Showing posts with label සමාජ කටගැස්ම. Show all posts
Showing posts with label සමාජ කටගැස්ම. Show all posts

Friday, 15 February 2019

යා දෙක නොරත රත සමඟ පෑසීමෙක් නැත

ලංකාවේ මිනිස්සු හැමදාමත් ප්‍රශ්නවලින් දැවෙනවා.එම දැවෙන ප්‍රශ්න අතර එකක් තමයි රැකියා ප්‍රශ්නය.එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්න හේතු ගණනාවක් ම තියනවා.ඒ හේතු අතර එක හේතුවක් ගැන තමයි පහත දැක්වෙන ලිපිය බැඳෙන්නේ.

"යා දෙක නොරත රත - සමඟ පෑහීමෙක් නැත" කියන්නෙ රත් වූ යකඩක් සහ රත් නොවූ යකඩයක් පෑස්සීමට නොහැකි බවයි.මේ කියමන අපේ රටේ අධ්‍යාපනය යි රැකියා වෙළඳපොළ යි සම්බන්ධයෙන් ගත්තමත් පෑහීම කොයිතරම් ද කියල කාටත් අවබෝධයක් තියනව.එහෙම අය අතර අවබෝධය අඩු අයෙක් ඉන්නවනම් අන්න එයත් ලිපිය කියවල තේරුම් ගනීවී.


තෘතීයික අධ්‍යාපනය හා එහි බරපතල ගැටලු පිළිබඳව දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (CEPA) ගෙනෙන විශ්ලේෂණය

