශලානික සාමාජික ආදි බලපෑම් සිදුවි ඇති අතර මහායානයේ ප්‍රභවය අවබෝධ කරගැනීම උදෙසා එම හේතුසාධකයන්ද විමසීම වැදගත්වේ.


  ඒකීයව පැවති සංඝ සමාජය ඓතිහාසික වශයෙන් බෙදීයෑම සිදුවනුයේ දෙවන සංඝායනාවෙන් පසු අවධියේදීය. මෙම නිකාය භේදයට මූලික වූ මූලබීජයන් බුදුන් වහන්සේ ධරමාන අවධියේ සිටම පැවති නමුදු වෙන් වෙන් වශයෙන් නිකායන් ඇතිවෙනුයේ දෙවන සංඝායනාවෙන් පසුවයි. එය අටලොස් නිකායක් වශයෙන් බෙදීයනුයේ මෙම දෙවන සංඝායනාවෙන් පසුවයි. ඒ අනුව මෙම දෙවන සංඝායනාව සඳහා මූලික හේතුව ලෙස දක්වනුයේ වජ්ජි භික්ෂූන් විසින් ඉදිරිපත්කළ දසවස්තුව විනය විරෝධි බවට තීරණය කිරීමට අවශ්‍ය වීමයි. මෙහි දී අධර්මය හා අවිනය බලවත් වීමට පෙර සංගායනාවක් කොට මූලික බුද්ධ දේශනාව එපරිදිම සුරක්ෂිත කිරීමේ අදහස ස්ථවිර භික්ෂූන් තුළ වූ බව පෙනෙයි. ඒ අනුව මෙම කරුණු දහය ධර්මයට, විනයට අනුව බැහැර කරන ලදි- එසේ ම ශාස්තෘන් වහන්සේගේ අනුශාසනා සළකා බැලීමෙන් පසු මෙම කරුණු සංගායනාව මගින් සංසිදුවන ලදි- එහිදි වජ්ජි භික්ෂුන් එම සංඝායනාව පිළිනොගෙන කාශ්මීර ප්‍රදේශයේ වෙනම සංඝායනාවක් සිදුකොට මහා සාංඝික නමින් නිකායක් පිහිටුවා ගත් බව පොදු පිළිගැනීමයි. එසේ වුවද මහා සාංඝිකයන් වූයේද මෙම වජ්ජි භික්ෂූන්ම බව පිළිගැනීමට උගතුන් මැළිකමක් දක්වන බව පෙනේ. එයට හේතුව වනුයේ මහාසාංඝිකයන්ගේ විනය තුළින්ද මෙම දසවස්තුව ප්‍රතික්ෂේප වී ඇති බව නිසාවෙනි. එසේම මෙම පළමු නිකාය භේදය සඳහා හේතුව ලෙස උගතුන් දක්වනුයේ මහාදේව නමැති භික්ෂුව රහතන් වහන්සේ පිළිබඳව දක්වන ලද මතයයි. 


 රහතන් වහන්සේ හට රාගය ඇත. (අතථි අරහතො රාගො)

 රහතන් වහන්සේ හට නොදැනීම ඇත. ( අතථි අරහතො අඤඤාණං)

 රහතන් වහන්සේට සැකය ඇත. ( අතථි අරහතො කංඛා)

 රහතන් වහන්සේ හට අන්‍යයෙකුගේ උපදෙස් අවශ්‍යවෙයි. ( අතථි අරහතො පරවිතාරණා)

 ‘අහෝ දුකකි’ වැනි ප්‍රකාශයක් කිරිම තුළින් ධර්මාවබෝධය සිදුවිය හැකිය. 

       ඒ අනුව ඒ ඒ නිකායන්ද මෙම මහා සාංඝිකයන්ගේ ප්‍රභවය පිළිබඳව දක්වන හේතු සාධක විවිධාකාරවෙයි. කෙසේ වුවද සාසන ඉතිහාසයේ පළමු නිකායභේදය ලෙස ස8ිදුවු මෙම ථේරවාද මහා සාංඝික යන නිකායන් දෙක හරහා අනෙකුත් අටළොස් නිකායම ප්‍රභවය වූ බව හඳුනාගත හැකිය. ඒ අනුව පසු කාලීනව සංඝ සමාජයේ ඉදිරිපත් වූ ඒ ඒ නව දාර්ශනික සම්ප්‍රධායන් මෙම ථේරවාද හෝ මහා සාංඝික කවර හෝ සම්ප්‍රධායක් හරහා ප්‍රභවය වූ දාර්ශනික සම්ප්‍රධායක් බව පැහැදිළි කරුණකි.


     මහායානයේ මූලාරම්භය සොයන පිරිස් ඉදිරිපත් කරන්නා වු තවත් මතයක් වනුයේ මෙම මහායාන සම්ප්‍රධාය නිසැකවම මහා සාංඝික නිකායෙන් ප්‍රභවයට පත් වූ බවයි. එහෙත් ඇතැම් මහා සාංඝික අදහස් හා ප්‍රවණතා වැඩි අවධානයකින් යුක්තව මහායාන ග්‍රන්ථ වලින් ඉදිරිපත් කෙරෙතත් මහායාන බුදු දහම මහා සාංඝික නිකායේ විකාශනයක් සේ පිළිගැනීමට තරම් හේතුසාධක නොමැති බව ඇතැම් උගතුන්ගේ මතයයි. එයට හේතුව ලෙස ඔවුන් දක්වනුයේ මහායානය බිහිවීමෙන් පසුද මහාසාංඝික නිකාය ස්වාධීනව පැවති බවයි. ඒ අනුව මහායානය වු කලි මහා සාංඝික නිකායේ පරිවර්ථන ස්වරූපයක් නොවන බව ඔවුන් පෙන්වාදෙයි.

