Showing posts with label ඉතිහාසයෙන් බිඳක්. Show all posts
Showing posts with label ඉතිහාසයෙන් බිඳක්. Show all posts

Wednesday, 26 December 2018

වැව්වල ඉතිහාසය හා බැඳි රසවත් ජන කතා


මේ දවස්ව, ආචාර්යතුමාට වැව කියන මාතෘකාව හරි ම රසවත් එකක්.අන්න ඒක නිසා නිකමට හිතුණා වැව් ගැන මොනවාහරි ලියන්න ඕනා කියලා.ඔහොම ඉද්දි වෙන ම අවශ්‍යතාවයකට පරණ පත්තර ගොඩ ඇවිස්සුවා.ඒ වෙලාවෙ අතට අහු වුණා පත්තරයක්.ඒකෙ නම තිබුණේ විජය කියලා



කලා වැව







කලා වැව හදන්නට මුල් වුණේ ධාතුසේන රජතුමාය. එය ඉදි කෙරුණේ කඩවර නම් තැනැත්තෙකු දුන් තොරතුරකට අනුවයි. ජලයෙන් පිරුණු තැනක් දුටු කඩවර ඒ බව රජතුමාට දන්වා සිටියා. රජතුමා ඒ තැන ගැන සොයා බැලුවා. වැවකට ඉතාමත් සුදුසු නිසා එතැන වැවක් හැදුවා. වැව හදලා වැවේ රාජකාරි සොයා බලන්න කඩවරට පැවරුවා. කඩවර ඒ රාජකාරිය ඉතාම හොදින් ඉටු කළා. රජතුමා සතුටු වී කඩවරට බව බෝග පවා තෑගි කළා.

            රජතුමාගෙන් සැලකුම් ලද කඩවර ටික කලකින් ධනවතකු බවට පත් වුණා. කාල සිටාණන් ලෙස ප්‍රකට වුණා. වැව නිසා රජුගෙන් පැසසුම් ලත් කඩවරට මැති ඇමතිවරුන් ඊර්ෂ්‍යා කළා. ඔවුන් වැව් බැම්ම විනාශ කරන්නට උපාය යෙදුවා. එයින් වැව් බැම්ම විනාශ වුණා. දුක උහුලා ගත නොහැකි වුණු කඩවර වැවට පැන සිය දිවි නසා ගත්තා. පසුව ඔහු කඩවර දෙවි යනුවෙන් ප්‍රකට වුණා. කඩවර දෙවියන් සෑම වැවක්ම ආරක්ෂා කරන බවට ජනප්‍රවාදවල සදහන් වෙනවා.




මින්නේරිය වැව





මින්නේරිය වැව මහසෙන් රජතුමා විසින් කරවන ලද්දකි. එය තනා ඇත්තේ රජුගේ ගව පට්ටියේ එළදෙන තණ කෑ ස්ථානයක් පාදක කර ගනිමිනි. එළදෙනගෙන් දොවාගත් කිරි ඉතා මිහිරි රසයකින් යුක්ත විය. ඇගේ කිරි එතරම් රසවත් ඇයි දැයි විමසා බලන්නට රජු නියම කළා. රජුට දැනගන්නට ලැබුණේ වැල් මී වැවී ඇති වගුරු බිමකින් ඇය තණ බුදින බවයි. සතුටට පත් රජතුමා වගුරු බිමේ වැවක් තනවා කුඹුරු අස්වද්දන්නට තීරණය කළා. එනමුත් වැවේ වැවේ වැඩ කෙසේවත් අවසන් කිරීමට නොහැකි වුණා. කොතැනකින් හෝ කැඩී විනාශ වුණා. රජතුමා නැකැත් කරුවන් ලවා ඒ ගැන සොයා බැලුවා. මේ කාර්‍යය සාර්ථක කර ගැනීමට නම් රජකුමරවකු වැවට බිලිදිය යුතු බව නැකැත් කරුවන් කියා සිටියා. එහෙත් මහසෙන් රජුගේ බිසව තම පුතු බිල්ලට දීමට අකැමැති වුණා. මේ නිසා රජතුමා කනස්සල්ලට පත් වුණා. රජුගේ වැඩිමහල් සොහොයුරිය වූ බිසෝමැණිකා කුමරිය තම පුතු බිලිදීමට කැමැත්ත පළ කළා.