හැත්තෑව දශකයේ සිටම ලාංකේය උසස් අධ්‍යාපන ආයතන බොහෝ සෙයින් විවේචනයට ලක්වී තිබෙන බවට සාක්‍ෂි තිබේ. එමෙන්ම, එදා සිට අද දක්වා ම විවිධ මතභේදයන්ට තුඩුදුන් කරුණක් වූයේ මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පවතින ගුණාත්මකභාවයයි.
ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් ශ්‍රී ලංකාවේ බොහෝ සමාජ පරිවර්තනයන්ට පන්නරයක් වූ නිදහස් අධ්‍යාපන ක‍්‍රමය මෙරටට හඳුන්වාදුන්නේ 1945 වසරේදී ය. 1943දී ඉදිරිපත් කරන ලද එක් පාර්ලිමේන්තු සභාවාර වාර්තාවක සඳහන් පරිදි, නිපුණතා සහ කුසලතා එක් සමාජ පන්තියකට හෝ කණ්ඩායමකට සීමා නොවිය යුතු අතර, ඒවා ඉස්මතු කරගැනීමට සැමට සමාන අධ්‍යාපන අවස්ථා ලබාදිය යුතුය.
නිදහස් අධ්‍යාපන ක‍්‍රමය හඳුන්වාදීමේ එක් ඉලක්කයක් වූයේ, අධ්‍යාපනය ලැබීමට දිළිඳු බව බාධකයක් වූ බැවින් එවකට පැවැති සමාජ තත්ත්වය වෙනස් කිරීමත්, ඒ තුළින් සැමට විධිමත් ආර්ථිකයක් තුළ රැකියා අවස්ථා ලබාදීමත් ය. පුද්ගලයින්ගේ සමාජ හෝ ආර්ථික තත්ත්වයන් නොසලකා ඔවුනට නොමිලේ අධ්‍යාපනය ලබාදීමෙහි අපේක්‍ෂිත ප‍්‍රතිඵලය වූයේ සමාජ සවිබලගැන්වීම යි.
විශ්වවිද්‍යාල තුළ වෙනස් වෙමින් පැවැති සමාජ නියෝජන රටාව සහ හැටේ දශකයේදී උපාධිධාරීන් වැඩි ප‍්‍රමාණයක් ශ‍්‍රම වෙළඳපොළට ඇතුළත්වීම තුළින්, උසස් අධ්‍යාපනය රටේ තරුණ පරපුරෙහි වෘත්තීය හා සමාජ ප‍්‍රගමනයට දායක වී ඇති අයුරු අපට පැහැදිලිව දැකගත හැකිය. එදා රැකියා අවස්ථා වැඩි කිරීමට හා ජීවන තත්ත්වයන් වැඩි දියුණු කිරීමට පාදක වූ අංගයක් ලෙසට අධ්‍යාපනය සලකන ලදී. නමුත් පසුකාලීන අධ්‍යයනයන් මගින් පෙන්වා දෙන්නේ, සැමට සමාන අධ්‍යාපන අවස්ථා ලබාදීම වෙනුවට, තෝරාගත් පිරිසකට පමණක් අධ්‍යාපනය වෙත ළඟාවිය හැකි බවයි.
ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් 1971දී ප‍්‍රකාශිත අධ්‍යයනයකට (Matching Employment Opportunities and Expectations: A Programme of Action for Ceylon) අනුව, ශ‍්‍රම වෙළඳපොළෙහි ඉල්ලුමට සරිලන නිපුණතා සහිත සහ රටේ දියුණුවට දායකත්වයක් සැපයිය හැකි උපාධිධාරීන් බිහිකිරීමට ලාංකේය විශ්වවිද්‍යාල අපොහොසත් වී ඇත.
මේ දක්වා සිදුකෙරුණු එවැනි ගවේෂණයන් පෙන්වා දෙන්නේ කලා විෂයයන් හදාරා ඇති, ඉංග‍්‍රීසි දැනුම අඩු උපාධිධාරීන් අවිධිමත් ක්‍ෂේත‍්‍ර තුළ, අඩු ආදායම් රැකියාවන්ට පිවිසීමේ අවදානමකට ලක්ව සිටින බවයි. සම්පත් හිඟය, සමාන අවස්ථා නොලැබීම, ආදායම් විෂමතාවය සහ ස්ත්‍රී පුරුෂ භාවය යනාදී සාධක තරුණ පරපුරෙහි සමාජ සවිබලගැන්වීමේ අභිලාෂයන්ට බලපානවා පමණක් නොව, විරැකියාවේ වර්ධනයට ද දායකවී ඇත. මෙම අවහිරතා මඟහරවා ගැනීමට සමත් මෙන්ම රැකියා වෙළඳපොළට යෝග්‍ය වන තරුණ පිරිසක්, විශ්වවිද්‍යාල පද්ධතිය මගින් බිහිකරන්නේ ද යන්න පිළිබඳ ප‍්‍රශ්නයක් පැනනැගීමට මේ තුළින් හැකි වේ.
ශ‍්‍රම බල ඉල්ලුමට ගැළපෙන කුසලතා සහිත උපාධිධාරීන් බිහිකිරීමට අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයට පවතින නොහැකියාව හැටේ දශකයේදී වඩාත් තීව‍්‍ර අන්දමින් දක්නට ලැබුණේ, එවකට පැවැති විරැකියාවට හේතුසාධක වූ උසස් අධ්‍යාපනයේ තිබූ නොයෙකුත් ගැටලුකාරී තත්ත්වයන් ය. දරිද්‍රතාවය, විද්‍යා විෂයයන් හැදෑරීමට වන අවස්ථාවන්ගේ හිඟකම සහ ඉංග‍්‍රීසි භාෂා නිපුණත්වයේ මඳ බව යන කාරණා විරැකියාවට මෙන්ම සමාජ අවගමනයට ද බලපාන ප‍්‍රධාන හේතු බව පර්යේෂණ අධ්‍යයනයන් හෙළිදරව් කරයි. එමෙන්ම රැකියා කේන්ද්‍ර කරගත් විෂයයන් හදාරා ඇති උපාධිධාරීන් හට රැකියා සැපයීමට ද පවතින ආර්ථික ක‍්‍රමය අසමත් වී ඇත. රැකියා වියුක්ත වූ උපාධිධාරීන් හට රැකියා ලැබුණු විට, ඒවා ද්විතීයික අධ්‍යාපන සුදුසුකම් පමණක් සහිත සේවකයින්ට වුවද කළහැකි රැකියා බව පෙනීයන ලදී.
මෙවන් අර්බුදයක් තුළ මානව සම්පත් කළමනාකරණ දෘෂ්ටියක සිට බලන්නෙකුට මැනවින් අවබෝධ වන කාරණයක් වන්නේ, විශ්වවිද්‍යාල උපාධියෙහි වටිනාකම අවතක්සේරුවකට ලක්වීම පමණක් නොව තෘතීයික අධ්‍යාපනයේ අරමුණ ද ප‍්‍රශ්නාර්ථයකට ලක්වන බවයි. මෙම ප‍්‍රශ්නය වඩාත් බරපතල වන්නේ, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා රජය මගින් මුදල් සම්පාදනය කරන බැවින් සහ පශ්චාත් උපාධි අධ්‍යයනයන් ද බොහෝදුරට රජයේ සහනාධාර යටතේ ලබාදෙන බැවිණි. රජයේ මුදලින් නඩත්තු වන අධ්‍යාපන ආයතන රටේ දියුණුව උදෙසා දායකත්වයක් සපයයි ද යන ප‍්‍රශ්නය මෙහිදී මතු වේ.
නිදහස් අධ්‍යාපන ක‍්‍රමය විවේචනයට ලක්කිරීම පහසුය. එමෙන්ම උසස් අධ්‍යාපනය ලැබීමෙහි ප‍්‍රතිඵලය රැකියා නියුක්තිය ම නොවන්නේය’ යන තර්කය ද මෙහිදී අපට ගෙනහැර දැක්විය හැක. නමුත්, විශ්වවිද්‍යාල යනු රජය මගින් නඩත්තු වන ආයතන නිසා මෙම ගැටලුවෙහි මුල සොයා උසස් අධ්‍යාපනයේ සැබෑ අරමුණ යළි විමසාබැලීම වැදගත් වේ. දිගුකාලීනව, විශ්වවිද්‍යාල මගින් රැකියා වෙළඳපොළට සරිලන උපාධිධාරීන් බිහිකළ යුත්තේ, සුදුසුකම් ලත් රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් හෝ සේවයේ යෙදවිය නොහැකි උපාධිධාරීන්ගෙන් සමාජයට හෝ රටට යහපතක් සිදු නොවන බැවිණි.
නිදහස් අධ්‍යාපන ක‍්‍රමය, එහි උගන්වන දෑ සහ අවශ්‍ය කරන නිපුණතාවල ඇති නොගැළපීම් පිළිබඳ ගැටලුවලට නිසි පිළියම් යෙදිය යුතුය. ඒ අනුව ජාතික උසස් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයෙන් ඇසිය යුතු බැරෑරුම් ප‍්‍රශ්න කිහිපයක් තිබේ. රජයේ පිළිවෙතට අනුව නොමිලේ උසස් අධ්‍යාපනය සැපයීමෙන් අප රටට, ආර්ථිකයට හා සමාජයට ඵලදායි ප‍්‍රතිඵල ලබාගත හැකි ද? එසේ කළ නොහැකි නම්, වරද සිදුවී ඇත්තේ කොතැන ද? සහ අප වෙනස් කළ යුත්තේ කුමක් ද?
– තහීරා ඛාදර්