    එසේම මෙම මහායානයේ ප්‍රභවය පිළිබඳව ඉදිරිපත්ව ඇති තවත් මතවාදයක් වනුයේ මහාසාංඝික නිකායෙන් බෙදි ගිය සම්ප්‍රධායක් වූ චේතියවාදීන් ධාතු වන්දනාව ආදි පූජාවන්ට රුචිකත්වය දැක්වූ හෙයින් ඔවුන් මෙම මහායාන සම්ප්‍රධාය ගොඩනැගු බවයි.එහෙත් එම මතය සඳහා සාධක දක්නට නොමැත. එසේම ලෝකෝත්තරවාදීන් බුදුන් වහන්සේගේ බුද්ධ චරිතයත් ඒ හා සම්බන්ධ සිදුවීම් ඓෂ්චර්යමත් ස්වරූපයෙන් දැක්වීමට රුචිකල බව ද ඒ අනුව මෙම මහායාන සම්ප්‍රධාය සංවර්ධනය වී ඇති බවද එක් මතයකි. එහිදි ඔවුන් දක්වන ලද්දේ බුදුරඳුන් යනු මේ ලෝකය හා සම්බන්ධ නැති ලෝකෝත්තර පුද්ගලයෙකු වූ බවයි. ලෝකෝත්තරවාදීන්ගේ විනය කෘතියක් වු මහාවස්තුවේ ඒ පිළිබඳව දැක්වෙනුයේ මෙසේය.


“බුදුරඳුන්ගේ චර්යාව ලෝකෝත්තරය, උන්වහන්සේගේ ගුණ ලෝකෝත්තරය. උන්වහන්සේගේ ඇවිදීම, සිටීම, හිඳීම හා සැතපීම යන සියලු ඉරියව් ලෝකෝත්තරය. බුදුරඳුන් දිය නෑවද උන්වහන්සේගේ ශරීරයේ කිසි දූවිල්ලක් නැත. එසේ කරණුයේ ලෝක සම්මතයට අනුගත වීම සඳහාය.උන්වහන්සේලාගේ ශරීර ස්වර්ණමය.බුදුරජාණන් වහන්සේලාට කර්මය ඉක්මවා යා හැකි වුවද උන්වහන්සේලා කර්මානුගත වන බවක් පෙන්වති.එසේ කරණුයේ ලෝක සම්මතයට අනුගතවීම සඳහාය.” 


       මෙවැනි ලෝකෝත්තරවාදීන්ගේ අදහස්වල බලපෑම් මජ්ඣිම නිකායේ අච්ඡරිය අබ්භූතධම්ම, දීඝ නිකායේ මහා පධාන ආදි සූත්‍රවල දක්නට ලැබෙයි. එසේම ලලිතවිස්තරය වැනි මහායාන සූත්‍ර වලද එම ලක්ෂණ දක්නට ඇති බව පෙනේ. එහිදි බුද්ධාභිවාදනය බුද්ධාපධාන ගොඩනැගීම චෛත්‍ය වන්දනාව බුද්ධ සංකල්ප දියුණු කිරීම ආදි ජනප්‍රිය ලක්ෂණ ථේරවාද මෙන්ම මහා සාංඝික නිකායන් ආශ්‍රයෙන් බිහි වූ සම්ප්‍රධායන් තුළ දක්නට ලැබෙයි. ඒ අනුව මහායානයේ ප්‍රභවය උදෙසා එකී සාධක ද බලපෑමක් සිදුකොට ඇති බව පෙනේ. 


     එසේම මෙම මහායාන සම්ප්‍රධායෙහි ආරම්භය සම්බන්ධයෙන් වජ්‍රයාන සම්ප්‍රධාය විසින් දක්නව සාම්ප්‍රධායික මතවාදය තාරානාථ නම් බෞද්ධාචාර්යවරයාගේ කෘති තුළින් දැකගත හැකිය. ඒ අනුව, “මහායානය බුදුරඳුන් දේශනා කරන ලදුව ඒවායෙහි අන්තර්ගතය වටහාගැනීමට ශක්තිය ඇති පුද්ගලයින් ලොව බිහිවන තුරු නාග ලෝකයෙහි තැන්පත්ව තිබී ඇත. එසේ තැන්පත්ව තබූ කෘති නාගර්ජුනපාදයන් විසින් මනුෂ්‍ය ලෝකයට ගෙන එන ලද බව සඳහන්වේ.” 


       මෙම මතය පිළිබඳව විමසීමේදි එය ථේරවාදීන් අභිධර්මය බුද්ධභාෂිතයක් බව දැක්වීම සඳහා ඉදිරිපත් කල පුරාවෘතයට සමානව වජ්‍රයානය තුළද මෙම මහායානයේ ප්‍රභවය දැක්විම සඳහා පුරාවෘතයක් ගොඩනංවා ඇති බව පෙනේ. මෙම මතය නූනත උගතුන් විසින් බැහැරලන අතර එසේම එය බුදුන් වහන්සේගේ ධර්මය දෙසිම පිළිබඳව වූ ශ්‍රේෂ්ට සංජානන ශක්‍යතාව හින කරලීමක් ලෙසින්ද පෙන්වාදෙයි. එසේම මෙම මහායානයේ ප්‍රභවය පිළිබඳව වඩාත් සාධනීය මතවාදයක් අකිරා හිරකාවා නම් ජපන් ජාතික බෞද්ධ ඉතිහාසඥයෙකු විසින් ඉදිරිපත්කොට ඇත. 


නිකාය බුදුසමය

   මහායානික ලෙස සලකනු ලබන බොහෝ අදහස් හා විශ්වාස ආරම්භව වැඩි දියුණු වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් සියවසකට පමණ පසු ඇතිවන්නට පටන්ගත් විවිධ නිකාය තුළය.