කුමරු බිලිදීමෙන් පසුව වැවේ කටයුතු අවසන් කළ හැකි වුණා. එහෙත් මේ සිදුවීම පිළිබඳව රජතුමා ඉතාමත් දුකට පත් වුණා.අවසානයේ මහසෙන් රජු මියගොස් දෙවි කෙනෙකු වී ඉපිද වැව් ඉස්මත්තේ වාසය කරන බවට ගැමියන් විශ්වාස කරන්නට වුණා. මින්නේරිය දෙවියන් ලෙස අදටත් පුදනු ලබන්නේ මහසෙන් රජතුමාය.






කැකිරාව වැව




දුටුගැමුණු රජ දවස ජීවත් වූ ගොවියෙක් දිනක් හේනක ඇවිදිමින් සිටියා. හේනේ කුරක්කන් ගස් කිහිපයක් තැලී පොඩිවී තිබෙනු දුටු ඔහු ඊට හේතුව සොයා බැලුවා. දුටු දෙයින් ඔහු විශ්මයට පත් වුණා. එමෙන්ම කණගාටුවටද පත් වුණා. විශාල නාගයකු හා මුගටියන් දෙදෙනෙකු සටන් කරන අයුරු ඔහු දුටුවා. ගොවියාට නාගයා ගැන අනුකම්පාවක් ඇති වුණා. ඔහු මුගුරකින් පහර දී මුගටියන් පළවා හැර නාගයා බේරා ගත්තා. වතුර ගෙනැවිත් නාගයාට පෙව්වා. එදා රැයේ ගොවියා පැල් රැක්කා. රැයේ අදුර මකමින් එළියක් විහිදෙනු දුටුවා. ඔහු ඒ ගැන විමසිලිමත් වුණා. ඔහු දුටුවේ පුදුම දසුනක්. කැකිරි ගෙඩියක් තරම් විශාල මැණිකක් නයා සිටි තැන තිබුණා. ඒ දැක බිය වුණු ගොවියා මේ පුවත දුටුගැමුණු රජුට සැල කර සිටියා. රජතුමා කැකිරි මැණික බැලීමට හේනට ආවා. මැණික දුටු රජු අප්‍රමාණ සතුටට පත් වුණා.

            රජතුමා මැණික තිබූ තැන වැවක් තැනුවා. එය නම් කළේ කැකිරාව වැව නමින්. එළාර සමග කළ සටනින් පසුව ස්වර්ණමාලී චෛත්‍යය ඉදිකොට කැකිරි මැණික එහි නිදන් කළා. කැකිරාව වැවට එම නම් ලැබුණේ එලෙසින් බවයි ජනප්‍රවාදයේ සදහන් වන්නේ.






හල්මිල්ල වැව






කලා වැවට ආසන්නව දක්ෂ බෙර වාදකයන් පිරිසක් ජීවත් වුණා. බෙර වාදනය ගැන ඔවුන් ප්‍රකටව සිටියා. පෙරහැරවලට ඔවුනට නිතරම ආරාධනා ලැබුණා. දිනක් එගම් වැසියෙක් බෙර වාදනයට පිටත්ව ගියා. ඒ යන අතර මගදී රජතුමා මුණ ගැසුනා. ඔහු පෙරහැරට ඉඩදී යටහත්ව පාරෙන් ඉවත් වුණා. රජුගේ පෙරහැරේ ගමන් කළ හේවායෙක් අසු පිටේ හිදිමින්ම බෙරයට පයින් ඇන්නා. බෙර වයන්නාට කේන්ති ගියා. ඔහු අහින පදයක් වැයුවා. ඒ බෙර වාදනය අහන් ඉන්න අයට ඉබේම නැටවෙනවා. ඒ සද්දෙ ඇහිලා රජතුමා එතැනට දුවගෙන ආවා. 

