Monday 30 September 2019

කුණ්ඩලකේසීගේ වස්තුව සරල බසින් හැදෑරීම 01කොටස


තව ද නිෂ්ප‍්‍රයෝජන කතාවෙන් ප‍්‍රයෝජන ලවයකුත් නැති නියාව හ`ගවන්නට කුණ්ඩලකේසීගේ වස්තුව දක්වමු.(තව ද ප‍්‍රයෝජනයක් නැති කතාවෙන් ප‍්‍රයෝජන ස්වල්පයකුත් නොමැති බැව් හැ`ගවීමට කුණ්ඩලකේසීගේ කතාව දක්වමු)

රජගහනුවර එක් සොළොස් ඇවිරිදි විතර වූ සිටුදුවණි කෙනෙක් විශිෂ්ට වූ රූප ශෝභාවක් ඇත්තාහ. (රජගහ නගරයේ වයස අවුරුදු දහසයක් පමණ වූ එක් සිටුදුවණි කෙනෙකුන්ට ඉතා ම අගතැම්පත් රූපසුන්දරත්වයක් ඇත. )

ඉතා ප‍්‍රසාදවහයෝය.(බොහෝ සෙයින් සිත් පැහැදීම ඇති කරන්නේය.)

ඒ වයස පිරී සිටි ස්ත්‍රීහු ද යෞවන මදයෙන් මත් හෙයින් පුරුෂයන් කෙරෙහි ලොල් කම ඇත්තෝය.(එම වයස සම්පූර්ණ වූ තරුණියෝ ද තමන්ගේ තරුණ බව නිසා වූ අහංකාරයෙන් පිරිමින් කෙරෙහි ආසා ඇත්තෝය.)

උන්ගේ දෙමව්පියෝ ද උන් මිත්‍යාචාරයෙන් නවතනු නිසා එක කෙල්ලක මේයට පාවා දීලා සත්මාල් මාලිගාවේ උඩුමාලේ ශ‍්‍රී යහන් ගබඩාවෙක රූපත් ව උපන්නාට පාටෝපයට සිරගෙයක ලූවා සේ ලූහ.(ඇයගේ මවපියා ද ඇයව වැරදි හැසිරීමෙන් වළකාලීම ස`දහා මහල් හතකින් යුත් මාලිගාවේ උඩ තට්ටුවේ සැපසම්පත් සහිත නිදන කාමරයක රූමත් ව උපත ලබා අහංකාර වීම නිසා ද`ඩුවම් සේ සිරගෙයක දැමුවා සේ තැබුවෝය.)

එක් කුළ දරුවෙකු සොරකමක දී අල්වාගෙන පිටිතල හයා බැ`ද ගෙන සැමිටිවලින් මරමරා මිනී මරණ තෙනෙට ගෙනයතී.( එක් කුළ දරුවෙකු සොරකමක දී අල්ලා ගෙන දෑත් පිටිපසට තබා බැ`ද කස හතරකින් ගසමින් මිනිසුන් මරා දමන තැනට ගෙන යතී.)

ඒ සිටුදුවණියෝ ද මහත් වූ කෝලහාල නිසා මේ කිම් දෝ හෝ යි මතුමාලේ සිට බලන්නෝ මරන්ට ගෙන යන තැනැත්තවු දැක ඔහු කෙරෙහි පිළිබ`ද සිත් ඇති ව ඌම පතා බතුත් නොකා යානට නැගී ලා වැද හොත්තෝය.(එම සිටුදියණිය ද විසල් ශබ්දය අසා මේ කුමක් නිසා දැ යි උඩුමහලේ සිට බලන්නී මරන්නට ගෙන යන තැනැත්තා දැක ඔහු පිළිබ`ද ව ඇල්මෙන් යුතු සිතින් ඔහු ව ම ලබා ගැනීමේ උවමනාවෙන් ආහාර නොගෙන ඇ`දට නැගී නිදා සිටියෝය.)

මුසුප්පුව වැද හොත් නියාව මෑණියෝ දැක කුමකට දැ යි විචාරා මරන්ට ගෙන යන තැනැත්තවුන් දැක උන් කෙරෙහි ඇලූම් ඇති වූ නියාවත් උන් ලදොත් මුත් නොලදොත් ජීවත් වීම නියම නැති නියාවත් කී කල් හී පුත`ඩ එසේ සිතන්නේ හැයි ද මුඹ වර්ධන ව සිටියවුන් හෙයින් ගෙයි තබා ගෙන හි`දුමෝ ද ජාතී ආදීන් සරි සාමාන්‍ය තැනකට පාවා දිය හැක්කැයි කිවූය.(දොම්නස් ව සිටි අයුරු මව දැක මක්නිසා දැ යි අසා මරන්නට ගෙන යන පුද්ගලයා දැක ඔහු පිළිබ`ද ව කැමැත්තක් ඇති වූ බවත් ඔහු ව ලැබුනහොත් හැර නොලදොත් ජීවත් නොවන බවත් කී අවස්ථාවේ ඒ අයුරින් සිතන්නේ ඇයි ද ? නුඹ වැඩිහිටි තැනැත්තියක බැවින් ගෙයි තබා ගෙන සිටින්නෝ කවුද ? කුලයෙන් සමාන අයෙකුට විවාහ කර දිය හැකිය යි කීවෝය.)

අපට අනික් කවුරුනුත් නොකැමැත්තේමු. නොලදොත් මියෙමී කිවූය.(අන් අයෙකුට මා නොකැමැතිය.මොහු නොලදොත් මිය යමි යි කීවාය.)