බුද්ධ චරිතය

     බුද්ධ චරිතය පිළිබඳව ලියවුණු ග්‍රන්ථ සමූහය තුළින් ක්‍රමයෙන් උන්වහන්සේ ලෝකෝත්තර පුද්ගලයෙකු බවට පත් කරනු ලැබීය. මෙසේ බුදුරඳුන් වටා ගොඩනැගුණු අතිවිශාල සාහිත්‍ය මහායානය ඇති වීම සඳහා පාදක වූ බව හිරකාවා සඳහන් කරයි.

චෛත්‍ය වන්දනාව

   චෛත්‍ය වන්දනාවත් ධාතු වන්දනාවත් එකිනෙක සම්බන්ධය. සූත්‍ර සාහිත්‍යයේ දැක්වෙන ආකාරයට බුදුන් වහන්සේගේ පිරිණිවීමෙන් පසු ධාතු බෙදීමේදි ඒඒ රජවරුන් එම ධාතුන් තැන්පත්කොට චෛත්‍යන් ගොඩනැගු බවත් එසේම පසුකාලීනව අශෝක ආදීන් චෛත්‍යන් විශාල වශයෙන් ඉඳිකිරීමත් සමගම මෙම චෛත්‍ය වන්දනාව ජනප්‍රිය වූ බවත් එහිලා මෙම චෛත්‍ය වන්දනාවේ නිරතව සිටීයන් ගිහියන් බවත් හිරකාවා සඳහන් කරයි.


        මෙහිදි ධාතු වන්දනාව පිළිබඳවත් එහි ගිහි සහභාගීත්වය පිළිබඳවත් එතියන් ලමෝත් ද කරුණු දක්වා ඇති බව පෙනේ. ඔහුට අනුව මහා සාංඝික යනුවෙන් භික්ෂූන් මෙන්ම ගිහි උපාසක හා උපාසිකා පිරිස්ද ගැනෙන්නට ඇතැයි සිතති. විශේෂයෙන්ම මහායානයේ ආරම්භය හා සම්බන්ධව එහිලා ගිහි සහභාගිත්වය පිළිබඳව විමසීමේදි මහායානය තුළ වඩාත් ජනප්‍රිය වූ බෝධිසත්ව සංකල්පය වැදගත්වේ. බුදුන් වහන්සේ පරිපූර්ණ ලෝකෝත්තර පුද්ගලයෙකු බවට පත්කිරරීම හ ාරහතන් වහන්සේගේ උත්තරීතර ත්තවය පහත හෙලීම තුළ බෝධිසත්ව සංකල්පය බලවත් කිරීමට යත්න දරා ඇති බව පෙනේ.


          විශේෂයෙන්ම මෙම මහායාන සම්ප්‍රධාය තුළ එන සංකල්පයන් වූ බෝධිසත්ව චරිතය ඉස්මතු කරලීම හා රහතුන් වහන්සේගේ චරිතය පහත හෙලීම පිළිබඳව විමසීමේදි එම ප්‍රයත්නය හුදෙක් මෙම මහායාන සම්ප්‍රධාය තුළ පමණක් දක්නට ලැබෙන්නක් බව කිවි නොහැක. මහායානයට පෙර සාසනයේ ඇතිවූ බොහෝ දාර්ශනික සම්ප්‍රධායන් තුළද මෙම රහත් බව පහත හෙළිමේ අපේක්ෂාවක් අවශ්‍යතාවයක් පැවති බව එම ඉගැන්වීම් පිළිබඳව විමසීමෙන් හඳුනාගත හැකිය.


මහා සාංඝික : රහත් බව පිරිහි යා හැකිය. අවිද්‍යාව හා විචිකිච්ඡාව තිබියදි රහත් විය හැකිය.

වච්ඡිපුත්තක : රහත් බව පිරිහි යහා හැකි බව.


සබ්බත්ථිවාද : රහත් බව පිරිහි යහා හැකි බව. 


සම්මිතීය : ක්ලේශයන් වරින් වර දුරුකළ හැකි බව. පූර්ව කර්මබලයෙන් රහත් තත්වය පිරිහි යා හැකි බව.


පුබ්බසෙලිය : රහතුන්ට ශුක්‍රමෝචනය සිදුවන බව. රහතුන්ට නොදැනීම ඇති බව. සෝවාන් සහ සෙදගැමි වූවන් අතින් පරපණ නැසෙන බව. පූර්ව කර්මයන් හේතුවෙන් රහත් බව පිරිහි යා හැකි බව.


රාජගිරික : රහතුන්ට අකල් මරණ නොමැති බව. සියල්ල පූර්ව කර්මයෙන් සිදුවන බව. 


       එසේම මෙම ප්‍රයත්නයම මහායාන සම්ප්‍රධාය තුළද දක්නට ලැබෙන අවස්ථාවක් ලෙස විමලකීර්ති නිර්දේශ සූත්‍රය දැක්විය හැකිය. එහි දැක්වෙන ආකාරයට විමලකීර්ති යනු ගිහි බෝධි සත්වයෙකි. ඔහු සැරියුත් කාශ්‍යප ආදි වියත් මහරහතුන්ගේ ඥාණයට වඩා ප්‍රබල ඥාණයකින් යුතු වු අතර ධර්ම සාකච්ඡා වලදි එම රහතුන් පරාජය කල බව දක්වයි. එහිදි රහතන් වහන්සේලා උපහාසයට ලක්කොට ඇති ආකාරය පෙනේ. මේ අනුව මෙම මහායාන සම්ප්‍රධාය තුළින් ඉදිරිපත් වූ දාර්ශනික සංකල්ප කාලීනව පෝෂණය වෙමින් අනෙකුත් බෞද්ධ සම්ප්‍රධායවාදින් විසින්ද ගොඩනංවමින් ආ මතවාදයන්ගේ නව මුහුණුවරක් බව හඳුනාගත හැකිය.