මෙතරම් ලස්සනට බෙර වයන්නේ කොහොමද කියලා කල්පනා කළා. බෙර වාදනයෙන් සතුටු වුණු රජතුමා රහසේම ඒ ගමට ගියා. ඒ අවස්ථාවේදී බෙර වාදකයෝ ගුරුන්නාන්සේ කෙනෙකු යටතේ හල්මිල්ල කැලයට වැදී බෙර වාදනය පුහුණු වෙමින් සිටියා. ඒ දුටු රජතුමා පිරිසට හල්මිල්ල යාය පවරා දුන්නා. ඔවුනට වැවකුත් හදා දුන්නා. ඔවුන් ඒ වැවේ දියවරින් ගොවිතැන් කළා. හල්මිල්ල යායේ එදා හැදූ වැව හල්මිල්ල වැව යනුවෙන් ප්‍රකට වුණා.






සොරබොර වැව






සොරබොර වැව දුටු ගැමුණු රජු විසින් ඉදි කෙරුණු තවත් වැවක්. දුටුගැමුණු රජු එලාර සමග සටන් සදහා පිටත්ව ගියා. ඒ යන අතරමගදී ඊශාන දිග වැස්සට හසු වුණා. මහවැලි ගඟ පිරී ඉතිරී ගලන්නට වුණා. මේ නිසා ගඟෙන් එතෙර වීමට නොහැකි වූවන් මහියංගනය අවට ලැගුම් ගත්තා. මහියංගනය චෛත්‍යය ගරා වැටී තිබෙන අයුරු ඔවුන් දුටුවා. දුටුගැමුණු රජතුමා චෛත්‍යය අලුත්වැඩියා කිරීමේ කටයුතු කළා. ඒ අවස්ථාවට විහාර මහා දේවියද සහභාගී වුණා.

දුටුගැමුණු රජුගේ මෙහෙකරුවන් අතර බුලත් සැපයීමට කෙනෙක් සිටියා. ඔහු බුලතා යෝධයාය. බුලත් මෙහෙවර කරන අතරතුර කඳු ගැට දෙකක් අතරින් ගලා බස්නා දොළ පහරක් දුටුවා. ඔහුට අපූරු අදහසක් පහළ වුණා.

බුලතා දොළ පහර හරස් කොට වැවක් තැනීමට පටන් ගත්තා. ඔහුගේ උදව්වට කිසිවෙකු සිටියේ නෑ. ඔහුගේ බිරිඳ පමණයි උදව්වට හිටියේ. ඇය හැදින්වූයේ යෝධී නමින්. ඇය ශක්තිමත් කාන්තාවක්. ඇය බුලතාට අවශ්‍ය ආහාර පාන දිනපතා ගෙන ආවා. ඇය ගමන්ගත් මාර්ගය ඉතාම දුෂ්කරයි. ගල්මුල්, කදුවැටි ආදියෙන් යුක්තයි.

දිනපතා බුලතාට ආහාර ගෙන එන අතරතුරදී දිනපතාට බුලතාට ආහාර ගෙන එන අතරතුරදී ඇය ගල් තබමින් මාර්ගයේ ගල් පඩිපෙළක් හදන්න පටන් ගත්තා. බුලතා වැවේ කටයුතු හමාර කරන විට ඇය පාර සාදා අවසන් කළා.

බුලතා යෝධයා අලුත් වැව රජතුමාට තෑගි කිරීමට කැමැත්තෙන් සිටියා. රජු පිරිවර සමඟ වැව බලන්නට පැමිණියා. නිල් දියවර පිරි වැව දුටු රජතුමා පුදුම වුණා. රජතුමා ‘හරබර’ වාරිකර්මාන්තය අන් අයටද ආදර්ශයක් බව පවසමින් බුලතා යෝධයාට ප්‍රශංසා කළා. එතෙක් වැවට නමක් තිබුණේ නෑ. රජතුමාගේ බස් ඇසූ අය වැවට හරබර වැව යැයි කියන්නට පටන් ගත්තා. පසුව එය සොරබොර වැව නමින් ප්‍රකට වුණා. බුලතා යෝධයාට හා බිරියට තෑගිත් ගම්වරත් ලැබුණා. එදා යෝධී ඉදිකළ මඟ අද දහ අට වංශුවයි.