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (CEPA), 2001 වසරේදී පිහිටුවනු ලැබු ස්වාධීන සමීක්‍ෂණ ආයතනයක් වන අතර එහි මූලික අරමුණ වන්නේ, දරිද්‍රතාවය සම්බන්ධයෙන් කටයුතු කරන පාර්ශ්වයන් දැනුවත් කිරීම සහ උපදේශන සේවා පැවැත්වීමයි.

උපුටා දැක්වීම : ආචාර්යතුමා

Friday, 25 January 2019

Wednesday, 17 October 2018


කන්‍යාභාවය හෙවත් "පෙට්ටිය"


මාතෘකාව කියවනකොටම,ඒ කියන්නේ, මේ වෙනකොට තේරෙන්න ඕන මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා. ඇත්ත කතන්දරේ තමයි විසි එක් වෙනි සියවසේ තියෙන ලංකාවේ ඇතුළේ අදටත් ගැහැණියගේ කන්‍යාභාවය කියන එක සෑහෙන්න මාකට් වැලියු එකක් තියෙන දෙයක් කියන එක. එහෙම කාන්තාවගේ කන්‍යාභාවය පරීක්ෂා කිරීම සහ කන්‍යාභාවය තිබීම හෝ නොතිබීම අනුව කාන්තාවට වටිනාකමක් දෙන එක gender discrimination,  නැත්තං ස්ත්‍රියක් වීම නිසා යම් අඩු සැලකිල්ලකට ලක් වීමක් නෙවෙයිද? මොකද කොල්ලන්ගෙ කන්‍යාභාවය කවුරුවත් බලන්නෙ නෑනේ. අපිට ඒ ගැන තීන්දු තීරණ දෙන්න බෑ. ඒක තම තමන්ගේ බුද්ධි මට්ටම අනුව තම තමන් ගන්න ඕන තීරණයක්.මම කරන්නේ කරුණු කාරණා ඉදිරිපත් කරන එක විතරයි.