      මේ අනුව චෛත්‍ය වන්දනාව ධාතු වන්දනාව ආදි ජනප්‍රිය චාරිත්‍ර ඉදිරිපත් කරමින් මෙම මහායාන සම්ප්‍රධාය ගිහියන් අතින් ප්‍රභවය වූ බවට ඇතමුන් දැක්වූ මතය ප්‍රතික්ෂේප වෙන බව දැකිය හැකිය. මෙම මහායාන සූත්‍ර සාහිත්‍ය ද ගිහි කාර්යක් නොවු අතර එසේම මහායාන සම්ප්‍රධාය ප්‍රභවය සඳහා බලපෑ ඓතිහාසික මූලබීජයන් ද ගිහියන් සම්බන්ද වුවක් නොවන බව පැහැදිලි වෙයි.

     “මහායාන සම්ප්‍රධායේ ඓතිහාසික ප්‍රභවය හා විකාශනය පිළිබඳව විමසීමේදි මුලික බෞද්ධ සම්ප්‍රධායෙහි වූ වාචික හා ශ්‍රව්‍ය අවස්ථාවෙන් ලිඛිත හා දෘශ්‍ය අවස්ථාවට පත්වීම මහායාන සම්ප්‍රධායේ සුවිශේෂි ලක්ෂණයක් බව ඇතැම් උගතුන් පෙන්වාදෙයි. ආදි බෞද්ධ සූත්‍ර දේශනා වල දක්නට ලැබුණු හුදු වාචසික විලාසය වෙනුවට බුදුරඳුන් තම සෘද්ධි බලයෙන් දෘෂ්‍යමය මැවීම් කළ බවත් ධර්මදේශනාවේම කොටසක් වූ මේවා දැකගත හැක්කේ දියුණු කල මනසක් සහිත බෝධි සත්වයන්ට පමනක් බවත් මහායාන සාහිත්‍ය තුළ දක්නට ලැබෙයි.” 

මෙම මතය තහවුරු කිරිම උදෙසා මහායානිකයන් ගණ්ඩව්‍යුහ වැනි සූත්‍ර නිදසුන් ලෙස ඉදිරිපත්කොට ඇති බව පෙනේ. කෙසේ වුවද මෙම මතය කිසියම් ආගමික සම්ප්‍රධායක සම්භවය පිළිබඳව නිශ්චිත සාධකයක් ලෙස දැක්විය නොහැකි බව උගතුන් ප්‍රකාශ කරයි. එසේම එමඟින්ද සිදුවනුයේ බුදුරඳුන්ගේ සුවිසල් ශක්‍යතාවය සීමා කිරිමටත් බෝධිසත්වයන්ගේ චරිතය වර්ණනා කිරිමටත් යත්න දරා ඇති බවයි.


       විශේෂයෙන්ම මෙම මහායාන සම්ප්‍රධායේ ප්‍රභවය පිළිබඳව විමසීමේදි ඒ සඳහා වැදගත් වන්නා වූ ප්‍රධාන සාධකයක් වශයෙන් මහායානය බිහිවූයේ කුමක් හෙයින්ද, එහි මූලීක අවශ්‍යතාවය, සන්දර්භය පිළිබඳව විමසීම වැදගත්වේ. ඒ අනුව මහායානය වූ කලි දෙවන ධර්ම සංඝායනාවෙන් පසු සාසනය තුළ ඇතිවු අටලොස් නිකාය මෙන් ප්‍රභවය වූ සාම්ප්‍රධායික ගුරුකුලයක් නොවේ.සෙසු සාම්ප්‍රධායික සර්වාස්ථිවාද, සෞත්‍රාන්තික වැනි ගුරුකුලවලින් සිදු කරණුයේ බුදුසමයේ මූලික ඉගැන්වීම් සඳහා අර්ථකතන නව නිර්දේශ එකතු කිරීමත්ය.එහෙත් මහායානය විකාශනය වනුයේ බුද්ධ දේශනාව ලෙසින්මය. එමඟින් නව නිෂ්ඨාවක් ලෙස බුද්ධත්වයත් එසේම නව චරණය ලෙසින් බෝධිසත්ව චරණයත් ඉදිරිපත්වී ඇත. එසේම මහායානය තුළ බුද්ධ චරිත විස්තර ආදි වර්ණනාවන් මෙන්ම පාරභෞතික අදහස් මෙන්ම ගූඪ අදහස් සහිත ඉගැන්වීම්ද දක්නට ඇත. එසේම මෙම මහායාන සම්ප්‍රධාය තත්කාලීන සමාජ ප්‍රවණතාවක් මුල්කොටගෙන ගොඩනැගුනක් බව විද්වතුන්ගේ අදහසයි. ඒ සාධක ලෙසින් ඉදිරිපත්කොට ඇත්තේ මහායානයේ ඉගැන්වීම් ජනකාන්ත ලක්ෂණයන්ගෙන් යුක්තවීමයි. එසේම මෙම මහායාන සම්ප්‍රධාය ගිහියන් සමග පොදු සමාජය සමග වඩාත් සමීප වෙමින් ඇති වූ සම්ප්‍රධායක් බව මෙම මහායාන ඉගැන්වීම් ආශ්‍රයෙන් කරුණු ඉදිරිපත් කල උගතුන්ගේ අදහසවී ඇත. 


“මහායානයේ සියලු ප්‍රමුඛ ඉගැන්වීම් අනුව මහායානිකයා තමා ගැන සිතනවාට වඩා අනුන් ගැන අනුන්ගේ විමුක්තිය ගැන සිතන්නෙකි. ඒ අනුවම ක්‍රියාකරන්නෙකි. එය ඔවුන්ගේ ව්‍රතයකි. ඔහු හීනයානිකයා හෙවත් ශ්‍රාවක යානිකයා මෙන් තමාගැන වැඩිපුර සිතා තමාගේ මුක්තිය සලකාගෙන එයින් තෘප්තිය ලබන්නෙක් නොවේ. මේ නිසා ඔහු හිනයානිකයා මෙන් රහත් බව හෝ මධ්‍යම යානිකයා මෙන් පසේබුදු බව හෝ නොපතයි. මහායානිකයා පතන්නේ බුදු බවමය.”  එසේම මෙම මහායානයේ පරමාර්ථ වශයෙන් එම සූත්‍ර තුළ ඉගැන්වෙන කරුණු කිහිපයක්ද වෙයි. 


