Showing posts with label විද්‍යාර්ථීන් සදහා. Show all posts
Showing posts with label විද්‍යාර්ථීන් සදහා. Show all posts

Wednesday, 8 September 2021

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස

මාධ්‍ය නිදහස යන්න ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළත්, දේශපාලන ක්ෂේත්‍රය තුළත් එක සේ සංවාදශීලි මාතෘකාවකි. මෙරට ආණ්ඩක්‍රම ව්‍යවස්ථාව මඟින්ම පිළිගෙන සහතික කර ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අතිශය වැදගත්ය. අතීතයේ දී තොරතුරු හා දැනුම ප්‍රකාශයට පත් කිරීම සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම සහ ප්‍රාථමික මුලාශ්‍ර ඔස්සේ සිදුවිය. එහෙත් වර්තමානය වනවිට තාක්ෂණික දියුණුවත් සමඟ දියුණු සන්නිවේදන භාවිතයන් දක්වා විකාශනය වී ඇත. තොරතුරු සමාජ ගතවීමේ ක්‍රමික වර්ධනයත් සමඟ ප්‍රකාශන නිදහස පිළිබඳව සාකච්ඡාවට  ලක්විය. එමනිසා වර්තමානය වනවිට තොරතුරු ප්‍රකාශනය හා බැඳුණු මාධ්‍ය නිදහස අතර ඝට්ටනයක් පවතී. යම් සිදුවීමක් පිළිබඳව විස්තරාත්මක ආකෘතියක් ඔස්සේ තොරතුරු ඉදිරිපත් කිරීමේ ශක්‍යතාව  පවතින්නේ පුවත්පතටය. ඇතැම් අවස්ථාවල දී පුවත්පත්  යම් යම් සිද්ධීන් සම්බන්ධයෙන් වාර්තා කිරිමේ දී එහි අනන්තය දක්වාම ගොස් පාඨකයාට සත්‍ය හා විශ්වාසනීය තොරතුරු අපක්ෂපාතී වාර්තාකරණයක් හරහා ලබා දීමට උත්සාහ කරයි. මෙහි දී සිදුවීමට අදාළ පුද්ගලයා කවරෙක්ද? ඔහු නියෝජනය කරන සමාජ පන්තිය කුමක්ද යන කාරණා පුවත්පත් කලාවේදියාට අදාළ වන්නේ  නැත. ඔහුට අවශ්‍ය වන්නේ පාඨකයාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උපරිම ආකාරයෙන් සම්පුර්ණ කිරීමට වේ. 

මෙලොව සියලූම මනුෂ්‍යයන් උපත ලබා ඇත්තේ නිදහස්ව ය. සෑම දෙනාටම එකම ආකාරයෙන් අයිතිවාසිකම් භුක්ති විඳීමට හැකි විය යුතු ය. සෑම පුද්ගලයෙකුට ම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අර්ථ පූර්ණව භුක්ති විඳීමට හැකිය. ප්‍රකාශන නිදහස යනු ඉදිරිපත් කිරීමට හා නිදහසේ තොරතුරු ලබා ගැනීමට ඇති අයිතියයි.

මානවයා සතු ප්‍රකාශන නිදහස තොරතුරු ලබා ගැනීමේ අයිතිය  1948  දෙසැම්බර් 10 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් සම්මත කොට ප්‍රකාශයට පත් කළ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයෙන් තහවුරු කොට තිබේ. මේ ප්‍රකාශනය මගින් ලෝකයේ සියලුම මිනිසුන්ගේ සහජ අයිතිවාසිකම් හා නිදහස අර්ථ පුර්ණව ඉදිරිපත් කරන ලදී.

රාජ්‍ය හා සමාජීය චර්යාව පාලනය කිරීමේ මාර්ගයක් ලෙස රාජ්‍යයන් ද, සංවිධාන හා පුද්ගලයන් ද බැඳී සිටිය යුතු බව එයින් පිළි ගනී .එසේ පිළිගනිමින් ලොවටම පිළිගත හැකි නියමයන් හා සදාචාරාත්මක වටිනාකම් සමුහයක් මේ ප්‍රකාශනය මඟින් ඉදිරිපත් වේ .මේ ප්‍රකාශනයට නීතිමය බලයක් නැතත් එහි සදාචාරාත්මක වටිනාකමක් තිබේ. මේ ප්‍රකාශනයට අනුව ක්‍රියා කිරීමෙන් ලෝකයේ සියලුම දෙනාට සාධාරණ හා වඩාත් හොඳ ලෝකයක් බිහි කිරීමට හැකි වන්නේ ය යන අදහස ඉදිරිපත්ව තිබේ.

අදහස් පළ කිරීමේ නිදහස පිළිබඳව මේ ප්‍රකාශනයේ 19 වන වගන්තියේ  දැක්වේ .

“තම නිදහස් මත දැරීමට හා ප්‍රකාශ කිරීමට සෑම පුද්ගලයෙකුට ම අයිතිය ඇත. අනුන්ට බාධාවක් නොමැතිව තම මතය දැරීමටත් දේශ සීමා නොසළකා කවර මාධ්‍යයකින් හෝ තොරුතුරු ලැබීමටත් තොරතුරු ලබා දීමටත් ඇති අයිතිය ඊට ඇතුළත් ය.”

මේ ප්‍රකාශනයේ අදහස් දැරීමේ හා පළ කිරීමේ නිදහස පිළිබද අයිතිය හැමදෙනාම සතු බව දැක් වේ.මෙයින් අදහස් කරන්නේ එම අයිතිය එක රටක ජනතාවකට නොව සියලුම පුද්ගලයන්ට හිමි අයිතියක් වන බව ය.මේ ප්‍රකාශනය මඟින් පිළි ගැනෙන්නේ අදහස් දැරීමේ හා පළකිරීමේ නිදහස සමස්ත මානව වර්ගයාටම අවේණික අයිතියක් වන බව ය.එසේම එය මානව පැවැත්මට මුලිකවනවා පමණක් නොව, සමාජ සංවර්ධනයට ද අවශ්‍ය කරුණක් වන බව ය. එමෙන් ම “ දේශ සිමා නොසලකා ඕනෑම මාධ්‍යක් ඔස්සේ තොරතුරු සෙවීමේ ,ලැබීමේ සහ බෙදා හැරීමේ අයිතිය” මේ ප්‍රකාශය මඟින් තහවුරු කර තිබේ. පෙර පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හැරුණු විට 1978 දී පැන වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් භාෂණ ප්‍රකාශන අයිතියට සුවිශේෂී ස්ථානයක් ලබා දී තිබේ. 

  1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ”භාෂණය හා ලේකනයේ නිදහස ලෙස හඳුන්වා ඇති එම නිදහස මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ අඩංගු පරිදි ම සඳහන්ව නොතිබුණත් සමස්තයක් ලෙස ගත කල්හි එකී නිදහස මින් ගම්‍ය වන බව මෙහි  අදහස වේ.

විසුවලිංගම්ට එදිරිව ලියනගේ නඩුවේදී මෙන්ම විමල් පෙරේරා එදිරිව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව නඩුවේ දී,  එවකට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මඟින් විකාශනය වූ ස්වභාරති ගීත වැඩසටහන අතරතුර ශ්‍රාවකයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු නොදී  එම වැඩසටහන නවතා දමන ලදී. එහිදී විමල් පෙරේරා නමැත්තා තම අයිතිය උල්ලංඝනය වීම පිළිබද ව ශ්‍රේෂ්ඨාධිකරණය  ඉදිරියේ නඩු පවරන ලදී. එහි තීන්දුව ලබාදෙමින් විනිසුරුවරයා ප්‍රකාශ කළේ තොරතුරු දැනගැනීම පිළිබද ව නීතිමය තත්ත්වයක් ව්‍යවස්ථාව තුළ සඳහන් නොවුණ ද එය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තුළ සනාත වන බවයි .

සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය (ඓCCඵ්ර්‍) 1976 දී ගොඩනගන ලදී. මේ සම්මුතියේ බලපෑම වන්නේ ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් කරන රටවල් එම ලේකනවල සඳහන් මානව හිමිකම් සිය රටවැසි ජනතාවට ද සහතික කර දීමේ වගකීම එකී රජයන් විසින් බාරගන්න ලද බවයි. 

සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතියේ 19 වන වගන්තියේ ජනමාදධ්‍ය නිදහස සුරක්ෂිත කිරීමට අදාළ වේ. ඒ මෙසේ ය.

➤ බාධාවකින් තොරව අදහස් දැරීමේ අයිතිය සියලූ දෙනා සතුය.

➤ ප්‍රකාශන නිදහස පිළිබඳ අයිතිය සියලූ දෙනා සතුය.

දේශ සීමා නොසළකා වාචිකව, ලිඛිතව හෝ මුද්‍රිතව කලාවේ ස්වරූපයෙන් හෝ තමා කැමති  ඕනෑම මාධ්‍යයක් සියලූම ආකාරයේ අදහස් තොරතුරු සෙවීමේ ලැබීමේ හා පතුරුවා හැරීමේ නිදහස මේ අයිතියට අයත් වේ.

ඉහත සදහන් සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 19 වන වගන්තිය මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ ඊට අනුරූපී 19 වන වගන්තිය තවදුරටත් පැහැදිලි කරනු ලබති. එසේම විශ්ව ප්‍රකාශනයේ 19 වන වගන්තියෙන් සහතික කෙරුණු හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය මඟින් වඩාත් නිරවුල්ව  දක්වා තිබේ.එසේම සම්මුතියට අත්සන් කරන රටවල් බැඳීමක් බවට පත් කරමින් එම වගන්තියට නීතිමය බලයක් ද ලබා දෙති .එසේම සම්මුතියේ අඩංගු අයිතිවාසිකම් ප්‍රකාශ කිරීමේ දී ඒ හා බැදුණු විශේෂ යුතුකම් හා වගකීම් ද සඳහන් කර තිබේ.මේ නිසා අන්‍යයන්ගේ හිමිකම් හා කීර්තියට ගරු කරනු සඳහා නීතිය මඟින් ඇතැම් සිමාවන් පනවනු ලැබීමට පුළුවන.මෙහි 19 වන වගන්තියේ 3 (ආ ) අනු ඡේදය මඟින් සෙසු පුද්ගලයන්ගේ හිමිකම් හා කීර්තියෙන් ආරක්ෂා කරනවා සේ ම 3 (ආ ) අනු ඡේදය මඟින් ජාතික ආරක්ෂාව, ජනතා විනය, මහජන සෞඛ්‍ය හෝ සදාචාරය වැනි බැඳියාවන් සුරැකීම රජයේ යුතුකමක් බව පෙන්වා දෙයි.

මෙලෙස මිනිසාගේ ප්‍රකාශන නිදහස භාෂණයේ නිදහස නෛතික වශයෙන් ආරක්ෂා කර ඇත. ඒ වගේම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  (1978)  14 (1) වගන්තිය මඟින් ප්‍රකාශන නිදහස භාෂණයේ නිදහස  සහතික කොට තිබේ. එනම්,

“සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහස හා ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය.”

මෙසේ අයිතීන් ආරක්ෂා කර ඇති සේම එම අයිතීන් යම් යම් සීමාවන්ට ද ලක් කර තිබේ. ඒ වගකීමෙන් යුතුව මෙම නිදහස භුක්ති විඳීමට ඉඩකඩ සැලැස්වීමටයි. මන්ද  ඕනෑම පුද්ගලයෙකුට නිදහස තිබූ පමණින්  ඕනෑම දෙයක් ප්‍රකාශ කිරීමට නොහැකි වේ. කිසිවෙකුට හිංසා පීඩා වන ආකාරයට අදහස් පල කිරීමේ හැකියාවක් නොමැත. එලෙස අදහස් ප්‍රකාශ කළහොත් එය ශිෂ්ටසම්පන්න සමාජයක් වේද?

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 29 (2) හා 30 වගන්තිවලින් එය සීමා කර තිබේ. 29 (2) වගන්තියේ සඳහන් පරිදි,

➜ ”සමාජයේ කිසිවෙකුට හිංසා හා පීඩා වන ලෙස සිය අයිතිවාසිකම් හා නිදහස භාවිත නොකළ යුතුය.”

➜ ඒ වගේම භාෂණයේ නිදහස ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පැනවූ අණ පනත් මගින් සීමා කර තිබේ. එනම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (1978) 15 (2) ව්‍යවස්ථාව හා 15 (7) ව්‍යවස්ථාව මගින් සීමා කර තිබේ.


15 (2 ) ව්‍යවස්ථාව 

  “14 වන ව්‍යවස්ථාව 01 වන අනු ව්‍යවස්ථාවේ (අ) ඡේදයෙන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් භුක්ති විදිය හැක්කේ ද ක්‍රියාත්මක විය හැක්කේ ද වාර්ගික හා ආගමික සහයෝගිතාව තහවුරු කිරීම සඳහා හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද අධිකරණයට අපහාස කිරීම අපහාසය හා වරදකට පෙළඹවිම හා සම්බන්ධව නීතියෙන් නියම කරනු ලැබිය හැකි සිමා කිරීම්වලට යටත්වය.” 

මේ නියමයන්ට අනුව භාෂණයේ නිදහස, ප්‍රකාශ කිරීමේ නිදහස තිබුණු නිසාම කෙනෙකුව අපකීර්තියට පත් කිරීමේ හෝ ලංකාවේ විවිධ ජාතින් අතර අසමගිය ඇතිවන පරිද්දෙන් කිසිවක් ලිවීම් හෝ පර්ල්ලිමේන්තු මන්ත්‍රීන්ගේ වරප්‍රසාද කඩ කරන ආකාරයකින් කිසිවක් සඳහන් කිරීමට මාධ්‍යවේදීන්ට ඉඩක් නැත.මේ නියමය සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 19 3 (අ ) හා (ආ ) වගන්තිවල පරමාර්ථයන්ට අනුකූල වේ. මේ අනුව බලන කළ සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේත් එක හා සමාන තත්ත්වයක් ගම්‍ය වන බව පැහැදිලි ය.

ආචාර්යතුමා


Thursday, 22 April 2021

නිර්මාණාත්මක සන්නිවේදනය - ලිපිය 01



අපූර්ව වස්තු නිර්මාණය සඳහා කලාකරුවකු තුළ පවතින කුසලතාව හඳුන්වනු ලබන්නේ ‘ප්‍රතිභාව’ හෙවත් ‘ප්‍රතිභානය’ යනුවෙනි. මේ දුර්ලභ නිර්මාණ කුසලතාව කෙබඳුද යන්න මතුපි‍ටින් වටහාගත නොහැක්කකි. එහි ප්‍රාචීනවාදී අර්ථ සමුදායක් ඊට සමාන හා අසමාන ප්‍රතිචීන අර්ථ සමුදායක් තුලනය කළ යුතුය. ඒ තුලනය විද්වතුන් මඟින් සිදුකෙරේ.‘ප්‍රතිභානය’ ශාස්ත්‍රීය ලිපි ලේඛන සැපයීම ඉක්මවූ තලයක පවතී. කාව්‍ය ප්‍රභේද වශයෙන් බුදුන්වහන්සේ කවි සූත්‍රයේ පෙන්වා දෙන්නේ අර්ථ කවි, සුත කවි, චින්තා කවි සහ ප්‍රතිභාන කවිය. ඒ සිව් ප්‍රභේදයන්ගෙන් වඩාත් අපූර්ව කුසලතාව පෙන්නුම් කරන්නේ ප්‍රතිභාන කවිවලය. මෙය ‘කාව්‍යය’ යනුවෙන් හඳුන්වන නිර්මාණ විශේෂයට මෙන්ම ඒවායේ නිමැවුම්කරුවන් හඳුන්වන කවීන්ට ද යොමු වේ.

කලා නිර්මාණ හා සාහිත්‍ය නිර්මාණවල අර්ථ පරිණාමය වෙනස්වී පවතී. චිත්‍ර කලාව, නර්තන කලාව, මූර්ති කලාව වැනි කලා නිර්මාණවලට වෙනස් වූ එහෙත් සමාන නිර්මාණ චින්තාවන් ගෙන් සැදුම්ලද කාව්‍යය, නාටකය, නවකතාව, කෙටිකතාව වැනි ලිඛිත සන්නිවේදනාංග මෙහිලා වර්ගීකරණය කළ හැකිය. පෙර පටන්ම කතා වර්ග ආඛ්‍යාන හා වෘත්තාන්ත වශයෙන් ද සැලකේ.ආඛ්‍යානය හා වෘත්තාන්තය ද බහුවිධය. ඒවායේ කතා වස්තු මෙන්ම ජීවන අනුභූතීන් ද අන්තර්ගත ය. විටෙක සමාජ සත්තාවෙන් ද විටෙක ආගමික හා ආධ්‍යාත්මික සත්තාවෙන් ද පිරිපුන් ය. නිර්මාණශීලී ගුණාංග ඒක රේඛීය මෙන්ම බහු රේඛීය වශයෙන් ද සැලකේ. මේ නිර්මාණ හැඩතල කෙමෙන් සමාජ පරිණාමයන්ට හා සංස්කෘතික පරිණාමයන්ට අනුකූලව වෙනස් වේ. ඒ නිර්මාණාංග පිළිබඳව පවතින දැක්ම මෙන්ම ආකල්ප ද බහුවිධ ය.

සම්මත අර්ථවලින් මෙන් ම අසම්මත අර්ථවලින් ද ගහණ ය. නිදසුන් සපයාගත හැක්කේ සමාජ ඉතිහාසයට අනුකූලව ය. නිදසුනක් වශයෙන් ගතහොත් පියදාස සිරිසේන කතුවරයාගේ නවකතා හා ඩබ්ලිව්.ඒ.සිල්වාගේ නවකතා පිළිබඳ දැන් කතාබහක් දැක ගත නොහැකි ය. ඒවා සම්මත කතා රටාවලින් සුසැදිනැයි සැලකේ. එහෙත් ඉන් සිදුවූ මෙහෙවරක් නොමැති යයි බැහැර කළ නොහැකි ය. එහෙත් එසමයේ දී ම බිහිවූ බහුතරයක් වූ වෙනත් නවකතා බොළඳ ප්‍රලාප ලෙස සලකා බැහැර කළ හැකි ය. එය සිදුවූයේ කෙසේද? සහෘදයාගේ මන දොළ සන්සිඳවීමට මෙන්ම ජීවන දැක්මක් ඇති කරවීමට නොසමත් වූ බහුතර නිර්මාණ සමුදායක් බැහැර කෙරිණ.මේ සංසිද්ධිය සැසඳිය හැක්කේ ‘පථ්‍ය’ හා ‘අපථ්‍ය’ ආහාරවලට ය. පෝෂණීය ගුණයෙන් සංයුක්ත ආහාර වර්ග පථ්‍ය ආහාර ලෙස සැලකේ. එසේ නොවන කටට රහ, කිසිදු ගුණයක් නැති ආහාර අපථ්‍ය ආහාර ලෙස සැලකේ. මේ න්‍යාය පළමුව සාහිත්‍ය ලෝකයේ ගෙනහැර දක්වන ලද්දේ රුසියන් මහා වෘත්තාන්තවේදියා වූ ලියෝ තෝල්ස්තෝයි විසිනි. එ‍ෙහත් පොදුවේ ගත් කළ පථ්‍ය හා අපථ්‍ය යනු සරු හා නිසරු වශයෙන් සැලකීමට බාධාවක් නැත.

ඇතැම් නිර්මාණ සරු ලෙස සැලකේ. එසේ නොසැලකෙන නිසරු නිර්මාණ බැහැර කෙරේ. මෙය කලා විචාරයේ පදනමයි. සරු බව අවශ්‍යතාවකි. අවශ්‍යතාවක් පදනම් කොටගෙන සරු නිර්මාණයක් විනා නිසරු නිර්මාණයක් බිහි නොවේ. මේ කාරණය ප්‍රාචීනවාදී සම්මත සාධු ධර්මතාවකි. අර්නස්ට් ෆිෂර් නමැති ප්‍රතිචීන විචාරකයා ස්වකීය විචාර කෘතිය වන ‘ණෙcඑස්සිට්ය් ඔෆ් ඇර්ට්’ නමැති කෘතියෙහි මේ ධර්මතාව මැනැවින් විග්‍රහ ‍කළේය. එබැවින් කලා නිර්මාණයක අවශ්‍යතාවම එහි සරු හා නිසරු පද්ධතීන් මිනුමකි. එහෙත් එක් සමාජයක් සරු ලෙස සලකන හා පිදුම් ලබන නිර්මාණයක් තවත් සමාජයක් විසින් නිසරු ලෙස ද සැලකේ. සරු හා නිසරු බව ගඳ සුවඳ මෙන් ශික්ෂණයකින් පුහුණු කරනු ලබන්නකි.අර්ථ ශූන්‍ය වූත් නිසරු වූත් දුගඳ හමන අහර බඳුන් පහක් මේසයක් මත තබා මින් කිනම් බඳුනක් සරුදැයි කෙනකුට හඳුනාගැනීමට ඉඩ සැලැස්වීමෙන් කුමක් සිදුවේද? කිව යුත්තේ ඒ අහර දුගඳ හමන පථ්‍ය අහර නොවන වැළලිය යුතු බුදීමෙන් වැළැකිය යුතු අහර බවයි. අහර රුචිය ඇති කෙනකුට වුවද ඒ දුගඳ හමන අපථ්‍ය ආහාර නොසුදුසු බව කිව යුතුය.

කලා නිර්මාණශිල්පියාට වඩා කලා විචාරකයාගේ කාර්යය ද මීට සමාන ය. අපථ්‍ය ආහාර නිෂ්පාදනය කිරීම පහසු ය. ඒවා අපථ්‍ය බව මෙරමාට පෙන්වාදීම ‍බැරෑරුම් කාර්යයක් බව පසක් කර ගත යුතු ය. අපථ්‍ය ආහාර අනුභව ‍නොකටයුතුය කීම මෙන්ම අපථ්‍ය කලා නිර්මාණ වින්දනය නොකිරීමට පුහුණු කිරීම ද අපහසුය. මෙය තවදුරටත් බලන කල ප්‍රමිති කරණයකි. ප්‍රමිතිකරණය වර්ගීකරණයකි.කලා නිර්මාණ වින්දනය, නිර්මාණ හා ඇගයුම කෙමෙන් පුහුණු කළ යුතු ධ්‍යාන මාර්ගයකි. එය වූ කලි ඕලාරික ලෝකාස්වාදී මාර්ගවලින් කෙමෙන් ධ්‍යාන මාර්ගයකට ප්‍රවේශවීමකි. රොබට් ප්‍රොස්ට් කාව්‍ය වින්දනය ගැන කළ ප්‍රකාශය නම් “Cඔම්මෙන්cඑ ඉන් ඩෙලිඝ්ට් අන්ඩ් එන්ඩ් ඉන් විස්ඩොම්” යන්න මා සිංහලට වතාවක් පෙරළුවේ “ආනන්දයෙන් පටන්ගෙන ප්‍රඥාවෙන් කෙළවරවීම” වශයෙනි.

එහෙත් මගේ එම පරිවර්තනය බොහෝ දෙනා කල්පනා කළේ, ප්‍රාචීනවාදී සකු විචාර මතයක් වශයෙනි. අන්තිමට එහි මුල් ප්‍රකාශකයාගේ නම පවා නොයෙදුණු අවස්ථා බෙහෙවි. කෙමෙන් කායික හා මානසික සහනයක් නොසළකන නිර්මාණ අපථ්‍ය ආහාරවලට තවදුරටත් සමාන වන අයුරු හඳුනාගැනීමට නම් ඒ අපථ්‍ය ආහාර බුදින්නන්ගේ චර්යා පද්ධතිය හඳුනාගත යුතුය. යම් අපථ්‍යදායී ආහාරයක් මිනිසුන්ට නොසුදුසු වුවත් ඌරන්, බල්ලන්, බළලන් හා පණුවන් වැනි අන්‍ය සත්වයන්ට සුදුසු වනු ඇත. ප්‍රඥාසම්පන්න මිනිසාට අගෝචර දෑ මුග්ධ නැණ හීනයන්ට සුදුසු විය හැකිය. එහෙත් විටෙක මිනිසාට නොගැළපෙන අපථ්‍ය දුගඳ ආහාර සතුන් විසිනුදු ප්‍රතික්ෂේප කරනු ලබන අවස්ථා දැක බලාගත හැකි ය.

අපූරු වස්තු නිර්මාණය ප්‍රඥා සම්පන්න තලයකින් කෙළවර වන ශික්ෂණයකින් ගොඩනැඟුණු කලා කෘති විශේෂ‍යකි. ප්‍රාචීනවාදී නිර්මාණ සම්ප්‍රදායන්ට අනුකූලව ‘අපූර්ව’ යනුවෙන් හඳුන්වා ඇත්තේ වින්දනය, පෝෂණය, ප්‍රඥාව හා ප්‍රතිකාර හෙවත් චිකිත්සාව අන්තර්ගත සාධක සහිතවය.ලියෝ තෝල්ස්තෝයි කුඩා උපමා කතාවක් ලියමින් හඳුන්වාදුන් සාධක සිහිපත් කරගත හැකිය. වෙළඳපොළට පැමිණෙන මහලු කාන්තාවක් බටර් මිලදී ගනියි. එහෙත් ඒ බටර් ප්‍රමිතියෙන් බාල පෝෂණ හීන, වර්ගයක් බව ඇය හඳුනාගනියි. ඒ අවබෝධය ඇයට සන්නිවේදනය කිරීමට ඉමහත් බාධක පවතී. ඇගේ හඬ වසා දමන්නට පළමුව සැරසෙන්නේ ඒ බාල වර්ගයේ බටර් විකුණන වෙළෙන්දෝ ය. ඊළඟට ඔවුන්ගේ හිතවත්තු ය. ඇය ගෙන යන්නේ තනි සටනක් වුවද එය නැණවත් ය. ඇයට එරෙහිව පැනනැ‍ඟෙන විරෝධාකල්ප වින්දනයෙන් තොර ළාමක නැණ හීන ප්‍රකාශනයන් ය. ඒවා සම්මත වාණිජ රැල්ලේ ප්‍රකාශනයන් ය. මේ කාරණය ම බුදුන්වහන්සේ ද ‘බහුභාතී’ සූත්‍රයේ වෙනත් අයුරකින් ප්‍රකාශ කළ සේක. වෙ‍ළඳපොළේ ඉල්ලුමට සරිලන නිර්මාණ භාණ්ඩ සැපයීම ප්‍රඥාසම්පන්න, ශික්ෂණයකින් සුසැදි නිර්මාතෘවරයකුට කළ නොහැක්කකි.

නිමැවුම්කරුවා හෙවත් නිර්මාණශිල්පියා සිදුකරන්නේ පෙලඹවීමකි. මෙය ප්‍රතිචීනවාදී චින්තකයන් විසින් හඳුන්වනු ලබන්නේ පෙර්සුඅසිඔන් හා මොටිවටිඔන් යන යෙදුම්වලිනි. තමන්ගේ නමින් ම පෙනී නොසිටිමින් ජන කවියා මෙන්ම ජනකතාකරුවා කළේ පෙලඹවීමකි. තමන් මුහුණදුන් අත්දැකීමක් වදනින් මෙරමාට සන්නිවේදනය කිරීමේ අග්‍රගණ්‍ය ජනමැවුම්කරුවා සාන්තුවර‍ෙයකුගේ තත්ත්වයට පත් විය.