  සරලවම කිව්වොත් කන්‍යාවක් කියලා අඳුන්වන්නේ ජීවිතේට කිසිම පිරිමියෙක් එක්ක ලිංගික ක්‍රියාවලියක යෙදුනේ නැති කෙනෙක්ට තමයි. හරි හරි, දැන් එනවා ප්‍රශ්න පෝලිමක්. පිරිමියෙක් එක්ක නැතුව කාන්තාවක් එක්ක ලිංගික හැසිරීමක් සිදු කරලා තියෙන කාන්තාවක් කන්‍යාවක් වෙනවද? එතකොට සෘජු ලිංගික සංසර්ගයකට යන්නෙ නැතුව එහෙන් මෙහෙන් සීන් ටිකක් දාලා තියෙන කාන්තාවක් කන්‍යාවක් වෙනවද? ඔය ප්‍රශ්න වලට උත්තර දෙන්න කලින් කතා කරන්න වෙනවා පොදුවේ අතීතයේ ඉඳන් කන්‍යාභාවය හෙව්වේ කොහොමද කියන එක ගැන.
            පොදුවේ කන්‍යාභාවය කියන එක මැනෙන්නේ කාන්තාවකගේ යෝනිමාර්ගය ඇතුළත, යෝනිමාර්ගයේ විවරය අසල තියෙන හයිමනය නැත්තං කන්‍යාපටලය බිඳිලා ගිහින්ද නැද්ද කියන එක අනුව තමයි. මෙතනදී තියෙන පොදු පිළිගැනීම තමයි පළමු ලිංගික සංසර්ගයේදී තමයි කන්‍යාපටලය බිඳිලා යන්නෙ කියන එක. හැබැයි ඒක පොදු පිළිගැනීම වුනත් එතන තියෙන වැරදි වැටහීම ගැන ඉදිරියේදී කතා කරමු.

 ලංකාවේ කන්‍යාභාවය මනින ක්‍රමේ හරිම සරලයි. මඟුල් දවසේ රෑ ඇඳට දානවා සුදු රෙද්දක්. දැන් පොතේ හැටියට මනමාලි කන්‍යාවක් නං පළමු ලිංගික එක්වීමේදී කන්‍යාපටලය බිඳිලා පොඩ්ඩක් ලේ යන්න ඕනනේ. එතකොට පහුවෙනිදට රෙදි නැන්දා ඇවිත් බලනවා සුදු රෙද්දේ රතු ලේ පැල්ලම තියෙනවද කියලා. ඉස්සර එහෙමයි, දැන් නං මනමාලයගේ පැත්තේ වැඩිහිටි ගෑණු කෙනෙක් තමයි මේක බලන්න එන්නේ. ඔය මංගල රාත්‍රියත් එක්ක එන ජපන් කොඩි විහිළුව එන්නෙත් ඔය සිද්ධියත් එක්ක තමයි.
              ලංකාවේ ඔහොම කන්‍යාභාවය බැලුවට එක එක රටවල එක එක ක්‍රම පාවිච්චි වෙලා තියෙනවා කියලා කියන්නත් ඕන. අහල ඇතිනේ රාමා විසින් රාවණාව පරද්දලා, රාවණා විසින් පැහැරගෙන ගියපු සීතාව ආයෙමත් ගෙනාවට පස්සේ සීතා ඇත්තටම පිරිසිදුද කියලා බලන්න අග්නි පරීක්ෂා කරපු සීන් එක. ඔය එකක් විතරයි. තව “පානි කී දීජ්” කියලා පරීක්ෂාවකුත් ඉන්දියාවේ තියෙනවා. ඒ කියන්නේ චෙක් කරන්න ඕන ගෑල්ලමයා වතුරේ ගිලිලා හුස්ම අල්ලගෙන ඉන්න ඕන කෙනෙක් පියවර සීයක් ඇවිදිනකල්. ඉන්න පුලුවන් වුනොත් පිරිසිදුයි, පියවර සීය යන්න කලින් හුස්ම ගන්න දියෙන් මතුවුනොත් කන්‍යාවක් නෙවෙයි. ආතල් නෙහ්!