මෑණියෝ නොයෙක් ලෙස කියාත් ගිවිස්වා ගත නොහී පියාණන්ට කිවූය. උයිත් පියා ගිවිස්සා ගත නොහී කළමනා කිම් දෝ හෝ යි සිතා ඒ සොරු මරන්ට ගෙන යන තැනැත්තවුන්ට මසු දහසක් සොරා යවා තෙලෙ හැර ගෙන තුලූ නොමරා අපට එවුව මැනවැයි කියා යවූය.( මව ද විවිධාකාර අයුරින් කියූවත් එක`ග කර ගත නොහැකි ව පියාණන්ට කීවාය. එහෙත් පියාට ද එක`ග කරවා ගත නොහැකි ව ඒ හොරා මැරීමට ගෙන යන අයට මසුරන් දහසක් හොරෙන් දී මෙය ගෙන අර පුද්ගලයාව නොමරා අප වෙතට එවන්න යැ යි කියා පණිවුඩ යැවීය.)

Sunday 15 September 2019

'වාරණය' හඳුනාගනිමු (Censorship) ලිපිය 01

හැඳින්වීම


වාරණය යන්නෙහි වාච්‍යාර්ථය ලෙස වැළකීම බාධක වළකන යන්නක් බැව් ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයෙහි දක්වා ඇත. එනම් කිසියම් වූ දෙයක් අරඹයා සිදු කරනු ලබන පරීක්ෂාවක් වැනිය. වාරණය යන්නට පර්යාය පදයක් වශයෙන් පරිහාර කිරීම ලෙස ද හඳුන්වනු ලැබේ. 
“ලිපි හෝ වාර ප්‍රකාශන නාට්‍ය සිනමා ආදිය පරීක්ෂා කිරීමේ හා සදාචාරයට විරුද්ධ වූ හෝ වෙනත් අයුරකින් අහිතකර වු දෙය දුරාචාරය ලෙස සළකා ඕනෑම දෙයක් කපා හැරීමේ බලය වාරණය වේ.”
                                                                                                    -ඔක්ස්ෆඞ් ශබ්ද කෝෂය-
මේ අනුව ප්‍රධාන වශයෙන් මාධ්‍ය සන්දේශයන් අරමුණු කොටගෙන ක්‍රියාත්මක වන්නකි මෙම වාරණයේ දී සමාජයට ඉදිරිපත් වන සන්දේශයන්ගේ ගුණාත්මක බව සළකා බලා එය ග්‍රාහකයා අතරට යාම සුදුසු ද නැතිනම් නුසුදුසු ද යන්න තීරණය කිරීම මඟින් වාරණය විවිධාකාරයෙන් ක්‍රියාත්මක වීම සිදුවන බැව් පැහැදිලි වන කරුණකි

“පොදුවේ ගත් කළ වාරණය (Censorship) යනු දෝෂ පරික්ෂාවයි. සාහිත්‍ය කලාව ඇතුඵ යම් සන්නිවේදන මාධ්‍යයක දෝෂ නැතිනම් යෝග්‍යතාව පරීක්ෂා කර නොගැළපෙන දෑ ඇතොත් ඒවා ඉවත් කොට අනුමත කිරීම මින් අදහස් කෙරේ. එහි වචනාර්ථය වැළකිම වැළැක්වීම තහනම මුවාව හෝ බාධක ලෙස ගත හැකි බව සරසවි ශබ්දකෝෂයේ දක්වා ඇත. වාරණය යනු පොදු යහපතට නුසුදුසුය පොදු යහපතට අහිතකරය යන පදනම මත කතා කිරීම හෝ ලිවීම තහනම් කිරීම හෝ යටපත් කිරිමයි.

ඒ අනුව වාරණය ක්‍රියාත්මක වන විට දී අවධානය යොමු වන තවත් අංශයක් වන්නේ ග්‍රාහකයා කෙරෙහි මාධ්‍ය සන්දේශයෙන් සිදුවන බලපෑම කෙසේ ද යන්න ය. එහි ස්වභාවය මත සන්දේශය වාරණය කළ යුතු ද නැති ද යන වග තීරණාත්මක වේ.
ඇමරිකාවේ සහ කැනඩාවේ සිට ක්‍රියාත්මක වන (Project censored) ආයතනය මඟින් වාරණය යන්න අර්ථ ගන් වන්නේ මෙපරිදි ය. 

''බලය යොදා හෝ නොමැතිව පක්ෂ භජනය අතහැර දැමීම කරුණු සැඟවීම හෝ ස්වයං වාරණය තොරතුරු සැඟවීම මඟින් සමාජය තුළ සැබැවින්ම සිදුවන දේ ජනතාවට දැන ගැනීම වැළැක්වීම වාරණය යි.''



මේ අනුව පැහැදිලි වන තවත් කරුණක් වන්නේ වාරණය ග්‍රාහකයාගේ යහපත උදෙසා ක්‍රියාත්මක කරන්නක් ලෙස අදහස් වුවත් එහි යටිපෙළින් මාධ්‍ය සන්දේශයන් සිතා මතා ග්‍රාහකයා වෙතට සැපයෙන සත්‍යතාවන් වසන් කර ගැනීමේ පළිහක් ලෙසින් වාරණය ක්‍රියාත්මක කරන්න වුන් විසින් ක්‍රියාවට නංවන බවයි.  වාරණය එක් පැත්තකින් සමාජ යහපත උදෙසාත් අනෙක් පැත්තකින් වාරණය මාධ්‍ය මර්ධනය සඳහා ඉවහල් කර ගන්නා අවියක් ලෙසින් ද ක්‍රියාත්මක වන බැව් අවබෝධ කර ගත හැකි වේ. 


Saturday 1 June 2019

සන්නිවේදන පුරෝගාමීයෝ




ජර්මනියේ උපත ලද විල්බර් ශ්‍රාම් නුතන සන්නිවේදනයේ පියා ලෙස ඉමහත් ආඩම්බරයෙන් සලකනු ලැබේ.ඔහු විසින් සන්නිවේදනය පිළිබඳ පළ කරන ලද නිර්වචනය සන්නිවේදනයේ සමස්ත හරය ගොනු වූ විශිෂ්ට නිර්වචනයක් ලෙස හැඳින්විය හැක.එනම්,

''තොරතුරු ගැබ් වූ සංඥාවක් නිසා දෙපාර්ශයක් අතර එක හා සමාන මානසික තත්ත්වයක් ඇති කරලීම සන්නිවේදනයයි'' යනු එම නිර්වචනයයි.