 සියල්ලන් සසර දුකින් මුදවාලීම

 සියලු කෙලෙස් නැති කිරීම

 පාරමිතා පිරීම හෙවත් පරාර්ථ සේවනයේ යෙදිම

 සත්‍ය අවබෝධ කොටගෙන එය ලෝකයාට කියාදීම

 සියල්ලන් බුද්ධත්වයට පැමිණවීම සඳහා ක්‍රියාකිරීම 

       ඒ අනුව රහත්වීම තුළ තමා පමණක් දුකෙන් මිදීම සිදුවන හෙයින් මහායානිකයින් එම තත්වය පහත් සේ සලකා ඇති බව පෙනේ. ඒ අනුව ඔවුන්ට අවශ්‍ය වූයේ සදාචාරවත් සමාජයක් සහ සියල්ලන් සසරින් මුදවීමේ ක්‍රමවේදයකි. මෙය තත්කාලීන සමාජ අවශ්‍යතාවයක් වු බව පෙනේ. එබැවින් එම සමාජ අවශ්‍යතාවයට අනුව සමාජ අවම සබඳතා ඇති රහතන් වහන්සේ වෙනුවට සමාජය හා නිරතුරු සබඳතා ඇති බෝධිසත්වයෙකු ඔවුන් විසින් ඉදිරිපත් කළ බව පෙනේ. බෝධිසත්වයන් පුද්ගලයා සසරින් එතර කරවන තෙක් ඔහු සසරින් එතෙර නොවේ. ඔහු ජනතාවට වඩාත් සමීප චරිතයකි. කාමභෝගි ගිහියෙකි. එසේම මෙම මහායාන සම්ප්‍රධාය සාමජයත් සමග වඩාත් සම්බන්ධ වූ අවස්ථාවක් වශයෙන් මහායානය තුළ දක්නට ලැබෙන ගූඪ ඉගැන්වීම් ආදිය දැක්විය හැකිය. තත්කාලීනව භාරතීය සමාජයේ මිනිසුන් තුළ පැවති යක්ෂ ප්‍රේත ආදි බියජනක දේ සහ යන්ත්‍ර මන්ත්‍ර ආදියට දක්වන ලද කැමැත්ත ගරුත්වය හේතුකොටගනිමින් මෙම මහායාන සම්ප්‍රධාය තත්කාලීනව සමාජය තුළ වඩාත් සීඝ්‍රයෙන් වර්ධනය වූ අයුරු දැකිය හැකිය. ඒ අනුව මෙම මහායාන සම්ප්‍රධාය තත්කාලීන සමාජ අවශ්‍යතාවයන් හඳුනාගනිමින් ඒවා මුල්කොට ගනිමින් සංවර්ධනය වූ අතර එබැවින්ම මෙම මහායානයේ අදහස් සමාජය තුළ වර්ධනය වූ බව හඳුනාගත හැකිය.


“දෙවන සංගායනාවෙන් පසු රහස් බණ ලෙස සළකන ලද මහායාන අදහස් පශ්චාත්කාලීනයන් විසින් විවිධ අරුත් බහා විකාශනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තන්ත්‍ර විධි බිහි වී ආයේය. අනතුරුව ක්‍රි.ව. 6, 7 වැනි සියවස්වලදී තාන්ත්‍රිකයන් විසින් මහායානයේ මූලික සිද්ධාන්තයන් හා තන්ත්‍ර විධි ජන ජීවිතයේ ප්‍රමුඛ අංගයන් බවට පත් කරන ලදි. මේ නිසා වජ්‍රයානය ප්‍රමුඛ කොට ගත් යාන විධි රාශියක් බිහි වී ආයේය. තාන්ත්‍රිකයන් විසින් මහායානික සිද්ධාන්තයන්හි ගුප්තාර්ථයන්ට පෘථුලාර්ථ කැවූහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් භක්ති මාර්ගය දියුණු වූ අතර තාන්ත්‍රිකයින් විසින් මූලික අරමුණ ඉක්මවා යමින් පූජා විධීන්ට මුල් තැන ලබා දුනි. අභිමතාර්ථය මුදුන්පත් වනුයේ කාමසේවනය, සුරාව, මතස්‍ය මාංශානුභවය, හා අක්‍ෂර නොවරද්දා කියන මන්ත්‍ර මඟිනි, යන අදහස මන්ත්‍රයානිකයන් තුළින් බිහි විය. අනවින, කොඩිවින, හදිහූනියම්, වශීකරන අඤ්ජනම්, පේනකීම්, අමනුෂ්‍යයන් කැඳවීම්, පොරොන්දම් වැනි බුදුන් එපා කොට වදාළ නීති මහායානය තුළට රිංගුවේ ඒ තාන්ත්‍රික ඉගැන්වීම්වල බලපෑම නිසායි.”  