ජනශ්‍රැතිය නමැති විෂයය මේ හේතුවෙන් නිර්මාණකරණයේ ප්‍රාථමික මූලාශ්‍ර භූමිය බවට පත්වේ. ජනශ්‍රැතිය නූගන්වා හා නූගැන්මෙන් නිර්මාණකරණය වටහාගත නොහැකිය. ආදිතම ග්‍රීක නාට්‍ය රචකයා වන ඊස්කිලස්ගේ ප්‍රොමිතියස් බන්ධනය ග්‍රීක ජනශ්‍රැතියෙන් උගත් නිමැවුමකි. මෙලෙසින්ම හෝමර්ගේ ඊලියඩ් සහ ඔඩිසි කාව්‍ය ග්‍රීක ජනශ්‍රැතියෙන් උපන් කෘතීන්ය.ආගමික චින්තකයා හෙවත් ආගමික සන්නිවේදකයා ද ජනශ්‍රැති‍ෙය් පෝෂණය ලත් කෙනෙකි. බුදුන් වහන්සේ, යේසුස් වහන්සේ හා වෙනත් ආගමික නායකයෝ ජනශ්‍රැතිය තම න්‍යාය සඳහා ගුරුකොට ගත්හ. එමඟින් සවිඥානික ලෙස පෙලඹවීමක් ඇති කළ හැකි විය.

නිර්මාණකරණය විවිධ හැඩතලවලින් යුත් ශිල්පි ක්‍රමවලට හැරවීම මුලින් ම හඳුනාගන්නා ලද්දේ ජන නිර්මාතෘවරුන් ය. සැබෑ ලෝකය මෙන්ම මායා ලෝකයක් ඇති බව ද මිනිස්සු මෙන්ම දෙවිවරුන්, සුරඟනන් හා යකුන් සිටින බව ද හඳුන්වාලනු ලැබුවේ ජන නිර්මාතෘ විසිනි. ඒ නිර්මාණකරණයේ හැම අංගෝපාංගයක්ම එකිනෙකට බද්ධව පැවැතිණ. ඒවා ජන සමූහයා අතර ප්‍රචලිතව පැවතිණ. කෙමෙන් ඒ නිර්මාණ වර්ගීකරණයට හසුවිය. ජන ගායනා, ජන ඇදහිලි, ජන කවි, ‍ජන නාටක, ජන ක්‍රීඩා, ජන කතන්දර , සුරංගනා කතා, උපමා කතා, යනාදී වශයෙන් දහස් ගණනින් ඒවා වර්ගීකරණය වීමේ ප්‍රතිඵලය වශයෙන් සමානකම් හා අසමානකම් පැහැදිලි ලෙස වටහා ගැනීම ද අපහසුවීය. කෙමෙන් ඒ නිර්මාණ දේශකයන්ගේ දේශන මූලාශ්‍ර බවට පත්වීම‍ හේතුවෙන් අන්තර්ජාතික වශයෙන් ව්‍යාප්ත වන්නට පටන්ගති. මෙකල ආඛ්‍යාන බලය හා වෘත්තාන්ත බලය නමින් හඳුන්වන නිර්මාණාත්මක කතා කලාව නැරටලොජි (ණර්‍රටලොග්ය්) යනුවෙන් නම් කෙරේ. මේ අධ්‍යයනය සඳහා විවිධාකාර රීතින්ගෙන් නිමැවුණු මූලාශ්‍ර සමීප කෙරේ. ඒවා ප්‍රාචීන සමාජ වලින් බිහිවූ මහා භාරතය, ජාතක කතා මෙන්ම ප්‍රතිචීන සමාජවලින් බිහිවූ කැන්ටබරි කතාවලින් මෙන්ම බයිබල් කතාවලින් ද සංයුක්තය.

මේ සමාජ ස්ථර දෙක්හිම එක් පොදු මූලාශ්‍රයක් වී ඇත්තේ අරාබි ‍නිසොල්ලාසයයි. අරාබි නිසොල්ලාසය ඇරබිඅන් නිඝ්ට්ස් යනුවෙන් ද Oනෙ තොඋසන්ඩ් ඔනෙ නිඝ්ට්ස් යනුවෙන් ද හැඳින්වේ. මෙහි එන කතන්දර ලොව පුරා විසිරී පැතිරි පවතී. ඒවා විටෙක ආගමික බණ කතාවක මුහුණුවර ගනියි. විටෙක හුදු විනෝදය සපයන සුරංගනා කථාවක මුහුණුවර ගනියි.

එහි පරිවර්තන හා ඡායානුවාද හා ප්‍රත්‍යුත්පාදන රැසක් දැනට පාඨක ලෝකයට ප්‍රවේශ වී පවතී. භාෂා භේදයකින් තොරව ආදි කල්පිත මෙන්ම අතිශය නවීන අනුභූතිවලින් සුසැදි නිර්මාණ සාගරයක් ලෙස අරාබි නිසොල්ලාසය හැඳින්වී පවතී. ස්වදේශික මහා නවකතාකරුවකු වූ ඩබ්ලිව්.ඒ.සිල්වා ද අරාබි නිසොල්ලාස කතාවලින් නොමඳ ආභාසයක් ලද බව ඔහු විසින් කරන ලද පරිවර්තනවලින් ද වටහාගත හැකිය.සිල්වා ශූරීන් ඒ කතා සිංහලට නැඟුවේ ‘එක්දහස් එක් රැයක්’ යනුවෙනි. කොටස් වශයෙන් ප්‍රකාශයට පත්වූයේ 1946 තරම් ඈතදීය. ඊටත් ඉහත දී බෙන්තර ඇල්බට් සිල්වා සූරීන් ද ‘අරාබි නිසොල්ලාසයක්’ සිංහල පාඨකයා අතට පත් කළේය. සිංහල නවකතාකරණය සඳහා අරාබි නිසොල්ලාස ආභාසය ලැබී ඇතැයි හැ‍ඟෙන අවස්ථා අප හමුවේ ඇත.

පසු කල ශූර පරිවර්තකයකු වූ කේ.බී.සුගතදාස විසින් ද “අරාබි නිශානන්දය” නමින් එම කතා සිංහලට පරිවර්තනය කොට 1960 - 62 කාලයේ දී ‘රසවාහිණී’ සඟරාවේ පළ කළේය. පසුව පොතක් වශයෙන් ද බිහිවිය. වෘත්තාන්තවේදය ඉගැන්වීමට අරාබි නිසොල්ලාස කතා මූලාශ්‍ර කොට ගන්නේ එමඟින් නිර්මාණ ධාරා රාශියක් කතිකාවට ලක් කළ හැකි බැවිනි.හෝල්කේන් නමැති ඉංග්‍රිසි නවකතාකරුවා අරාබි නිසොල්ලාස කතාවලට නව ජීවයක් දෙන ලෙසින් කිසියම් වර්ගයක නව වෘත්තාන්තවාදයක් ගුරු‍කොට ගත්තේය. එමඟින් සමකාලීන විඥානය හඳුනා ගැනීමට ඔහු වෑයම් කළේය. මේ කාර්යයට සමාන නිර්මාණ කාර්යයක් ජේම්ස් ජොයිස් නමැති අයිරිෂ් ලේඛකයා අතින් සිදුවිය. ඔහු ඇතැම් සුරංගනා කතා ප්‍රත්‍යුත්පාදනය කළේය.

අරාබි නිසොල්ලාසය මෙන්ම පංචතන්ත්‍රය, හෝමර්ගේ ඉලියඩ් හා යුලිසිස් යන කෘතින් ද නව වෘත්තාන්තවේදී මූලාශ්‍ර සමුදායක් වශයෙන් සැලකේ‍. නූතන ඉන්දීය නිර්මාණ සාහිත්‍ය වර්ධනයට අතිශයින් වැඩදායක වී ඇත්තේ පංචතන්ත්‍රය, කථාසරිත් සාගරය, මහාභාරතය හා ජාතක කතාය. ජනශ්‍රැතියේ නිර්මාණාංග සමඟ මේ මූලාශ්‍රයන් හි නිර්මාණයන් චලනය කිරීම නිරතුරු සිදුවේ.ආගමික චින්තාවන්ගෙන් හැඩ ගැසුණු ජනශ්‍රැතිය යටකී හැම මූලාශ්‍රයකටම බලපෑවේය. පෙරළා ඒ බලපෑම අද්‍යතන නිර්මාණකරණයට ද බලපාමින් පවත්නේය. මේ කාරණය ඉතා මැනවින් ප්‍රකාශ කර ඇත්තේ ජෝසප් ජේකබ්ස් විසින් ලියන ලද ඉන්ඩියන් ෆෙයරි ටේල්ස් (ඓන්ඩිඅන් Fඅඉර්ය් ටලෙස්) නමැති කෘතියෙහි ය. ඔහු සුරංගනා කථා හා ජනකතා නූතන නිර්මාණ හා සන්සන්දනය කරයි. සියවස් ගණනාවක පරතරයක් ඇතිවුවද ‘නවීන’ (ණෙව්) යනුවෙන් හඳුන්වන නිර්මාණාංගවල ආදිතම ලක්ෂණ රැසක් දැකගත හැකි බව ජේක්ස් ඩෙරිඩ් නමැති කලා විචාරකයා පෙන්වාදෙයි. එහෙත් ඩෙරිඩ්ගේ මතය ප්‍රාචීනවාදී උගතුන්ට ආගන්තුක නොවන්නේය. මන්දයත් ප්‍රාචීනවාදී අද්‍යතන හා චිරන්තන නිර්මාණ සම්ප්‍රදායන්හි සදාතනික මානව අත්දැකීම් සමුදායක් දැකගත හැකි වන බැවිනි.

ප්‍රාචීනවාදී උගතුන්ට අනුව, සම්භාව්‍ය යනුවෙන් හඳුන්වනු ලබන්නේ, සදාතනික අගයක් ඇති නිර්මාණාංගයන්ය. ඒවා ප්‍රතිචීනවාදී සමප්‍රදායන්හිදී හඳුන්වනු ලබන්නේ ‘ක්ලැසික්ස්’ (Cලස්සිc) යනුවෙනි. එහි සම්මත අරුත නම් සැමදා පවතින හෙවත් ‘සදාතනික’ යන්නයි. සම්භාව්‍ය කෘතීන් ලෙස සැ‍ලකෙන නිර්මාණ කලින් කල පුනර්ගවේෂණයට හා පුනර්නිර්මාණයට හසුවිම දැන් දැන් සිදුවන්නකි.මිනිස් දිවිපත්ලේ දුරාතීතයේ සිට මේ වනතුරු කිසිවක් නව්‍ය නොවේ. නව්‍ය දෘෂ්ටිය යනු ආකල්පයක් පමණි. නව්‍යභාවය හෙවත් අලුත්බව දැකගත හැකි වන්නේ ඒ සදාතනික දිවිපත්ල අර්ථකථනය වන ආකාරයෙනි. අතිශයින් අද්භූත ස්වභාවයකින් පවතින අත්දැකීමක් යථාර්ථයේම ප්‍රතිබිම්බයක් නොවිය හැකිද? නූතන වෘත්තාන්තවේදයක් සැකසීමට එම දැක්ම අවශ්‍යය. මේ බව පසක් කරගත් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ස්වකීය අපූරු නිර්මාණය වන ‘විලාසිනියකගේ ප්‍රේමය’ (1988) කෘතියේ පූර්විකාවේ මෙසේ සඳහන් කරයි.

“ජාතක පොත වූ කලී ජීවිතය පිළිබඳ මූල ද්‍රව්‍ය ආකරයකි. මිනිසුන්ගේ විවිධ චරිත ලක්ෂණ (එනම් එක සමාන අවස්ථාවට මුහුණ දෙන විවිධ පුද්ගලයන් විවිධ ආකාරයෙන් ක්‍රියාකරන හැටි) මිනිසුන් තම සිත්හී නංවන පාපී සිතුවිලි සමඟ සටන්කොට ඇතැම් කෙනකු ජයගන්නා හැටිත් ඇතැම් කෙනකු පරාජය වන හැටිත් මේ ආදී වශයෙන් අපට අප කෙටි ජීවිත කාලය තුළදී පසක්කරගත නොහැකි ප්‍රමාණයේ පෘථුල ජීවිත පරිඥානයක් ජාතක පොතෙහි ජනකථා වලින් හෝ එවැනි කථා සංග්‍රහයකින් ලබාගත හැකිය. මේ දැනුම ප්‍රත්‍යක්ෂඥානයක් නොවන බව සැබවි. එහෙත් පොතපතින් ලබාගන්නා එම දැනුම ජීවිතයෙන් අප ලබාගත් දැනුම සමඟ සසඳා උරගා බලා අපේම ප්‍රත්‍යක්ෂඥානය බවට පත්කරගත හැකිය.”

අතිශයින් අද්භූත ස්වභාවයකින් මිනිස් දිවිපත්ල විවරණය කැරෙන ග්‍රීක නාට්‍ය රචක ඊස්කිලස්ගේ ‘ප්‍රොමිතියස් බන්ධනය’ කාල්මාක්ස්ගේ ප්‍රියතම කෘතියක් වූයේ එහි අද්භූතය, පෙරළා ප්‍රත්‍යක්ෂඥානයක් බවට යථාර්ථවාදීව දැකගත හැකිවූ හෙයිනි. කාල්මාක්ස්, මේ පිළිබඳව තම දූවරුන්ට කීවේ, ප්‍රොමිතියස් බන්දනය මඟින් මානවයාගේ සදාතනික ජීවිත අරගලය මැනවින් ප්‍රකාශ වන බවකි. මානව සංහතිය ස්වකීය ජීවන අරගලය දෙවියන් හා සමඟ පවා දිගුකර ඇති බව ඔහු හඟවයි. අද්භූත බලවේග යනුවෙන් මිනිසා පළමුව හැඟවූ දේ කෙමෙන් විද්‍යාත්මක යථාර්ථයක් බවට පත්වීම මින් ගම්‍ය කෙරේ.

තමන් නොදන්නා හැම බලවේගයක් මිනිසා ඉඟි කළේ ‘අදිසි බලවේග’ යනුවෙනි. ඒවා ගුප්ත බලවේග ලෙසත් සැලකුවේය. එහෙත් විද්‍යාත්මක විධික්‍රම හා ග‍ෙව්ෂණ කෙමෙන් ප්‍රචලිත වෙත්ම කලක් පැවැති හැම ‘අදිසි බලවේගයක්'ම යථාර්ථයක් බවට පත්වේ. ඒවා විද්‍යාත්මක න්‍යායන්ට හසුවීම ඊස්කිලස් නම් වූ රංගවේදියා දැන හැඳිනගත්තේ පුරාණෝක්තියට අර්ථ කථනය කිරීමෙනි.මේ සියල්ල පසුබිම් කොට මාක්ස් සමාජ නිර්මාණ විචාරකයකු වශයෙන් විශද කළේ, මිනිස් අරගලය සන්නිවේදනය කිරීම සඳහා අද්භූතවාදී පුරාණෝක්ති බඳු මූලාශ්‍ර ගුරුකොටගත හැකි බවකි. මාක්ස් සහ එන්ගල්ස් සමාජ චින්තකයන් වශයෙන් තම මත තහවුරු කරගැනුම සඳහා ආදිතම ආඛ්‍යාන වර්ග ගුරුකොට ගත්හ. එහෙත් ඔවුහු නිර්මාණ විචාර න්‍යායවාදීහු නුවූහ.

ලියොන් ට්‍රොට්ස්කි (1879 - 1940) මේ න්‍යායයන් වඩාත් ප්‍රබල ලෙස භාවිතයට ගනිමින් සිය සමාජ දැක්ම සඳහා සාම්ප්‍රදායික නිර්මාණාත්මක සන්නිවේදන මූලාශ්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළේය. මාක්ස්වාදයේ සාහිත්‍යයික න්‍යායයන් ව්‍යාප්ත කිරීමට ලියෝන් ට්‍රොට්ස්කි කලාව පිළිබඳ කළ දේශන වැඩි බලපෑමක් ඇතිකළේය. ඔහු ආගමික චින්තාව නිසි ඇගයුමකට ලක්කළේය.අපූර්ව වස්තු නිර්මාණය සඳහා ප්‍රාචීන හා ප්‍රතිචීන භේදයකින් තොරව ආගමික චින්තන ධාරාවන් දෙකක් බලපා ඇත. ඉන් පළමුවැනි ධාරාව නම් ආධ්‍යාත්මික හා සදාචාරාත්මක චින්තන ධාරාවයි. දෙවැන්න නම් ආභිධර්මික නුවූ වඩාත් ඕලාරික වූ ලෞකික හැඩතල රැගත් මිත්‍යාවාදී හා අයාලේ ගිය නිර්මාණ චින්තන ධාරාවයි. මෙකී දෙවැන්න අද වුවද නිර්මාණ වෙළඳ ව්‍යාපාරයන් සශ්‍රීක කිරීමට හේතුවන භෞතිකවාදී බලවේග බවට පත්වී පවතී.

මානව හිතවාදී ලෙස මතුපිටින් පෙනුන ද, මෙකී දෙවැනි ධාරාව අසංස්කෘතික ජනප්‍රිය ලක්ෂණ සමුදායකින් පිරී පවතී. පිරිපුන් මිනිස් අත්දැකීම් කොතෙක් අන්තර්ගත වුව ද මෙකී අයාලේ ගිය නිර්මාණ සම්ප්‍රදාය නිසරු මුඩුබිමෙක වැඩෙන වල්පැළෑටි විශේෂයක් ලෙස සැලකිය යුතුය. ඒවායේ පවතින ක්ෂණික මෝහනයෙන් ඇලලී ගිය ද කලක් ඉතුරු වන්නේ නැත. සුලබ සන්ත්‍රාසය මෙකී දෙවැනි අයාලේ ගිය නිර්මාණවල ප්‍රබල ලක්ෂණයකි. සන්ත්‍රාසය නීච කුහුලකින්ම ඉතිරි වෙතොත් එය නිසරු පලයකි. එහෙත් එහි විකල්පය නම් කුහුලක් ඇතත් ඒ කුහුල මිනිස් හද සන්තානය විවරණය කිරීමට සමත්වීමයි. එබඳු කෘති නිර්මාණය කළෝ නම්, ලියෝ තොල්ස්තෝයි (1828 - 1910) හා ෆිය‍දෝර් දොස්තසව්ස්කි (1821 - 1881) වැනි නිර්මාණශිල්පීහුය.

ග්‍රීසියේ වීර කාව්‍ය (එපිcස්) කියැවූ මධ්‍යකාලීන ඉංග්‍රිසි කවියකු වූ ජෙෆ්රේ චෝසර් (1340 - 1400) ලියූ කැන්ටබරි කතාවලට නිර්මාණ ආභාසය ලැබිණ. ග්‍රීක මහා කාව්‍යවලින් හා රෝම නිර්මාණවලින් ආභාසය ලද විලියම් ශේක්ස්පියර් (1564 - 1616) වීනස් ඇන්ඩ් ඇඩෝනිස් නාට්‍ය, ඇතුළු මැක්බත්, මෙට්පස්ට් වැනි නාට්‍ය රචනා කළේය. ඒ අභාසය මඟින් ස්වතන්ත්‍ර නිර්මාණ කුසලතාවන්හි ප්‍රත්‍යුත්පාදන ලක්ෂණ දැකගත හැකිවිය.පැරණි ග්‍රීක රෝම හා භාරතීය නිර්මාණ මඟින් ලද නිර්මාණ ආභාසය ප්‍රතිචීන නිර්මාණයන් කෙරෙහි බලපෑම අනුව මහා නිර්මාණ සම්ප්‍රදායක් බිහිවීමට අඩිතාලම දැමිණ. එය මහාචාර්ය එෆ්.ආර්. ලීවිස් හඳුන්වන්නේ ඝ්‍රේට් ට්‍රඩිටිඔන් යනුවෙනි.

ග්‍රීක හා භාරතීය නිර්මාණ සම්ප්‍රදායයන් පිළිබඳ මට පළමුවරට කියැවීමට ලැබුණේ ජර්මන් ජාතික මහා විද්වතකු වන මැක්ස් මියුලර් ස්වකීය ධම්මපද පරිවර්තනයට ලියූ ප්‍රස්තාව මඟිනි. ප්‍රාචීනවාදය යන්නට සරිලන වඩාත් සුදුසු යෙදුම Orientalism බව පෙන්වා දී ඇත්තේ ද මියුලර්ය.නිර්මාණ සම්ප්‍රදායක, මහා සම්ප්‍රදායයන් මුල්බැස ගන්නේ කිනම් කාරණා අනුව ද යන්න විමසා බැලිය යුත්තේ ශාස්ත්‍රඥයින් විසිනි. අප රටේ එබඳු සම්ප්‍රදායන් බිහිවීම පිළිබඳ විමර්ශන ඉදිරිපත් කර ඇති අය අතරින් මුල් තැන ලැබෙන්නේ මූලිකව පස්දෙනකුටය. ඔවුන් නම් මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ආචාර්ය ආනන්ද කුමාරස්වාමි, මාර්ටින් වික්‍රමසිංහ සහ මුනිදාස කුමාරතුංග යන විද්වතුන්ය.

මහාචාර්ය සෙනරත් පරණවිතාන, සඳකඩපහණ පිළිබඳව ලියා ඇති සටහන මෙන්ම අන්‍ය බොහෝ පුරාවිද්‍යා සටහන් මඟින් ද පෙන්නුම් කරන්නට වෑයම් කරන්නේ ස්වදේශක මහා නිර්මාණ සම්ප්‍රදායක් තිබූ බවය. ඒ සම්බන්ධයෙන් පරණවිතානයෝ ඉතිහාසය, සම්භාව්‍ය පාලි හා සංස්කෘත කෘති, තුලනාත්මක අධ්‍යයන මූලාශ්‍ර ගුරු කොට ගනිති.මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝත් එබඳු කාර්යයක් ‘පබාවතී’ කෘතියට සපයන ලද ‘බෝසත් සර වැනුම්’ මඟින් ද සිංහල නවකතා ඉතිහාසය හා විචාරය මඟින් ද ‘ සාහිත්‍ය විද්‍යාව’ හා ‘කල්පනා ලෝකය’ මඟින් ද පෙන්වා ඇත. තවද සරච්චන්ද්‍රයෝ නිර්මාණශිල්පියකු වශයෙන් ජාතක පොතේ හා ජනශ්‍රැතියේ මූලාශ්‍ර ගණනාවක් ප්‍රත්‍යුත්පාදනය කරති. ඒවා අධ්‍යයනය කිරීමෙන් ස්වදේශිකමය මහා සම්ප්‍රදාය වැටහේ.ආචාර්ය ආනන්ද කුමාරස්වාමි, ස්වකීය මහා පරිවර්තන කෘතිය වන ‘මධ්‍ය කාලීන සිංහල කලා ශිල්ප ඇතුළු ඉංග්‍රිසියෙන්ලියන ලද කෘති ගණනාවකින් අප ප්‍රස්තුත කාරණය මැනවින් පෙන්වාදීමට වෑයම් කරයි. මහා නිර්මාණ සම්ප්‍රදායයක් තිබූ බවත් එය කෙමෙන් වාණිජ්‍යයටම යටවී යන අයුරුත් කුමාරස්වාමි උගතකු වශයෙන් සනාථ කරයි.

මාර්ටින් වික්‍රමසිංහ මහතා තම ‘විරාගය’ නවකතාව මඟින් ස්වදේශක මහා අධ්‍යයන සම්ප්‍රදාය ගමන් කළ යුතු ඉසව්ව අපට පෙන්වා දුනි. ඒ හැරුණුකොට වික්‍රමසිංහයෝ ජාතක කතාව හා ජනශ්‍රැතිය මඟින් මහා නිර්මාණ සම්ප්‍රදායක් බිහිකිරීමට ගත හැකි ආභාෂය සනිදර්ශිතව පෙන්වා ඇත. සම්මත ස්වදේශක උගතුන්ගේ අවධානය නිසි ලෙස කුමාරතුංගයන් කෙරෙහි යොමු නොවිණි. කුමාරතුංගයන් ස්වකීය ‘ප්‍රබන්ධ සංග්‍රහය’ හා ‘ප්‍රබන්ධෝපදේශය’ මඟින් ස්වදේශීය නිර්මාණ සම්ප්‍රදාය ගමන් ගත යුතු මඟ පෙන්වා දුන්හ. ඒ හැරුණු කොට කුමාරතුංග ලියූ ‘හත්පණ’, ‘මඟුල්කෑම’, හා ‘හීන්සැරය’ යන රසායන කෘතීන් දැනුදු නිසි ඇගයුමට ලක්වී නොපවතී.

වික්‍රමසිංහයන්ගේ මඩොල්දූව හා වි.ඩි.ද ලැනරෝල් ගේ ‘පාසල් සමය’ යන යොවුන් කෘතීන්ට වැඩි විකල්ප නිර්මාණ මඟකින් රසායන කෘතින් නිමවී පවතී. මිනිසා හා තිරිසන් සත්වයා, මිනිසා හා සොබාදහම, මිනිසාගේ නුවණක්කාරකම් හා අනුවණකම්, ගැඹුරු සමාජ විශ්ලේෂණයකට යොමු කිරීමට මඟ පෑදූ කෘති තුනකි ඒ. දැනුදු ඒවා ආපසු සොයා ගත යුතු නූතන ආඛ්‍යානවේදයට අන්තර්ගත කළ යුතුය. ස්වදේශක වශයෙන් මහා නිර්මාණ සම්ප්‍රදාය බිඳ වැටී පවතී. මැනවින් මුල්බැසගත් නිර්මාණ සම්ප්‍රදායක් කෙමෙන් මෙසමය වන විට බිඳ වැටී ඇත්තේ කෙසේද යන්න සමකාලීන කතිකාවකට අපූරු මැයක් විය හැකිය. ප්‍රතිචීන වාදී අනුකාරක ආඛ්‍යානයෙන් ලබන ආභාසය ප්‍රබල සාධකයක් විය හැකිය.

''මා තුළ ඇති යහපත් වූ හැම දෙයකට ම මම පොත්වලට ණය ගැති වෙමි. මනුෂ්‍යයන්ට වඩා කලාව ත්‍යාගවන්ත බව මම මගේ තරුණ කාලයේදී ම පසක් කළෙමි. මම පොත්වලට ආදරය කරන්නෙමි. හැම පොතක් ම මට පෙනෙන්නේ හාස්කමක් හැටියට ය. ගැඹුරු හැඟීම්වලින් හා ප්‍රීතිමත් උද්‍යෝගයෙන් යුතු ව මිස මට පොතක් ගැන කතා කළ නොහැකි ය.මා අතට පොතක් පත් වූ විට ජීවමාන දෙයක්, ආශ්චර්යවත් දෙයක්, මා අමතා කතා කළ හැකි දෙයක් මගේ අතට, මගේ ජීවිතයට ඇතුළු වූවාක් මෙන් දැනෙයි.''

- මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර-

''මේ ලෝකයේ ඇත්තා වූ සෑම දෙයකට ම වඩා සංකීර්ණ වූ, අද්භූත වූ, ආදරය කිරීමට ඉතා යෝග්‍ය වූ, මේ ලෝකයේ ආශ්චර්යය හා සුන්දරත්වය විසින් පොලඹවනු ලදුව හැම දෙයක් ම තම ශ්‍රමයෙන් හා කල්පනා ශක්තියෙන් නිර්මාණය කළ මිනිසා විසින් ම මිනිසා වෙනුවෙන් මිනිසා ගැන ලියන ලද අලුත් තෙස්තමේන්තුවක් වැන්න.''