මෙම නිර්වචනය පිළිබදව පැහැදිළි කිරීමක් කිරීමේ දී ශ්‍රාම් මෙහි ''දෙපාර්ශවයක්''යනුවෙන් හදුන්වන්නේ ''සන්නිවේකයා'' හා ''ග්‍රාහකයායි'' එක් පාර්ශ්වයක සන්නිවේදකයා සිටින අතර ''තොරතුරු'' ගැබ් වූ සංඥාව යනු සංදේශයයි. මෙම තොරතුරු ගැබ්ව ඇත්තේ සංඥාව තුළය. එම ''සංඥාව'' දෙපාර්ශ්වය අතර හුවමාරු වන බව ශ්‍රාම් විස්තර කරයි. එසේම විල්බර් ශ්‍රාම් තම නිර්වචනයේ ද ඵලය හෙවත් බලපෑම පිළිබදව ද අවධානය යොමු කරයි. එනම් ''සමාන මානසිකත්වයක් ඇතිකරලීමයි''

සන්නිවේදනය දෙස සියලු අංශ නියෝජනය වන අයුරින් විමර්ශනයට ලක් කොට ඇති මොහු සන්නිවේදනය විධිමත් අඩිතාලමක් කරා ගෙන ඒමට පුරෝගාමී වූ දාර්ශනිකයෙන් ලෙස පෙන්වා දිය හැක.

තව ද සන්නිවේදන අධ්‍යයනය විධිමත් ලෙස ආයතනගත කිරීමට මෙන්ම සන්නිවේදන විෂයෙහි ප්‍රමුඛ දායකත්වයක් සපයන ලද පුද්ගලයා වන්නේ මහාචාර්ය විල්බර් ශ්‍රාම්ය. ඔහු විසින් සන්නිවේදන අධ්‍යයනය විධිමත් ආකාරයට අධ්‍යයනය කිරීමට අවශ්‍ය පදනම සකස් කරනු ලබීය.සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි විවිධ අංශ කෙරෙහි අවධානය යොමු කළ ශ්‍රාම් පර්යේෂකයකු ලෙස ද න්‍යායවාදියකු ලෙස ද විෂය පෝෂණය කරන ලදි. සන්නිවේදන විෂය දෙස නව දෘෂ්ටිකෝණයකින් බැලීමට අවශ්‍යය පරිසරය ඔහු විසින් ගොඩ නගන ලද්දේ යැයි සඳහන් කළ හැකිය.

විල්බර් ශ්‍රාම් විසින් 1948 දී ඉලිනෝයි විශ්ව විද්‍යාලයෙහි "සන්නිවේදන පර්යේෂණ ආයතනය" නම් ආයතනය පිහි‍ටුවනු ලැබීය. ඔහු එම ආයතනයේ අධ්‍යක්‍ෂක වරයා ද විය. 1947 සිට 1955 දක්වා ඉලිනෝයි විශ්ව විද්‍යාලයෙහි සන්නිවේදන අධ්‍යයනය පිළිබඳ  මහාචාර්ය වරයකු ලෙස ද ඔහු කටයුතු කළ  අතර ඉන් පසුව 1955 දී ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ද ඉහත ආකාරයේම පර්යේෂණ ආයතනයක් පිහි‍ටුවීමට ශ්‍රාම් කටයුතු කරන ලදි. 1955 සිට ස්ටැන්ෆර්ඩ් පර්යේෂණ ආයතනයේ අධ්‍යයක්ෂක ලෙස කටයුතු කළ අතරම ජාත්‍යන්තර සන්නිවේදනය පිළිබඳ මහාචාර්යයවරයා ලෙස ද කටයුතු කරන ලදි. තුන්වන ලෝකයේ රටවල සංවර්ධනයට සන්නිවේදනය දායක කර ගත හැකි බව තේරුම් ගත් මුල්ම පුද්ගලයා වන්නේ ද ශ්‍රාම්ය. 1964 දී විල්බර් ශ්‍රාම් හා ඩැනියල් ලර්නර් හවායි නුවර දී “Communication and Change in the Developing Countries” නමින් විශාල සම්මන්ත්‍රණයක් සංවිධානය කළ අතර ඒ නමින් පොතක් ද නිකුත් කරන ලදි. එහි දී ශ්‍රාම් පහත කරුණු අවධානයට ලක් කොට තිබේ.

1.  තුන්වන ලොකයේ රටවල පාසල්වල ජන සන්නිවේදනය පිළිබඳ අවබෝධය වර්ධනය කිරීම තුළින්  ජන ජීවිතය පරිපූර්ණත්වයට පත් කළ හැකිය යන්න.

2.    අධ්‍යාපන ක්ෂේත්‍රයට හා අනෙකුත් සංවර්ධනය සඳහා උරදෙන ආයතන වලට ජන සන්නිවේදනය පිළිබඳ  අවබෝධය වර්ධනය කිරීම තුළින් වඩා හොඳ ඵලදායිතාවක් ලබා ගත හැකි බව.

3.    ජන සන්නිවේදනය තුළින් ලබා දෙන දැනුම් සම්භාරයක් තුළින් පාසල් ළමුන් සේම සාමාන්‍ය  ජනයා ද සංවර්ධනය සදහා දිරි ගැන්විය හැකි බව.

4.    ජාතික සංවර්ධනය උදෙසා ජන සන්නිවේදනය විශාල පි‍ටුබලයක් වන බව.