 ඔන්න ඔතන තමයි සීන් එක. ලංකාවේ තියෙන ලිංගික අධ්‍යාපනයේ තරමට අදටත් සමහරු ලිංගික හැසිරීමක් කිව්වහම හිතන්නේ සෘජු ලිංගික සංසර්ගය ගැන විතරයි. හැබැයි දැනුම් තේරුම් තියෙන මිනිස්සු දන්නවා  ඕන නං කන්‍යාභාවයට හානියක් කරගන්නේ නැතුව සෙක්ස් කරන්න ඕන තරම් ක්‍රම සහ විධි තියෙනවා කියන එක. සෘජු ලිංගික සංසර්ගය කියන්නේ එක දෙයක් විතරයි. මුඛ සංසර්ගය, ගුද සංසර්ගය සහ කලවා ආශ්‍රිත සංසර්ගය වගේ දේවල් ලංකාවේ භාවිතා වෙනවා. එතකොට සමලිංගික කාන්තාවකට නම් ඔතන ගැටළුවක් ඇත්තෙම නෑ කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑනේ!
               ඩොක්ටර් ආරියසේන යූ ගමගේ ලියපු "පුද්ගලිකයි රහසිගතයි" පොතේ කියලා තියෙනවා 1996-1997 කාලේ ශ්‍රී ලංකාවේ කරපු සමීක්ෂණයකට අනුව හෙළිවුනා කියලා ලංකාවේ කාන්තාවන්ගෙන් 51.8% ක් සෘජු ලිංගික සංසර්ගය හෝ වෙනත් කිනම් හෝ ලිංගික ක්‍රියාවක යෙදිලා තියෙනවා කියලා. ඒ කාලේ එහෙමනං දැන් කාලේ කොහොම ඇත්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ! හැබැයි දැන් කවුරුත් කියන්න හදන්න එපා, ගෑණු ජාතිය මෙහෙමයි අරෙහෙමයි කියලා. මොකද ගෑණියෙක් සමලිංගික නෙවෙයිනං ලිංගික හැසිරීමකට යන්න ඕන පිරිමියෙක් එක්කනේ. ඒ නිසා දැන් කාලෙ හරි ඔය බමුණු මත වලින් මිදෙන්න.
               තව කාරණයක්. ඕන නං නැතිවුණු කන්‍යා භාවය නැවත ලබාගන්න පුලුවන් සරල සැත්කමක් තියෙනවා. මේක කිසිසේත්ම නීතිවිරෝධී නෑ වගේම සරල සැත්කමක්. මේ හයිමොනෝප්ලාස්ටි සැත්කම ලංකාවේත් සමහර තැන්වල සිදුකෙරෙනවා කියලා අහන්න ලැබෙනවා.තැන් ටික කිව්වොත් කී දෙනෙක් ඒ තැන්වල පොළිමේ ඉදියි ද කියල බලන්න පර්යේෂකවරු බිහි වීම ස්වභාවිකයි.
මෙන්න මේක විශේෂයෙන්ම පිරිමි උදවිය අවධානය යොමු කරන්න ඕන කාරණාවක්. සමහර ගැහැණු ළමයි උපදින්නේම කන්‍යා පටලයක් නැතිව. සමහරුන්ට කන්‍යා පටලයක් පිහිටලා තිබුණත් පළවෙනි ලිංගික සංසර්ගයේදී කන්‍යා පටලය බිඳී නොයන්න පුලුවන්. මොකද කන්‍යා පටලය කියන්නේ ඇදෙන සුළු එකක් නිසා. ඒ වගේම තමයි ඔය ජිම්නාස්ටික් කරන, බයිසිකල් පදින සහ ඒ වගේ තවත් ක්‍රීඩා වල නිරත වෙන තරුණියන්ගේ කන්‍යා පටලය ලිංගික එක්වීමක් නැතුවම බිඳී යන්න ඉඩක් තියෙනවා කියලත් වෛද්‍යවරු කියනවා. ඉතින් මේ කියන්නේ කන්‍යාවක්ද නැද්ද කියන එක, එහෙමත් නැතිනම් ලිංගික ක්‍රියාකාරකමක ජීවිතේට යෙදිලා නැති “පිවිතුරු” යුවතියක්ද නැද්ද කියන එක කාන්තාවක් සම්බන්ධයෙන් තීරණය කරන්නේ කන්‍යා පටලය හරහාම නං, ඒක නිරවද්‍ය නැහැයි කියන එක තමයි. ඒ විතරක් නෙවෙයි, ඒක ගැහැණු ළමයෙක්ගේ ජීවිතය නිරපරාදේ විනාශ කරන්න පුලුවන් කාරණාවකුත් වෙන්න පුලුවන්. මම අහලා තියෙනවා ඕන තරම් මංගල දිනයේදී කන්‍යා භාවය ඔප්පු කරගන්න බැරි වුණු නිසාම තමන්ගේ ජීවිතේ ඉතිරිය ප්‍රශ්න එක්ක ගෙවන්න වුණු ගැහැණු වගේම තමන්ගේ ජීවිතය නැතිකරගත්තු ගැහැණු ගැනත්.
             