- මැක්සිම් ගෝර්කි -

''පොත හැරීම මරණයට හේතුවෙක් නො වේ. එය හරිමු ද? එයට උත්තරයක් දෙන්නට පෙරැ, සැලැකියැ යුතු කරුණු කිහිපයෙක් වෙයි. මිනිසා ද තිරිසනා ද අතරැ ඇති වෙනස කිමෙක් ද? දෙ දෙන මැ අහර ගනිති; දෙ දෙන මැ කෙසේ නමුත් එය සපයා ගනිති; දෙ දෙන මැ පැන් බොති; දෙ‍ දෙන මැ නිඳති. ඉතින් කොහි ද ‍ද වෙනස? තිරිසනාට නුවණ වඩන ම‍ඟෙක් නැත්තේ යැ. මිනිසාට ඒ ඇත්තේ යැ. එය ‍හළ හොත් මිනිසා ද තිරිසනෙකි. මිනිස් බව රකිනා ඒ මඟැ හැරැ තිරිසනකු වීම මැනැවි ද? නො වේ මැ යි. එ හෙයින් නුවණ දෙන පොත ද මිනිසා විසින් නො හළ හැක්කේ මැ යැ.''

- කුමාරතුංග මුනිදාස - ප්‍රබන්ධ සංග්‍රහය 


ආචාර්යතුමා

Wednesday, 24 March 2021

බුදු දහම හා විශ්වය





බුදුරජාණන් වහන්සේ තේවිජ්ජ සූත‍්‍රයේ දී සර්වබලධාරී දෙවියෙකු ලොව මවන ලදැයි යන ඊශ්වරනිර්මාණවාදය ප‍්‍රතික්ෂේප කරයි. අග්ගඤ්ඤ සූත‍්‍රය අනුවත්, අංගුත්තර නිකායේ අසංඛෙයිය සූත්‍රරය අනුවත් විශ්වයට ඇත්තේ හැකිලෙන දිග හැරෙන දෝලන ස්වභාවයක් වන අතර එහි ආරම්භයක් හෝ අවසානයක් දැකගත නොහැකිය.


අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ඉන්ද්‍රිය වග්ගයේ අසංඛෙයිය සූත්‍රයේ සුත‍්‍රයේ විග්‍රහය අනුව විශ්වයේ මූලික යුග 4 කි. මෙම අනතඃකල්ප 4 හි එකතුව මහා කල්පයකි.


1. විවට්ඨ කප්ප – විශ්වය ප‍්‍රසාරණය වන කාලය.

2. විවට්ඨති කප්ප – විශ්වයේ ප‍්‍රසාරණය අවසන් වෙමින් නිශ්චිත තත්ත්වයක පවතින කාලය.

3. සංවට්ඨ කප්ප – විශ්වයේ හැකිලීම සිදු වන කාලය.

4. සංවට්ඨති කප්ප – විශ්වයේ හැකිලීම අවසන් වෙමින් නිශ්චිත ස්වභාවයක පවතින කාලය.


නවීන විද්‍යාවේ දියුණුව සමඟ දුරේක්ෂ නිර්මාණය වී විශ්වය හා එහි ස්වභාවය පිළිබඳව නිරීක්ෂණය කළ හැකි වීය. ඉතා බලවත් දුරේක්ෂයක් වූ හබල් දුරේක්ෂයෙන් විශ්වයේ ස්වභාවය නිරීක්ෂණය කරද්දී, විශ්වයේ ලෝක ධාතු එකින් එක කෙමෙන් කෙමෙන් ඈත් වෙමින් පවතින බැව් නිරීක්ෂණය කෙරුණි. ඒ අනුව විශ්වය ප‍්‍රසාරණය වෙමින් පවතින බවට වූ බුදු වදන සැබෑවක් බව අද ඔප්පු වී තිබේ. මෙම ප‍්‍රසාරණය පැහැදිලි කිරීමට නිර්මාණය කෙරුණු විද්‍යාත්මක උපන්‍යාසය වනාහි ස්ටීවන් හෝකින්ස් ඇතුළු භෞතික විද්‍යාඥයන් මඟින් වර්ධනය කෙරුණූ මහා පිපිරුම්වාදයයි. (ථෙ ඹිග් ඹන්ග් ථෙඔර්ය්)


විශ්වය ඈත අතීතයේදී සංයුක්ත පරමාණුවක් බවට පත්ව තිබී, එය පිපිරීමෙන් විශ්වයේ සම්භවය සිදු වූ බවට ඉන් පැවැසුණි. මෙහිලා මතුවූ අර්බුදය වනාහි මෑතක දී Hඉග්ග්ස් සහ ඹොසොම් ලෙස විද්‍යාඥයන් දෙපළකගේ නම් වලින් නම් කෙරුණු මෙම මුල් පරමාණුව, කෙසේ නිර්මාණය වූයේ ද? එය පුපුරා යෑමට මුල් හේතුව (ඵ්‍රිමෙ Mඔවෙර්) කුමක්වීද? යන්නයි.


දේවවාදීන් මෙහිලා පැවැසුවේ එය දෙවියන් වහන්සේගේ කාර්යයක් බවයි. ඊට පෙරලා විද්‍යාඥයන් පැවැසුවේ එම මුල් පරමාණුවේ සම්භවය ස්වාභාවික නීතීන්ගේ ක‍්‍රියාකාරීත්වයේම ප‍්‍රතිඵලයක් බවත්, ඇසට නොපෙනෙන භෞතික තල දෙකක ගැටීමෙන් එම පරමාණුව සම්භවය ලබා පුපුරා යන්නට ඇති බවත්ය.


මහා පිපිරුම්වාදයට විකල්ප ලෙස ඉදිරිපත් වූ දෝලනවාදී න්‍යායක් (ඇ තෙඔර්ය් ඔෆ් ඔස්cඉල්ලටිඔන්) වූ ඹිග් ඹොඋන්cඑ නම් න්‍යායයට අද භෞතික විද්‍යා ලෝකයේ විශාල පිළිගැනීමක් ලැබී ඇත. ඉන් කියැවෙන්නේ විශ්වයේ ඇත්තේ දෝලන ස්වභාවයක් බවයි. එනම් විශ්වය මහා පිපිරුමක ප‍්‍රතිඵලයක් ලෙස සකස් වී, ප‍්‍රසාරණය වී යද්දී, වසර බිලියන ගණනක ඇවෑමෙන් එම පිපිරුමේ බලය හීන වී ගොස්, ද්‍රව්‍යයන් අතර ගුරුත්වාකර්ශණ බලය ක‍්‍රියාත්මක වී විශ්වය හැකිළී යන බවය. එසේ හැකිළීමේ ක‍්‍රියාවලියේ යම් අවස්ථාවක ද්‍රව්‍ය වල සංයුක්තභාවය දරාගත නොහැකිව විශ්වය නැවත පිපිරී යන බවයි. මෙලෙස ඹිග් ඹන්ග් නම් මහා පිපිරුම හා ඹිග් Cරුන්ච් නම් වූ මහා හැකිළුම අතර කාලයන් තුළ විශ්වය පවතින බවයි. විශ්වයේ ආරම්භයක් නොමැති බවත්, ඇත්තේ පැවැත්මක් පමණක් බවත්, මෙම න්‍යායයෙන් කියැවේ. ඒ අනුව මෙම න්‍යාය අසංඛෙයිය සූත‍්‍රයේ බුදු වදන හා සමානුපාතික වේ.


තවද විශ්වයේ ලෝක ධාතූන්ගේ ඇති සංකීර්ණ ස්වභාවය බුදුරජාණන් වහන්සේ මනාව පැහැදිලි කොට දී තිබේ.


රෝහිතස්ස සූත‍්‍රයේදී බුදුරදුන් දේශනා කරන්නේ විශ්වය පරක් තෙරක් දැකිය නොහැකි අතිවිශාල එකක් බවයි.


සං.නි.1 අරුණාවතී සූත‍්‍රයේදී සිඛී බුදුරජාණන් වහන්සේගේ සමයෙහි අභිභූ නම් හිමි නමක් ”ආරභථ නික්ඛමථ” යන ගාථාව සහස්සී ලෝක ධාතුව සිසාරා, ඇසෙන සේ පැවසූ බව ආනන්ද හිමියන් සමඟ වරක් බුදුරජාණන් වහන්සේ පැවැසුහ. අංගුත්තර නිකායේ තික නිපාතයේ ආනන්ද වග්ගයේ අවසාන සූත‍්‍රය වූ චුලනිකා සූත‍්‍රයේදී, මේ පුවත සිහිකරමින් ආනන්ද හිමියන් මෙසේ ප‍්‍රශ්න කරති. ”අභිභූ හිමියන්ට එබඳු හැකියාවක් තිබුණා නම්, භාග්‍යවතුන්වහන්සේට කොපමණ දුරට ශබ්දය ඇසීමට සැලැස් විය හැකිද ?” මීට පිළිතුරු දෙන භාග්‍යවතුන්වහන්සේ, ආනන්ද හෙතෙම (අභිභූ හිමි) ශ‍්‍රාවකයෙකි. භාග්‍යවතුන් වහන්සේලාගේ හැකියාව ප‍්‍රමාණ කිරිමට නොහැකි වෙතියි පිළිතුරු දුන්හ.


එහෙත් ආනන්ද හිමියන් නැවත නැවත ප‍්‍රශ්න කළ බැවින් විශ්වයේ විපුලත්වය පිළිබඳ විවරණය කරමින් බුදුරජාණන්වහන්සේ මෙසේ පිලිතුරු දුන් සේක.


“ආනන්ද, යම්තාක් සඳ – හිරු දෙදෙනා හැසිරෙත් ද, සියලූ දිශාවන් බබළමින් ආලෝකමත් කෙරෙද්ද?, ඒ තාක් සක්වල සහස්සී ලෝක ධාතුවයි. ඒ සහස්සී ලෝක ධාතුවෙහි සඳ හිරු දහසකි. මේරු පර්වත දහසකි. දඹදිව් දහසකි. අපරගොයාන දහසකි. උතුරුකුරු දිවයින් දහසකි. පූර්ව විදේහ දහසකි. සිව්මහ සයුරු දහසකි. සිව්වරම් දිව්‍ය රජවරු දහසකි. චතුම්මහාරාජික දහසකි. නිර්මාණරති දිව්‍යලෝක දහසකි. පරනිම්මිත වසවත්ති දිව්‍යලෝක දහසකි. බඹලොව දහසකි. ආනන්ද මේ සහස්සී චුලනිකා නම් ලෝක ධාතුවයි. දහසින් ගුණ වූ චූලනිකා ලෝකධාතු යම්තාක් වේද ඒ තාක් ද්වි සහස්සි මජ්ඣිමා ලෝක ධාතුව වේ. ද්වී සහශ‍්‍රි මජ්ඣිමා ලෝක ධාතුව යම්තාක් වේද එය දහසින් ගුණ කළ කල්හි තිසහස්සී මහා සහස්සී ලෝක ධාතුවයි. ආනන්ද, මෙන්න මේ තිසහස්සී මහා සහස්සී ලෝක ධාතුව දක්වා භාග්‍යවතුන් වහන්සේට අවශ්‍ය නම් ආලෝක ධාරා යවා ඒ ඔස්සේ ශබ්දය යවා, පිටසක්වල ජීවීන්ට ධර්මය දේශනා කළ හැක්කේය.”


මෙම බුද්ධ දේශනාව දෙස මුල සිට අවධානය යොමු කිරීමේදී, පළමුව පැහැදිලි කරගත යුත්තේ සහස්සී ලෝකධාතුව දක්වා අප හිරු – සඳු හැසිරෙමින් ආලෝකය විහිදුවන්නේද? යන්නයි. හිරු සඳු (චන්ද සූරියෝ) ලෙස කෙටියෙන් හැඳින්වෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයම විය හැක. වර්තමාන විද්‍යාඥයින් සොයාගෙන ඇති ලෙස අපගේ සූර්යයා ඇතුළු සෞරග‍්‍රහ මණ්ඩලය ක්ෂීරපථ මන්දාකිණිය වටා ගමන් ගන්නා අතර, එම වටය සම්පූර්ණ කිරීමට ගතවන කාලය වසර මිලියන 230 කි. එම කාලය ඝලටිc ‍යේර් එකක් ලෙස හැඳින්වේ. මෙලෙස අප සූර්යයා ඇතුළු සෞරග‍්‍රහ මණ්ඩලය ක්ෂීරපථ මන්දාකිණියේ ජීවයට හිතවත් ප‍්‍රදේශය (ළිෆෙ හේල්ත්ය් ෆීල්ඩ්) හි වටයක් කරකැවෙද්දී, අප සූර්යයාගේ ආලෝකය තරුවක් ලෙස ක්ෂීරපථ මන්දාකිණියේ කෙළවර දක්වා විහිද යයි. එහෙයින් සහස්සි ලෝක ධාතුව ලෙස බුදුරජාණන් වහන්සේ හැඳින්වුයේ ක්ෂීරපථ මන්දාකිණිය බැව් අනුමාන කළ හැකිය.


මීළග ගැටළුව වන්නේ දඹදිව් – අපරගෝයාන – උතුරු කුරු දිවයින් – පූර්ව විදේහ හා මහාමේරු පර්වත යනු කුමන ඒවාද? අනෙක් ලෝකවලත් එබඳුම මහද්වීප පවතිද්ද ? යන්නයි. ‘


සූත‍්‍ර පිටකයෙන් හෙළිවන පුරාණ ලෝක විස්තරයේ කියැවෙන්නේ, මහා පෘථිවියෙහි මහාමේරු පර්වතය පිහිටා ඇති බවය. ඊට උතුරින් උතුරුකුරු දිවයිනත්, නැගෙනහිරින් පූර්ව විදේහයත්, දකුණින් දඹදිවත්, බස්නාහිරින් අපරගෝයානයත් පිහිටා ඇති බවයි.


වත්මන් විද්වතුන් විශ්වාස කරන්නේ මහාමේරු පර්වතය වනාහී ආක්ටික් මහා අයිස් කන්ද නොහොත් උත්තරධ‍්‍රැවය බවත්, ඒ වටා පිහිටි ඇමරිකා මහද්වීපය උතුරුකුරු දිවයින ලෙසත්, පූර්ව විදේහය ලෙස ඕස්ටේ‍්‍රලියා මහද්වීපයත්, දඹදිව ලෙස ඉන්දියාව ප‍්‍රමුඛ ආසියා – යුරෝපා මහද්වීපයත්, අපරගෝයානය ලෙස අප‍්‍රිකා මහද්වීපයත් අදහස් කළ බවය.


පළමුවන ධර්ම සංගායනාවේදී ධර්මය සූත‍්‍ර ලෙස සකස් කිරිමේදි සජ්ඣායනා කිරිමට පහසු ලෙස බුද්ධ දේශනා සකස් කෙරුණි. අනෙකුත් විශ්වයේ ලෝකවලද මෙලෙසම මහද්වීප පවතින බවට උක්ත දේශනාවෙන් පෙනෙන්නේ, එසේ අප ලෝකයේ මහද්වීප (ඓන්හබිටෙඩ් ර්‍එගිඔන්ස්) අනුවම යමින්, අනිත් ලෝකයන් ද ඊට ඇතුලත් කළ නිසා බව පැහැදිලිය. එය සජ්ඣායනාවට පහසු ලෙස සකස් කිරීමට ගොස් ඇති වූ දෝෂයක් බැව් පෙනේ.


මීළගට අවධානය යොමු කළ යුත්තේ, බුදුරජාණන්වහන්සේ ආලෝක ධාරා යවා, ඒ දිගේ ශබ්දය යවන බැව් ප‍්‍රකාශ කළේ මන්ද? යන්නයි. ඇතැම් විද්වතුන්ගේ අදහස වන්නේ, අප පෘථිවියේ වායුගෝලයෙන් එපිට ඇත්තේ රික්තයක් බවත්, එහි ශබ්දය ගමන් නොගන්නා බැව් බුදුරදුන් දැන සිටිය බවත්, ඒ අනුව ශබ්දය සන්නිවේදනයට නම් සිදු කළ යුත්තේ රික්තයේ ගමන් ගන්නා ආලෝකය හරහා ශබ්දය යැවීම බවත්, බුදුරදුන් දැන සිටි බවයි.


මේ සියල්ලටම අමතරව තවත් විස්මිත කරුණක් වනුයේ බුදුන්වහන්සේ පහත දේශනාව විශ්වයේ ඇති සුවිශේෂී සංසිද්ධියක් වන කලුකුහර සම්බන්ධයෙන් අනාවරණය කළාක් මෙන් පෙනී යාමය. එම දේශනාව මෙසේය.


අත්ථි, භික්ඛවෙ, ලොකන්තරිකා අඝා අසංවුතා අන්ධකාරා අන්ධකාරතිමිසා, යත්ථමිමෙසං චන්දිමසූරියානං එවංමහිද්ධිකානං එවං මහානුභාවානං ආභාය නානුභොන්තී’’ති.


“මහණෙනි, ලොකයන්ගෙන් අතරෙහිවූ වැස්මක් නැත්තාවූ අඳුරෙන් පිරී ගියාවූ මේ මහත් ඍද්ධි ඇත්තාවූ මහත් ආනුභාව ඇත්තාවූ චන්ද්‍ර සූර්‍ය්‍යයන්ගේ ආලෝකය නොවැටෙන්නාවූ ආකාශ කුහරයෝ ඇත්තාහ”


සංයුක්ත නිකාය, සච්ච සංයුක්තය , පපාත වර්ගය, ලෝකන්තරික සූත්‍රය.


මෙබඳු විශ්වය පිළිබඳ සුවිශේෂී කරුණු වසර දෙදහස් පන්සියයකට ඉහතදී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට, සංඝයා විසින් සූත්‍රගත කොට තිබීමෙන් පෙනී යන්නේ උන්වහන්සේ සතුව තිබූ “ලෝකවිදූ” ඥානයයි. උන්වහන්සේගේ විස්මිත ප්‍රඥාවට හා අනාවරණ ඥානයට මේවා සාක්ෂිය.






සමාජ සංස්ථාවන්ගේ ප්‍රභවය සහ පරිණාමය

 



මානව සමාජය තුළ විවිධ සමාජ සංස්ථාවන් පරිණාමයට පත් වූ ආකාරය පිළිබඳව කථාන්තර ස්වරූපයෙන් කරුණු ඉදිරිපත් කිරීම සෑම සමාජ දර්ශනයක ම පාහේ දක්නා ලැබෙන ලක්ෂණයකි. මෙම කථා ඉතිහ‍ාසඥයන් හා පුරා විද්‍යාඥයන් කරුණු දක්වන නිශ්චිත විද්‍යානුකූල ඓතිහාසික ස්වරූපය දරන්නේ නැත. හරියට ම අසවල් දින අසවල් පුද්ගලයන් අතර මෙසේ  සිදු වී යැයි සනාථ කර දැක්වීමට හැකි වන්නේ ඓතිහාසික කරුණු පමණි. මානව විද්‍යාඥයන් ශිෂ්ටාචාරයෙහි පරිණාමය සිදු වීම පිළිබඳ තම නිරීක්ෂණ දක්වන්නේ එබදු රටාවකින් නොව පුරාණ කථා (ම්ය්ත්) ආකෘතියෙනි. එබඳු පුරාණ කථා ඇත්ත හෝ බොරු වශයෙන් විග්‍රහ කරනු නො ලැබේ. අතීතය පිළිබඳව ලැබෙන සීමිත සාධක ඔස්සේ විචාරාක්ෂිය යොමු කරන චින්තකයන් ගේ සියුම් පරිකල්පන ශක්තිය දාර්ශනිකය. එහි තාර්කිකත්වය හා සත්‍යානුරූපී බව තහවුරු වන්නේ ඉතිහාසය ඇසුරෙන් ම නොවේ. එහෙයින් ම ඒවා ඉදිරිපත් කරන ස්වරූපය බොහෝ විට කථාරූපී බවක් ගනි යි. මානව සමාජයේ ආදීම අවස්ථාවෙහි මිනිසා ක්‍රියා කළ අන්දම හා ක්‍රමයෙන් මානව සමාජය සංකීර්ණ වූ ආකාරය පිළිබඳ මේ පුරාණ කථා තුළින් වැදගත් කරුණු උකහා ගැනීම මිස  කථාවේ අංගෝපාංග  සැබෑ දැයි විග්‍රහ කිරීම අනවශ්‍ය බව මානව විද්‍යාඥයෝ සිතති. මාක්ස්වාදීන් ආදිතාලීන සාමූහික සමාජය පිළිබඳව දක්වන පුරාණ කථාව මෙන්ම බුදුසමයෙහි එන අග්ගඤ්ඤ සූත්‍ර පුරාණ කථාව ද මෙ බඳු මානව විද්‍යානුකූල කරුණු ප්‍රකාශ කරන පුරාණ කථා ය.

බුදුදහම මිනිසාගේ හෝ සත්වයා ගේ සම්භවය පිළිබඳ විද්‍යාත්මක න්‍යායයක් ඉදිරිපත් නො කරන බව ප්‍රකට කරුණකි. ලෝකය ඉබේ ඇති වී ද, කවුරුන් විසින් හෝ මවන ලද ද, ප්‍රථම මිනිසා පහළ වූයේ කවරදා ද වැනි ප්‍රශ්න බුදු දහමේ විෂය කේෂත්‍රයට නො ගන්නා ලදී. මෙ බඳු අතීත ගවේෂණ කාර්යයන් බුදුරජාණන් වහන්සේ විසින් ඉවත ලන ලද්දේ එයින් මිනිසා ගේ  විමුක්තිය විෂයයෙහි කිසි ම ප්‍රයෝජනයක් නැති බැවිනි. බුදුරදුන් විසින් පෙන්වා දී ඇත්තේ මිනිසා සසර දුකට මැදි වී මහත් ව්‍යසනයක‍ට පත්ව සිටින හෙයින් , ඔහු එයින් විමුක්තිය ලබා ගත යුතු බවය. තමන් සසරට බැඳ තබන බැඳුම් මොනවාදැයි මැනවින්  දැන ගැනීම තුළින් ඔහුට විමුක්තිය ලබා ගැනීමේ ශක්තිය ලැබේ. චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධය මේ සඳහා හොඳට ම ප්‍රමාණවත්ය. එහෙයින් අනවශ්‍ය වූත් ඉන්ද්‍රීය ඥාන විෂයයෙන් ( ඉදුරන් මෙහෙයවා ප්‍රත්‍යක්ෂ කර ගත හැකි දැනුම් පථයෙන් ) පරිබාහිර වූත් කරුණු පිළිබඳ ගැටළු බුදු දහමෙහි “අව්‍යාකෘත” ලෙස ඉවත ලා ඇත.

එසේ නම් සමාජ සංස්ථාවන් ගේ  පරිණාමය ගැන ප්‍රවාදරූපී ව හෝ කථා කරන්නේ කුමට දැයි ප්‍රශ්නයක් මතු කළ හැකිය. සමාජ විකාශය පිළිබඳ ව කරුණු පුරාණයක් වශයෙන් හෝ කථා කිරීමෙන් ප්‍රයෝජනයක් තිබේද? එය මිනිසාගේ විමුක්තියට අදාල වන්නේ කෙසේ ද? ඒවා ගැන කථා නො කර විමුක්තිය ලද හැකිව තිබියදී ඒ පිළිබඳව සාකච්ඡා කරන්නේ කුමට ද? මීට ම අදාල ව නැගිය හැකි තවත් ප්‍රශ්නයක් නම් එම දුරාතීත සිද්ධීන් ගැන බුදුරද්න් ඉදිරිපත් කරන්නේ හුදු පරිකල්පනයන් ප්‍රබන්ධ කළ කථාවක් ද, නැතහොත් සර්වඥතා ඥානයෙන් දුටු යථාර්ථයක් ද යන්නයි. දෙවන ප්‍රශ්නයට මුලින් පිළිතුරු දීම වඩාත් යෝග්‍ය යැයිහැ‍ඟේ. සමාජ මානව විද්‍යාඥයන් හා දේශපාලන චින්තකයන් තම පුරාණ කථා ඉදිරිපත් කරන්නේ තමන් ලද විද්‍යානුකූල  ශීක්ෂණය හෝ තමන් පිළිගත් දේශපාලන න්‍යාය පදනම් කර ගත් තාර්කික පරිකල්පනය මගින් දක්නා යමක් බව සැබෑය. ( එසේ වූ පමණින් එම අදහස් වැදගත් කමින්  අඩු වන්නේ නැත. ) එහෙත් බුදුරදුන්ගේ නුවණට ගෝචර වන සත්‍යය ඊට වඩා යථාර්ථවත් වන්නේ සර්වඥතා ඥානයට දීර්ඝ අතීතය සම්මර්ශනය කිරීමේ ශක්තියක්  අන්තර්ගත නිසාය. බුදු වර‍යකුට සත්වයන් පිළිබඳ දීර්ඝ  අතීත ඉතිහාසය ආවර්ජනා‍ කිරීමේ කෞශල්‍යය ලැබේ. එමෙන් ම අනෙක් ධාතුක වූ මහා විශ්වය පිළිබඳව ද ප්‍රත්‍යක්ෂ ඥානයක් බුද්ධඥානයට අයත්ය. එහෙයින් සර්වඥයන් වහන්සේට පරිකල්පනයෙන් කරුණු ගොතන්නට  අනවශ්‍ය ය . එහෙත් ඒවා ශ්‍රාවකයනට දේශනා කිරීමේ දී උන්වහන්සේ ට කාලයට අනුරූප ව ( කාලවාදී ) ශ්‍රාවකයන් ගේ ආසය අනුසය විමසා ඔවුන්ගේ  අවබෝධ ශක්තියට ගැලපෙන පරිද්දෙන් දේශනා කිරීමට සිදුවෙයි. සාමාන්‍ය පෘථග්ජන අසන්නන්ට මානව ඉතිහාසය හා විශ්ව විකාශය පිළිබඳ කරුණු ග්‍රහණය කර ගැනීමට හැකියාව අඩු නම් , ඔවුනට හුරු පුරුදු පුරාණ කථා ආකෘතිය තුළට මානව විද්‍යාත්මක කරුණු ආරෝපණය කර දේශනා කිරීම අවශ්‍ය වෙයි. එහෙයින් සන්නිවේදන ශිල්පයෙහි ඇති සුක්ෂම කෞශල්‍යයෙන් අනූන  ව සිටි තථාගතයන් වහන්සේ විසින් තම ධර්මය ශාවක ජනයාට අනුරූප වෙමින්  භාරතීය ජනතාවට එවකට හුරුව පැවති ආකෘතියෙන් දේශනා කළ බව නිරතුරුව ම සිත්හි තබා ගත යුතු ය.  උන්වහන්සේ විසින් විශ්වය පිළිබඳ ව වදාළ කරුණු විද්‍යානුකූලව නිවැරැදි යයි මැනවින් සනාථ වී ඇති බව මෙහිදී සැළකිල්ලට ගැනීම ද වටි යි.