වසර 10ක පමණ කාලයක් තිස්සේ මෙම ග්‍රන්ථය සංවර්ධනය වන රටවල සන්නිවේදන පසුබිම හැදෑරීමට උසස්ම ගනයේ කෘතියක් ලෙස ලොව පුරාම භාවිත වන්නට විය. වසර 10කට පසු මුල් සම්මන්ත්‍රණයේ දැක්වූ අදහස් ගොනුකොට "සන්නිවේදනය හා විපරිනාමය: පසුගිය දස වසර සහ ඉදිරි දස වසර" නම් ග්‍රන්ථය පළ කෙරිණි. ලොව පුරා සන්නිවේදන අධ්‍යයන විධිමත් ලෙස ආයතන ගත වීමට අවශ්‍ය පදනම මෙමගින් සකස් කරනු ලැබූ බව සදහන් කළ හැකිය.
1900 අවසාන දශකය වන විට විධිමත් ලෙස පාඨමාලාගතව සන්නිවේදන අධ්‍යයනය විශ්වවිද්‍යාල තුළ අධ්‍යයනය කිරීම මුළු ලොව පුරා විසිරී යන ලදි.1970 දශකයෙන් පසුව සන්නිවේදන අධ්‍යයනය විෂය කෙරෙහි ප්‍රමුඛතාවක් යුරෝපීය විශ්වවිද්‍යාල ලබා දෙන ලදි. යුරෝපය තුළ පමණක් 1970 දී ජන සන්නිවේදනය ප්‍රථම උපාධිය සඳහා හැදෑරූ සංඛ්‍යාව 11000කි. 1990 දශකයේ මුල් කාර්තුවේ දී ජනසන්නිවේදන අධ්‍යයනය හැදෑරූ පිරිස 50000ක් ලෙස ලොකයෙන් වාර්ථා විය.
1970 දී වසරකට මෙම විෂයෙන් ප්‍රධානය කරන ලද උපාධි සංඛ්‍යාව 1700 ක් වූ අතර අද වන විට එය 4000 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඇමරිකාව තුළ පමණක් ඇති විශ්වවිද්‍යාල මඟින්  එනම් කොලොම්බියා, හාවඩ් ආදී ලොව ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල මගින් වසරකට ආචාර්ය උපාධි 250 ක් පමණ අද වන විට පිරිනමණු ලබයි. එසේම ඇමරිකාව තුළ ප්‍රමුඛ විෂයක් ලෙස ජනසන්නිවේදනය හැදෑරීමට අවකාශ ඇති විද්‍යායතන හා දෙපාර්තුමේන්තු ගණන අද වන විට 2000කට අධිකය.
තව ද අද වන විට වෙස්ටර් , සිටි, වේල්ස්, වෙස්ට් මිනිස්ටර් ආදී බ්‍රිතාන්‍යය ප්‍රමුඛ විශ්වවිද්‍යාල රාශියකම මෙම විෂය සදහා ප්‍රථම උපාධි හා පශ්චාත් උපාධි පිරිනමනු ලබයි. සුප්‍රකට වෙස්ටර් විශ්ව විද්‍යාලය සතුව යුරෝපයේ ජනප්‍රියම සන්නිවේදන පාඨමාලාව පවතින අතර එම සරසවිය මගින් යුරෝපය තුල එම විෂය සදහා පවතින ගෞරවනීයම උපාධියද පිරිනමනු ලබයි.
යුරෝපය තුළ ජනසන්නිවේදන අධ්‍යයනය මුලින්ම ආරම්භ වී ආයතන ගත වීම සිදු වූ අතර අද වන විට ආසියානු, අප්‍රිකානු, ලතින් ඇමරිකානු හා කලිබියානු ආදී රටවල ද විශ්වවිද්‍යාලවල පාඨමාලා ගතව අධ්‍යයන කටයුතු සිදු කරන හා උපාධි ප්‍රදානය කරනු ලබයි. විශේෂයෙන්ම ඉහතින් ද සදහන් කරන ලද අන්දමට විල්බර් ශ්‍රාම්ගේ මැදිහත්වීම තුළින් ජන සන්නිවේදනය විෂයෙහි ඇති වූ ප්‍රබෝදය මේ සදහා සෘජුව බලපාන්නට ඇත.

Friday 5 April 2019

තොරතුරු දැනගැනීම පුරවැසි අයිතියකී. ( RIGHT TO INFORMATION )




තොරතුරු අයිතිය යනු පොදු අරමුදල් භාවිතා කරන ආයතනවල පවතින තොරතුරු පුරවැසියන්ට ලබාගැනීමට ඇති අයිතිය වේ.

මෙම අයිතිය අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකමක් වන අතර ම 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ එකී අයිතිය භාවිතා කිරීම පිළිබඳ ව ප්‍රතිපාදන සලසා දී තිබේ.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු දැනගැනීම සඳහා හැකියාවක් ඇත්තේ කුමන ආයතනවලින් ද යන්න දැනගැනීම තුළින් පුරවැසි ඔබට මුහුණ පෑමට වන ගැටලු මගහැරවා ගත හැක.

  • මධ්‍යම රජයට හෝ පලාත් සභාවකට අයත් සියලූ ම ආයතන

  • රජයට අයත් සමාගම්

  • කොටස් සියයට 25කට වඩා වැඩි රජය සතු පෞද්ගලික සමාගම්

  • රාජ්‍ය ආයතනයක් සමඟ ගිවිසුම් හෝ බලපත්‍ර මත ක්‍රියාත්මක වන පෞද්ගලික ආයතන

  • රාජ්‍ය නොවන සංවිධාන

මෙම ආයතනවලට තොරතුරු පනත අදාළ වන අතර මෙම ආයතන පොදු අධිකාරිය යන විශේෂ පදයකින් තොරතුරු පනතේ හැඳින්වේ.

තොරතුරු පනතට අනුව තොරතුරු ලබා ගන්නා ආකාරය පිළිබඳව මීළඟට ඔබ දැනුම්වත් විය යුතුය.

තොරතුරු පනතේ දැක්වෙන පනතට යටත් සෑම පොදු අධිකාරියක් ම පුරවැසියන්ට ආකාර දෙකකින් තොරතුරු සැපයීමට බැඳී සිටියි.

මෙය දෙයාකාරයකට සිදුවන්නකී.