මෙන්න ප්‍රශ්න. කන්‍යා පටලයෙන් කන්‍යා භාවය බලන එක විකාරයක් වගේම තමයි, පිරිමියෙක්ගේ කන්‍යා භාවය ටක්කෙටම බලන්නත් වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමයක් නැහැ කියලා කියන්න පුලුවන්. හැබැයි ඉතින් ඔය හැසිරීමෙන් අරකෙන් මේකෙන් මෙහෙම හරම කන්‍යාභාවය බලන්න පුලුවන් කියන සීන් තියෙනවා. ඒවත් නිරවද්‍ය නෑ කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හැබැයි අපි මේ කතා කරන්න යන්නේ ඒ ගැන නෙවෙයි. විශේෂයෙන්ම ලංකාවේ වුනත් ඉස්සර ඉඳන් තිබුණු අදහසක් තමයි “පිරිමියෙක් පිට ගිහින් ආවොත් නාවලා ගෙට ගන්න පුලුවන්, ඒත් ගෑණියෙක් ගෙයින් පිට ‍රැයක් හිටියොත් ආයෙමත් ගෙදරට වැද්දගන්න බෑ” කියන එක. මෙන්න මේකට නං අපිට කියන්න වෙන්නේ ආයෙමත් අර ගැහැණියක් ගැහැණු වීම නිසාම පහත් කොට සැලකීම කියන එක තමයි. නැත්තං මොකද, කෙල්ලෙක්ට එක නීතියකුයි, කොල්ලෙක්ට තව නීතියකුයි?
               මෙන්න මේ කාරණාවත් කන්‍යා භාවය එක්කම එන ගැටළුවක්. ඇත්තටම මේක ගැටළුවක් වෙන්නේ කාන්තාවන්ට. ගොඩක් දෙනෙක් හිතනවා කන්‍යා පටලය බිඳී යෑම කියන එක අතිශයින්ම වේදනාකාරී අත්දැකීමක් කියලා. ගොඩක් කාන්තාවන් මේ “අතිශයින්ම වේදනාකාරී අත්දැකීම” මංගල රාත්‍රියේදී බලාපොරොත්තුවෙන් නොසන්සුන්ව ඉන්නවා කියන එක බොරු නෙවෙයිනේ. හැබැයි මේක සමහරුන්ට මානසික ගැටළුවක් තරමට දුර දිග යනවා. ඒ නිසාම විවාහයෙන් පසුවත් ලිංගික කර්තව්‍යයකට යොමු නොවෙන, ඒ නිසාම විවාහ ජීවිතයේ ගැටළු ඇතිවුණු පවුල් ඕන තරම් දකින්න ලැබෙනවා. හැබැයි වෛද්‍යවරුම කියන විදියට මෙතන තියෙනවා තව කතාවක්.
               කන්‍යා පටලය බිඳී යෑම එක්කෝ කිසිම වේදනාවක් නැති දෙයක්, එහෙමත් නැතිනම් ඉතාම සුළු වේදනාවක් ඇති දෙයක්. කලාතුරකින් කෙනෙක්ට ඒක ටිකක් වැඩි වේදනාවක් වෙන්න පුලුවන්. හැබැයි පළමු ලිංගික එක්වීම වේදනාකාරී වෙන්නේ කන්‍යා පටලය හින්දා නෙවෙයි. පළමු ලිංගික අත්දැකීම කියන එක පොඩ්ඩක් නොසන්සුන් අත්දැකීමක් නිසා ගැහැණිය ඒ වෙලාවට රිලැක්ස් නොවීම වෙන්න පුලුවන් දෙයක්. එතකොට ඇගේ යෝනි ප්‍රදේශය ආශ්‍රිත මාංශ පේශීන් සංකෝචනය වෙලාම තිබීම, ඒ කියන්නේ ලිංගික සංසර්ගයට අවශ්‍ය කරන ශාරීරික ඉහිල් බව ඇති නොවීම නිසා සංසර්ගය අනිවා වේදනාකාරී අත්දැකීමක් වෙනවා. මෙතනදී පිරිමියාටත් ලොකු වගකීමක් තියෙනවා වළං කඩේට පැන්න ගොනා වගේ හනිමූන් එකේ නොහැසිරෙන්න.
බොහොම ආදරයෙන්, ක්‍රම ක්‍රමයෙන් තමන්ගේ සහකාරියව ලිංගික කර්තව්‍යය වෙත ගෙන යෑම, පූර්ව ලිංගික හැසිරීම් වැඩි වැඩියෙන් අනුගමනය කිරීම සහ අවශ්‍ය නම් ලිහිසි ද්‍රව්‍යයක් පවා යොදා ගැනීම මේ වගේ ප්‍රශ්න ඇතිවීම වළක්වන්න ගන්න කරන්න පුලුවන් පෙර සූදානම් වීම්.
                කන්‍යා භාවය බැලීම හෝ නොබැලීම කියන එකත් එක්ක එන්න පුලුවන් ප්‍රශ්නයක් තමයි තමන් විවාහ වෙන කාන්තාවගේ ‘පිවිතුරු භාවය’ මනින්නේ කොහොමද කියන එක. හරි, කෙනෙක්ට තමන්ගේ කාන්තාව පිවිතුරුද නැද්ද කියලා බලන්න ඕන නං ඒකට කිසිම ගැටළුවක් නෑ. හැබැයි එකක්, ඒකට හොඳම ක්‍රමය එකිනෙකාගේ අන්‍යෝන්‍ය විශ්වාසයත් එක්ක පදනම් වුණු අවංක සාකච්ඡාවකට යෑම. දෙවෙනි කාරණාව කාන්තාවකගෙන් පිවිතුරු භාවය බලාපොරොත්තු වෙන පිරිමියෙක්ට තමන්ගේ පිවිතුරුබව ගැනත් සැටිපිකේට් ගැරන්ටී එකක් දෙන්න පුලුවන් වෙන්න ඕන. එහෙම නැත්තං ඒක අසාධාරණයිනේ.
               අනෙක් කාරණාව තමයි ගැහැණු පිරිමි දෙකොටසම තම තමන්ගේ චරිතවත් භාවය කියන එක ගැන කන්‍යා භාවයට, කන්‍යා පටලයට එහා ගියපු පුළුල් දැක්මක් ඇතිකරගන්න ඕන කියන එක. කන්‍යා භාවයෙන් චරිතවත් බව හරි පතිවත හරි මනින්න එපා කියන එකෙන් කියන්නේ දකින දකින මනුස්සයා එක්ක සෙක්ස් කරන්න කියන එක නෙවෙයි. තමන් යම් අවස්ථාවක යම් කෙනෙක් එක්ක ලිංගික හැසිරීමකට යනවා නම් ඒ කෙනා සුවිශේෂී වෙන්න ඕන. ඒකනේ කාරණාව. දැන් එතනින් එහාට තමන්ගේ ලිංගික ජීවිතේ කොහොම හැඩගස්වගන්න ඕනද කියන එක ගැන මට ටියුෂන් දෙන්න බෑ. මොකද කෙනෙක් විවාහයට පෙර වුනත් ලිංගික ජීවිතේ සතුට තියෙන්න ඕන කියලා හිතනකොට තවත් කෙනෙක් කියයි මේ ධර්මද්වීපයේ ඒව හරියන්නෙ නෑ, කසාද බැඳලා ඕන එකක් කියලා.  තීරණේ තියෙන්නේ තමන් අතේ!
             දැන් මගෙන් අහන්න හිතෙනවා නේද ආචාර්යතුමා, ඔබතුමා පෙට්ටිය කැඩිච්ච කෙල්ලෙක් බඳින්න කැමතිද? වගේ එකක්...ඇත්ත ම කියනවා නම්,ඔය දරුවො  ඕනි එකක් හිතා ගන්න.