ගෝණපතිරාව වැව


ධාතුසේන රජතුමාට මල් සැපයූ තැනැත්තා හැදින්වූයේ කඩඉම් රාල යනුවෙනි. ඔහුගේ ගම කඩඉම්ගල. ඔහු ගෙන එන මල් අතරේ ලස්සන රතු නෙළුම් මල් තිබුණා. එක යායට මල් පිපී ඇති මල් බලන්නට රජතුමාට ආසා හිතුණා. රජතුමා කාටත් රහසේ කඩඉම් රාලගේ ගමට ගියා. මල් පිපුණු වතුර පිරි වළ දුටුවා. ඒ වෙලාවේ වතුර වළෙන් වතුර බිබී උන් ගෝණා නාද කළා. නෙත දුටු සුන්දර දසුනත් කණ වැකුණු නාදයත් නිසා රජතුමා බොහෝ සේ ප්‍රීතියට පත් වුණා. රජතුමා ඒ ඉසව්වේ වැවක් තනන්නට කල්පනා කළා. ඒ කටයුත්ත කඩඉම් රාලට පැවරුවා. ඔහු ඒ රාජකාරිය අකුරටම ඉටු කළා. හැමදාම වැව අසල ගෝණුන් ප්‍රතිරාව නැංවූ නිසා වැවට ගෝණපතිරාව වැව නමින් කටවහර පුරුදු වුණා.






කනදරා වැව


කනදරා වැව මහසෙන් රජුගේ වාරි නිර්මාණයක්. රජතුමා කනදරා ඔය හරස් කොට බාණුවාපි නමින් වැවක් ඉදි කළා. බාණුවාපී වැවට ජනයා වැහැරුවේ කණා වැව යනුවෙනුයි. මහවැසි ඇද හැලුණා. මේ වැවේ හිටි කණයකු වැවේ සොරොව්වේ හිර වුණා. කණයා ඉවත් කරන්නට කිසිවකු හෝ ඉදිරිපත් වුණේ නෑ. ඒ නිසා රජු ඒ සදහා කෙනෙකු සොයා ගන්නට අණ බෙරයක් පිටත් කළා. අණ බෙරය කණ වැදුණු කදරා රාළ නම් තැනැත්තා ඒ කාරිය බාරගෙන රජවාසලට පැමිණියා. ඔහු නියමිත දිනයේදී කණයා අයින් කිරීමට සූදානම් වුණා. තමා වැවේ කිමිදී කණයා ඉවත් කළ පසු ගොඩට ගන්නැයි යහළුවෙකුට පැවැරුවා. කනදරා රාල වැවේ කිමිදුණා. කණයා කපා ඉවත් කළා. නමුත් යහළුවා ඔහු ඉහළට ගත්තේ නැහැ. සොරොව්වෙන් ගලා ආ දිය කඳට කනදරා රාල ගහගෙන ගියා. සියල්ල අවසානයේ තමා විසින් කණයා කපා ඉවත් කළ බව පවසමින් මිතුරා රජුගෙන් තෑගිබෝග හා ගම්වර ලබා ගත්තා. කනදරා රාළ ගසාගෙන ගිය වැව පසුකාලයක කනදරා වැව ලෙස ප්‍රකට වුණා.





ඌරු සිටා වැව


මහානාග රජුට මනරම් මඟුල් උයනක් තිබුණා. දිනක් ඌරු රංචුවක් පැමිණ මේ උයන විනාශ කළා. කෝපයට පත් රජු සේවකයින් යොදවා ඌරු රැලේ අයිතිකරු අල්ලා ගත්තා. ඔහු කැලේම සිටි කෙනෙක්. කිසිදාක මිනිසුන් හා ඇසුරක් නොතිබුණු කෙනෙක්. එනිසා ඔහුට කතා කරවන්නට පුරුදු කරන්නට රජතුමාට සිදුවුණා. ඒ සදහා බොහෝ කාලයක් ගත වුණා. මේ කාලය අතරතුරදී රජතුමාගේ කෝපයත් සන්සිදුණා.
මේ තැනැත්තාට කතා කිරීමට හැකිවූ පසු රජු ඔහුගෙන් තොරතුරු විමසා සිටියා. ඔහු කැලයේ වතුර රැස්වී ඇති තැනක් ගැන විස්තර කළා. මේ පුවත ඇසූ රජතුමා එතැන වැවක් ඉදිකොට ඒ වැව ඔහුට පරිත්‍යාග කළා. වැවේ දියවර උපකාරයෙන් වගා කළ ඔහු ටික කලකින් ධනවතකු බවට පත් වුණා. ඉන්පසුව මේ තැනැත්තා ඌරු සිටුවරයා ලෙස ප්‍රසිද්ධ වුණා. පසු කාලයකදී රජතුමා ඔහු හා උරණ වුණා. වැව විනාශ කරන්නට කටයුතු කළා. මේ නිසා දුකට පත් සිටුවරයාත් දේවියත් වැවට පැන දිවි නසා ගත්තා. එදා සිට මේ වැවට ඌරු සිටා වැව නමින් වහරන්නට වුණා.