  1. ස්වේච්ඡාවෙන් තොරතුරු ප්‍රසිද්ධ කිරීම
මෙහි දී තොරතුරු කොමිෂන් සභාව විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව සෑම පොදු අධිකාරියක් ම එම ආයතනයට අදාළ ප්‍රධාන තොරතුරු ආයතනය තුළ හා ආයතනයේ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කළ යුතුය.

   2. පුරවැසියෙකු තොරතුරු ඉල්ලා සිටින අවස්ථාවක දී තොරතුරු ලබා දීම 

පුරවැසියන් විසින් ඉල්ලා සිටිනු ලබන අවස්ථාවක දී ස්වීච්ඡාවෙන් ප්‍රසිද්ධ කර නොමැති තොරතුරු ලබා දීමට කටයුතු කිරීම.එම වගකීම මෙම පනත යටතේ එම ආයතන වෙත පැවරේ.

මතක තබා ගන්න ඔබට තොරතුරු ලබා ගැනීම සඳහා වයස් සීමාවක් නැත.එහෙත් ඔබ ශ්‍රී ලාංකීක පුරවැසියෙකු වීම අත්‍යවශ්‍ය කාරණයකී.

මී ළඟට ඔබ දැනුම්වත් විය යුත්තේ ඔබ තොරතුරු ඉල්ලා සිටින්නේ කෙසේ ද යන්නයි.
ඔබ විසින් තොරතුරු ඉල්ලා සිටීම කළ යුත්තේ ලිඛිතව ය.මේ සඳහා ඊමේල් ද අදාළ වේ.

තොරතුරු ලබා ගැනීම සඳහා වන අයදුම් පත්‍රයක් ඕනෑ ම පොදු අධිකාරියක තොරතුරු නිළධාරියෙකු වෙතින් නොමිලයේ ලබා ගත හැක.එසේ නොමැතිනම් www.rti.gov.lk වෙබ් අඩවියෙන් බාගත කළ හැක.

තොරතුරු ලබා ගැනීම සඳහා නියමිත තොරතුරු ආකෘතිය පුරවා දීම අත්‍යවශ්‍ය නොවේ.තමන්ගේ නම ලිපිනය පැහැදිලි ව හා නිවැරදිව සඳහන් කර ලිපියක් මඟින් අදාළ තොරතුරු ඉල්ලුම්පත්‍රය අදාළ පොදු අධිකාරියේ තොරතුරු නිළධාරියා වෙත යොමු කළ හැක.

සෑම පොදු අධිකාරියක් සඳහා ම එක් තොරතුරු නිළධාරියෙකු හෝ තොරතුරු නිළධාරීන් වැඩි ගණනක් පත් කර ඇත.

ඔබට අවශ්‍ය තොරතුරු ඉල්ලා සිටීමේ දී ඊට අදාළ හේතු දැක්වීම අදාළ නොවේ.

තොරතුරු ලබා ගත හැකි ආකාර මොනවාදැයි ඔබ දන්නවා ද?

  • අදාළ වැඩ, ලේඛන, වාර්ථා අධීක්ෂණය කිරීම

  • අදාළ ලේඛනයෙන් හෝ වාර්ථාවලින් සටහන්, උද්ධෘත හෝ සහතික පිටපත් ලබා ගැනීම

  • අදාළ ද්‍රව්‍යන්ගේ සහතික කළ නිදර්ශන ලබා ගැනීම.

  • අවශ්‍ය තොරතුරු පරිගණකයක හෝ වෙනත් යම් උපාංගයක ගබඩා කර ඇති අවස්ථාවක දී ඩිස්කට්, ෆ්ලොපි, පෙන්ඩ්‍රයිව් හෝ වෙනත් ඕනෑ ම විද්‍යුත් ක්‍රමයකින් හෝ මුද්‍රිත පිටපත් වශයෙන් තොරතුරු ලබා ගැනීමට හැකිය.
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඕනෑ ම පොදු අධිකාරියකින් තොරතුරු ලබාගැනීමට හැකි වූවත් තොරතුරු ඉල්ලීමක් ප්‍රතික්ෂේප වන අවස්ථා 22ක් පනතේ සඳහන් කර තිබේ.එවැනි තොරතුරු සාමාන්‍ය තත්ත්වයන් යටතේ ලබා නොදෙයි.

ඒ අනුව යම් තොරතුරු ලබා දීමක් මඟින් ජාතික ආරක්ෂාවට හෝ ආර්ථිකයට දැඩි ලෙස අගතිගාමී එමෙන් ම පෞද්ගලිකත්වය ආක්‍රමණය කරන තොරතුරු වැනි තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළ හැක.

මතක තබා ගන්න.එම තොරතුරු වූව ද නිදහස් කිරීම මඟින් දඩි මහජන යහපතක් සිදු වන්නේ නම් එවැනි විටෙක එම සීමා කර ඇති තොරතුරු ද නිදහස් කිරීමක් සිදු කෙරේ.

ඔබ ඉල්ලා සිටින තොරතුරු ඔබට ලබා නොදුන්හොත් ඔබට ගත හැකි පියවර කිහිපයකී.

1. තොරතුරු අයදුම්පත්‍රය යොමු කරන ලද නිළධාරියා විසින් එම තොරතුරු ඉල්ලීම  ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ බව දින 14ක් ඇතුළත හේතු සහිත ව ලිඛිත ව දන්වනු ලැබේ.

2. එසේ දැන්වීමක් ලැබුණු විට හෝ දින 14ක් ඇතුළත ප්‍රතිචාර නොමැති නම් එම ආයතනයේ ම සිටින නම් කළ නිළධාරියා වෙත අභියාචනයක් සිදු කළ හැකිය.

3. ඔහු විසින් ද එම අභියාචනය ප්‍රතික්ෂේප කළහොත් මාස දෙකක කාලයක් තුළ තොරතුරු කොමිෂන් සභාව වෙත ද ඉන් පසු ව අභියාචනාධිකරණය වෙත ද අභියාචනා කළ හැකිය.මීටත් අමතරව ද අභියාචනයක් සිදු කළ හැකි අවස්ථා කිහිපයකී.

  • තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම 
  • 5වන වගන්තිය යටතේ ප්‍රධානය කිරීමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සඳහා අවස්ථාව ලබා දීම ප්‍රතික්ෂේප කිරීම.
  • මෙම පනත මඟින් නිශ්චිත ව දක්වා ඇති කාලසීමාවන්ට අනුකූල නොවීම.
  • සම්පූර්ණ නොවූ , නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ලබා දීම.
  • වැඩියෙන් ගාස්තු අය කිරීම.
  • අදාළ තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශ වීම වැළැක්වීම සඳහා එම තොරතුර විකෘති කර, අස්ථානගතකර ඇති බවට එම තොරතුර ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම.
තොරතුරු අයදුම්පත සඳහා කිසිඳු මුදලක් අය නොකරන අතර තොරතුරු ලබා දීම සඳහා මුදල් අය කරනු ලැබේ.එසේ ම එම අදාළ ගාස්තු ගෙවීම බැංකු අණකර මඟින් හෝ සෘජුව ම පොදු අධිකාරිය වෙතට ගොස්, ගෙවිය හැකිය.

තොරතුරු ලබා දෙන්නේ ගාස්තු ගෙවීම සිදු කළ පසුව බව මතක තබා ගන්න.

"තොරතුරු දැනගැනීම ඔබේත් මගේත් අයිතියකී.මෙම දනුම්වත් කිරීම එම අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා ය."









Friday 15 February 2019

යා දෙක නොරත රත සමඟ පෑසීමෙක් නැත

ලංකාවේ මිනිස්සු හැමදාමත් ප්‍රශ්නවලින් දැවෙනවා.එම දැවෙන ප්‍රශ්න අතර එකක් තමයි රැකියා ප්‍රශ්නය.එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්න හේතු ගණනාවක් ම තියනවා.ඒ හේතු අතර එක හේතුවක් ගැන තමයි පහත දැක්වෙන ලිපිය බැඳෙන්නේ.

"යා දෙක නොරත රත - සමඟ පෑහීමෙක් නැත" කියන්නෙ රත් වූ යකඩක් සහ රත් නොවූ යකඩයක් පෑස්සීමට නොහැකි බවයි.මේ කියමන අපේ රටේ අධ්‍යාපනය යි රැකියා වෙළඳපොළ යි සම්බන්ධයෙන් ගත්තමත් පෑහීම කොයිතරම් ද කියල කාටත් අවබෝධයක් තියනව.එහෙම අය අතර අවබෝධය අඩු අයෙක් ඉන්නවනම් අන්න එයත් ලිපිය කියවල තේරුම් ගනීවී.


තෘතීයික අධ්‍යාපනය හා එහි බරපතල ගැටලු පිළිබඳව දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (CEPA) ගෙනෙන විශ්ලේෂණය