සමාජ පරිණාමය ගැන පුරාණ කථා ස්වරූපයෙන් හෝ කරුණු දක්වන්නේ කුමට ද, එයින් විමුක්තියට කවර උපයෝගිතාවක් තිබේ ද යන ප්‍රශ්නය ගැන දැන් අපේ සිත් යොමු කළ හැකිය. බුදු දහම මිනිසාගේ ආධ්‍යාත්මික විමුක්තිය ගැන මෙන්ම සමාජගත විමුක්තිය හෙවත් යහපත් සමාජයක් තුළ ප්‍රසන්න පරිසරයක ජීවත් වීමේ අවස්ථාව සලසා දීමගැන ද උනන්දු වන බව මෙහිදී කිව යුතුව තිබේ. වෙනත් වචන වලින් කියතොත් පුදුගලයාගේ සන්තානගත දුක මෙන්ම සමාජයේ සංස්ථාගත දුකද නිවාරණය කිරීම බුදුදහමෙහි අරමුණ වෙයි. එහෙයින් සමාජයෙහි පවත්නා ජාති- කුල භේද, වර්ගවාදී ගැටුම් , අපරාධ , අයුක්තිය, අසාධාරණය, දිළිඳුකම වැනි ගැටළු කෙරෙහි යම් ආලෝකයක් ලැබෙන ඉගැන්වීම් ද බුදු දහම තුළින් ඉදිරිපත් කර ඇත. සමාජ සංස්ථාවන් ගේ පරිණාමය පිළිබඳ පුරාණ කථාව ඉදිරිපත් කර ඇත්තේ ද පූර්වෝක්ත අතිශය වැදගත් අරමුණ සනාථ කර ගැනීමට මිස අසන්නට රසවත් කථා පුවතක් මඟින් විනෝදාස්වාදයක් සැපයීමට නොවේ. දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රයෙහි ආරම්භය මඟින් ම මෙය සනාථ කළ හැකිය. වාසෙට්ඨ හා භාරද්වාජ නම් උපතින් බ්‍රාහ්මණයන් වූ හිමි ‍ෙදනමක්  අමතා කර ඇති මෙම දෙසුම තුළින් මානව සමාජයේ සංස්ථාවන් සංකීර්ණ වූ ආකාරය පිළිබඳ කථා පුවත ඉදිරිපත් කර ඇත්තේ වර්ණ භේදය ( කුල , ජාති, ගොත්ත ආදී වචන වලින් ද හදුන්වා ඇති උපතින් මිනිසුන් උස් - පහත් වශයෙන් බෙදා දක්වන ක්‍රමය) පිළිබඳ දුර්මත නිරාකරණය කර චතුර් වර්ණයෙහි ජනයාගේ සාම්‍යය  තහවුරු කරණු පිණිසය.  එක් යුගයක දී කිසියම් කාලීන ප්‍රයෝජනයක් සඳහා ඇතිකර ගත් සම්මුතියක් කලකට පසු විකෘති වී මූලික අරමුණින් ඈත් වී යල් පැන ගිය හ‍ා අහිතකර සංස්ථාවක් බවට පත් වූ ආකාරය එයින් පැහැදිලි කර ඇත. එමෙන් ම නීතිය , රාජ්‍යය, බදු ක්‍රමය, දණ්ඩනය ආදී සංස්ථාවන් ගේ ද මූලික අරමුණු පහදා දීම තුළින් තත් කාලීන සමාජ සංස්ථාවන් වෙන මාර්ගෝපදේශයක්  සැපයීම ද එයින් ඉටු වෙයි. යම් යම් දේශපාලන හා සමාජ ආයතන වෙත එක එල්ලේ දැඩි විවේචන එල්ල කිරීම තුළින් සිදු කර ගත නොහැකි සංසෝධන හා සංස්කරණ මෙ බදු සියුම් හා මෘදු දාර්ශනික සන්නිවේදන උපාය මාර්ග මඟින් සාධනය කර ගත හැකි බව බුදුරජාණන් වහන්සේ ගේ දේශනාවලින් පෙනේ. උන්වහන්සේ ගේ මෙ බදු දේශන මඟින් තත් කාලීන සමාජ චින්තනයේ වෙනසක් සිදු වූ බව පසු කාලීන බ්‍රාහ්මණ ආගමික ලේඛන පවා කුල භේදය හා රාජ්‍යය වැනි විෂය පිළිබඳ ව  කරුණු දැක්වීමේ දී පෙරට වඩා මෘදු වූත් හිතකර වූත් ස්වරූපයෙන් කරුණු දැක්වීමට පෙළඹීමෙන් පෙනේ. එහෙයින් බුදුරදුන් සමාජ සජස්ථාවන් ගේ ක්‍රම  විකාශය පිළිබඳව වදාළ දේශන ඉතා වැදගත් සමාජ කාර්යය භාරයක් අරමුණු කරගත් අර්ථ සම්පන්න දේශන බව කිව යුතුව තිබේ.


අග්ගඥ සූත්‍රය මෙම ප්‍රස්තුතය පිළිබඳ ප්‍රධානතම මූලාශය හෙයින් ඒ පිළිබඳ ව  විධිමත් ව සාකච්ඡා කිරීම අවශ්‍ය ය. දීඝ නිකායෙහි එන මෙම සූත්‍රය බෞද්ධ සමාජ දර්ශනයෙහි මූලික සංකල්ප රාශියක් ඉතා රමණීය ආකෘතියකින් ඉදිරිපත් කරන දේශනයකි. මහාචාර්යය කේ. එන්. ජයතිලක මෙම සූත්‍රයෙහි ප්‍රධාන තේමා තුනක් දකියි.


 වර්ණ භේද සංකල්පය උපකාරී කර ගනිමින් බ්‍රාහ්මණයන් විසින් තමන් අන් අයට වඩා උසස් බව කියා ගැනීමෙහි සාවද්‍ය බව හෙළි කිරීම.

පොළොවෙහි ක්‍රම විකාශය දැක්වීම


මානව ස්වභාවයෙහි ඇතිවන වෙනස්කම් හා භෞතික ආර්ථික සාධකයන්හි ඇතිවන වෙනස්කම් සදාචාර සංකල්පවලට බලපාන ආකාරය හෙළි කිරීම.

මේ කරුණු විවරණය කරන ආකෘතියෙහි  ඇති තවත් සුවිශෙෂ වැදගත් කමක් නම් අතීතයෙහි පැවති යම් යම් ව්‍යවහාර වර්තමානය දක්වා පැවත ඒමේ දී මූලික පැරණි ස්වරූපය අමතක කර බාහිර රූපය විසින් පමණක් පුරාණ දෙය ( පෝරාණං අග්ගඤ්ඤං අකඛරං) පැවති ඇති අයුරු පෙන්වා දීමය. මෙය මානව විද්‍යාඥයන් වත්මනෙහි බල්ලන් කවර තැනක නින්දට යතත් වට තුනක් කැරකී නින්දට යාම පිළිබඳ ව ඔවුන් වනචාරී සත්වයන් ලෙස ජීවත් වූ යුගයෙහි කළ ක්‍රියාවක් දිගට ම අනුකරණාත්මක ව පවත්වා ගෙන ඒමක් සේ කරන විග්‍රහයට සම කළ හැකිය. අග්ගඥ සූත්‍රය එබඳු කරුණු හතක් මුල්කරගෙන අතීතය පිළිබඳ සමාලෝචනයක යෙදෙයි. 


අහෝ රසං, අහෝ රසං ( අනේ රසයි, අනේ රසයි.)

අහු වත නෝ , අහායි වත නෝ. ( අපිට තිබුණා, නැති වුණා)

වධුයා තිබ්බුයහමානාය ...... පංසුං ඛීපන්ති , සෙට්ඨිං ඛීපන්ති , ගොමයං ඛීපනති ( මනාලියක කැදවා ලගන යන විට පස් , ගල් කැට, ගොම ආදියෙන් දමා ගසති. )

මහා සම්මත, ඛත්තිය , රාජා. (ක්ෂත්‍රීය)

බ්‍රාහ්මණ , කඣායක, අජ්ඣායක. (බ්‍රාහ්මණ)

වෙස්ස ( වෛශ්‍ය)

සුද්ද ( ශුද්‍ර)


මෙම සමාලොචනය කරනු ලබන්නේ පූර්වෝක්ත තේමාවන් මුල් කරගනිමින් වර්ථමාන සමාජයට අතිශයින් වැදගත් සමාජ දේශපාලන හා ආර්ථික විචක්ෂණයක් ලබා දීම සඳහා ය. වර්ථමාන කුල භේදය වැරදි අරමුණක් සඳහා යොදාගත් දෙයක් බව එයින් පැහැදිලි කර දෙයි. පැරණි යුගයේ කුල භේදය එක්තරා ප්‍රායෝගික හේතු කීපයක් නිසා කාලීන ව ඇති කර ගත් සම්මුතියක් වශයෙන් එකලට අර්, සම්පන්නව තිබුනත් දැන් එහි අර්ථ සම්පන්න බව ගිලිහී ඇති බව මැනවින් පහදා දී ඇත. එමෙන් ම රජ පදවිය මහජනතාව විසින් පොදු සම්මුතියක් මත ප්‍රජාත්‍රාන්ත්‍රික ලෙස ඇතිකරගත් දෙයක් බව ද ගම්‍ය වෙයි. එය වැදගත් වන්නේ තත්කාලීන රජවරුන්ට තමන් ජනතාවට වග කිවයුතු බව එමගින් සිහිපත් කර දෙන හෙයිනි. 

අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වෙන කතා පුවත ඇරඹෙන්නේ ලෝකය විවට්ටමාන යුගයට පිවිසීමත් සමඟය. බෞද්ධ ලෝක විභාගයේ දැක්වෙන්නේ අප ජීවත්වන ලෝකය වරින් වර සංවට්ටනය ( හැකිලීම ) හා විවට්ටනය ( විකසනය) වන බවය. ලෝකය නම් විශ්වයයි. බුදුරදුන් දුටු විශ්වය වුලනිතා ලෝකධාතුව මජ්ඣිමකා ලෝක ධාතුව හා මහා ලෝක ධාතුව වශයෙන් තුනකට බෙදේ.  වුලනිතා ලෝකධාතුව මෙයින් කුඩාම ඒකකයයි. එහි අප වසන සෞරග්‍රහ මණ්ඩලය බදු සෞරග්‍රහ මණ්ඩල රාශියක් අන්තර්ගත ය. නූතන විද්‍යාත්මක ව්‍යවහාරය හා සම කර බලන්නේ නම් එය ගැලැක්සියකට සම කළ හැක. එබදු වුලනිතා ලෝක ධාතු සමූහයකින් මජ්ඣිමකා ලෝක ධාතුවක් සෑදේ. එය ගැලැක්සි පොකුරක් හා සමානය. එබදු මජ්ඣිමකා ලෝක ධාතු රැසක් එක් වී මහා ලෝක ධාතුව තැනී ඇත. මෙම ලෝක ධාතුවෙහි සංවට්ටමාන යුගය එහි ස්වභාවය මුළුමනින් ම විකෘ.කරන්නකි. එබදු යුගයක දී පෘථිවියේ සත්ව ජීවිතය අපහසුයි. සත්වයෝ ආභස්සර කායික ව ( සූක්ෂම ස්වරූපයකින් ) රැකී සිට විවට්ටමාන යුගය පටන් ගත් විට පෘථිවියට එති. පෘථිවිය එකම ජල ගෝලයක් මෙන් අඳුරෙහි දිගු කලක් පවති යි.  මෙහි වාසයට එන සත්වයා අහසෙහි හැසිරෙන්නට සමත් මනෝමය සිරුරින් යුත් , ප්‍රීතිය ආහාර කරගෙන ජීවත් වන සිරුරින් ආලෝකයක් විහිදුවන ජීවීහු වෙති.මෙසේ කලක් ගත වූ පසු දිය මත රස තලය හෙවත් වර්ණවත් රසවත් සුවඳ පොළෝ තලයක් සැකසෙයි. මේ මිහිරි පෘථිවිය දක්නා එක් සත්වයෙක් ස්වකීය ලොල් බව ( ආශාව ) නිසා පොළොවේ ඇඟිල්ල හා රස බලයි. ඔහුට එය රසවත් ව මිහිරිව දැනීමෙන් ඒ කෙරහි තෘෂ්ණාව උපදියි. අනිකුත් සත්ත්වයෝ ද එය රස විදිති. හැම දෙනා ම ඊට ගිජු ව අනුභව කරන්නට පටන් ගනිති. මෙහි ප්‍රතිඵලය වන්‍න් ඔවුන්ගේ ශරීරවල ප්‍රභාව අතුරුදහන් වීමයි. ඉන් පසු ඔවුන් ආලෝකය දකින්නේ හිරු - සඳු ඇසුරෙනි. මෙසේ දිගු කලක් රස පොළොව අනුභව කරන සත්ත්වයන් ගේ ශරීර ක්‍රමයෙන් ගොරෝසු විය. සමහරුන් තුළ වර්ණවත් බව හා සමහරුන් තුළ දුර්වර්ණ බව ඇතිවිය. ඔවුනතුරෙන් වඩා පැහැපත් සිරුරු ඇත්තෝ පැහැපත් බවින් ඌන වූවන් හෙළා දක්නට පටන් ගත්හ. මෙම මානය හෙතුවෙන් රස පොළෙ‍ාව අතුරුදහන් විය. ( පොළොවේ රසය නැති විය. ) එවිට මිනිස්සු තමන් කලින් අනුභව කළ රස පොළොව මතක් කරමින් “අනේ රසයි, අනේ රසයි” යනුවෙන් සිහි කරන්නේ එම පැරණි වහර මතු කරමිනි. එය මතක් කළ ද අරුත නො දනිති.

අනතුරුව ඔවුන්ගේ ප්‍රයෝජනය පිණිස “ පප්පටක” නම් බිම් හතු වර්ගයක් පහළ විය. එය ද ඉතා වර්ණවත් සුවදැති රසවත් ආහාරයක් වූයෙන් සත්ත්වයෝ එය අනුභව කරමින් කලක් විසූ හ. එහෙත් එහි ප්‍රතිඵය වූයේ ඔවුන්ගේ ශරීර වඩාත් ගොරෝසු වීමයි. පැහැපත් - දුර්වර්ණ වෙනස් කම් ද වැඩිවිණි. පැහැපත් වූවෝ මානාධික ව පැහැපත් නොවූවන් හෙළා දුටූ හ.   මෙම වර්ණ මානය නිසා භූමි පප්පටක ද අතුරුදහන් විය.

ඉන් පසු බද්‍රලතා නම් රසවත් වැල් වර්ගයක් පහල වූයෙන් සත්වයෝ එය අනුභව කරන්නට පටන් ගත් හ. එයින් ද වූයේ වර්ණ භේද වැඩි වීමයි. එයින් මානය වර්ධනය කර ගත් පැහැපත් වූවන් ගේ නො මනා මානය නිසා එය ද අතුරුදහන් විය. එයින් තැවුලට පත් සත්ත්වයෝ එක් රැස්ව සාකච්ඡා කළහ. “ අපට තිබුන දේ නැති වුණා” යි ඔවුහු දුක් වූහ. වත්මන් මිනිස්සු ද යමක් තිබී නැති වූ විට “අපට තිබුණ දේ නැති වුණා” යි දොම්නස් වෙති. එහෙත් එහි ආදි නිදානය නො දනිති.   

අනතුරුව පොතු ( දහයියා ) නැතිව පැසෙන පිරිසිදු සුවඳ ඇල් හාල් වර්ගයක් ඇති විය. ඒ සුවඳ සහල් උදේ කපා ගත් විට සවසට යළි වැවෙයි. ඉවර නොවෙයි. හිඟ නොවෙයි. එය අනුභව කරමින් සත්ත්වයෝ බොහෝ කලක් සුවසේ විසූ හ. එහි ප්‍රතිඵල ලෙස ශරීර වඩ වඩාත් රළු වූවා මෙන් ම ස්ත්‍රී හා පුරුෂ වශ‍ෙයන් ලිංග භේදය ද ප්‍රකට විය. මෙසේ ස්ත්‍රී පුරුෂ දෙවර්ගය වෙන වෙන ම පැහැදිලි වූ පසු ස්ත්‍රී පුරුෂයෝ ඔවුනොවුන් දෙස බොහෝ වේලා බලා සිටින්නට පටන් ගත්හ. එයින් ඔවුන්ගේ සිත් තුළ රාගය ඇති විය. ඔවුහු මෛථුන සේවනයෙහි යෙදුණා හ.  මේ කවර විදියේ හැසිරීමක් දැයි නො දත් අය “ සත්ත්වයෙක් තවත් සත්ත්වයෙකුට මෙ බදු දෙයක් කරන්නේ කෙසේ දැයි” විමසමින් පස්, ගොම ආදියෙන් දමා ගැසූ හ. නිග්‍රහ කළහ. අද වුව ද මනාලියක ගෙන යන විට ඇතැම් සමාජවල  මෙසේ පස් , ගල්කැට, ගොම ආදියෙන් දමා ගසති. එහෙත් එම ක්‍රියාවෙහි ආදි අරුත නො දනිති. පසුව සත්ත්වයෝ එබදු ක්‍රියාවක යෙදෙන අය වෙනුවෙන් වෙන ම පිළිවෙතක් යෙදූ හ. එනම් මසක් දෙකක් ගම මැදට පිවිසෙන්නට ඉඩ නො තබා කොන් කිරීමයි. මේ දඩුවමින් මිදී ලිංගික හැසිරීම් වල යෙදෙනු කැමැත්තෝ රහසිගත ව එය ඉටුකරගනු පිණිස ගෙවල් තනා ගත්හ.

මේ අතර එක් අලස පුද්ගලයෙක් වේලෙන් වේලට හැල් කපා ගෙන ඒම කරදරයක් සේ සිතා දෙතුන් වේලකට එක වර කපා ගෙනවුත් ගබඩා කර ගත්තේ ය. මෙය දුටු අන්‍යයෝ ද එසේ කරන්නට පටන් ගත් හ. ඔවුන් මෙසේ රැස් කර  ගබඩා කර ගැනීම ( සන්ධිකරණය ) ඇරඹූ පසු සහල්වල දහයියා හා කුඩු ඇතිවිණි. කැපූ තැන වැවීම ද අඩු විය. තැන තැන පාළු වී ගියේ ය.

මෙයින් දොම්නසට පත් ඔවුහු රැස්ව කතිකා කර සහල් කෙත් බෙදා මායිම් ගසා ගත්හ. එහෙත් එක් තෘෂ්ණාධික පුද්ගලයෙක් තම කොටස පරෙස්සම් කර ගෙන අනුන්ගේ කෙතින් හැල් කපා ගත්තේ ය. ඔහු අල්ලාගෙන තර්ජනය කළ නමුත් දෙවන තෙවන වරට ද එසේ කළ හෙයින් අතින් පයින් හා පොලුවලින් ද පහර දෙන්නට සිදු විය.

මේ තත්වය යටතේ මිනිසුන්ට නැවත රැස්ව කතා කරන්නට සිදු විය. මෙය ඔවුන් සාමූහික ව රැස් ව සාකච්ඡා කළ තුන්වන වතාවයි. “ අප අතර පාපී හැසිරීම් හෙවත් අපරාධ නැති වී තිබේ. නුදුන් දේ ගැනීම, ගැරහීම , බොරු කීම , දඬු මුගුරු ( ආයුධ වශයෙන් ) භාවිත කිරීම යන වැරදි වැඩ අප අතර පහළ වී ඇති හෙයින් හෙළා දැකිය යුත්තන් හෙළා දැක, ගැරහිය යුත්තන්ට ගරහා, පිටුවාහල්  කළ යුත්තන් පිටුවාහල් කරන්නට සමත් එක් සත්වයකු තෝරා ගනිමු. ( සම්මත කර ගනිමු.) අපි ඔහුට අපේ හැල් අස්වැන්නෙන් කොටසක් දෙමු.” යි කතිකා කර ගත් හ. ඒ අනුව ඔවුහු අභිරූපී දර්ශනීයතර , සිත් පහදන සුළු, මහේශාක්‍ය පෙනුමක් ඇති පුද්ගලයෙකු තෝරා ඔහුට පූර්වෝක්ත කාර්යය පැවරූහ. මහජනතාව ගේ සම්මතයෙන් පත් වූ හෙයින් මහා සම්මත යන නමද  කෙත් වතුවලට අධිපති ව ඒවායේ නිසි පරිහරණය සහතික කරන්නා හෙයින් ඛත්තීය යන නම ද ධර්මයෙන් අනුන්ගේ සිත් රංජනය ( සතුටු කිරීම) කරන හෙයින් “රාජා” යන නම ද මේ පුද්ගලයාට  යෙදිණි. දැන් මේ වචන ක්ෂත්‍රීයයන් අරබයා යොදන නමුත් එහි මුල් අරුත් අමතක ව ගොස් ඇති බව බුදුරදහු පෙන්වා දුන් හ. එසේ වුවද ඒවා යෙදි ය යුත්තේ ඒ පැරණි අයට ම සම, එම ධර්මය ම අනුගමනය කරන සුදුසු ම අයට මිස නුසුදුස්සන්ට නොවන බව ද උන්වහන්සේ අවධාරණය කළ හ.    

අනතුරු ව එම සත්ත්වයන් අතුරින් එක්තරා පිරිසක් “ අප අතර පාපී හැසිරීම් ඇති වී තිබේ. අපි ඒ පවුකම් බැහැර කළ යුත්තෝ වෙමු.” යි සිතූහ. පවු බැහැර කරන්නෝ යන අරුතින් බ්‍රාහ්මණ නම් වූ ඔවුහු වනගත ව කොළ අතුවලින් පන්සල් ඉදි කර ගෙන දිනපතා ගම් නියම් ගම් වැද පිඬු සිඟා වළඳමින් යළි වනයට පිවිසෙමින් භාවනා කිරීමේ යෙදුණ හ. භාවනා හෙවත් ධ්‍යාන වඩන හෙයින් ඔවුහු ‘ඣායක’ නම් වූහ. ඔවුනතුරෙන් සමහරු  හරි හැටි භාවනා කරන්නට අසමත් ව යළි ගම් නියම් ගම් වාසයට අවුත් පතපොත ලියමින් හදාරමින් වසන්නට පටන් ගත්හ. “ඣායනය” හෙවත් භාවනාව අත්හළ නිසා ‘අජ්ඣායක’ යන නම ඔවුනට යෙදිණි. එකල අජ්ඣායකත්වය ( භාවනාව වෙනුවට අධ්‍යනය තෝරා ගැනීම ) එතරම් වැදගත් පිළිවෙතක් නො වීය.   බුද්ධ කාලය වන විට  එය ගෞරවනීය වු බව සූත්‍රයෙහි කියැවේ. මෙම ව්‍යවහාරයන්ගේ  ද නිසි අරුත් අමතක ව ගොස් ප්‍රඥප්ති වශයෙන් බුද්ධ කාලයෙහි ව්‍යවහාර වූ බව පෙන්වා දී ඇත.

මේ අතර විවාහ වී අඹු දරු පෝෂණය කරමින් විවිධ කර්මාන්තවල නිරත වූ පිරිස් ‘වෛශ්‍ය’ නමින් හඳුන්වන ලදී. අතපය දැඩි සේ වෙහෙසමින් ගොරෝසු  රළු රැකියාවල නිරත වූ සුළු ජනයා ‘ශුද්‍ර’ නමින් හැදින්විණි. මෙ සියළු වහර එකල විශේෂ අර්ථ අරබයා යොදා ගත් නිසා ඒවා එබදු අර්ථවත් පරිසරයක මිස නොයෙදිය යුතු බව පැහැදිලි ය. මේ කවර වර්ගයකට වෘත්තීය හා සමාජගත කාර්යයක නිරත වූ අයකු වුව ද ගිහිගෙයින් නික්ම ශ්‍රමණයන් බවට පත් වුවහොත් සියළු පෙර නම් ගොත් වෙනස් වී ‘ශ්‍රමණ’  නමින් හැදින්වෙයි. ගිහිගෙයි වසමින් සුසි‍රිතෙහි හැසිරෙන කවුරුන් වුව ද සුගතියෙහි ඉපදෙන අතර  දුසිරිතෙහි හැසිරෙන කවුරුන් වුව ද   සුගතියෙහි ඉපැදීම ස්වභාවය යි.

මේ දැක්වූයේ සමාජ විකාශය පිළිබඳ අග්ගඤ්ඥ සූත්‍රයෙහි ඉදිරිපත් වන පුරාණයයි. එය නූකන මානව  විද්‍යානුකූල නිරීක්ෂණ හා සමගාමී වැදගත්කමක් දරන්නේ මානව ශිෂ්ටාචාරයෙහි ආර්ථික දේශපාලන සංස්ථාවන් ගේ පරිණාමය පිළිබඳ යථාර්ථවාදී රීතියකින් මූලික නැඹුරුවීම් ( උපනතින් ) පිළිබඳ පිළිගත හැකි විවරණයක් ඉදිරිපත් කරන නිසාත් , ඊශ්වර නිර්මාණය වැනි අධිභෞතික සංකල්පවලින් තොරව කරුණු ඉදිරිපත් කරන නිසාත ය. එමෙන් ම දේශපාලන බලය මහජනතාව තුළින් මතුවන්නක් බව අතිශය ප්‍රජාත්‍රාන්ත්‍රික ස්වරූපයකින් දක්වන අතර සියළු සමාජ සංස්ථා සුනම්‍ය හා ප්‍රායෝගික බව ද එයින් ගම්‍යමාන වෙයි.

මූලික මිනිස් ස්වභාවයන් වූ තෘෂ්ණාව ( ලෝල ජාතිකත්වය ) අනුකරණය (දිට්ඨානුගති) සහ අලසකම සමාජ පරිණාමයෙහි ලා ක්‍රියාත්මක වූ ආකාරය මෙම පුරාණයෙන් සිත් ගන්නා සුළු අයුරින් දක්වා තිබේ. මිනිසා සදාචාරය අතින් පිරිහෙන විට සොබා දහම ඔහුට දැක් වූ දයාන්විත දායකත්වය හීනව ගිය බව ද ජීවිතය වඩ වඩා කර්කශ වූ බව මේ සූත්‍රය පැහැදිලි කරයි.

මෙම සූත්‍රය මගින් දේපල අයිතිය , රාජ්‍ය පාලනය, බදු ක්‍රමය, අධිකරණය වැනි සංස්ථා මෙන් ම පවුල් ජීවිතය සංවිධානය වූ ආකාරය ද යථාර්ථවාදී ලෙස විවරණය වෙයි. ලිංගික හැසිරීම් හේතුවෙන් ස්ත්‍රී පුරුෂනයට සහවාසය සඳහා ගෘහයක් අවශ්‍ය වූ බව කියැවේ. පවුල් ඒකක වශයෙන් සමාජය සංවිධානය වූ පසු පෞද්ගලිකත්වය වර්ධනය විය. සොරකම හා ආයුධ භාවිතය පැතිර ගියේ මෙම පෞද්ගලික අයිතිය පිළිබඳ සංකල්පයේ වර්ධනය සමගය.

බුදු දහම අධි‍ෙභෟතික සංකල්පය ප්‍රතික්ෂේප කරමින් ප්‍රතිත්‍ය සමුත්පාදයට අනුව සියලු සංසිද්ධීන් පිළිබඳ හේතු - ඵල  විග්‍රහය යෙදෙ යි. යථාර්ථවාදී චින්තනයක් ඉදිරිපත් කරයි. එහෙයින් සමාජ සංස්ථාවන් ගේ විකාශය පිළිබඳ  මෙම පුරාණ කථාව ද ඓතිහාසික වාර්ථාගත  නියාමයන් පැහැදිලි කරන ස්වරූපයෙන් ඉදිරිපත් වන්නක් බව කිව යුතුය. අප එහි කතා පුවතට වඩා එයින් ධ්වනිත වන නියාම ධර්මයන් පිළිබඳව අවධානය යොමු කරන්නේ නම් බුදු දහමේ ගැබ්වන මානව විද්‍යාත්මක පරිඥානය පිළිබඳ ව වඩාත් නිවැරදි ඇගයුමක් කර ගන්නට හැකි වෙයි.

Friday, 5 February 2021

පර්යාලෝකය



පර්යාලෝකය යනු අප ඉදිරියේ ඇති දර්ශනය අප දකින ආකාරයයි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි.  එය සදහා දෘෂ්ටිකෝණය, දැක්ම, දෘෂ්ටිය, ආකල්පය, කෝණය, විමසුම, රේඛීය ඉදිරිදර්ශනය, දර්ශනය, පරිදර්ශනය, සන්දර්භය සහ අපේක්ෂාව වැනි ඉදිරි දර්ශන වැනි පද ද අපට යොදා ගත හැකිය.