රන්තිසා වැව


මහසෙන් රජු බලසම්පන්නයි. ඒ වගේම ජනතාවගේ ගෞරවාදරයට පත්වූ රජ කෙනෙක්. මේ රජතුමාට සොහොයුරියන් දෙදෙනෙක සිටියා. එක් අයෙක් බිසෝ මැණිකාය. අනෙක් සොහොයුරිය ටිකිරි මැණිකාය. ටිකිරි මැණිකා කුමරිය පත්තා නම් වැදි නායකයා සමග විවාහ වී සීගිරිය ආසන්නයේ පදිංචි වුණා. ගම්වැසියන් ඇයට බොහෝ සේ ගෞරව කළා. ඒ ඇයගේ පුත් හිඟුරක්ගොඩ බණ්ඩාර මින්නේරිය වැව රැක ගැනීමට ජීවිතය පරිත්‍යාග කළ නිසා. බිසෝ මැණිකා කුමරිය ජනයා සමඟ එක්‍රැස්ව කවුඩුල්ල ප්‍රදේශයේ වැවක් ඉදි කරන්නට පටන් ගත්තා. ඒ එයට රන්තිසා වැව යැයි නම් කළා.

සිය සොහොයුරා වූ මහසෙන් රජු ඉදි කළ මින්නේරිය වැවට වඩා කවුඩුල්ල වැව ප්‍රමාණයෙන් විශාල වුණා. ඉන් ආඩම්බරයට පත් ඇය අයියා මින්නේරිය කියලා නැඹිලියක් හැදෙව්වා. මම ඒ නෑඹිලිය දාන්න පුළුවන් කොරහක් හැදෙව්වා. ඇය උඩගුවෙන් කියා සිටියා. මේ පුවත රජතුමාට සැලවුණා. ඉන් කෝපයට පත් රජතුමා රන්තිසා වැව කඩා දැමීමට කටයුතු කළා. ඒ සදහා මිත්‍ර යක්ෂ පිරිසකගේ සහය ලබා ගත්තා. යක්ෂයන් මුවන්ගේ වේෂය ගෙන වැවේ වෑකන්ද විනාශ කළා. ඒ අවස්ථාව බිසෝමැණිකා කුමරියට සිහිනෙන් පෙනුණා. ඇය අවදිවී කෑ ගසාගෙන වැව් ඉස්මත්තට දිව්වා. සිදුවී ඇති හානිය දැක වාවාගත නොහැකි තැන ඇය වැවට පැන දිවි නසා ගත්තා. මේ පුවත ඇසූ රජතුමාට සොහොයුරිය ගැන දුක හිතුණා. දුරදිග නොබලා කළ දේ ගැන පසුතැවිලි වුණා. වරද නිවැරදි කරගැනීමට සිතූ රජතුමා මින්නේරිය වැවේ සිට සැතපුම් 6ක් පමණ දිග ඇළක් කප්පවා රන්තිසා වැව ඊට සම්බන්ධ කළා. සොයුරිය දේවතාවක්ව ඉපිද ඇතැයි විශ්වාස කළ මහසෙන් රජතුමා ඇය වෙනුවෙන් බිසෝ බණ්ඩාර දේවාලය ඉදි කළා. ඒ රන්තිසා වැව අද හදුන්වන්නේ කවුඩුල්ල වැව නමින්.




(උපුටා ගැනීම විජය පුවත්පත - 2016 අගෝස්තු)

Friday, 5 October 2018

අලුත් අවුරුද්ද ගැන ඔබ නොදත් දෑ...