හැත්තෑව දශකයේ සිටම ලාංකේය උසස් අධ්‍යාපන ආයතන බොහෝ සෙයින් විවේචනයට ලක්වී තිබෙන බවට සාක්‍ෂි තිබේ. එමෙන්ම, එදා සිට අද දක්වා ම විවිධ මතභේදයන්ට තුඩුදුන් කරුණක් වූයේ මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පවතින ගුණාත්මකභාවයයි.
ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් ශ්‍රී ලංකාවේ බොහෝ සමාජ පරිවර්තනයන්ට පන්නරයක් වූ නිදහස් අධ්‍යාපන ක‍්‍රමය මෙරටට හඳුන්වාදුන්නේ 1945 වසරේදී ය. 1943දී ඉදිරිපත් කරන ලද එක් පාර්ලිමේන්තු සභාවාර වාර්තාවක සඳහන් පරිදි, නිපුණතා සහ කුසලතා එක් සමාජ පන්තියකට හෝ කණ්ඩායමකට සීමා නොවිය යුතු අතර, ඒවා ඉස්මතු කරගැනීමට සැමට සමාන අධ්‍යාපන අවස්ථා ලබාදිය යුතුය.
නිදහස් අධ්‍යාපන ක‍්‍රමය හඳුන්වාදීමේ එක් ඉලක්කයක් වූයේ, අධ්‍යාපනය ලැබීමට දිළිඳු බව බාධකයක් වූ බැවින් එවකට පැවැති සමාජ තත්ත්වය වෙනස් කිරීමත්, ඒ තුළින් සැමට විධිමත් ආර්ථිකයක් තුළ රැකියා අවස්ථා ලබාදීමත් ය. පුද්ගලයින්ගේ සමාජ හෝ ආර්ථික තත්ත්වයන් නොසලකා ඔවුනට නොමිලේ අධ්‍යාපනය ලබාදීමෙහි අපේක්‍ෂිත ප‍්‍රතිඵලය වූයේ සමාජ සවිබලගැන්වීම යි.
විශ්වවිද්‍යාල තුළ වෙනස් වෙමින් පැවැති සමාජ නියෝජන රටාව සහ හැටේ දශකයේදී උපාධිධාරීන් වැඩි ප‍්‍රමාණයක් ශ‍්‍රම වෙළඳපොළට ඇතුළත්වීම තුළින්, උසස් අධ්‍යාපනය රටේ තරුණ පරපුරෙහි වෘත්තීය හා සමාජ ප‍්‍රගමනයට දායක වී ඇති අයුරු අපට පැහැදිලිව දැකගත හැකිය. එදා රැකියා අවස්ථා වැඩි කිරීමට හා ජීවන තත්ත්වයන් වැඩි දියුණු කිරීමට පාදක වූ අංගයක් ලෙසට අධ්‍යාපනය සලකන ලදී. නමුත් පසුකාලීන අධ්‍යයනයන් මගින් පෙන්වා දෙන්නේ, සැමට සමාන අධ්‍යාපන අවස්ථා ලබාදීම වෙනුවට, තෝරාගත් පිරිසකට පමණක් අධ්‍යාපනය වෙත ළඟාවිය හැකි බවයි.
ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් 1971දී ප‍්‍රකාශිත අධ්‍යයනයකට (Matching Employment Opportunities and Expectations: A Programme of Action for Ceylon) අනුව, ශ‍්‍රම වෙළඳපොළෙහි ඉල්ලුමට සරිලන නිපුණතා සහිත සහ රටේ දියුණුවට දායකත්වයක් සැපයිය හැකි උපාධිධාරීන් බිහිකිරීමට ලාංකේය විශ්වවිද්‍යාල අපොහොසත් වී ඇත.
මේ දක්වා සිදුකෙරුණු එවැනි ගවේෂණයන් පෙන්වා දෙන්නේ කලා විෂයයන් හදාරා ඇති, ඉංග‍්‍රීසි දැනුම අඩු උපාධිධාරීන් අවිධිමත් ක්‍ෂේත‍්‍ර තුළ, අඩු ආදායම් රැකියාවන්ට පිවිසීමේ අවදානමකට ලක්ව සිටින බවයි. සම්පත් හිඟය, සමාන අවස්ථා නොලැබීම, ආදායම් විෂමතාවය සහ ස්ත්‍රී පුරුෂ භාවය යනාදී සාධක තරුණ පරපුරෙහි සමාජ සවිබලගැන්වීමේ අභිලාෂයන්ට බලපානවා පමණක් නොව, විරැකියාවේ වර්ධනයට ද දායකවී ඇත. මෙම අවහිරතා මඟහරවා ගැනීමට සමත් මෙන්ම රැකියා වෙළඳපොළට යෝග්‍ය වන තරුණ පිරිසක්, විශ්වවිද්‍යාල පද්ධතිය මගින් බිහිකරන්නේ ද යන්න පිළිබඳ ප‍්‍රශ්නයක් පැනනැගීමට මේ තුළින් හැකි වේ.
ශ‍්‍රම බල ඉල්ලුමට ගැළපෙන කුසලතා සහිත උපාධිධාරීන් බිහිකිරීමට අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයට පවතින නොහැකියාව හැටේ දශකයේදී වඩාත් තීව‍්‍ර අන්දමින් දක්නට ලැබුණේ, එවකට පැවැති විරැකියාවට හේතුසාධක වූ උසස් අධ්‍යාපනයේ තිබූ නොයෙකුත් ගැටලුකාරී තත්ත්වයන් ය. දරිද්‍රතාවය, විද්‍යා විෂයයන් හැදෑරීමට වන අවස්ථාවන්ගේ හිඟකම සහ ඉංග‍්‍රීසි භාෂා නිපුණත්වයේ මඳ බව යන කාරණා විරැකියාවට මෙන්ම සමාජ අවගමනයට ද බලපාන ප‍්‍රධාන හේතු බව පර්යේෂණ අධ්‍යයනයන් හෙළිදරව් කරයි. එමෙන්ම රැකියා කේන්ද්‍ර කරගත් විෂයයන් හදාරා ඇති උපාධිධාරීන් හට රැකියා සැපයීමට ද පවතින ආර්ථික ක‍්‍රමය අසමත් වී ඇත. රැකියා වියුක්ත වූ උපාධිධාරීන් හට රැකියා ලැබුණු විට, ඒවා ද්විතීයික අධ්‍යාපන සුදුසුකම් පමණක් සහිත සේවකයින්ට වුවද කළහැකි රැකියා බව පෙනීයන ලදී.
මෙවන් අර්බුදයක් තුළ මානව සම්පත් කළමනාකරණ දෘෂ්ටියක සිට බලන්නෙකුට මැනවින් අවබෝධ වන කාරණයක් වන්නේ, විශ්වවිද්‍යාල උපාධියෙහි වටිනාකම අවතක්සේරුවකට ලක්වීම පමණක් නොව තෘතීයික අධ්‍යාපනයේ අරමුණ ද ප‍්‍රශ්නාර්ථයකට ලක්වන බවයි. මෙම ප‍්‍රශ්නය වඩාත් බරපතල වන්නේ, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා රජය මගින් මුදල් සම්පාදනය කරන බැවින් සහ පශ්චාත් උපාධි අධ්‍යයනයන් ද බොහෝදුරට රජයේ සහනාධාර යටතේ ලබාදෙන බැවිණි. රජයේ මුදලින් නඩත්තු වන අධ්‍යාපන ආයතන රටේ දියුණුව උදෙසා දායකත්වයක් සපයයි ද යන ප‍්‍රශ්නය මෙහිදී මතු වේ.
නිදහස් අධ්‍යාපන ක‍්‍රමය විවේචනයට ලක්කිරීම පහසුය. එමෙන්ම උසස් අධ්‍යාපනය ලැබීමෙහි ප‍්‍රතිඵලය රැකියා නියුක්තිය ම නොවන්නේය’ යන තර්කය ද මෙහිදී අපට ගෙනහැර දැක්විය හැක. නමුත්, විශ්වවිද්‍යාල යනු රජය මගින් නඩත්තු වන ආයතන නිසා මෙම ගැටලුවෙහි මුල සොයා උසස් අධ්‍යාපනයේ සැබෑ අරමුණ යළි විමසාබැලීම වැදගත් වේ. දිගුකාලීනව, විශ්වවිද්‍යාල මගින් රැකියා වෙළඳපොළට සරිලන උපාධිධාරීන් බිහිකළ යුත්තේ, සුදුසුකම් ලත් රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් හෝ සේවයේ යෙදවිය නොහැකි උපාධිධාරීන්ගෙන් සමාජයට හෝ රටට යහපතක් සිදු නොවන බැවිණි.
නිදහස් අධ්‍යාපන ක‍්‍රමය, එහි උගන්වන දෑ සහ අවශ්‍ය කරන නිපුණතාවල ඇති නොගැළපීම් පිළිබඳ ගැටලුවලට නිසි පිළියම් යෙදිය යුතුය. ඒ අනුව ජාතික උසස් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයෙන් ඇසිය යුතු බැරෑරුම් ප‍්‍රශ්න කිහිපයක් තිබේ. රජයේ පිළිවෙතට අනුව නොමිලේ උසස් අධ්‍යාපනය සැපයීමෙන් අප රටට, ආර්ථිකයට හා සමාජයට ඵලදායි ප‍්‍රතිඵල ලබාගත හැකි ද? එසේ කළ නොහැකි නම්, වරද සිදුවී ඇත්තේ කොතැන ද? සහ අප වෙනස් කළ යුත්තේ කුමක් ද?
– තහීරා ඛාදර්