උදාහරණයක් ලෙස සෙල්ලම්බඩු දරුවන්ගේ මනස දූෂණය කරන්නේයැයි ඔබ සිතන්නේනම් සෙල්ලම් බඩු අලෙවි සාප්පුවක් ද නපුරු ස්ථානයකි. මෙය සරල උදාහරණයක් පමණි.

පරියාලෝකය සාදා ගන්නේ අපගේ ඥාණ ව්‍යුහයන් ඇසුරිණි. මෙම ඥාණ ව්‍යුහයන් සාදා ගැනීම සදහා ආධාරවන උපකරණ හෝ මෙවලම් නම් ඒ සදහා අප මෙහෙයවන කැමැත්තක් හෝ ලැදියාවක් අවශ්‍යය. එම උපකරණ අපගේ කුසලතා හෝ සමත්කම්ය. 

තවත් උදාහරණයක් -  පෘථිවිය පිළිබදව ඉගෙනීමට අවශ්‍යයැයි සිතමු ඒ සදහා අපට නොයෙක් ආකාරයේ ක්‍රියාකාරකම් සිදු කළ හැකිය. එනම් විශාල ගසකට නැග අවට පරිසරය නරඹා පෘථිවිය යනු මෙවන් ස්ථානයකැයි අදහසක් ගත හැක. එමෙන්ම විශාල කුළුණක් ඉහළට නැග පෘථිවිය නිරීක්ෂණය කර පෘථිවිය යනු මෙවන් ස්ථානයකැයි පැවසිය හැක. එමෙන්ම විශාල නගරයක සිට නිරීක්ෂණය කිරීමෙන් පෘථිවිය යනු මෙවන් ස්ථානයකැයි ඔබට පැවසිය හැකිය.   මෙලෙස විවිධාකාරයෙන්  පෘථිවිය නිරීක්ෂණය කිරීම තුළින් පෘථිවිය සම්බන්ධයෙන් ඔබට  පර්යාලෝකයක් ඔබට සාදා ගත හැක.

මෙම සෑම පර්යාලෝකයක් ම පෘථිවිය පිළිබද එකිනෙකට වෙනස් අදහසක් ඔබට ගෙන එයි.  මේ පිළිබදව නොයෙක් ගැටළු ඇති උවත් එයින් ප්‍රයෝජනයක් නැත.  පෘථිවිය පිළිබද පැහැදිලි චිත්‍රයක් සාදා ගැනීමට ඔබට අවශ්‍යනම් ඔබ කළ යුත්තේ එවැනි නිරීක්ෂණ රාශියක් සිදුකර පෘථිවිය සම්බන්ධව ඔබගේ පර්යාලෝකයන් පළල් කර ගැනීමයි.

Wednesday, 3 February 2021

දෘශ්‍ය සංස්කෘතික ප‍්‍රාග්ධනයේ ක‍්‍රියාකාරීත්වය හා රූපවාහිනී මාධ්‍ය දෘශ්‍ය දූෂණය



සංක්ෂේපය: අද්‍යතන තොරතුරු ශිෂ්ඨාචාරය (Information Society) තුළ රූපවාහිනී මාධ්‍ය ගෝලීය කර්මාන්තයක් වශයෙන් ලබා ඇති සිරස් හා තිරස් වර්ධනයත් සමග එහි ආවේනික ශඛ්‍යතාවන් මගින් පේ‍්‍රක්ෂකයා කෙරෙහි සුවිසාල බලපෑමක් සිදුකරමින් තිබේ. 

මේරි බා ස`දහන් කරන පරිදි (Marie Barr Ann, 1997) දේශපාලන, වාණිජ, වෙළ`ද හෝ වෙනත් ප‍්‍රාග්ධන අවශ්‍යතාවන් අනුව රූපවාහිනිය මගින් ප‍්‍රතිනිර්මාණය කරනු ලබන අතථ්‍ය දෘශ්‍ය සංරචනය මගින් පේ‍්‍රක්ෂකයා තුළ ප‍්‍රබල සමාජ මනෝවිද්‍යාත්මක මෙහෙයවීමක් (Socio-Psychological Manipulation) සිදුකරයි. 

රූපවාහිනී මාධ්‍ය මඟින් අද්‍යතන සමාජ විඥානයේ සියලූම ක්‍ෂේත‍්‍ර වේගයෙන් මාධ්‍යකරණය කරන අතර මේ මගින් දැඩි සංස්කෘතික හා සාමාජීය බලපෑම් ඇතිකරනු ලබයි. පශ්චාත් නූතන චින්තකයෙකු වන ෂොන් බව්ඩි‍්‍රලාඞ්ගේ අදහස වන්නේ (Baudrillard, 1998) ඉහත පරිදි ධනේෂ්වර ක‍්‍රමය මඟින් අතිවිශාල වශයෙන් නිෂ්පාදනය කොට අද්‍යතන මාධ්‍ය භාවිතයෙන් යථාර්ථයක් ලෙස හුවා දක්වනු ලබන දෘශ්‍ය රූපය හුදෙක්ම බොල්, ආභාසන රූපයක් (Simulacrum) වන බවයි. 

රූපවාහිනී පේ‍්‍රක්ෂකයා සහ පවුල සර්වව්‍යාපී වශයෙන් මෙම ආභාසන රූපය සමග සම්බන්ධතා පවත්වයි. ඒ තුළ කලාත්මක වැඩසටහන් සහ යථාර්ථය යන දෙකම සාර්වර්ති‍්‍රක ආභාසන රූපයක් (Universal Simulacrum) දක්වා විතැන්වී ඇත. නිරූපණය සහ යථාර්ථය (Representation and Reality) අතර වෙනස පුළුල් වූ කල්හි ආභාසන රූපය බිහිවන බව ඔහුගේ මතයයි. එනම් දෘශ්‍ය සංඥාව හා එමඟින් සංකේතවත් කරන බාහිර ලෝකයේ යථාර්ථය අතර වෙනස මෙහි දී අවධාරණය කරයි. මෙයට අනුව සිනමාවේ මෙන් නොවූවත් සාපේක්ෂ වශයෙන් රූපවාහිනිය මඟින් සිදුකරනු ලබන පේ‍්‍රක්ෂාව (Spectrum) තැනීමේ කලාත්මක ව්‍යායාමය ව්‍යාජ යථාර්ථයක් මවන තත්වයට පත්ව තිබේ. 

මෙය රූපවාහිනී මාධ්‍යයේ නෛසර්ගික ලක්ෂණයක් ද, වන අතර ඒ තුළ දක්නට ඇති උග‍්‍ර පාරභෞතික ස්වරූපය ම`ගින් මෙම ගැටළුව තවදුරටත් උග‍්‍ර කරමින් ධනේෂ්වරයේ තෙවන කාර්තුවේ දෘශ්‍ය රූපයේ අර්බුදය සහ ස්වභාවය ලෙස ඉදිරිපත් වේ. මෙය එම මාධ්‍යයේ දූෂණය ලෙස හ`දුනාගත හැකිය. රූපවාහිනී නාලිකා මගින් විකාශය වන ප‍්‍රවෘත්ති වාර්තාකරණය, ටෙලිනාට්‍ය, වෙළ`ද ප‍්‍රචාරණ දැන්වීම්, රියලිටි වැඩසටහන් මෙන්ම වෙනත් බොහෝ වැඩසටහන්වල ව්‍යාජ, අතථ්‍ය ආඛ්‍යානවල මෙහෙයවීම නිසා පේ‍්‍රක්ෂකයාගේ චර්යාව, සාමාජීය සම්බන්ධතා අයහපත් ආකාරයෙන් වෙනසකට ලක් කරන හා තෝරා ගැනීමට ඇති නිදහස සම්බන්ධව සහ හබමාස් දක්වන පරිදි (Habermass 1962, translated by Burger, 1989) සෑම පුද්ගලයෙකුටම තම අදහස් සාකච්ඡුා කළ හැකි පොදු අවකාශය භාවිතා කිරීම පිළිබ`ද පුද්ගලයාගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතිය උල්ලංඝනය කරන හා පොදු අවකාශය පෞද්ගලීකරණය කර ඇති රූපවාහිනී මාධ්‍යයේ අතථ්‍ය, දූෂිත දෘශ්‍ය භාවිතය පිළිබ`දව මේ මගින් අධ්‍යයනය කෙරේ. 

අද්‍යතන සමාජ ආර්ථික ක‍්‍රමයේ විවිධ අවශ්‍යතා මත එවැනි දෘශ්‍ය ආඛ්‍යාන ගොඩනැංවීම තුළ එය අතථ්‍ය ප‍්‍රතිනිර්මාණයක් බවට පත්වී තිබීමත්, ඒ ම`ගින් පේ‍්‍රක්ෂකයා සංකීර්ණ අයුරින් මතවාදී මෙහෙයවීමකට ලක් කිරීම හා සාමාජීය බලපෑමක් සිදුවීමත් නිසා එම ප‍්‍රතිනිර්මාණිත දෘශ්‍ය දූෂිත දෘශ්‍ය ප‍්‍රකාශනයක් බවට පත්වී ඇත. ඒ අනුව තොරතුරු ප‍්‍රචාරණය හැරුණවිට සාපේක්ෂ වශයෙන් ශ‍්‍රී ලාංකේය රූපවාහිනියේ වඩා වැඩි මෙහෙයවීමක් සහිත වැඩසටහන් ලෙස නිරීක්ෂණය වන ටෙලිනාට්‍ය හා ප‍්‍රචාරණ දැන්වීම් මගින් සාමාජීය වශයෙන් සිදුකරන බලපෑම පිළිබ`දව මූලික වශයෙන් අවධානය යොමු කරමින් මෙම පර්යේෂණාත්මක අධ්‍යයනය සිදුකර ඇත.

Key Words: දෘශ්‍ය දූෂණය, ආභාසන රූපය, මෙහෙයවීම, චර්යාව, ජනමතය, දෘශ්‍ය සංඥාර්ථ, මාධ්‍ය සාක්ෂරතාව, පොදු අවකාශය

දෘශ්‍ය සන්නිවේදනය, එහි ප‍්‍රබලත්වය සහ බලපෑම

මානවයාගේ දෘශ්‍ය සම`ග බැ`දි සම්බන්ධතාව ප‍්‍රාග් ඓතිහාසික වන නිසාම ඒ මගින් විවිධ සමාජ අවධීන්වල ජීවත්වූ මානවයා කෙරෙහි සිදුකර ඇති බලපෑම ද, සුවිසාලය. එම දෘශ්‍ය පරිණාමීය විකාශයේ අද්‍යතන සංකීර්ණ භාවිතය තුළ රූපවාහිනී මාධ්‍යයේ දෘශ්‍ය ප‍්‍රතිනිර්මාණය අතථ්‍ය ආඛ්‍යානයක් බවට පත්වී ඇති අතරම ඒ මගින් නිරන්තරයෙන් පේ‍්‍රක්ෂකයා අරමුණු සහගතව මෙහෙයවීමකට ලක්කරනු ලැබ තිබේ. 

මානවයා ද්‍රව්‍යමය ලෝකය සමග අනිවාර්ය සම්බන්ධතා පවත්වන ආකාරයටම යථාර්ථය ප‍්‍රතිනිර්මාණය කිරීමේදී රූපවාහිනී මාධ්‍යය ද, ස්වභාව ධර්මය සමග සුවිශේෂ සම්බන්ධතාවක් පවත්වයි. මිනිසා ද්‍රව්‍යමය ලෝකය සමග සහ සොබාදහම සමග අන්තර් ක‍්‍රියාවෙහි යෙදෙත්ම ද්‍රව්‍යමය ලෝකය නිරන්තරයෙන්ම ඔහු මතද, ඔහුගේ චිත්තවේග, විඥාණය සහ අභිමතය මත ද, විවිධ මට්ටමේ හා ස්වරූපයේ බලපෑම් ඇතිකරයි. ඒ නිසා විඥානයේ බිහිවීම පමණක් නොව එහි අන්තර්ගතය ද, ද්‍රව්‍ය මත රඳා පවතී. ඒ මිනිසාගේ සියලූ දැනුම අවට ලෝකයෙන් ව්‍යුත්පන්නව ඇති බැවිනි. එය මානවයාගේ ඉන්ද්‍රියන්, ස්නායූ, චින්තනය පමණක් නොව සමස්ත පැවැත්ම ද, තීරණය කිරීමට තරම් බලවත් වේ. රූපවාහිනී මාධ්‍ය මගින් සිදුකරන්නේ එම භෞතික ලෝකයේ ඇති ද්‍රව්‍ය ප‍්‍රතිනිර්මාණය කිරීමක් වන අතර එහි අද්‍යතන භාවිතය තුළ ප‍්‍රබල ප‍්‍රකාශන ශක්තිියකින් යුක්ත දූෂිත දෘශ්‍ය ගොඩනැංවීම මගින් ග‍්‍රාහකයා සංකීර්ණ ලෙස මෙහෙයවමින් ප‍්‍රබල සාමාජීය බලපෑමක් ද, සිදුකරනු ලබයි.

මානවයාගේ ඓතිහාසික පරිණාමීය සංක‍්‍රාන්තියේ සුවිශේෂ අංගයක් වූ සන්නිවේදන විතැන්වීම පිළිබ`ද විශ්ලේෂණයට අනුව මුල්ම මානවයා සතුව වාචික, සංවිධිත භාෂාත්මක සන්නිවේදනයක් සිදු නොවූ අතර තම මූලික සන්නිවේදන අවශ්‍යතාවලදී භෞතික පරිසරය හා සම්බන්ධ සියලූ තත්ත්වයන් සහ සිදුවීම් සංජානනය කරගනු ලැබුවේ දෘශ්‍ය භාවිත කරමින් බව පැහැදිලි වේ. වසර සිය ගණනක් තිස්සේ විවාදයක් පැවතුන ද; ස්වැන්ස්ටන් (Michae Swanston) විග‍්‍රහ කරන පරිදි (Swanston, 2001) සමස්තයක් වශයෙන් මානව සංජානන ක‍්‍රියාවලිය විෂයමූලික පාරිසරික ද්‍රව්‍ය පදනම් කරගෙන සකස්වී ඇති බව පැහැදිලි වේ. 

ප‍්‍රාථමික මානවයා නිර්වාචික සන්නිවේදනයෙහි යෙදුන කාලයේ දී තම විවිධ අත්දැකීම් ප‍්‍රකාශයට පත්කර තිබුනේ විවිධ ඉ`ගි, අභිනයන් සහ චිත‍්‍ර වැනි දෘශ්‍ය පදනම් කරගත් මාධ්‍ය භාවිතයෙනි. මූලික වශයෙන්ම මානව සන්නිවේදන අවශ්‍යතාවලදී භෞතිකය සංජානනය කර ගැනීමේ මාධ්‍යයක් වශයෙන් ද, දෘශ්‍ය ප‍්‍රබල ලෙස භාවිතාකර ඇත. මානව චින්තනයේ සියලූම ක‍්‍රියාකාරිත්වයන්වල පදනම ඉඳුරාම භෞතික පරිසරයේ ඇති දෘශ්‍ය ප‍්‍රකාශන වන බවත්, වර්තමාන දෘශ්‍ය තාක්ෂණික මාධ්‍ය වන සිනමාව සහ රූපවාහිනී මාධ්‍යයේ දෘශ්‍ය භාවිතය තුළ පමණක් නොව ප‍්‍රාග් මානව ඉතිහාසය තුළ පවා ඉතා ප‍්‍රබල ලෙස රූපය විධිමත් සන්නිවේදන මාධ්‍යයක් ලෙස භාවිත කොට ඇති බවත්, මේ අනුව පැහැදිලි වේ. පරිණාමීය ක‍්‍රියාවලිය තුළ සොබාදහමේ සිට ක‍්‍රමයෙන් ශිෂ්ටත්වයට පත්වන්නාවූ මානවයා මූලික වශයෙන් බාහිර පරිසරය දෘශ්‍ය මඟින් සංජානනය කරගැනීමත්, එම දෘශ්‍ය ආශ‍්‍රයෙන් සංයුක්ත චින්තනය වර්ධනය වීමත්, පසු කාලීනව සංවිධිත භාෂාව ඇතිවීමට අදාළ පරිසරය සකස්වීම මඟින් ව්‍යුක්ත චින්තනය බිහිවීමට ද, අදාළ පදනම සකස්වී තිබේ. දෘශ්‍ය මාධ්‍යයේ ප‍්‍රබලත්වය සහ මානවයා සමඟ එහි ඇති දැඩි සම්බන්ධතාව මේ අනුව පැහැදිලි වේ.

මේ අනුව මානවයාට දර්ශනයවන සියලූම දෘශ්‍ය ඔහුගේ චින්තනය, විඥානය (Consciousness) හැඩගැස්වීම ස`දහා සෘජු දායකත්වයක් දක්වන ආකාරය දැකිය හැකිය. යම් භෞතික වස්තුවක් හ`දුනාගැනීම සඳහා දෘශ්‍ය ක‍්‍රියාකාරීත්වය අත්‍යවශ්‍යවන අතර උපතින්ම අන්ධ අයෙකුට එය නිශ්චිතව අර්ථකථනය කරගැනීමට නොහැකි වන්නේ මේ පදනම මතය. චිත‍්‍ර ශිල්පියෙකු අන්ධ පුද්ගලයෙක් සමග කරන දෙබසක් යොදාගෙන පිංතූරයක් (Picture) යනු කුමක්ද යන්න පිළිබඳව කලා ඉතිහාසඥ ලියෝ ස්ටෙයින්බර්ග් (Leo Steinberg) විසින් කර ඇති පර්යේෂණයක් ආශ‍්‍රයෙන් ලෝප්ස් විග‍්‍රහ කරන ආකාරයට (Lopes, 1997) පැහැදිලි වන්නේ එම පුද්ගලයාට නිශ්චිත ලෙස භෞතික ද්‍රව්‍යමය ලෝකය හ`දුනාගැනීමට නොහැකි වී ඇති බවයි. ඒ අනුව යථාර්ථය පසක්කර ගැනීමේදී දෘශ්‍ය මාධ්‍ය කෙතරම් අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ ද, යන්න ඒ මගින් පැහැදිලි වේ.

මානවයාගේ පැවැත්ම කෙරෙහි සෘජු ලෙසම සම්බන්ධ වන ශාරීරික ඉන්ද්‍රියන් මඟින් පාරිභෝජනය කරන ජලය, පස, වාතය, ශබ්දය ආදී පරිසරයෙහි ඇති විවිධ ක්ෂේත‍්‍රයන් මිනිසාගේම මැදිහත්වීම නිසා දූෂණයට ලක්වී ඇති ආකාරයටම රූපවාහිනී මාධ්‍යයේ දෘශ්‍ය ප‍්‍රතිනිර්මාණය මගින් අන්තර්වර්ත‍්‍රීයව මෙන්ම සාමාජීය වශයෙන් දෘශ්‍ය දූෂණයක් ද, සිදුවී ඇත. අද්‍යතන රූපවාහිනී මාධ්‍ය භාවිතය මඟින් සමාජ විඥානයේ සියලූම ක්‍ෂේත‍්‍ර වේගයෙන් ජනමාධ්‍යකරණය කෙරේ. 

මෙහිදී රූපවාහිනී මාධ්‍යයේ තියුණු ශක්‍යතාවන් සූක්‍ෂමව භාවිත කරනු ලබන අතර සමාජ විශ්වාසයන් හා චර්යාවන් පිළිබඳ ජනතාවට බහුවිධ ප‍්‍රමිතීන් ද, සපයමින් දැඩි සංස්කෘතික හා සාමාජීය බලපෑම් ඇති කෙරේ. මූලික වශයෙන්ම ධනවාදී සමාජ ආර්ථික ක‍්‍රමය, තරඟකාරී සමාජ රටාව, ජනපි‍්‍රය සංස්කෘතිය හා පශ්චාත්නූතන තත්වය (Postmodern Condition) වැනි සමාජ ප‍්‍රවනතා සමග ගෘහ නිර්මාණ ශිල්පය, නාගරික ඉදිකිරීම් ක්ෂේත‍්‍රය තුළින් වර්ධනයවූ තරඟකාරී හා සංකීර්ණ දෘශ්‍යමය ගොඩනැංවීම් වර්තමානය වන විට දියුණු සන්නිවේදන මාධ්‍යයක් වන රූපවාහිනී මාධ්‍යයේ හේමාල රූපය (Simulacrum) සහ එහි මතවාදය (Visual Ideology) දක්වා වර්ධනයවී ඇත. දෘශ්‍ය ප‍්‍රකාශනයේ පැවැත්මේ ආකාරය තාක්ෂණීකරණය, ජනමාධ්‍යවේදීකරණය වී ඇති අතර ඒ ම`ගින් විවිධ සමාජ මට්ටම් වලට අයත් පේ‍්‍රක්ෂකයා තුළ ප‍්‍රබල කම්පනයක් ඇති කිරීමේ හැකියාවක් නිර්මාණයවී ඇත. ඉහත විග‍්‍රහය පරිදි මානවයාට දර්ශනයවන සියලූම දෘශ්‍ය ඔහුගේ චින්තනය, විඥානය සහ චර්යාව(Behaviour) තීරණය කිරීමේ දාර්ශනික පසුබිම තුළ එම මාධ්‍ය මඟින් විකාශය කරනු ලබන දෘශ්‍යයෙහි ගුණාත්මකභාවය පිළිබඳව අවධානය යොමුකළ යුතුව ඇත.

60 දශකයේ දී හබමාස්ගේ පර්යේෂණ සාහිත්‍ය තුළ දක්නට ලැබූ පොදු අවකාශය පිළිබ`ද අදහස ආශ‍්‍රයෙන් මසූදා පෙන්වා දෙන ආකාරයට (Masuda, 1985) කාර්මික යුගයේ දී බහුතරයේ කැමැත්ත මත පිහිටුවාගනු ලැබූ පාර්ලිමේන්තු ක‍්‍රමය අද්‍යතන තොරතුරු සමාජය තුළ රටවැසියා දේශපාලන ක‍්‍රියාවලියට සෘජු ලෙස දායක වන සහභාගී ප‍්‍රජාතන්ත‍්‍රවාදය දක්වා පරිවර්තනය වී ඇත. මේ අනුව පොදුජනයාට සමාජ ක‍්‍රියාකාරීත්වයට, පාලනයට සෘජු ලෙසම දායක විය හැකි අතර පොදුජන ව්‍යාපාර සමාජ වෙනසක් ඇතිකිරීම ස`දහා දායක වන ප‍්‍රධාන බලවේගය බවට පත්ව ඇති බවත්, මේ ස`දහා මූලික ප‍්‍රවේශය සපයනු ලබන්නේ අද්‍යතන තොරතුරු ශිෂ්ඨාචාරයේ සක‍්‍රීය මාධ්‍ය වන බවත්, ඔහුගේ තර්කය වේ.

වහබ් පෙන්වාදෙන පරිදි (Wahab, 2009) රූපවාහිනී මාධ්‍ය නූතන සමාජය තුළ විවිධ ගැටළු පිළිබ`ද පොදුජන කතිකාවක් නිර්මාණය කිරීමට උත්තේජනයක් ලබාදෙන අවකාශමය මණ්ඩපයක් (Spatial Forum&) ලෙස ඉදිරිපත් වේ. ප‍්‍රජාතන්ත‍්‍රීය ක‍්‍රියාවලියට අත්‍යවශ්‍ය වන්නා වූ සමාජයේ විවිධ ගැටලූ සම්බන්ධ පොදුජන සාකච්ඡුාව පිළිබ`ද මාධ්‍යයක් හා මණ්ඩපයක් වශයෙන් සියලූ දෙනාට පොදු අවකාශයෙහි සමාන අවස්ථාවක් හිමිවීම සහ තනි පුද්ගලයන්ට ඔවුනොවුන් අතර අදහස් සන්නිවේදනයට, හුවමාරුවට (Negotiate), සන්ධානයට (Articulate) සුවිශේෂ අවස්ථාවක් අද්‍යතන රූපවාහිනිය ම`ගින් හිමිවනු ඇතැයි හබමාස් අපේක්ෂා කළ ද, (Habermas 1962; translated by Burger 1989) වර්තමානයේ එය ඉටු නොවන තත්වයක් නිර්මාණයවී තිබේ. ඇඩර්නෝ සහ හොක්හීමර්ස්ට අනුව (Adorno and Hokheimer 1944; translated in 1993) අද්‍යතන මාධ්‍ය ම`ගින් පාරිභෝගිකයා සහ කර්මාන්ත අතර දැඩි බැ`දීමක් (Bond) ඇතිකරනු ලබන අතර මෙම වෙළ`දපොළ ක‍්‍රියාකාරීත්වය මගින් ලබන ලාභාංශ කර්මාන්ත හිමිකරුවන් අතට පත්වන බව පැහැදිලි කරයි. සංස්කෘතික වටිනාකම් හා නිෂ්පාදනයක් දැන්වීම් ස`දහා සූක්ෂමව යොදාගත යුතු ආකාරය පිළිබ`දව ඔවුන්ට මනා වැටහීමක් ඇත. 

සංස්කෘතික කර්මාන්තය හා වෙළ`ද ප‍්‍රචාරණය තාක්ෂණිකව මෙන්ම ආර්ථිකමය වශයෙන් ඒකාබද්ධ (Merge) වීමත් සමග හබමාස් අදහස් කළ පොදු අවකාශය පෙර නොවූ පරිදි පෞද්ගලීකරණයට ලක්වී ඇති අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ගුවන් කාලයෙන් වැඩි කොටසක් වෙළ`ද ප‍්‍රචාරණය ස`දහා වෙන් කරන ආකාරය දැකිය හැකි වේ. එමෙන්ම ශ‍්‍රී ලාංකේය සමාජයට අදාළව විග‍්‍රහ කිරීමේ දී පැහැදිලි වන්නේ වාණිජ ප‍්‍රාග්ධනයට අමතරව දේශපාලන ප‍්‍රාග්ධනයේ මෙහෙයවීම අනුව ද, වැඩි ගුවන් කාලයක් භාවිතා කරන ආකාරයයි. මේ අනුව හබමාස් අදහස් කළ පරිදි පොදු අවකාශය පොදුජනයාගේ සාකච්ඡුා මණ්ඩපයක් වශයෙන් ක‍්‍රියා කරනු වෙනුවට වෙනත් සමාජ අවශ්‍යතා ස`දහා භාවිතා කරන මණ්ඩපයක් බවට පත්ව තිබේ. වර්තමානය වනවිට ගෝලීය වශයෙන් ධනේශ්වර ක‍්‍රමයේ බහුවිධ ප‍්‍රචාරණ හා මතවාදී අවශ්‍යතා ඉටුකර ගැනීම ස`දහා අරමුණු සහගතව රූපවාහිනී මාධ්‍යයේ දෘශ්‍ය ප‍්‍රතිනිර්මාණය සිදුකරන බැවින් වර්තමානයේ එය සාර්වර්ත‍්‍රික ආභාසන රූපයක් බවට පත්ව තිබේ. එම සන්දර්භය තුළ සමාජ යථාර්ථය පරාවර්තනය නොකරන්නාවූ රූපවාහිනී මාධ්‍ය මගින් ප‍්‍රතිනිර්මාණිත බොහෝ දෘශ්‍ය, දූෂිත දෘශ්‍ය ලෙස හ`දුනා ගනු ලැබිය හැකි අතර ශ‍්‍රී ලාංකේය රූපවාහිනිය මගින් විකාශය කරන එවැනි දූෂිත දෘශ්‍ය මගින් සිදුවන සාමාජීය බලපෑම පිළිබ`දව දේශීය පේ‍්‍රක්ෂකයාගේ මතය පිළිබ`දව සිදුකළ සමීක්ෂණයේ ප‍්‍රතිචාර අනුව එය තවදුරටත් තහවුරු වනු ඇත.

රූපවාහිනී මාධ්‍යයේ දෘශ්‍ය දූෂණය නැමති යෙදුම මීට පෙර භාවිතාකර නොතිබුණ ද, එහි ආඛ්‍යාන මගින් සිදුවන සාමාජීය බලපෑම පිළිබ`දව විවිධ අධ්‍යයනයන් සිදුවී ඇත. පරිසරයේ විවිධ අංශවලට අදාළව පළමුව දූෂණය ද, දෙවනුව එම දූෂණය ම`ගින් බලපෑමක් ද, සිදුවන ආකාරය පර්යේෂණ ම`ගින් සොයාගෙන ඇති ආකාරයටම රූපවාහිනී මාධ්‍ය ම`ගින් විකාශය කරනු ලබන අතථ්‍ය දෘශ්‍ය ආඛ්‍යාන ම`ගින් අරමුණු සහගතව පේ‍්‍රක්ෂකයා මෙහෙයවීම සහ එය පොදුජන පේ‍්‍රක්ෂකයාගේ සමස්ත යහපැවැත්ම (Overall Well Being) ස`දහා බාධකයක් බවට පත්වී තිබීම නිසා පළමුව දෘශ්‍ය දූෂණයක් සිදුවන බවත්, ඒ ම`ගින් ග‍්‍රාහක චර්යාව කෙරෙහි බලපෑමක් සිදුවන බවත්, මෙම පර්යේෂණයේදී හ`දුනාගෙන ඇත. තාක්ෂණය හා විද්‍යුත් මාධ්‍ය සතුව සුවිශේෂ බලයක් ඇති බව සහ ඒ ම`ගින් සමාජය තුළ පුළුල් සංශෝධන සිදුවීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් මෙතෙක් ජනමාධ්‍යවේදය, මතවාදය ආදී විෂය ක්ෂේත‍්‍ර පිළිබඳව අප තුළ පැවැති සම්භාව්‍ය හෝ ඓතිහාසික ප‍්‍රජානනික සීමා ප‍්‍රසාරණය වී නව මානයන් අප අබියස විවෘතව ඇති අතරම එහි දෘශ්‍ය ආඛ්‍යානයේ ඇති ප‍්‍රබලත්වය පිළිබ`දව පේ‍්‍රක්ෂකයා තුළ ප‍්‍රමාණවත් අවබෝධයක් දක්නට නෙැමැති වීමේ ගැටළුව ද, මතුවී ඇත. අතීතයට සාපේක්ෂව එම විෂයන් තුළ ප‍්‍රදර්ශනය නොකළ ගුණ, ශෛලීන්, ගති ලක්ෂණ හා ස්වභාවයන්් මතුවෙමින් පවතී. රූපවාහිනී මාධ්‍ය ප‍්‍රමුඛ නව විද්‍යුත් තාක්ෂණික මධ්‍යවල වර්ධනය තුළ සිදුවූ විශේෂ ලක්ෂණයක් වන්නේ කාලය හා අවකාශය ජයගැනීමේ හැකියාවයි. තාක්ෂණයේ ඇතිවූ පුළුල් වර්ධනය නිසා දේශසීමා පවා අතික‍්‍රමණය කිරීමටත්, කාලය පිළිබඳව තිබූ සීමාවන් ලිහිිල්් වීමටත් පටන්ගැණින. මෙයට අදාළව මැක්ලූහන් හා කොන්ටින් (McLuhan and Quentin 1967) මාධ්‍යයම සන්දේශය වේ යන ග‍්‍රන්ථයේ විග‍්‍රහ කරන ආකාරයට කාලය හා අවකාශය සම්බන්ධයෙන් මෙතෙක් පැවති සීමාවන් සංශෝධනය වෙමින් එය බහු සම්බන්ධතාවන් සහිත තත්වයකට පත්කරන්නේය.

විද්‍යුත් මාධ්‍යයේ බලය කෙතරම්ද යන්න විග‍්‍රහ කරන මැක්ලූහන් සඳහන් කරන්නේ (McLuhan 1970) රූපවාහිනිය නිසා ලිඛිත භාෂාවන් ද, තුරන් වෙන බවයි. මේ අනුව මුද්‍රිත මාධ්‍ය සම්පූර්ණයෙන්ම අහෝසිවී යන බවත්, රූපවාහිනිය ප‍්‍රධාන විද්‍යුත් මාධ්‍ය මඟින් ප‍්‍රජා සමාජයේ වූ ජනශ‍්‍රැතිය හා සම්බන්ධ ප‍්‍රාථමික සංස්කෘතිය ප‍්‍රතිනිෂ්පාදනය වන බවත්, ප‍්‍රකාශ කරයි. කලා නිර්මාණ හා පරිසරය අතර වෙනස ද, මෙම තර්කය අනුව අහෝසිවී යන අතර නව විද්‍යුත් මාධ්‍ය වර්ධනය ‘මිනිසා සහ ස්වභාව ධර්මය අතර සම්බන්ධතා ඇතිකරන්නක් වශයෙන් නොව මාධ්‍ය සමස්තයක් ලෙසම සොබාදහම වශයෙන් විශ්වාස කර ඇත. රූපවාහිනී මාධ්‍ය පිළිබ`ද විවිධ අධ්‍යයනයන් සිදුකර ඇති මැක්ලූහන් විසින් (McLuhan 1970) 1970 දශකය වන තෙක් ඔහු දැරූ ස්ථාවරයෙන් වෙනස්වී සංස්කෘතිය වෙළඳපොල අවශ්‍යතාවන් සඳහා යොදාගත යුතු බව අවධාරණය කරයි. එහිදී රූපවාහිනී මාධ්‍යයේ වෙළඳ ප‍්‍රචාරණය සාධාරණීකරණය කිරීමේ ප‍්‍රවේශයකට අවතීර්ණ වෙමින්, සමස්තයක් වශයෙන් ව්‍යාපාරයන්හි දියුණුව සඳහා මාධ්‍ය ඔස්සේ සංස්කෘතිය භාවිත කළ යුතු ආකාරය පිළිබඳව නව ප‍්‍රවේශයක් ලබාගෙන ඇත. ඔහුට අනුව කලාව ද, සමකාලීන වාණිජ සමාජයේ ක‍්‍රියාකාරීත්වයට අනුව ක‍්‍රියාත්මක වන ව්‍යාපාරික ස්වරූපයක් වේ. ‘ශ‍්‍රව්‍ය දෘශ්‍ය රූපවාහිනී සංස්කෘතික ව්‍යුහයන් මඟින් සෑම පුද්ගලයෙකු සඳහාම පැවැරී ඇති කාර්යයන් ඉටුකරනු ඇත. මැක්ලූහන්ගේ අදහසේ හැටියට එම ව්‍යුහයන් සත්තාවේ හා විඥානයේ විශ්ව නියාමයන්ගේ ක්ෂේත‍්‍රයට ඇතුලත් කළ හැකිය. ජනමාධ්‍ය තාක්ෂණයේ වර්ධනය මගින් මාධ්‍ය අන්තර්ගතයට වඩා ග‍්‍රාහකත්වය කෙරෙහි ප‍්‍රබල සාමාජීය බලපෑමක් සිදුකරනු ලැබේ. ජනමාධ්‍ය විචාරය පිළිබඳ මැක්ලූහන්ගේ න්‍යායන් සහ ක‍්‍රමවේදයන් කෙරෙහි වර්තමානය වනවිට විවිධ විවේචන එල්ල වෙමින් තිබුණ ද, රූපවාහිනී මාධ්‍යයට විශේෂිතව විද්‍යුත් මාධ්‍ය මඟින් ග‍්‍රාහකයා කෙරෙහි සිදුකළ හැකි බලපෑම අධි තක්සේරුව හැරෙන්්නට එහි ආභාසන රූපය තුළ විශාල බලයක් ඇති බව ඔහුගේ අධ්‍යයනයන් වලින් පැහැදිලි වේ.

පශ්චාත් නූතන චින්තකයෙකු වන බව්ඩි‍්‍රලාඞ් විග‍්‍රහ කරන ආකාරයට (Baudrillard 1998) ධනේෂ්වර ක‍්‍රමය මඟින් ඉහත පරිදි අතිවිශාල වශයෙන් නිෂ්පාදනය කොට යථාර්ථයක් ලෙස හුවා දක්වනු ලබන දෘශ්‍ය රූපය හුදෙක්ම බොල්, ආභාසන (Simulacrum) රූපයකි. අද්‍යතන රූපවාහිනී පේ‍්‍රක්ෂකයා සහ පවුල සර්වව්‍යාපී වශයෙන් මෙම ආභාසන රූපය සමග සම්බන්ධතා පවත්වන අතර ඒ තුළ කලාත්මක වැඩසටහන්වලට ද, සැලකිය යුතු අවකාශයක් හිමිව ඇති අතර මෙම කලාත්මක වැඩසටහන් සහ යථාර්ථය යන දෙකම සාර්වර්ති‍්‍රක ආභාසන රූපයක් (Universal Simulacrum) දක්වා විතැන්වී ඇත. නිරූපණය සහ යථාර්ථය (Representation and Reality) සංඥාව හා එමඟින් සංකේතවත් කරන බාහිර ලෝකයේ යථාර්ථය අතර වෙනස බිඳ වැටුණු කල්හි ආභාසන රූපය බිහිවේ. මේ අනුව අද්‍යතන පවුලේ පේ‍්‍රක්‍ෂකයා වෙත ලඟාවන රූපවාහිනී මාධ්‍යයේ දෘශ්‍ය, ආභාසන රූපයක් බවට පරිවර්තනය වන ආකාරය ඓතිහාසික අවධි හතරක් ඔස්සේ විග‍්‍රහ කර ඇත. මූලික යථාර්ථය පිළිබඳ ප‍්‍රතිබිම්භය (Reflection of Basic Reality), මූලික යථාර්ථය සැඟවීම සහ විපර්යාස කිරීම (Masking Perverting a Basic Reality),  මූලික යථාර්ථය නැතිවීම (Absence of Reality), කවර යථාර්ථයක් සමඟ හෝ සබඳතාවක් නැති පාරිශූද්ධ ආභාසන රූපයක් ඇතිවීම (Pure Simulacrum with no relation to any reality what ever) එම අවධීන් වේ. මෙයට අනුව රූපවාහිනිය මඟින් සිදුකරනු ලබන පේ‍්‍රක්ෂාව තැනීමේ කලාත්මක ව්‍යායාමය ව්‍යාජ යථාර්ථයක් මවන තත්වයට පත්ව තිබේ.

විශ්ලේෂණයේ පහසුව පිණිස තොරතුරු ප‍්‍රචාරණයට අමතරව සාපේක්ෂව දේශීය වශයෙන් වැඩි දෘශ්‍ය දූෂණයක් සිදුවන රූපවාහිනී වැඩසටහන් ආකෘති ලෙස මෙම පර්යේෂණයේදී හ`දුනාගනු ලැබුවේ ටෙලිනාට්‍ය හා වෙළ`ද ප‍්‍රචාරණ දැන්වීම් වේ. රූපවාහිනී නාට්‍ය සම්බන්ධව ගර්බ්නර් විග‍්‍රහ කරන ආකාරයට (Gerbner, 1970) රූපවාහිනී මාධ්‍යයේ විවිධ දර්ශන අතර ප‍්‍රචණ්ඩ දර්ශනවලින් බැලූ බැල්මට හිරිහැර කිරීමක් නොමැති වුවත්, පැහැදිලි ලෙසම එමඟින් පේ‍්‍රක්‍ෂකයා තෝන්තු කරවීම, විකලාංග කිරීම, දෘශ්‍යමාන පීඩාවක් නොමැතිව මරාදැමීමක් :ඔැකැඩසිසදබ ඩසදකැබජැ ිඑමබිල ප්සපි ්බා නසකකි අසඑයදමඑ පමජය ඩසිසඉකැ යමරඑ* සිදුකරන බව පැහැදිලි වේ. අද්‍යතන මාධ්‍ය ම`ගින් සිදුකරන වෙළඳ ප‍්‍රචාරණය සාහිත්‍ය, කලාව, භාෂාව පමණක් නොව සමාජ විඥානයේ සියලූ ස්වරූප කෙරෙහි බලපෑම් ඇති කරන ආකාරය නිරීක්ෂණය කළ හැකිය. ගිලියන් ට අනුව (Gillion, 1982) වෙළඳ දැන්වීම් හා බැ`දි සංස්කෘතික ප‍්‍රාග්ධනය ම`ගින් සිදුවන සාමාජීය බලපෑම පිළිබ`ද අධ්‍යයනය අනුව පැහැදිලි වන්නේ එය පුද්ගල හැසිරීමට, අදහස්වලට බොහෝ බලපෑම් ඇති කරලීමට සමත් වී ඇති බවත්, පේ‍්‍රක්ෂකයා තම සාමාජීය යථාර්ථයෙන් බැහැරව වෙනත් මනඃකල්පිත සමාජයක් කරා ගෙන යාමට ප‍්‍රබල ලෙස බලපා ඇති ආකාරයත්ය. මේ මගින් ප‍්‍රත්‍යක්ෂ වන්නේ රූපවාහිනී මාධ්‍ය සතු ප‍්‍රබලත්වයයි. සෘජු ලෙසම දෘශ්‍ය දූෂණය සමග සම්බන්ධ නොවූව ද, එම පර්යේෂණ මගින් දෘශ්‍යයේ ඇති ප‍්‍රබලත්වය හා බලපෑම පිළිබ`දව අධ්‍යයනය කර ඇත.

ජනමතය නිර්මාණය සහ එය මෙහෙයවන ආකාරය පිළිබ`දව වෝල්ටර් ලිප්මන් දක්වන ආකාරයට (Lippman, 1992) තොරතුරු විසරණය නැමති මූලික කාර්යයට අමතරව මාධ්‍ය කළමණාකරුවන් අපට ජීවත්වන ආකාරය, තෝරාගන්නා ආකාරය, ආදරය කරන ආකාරය, අභිමානවත් වන ආකාරය, දියුණුවන ආකාරය ආදී සියලූ දේ උගන්වයි. මිනිසුන්ගේ චර්යා නිගමනය කළහැකි වන්නේ ඔවුන්ගේ හිස් ශරීර කුහර තුළ තැන්පත් වී ඇති රූප හඳුනා ගැනීමෙන් වන අතර ග‍්‍රාහකයාගේ චින්තනය හැඩගැසෙන්නේ කිසිවෙකුගේ අභ්‍යන්තරයට බාහිරෙන් පැමිණෙන මත හා තොරතුරු පාදක කරගෙන බව පර්යේෂණ මඟින් ඔප්පු කිරීමට වෝල්ටර් ලිප්මන් උත්සාහ කර තිබේ. රූපවාහිනී මාධ්‍ය මගින් අරමුණු සහගතව ගොඩනගා ඇති දෘශ්‍ය සංයෝජනයෙහි බලය නරඹන්නාගේ බලයට වඩා ඉතා ඉහළ තත්වයක පවතිනවා පමණක් නොව ඒ මගින් ඉහත පරිදි චර්යාවේ අයහපත් වෙනස්කම් ද, සිදුකිරීම නිසා පුළුල් වශයෙන් සමාජ-සංස්කෘතික ගැටළු නිර්මාණය කරමින් තිබේ. 

නිකොලස් හා ප‍්‍රයිස් විසින් (Nicholas and Price 1998& Effect Model/Hypodermic Syringe Model/Silver Bullet Model) නැමති ආකෘතිය මගින් ඉහත පරිදි මාධ්‍ය අන්තර්ගතය සහ ග‍්‍රාහකයන්ගේ චර්යාව (Behaviour) අතර ඇතිවන බලපෑමේ ස්වභාවය පිළිබ`දව දීර්ඝ වශයෙන් විග‍්‍රහ කර තිබේ. ඒ අනුව විශේෂයෙන්ම රූපවාහිනී මාධ්‍ය මඟින් ඉහත අයුරින් ග‍්‍රාහකයා මෙහෙයවීම (Manipulation), සූක්ෂම අයුරින් ජනමතය (Public Opinion) සකස් කිරීම, විවිධ ප‍්‍රචාරණ උපක‍්‍රම (Propaganda) ම`ගින් නිශ්චිත අරමුණු සපුරා ගැනීම සිදුකරන ආකාරය විග‍්‍රහ කෙරේ. 1991 ඉරාක ආක‍්‍රමණයේ දී ඇමෙරිකා එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍ය ඇතුළු සමස්ත බටහිර මාධ්‍ය මඟින් තොරතුරු ප‍්‍රචාරණයේ දී ජනතාව මෙහෙයවීම සහ සාවද්‍ය (Lies) තොරතුරු ප‍්‍රචාරක ක‍්‍රමවේදයක් මඟින් මහජන සහයෝගය ලබා ගැනීම සඳහා ඉහත පරිදි මාධ්‍ය භාවිත කර ඇති ආකාරය මෙන්ම 2014 මුල් කාලයේ සිට යුක්රේනය සහ රුසියාව අතර ඇතිවූ රාජ්‍ය තාන්ත‍්‍රික ගැටළුවලදී බටහිර රටවල් හා ඇමෙරිකා එක්සත් ජනපදයේ මාධ්‍ය එම සිදුවීම් අර්ථකථනය කළ ආකාරයත්, විවිධ තොරතුරු ගොඩනැගූ ආකාරයත්, රුසියාවේ රුසියානු හ`ඩ නාලිකාව හා සමාජ මාධ්‍ය එයට ප‍්‍රතිචාර දැක්වූ ආකාරයත්, මේ ස`දහා නිදසුන් වේ.

රූපවාහිනී මාධ්‍ය ම`ගින් අරමුණු සහගතව ගොඩනංවා විකාශය කරනු ලබන විවිධ ආඛ්‍යානවල ඇති භූමිකා අනුකරණය කිරීමට ද, බොහෝවිට පේ‍්‍රක්ෂකයා පෙළඹේ. බැන්ඩුරා ඉදිරිපත් කළ (Bandura 1977) සමාජ ඉගෙනුම් සිද්ධාන්තයට අනුව මිනිසුන් මෙන්ම සතුන් ද, අන් අයගේ් චර්යාව නිරීක්‍ෂණය කිරීමෙන් හා අනුකරණයෙන් යම් උගෙනුමක් ලබන ආකාරයෙන් රූපවාහිනී මාධ්‍ය මඟින් ඉදිරිපත්වන ප‍්‍රබල පඨිතයන් නැරැුඹීමෙන් සහ ඒවා අනුකරණය මඟින් ද, විවිධ වයස් කාණ්ඩයන්ට හා මානසික තත්වයන්ගෙන් යුක්ත පේ‍්‍රක්ෂකයා විවිධ අත්හදා බැලීම් (Observational Learning) සිදුකරන ආකාරය නිරීක්ෂණය කළ හැකිය. මෙම අධ්‍යයනය ම`ගින් අවධානය යොමු කරනු ලබන්නේ ද, එවැනි දූෂිත දෘශ්‍ය සහිත වැඩසටහන්වල වටිනාකම් අනුකරණය ම`ගින් ග‍්‍රාහකයාගේ චර්යාවේ සහ සාමාජීය සම්බන්ධතාවල අයහපත් ආකාරයේ වෙනස්වීම් සිදුවන ආකාරය විශ්ලේෂණය කිරීම පිළිබ`දවයි. සාමාන්‍ය සමාජයේ ඇති සම්බන්ධතා මෙන් නොවූවද, ටෙලිනාට්‍ය නැරඹීමේ දී ද, පේ‍්‍රක්‍ෂකයා සහ ටෙලිනාට්‍යයේ ආඛ්‍යානය, චරිත අතර යම් සමීප සම්බන්‍ධතාවක් ගොඩනැගේ. 

පරා-සමාජ අන්තර්ක‍්‍රියාව (Para-Social Interaction) යන සිද්ධාන්තය අනුව ටෙලිනාට්‍යයක චරිතයක් සහ එය නරඹන පේ‍්‍රක්‍ෂකයා අතර සමීප පුද්ගලාන්තර සම්බන්‍ධතාවක් ඇතිවන්නේය යන්න පිළිබ`දව ඇල්බට් බැන්ඩුරා ගෙනහැර දක්වන හෙන්රි හා චාල්ස් විග‍්‍රහ කරන ආකාරයට (Henry and Charles 1982) සමාජ ඉගෙනුම් සිද්ධාන්තය අනුව ටෙලිනාට්‍යයේ විවිධ චරිත, රංගනයන්, කතාන්දරය සමග දැඩි සම්බන්‍ධතාවක් පවත්වා ගැනීමට සහ එය අනුකරණයට පේ‍්‍රක්‍ෂකයා පෙළඹෙන බව පැහැදිලි වේ. යම් චරිතයක් උපදේශකයෙකු, මිත‍්‍රයෙකු, අස්වසාලන්නකු හෝ යම් භූමිකාවක් ස්වභූමිකාව සමග සම්බන්‍ධ කරගන්නට පේ‍්‍රක්‍ෂකයා පෙළඹේ. පුද්ගලයෙකු යම් සිදුවීමක් සම්බන්‍ධයෙන් ප‍්‍රතිරෝදය පෑම (Resistance) හෝ සහමිතිය (Consent) (විරෝධය හෝ අනුගත වීම) නැමැති ප‍්‍රවේශ දෙකින් එකක් කෙරෙහි නැඹුරු වීමේ ශඛ්‍යතාවක් පවතී. රූපවාහිනී මාධ්‍යයේ දෘශ්‍ය දූෂණය පිළිබ`ද මෙම පර්යේෂණාත්මක අධ්‍යයනයේ සමීක්ෂණය ස`දහා අදාළ කරගනු ලැබූ සමස්ත නියැදියෙන් 29% ක ගේ මතය වන ටෙලි ආඛ්‍යානවල කිසියම් හෝ භූමිකාවක් තම ජීවන රටාව සමග සමානත්වයක් දක්වන්නේය යන්නෙන් අදහස් වන්නේ විවිධ භූමිකා ආඛ්‍යාන වලට අනුගත වීමේ නැමියාවයි. ඉහත පරිදි ටෙලි ආඛ්‍යානවල ඇති විවිධ භූමිකා අනුකරණය නිසා පේ‍්‍රක්‍ෂකයා සාමාජීය වශයෙන් විවිධ ගැටළුවලට මුහුණ දී ඇති අවස්ථා බහුල වශයෙන් වාර්තාවීම මගින් අද්‍යතන රූපවාහිනී මාධ්‍යයේ අතථ්‍ය, ආභාසන රූප විකාශය නිසා පොදුජනයා කෙරෙහි සුවිශාල බලපෑමක් කිරීමට දක්වන දායකත්වය පැහැදිලි වේ.

මහාචාර්ය ඊ.එම්. රොජර්ස් විග‍්‍රහ කරන ආකාරයට ද, (Rogers, 2003) මාධ්‍ය පඨිතයේ ඇති විවිධ අර්ථයන් හෝ භූමිකා අනුකරණය කෙරෙහි ග‍්‍රාහකයා යොමුවන ආකාරයත්, යම් ආඛ්‍යානයක් තම අත්දැකීම් සම`ග ගලපා ගනිමින් ඒවා අනුකරණය කිරීමට පේ‍්‍රක්ෂකයා යොමුවන ආකාරය පිළිබ`දවත්, අවධානය යොමුකර තිබේ. සමස්තයක් ලෙස රූපවාහිනී මාධ්‍ය මඟින් සෘජු ලෙසම පේ‍්‍රක්ෂක විඥානය කෙරෙහි බලපෑම් කරනු ලබන පරිසරයක් තුළ පේ‍්‍රක්ෂකයා මාධ්‍ය පඨිත සම`ග එකඟවීමේ හෝ නොවීමේ ප‍්‍රවේශයක් අනුගමනය කළ හැකි බව විග‍්‍රහ කරයි. එනම් ග‍්‍රාහකයා යම් දෘශ්‍ය ආඛ්‍යානයක් නැරඹීමේ දී එහි දෘශ්‍ය වියමන සම`ග එකඟවී (Adopt) එයත් සමග තනිවීම, අදාළ පඨිතය සම`ග එකඟ නොවීම, පෞද්ගලික අත්දැකීම් සමග අදාළ පඨිතය අවශ්‍ය ආකාරයට හැඩගස්වා (Modify) ගැනීම ආදී වශයෙන් පේ‍්‍රක්ෂකයා ප‍්‍රතිචාර දක්වන බවයි. මේ අනුව පැහැදිලි වන්නේ රූපවාහිනී මාධ්‍ය මඟින් විකාශය කර හරිනු ලබන බහුවිධ දෘශ්‍ය අනුකරණය කිිරීමට පේ‍්‍රක්ෂකයා පෙළඹෙන ආකාරයත්, ඒ මඟින් පේ‍්‍රක්ෂකයා අදාළ දෘශ්‍ය ආඛ්‍යානය කෙරෙහි අනුගත වීම හෝ එයට ප‍්‍රතිවිරෝධතාවක් දැක්වීමට පෙළඹීමේ හැකියාවක් පවතින බවත්, පේ‍්‍රක්ෂකයා තුළ අලූතින් චර්යාවේ වෙනස්කම් ඇතිවීම මෙන්ම සමාජ විරෝධී ක‍්‍රියාවන්ට යොමුවීමේ හැකියාවක් ද, තිබෙන බවත් ය.

සමාජ විඥානය හැඩගැස්වීමේදී ද්‍රව්‍යමය ලෝකය සම`ග අවියෝජනීය සම්බන්ධයක් දක්වන දෘශ්‍ය සංජානනය (Visual Perception) පිළිබඳව විග‍්‍රහ කර ඇති විවිධ ජනමාධ්‍යවේදීය සමාජවිද්‍යාත්මක පර්යේෂණ වලදී පොදුජනයාගේ චර්යාව හා ක‍්‍රියාකාරිත්වයන් කෙරෙහි බාහිර පරිසරය සෘජු සහ ස්වාභාවික ලෙසම බලපානු ලබන ආකාරය සොයාගෙන ඇත. පරිසරයෙහි සිදුවන විවිධ සිදුවීම්වලට අදාළ උත්තේජන හා ඒ සඳහා ලබාදෙන ප‍්‍රතිචාර අතර සම්බන්ධය පිළිබඳව ජෝන් බී. වොට්සන්ගේ මනෝවිද්‍යාව, චර්යාවාදය සම්බන්ධ අධ්‍යයනයන්වල (Crooks and Stein, 1991) මේ පිළිබ`දව විශේෂ අවධානයක් යොමුකර ඇත්තේ එබැවිනි. පොදු අවකාශයෙහි දෘශ්‍ය මෙන්ම රූපවාහිනී මාධ්‍ය ස`දහා ප‍්‍රතිනිර්මාණිත දෘශ්‍ය පුද්ගල චර්යාව කෙරෙහි ස්වාභාවිකවම බලපාන බව පැහැදිලි වේ. මැක්ගයර් විග‍්‍රහ කරන ආකාරයට (McGuire 1999) මාධ්‍ය මගින් පුද්ගලයාගේ සමාජානුයෝජන ක‍්‍රියාවලිය කෙරෙහි සුවිශාල බලපෑමක් සිදුකරයි. ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් වශයෙන් සමාජානුයෝජන ක‍්‍රියාවලිය කෙරෙහි රූපවාහිනී මාධ්‍යයට කළ හැකි බලපෑම මෙහිදී අන් මාධ්‍යයන්ට වඩා සුවිශේෂී වන අතර වෙළ`ද ප‍්‍රචාරණයේදී එහි ශක්‍යතාවන් යොදාගනු ලබන ආකාරය පිළිබ`දව කර ඇති විග‍්‍රහයෙන් පැහැදිලි වන්නේ රූපවාහිනී කර්මාන්තය පේ‍්‍රක්ෂකයාගේ මතය වෙනස් කිරීම ස`දහා දෘශ්‍යමය හැකියාවන් භාවිතා කරනු ලබන ආකාරයයි.

රූපවාහිනී මාධ්‍යයෙහි දෘශ්‍ය දූෂණය නැමති ව්‍යවහාරය මේ වනතෙක් භාවිතා කර නොමැති වුව ද එහි දෘශ්‍ය ෂානර මගින් සිදුකරන මතවාදී මෙහෙයවීම, පේ‍්‍රක්ෂකයා දෘශ්‍ය කෙරෙහි අනුගතවීම හෝ ප‍්‍රතිරෝධය පෑම, පෙළඹවීමට ලක්වීම, ඉගෙනුමක් ලැබීම හා දෘශ්‍ය අනුකරණය ම`ගින් ඇතිවන බලපෑම පිළිබ`දව විවිධ අධ්‍යයනයන් සිදුකර ඇත. රූපවාහිනී මාධ්‍යයෙහි ආභාසන රූපයෙහි ක‍්‍රියාකාරීත්වය ම`ගින් ඉහත පරිදි පේ‍්‍රක්ෂකයා කෙරෙහි බලපෑමක් සිදුවන බැවින් එම දෘශ්‍ය දූෂිත දෘශ්‍ය ලෙස මෙම පර්යේෂණයේ දී හ`දුනා ගැණින.

රූපවාහිනී මාධ්‍ය දෘශ්‍ය ප‍්‍රතිනිර්මාණය සහ දෘශ්‍ය දූෂණය පිළිබ`ද විග‍්‍රහය

පාරිසරික අවකාශය තුළ සිදුවන දූෂණය යනු මානවයාගේ මැදිහත්වීම මගින් පරිසර පද්ධතියට එක් කරනු ලබන විවිධ අපවිත‍්‍රකාරක නිසා සිදුවන පාරිසරික අස්ථායීබව (Instability), අපිළිවෙල (Disorder), හානිය (Harm) හෝ අපහසුව (Discomfort) වේ. එය භෞතික පරිසරය කෙරෙහි මෙන්ම පාරිසරික ජීවීන් කෙරෙහි ද, සිදුවිය හැකිය.  ඕනෑම විෂයකට අදාළව දූෂණය යනු එහි ස්වාභාවික තත්වය කෙලෙසීමක් හෙවත්  ස්වභාවිකත්වය යථා තත්ත්වයෙන් විකෘති තත්ත්වයට පත්වීමකි. තාර්කික පදනමක් මත ගොඩනැගී ඇති පාරිසරික සමාජ පද්ධතීන්වල රිද්මය සහ තාර්කික සම්බන්ධතා කිසි ලෙසකින් හෝ බිඳ හෙළිය නොහැකි අතර යම් අයුරකින් එහි ජාලීය නියමයන්, සමතුලිතතාවයන් බිඳී ගියහොත් එය මානව පැවැත්ම කෙරෙහි සෘජු ලෙසම බලපානු ලබයි.

රූපවාහිනී මාධ්‍ය මගින් විකාශය කරනු ලබන යම් දෘශ්‍ය ආඛ්‍යානයක් මගින් ග‍්‍රාහකයා අවිඥානික හෝ සවිඥානික මෙහෙයවීමකට ලක් කිරීමට හෝ සමාජීය සම්බන්ධතා තුළ අයහපත් පරිවර්තනයක් ඇතිකිරීමට මෙන්ම සාමාන්‍ය චර්යාව හැඩගැස්වීමෙහිලා අයහපත් ආකාරයේ මතවාදී මෙහෙයවීමක් සිදුකිරීමට සමත්, සන්දර්භානුගත නොවන හෝ විද්‍යුත් මාධ්‍ය ආචාරධර්මවලට පටහැනි ව්‍යාජ, ආභාසන දෘශ්‍ය නිර්මාණය රූපවාහිනී මාධ්‍යයේ දෘශ්‍ය දූෂණය ලෙස හැ`දින්විය හැකිය.

රූපවාහිනිය මඟින් ජනිත කරනු ලබන සූක්ෂම පරිසරය (Micro Social Climate) මඟින් සමාජ හැසිරීම්, න්‍යාය ධර්ම, සමාජ වටිනාකම් තහවුරු කිරීම, ආචාර හා සදාචාර විධි පිළිබඳ සංඥාවන් ඉදිරිපත් කිරීම යනාදිය ද, නිගමනය වේ. මෙම සාධක මත රූපවාහිනී දෘශ්‍ය දූෂණය ප‍්‍රධාන අංශ කීපයක් යටතේ ගොනු කළ හැකියි. දෘශ්‍ය මාධ්‍ය තොරතුරු වාර්තාකරණයේ දී පේ‍්‍රක්ෂකයා මෙහෙයවීම ස`දහා භාවිතා කරනු ලබන හේමාල රූපය මගින් සිදුවන දෘශ්‍ය දූෂණය, වෙළ`ද ප‍්‍රචාරණය තුළ, රූපවාහිනී නාට්‍ය මගින්, රියලිටි වැඩසටහන් සහ වෙනත් වැඩසටහන් විකාශයේ දී සවිඥානිකව හෝ අවිඥානිකව පේ‍්‍රක්ෂකයා මෙහෙයවීම මගින්, තාක්ෂණික රූප මාධ්‍යයක් ලෙස රූපවාහිනී තාක්ෂණය සෞන්දර්ය රිතීන් උල්ලංඝනය කිරිම මගින්, රූපවාහිනී මාධ්‍ය මඟින් නිරූපිත ක්ෂේත‍්‍රයේ අන්තර්ගත වටිනාකම් දූෂණය වීම මගින්, මාධ්‍ය ආචාර ධර්මයන්ට පටහැනිව සිදු කරනු ලබන දෘශ්‍ය අපහරණය ම`ගින් මූලික වශයෙන් එවැනි දෘශ්‍ය දූෂණයක් සිදුවේ.

ඉහත තත්වයන්ට සුවිශේෂිව අපගේ අවශ්‍යතාවයන් හා ඊට සම්බන්ධ දෘශ්‍ය පරාසයන් හා අවශ්‍යතාවයන් සමග සම්බන්ධිත දෘශ්‍ය භාවිතාවන් අලූතින් හඳුන්වා දෙමින් විකාශය කරනු ලබන දෘශ්‍ය අතථ්‍ය දෘශ්‍ය වීම, පේ‍්‍රක්ෂකයා විසින් එම දෘශ්‍ය ආඛ්‍යානවල ඇති ප‍්‍රතිරූප අනුකරණය කිරීමට පෙළඹීම, දෘශ්‍ය ආඛ්‍යානවලට සහමිතිය දැක්වීම හෝ ප‍්‍රතිරෝධය පෑම, ජෝන් ෆිස්ක් විග‍්‍රහ කරන ආකාරයට (Fiske, 1987) ජනමතය අයහපත් ආකාරයෙන් වෙනස්වීම, චර්යාවෙහි වෙනස්කම් ඇතිකිරීම නව පාරිභෝගික විඥානයක් නිර්මාණය කිරීම ආදී වශයෙන් විවිධ සාමාජීය ගැටළු ඇතිකිරීමට එම ආභාසන රූපය සමත්වී ඇති බැවින් ඒ මගින් දෘශ්‍ය දූෂණයක් සිදුවන ආකාරය නිරීක්ෂණය කළ හැකිය.

හුදු ජනමාධ්‍යයකට වඩා ප‍්‍රාග් ඓතිහාසික ආගම වැනි ප‍්‍රබල මෙවලමක් වන රූපවාහිනී මාධ්‍ය මඟින් අනන්‍යතා හැඩගැස්වීමේදී වෙනත් මාධ්‍යයන්ට සාපේක්ෂව සකී‍්‍රය කාර්යභාරයක් ඉටු කරන අතර. බොහෝ වින්දනාත්මක වැඩසටහන් නරඹන පේ‍්‍රක්‍ෂකයන්ගේ ආගම බවට පත්ව තිබෙන්නේ මාධ්‍යයේ එම ස්වභාවය  අනුවයි. සන්නිවේදනඥ ජෝර්ජ් ගබ්නර්ට අනුව (Gerbner, 1979)පශ්චාත් නූතන යුගය තුළ බිහිවන බහුජන නිෂ්පාදනය (Mass Production), බහුජන සංස්කෘතිය (Mass Culture) තුළ හටගන්නා අධි පාරිභෝජන රටාව, වේගවත් රිද්මය, ව්‍යාප්තිය සහ සංකීර්ණත්වය හේතුකොට ගෙන මායාවක් (Illusion) බවට පත්ව ඇති අනන්‍යතාවන්වල කාර්යය වන්නේ අලූත් වර්ගයක සමාජ ජීවිතයක්, නව ආර්ථික රටාවක් බිහිවීමත් සමග සංස්කෘතියේ මතුවූ නව විධිමත් ලක්‍ෂණ සහසම්බන්ධ කිරීමයි. එනම් ෆ්‍රෙඞ්රික් ජෙම්සන්ගේ (Fredric Jameson) පශ්චාත් නූතනවාදය සහ පාරිභෝගික සමාජය නැමති පර්යේෂණාත්මක ලිපිය මගින් ප‍්‍රකාශ කරන ආකාරයට (Jameson, 1983)එය බොහෝවිට ආකර්ශනීය භාවිතයක් වන නවීකරණයයි. පශ්චාත් කාර්මික හෝ පාරිභෝගික සමාජයයි. මාධ්‍ය සමාජය (Media Society හෙවත් සංදර්ශන (Specter) නැතිනම් බහුජාතික ධනවාදයයි.

සංකීර්ණ සමාජ පරිණාමය තුළ ගෘහනිර්මාණ ශිල්පය, නාගරික ඉදිකිරීම් ක්ෂේත‍්‍රය තුළින් වර්ධනයවූ තරඟකාරී සහ සංකීර්ණ දෘශ්‍යමය ගොඩනැංවීම් වර්තමානය වන විට දියුණු සන්නිවේදන මාධ්‍යයක් වන රූපවාහිනී මාධ්‍යයේ හේමාල රූපය (Simulacrum) සහ එහි මතවාදය (Visual Ideology) දක්වා වර්ධනයවී ඇත. අද්‍යතන දේශපාලන ආර්ථිකයේ හැසිරීම තුළ කලාව ද, ජනමාධ්‍යවේදයේ ග‍්‍රහණයට සහ බලපෑමට දැඩි ලෙස නතුවී තිබෙන අතර ජනමාධ්‍යවේදය කලා නිර්මාණ ග‍්‍රාහකයන් දක්වා ගෙන යනු ලබන එකම නැතහොත් ප‍්‍රබලතම ආකාරය බවට ද, පත්ව තිබේ. මීට අදාළව ගෘහ නිර්මාණ ශිල්පය, චිත‍්‍ර කලාව, දෘශ්‍ය මාධ්‍ය ප‍්‍රචාරණය සහ රූපවාහිනී මාධ්‍ය දක්වා වූ සියලූ සංස්කෘතික නිෂ්පාදන, (Cultural Production) දෘශ්‍ය පරිසරය සමාජ මනෝවිද්‍යාත්මක වශයෙන් පොදු ජනයාගේ චර්යාව, මානව සම්බන්ධතා කෙරෙහි සිදුකරන බලපෑම සංකීර්ණවී ඇති බැවින් රූපවාහිනී මාධ්‍ය මගින් සිදුවන දෘශ්‍ය දූෂණය පිළිබ`ද අධ්‍යයනයෙහි වැදගත්කම ද, වැඩිවී තිබේ.

දෘශ්‍ය භාෂාවේ ඇති විශේෂත්වය වන්නේ මානව විඥානයේ විවිධ තලවල පවතින විවිධ හා සංකීර්ණ මනෝභාවයන් සියුම්ව උත්තේජනය කිරීමෙහි ඇති හැකියාවයි. සිනමා මාධ්‍යයේ ඇති කලාත්මක හා තාක්ෂණික ශක්‍යතාවන් ඒ අයුරින්ම නොවූවත්, රූපවාහිනී මාධ්‍ය බිහිවන්නේම සහ තවදුරටත් පවතින්නේ සිනමාවේ ඇති මූලික ව්‍යාකරණ ආශි‍්‍රතවය. මෙම සුවිශේෂ භාෂාවෙහි අර්ථ තේරුම්ගැනීම සඳහා ප‍්‍රවේශය ලබාගත හැක්කේ සංඥාර්ථවේදය මඟිනි. ඒ අනුව රූපවාහිනී මාධ්‍යයේ ඇති දෘශ්‍ය සංරචනය තේරුම් ගැනීමට නම් ඒ තුළ ඇති සංකීර්ණ සංඥා සහ සංඥා පද්ධති අතර ඇති සම්බන්ධතාවන් සහ ඒවා තුළ ඇති අර්ථයන් වටහාගැනීම අත්‍යවශ්‍ය වේ. එම අන්තර් සම්බන්ධිත සංකීර්ණ හා අර්ථ තේරුම් ගැනීමට නොහැකි වන්නේ නම් එම ආඛ්‍යානයේ ග‍්‍රහණයට පේ‍්‍රක්ෂකයා නතුවිය හැකිය. ස්ටෑම්ට අනුව (Stam, 2000) සිනමාව, මනාව හා පිළිවෙළකට අනුව විදහා දක්වන සුවිශේෂ ව්‍යවහාරයක් (Signifying Practice), කතිකාවක් (Discourse), කලාත්මක භාෂාවක් වේ. සාමාජීය හා ප‍්‍රබන්ධාත්මක ස්වරූපයක් ගන්නා එහි සංඥාර්ථ කියවීම ස`දහා දෘශ්‍ය සාක්ෂරතාව තිබිය යුතුය. පීටර් වොලන් (Peter Wollen) ගේ විග‍්‍රහය අනුව ව්‍යාංගාර්ථයෙන් (Connotation/Sub Text) ඉදිරිපත් කරනු ලබන ප‍්‍රකාශනය සිනමා භාෂාවේ වැදගත් කොටසකිි. සිනමාවේ මෙන්ම රූපවාහිනී මාධ්‍යයේ ද, ආඛ්‍යානය තුළ ඇති චරිතයන්හි (Painting)හා වෙනත් වස්තූන්වල ප‍්‍රකාශනයෙහි විවිධ අර්ථ විවිධ දෘශ්‍ය සංඥා (Clues) මඟින් හඟවන බව එයින් පැහැදිලි වේ. මේ අනුව බලපෑමකින් තොරව සවිඥානිත ලෙස රූපවාහිනී ආඛ්‍යානයක් කියවීමට නම් මුඛ්‍යාර්ථය මෙන්ම ව්‍යාංගාර්ථයද තේරුම් ගත යුතු වන අතර, සිනමා මාධ්‍ය, රූපවාහිනී මාධ්‍ය, චිත‍්‍රය (Painting) හෝ  ඕනෑම දෘශ්‍ය මාධ්‍යයක් තේරුම් ගැනීමේදී මෙම දෙකින් එකක් හැරදා ඉවත්විය නොහැකි බව පැහැදිලි වේ.

සංඥාර්ථවේදයට අනුව දෘශ්‍ය නිර්මාණයක අර්ථ ග‍්‍රහණය කරගත හැක්කේ නිර්මාණකරුගේ අරමුණු හෝ අදහස්, අදාළ පේ‍්‍රක්ෂකයාගේ අර්ථකථන විග‍්‍රහ කරමින් නොව සංකේත, වටිනාකම් හා ඒවා අතර පවතින සබඳතා පාදක කරගෙනය. එනම් අර්ථ නිෂ්පාදනය වන්නේ නිර්මාණකරු හෝ අදාළ ආඛ්‍යානය සමග නොවේ. සංඥාව අර්ථ සම්පේ‍්‍රෂණය නොකරන අතර එය අර්ථ නිර්මාණය කිරීමේ මාධ්‍යයක් වශයෙන් ක‍්‍රියා කරයි. මේ අනුව පැහැදිලි වන සත්‍යයක් වන්නේ රූපවාහිනී දෘශ්‍ය මඟින් පැහැදිලි ලෙසම යථාර්ථය පරාවර්ථනය කරනවාට වඩා එය නිර්මිත කිරීමේ සංඥාකාරක පද්ධතියක් වශයෙන් ක‍්‍රියාකරන බවයි. සංඥාර්ථවේදය මඟින් චිත‍්‍රපටයේ, රූපවාහිනී ආඛ්‍යානයේ අර්ථ නිෂ්පාදනය හා සම්බන්ධ රූප පද්ධතිවල ව්‍යුහාත්මක සබඳතා විශ්ලේෂණය කරනු ලබයි. මෙහි එක් රූපයක් අනෙකට දක්වන සම්බන්ධතා පද්ධතිය තුළ අර්ථ ජනනය වීම සිදුවේ. ඒ අනුව සිනමාවේ මෙන්ම රූපවාහිනී මාධ්‍යයේ වැඩසටහන් තුළත් අර්ථ ජනනය වීම සිදුවන්නේ එක් එක් රූපයේ පවතිින ස්වයංසාධනීය ගුණයක් නිසා නොව රූප අතර පවතින වෙනස්කම් හෝ භේදතා සංකල්පය තුළය. සිනමාව මෙන්ම සිනමාවෙහි ව්‍යාකරණ භාවිතා කරන රූපවාහිනී මාධ්‍යයේත් දෘශ්‍ය නිර්මාණ, කෘති අවබෝධකර ගැනීම සඳහා සංඥාර්ථවේදී ප‍්‍රවේශය තීරණාත්මක සාධකයක් වන්නේ එමනිසාය.

මේ අනුව රූපවාහිනී ආඛ්‍යාන සංඥාවන්ගේ ප‍්‍රකාශනයක් වන බවත්, රූප භාෂාවට අදාළ පිළිගත් සම්මත දෘශ්‍ය භාෂාවක් ආශ‍්‍රයෙන් එහි අර්ථ ගොඩනැගීම සිදුකරන බවත්, පැහැදිලි වේ. අර්ථය ජනනය වන්නේ නිර්මාණය/දෘශ්‍ය ආඛ්‍යානය හා පේ‍්‍රක්ෂකයා අතර ඇතිවන සම්බන්ධය හේතුවෙනි. පේ‍්‍රක්ෂකයා යම් දෘශ්‍ය ආඛ්‍යානයක් කියවනු ලබන්නේ අර්ථය හරහායි. සෑම දෘශ්‍ය රාමුවක් මඟින්ම අර්ථයක් ජනනය කරනු ලබන අතර එය සංඥා හරහා සිදුකරනු ලබයි. සිනමා මාධ්‍යයේ මෙන්ම රූපවාහිනී මාධ්‍යයේදී ද යථාර්ථය පරාවර්ථනය කරගන්නේ කැමරාවෙහි තාක්ෂණය භාවිතයෙනි. මිනිස් මනස තුළ සංඥාවකින් උපදින මනෝ චිත‍්‍රය හා සැබෑව අතර පැහැදිලි පරතරයක් තිබේ. මෙම තත්වය නිසා යථාර්ථය ඒ ආකාරයෙන්ම මිනිසාට ග‍්‍රහණය කර ගැනීමට හැකියාවක් නොලැබේ. ඇලන් අදහස් කරන පරිදි (Allen, 1992) මාධ්‍ය පෙළෙහි ඇති යටි පෙළ තේරුම් ගැනීම සඳහා පේ‍්‍රක්ෂකයා අසමත් වන කල්හි ස්වයංක‍්‍රීයවම එහි ග‍්‍රහණයට ඔහු හසුවීමට හැකියාව ඇත. සංඥා, සංකේත මඟින් අර්ථ වටහා ගැනීමට ඇති හැකියාව පේ‍්‍රක්ෂකයා සතු නොවේ නම් ඒ අනුව අදාළ පඨිතය මඟින් ඔහු කෙරෙහි බලපෑමක් නිසැකවම ඇතිකරනු ලැබේ.

යම් පුද්ගලයෙකුගේ පෞරුෂ සැලැස්ම (Personality Structure) හා සාමාජීය සැලැස්ම (Social Structure) අතර ඇති සම්බන්ධතාවක් ලෙස සමාජ චරිතය බිහිවේ. අපගේ චරිත හැසිරීම් ඇසුරින් හැඩගසා ගන්නා ක‍්‍රමයකි. හෝන්ස් සහ මිලන් අනුව (Hoynes and Milan, 2011) පුද්ගල ඇසුර ඒ ඒ පුද්ගලයා අගය කරන, ගරු කරන, ඇලූම් කරන පුද්ගලයන්ගේ හැසිරීම් රටා විවිධ ලෙස අනුකරණය කරයි. හෙන්රි හා චාල්ස් විග‍්‍රහ කරන ආකාරයට (Henry and Charles, 1982) සමාජ ඉගෙනුම් සිද්ධාන්තය අනුව ටෙලිනාට්‍යවල විවිධ චරිත, රංගනයන්, කතාන්දරය සමග පේ‍්‍රක්ෂකයා දැඩි සම්බන්‍ධතාවක් පවත්වා ගැනීමට සහ එය අනුකරණයට පේ‍්‍රක්‍ෂකයා පෙළඹෙන බව පැහැදිලි වේ. බොහෝ රූපවාහිනී වැඩසටහන්වල දිස්වෙන ප‍්‍රතිරූප පේ‍්‍රක්ෂකයන් විසින් අනුකරණය කිරීම සිදුවන්නේ මෙම පදනම මතයි. ශ‍්‍රී ලාංකේය රූපවාහිනී නාලිකා මගින් සිදුවන දෘශ්‍ය දූෂණය පිළිබ`දව සිදුකළ ග‍්‍රාහක ප‍්‍රතිචාර සමීක්ෂණයෙහි නියැදියෙන් 22% ක ප‍්‍රතිශතයක් වන පේ‍්‍රක්ෂකයා ටෙලිනාට්‍යවල ඇති ආකර්ශනීය ප‍්‍රතිරූප, චරිත තම ජීවිතයට සමීප බැවින් ඒවා නරඹන බව පැහැදිලි වන අතර ඒ අනුව ඔවුන් මෙම චරිත, ප‍්‍රතිරූප තුළට අනුගතවීමක් සිදුවී ඇති බව නිගමනය කළ හැකිය. විවිධ භූමිකා නිරූපණය කරන නළු නිළියන්ගේ විලාසිතා, ආකර්ශනීය ඇ`දුම් පැළ`දුම් ආදී ව්‍යාජ රූප මගින් ඉදිරිපත් කරන විවිධ ජනප‍්‍රිය සංස්කෘතික සංකේත කෙරෙහි ආකර්ශනය වී ඇති 22% ක පේ‍්‍රක්ෂකයින් පිරිසක් ද, සිටී. සමස්ත නියැදියෙන් 29% ක් අදහස් කරන්නේ ඒ ආකාරයෙන් ටෙලි ආඛ්‍යානවල කිසියම් භූමිකාවක් තම ජීවන රටාව සමග සමානත්වයක් දක්වන බවයි. පොදුවේ සංවර්ධනය වෙමින් පවතින රටවල රූපවාහිනී පේ‍්‍රක්ෂකයාගේ රසය මෙන්ම ලාංකේය රූපවාහිනී පේ‍්‍රක්ෂකයාගේ රසය නිරීක්ෂණය කිරීමේ දී ද, පැහැදිලි වන්නේ ප‍්‍රතිචාර දැක්වූ පේ‍්‍රක්ෂකයින්ගෙන් 67% ක ප‍්‍රතිශතයක් ඒ වටා එක් රොක්වී සිටින්නේ ටෙලිනාට්‍ය නැරඹීම ස`දහා බවයි.

එම සමීක්ෂණය ස`දහා ප‍්‍රතිචාර දැක්වූ වයස අවුරුදු 20 සහ 30 අතර පේ‍්‍රක්ෂකයින්ගෙන් 44 % ක් සිරස රූපවාහිනී නාලිකාව ම`ගින් විකාශය කරනු ලැබූ ඉන්දියාවෙන් ආනයනය කරනලද ප‍්‍රවීනා මෙන්ම මහගෙදර වැනි නාට්‍යවල අඛ්‍යානය ම`ගින් සන්නිවේදනය වන වෛරය, ද්වේශය සහිත රූප රාමු මඟින් ඉගෙනුමක් ලබා ඇති බවත්, එම භූමිකාවන් සම`ග අනුගත වී ඇති ආකාරයත්, තම චර්යාවෙහි අයහපත් වෙනස්කම් ඇතිකරගෙන තිබෙන බවත් ඉහත සමීක්ෂණ දත්ත විශ්ලේෂණයේදී නිගමනය කළ හැකි විය. එම නාට්‍ය ආඛ්‍යානවල ඇති භූමිකා මගින් වෛරය, ක්‍රෝධය සහ අපේක්ෂා භංගත්වය පිළිබිඹු කිරීම, මෙම නාට්‍යවල ආඛ්‍යානය යථාර්ථයෙන් බොහෝ විට දුරස්වීම, දීර්ඝ ආඛ්‍යානවලින් යුක්තවීම, ටෙලිනාට්‍ය සියල්ලම ඒකාකාරී වීම හා අතාත්වික රංගනයන් ඉදිරිපත් කිරීම දැකිය හැකි පොදු ලක්ෂණයකි. මෙවැනි බොහෝ ටෙලිනාට්‍ය ආඛ්‍යන ගොඩනංවා තිබෙන්නේ ඉන්දියානු පවුල තුළ බොහෝ සෙයින් දක්නට ලැබෙන ප‍්‍රශ්න ආශ‍්‍රිතවය. මෙම පවුල්වල ඇත්තේ යථාවාදී සමාජය තුළ දක්නට ලැබෙන සමාජ අසාධාරණය, සූරාකෑම හෝ ජීවත්වීම ස`දහා අවශ්‍ය මූලික අවශ්‍යතා සපයාගැනීම පිළිබ`ද ප‍්‍රශ්නවලට වඩා වෙනත් ප‍්‍රශ්න වේ. මෙවැනි දෘශ්‍ය ආඛ්‍යානවල අහිතකර දෘශ්‍ය මේ අයුරින් ළමා පරපුර ඇතුළු විවිධ වයස් කාණ්ඩවල ජීවත්වන පුද්ගලයන් කෙරෙහි බලපෑමක් ඇතිකළ හැකි බැවින් එවැනි දෘශ්‍ය තුළ දෘශ්‍ය දූෂණයක් සිදුවන බව හඳුනාගත හැකිය.

එම දෘශ්‍ය ආඛ්‍යාන මගින් භෞතික ලෝකයේ සෑබෑ අවශ්‍යතාවයන්ගෙන් පේ‍්‍රක්ෂකයා ඉවත් කොට වාණිජ හෝ වෙනත් අවශ්‍යතාවයන් ඇතිකර එම අවශ්‍යතාවයන්ට උචිත වන ලෙස මානව දෘශ්‍ය විඥානයන් සකස් කරනු ලබයි. කොන්වේ සහ රුබින් විග‍්‍රහ කරන ආකාරයට (Conway and Rubin, 1991) රූපවාහිනී මාධ්‍ය සතු පෙළඹවීම ඉතා බලවත් වූවකි. කිසියම් ක‍්‍රියාවකට නැතහොත් චර්යාවකට තුඩු දෙන මෙම පෙළඹවීම නැතහොත් තල්ලූව අභ්‍යන්තර ක‍්‍රියාවලියක් වන අතර චර්යාව තීරණය කරනු ලබන්නේ පෙළඹවීම මඟිනි. ඒ අනුව යම් පුද්ගලයෙකුගේ සාමාන්‍ය පැවැත්ම, හැසිරීම, ලැදියාව වෙනස් කිරීම ඔහු කෙරෙහි, සමාජය කෙරෙහි සිදුකරන අයහපත් ආකාරයේ බලපෑමකි. ශ‍්‍රී ලාංකේය රූපවාහිනියෙහි දෘශ්‍ය දූෂණය පිළිබ`දව සිදුකළ ග‍්‍රාහක ප‍්‍රතිචාර සමීක්ෂණ ප‍්‍රතිඵල අනුව රූපවාහිනී ප‍්‍රචාරණ දැන්වීම් මගින් බහුතර පේ‍්‍රක්ෂකයින් තුළ පෙළඹවීමක් ඇතිකර නොමැති බව නිරීක්ෂණය කළ හැකි වුව ද ප‍්‍රතිචාරකයින්ගෙන් 38% ක් තුළ එපරිද්දෙන් පෙළඹවීමක් ඇතිවී තිබේ. ළමා වයසේ පේ‍්‍රක්ෂකයින්ගෙන් බහුතරයක් නරඹන්නේ ටෙලිනාට්‍ය, වෙළ`ද ප‍්‍රචාරණ දැන්වීම් සහ රියැලිටි වැඩසටහන් වේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ ළමයින් වෙළ`ද ප‍්‍රචාරණ දැන්වීම් නැරඹීමට සුවිශේෂ කැමැත්තක් ප‍්‍රකාශ කර තිබීමයි. වෙළ`ද දැන්වීම් නැරඹීම ස`දහා ළමා වයසේ පසුවන පේ‍්‍රක්ෂකයින් උනන්දුවක් දැක්වීමෙන් නිගමනය කළ හැකි වන්නේ ප‍්‍රචාරණ දැන්වීම් මගින් පැහැදිලි ලෙසම ඔවුන් තුළ මෙහෙයවීමක් සිදුකර ඇති බවයි.

විවිධ ප‍්‍රතිරූපවලට පේ‍්‍රක්ෂකයා ආකර්ශනය වී ඇති අතරම ඒවා අනුකරණයට ද පෙළඹී ඇත. සමීක්ෂණයෙහි ප‍්‍රතිඵල අනුව වැඩිහිටි මෙන්ම ළමා වයසේ පසුවන පේ‍්‍රක්ෂකයින්ගෙන් 51% ගේ චර්යාවෙහි එවැනි අයහපත් වෙනස්කමක් ඇතිවී තිබේ. ඒ අනුව නියැදියෙන් 69% ක පමණ ඉහළ ප‍්‍රතිශතයක් අඛණ්ඩව හා නිරන්තරයෙන් රූපවාහිනී වැඩසටහන් අතර ප‍්‍රචාරණ දැන්වීම් පළකිරීම පිළිබ`දව තම විරෝධය ප‍්‍රකාශ කර ඇත. ශ‍්‍රී ලාංකේය රූපවාහිනී නාලිකා මගින් විකාශය කරනු ලබන අනුග‍්‍රාහක දැන්වීම් තුළ සමහර අන්තර්ගතයන් සහිත දෘශ්‍ය විකාශය කිරීම නිසා සාම්ප‍්‍රදායික සම්බන්ධතා සහිත දේශීය පවුලේ සාමාජිකයන්ට එකට හි`දිමින් රූපවාහිනිය නැරඹිය නොහැකි තත්වයක් ඇතිවී තිබෙන බව නිරීක්ෂණය වේ. සමීක්ෂණයේදී ප‍්‍රතිචාර දැක්වූ 84.6%ක් ප‍්‍රතිචාරක දෙමව්පියන් සඳහන් කරන්නේ තම දරුවන් රූපවාහිනී නාට්‍ය හා එම නාට්‍ය අතර විකාශය කරන දැන්වීම් නැරඹීම නිසා වෙළ`දපොළ අවශ්‍යතාවය මත චර්යාමය වෙනසකට භාජනය වී ඇති බවයි. මීට කලකට පෙර විකාශය වූ නාට්‍යයක් වුව ද, සත්පුරවැසියෝ නැමති දේශීය ටෙලිනාට්‍යය ස`දහා වැඩි පේ‍්‍රක්ෂක සංඛ්‍යාවක් කැමැත්ත පළකර තිබුණි. එම නාට්‍යයෙහි අහිංසා නැමති චරිතයේ භූමිකාව කෙරෙහි මෙරට බොහෝ පේ‍්‍රක්ෂකයෝ තදින් බැ`දී සිටි බව පැහැදිලි වේ. සමකාලීන සමාජයේ ජීවත්වන තරුණියක් වශයෙන් මුහුණ දීමට සිදුවන ගැටළු මෙම නාට්‍යය ම`ගින් ප‍්‍රතිනිර්මාණය කර තිබුණි. බොහෝ පේ‍්‍රක්ෂකයින් එම චරිතය තුළ තමාගේ ජීවිත අත්දැකීම් හා සමීප බවක් තිබුණ බව ප‍්‍රශ්නාවලිය අවසානයේ ස`දහන් කර තිබුණි. අහිංසා මුහුණදෙන ගැටළු ශ‍්‍රී ලාංකේය සමාජයේ සමස්ත තරුණියන්ගේ ගැටළු බවට මෙම ආඛ්‍යානය මගින් පත්කර තිබුණ බව පැහැදිලි වේ.

එමෙන්ම මෙම නාට්‍යය අවසානයේ වෙළ`දපොළ නියමයන් සංකීර්ණ අයුරින් ක‍්‍රියාත්මක වනු දැකිය හැකි විය. එනම් එම චරිතය මුහුණ දෙන ගැටළුවලට පොදුජනයාත් මුහුණ දෙන බවට පේ‍්‍රක්ෂකයා මතවාදී මෙහෙයවීමකට ලක් කර එවැනි ගැටළුවලට සාර්ථකව මුහුණදීම ස`දහා ජීවිත රක්ෂණයක් ලබාගත යුතු බවයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ නාට්‍යය රූපවාහිනී නාලිකාවේ විකාශය ස`දහා අනුග‍්‍රහය දැක්වූ රක්ෂණ ආයතනය විසින් අහිංසා නමින් නව රක්ෂණයක් ද හ`දුන්වා දීමයි. මේ ම`ගින් එක් අතකින් සංස්කෘතික ප‍්‍රාග්ධනයේ ආක‍්‍රමණීය ක‍්‍රියාකාරීත්වය පිළිබ`දව පැහැදිලි අදහසක් ඉදිරිපත් කරන අතර ආඛ්‍යානය මගින් ඉතා සංකීර්ණ අයුරින් පේ‍්‍රක්ෂකයා මතවාදී වශයෙන් මෙහෙයවන ආකාරය පිළිබ`ද අදහසක් ඇතිකරයි.

රොබර්ට් දක්වන පරිදි (Robert L, 1991) සමාජ මනෝවිද්‍යාඥයින් විසින් පොදු ජනයාගේ ආකල්ප ඇතිවීම හා වෙනස්වීම, සමාජ සංජානනය, අනුකූලත්වය, සමාජ භූමිකාව, ප‍්‍රාග් විනිශ්චය, පුද්ගලාන්තර ආකර්ශනය සහ කණ්ඩායම් ක‍්‍රියාකාරීත්වය පිළිබඳව වැඩි ඇල්මක් දක්වන්නේ ඒ අනුවය. මේ අනුව පැහැදිලි වන්නේ යම් දෘශ්‍ය සංරචනයක් මඟින් පොදුජනයා හෝ රූපවාහිනී පේ‍්‍රක්ෂකයා කෙරෙහි ඇතිකරනු ලබන සිතිවිල්ල මඟින් ඔහු ඒ සඳහා ප‍්‍රතිචාර දක්වන ආකාරය තීරණය විය හැකිි බවයි. එනම් ඔහු තුළ ඇතිවන ආකල්්පය මඟින් ඇතිකරන්නාවූ හැසිරීම් රටාවේ විවිධාකාර වෙනස්කම් ඇතිවිය හැකි බවයි. අදාළ දෘශ්‍ය සන්දර්භය මානසික වශයෙන් අපහසුතාවක් දනවන්නේ නම් එහි දෘශ්‍ය දූෂණයක් සිදුවී තිබිය හැකි අතර ඒ මඟින් අයහපත් ආකාරයේ අසාමාන්‍ය හැසිරීම් රටාවක් ඇතිවීමටත් හැකියාව පවතී. ඬේවිඞ් විග‍්‍රහ කරන ආකාරයට (David G, 2005) ආකල්ප පිළිබඳව අධ්‍යයනයේදී සිතට ඇතිවන බලපෑම (Affect), හැසිරීමේ නැමියාව (Behaviour Tendency) සහ ප‍්‍රජානනය (Cognition) යන මිනුම් දඬු තුන පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් පුද්ගලයාගේ චර්යාව හැඩගැසෙන ආකාරය පැහැදිලි වේ. මේවා අන්‍යෙන්‍ය වශයෙන් සබඳතාවක් දක්වන අතර චක‍්‍රාකාරව ක‍්‍රියාත්මක වේ. සිතිවිලි සහ ක‍්‍රියාව (Thought and Action), ස්වරූපය හා හැසිරීම (Charactor and Conduct), පෞද්ගලික වචනය සහ පොදු ක‍්‍රියාව (Private word and Public Deed) අතර ඇති සම්බන්ධය කුමක්ද යන්න පිළිබඳ මෙහිදී අවධානය යොමුකර තිබේ. විවිධාකාරවූ පෞද්ගලික විශ්වාසයන් හා හැඟීම් පොදුජනයාගේ චර්යාව නිශ්චය කරන අතර පොදුජනයාගේ චර්යාව ඔහුගේ සමාජ ආකල්ප වෙනස්වීම සඳහා සෘජු ලෙසම බලපානු ලබයි. තනි  පුද්ගලයන්ගේ ක‍්‍රියාකාරකම්වලට වඩා සමස්ත චර්යාව නිරීක්ෂණය මඟින් ඔහුගේ ආකල්පයෙහි ස්වභාවය විද්‍යාමාන වීම සිදුවේ.

මාධ්‍ය අන්තර්ගතය සහ ග‍්‍රාහකයන්ගේ චර්යාව (Behaviour) අතර ඇතිවන බලපෑමේ සම්බන්ධතාව අධ්‍යයනය කරන ආකෘතියක් වන Effect Model අනුව ද, පැහැදිලි වන්නේ ග‍්‍රාහකයා මෙහෙයවීම (Manipulation) ජනමතය (Public Opinion) සකස් කිරීම, විවිධ ප‍්‍රචාරයන් (Propaganda) වලින් විවිධ අරමුණු සපුරා ගැනීම සිදුකරන ආකාරයයි. මෙහිදී පේ‍්‍රක්ෂකයාට ඇති තෝරාගැනීමේ අයිතිය හා නිදහස අහිමි කරමින් අදාළ මාධ්‍ය මෙහෙයවන්නන්ගේ මතවාදය සහිත දෘශ්‍ය නිරන්තරයෙන් විකාශය කරමින් පේ‍්‍රක්ෂකයාගේ විඥානය බලහත්කාරයෙන් මෙහෙයවීමකට ලක් කරයි. ඬේවිඞ් තවදුරටත් විග‍්‍රහ කරන පරිදි (David G, 2005) යම් චර්යාවක් ඇතිවීම සඳහා මූලිකවම හේතු සාධක කීපයක් බලපානු ලබන අතර සැලසුම් සහගතව චර්යාව වෙනස් කිරීමට අදාළව ආකල්ප, විෂයමූලික ප‍්‍රතිමාන, ප‍්‍රත්‍යක්ෂ සංයමය එක්වීමෙන් චර්යාව පිළිබඳ අදහසක් නිර්මාණය වීමත්, ඒ මඟින් යම් නිශ්චිත චර්යාවක් ඇතිවීමත් සිදුවේ. රූපවාහිනී මාධ්‍යයේ දෘශ්‍ය ගොඩනැංවීම් මගින් ද, පේ‍්‍රක්ෂකයා මෙවැනි මෙහෙයවීමකට ලක් කරනු ලබයි. රූපවාහිනී ආඛ්‍යානවල අන්තර්ගතයන් පේ‍්‍ර්ක්ෂකයාගේ චර්යාවේ වෙනස්කම් කිරීමට දායකවන ආකාරය පිළිබඳ ඇමෙරිකා එක්සත් ජනපදය තුළ සිදුකර ඇති පර්යේෂණ කීපයක නිගමනය වී ඇත්තේ විශේෂයෙන්ම ළමුන්ගේ ආක‍්‍රමණශීලීභාවය (Aggression) සහ අයහපත් සමාජ චර්යාවන් (Anti-Social Behavior) ඇතිකිරීමට රූපවාහිනී දෘශ්‍ය දායක වන බවයි. එම සමීක්ෂණය පිළිබ`දව හෙන්රි විග‍්‍රහ කරන ආකාරයට (Henry J 2003) තුන්වන සහ හතරවන ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් වෙත මාධ්‍ය සාක්ෂරතාව පිළිබඳ පාඨමාලාවක් ඉගැන්වීම තුළින් ඔවුන් ඒ වනතෙක් රූපවාහිනිය නැරඹූ කාලය සහ වීඩියෝ ගේම්වල යෙදුන කාලය අඩුකර ඇති අතර ඔවුන්ගේ කායික සහ වාචික ආක‍්‍රමණශීලීත්වය සම වයසේ අනෙක් සිසුන්ට වඩා ඉතා අඩු මට්ටමකට පත්වී ඇති බව පැහැදිලි වේ.

රූපවාහිනිය ම`ගින් විකාශය කර හරිනු ලබන දෘශ්‍ය පඨිතයන් ග‍්‍රහණය කර ගැනීමෙන් පසු එය තමන්ට ගැලපෙන බවට චර්යාව වෙනස්කර ගැනීම සඳහා ආකල්පයක් ඇතිකර ගැනීම, තමන් ඇසුරු කරන පුුද්ගලයන් ද, එම පඨිතයේ සඳහන් ක‍්‍රියාවන් සිදුකරන ආකාරය පිළිබඳ විෂය මූලික ප‍්‍රතිමාන සකස්කර ගැනීම, තමන්ට ද, මෙය කළ හැකි දෙයක් බවට ප‍්‍රත්‍යක්ෂ නිශ්චය කරගැනීමක් සිදුකර ගැනීමෙන් පසු යම් නිශ්චිත කාලයක් තුළ තමන් ද, අදාළ කාර්ය සිදුකිරීමට යන බවට චර්යාව පිළිබඳ අදහසක් නිර්මාණය කරගැනීම මඟින් යම් නිශ්චිත චර්යාවක් ඇතිකර ගනී. මේ අයුරින් පේ‍්‍රක්ෂකයා තුළ ද, විවිධ ආකාරයේ අයහපත් චර්යාවන් ඇතිවීම නිරන්තරවම සිදුවේ. ජනප‍්‍රිය සංස්කෘතික වටිනාකම් ජනමාධ්‍ය මඟින් ලෝකය පුරා ව්‍යාප්ත වීමේ සුවිශේෂ ක‍්‍රියාකාරීත්වය මත බටහිර සංස්කෘතික හැසිරීම් රටා, ආචාර විධි, සිරිත් විරිත්, විලාසිතා, භාෂා විලාශය, ඉදිරිපත් කිරීමේ ස්වරූපය, පාරිභෝජන රටාව ආදි සියල්ල අනුකරණය කිරිමට පොදුජනයා පෙළඹීම මඟින් බටහිර සංස්කෘතික රසය සහ භාවිතයන් අනෙකුත් සංස්කෘතීන් මත බලහත්කාරයෙන් ආරෝපණය වීමක් සිදුව තිබේ. සමස්තයක් ලෙස ලෝකය පුරාම මාධ්‍ය හිමිකරුවන් හා කළමණාකරුවන් විසින් ග‍්‍රාහකයා තමන්ට අවශ්‍ය ආකාරයේ මෙහෙයවීමකට ලක්කරයි. පේ‍්‍රක්ෂකයාගේ සාමාන්‍ය හැසිරීම විකෘති වන ආකාරයේ මෙහෙයවීමක් සහිත දෘශ්‍ය අන්තර්ගත නිරන්තරයෙන් විකාශය කර හරියි.

රූපවාහිනී මාධ්‍යයට විශේෂිතව ජනමාධ්‍යවේදයේ තිරස් හා සිරස් වර්ධනය නිසා වර්තමානයේ සැතපුම් දහස් ගණනක් දුරින් ලෝකය පුරා සිටින ජනතාව සඳහා සාරධර්ම හා දැනුම නිෂ්පාදනය කරනු ලබන ආයතන වන්නේ තොරතුරු කර්මාන්තයේ නියැලෙන ආයතන වේ. අද්‍යතන රූපවාහිනී මාධ්‍ය බහුවිධ නාලිකා (Multi Channel) වලින් යුක්ත වේ. සියලූ නාලිකා බොහෝ අවස්ථාවල වාණිජ අවශ්‍යතා සඳහා ක‍්‍රියාත්මක වේ. ජෝන් ෆිස්ක් ට අනුව (Fiske, 1987) අද්‍යතන රූපවාහිනී මාධ්‍ය යනු සංස්කෘතික කර්මාන්තයකි. එම කර්මාන්තයේ හිමිකරුවන් මෙය ද, අන්‍ය කර්මාන්ත සේම ලාභය උපරිමය ලෙස සලකා ක‍්‍රියාකළ යුතු වන බව සිතයි. පැටි‍්‍රෂියාට අනුව (Patricia 1997) නරඹන්නා පාරිභෝගිකයෙක් (Consumer) බවට පත්කර සුපිරි වෙළෙඳසැලක්(Supermarket) වශයෙන් ගෝලීය රූපවාහිනිය ක‍්‍රියා කරයි. බව්ඩි‍්‍රලාඞ් විග‍්‍රහ කරන පරිදි (Baudrilad 1988) දේශපාලන හා සාමාජීය ක‍්‍රියාකාරකම් ස`දහා මණ්ඩපයක් වන්නේ යැයි අදහස් කළ පොදු අවකාශය වර්තමානයේ විවිධ වාණිජ අවශ්‍යතා ස`දහා යොදාගනු ලබන ආකාරය නිරීක්ෂණය වේ. ගෝලීය වාණිජකරණ ව්‍යාපෘතියේ එක් කොටසක් ලෙස පොදු අවකාශය පෞද්ගලීකරණය සිදුවන අතර රූපවාහිනී මාධ්‍යයටත් වඩා මේ ස`දහා හො`දම නිදසුන වන්නේ සයිබර් අවකාශය ආශ‍්‍රිතව වෙළ`ද ප‍්‍රජාවේ පෞද්ගලික න්‍යායපත‍්‍ර අනුව සිදුකරමින් පවතින අවභාවිතයයි (Abuse).

මෙහිදී පේ‍්‍රක්ෂකයා මතවාදී වශයෙන් මෙහෙයවන අතරම ජනරාශී මාධ්‍යයක් සතුව තිබිය යුතු පුළුල් ආචාරධර්මීය පදනම ද, වෙළ`දපොළ විසින් උල්ලංඝනය කර ඇති ආකාරය ද, පැහැදිලි වේ. සමීක්ෂණය ස`දහා ලබාදුන් ග‍්‍රාහකයාගේ අදහස් විශ්ලේෂණය කිරීමේදී ද, පැහැදිලි වන්නේ පේ‍්‍රක්ෂකයාගේ චර්යාවේ එවැනි වෙනස්කම් කළ හැකි සහ ආචාරධර්මීය ගැටළු ඇතිකරන ආකාරයේ දැන්වීම් ප‍්‍රචාරය වන බවයි. සමාජයේ පිළිගත් වෘත්තියක් වන වෛද්‍යවරයෙකු යොදාගනිමින් සිග්නල් දන්තාලේපය ප‍්‍රවර්ධනය කරන ප‍්‍රචාරණ දැන්වීමක් මගින් පේ‍්‍රක්ෂකයා මෙහෙයවන අතරම මාධ්‍ය ඉහත පරිදි ආචාරධර්ම උල්ලංඝනයක් ද,  සිදුකරයි. එනම් එම දන්තාලේපය මිලදී ගන්නා ලෙස වෛද්‍යවරයා ලෙසින් පෙනීසිටින චරිතය විසින් පේ‍්‍රක්ෂකයාගෙන් ඉල්ලා සිටී. එමෙන්ම රූපවාහිනී නාලිකාවලින් විකාශය වන කොකාකෝලා දැන්වීමක් මගින් ළමා වයසේ පේ‍්‍රක්ෂකයින්ට ඉතිරි කිරීමේ වැදගත්කම පෙන්වා දෙන අතරම එම ඉතිරිකළ මුදල් වලින් කොකාකෝලා මිලදී ගැනීම ස`දහා පෙළඹවීමක් සිදුකරයි. මේ ම`ගින් දරුවන් තුළ අයහපත් ආකාරයේ චර්යාවන් හා පුරුදු ඇති කරන අතර ළමා පරපුර කෙරෙහි අනවශ්‍ය මැදිහත්වීමක් සිදුකරයි. මේ අයුරින් රූපවාහිනී දැන්වීම්වල ආඛ්‍යානයෙහි ඇති අතථ්‍ය දෘශ්‍ය සංඥාර්ථ ම`ගින් ඇතිකරන මතවාදී මෙහෙයවීම මෙන්ම එම ආඛ්‍යන මගින් සිදුකරන මාධ්‍ය ආචාරධර්ම කඩකිරීම සහ දේශීය සංස්කෘතික වටිනාකම් කෙරෙහි ඇතිකරන බලපෑම නිසා ගැටළු සහගත තත්වයක් ඇතීවී තිබේ. එමෙන්ම මෙම දැන්වීම් ආඛ්‍යාන ම`ගින් විවිධ වයස් කාණ්ඩයන්ට අයත් පේ‍්‍රක්ෂකයා තුළ අනවශ්‍ය පාරිභෝජනවාදී සිතුවිලි නිර්මාණය කරන අතර එම ආඛ්‍යානවල ඇති ප‍්‍රතිරූප අනුකරණයට නිරන්තරයෙන් පේ‍්‍රක්ෂකයා පොළඹවයි. ඉහත පරිදි සිදුවන දෘශ්‍ය භාවිතය තුළ දූෂණයක් සිදුවේ.

මාක්ස් හා එංගල්ස්ට අනුව (Marx and Englesල 1845-46: translated in 1968) කිසියම් සාමාජයක නිෂ්පාදනය වන සංස්කෘතිකාංග එම සමාජයේ නිෂ්පාදන රටාව හිමි පංතියේ අවශ්‍යතා, විශ්වාස, වටිනාකම්, දර්ශනය පිළිබිඹු කරනු ඇතැයි යන අධිපති මතවාදී (Dominant  Ideological) විග‍්‍රහය අනුව රූපවාහිනී මාධ්‍ය සමාජ විඥානයේ සංයුක්ත ක්ෂේත‍්‍රයක් හැටියට සුවිශේෂ හා ප‍්‍රබල කාර්යභාරයක් ඉටුකරන අතරම එහි දෘශ්‍යමය අන්තර්ගතය ද, තීරණය කරනු ලබයි. මෙයට අනුව ධනවාදයේ තුන්වන කාර්තුවේ දී ආර්ථික බලය හිමි පංතිියේ සංස්කෘතික පරාවර්තනයක් ලෙස ජනප‍්‍රිය සංස්කෘතිය ව්‍යුත්පන්න වේ. මේ අනුව රූපවාහිනී මාධ්‍යයේ දෘශ්‍ය සංරචනය සිදුවන්නේ ද, මෙම ක‍්‍රමයේ අවශ්‍යතා පදනම් කරගෙනය. විවිධ සංස්කෘතීන්ට හා රසයන්ට හිමිකම් කියන පේ‍්‍රක්ෂකයින්ට අයත් පොදු අවකාශය පෞද්ගලීකරණය වී ඇති අතර එය නිදස්ව භාවිතා කිරීමේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතිය ප‍්‍රාග්ධනය ම`ගින් මෙහෙවන ලද විවිධ අතථ්‍ය හා ව්‍යාජ රූප විකාශය ම`ගින් අහිමි කර ඇත. මෙම දෘශ්‍ය ප‍්‍රතිනිෂ්පාදනය දූෂණයක් වන අතර රූපවාහිනී මාධ්‍යයේ එම දෘශ්‍ය දූෂණය මගින් විශාල සාමාජීය හා සංස්කෘතික බලපෑමක් සිදුකරයි.

……………………………………………………………….. ආශ්‍රේය ග්‍රන්ථ..................................................................................

Adorno Theodor and Horkheimer Max. (1993), (1944). The Cultural Industry: Enlightenment as Mass Deception, in Adorno and Hokheimer (ed.) Dialectic of Enlightenment, New York: Continuum.
Allen Robert C. (1992). Channels of Discourse, Reassembled: Television and Contemporary Criticism, London, Rutledge.
Bandura A. (1977). Social Learning Theory, New York: General Learning Press.
Baudrillard Jean, Bernard Schutze, Caroline Schutze. (1988). the Ecstasy of Communication, Semiotics (e), USA.
Baudrillard Jean. (1998). Simulacra and Simulations, Jean Baudrillard, Selected Writings, Ed Mark Poster. Stanford University Press.
Conway Joseph C & Rubin Alan M. (1991). Psychological Predictors of Television Viewing Motivation, Communication Research, a journal of Sage Publication.
Crooks Robert L, Stein Jean. (1991). Psychology-Science, Behavior and Life, Holt, Rinehart and Winston, Inc.
Fiske John. (1997). Television Culture, London, Rutledge,
Gerbner George. (1970). Cultural Indicators: The Case of Violence in Television Drama, Sage Publications.
Gillion Dyer: (1982), Advertising as Communication, London, Rutledge,
Habermas J. (1962). Translated by Burger, T. (1989). The Structural Transformation of the Public Sphere: An Inquiry Into A Category of Bourgeois Society, London, Polity Press.
Henry P, Charles C. (1982). Social Learning Theory, Journal of Organizational Behavior Management.
Holland Patricia. (1997). The Television Hand Book, London, Rutledge
Hoynes William, David Croteau and Milan Stefania. (2011). Media/Society: Industries, Images, and Audiences, Sage Publication.
James Fredric. (1988), Postmodernism and Consumer Society: In Studies in Culture: An Introductory Reader, London.
Lippmann Walter. (1992). Public Opinion, Transaction Publishers, New Jersey, New Brunswick
Lopes Dominic. (1997). Art media and the Sense Modalities, Tactile Pictures, The Philosophical Quarterly, vol.47.
Marie Barr Ann. (1997). Visual Intelligence: Perception, Image, and Manipulation in Visual Communication, New York, State University.
Marx Karl, Friedrich Engels. (1845-1846). A Critique of the German Ideology, Translated by Tim Delaney, Bob Schwartz, Brian Basgen. (1968). Progress Publishers, Source: Marx/Engels Internet Archive (Marxists.org)
Masuda Yoneji. (1985). Computopia: Parameters of the Post-industrial Society, in Forester Tom (Ed.) the Information Technology Revolution, T.J Press, Cornwall, Basil Blackwell Ltd.
McGuire William J. (1999). Constructing Social Psychology Creative and Critical Aspects Constructing Social Psychology: Creative and Critical Aspects, Cambridge University Press.
McLuhan M, Quentin F. (1967). The Medium is the Message; An Inventory of Effects, New York.
McLuhan M. (1970). Culture is our Business, Toronto.
Myers David G. (2005). Social Psychology. McGraw-Hill.
Nicholas Joe, Price John. (1998). Advanced Studies in Media, Thomas Nelson and sons Ltd.
Rogers Everett M. (2003). Diffusion of Innovations, 5th Edition, Simon and Schuster Publishers.
Stam Robert. (2000). Film Theory: An Introduction, Oxford, Black well.
Swanston Michael. (2001). Visual Perception: An Introduction, Psychology Press, Sussex.
Wahab Juliana Abdul. (2009). Television talk shows and the public Sphere, Malaysian Journal of Communication, University of Sains, Malaysia.

ආචාර්යතුමා