                 අලුත් අවුරුද්ද ගැන ඔබ නොදත් දෑ…


                 '' මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
                   මී වදවල පැණි පුරවන්නී
                  කුරුලු සරින් කන් පිනවන්නී
                 මුළු ලොව උයනක් කරවන්නී ''


   මේ මඟුල අන් කවරකුගේ වත් නො වෙයි; වසත් කුමරියගේ යි.
පැහැදිලි සෘතු භේදයක් නොදැක්වූවත් අපට සිංහළ අවුරුද්ද එළඹෙනුයේ වසත් උතුවට අයත් බක් මස දී යි. ‘බක්’ නම් ‘බා’ (භාග්‍යය) ‘අක්’ (අග්‍ර) මාසය යි. ඇයි එය භාග්‍යයෙන් අග්‍ර මාසය වන්නේ?
කාලගුණය අමුතු සිහිලසක් පණවත් බවක් ගන්නවා : සියලු ගහ වැල මලින් පලින් බර වනවා : කුරුල්ලන් කූ®ඩු තනා බිජු ලන්නේත් මේ මාසයේදී යි. සොබාදහම එලෙස සැරසෙන කල ‘නවම්’ මහේ පුරන් කෙටීමෙන් ‘නව කම්’ ඇරඹූ සිංහළයා ‘මැදින්’ මස ‘මහ’ කන්නයට වැපිරූ ‘දින්’ (ධාන්‍ය) අස්වැන්න නෙළාගෙනැ, අටු කොටු සහලින් පුරවාගෙනැ සොම්නස් වනවා.
සිය පෙම්වත් කෙවිලිය කැඳවන්නට කොවුලා ද සුමිහිරි හඩින් ‘කොහෝ’ ගීය ගයනවා. අවුරුදු ළඟ මැ එන වග ලක් දනන් දැනැගන්නේ මේ කොවුල් නදින්. පෙර ද පැවැසුණු සේ මෙසමයේ හැම ගසක් මැ වැලක් මැ පලබර වන නමුදු අවුරුදු උදාව හඟවන වෙසෙසි මැ ලකුණ වනුයේ ‘එරබදු’ මල යි.