       එසේම මෙම මහායාන සම්ප්‍රධාය ඇතිවීම සඳහා හේතුවක් ලෙස ථේරවාදීන් විසින් ඉදිරිපත් කරනුයේ විනය කරුණු පිළිබඳ අදහසකි. එහෙත් මහායාන සම්ප්‍රධාය ඇතිවු භාරතයේ හෝ එය පසුව වෙනම සම්ප්‍රධායක් ලෙස විකාශනය වූ චීනයේ හෝ මහායාන සම්ප්‍රධායට අයත් විනය  පිටකයක් හෝ ත්‍රිපිටකයක් නොමැත. උගතුන් දක්වන ආකාරයට මහායානිකයින් විසින් පිළිපදින ලද්දේ ධර්මගුප්තික හෝ මූල සර්වාස්ථිවාද විනය බවයි. මීට අමතරව මෙම මහායාන සම්ප්‍රධාය ප්‍රභයව වීම සඳහා සමාජ දේශපාලන දාර්ශනික ආදි පසුබිම් මතවාද මෙන්ම මනෝවිද්‍යාත්මක හේතුසාධකයන්ද බලපෑ බව උගතුන් දක්වයි. එයට සාධක ලෙස උගතුන් දක්වනුයේ තත්කාලීනව සමාජ තුළ රහතන් වහන්සේට තිබු ප්‍රබලත්වයයි. ප්‍රථම සංගීතියේ සිට සංඝ සංස්ථාව තුළ රහතන් වහන්සේට ප්‍රධානත්වයක් හිමිවීමත්  ජේ්‍යෂ්ට රහතන් වහන්සේලා ධර්මය හා විනය ගුරු කොට ගනිමින් කටයුතු කිරිමත් හේතුවෙන් රහත්බව නොලැබු භික්ෂූ පිරිසට එතරම් පිළිගැනීමක් එම සමාජය තුළ නොවු බව පෙනේ. එම හේතු සාධකයන් පදනම් වෙමින් මෙම මහායානය නමින් නව සම්ප්‍රධායක් ඇතිවීම සඳහා ඉඩ සැලසුනු බව පෙනේ. ඒ අනුව රහතන් වහන්සෙලා හට සමාජයේ පැවති ප්‍රබලත්වයට නොකැමති වූ පිරිස් හරහා මෙම නව දාර්ශනික සම්ප්‍රධාය ගොඩනැංවුණු බව ඇතැම් උගතුන්ගේ මතයයි.


       මේ අනුව සංඝ සමාජය තුළ ඇති වූ මෙම නවමු දාර්ශනික සම්ප්‍රධාය පිළිබඳව විමසීමේදි එහි ප්‍රභවය හා කාල වකවානුව පිළිබඳවත් නිශ්චිත තොරතුරු සාධක දක්නට නොමැති වුවද සාසනික වශයෙන් අනෙකුත් දාර්ශනික සම්ප්‍රධායන් තුළින් සහ උගතුන් දක්වන විවිධ මතවාදත් පිළිබඳවත් එසේම මෙම මහායාන දර්ශනය තුළ මූලික වශයෙන් අවධානය යොමුකොට ඇති දාර්ශනික පැතිකඩ පිළිබඳවත් විමසීම තුළින් මෙම මහායාන සම්ප්‍රධාය ඓතිහාසික වශයෙන් ප්‍රභවය වීම සඳහා බලපාන ලද ආගමික සාමාජික දාර්ශනික පසුබිමත් එය වෙනම බෞද්ධ දාර්ශනික සම්ප්‍රධායක් වශයෙන් සම්භවය වී මපිළිබඳවත් තොරතුරු අනාවරණය කොටගත හැකි බව මෙම කරුණු තුළින් ස්ඵුටවේ. 


    “එසේම මෙම මහායාන සම්ප්‍රධාය වු කලි හුදු දාර්ශනික සම්ප්‍රධායක් පමණක්ම නොව ආගමික විශ්වාස පුදපූජා ප්‍රතිපදාවන්ද සහිත පූර්ණ ආගමික සම්ප්‍රධායක් බවයි. එතුළ යෝගාචාර මාධ්‍යමක වැනි දාර්ශනික අංශයන්ද එසේම පුදපූජා ප්‍රතිපදා හා විශ්වාස වැනි දෙයින් සමන්විත ආගමික අංශයක්ද එසේම මූලික මහායාන අදහස් ක්‍රමයෙන් සංවර්ධනය වූ ආකාරය දැක්වෙන සූත්‍ර සාහිත්‍යක්ද මෙම සම්ප්‍රධාය බිහිකිරීම සඳහා දායක වූ ගිහි මෙන්ම පැවිදි අනුගාමිකයින් පිරිසක් සහිත සංවිධානයක් ද ආදි වශයෙන් හුදු දාර්ශනික අංශයකට වඩා පරිභාහිර වූවක් බව පෙනේ.”  එහෙත් මෙම මහායාන සම්ප්‍රධාය ඓතිහාසික වශයෙන් විකාශනය වීම තුළ එම එක් එක් අංග වෙන් වෙන්ව දැක්විය නොහැකි බව උගතුන්ගේ අදහසයි.


     මහායානය වු කලී සෙසු බෞද්ධ දාර්ශනික සම්ප්‍රධායන් තුළ ඉගැන්වුනු සත්වාදි ද්‍රව්‍යවාදි ඉගැන්වීම් වෙනුවට ඒවා විවේචනය කරමින් ශූන්‍යතා සය විඥප්තිමාත්‍ර ආදි දර්ශනයන් ඉදිරිපත් කල දර්ශනයක් ලෙස හඳුනාගත හැකිය. මෙම මහායාන සම්ප්‍රධායේ සූත්‍ර සාහිත්‍ය ආශ්‍රයෙන් විමසු විට මෙම සම්ප්‍රධාය ක්‍රි: ව පළමු සියවසේදි පමණ වනවිට ගොඩනැගුණු බවට දැකිය හැකිවුවද එම මහායාන සූත්‍ර සාහිත්‍ය එක්වරම බිහිවූවක්ද නොවේ. එය කාලීනව සකස් වූවකි. එසේම ථේරවාදීන්ට අනුව මෙම මහායාන සම්ප්‍රධාය පසුකාලීන නවෝත්පාදනයකි. එහෙත් විචාරකයන් මෙම ථේරවාද මතයත් එසේම මෙම මහායාන සූත්‍ර බුද්ධ දේශනාවක් වන බවට වූ මතයද පිළි ගැනීමට මැළිවෙන බව පෙනේ. එසේම මහායාන සූත්‍ර නාග ලෝකයේ සිට රැගෙන ආවක් ලෙසද නාගර්ජුන මෙහි කතෘ ලෙසද එය ආන්ද්‍රා ප්‍රදේශයේ බිහිවූවක්ය ආදි වශයෙන් මෙම මහායාන සූත්‍ර සාහිත්‍ය පිළිබඳව ඒකමතිකත්වයක් නොමැති වීම තුළ එහි ප්‍රභවය පිළිබඳව සූත්‍ර සාහිත්‍ය ඇසුරින් විමිසීමට ද අවස්ථාවක් නොලැබෙයි.