       ආචාර්යතුමා

Monday, 8 October 2018



   දේවතා එළි මිථ්‍යාවක් ද? යතාර්ථයක් ද ?

 "දේවතාඑළි" යන වචනය ම අප ලාංකීය ජන සමාජයට අමුත්තක් නොවේ.එහෙත් කනින් අසා තිබුන ද ඒවා සජීවී ව හෝ කිසියම් ඡායාරූපයක සටහන් ව තිබෙනු දැක ඇත්තෝ විරලය.එසේ කිසියම් ඡායාරූපයක් වේ නම් එය ද බොහෝ විට කිසියම් සංස්කරණයකී.මම ද ඔබ මෙන් ම දේවතාඑළි පිළිබඳව අසා ඇත්තෙමී.එසේ ම සත්‍ය වේවා අසත්‍ය වේවා ඇතැම් ඡායාරූප දැක ඇත්තෙමී.
          එහෙත් මා මෙම ලිපිය ලිවීමට හේතු වූයේ එකී දේවතා එළි මගේ ම ජංගම දුරකථනයෙහි හටහන් වීම නිසා මා සිත තුළ වූ කිසියම් හැගීමක් ඔබ සමග බෙදාහදා ගන්නටය.
           ඇසට පෙනෙන ලෝකය තුළ ම නොපෙනෙන සියුම් ලොවක් ඇති බව තරමක් දුරට විද්‍යාත්මක ව අනාවරණය වී තිබුන ද එය සර්වප්‍රකාරයෙන් ම සාක්ෂාත් කර ගැනීමට මිනිසා විසින් දියුණු කරන ලද විද්‍යාව තවමත් පොහොසත් වී නැත.
          මම දිනක් මිනුවන්ගොඩ ප්‍රදේශයේ තිබෙන සුප්‍රසිද්ධ ගලී දේවාලය හෙවත් ගම්භාර දේවාලය වෙත ගියෙමී.එහි දී සිදු කරනු ලැබූ වන්දනාමාන කටයුතුවලින් අනතුරු ව ගම්භාර දෙවියන් හෙවත් සූනියම් දේවතාවුන්වහන්සේ වඩිනු ලබනවා යැයි විශ්වාස කරන වෘක්ෂය දෙසට ගියෙමී.
          ඒ මොහොතේ වන්දනා කටයුතුවලින් අනතුරු ව එතැනට රැස් වූ සමහර දෙනාගේ   මුවින්, 