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (CEPA), 2001 වසරේදී පිහිටුවනු ලැබු ස්වාධීන සමීක්‍ෂණ ආයතනයක් වන අතර එහි මූලික අරමුණ වන්නේ, දරිද්‍රතාවය සම්බන්ධයෙන් කටයුතු කරන පාර්ශ්වයන් දැනුවත් කිරීම සහ උපදේශන සේවා පැවැත්වීමයි.

උපුටා දැක්වීම : ආචාර්යතුමා

Friday 25 January 2019

Monday 21 January 2019

අමාවතුර හා අංගුලිමාල දමනය


ආචාර්යතුමා ලියන බ්ලොග් පිටුව බලපු සාමාන්‍යපෙළ පංතියේ ඉගෙනුම ලබන දරුවෙක් ඊතලයක් එවලා පුංචි ඉල්ලීමක් කරලා තිබුනා…
එම ඉල්ලීම වෙනුවෙන් කාර්යබහුල ජීවිතෙන් ටික වේලාවක් අරගෙන ඔන්න දැම්මා…

 බුදුරජාණන් වහන්සේගේ ‘පුරිස දම්ම් සාරථි’ ගුණය මුල් කොට ගෙන ගුරුළුගෝමි නම් පඬිවරයා අමාවතුර රචනා කොට ඇත. ගුරුළුගෝමි පඬිතුමන් විසූ යුගය නිශ්චිත වශයෙන් ම සඳහන් ව නැතත්, විවිධ විද්වත් මතවලට අනුව ඔහු සිටි යුගය පොළොන්නරු රාජ්‍ය කාලයට අයත් වන බව පිළිගැනේ. 

මෙහි අන්තර්ගත පරිච්ෙඡ්ද ගණන දහඅටකි. ඉන් පළමු පරිච්ෙඡ්ද තුන වන දුර්දාන්ත  දමනය, ස්වසන්තාන දමනය හා පරසන්තාන දමනය යන්නෙහි වස්තු නිර්දේශයේ දැක්වෙන පරිදි බෝසතාණන් වහන්සේ පෙරුම් දම් පිරූ අවස්ථා දැක්වෙන ජාතක කතාවන්ගෙන් ආරම්භ කොට බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර පිළිගැනීම දක්වා වූ කතා, ප‍්‍රකාශ වේ. හතරවන පරිච්ෙඡ්දයේ එන ගෘහපති දමනයේ දී නැවතත් වස්තු නිර්දේශයක් ඉදිරිපත් කරමින් ‘පුරිස දම්ම සාරථි’ ගුණය විස්තර කරයි.

එ් අනුව උපාලි ගෘහපතියාත්, කූටදත්ත බමුණාත්, අජාසත් රජුත්, අංගුලිමාලත්, සභිය පරිබ‍්‍රාජකයාත්, සච්චක බමුණාත්, පාඨික පුත‍්‍ර දිගම්බර ජෛනයාත්, සච්ච බද්ධක ජටිලයාත්, බාවරික තවුසත්, ශාක්‍ය භික්‍ෂුවත්, නන්දෝපනන්ද නාගරාජයාත්, නාලාගිරි ඇත් රජුත්, ආලවක යක්ෂයාත්, රාහු අසුරින්ද්‍රයාත්, බක නම් බඹහුත් දමනය කළ ආකාරය අමාවතුරෙහි දැක්වේ. මෙහි එන ‘නාග දමනය’ නම් වූ දාහතර වන පරිච්ෙඡ්දයේ පමණක් කොටස් දෙකක් යටතේ දමන දෙකක් දක්වයි. එ් නාග ශබ්දයෙන් ප‍්‍රකාශ වන නාගරාජයකු දමනය කිරීමත්, නාග ශබ්දයෙන් ම ප‍්‍රකාශ වන ඇතකු දමනය කිරීමත් ය.

අමාවතුර රචනා කිරීමෙහි කතුවරයාගේ බලාපොරොත්තුව කුමක්ද යන්න "නොවියත් හුදී ජනන් සඳහා සිය බසින් මා විසින් සැකෙවින් දක්වනු ලැබේ" යන ප‍්‍රකාශයෙන් තහවුරු වේ. එනම් පාලි සංස්කෘත භාෂා නූගත් සාමාන්‍ය ජනයා සඳහා සිය බසින් (සිංහල භාෂාවෙන්) මෙම කෘතිය සම්පාදනය කොට ඇති බව පැහැදිලි වේ. අමාවතුර ග‍්‍රන්ථයෙහි භාෂාව පිළිබඳව විමසීමේ දී පැරණි සිංහල භාෂාව ද බෙහෙවින් ම උපයෝගි කර ගෙන ඇති බව පෙනේ. සිංහල කතා කලාවේ සංක්ෂිප්ත රීතිය නිරූපණය කරන කෘතිය මෙයයි.

අමාවතුර ග‍්‍රන්ථයෙහි හත්වැනි පරිච්ඡේදයේ ඇතුළත් වන්නේ අඟුල්මල් දමනය යි. අංගුලිමාලගේ උපතේ සිට බුදුන් සරණ යෑම දක්වා කතාව එහි අන්තර්ගත වේ.