“ මහායානයේ ආරම්භය හුදෙක් බුදුරඳුන්ගේ ලෝකෝත්තරත්වය, බෝධිසත්ව සංකල්පය, ධාතු චෛත්‍ය වන්දනාව, හා ගිහි මූලිකත්වය වැනි කරුණු වලට ආරෝපණය කිරීම එතරම් සාර්ථක නොවනබව පෙනේ. එහෙත් මෙම සඳහන් කරන ලද සියලුම කරුණු එක්තරා ආකාරයකින් සංකලනය වීමෙන් මහායානය ප්‍රභවය වූ බව සිතිය හැකිය.” 


         මේ අනුව විමසීමේදි දාර්ශනික අංශයත් ආගමික අංශයත් සූත්‍ර සාහිත්‍යත් අනුගාමික සංවිධානයත් සහිත වූ මෙම මහායාන සම්ප්‍රධාය ආකස්මිකව ඇති වූ සම්ප්‍රධායක් නොවේ. එය දාර්ශනික සාමාජික දේශපාලනික ආගමික ආදි පුළුල් පසුබිමක් මත ඉදිරිපත් වූ අදහස් සමුදායකින් යුක්ත වූ සම්ප්‍රධායකි. එය හා සම්බන්ධ මනෝවිද්‍යාත්මක පදනමක්ද ඇති බව පෙනේ. ඒ අනුව මෙම මහායාන සම්ප්‍රධාය වු කලි ශ්‍රාවක යානිකයින් දක්වන පරිදි පසුකාලීන නවෝත්පාදනයක් නොවේ. එය දීර්ඝකාලීන සමාජ අවශ්‍යතාවයක් බව හඳුනාගත හැකිය. 


          බුදුන් වහන්සේ ධරමාන අවධියේ සිටම පැවති යම් යම් පුද්ගලාන්තර අදහස් පසුකාලීනව සංඝ සමාජයේ ඇති වූ නිකායභේදයට මූලබීජ වූ බව පැහැදිළි කරුණකි. ඒ අනුව එම නිකයභේදය සිදුවු දෙවන සංඝායනාව මෙම මහායාන සම්ප්‍රධාය ප්‍රභවය වීම සඳහා මූලික පදනමක් වූ බව පෙනේ. එසේම මෙම මහායාන සම්ප්‍රධාය තුළින් සමාජගත කරණුයේ ද ළාමක අදහසක් නොවේ. එය ශූන්‍යතාවාදි විඥප්තිමාත්‍රතා සිද්ධාන්තික වැනි දාර්ශනික වශයෙන් පොහොසත් අදහසකි. එසේම මෙම මහායාන සම්ප්‍රධායේ සමාජ අවශ්‍යතාත් ඒ සඳහා බලපෑ මනෝවිද්‍යාත්මක සාධකත් පිළිබඳව විමිසිම තුළින් පැහැදිළි වනුයේ මෙම මහායාන සම්ප්‍රධාය වු කලි හුදෙක් පසුකාලීන සංඝ සමාජයේ  සිදු වූ නවෝත්පාදනයක් නොව, බුද්ධකාලිනව සිට සමාජයෙ පැවති යම් යම් මතවාද මූලබීජ කොටගනිමින් එම මතවාදයන්ට පිළිතුරක් ලෙස ප්‍රභවය වූ සම්ප්‍රධායක් බවයි.


නිගමනය

         බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථය වූයේ සත්ත්වයා සංසාර දුකින් එතෙර කරවීමය. ඒ සඳහා වන ධර්මය ප්‍රගුණ කිරීමේ දී විදර්ශනා ධූරය හා ග්‍රන්ථ ධූරය ද ඉවහල් කරගත හැකි බව බුදුන් වහන්සේ දේශනා කළහ. මුල්කාලයේ බොහෝ සෙයින් විදර්ශනා ධූරය ප්‍රගුණ කළ ද පසුකාලීනව භික්ෂූන් විදර්ශනා ධූරයෙන් බැහැර වී ග්‍රන්ථ ධූරය වැඩීමට යොමුවූහ. තර්කය උපයෝගි කොට ගෙන ධර්ම කරුණු දාර්ශනිකව ඉදිරිපත් කිරිමට ඔවුන් පෙළඹීම සඳහා මුල් බුදුසමයෙන් ලැබී තිබූ නිදහස ද උපයෝගී කර ගත්හ. මේ අනුව කාලීනව බුද්ධ භාෂිත ධර්මය සම්බන්ධයෙන් සංඝ සමාජය තුළ විවිධ මතවාදයන් ඇතිවිය. එම මතවාදයන් පොදු සම්මුතීන් නොවුනු නිසාවෙන් විවිධ මතගැටුම් සසුන තුළ නිර්මාණය විය. නිකාය වශයෙන් සංඝ සමාජය තුළ බෙදීම් ඇතිවීම මෙසේ සිදුවිය.