" අර පේන්නේ ! අර !අර !අර! "
" මේ බලන්න. කොළ පාටයි, රතු පාටයි. "
" අර අතන දි ඒක තව ලොකු වෙලා පේනවා.තව එහාට කරන්න ඕක.අර පැත්තෙත්   පේනවද දන්නෙ නැ."
" ඔව් ම යි දෙයියනේ පේනවා නේන්නම් එක ළඟ හතරක් පහක් ම.සාදු! සාදු ! බල මහිමෙ, දෙවියන්ගෙ බල මහිමෙ.හාස්කම් තියෙනවැයි කියන්න තවත් උදාහරණ ඕන් නෑනී."
" මෙව්වා දකින්නත් පිං තියෙන්න ඕනෑ."
            මෙම කතාබහ මාගේ ද කුතුහලය අවුලුවාලන්නට විය.මම එම පිරිස දෙසට කිට්ටු කළෙමී.මාහට දකින්නට ලැබුනේ ඔවුන් තම අතැති ස්මාර්ට්ෆෝන්වල කැමරා ආධාරයෙන් වටපිටාවේ තිබෙන පියවි ඇසට නොපෙනෙන දේවතා එළි නරඹන ආකාරයයි.
           විස්මයෙන් යුතුව මම ද එය නරඹන්නට විය.සැබවින් ම ඒවා දේවතා එළියැ යි මම ද සිතමී.මන් ද තැනින් තැන එවැනි ආලෝක ලප රාශියක් දක්නට ලැබිණී.ඒවා එකිනෙක සැබෑ වෙනසකින් යුතු වූවාය.අනෙක් අතට ඒවා සෑම තැනක ම නොවීය.
ඇතැම් තැනෙක එක පෙළට ද තවත් තැනෙක යුගළයක් වශයෙන් ද ඒවා පෙනෙන්නට විය.එසේ ම ඒවා එකිනෙකට විවිධ වර්ණයන්ගෙන් ද  ‍යුක්ත වූවාය.
           මගේ අත ද වහා ම ක්‍රියාත්මක විය.සැනෙකින් මගේ ජංගම දුරකතන කැමරාවේ ඡායාරූප කිහිපයක් සනිටුහන් කර ගතිමී.ඒවායින් කිහිපයක් ඔබේ අවධානය සඳහා යොමු කරමී.





       තවදුරටත් මේ පිළිබඳ ව මම, කැලණිය විශ්වවිද්‍යාලයේ කැමරාකරණය, ඡායාරූප පිළිබඳ ව ලංකාවේ එක ම ආචාර්ය උපාධිධාරියා වූ උදිත ගයාෂාන් ගුණසේකර මහතාගෙන් විමසූවෙමී.
      එතුමා විසින් මෙම ඡායරූප විමසා බැලීමෙන් අනතුරු ව ඒ පිළිබඳ ව වැඩිදුරටත් ප්‍රත්‍යක්ෂ කරගැනීම සඳහා DSLR ( digital single-lens reflex )  කැමරාවකින් නැවත වතාවක් ඡායාරූප ලබාගෙන පරීක්ෂා කර බලන ලෙස උපදෙස් දුන්නේය.එහි දී ද මෙකී ලක්ෂණ තිබේ නම් එහි අර්ථය යමක් තිබෙන බව යැයි ඔහුගේ අදහස විය.එහෙත් ඔහු කිසිවිටෙකත් එයට දේවතාඑළි යැයි කීවේ ද නැත.එසේ ම එවැන්නක් ඇතැයි කීම හෝ නැතැයි කියා තර්ක කිරීම හෝ නොකරන්නට වගබලාගත්තේය.
         එහෙත් එවැනි කැමරාවකින් ඡායාරූපයක් ලබාගැනීමට හෝ මේ පිළිබඳව නැවත විමසා බැලීමට තරම් නිදහස් වේලාවක් තවමත් මාහට ලැබුනේ නැත.
මේ පිළිබඳව ඔබ සතු අත්දැකීම් හෝ ඡායාරූප තිබේ නම්, ඒ පිළිබඳව මා සමඟ බෙදාහදා ගන්නා මෙන් ඉල්ලාසිටිමී.

ආචාර්යතුමා.