    '' එරබදු මල් මොට්ටු මොට්ටු
       අවුරුද්දත් කිට්ටු කිට්ටු ''
යනුයෙන් ගැමි දරුවන් තුටින් නටන්නට ගන්නවා. මෙසෙයින් සොබාදහමේ මහිමය විදහා ලන සිංහළයාගේ මහ මැ උළෙල එළැඹෙනවා.
සියලු සිංහළ වදන් සකුවෙන් පාළියෙන් බිඳී එන සේ දකින්නත් ‘අවුරුදු’ යන්නට ‘සංවත්සර’ අරුතත් අටවන්නේ මේ සොබාදහම ද අමතක කැරැලමින්. එසේ නම් අවුරුද්දේ සැබෑ අරුත කිමෙක් ද? එ-නම් ‘වෙසෙසි දවස’ යනු යි. දවසට අරුත් නඟන ‘වර’ යන වදන වටා යි එය තැනෙන්නේ. ‘බර’ම ‘බරතු’ ‘බුරුතු’ වන අයුරින්, ‘වර’ පදය ස්වාර්ථ තද්ධිත ‘ත’ ප්‍රත්‍ය ගැන්මෙන් ‘වරතු’ වී, පරස්පර සාම්‍යයෙන් ‘වුරුතු’ බවට පැමිණ, ඝෝෂාදේශයෙන් ‘වුරුදු’ බවට පත් වනවා. එය වෙසෙසි අරුත්හි ‘අ’ උපසර්ග ගැන්මෙන් ‘අවුරුදු’ වදන තැනෙනවා.
ඉතින් මෙදවස ඇයි ‘වෙසෙසි දවස’ වන්නේ?
සාමාන්‍යයෙන් සිංහළ අවුරුද්ද යෙදෙන්නේ අප්‍රේල් 13 දාට යි. වත්මන් දින ගණන් අනුව මාර්තු 21 වන දා සමකයට මුදුන් වන හිරු උතුරු අතට ගමන් කරද්දී අංසක 23 1/2ක් උතුරින් පිහිටි කටක (කර්කටක) නිවර්තනයට මුදුන් වන්නේ ජූනි 21 වැනි දාට යි. අංසක 23 1/2ක් ගමන් කිරීමට දින 92ක් ගන්නා හිරුට අංසකයක් යෑමට ගත වන කාලය දවස් 3.9ක් සේ දළ වශයෙන් සලකන්නට පුළුවනි.
ළංකාව පිහිටියේ උතුරු අක්ෂාංශ 5ත් 10ත් අතර යි. මෙහි ඉපැරැණි රජදහනක් වූ කොග්ගල ‘වළස්ගල’ පිහිටියේ හරියට ම අංසක 06 සලකුණු වන තැන යි. වලසා යන තිරිසන් සතා සිතට ගෙන ඇතැමුන් මෙය ‘වලස්ගලැ’යි ලියූවත්, වා +අළ+අස්+ගල> වළස්ගල යන නිවැරැදි අරුත් දෙන නිරුක්තියක් මෙයට තිබෙනවා. ‘වා’ නම් අවුරුද්ද යි (පස්වාන් දහසකට බඳු යෙදුමින් ඒ වග පැහැදිලි වෙයි). ‘අළ’ නම් එළැවූ (ඉදිරිපත් කළ) බව යි. ‘අස්’ නම් අංසක යි. මේ අනුව, ‘අවුරුද්ද ඉදිරිපත් කළ අංසක ගල’ යන පැහැදිලි අරුත ලැබෙනවා වළස්ගලට. ආදි හෙළයන් හිරු මුදුන් වීම (සූර්ය විශුවය) මිනූයේ මේ වළස්ගල සලකා යි.
දැන්, අංසකයක් යෑමට දින 3.9ක් ගන්නා හිරුට අංසක 06ක් ගමන් කිරීමට ගත වන කාලය මැන බලමු. දළ වශයෙන් එය දින 23 1/2කි. මාර්තු 21 වන දින සිට ඉදිරියට දින 23 1/2ක් ගණන් කල කල්හි එනුයේ අප්රේල් 13 වැනි දින සවස යි. ‘අවුරුදු උදාව‘ ලෙස සිංහළයන් සලකනුයේ මේ වෙසෙසි දවස යි.
මෙදවසෙන් ම සිදු වන තවත් වැදගත් කටයුත්තෙකි. එනම් හිරු දොළොස් රැසෙහි මුල මැ වන ‘එළු’ රැසට එළැඹීම යි.
සක්වළ වටය අංසක 360ක් ලෙස ගත් පෙර හෙළයෝ එය අංසක 30 බැගින් වූ දොළොස් රැසකට බෙදා, අවුරදු දා සිය දෙස (හෙළ දෙස, හෙළු දෙස, එළු දෙස) එල්ලේ අරඹන මුල් රැසට දෙසෙහි නම ම දුන්හ. මේ ‘එළු’ යන්නෙහි තිරිසන් අරුත පමණක් දුටු බමුණෝ එය ‘මේෂ’ යැයි සකු බසට නඟාගෙනැ නොනැවැතී එළු රුවක් අහසෙහි ද ඇඳගත්හ!
එක් එක් අයට එක් එක් සේ පෙනෙන තිරිසන් රූ අනුව නොව, අරුත්+බර අදහසක් හැඟවෙන සේ ම දොළොස් රැසට නම් දුන්නෝ හෙළයෝ යි. අවුරුදු දා හිරු ‘එළු’ රැසට එනුයේ කොහි සිට ද? ඒ ‘මින්’ රැසෙහි සිට යි. ‘මින්’ යනු අවසන් (රාසිය) යන අරුත දෙන ‘නිම්’ යන්නෙහි ම අකුරු පෙරැළිය යි. (‘වක’ ම ‘කව‘ වන්නේත් මේ හෙළ වදන් නියරට අනුව යි.) ඒ නැති ව, දඹදිව් ඇදුරන් දුටු ‘මාළු’ රුවක් අනුව නොවේ. බමුණන් දුන් මේ එකදු නමක් වත් ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට ද සබඳකමක් නොදක්වන බැව් විමසුම් ඇසින් බලන කල පෙනෙයි.

ආචාර්යතුමා