       මෙසේ ඇති වූ නිකාය භේදය නිසාප්‍රධාන වශයෙන් ඇති වූ සම්ප්‍රධායන් වනුයේ මහායානය සහ ථේරවාදයයි. මෙම සම්ප්‍රධායන් හරහා බෞද්ධ දර්ශනය පිළිබඳතවත් සම්ප්‍රදායන් 04ක් බිහිවිය. වෛභාෂික, සෞත්‍රාන්තික, මාධ්‍යමික, යෝගාචාර වශයෙනි. එයින් වෛභාෂිකයෝ යැයි කියනු ලබන සර්වාස්තිවාදීහු බුද්ධ පරනිර්වාණයෙන් තෙවනි ශතවර්ෂයේ ද ඔවුන්ගේම ශාඛාවක් වන සෞත්‍රාන්තිකයෝ සිවුවන ශතවර්ෂයේ ද මාධ්‍යමිකයෝ බුද්ධ පරිනිර්වාණනේ පස්වන ශතවර්ෂයේ ද යෝගාචාර නමින් හඳුන්වනු ලබන විඤ්ඤාණවාදීහුද ශතවර්ෂ අටකට පමණ පසුව බිහි වූ බව සාසන ඉතිහාසය තුළින් පැහැදිළිව හඳුනාගත හැකිය. කෙසේ වුවද ඓතිහාසික වශයෙන් ඒ ඒ අවස්ථාවන්හි  මෙම මහායානය සහ ථේරවාදයත් බිහි වුව ද එය හුදෙක් පසුකාලීන සංඝ සමාජයේ සිදුවූ නව ප්‍රවනතාවයක් ම නොවේ. බුදුන් වහන්සේ ධරමාන අවධියේ සිටම ධර්මය සහ විනය මුල්කොට ගනිමින් සසුන තුළ විවිධ මතවාදයන් ඇති වූ ආකාරයත් එම මතගැටුම් බුදුන් වහන්සේට පවා සමථයකට පත් කිරිමට නොහැකි වූ ආකාරයත් දැකිය හැකිය. ඒ අනුව බුදුන් වහන්සේ ධරමාන අවධියේ සිටම පැවති යම යම් ධර්මය විනය මුල්කොටගත් මතගැටුම් මෙන් ම පසුකාලීනව සසුන තුළ ඇති වූ විවිධ මතගැටුම්ද පදනම්ව මෙම ථේරවාද මහායාන යන නිකාය භේදයන් සිදුවු ආකාරය මෙම නිබන්ධය තුළින් හඳුනාගත හැකිය. එසේම මෙම ථේරවාද මහායාන යන සම්ප්‍රධායන්ගේ ඓතිහාසික ප්‍රභවය හුදෙක් පසුකාලීන සමාජ ප්‍රවනතාවයක් නොවන බව මෙම නිබන්ධය තුළින් මැනවින් ස්ඵුටකොට ඇත. 


 මූලාශ්‍ර.


මහාවග්ගපාළි ඓඓ, කොසම්බක්ඛන්ධකය, බු:ජ:මු: දෙහිවල: නැදිමාල බෞද්ධ සංස්කෘතික මද්‍යස්ථානය. 2004.

දීඝනිකාය ඓඓ, මහාවග්ග, පරිනිබ්බාණ සූත්‍රය, බු.ජ.මු. දෙහිවල: නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 2004.


චුල්ලවග්ග පාළි, පඤ්චසතිකක්ඛන්ධකය, බු- ජ- මු. දෙහිවල: නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය 1960.


චුල්ලවග්ග පාළි, සත්තසතිකක්ඛන්ධකය, බු.ජ.මු. දෙහිවල: නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 2013.


ද්විතීයික මූලාශ්‍ර.


ධම්මජෝති හිමි, මැදවච්චියේ. මහායාන මූලීක සංකල්ප. මරදාන: විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය, 2011.


ධර්මසිරි, ගුණපාල.  බෞද්ධ සදාචාරයේ මූලධර්ම. දෙහිවල: නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 1988.


සාසානරතන හිමි, මොරටුවේ. ලක්දිව මහායාන අදහස්. මහරගම: විසිඳුනු ප්‍රකාශකයෝ, 1992.


නානායක්කාර, සනත්. මුල් බුදුසමයේ සිට වජ්‍රයානය දක්වා. දෙහිවල: නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය. 2002.


විජේබන්ඩාර, චන්දිම. බෞද්ධ අධ්‍යනය. මරදාන: සමයවර්ධන ප්‍රකාශකයෝ, 2007.


බුද්ධදත්ත හිමි, පොල්වත්තේ. ථේරවාද බෞද්ධ දර්ශනය. දෙහිවල: නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 2003.


අරියවිමල හිමි, කොස්වත්තේ. මරදාන: සමයවර්ධන ප්‍රකාශකයෝ, 2010.


බෞද්ධ හා පාලි අධ්‍යනය. සංස්. ගොඩගම මංගල හිමි. මාදිපොළ විමලජෝති හිමි. කොළඹ 10: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 2013.


රාහුල හිමි, අත්තුඩාවේ, මහානාම හිමි, බඹරැන්දේ. මහායානය. නුගේගොඩ: දීපානී ප්‍රකාශකයෝ 1970.


මේධානන්ද හිමි, දේවාලේගම. චතුර්විධ බෞද්ධ දර්ශන සම්ප්‍රධාය හැඳින්වීමක්. වරකාපොළ: ආරිය ප්‍රකාශකයෝ. 1988.


අභයවංශ, කපිල. බෞද්ධ අධයනය. කොළඹ 10: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 1999.


තෘතීයික මූලාශ්‍ර.


චරණ ශාස්ත්‍රීය සංග්‍රහය මංගල කලාපය, සංස්. මඩවලතැන්නේ පඤ්ඤාරතන හිමි ආදීහු, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය: සාමුහික භික්ෂු සංගමය. 2011.


බෞද්ධ හා පාලි අධ්‍යනය. සංස්. ගොඩගම මංගල හිමි. මාදිපොළ විමලජෝති හිමි. කොළඹ 10: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 2013.


ආචාර්යතුමා

1 comment:

  1. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "7. බර කතා බහ" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete