Wednesday, 24 March 2021

සමාජ සංස්ථාවන්ගේ ප්‍රභවය සහ පරිණාමය

 



මානව සමාජය තුළ විවිධ සමාජ සංස්ථාවන් පරිණාමයට පත් වූ ආකාරය පිළිබඳව කථාන්තර ස්වරූපයෙන් කරුණු ඉදිරිපත් කිරීම සෑම සමාජ දර්ශනයක ම පාහේ දක්නා ලැබෙන ලක්ෂණයකි. මෙම කථා ඉතිහ‍ාසඥයන් හා පුරා විද්‍යාඥයන් කරුණු දක්වන නිශ්චිත විද්‍යානුකූල ඓතිහාසික ස්වරූපය දරන්නේ නැත. හරියට ම අසවල් දින අසවල් පුද්ගලයන් අතර මෙසේ  සිදු වී යැයි සනාථ කර දැක්වීමට හැකි වන්නේ ඓතිහාසික කරුණු පමණි. මානව විද්‍යාඥයන් ශිෂ්ටාචාරයෙහි පරිණාමය සිදු වීම පිළිබඳ තම නිරීක්ෂණ දක්වන්නේ එබදු රටාවකින් නොව පුරාණ කථා (ම්ය්ත්) ආකෘතියෙනි. එබඳු පුරාණ කථා ඇත්ත හෝ බොරු වශයෙන් විග්‍රහ කරනු නො ලැබේ. අතීතය පිළිබඳව ලැබෙන සීමිත සාධක ඔස්සේ විචාරාක්ෂිය යොමු කරන චින්තකයන් ගේ සියුම් පරිකල්පන ශක්තිය දාර්ශනිකය. එහි තාර්කිකත්වය හා සත්‍යානුරූපී බව තහවුරු වන්නේ ඉතිහාසය ඇසුරෙන් ම නොවේ. එහෙයින් ම ඒවා ඉදිරිපත් කරන ස්වරූපය බොහෝ විට කථාරූපී බවක් ගනි යි. මානව සමාජයේ ආදීම අවස්ථාවෙහි මිනිසා ක්‍රියා කළ අන්දම හා ක්‍රමයෙන් මානව සමාජය සංකීර්ණ වූ ආකාරය පිළිබඳ මේ පුරාණ කථා තුළින් වැදගත් කරුණු උකහා ගැනීම මිස  කථාවේ අංගෝපාංග  සැබෑ දැයි විග්‍රහ කිරීම අනවශ්‍ය බව මානව විද්‍යාඥයෝ සිතති. මාක්ස්වාදීන් ආදිතාලීන සාමූහික සමාජය පිළිබඳව දක්වන පුරාණ කථාව මෙන්ම බුදුසමයෙහි එන අග්ගඤ්ඤ සූත්‍ර පුරාණ කථාව ද මෙ බඳු මානව විද්‍යානුකූල කරුණු ප්‍රකාශ කරන පුරාණ කථා ය.

බුදුදහම මිනිසාගේ හෝ සත්වයා ගේ සම්භවය පිළිබඳ විද්‍යාත්මක න්‍යායයක් ඉදිරිපත් නො කරන බව ප්‍රකට කරුණකි. ලෝකය ඉබේ ඇති වී ද, කවුරුන් විසින් හෝ මවන ලද ද, ප්‍රථම මිනිසා පහළ වූයේ කවරදා ද වැනි ප්‍රශ්න බුදු දහමේ විෂය කේෂත්‍රයට නො ගන්නා ලදී. මෙ බඳු අතීත ගවේෂණ කාර්යයන් බුදුරජාණන් වහන්සේ විසින් ඉවත ලන ලද්දේ එයින් මිනිසා ගේ  විමුක්තිය විෂයයෙහි කිසි ම ප්‍රයෝජනයක් නැති බැවිනි. බුදුරදුන් විසින් පෙන්වා දී ඇත්තේ මිනිසා සසර දුකට මැදි වී මහත් ව්‍යසනයක‍ට පත්ව සිටින හෙයින් , ඔහු එයින් විමුක්තිය ලබා ගත යුතු බවය. තමන් සසරට බැඳ තබන බැඳුම් මොනවාදැයි මැනවින්  දැන ගැනීම තුළින් ඔහුට විමුක්තිය ලබා ගැනීමේ ශක්තිය ලැබේ. චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධය මේ සඳහා හොඳට ම ප්‍රමාණවත්ය. එහෙයින් අනවශ්‍ය වූත් ඉන්ද්‍රීය ඥාන විෂයයෙන් ( ඉදුරන් මෙහෙයවා ප්‍රත්‍යක්ෂ කර ගත හැකි දැනුම් පථයෙන් ) පරිබාහිර වූත් කරුණු පිළිබඳ ගැටළු බුදු දහමෙහි “අව්‍යාකෘත” ලෙස ඉවත ලා ඇත.

එසේ නම් සමාජ සංස්ථාවන් ගේ  පරිණාමය ගැන ප්‍රවාදරූපී ව හෝ කථා කරන්නේ කුමට දැයි ප්‍රශ්නයක් මතු කළ හැකිය. සමාජ විකාශය පිළිබඳ ව කරුණු පුරාණයක් වශයෙන් හෝ කථා කිරීමෙන් ප්‍රයෝජනයක් තිබේද? එය මිනිසාගේ විමුක්තියට අදාල වන්නේ කෙසේ ද? ඒවා ගැන කථා නො කර විමුක්තිය ලද හැකිව තිබියදී ඒ පිළිබඳව සාකච්ඡා කරන්නේ කුමට ද? මීට ම අදාල ව නැගිය හැකි තවත් ප්‍රශ්නයක් නම් එම දුරාතීත සිද්ධීන් ගැන බුදුරද්න් ඉදිරිපත් කරන්නේ හුදු පරිකල්පනයන් ප්‍රබන්ධ කළ කථාවක් ද, නැතහොත් සර්වඥතා ඥානයෙන් දුටු යථාර්ථයක් ද යන්නයි. දෙවන ප්‍රශ්නයට මුලින් පිළිතුරු දීම වඩාත් යෝග්‍ය යැයිහැ‍ඟේ. සමාජ මානව විද්‍යාඥයන් හා දේශපාලන චින්තකයන් තම පුරාණ කථා ඉදිරිපත් කරන්නේ තමන් ලද විද්‍යානුකූල  ශීක්ෂණය හෝ තමන් පිළිගත් දේශපාලන න්‍යාය පදනම් කර ගත් තාර්කික පරිකල්පනය මගින් දක්නා යමක් බව සැබෑය. ( එසේ වූ පමණින් එම අදහස් වැදගත් කමින්  අඩු වන්නේ නැත. ) එහෙත් බුදුරදුන්ගේ නුවණට ගෝචර වන සත්‍යය ඊට වඩා යථාර්ථවත් වන්නේ සර්වඥතා ඥානයට දීර්ඝ අතීතය සම්මර්ශනය කිරීමේ ශක්තියක්  අන්තර්ගත නිසාය. බුදු වර‍යකුට සත්වයන් පිළිබඳ දීර්ඝ  අතීත ඉතිහාසය ආවර්ජනා‍ කිරීමේ කෞශල්‍යය ලැබේ. එමෙන් ම අනෙක් ධාතුක වූ මහා විශ්වය පිළිබඳව ද ප්‍රත්‍යක්ෂ ඥානයක් බුද්ධඥානයට අයත්ය. එහෙයින් සර්වඥයන් වහන්සේට පරිකල්පනයෙන් කරුණු ගොතන්නට  අනවශ්‍ය ය . එහෙත් ඒවා ශ්‍රාවකයනට දේශනා කිරීමේ දී උන්වහන්සේ ට කාලයට අනුරූප ව ( කාලවාදී ) ශ්‍රාවකයන් ගේ ආසය අනුසය විමසා ඔවුන්ගේ  අවබෝධ ශක්තියට ගැලපෙන පරිද්දෙන් දේශනා කිරීමට සිදුවෙයි. සාමාන්‍ය පෘථග්ජන අසන්නන්ට මානව ඉතිහාසය හා විශ්ව විකාශය පිළිබඳ කරුණු ග්‍රහණය කර ගැනීමට හැකියාව අඩු නම් , ඔවුනට හුරු පුරුදු පුරාණ කථා ආකෘතිය තුළට මානව විද්‍යාත්මක කරුණු ආරෝපණය කර දේශනා කිරීම අවශ්‍ය වෙයි. එහෙයින් සන්නිවේදන ශිල්පයෙහි ඇති සුක්ෂම කෞශල්‍යයෙන් අනූන  ව සිටි තථාගතයන් වහන්සේ විසින් තම ධර්මය ශාවක ජනයාට අනුරූප වෙමින්  භාරතීය ජනතාවට එවකට හුරුව පැවති ආකෘතියෙන් දේශනා කළ බව නිරතුරුව ම සිත්හි තබා ගත යුතු ය.  උන්වහන්සේ විසින් විශ්වය පිළිබඳ ව වදාළ කරුණු විද්‍යානුකූලව නිවැරැදි යයි මැනවින් සනාථ වී ඇති බව මෙහිදී සැළකිල්ලට ගැනීම ද වටි යි.

සමාජ පරිණාමය ගැන පුරාණ කථා ස්වරූපයෙන් හෝ කරුණු දක්වන්නේ කුමට ද, එයින් විමුක්තියට කවර උපයෝගිතාවක් තිබේ ද යන ප්‍රශ්නය ගැන දැන් අපේ සිත් යොමු කළ හැකිය. බුදු දහම මිනිසාගේ ආධ්‍යාත්මික විමුක්තිය ගැන මෙන්ම සමාජගත විමුක්තිය හෙවත් යහපත් සමාජයක් තුළ ප්‍රසන්න පරිසරයක ජීවත් වීමේ අවස්ථාව සලසා දීමගැන ද උනන්දු වන බව මෙහිදී කිව යුතුව තිබේ. වෙනත් වචන වලින් කියතොත් පුදුගලයාගේ සන්තානගත දුක මෙන්ම සමාජයේ සංස්ථාගත දුකද නිවාරණය කිරීම බුදුදහමෙහි අරමුණ වෙයි. එහෙයින් සමාජයෙහි පවත්නා ජාති- කුල භේද, වර්ගවාදී ගැටුම් , අපරාධ , අයුක්තිය, අසාධාරණය, දිළිඳුකම වැනි ගැටළු කෙරෙහි යම් ආලෝකයක් ලැබෙන ඉගැන්වීම් ද බුදු දහම තුළින් ඉදිරිපත් කර ඇත. සමාජ සංස්ථාවන් ගේ පරිණාමය පිළිබඳ පුරාණ කථාව ඉදිරිපත් කර ඇත්තේ ද පූර්වෝක්ත අතිශය වැදගත් අරමුණ සනාථ කර ගැනීමට මිස අසන්නට රසවත් කථා පුවතක් මඟින් විනෝදාස්වාදයක් සැපයීමට නොවේ. දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රයෙහි ආරම්භය මඟින් ම මෙය සනාථ කළ හැකිය. වාසෙට්ඨ හා භාරද්වාජ නම් උපතින් බ්‍රාහ්මණයන් වූ හිමි ‍ෙදනමක්  අමතා කර ඇති මෙම දෙසුම තුළින් මානව සමාජයේ සංස්ථාවන් සංකීර්ණ වූ ආකාරය පිළිබඳ කථා පුවත ඉදිරිපත් කර ඇත්තේ වර්ණ භේදය ( කුල , ජාති, ගොත්ත ආදී වචන වලින් ද හදුන්වා ඇති උපතින් මිනිසුන් උස් - පහත් වශයෙන් බෙදා දක්වන ක්‍රමය) පිළිබඳ දුර්මත නිරාකරණය කර චතුර් වර්ණයෙහි ජනයාගේ සාම්‍යය  තහවුරු කරණු පිණිසය.  එක් යුගයක දී කිසියම් කාලීන ප්‍රයෝජනයක් සඳහා ඇතිකර ගත් සම්මුතියක් කලකට පසු විකෘති වී මූලික අරමුණින් ඈත් වී යල් පැන ගිය හ‍ා අහිතකර සංස්ථාවක් බවට පත් වූ ආකාරය එයින් පැහැදිලි කර ඇත. එමෙන් ම නීතිය , රාජ්‍යය, බදු ක්‍රමය, දණ්ඩනය ආදී සංස්ථාවන් ගේ ද මූලික අරමුණු පහදා දීම තුළින් තත් කාලීන සමාජ සංස්ථාවන් වෙන මාර්ගෝපදේශයක්  සැපයීම ද එයින් ඉටු වෙයි. යම් යම් දේශපාලන හා සමාජ ආයතන වෙත එක එල්ලේ දැඩි විවේචන එල්ල කිරීම තුළින් සිදු කර ගත නොහැකි සංසෝධන හා සංස්කරණ මෙ බදු සියුම් හා මෘදු දාර්ශනික සන්නිවේදන උපාය මාර්ග මඟින් සාධනය කර ගත හැකි බව බුදුරජාණන් වහන්සේ ගේ දේශනාවලින් පෙනේ. උන්වහන්සේ ගේ මෙ බදු දේශන මඟින් තත් කාලීන සමාජ චින්තනයේ වෙනසක් සිදු වූ බව පසු කාලීන බ්‍රාහ්මණ ආගමික ලේඛන පවා කුල භේදය හා රාජ්‍යය වැනි විෂය පිළිබඳ ව  කරුණු දැක්වීමේ දී පෙරට වඩා මෘදු වූත් හිතකර වූත් ස්වරූපයෙන් කරුණු දැක්වීමට පෙළඹීමෙන් පෙනේ. එහෙයින් බුදුරදුන් සමාජ සජස්ථාවන් ගේ ක්‍රම  විකාශය පිළිබඳව වදාළ දේශන ඉතා වැදගත් සමාජ කාර්යය භාරයක් අරමුණු කරගත් අර්ථ සම්පන්න දේශන බව කිව යුතුව තිබේ.


අග්ගඥ සූත්‍රය මෙම ප්‍රස්තුතය පිළිබඳ ප්‍රධානතම මූලාශය හෙයින් ඒ පිළිබඳ ව  විධිමත් ව සාකච්ඡා කිරීම අවශ්‍ය ය. දීඝ නිකායෙහි එන මෙම සූත්‍රය බෞද්ධ සමාජ දර්ශනයෙහි මූලික සංකල්ප රාශියක් ඉතා රමණීය ආකෘතියකින් ඉදිරිපත් කරන දේශනයකි. මහාචාර්යය කේ. එන්. ජයතිලක මෙම සූත්‍රයෙහි ප්‍රධාන තේමා තුනක් දකියි.


 වර්ණ භේද සංකල්පය උපකාරී කර ගනිමින් බ්‍රාහ්මණයන් විසින් තමන් අන් අයට වඩා උසස් බව කියා ගැනීමෙහි සාවද්‍ය බව හෙළි කිරීම.

පොළොවෙහි ක්‍රම විකාශය දැක්වීම


මානව ස්වභාවයෙහි ඇතිවන වෙනස්කම් හා භෞතික ආර්ථික සාධකයන්හි ඇතිවන වෙනස්කම් සදාචාර සංකල්පවලට බලපාන ආකාරය හෙළි කිරීම.

මේ කරුණු විවරණය කරන ආකෘතියෙහි  ඇති තවත් සුවිශෙෂ වැදගත් කමක් නම් අතීතයෙහි පැවති යම් යම් ව්‍යවහාර වර්තමානය දක්වා පැවත ඒමේ දී මූලික පැරණි ස්වරූපය අමතක කර බාහිර රූපය විසින් පමණක් පුරාණ දෙය ( පෝරාණං අග්ගඤ්ඤං අකඛරං) පැවති ඇති අයුරු පෙන්වා දීමය. මෙය මානව විද්‍යාඥයන් වත්මනෙහි බල්ලන් කවර තැනක නින්දට යතත් වට තුනක් කැරකී නින්දට යාම පිළිබඳ ව ඔවුන් වනචාරී සත්වයන් ලෙස ජීවත් වූ යුගයෙහි කළ ක්‍රියාවක් දිගට ම අනුකරණාත්මක ව පවත්වා ගෙන ඒමක් සේ කරන විග්‍රහයට සම කළ හැකිය. අග්ගඥ සූත්‍රය එබඳු කරුණු හතක් මුල්කරගෙන අතීතය පිළිබඳ සමාලෝචනයක යෙදෙයි. 


අහෝ රසං, අහෝ රසං ( අනේ රසයි, අනේ රසයි.)

අහු වත නෝ , අහායි වත නෝ. ( අපිට තිබුණා, නැති වුණා)

වධුයා තිබ්බුයහමානාය ...... පංසුං ඛීපන්ති , සෙට්ඨිං ඛීපන්ති , ගොමයං ඛීපනති ( මනාලියක කැදවා ලගන යන විට පස් , ගල් කැට, ගොම ආදියෙන් දමා ගසති. )

මහා සම්මත, ඛත්තිය , රාජා. (ක්ෂත්‍රීය)

බ්‍රාහ්මණ , කඣායක, අජ්ඣායක. (බ්‍රාහ්මණ)

වෙස්ස ( වෛශ්‍ය)

සුද්ද ( ශුද්‍ර)


මෙම සමාලොචනය කරනු ලබන්නේ පූර්වෝක්ත තේමාවන් මුල් කරගනිමින් වර්ථමාන සමාජයට අතිශයින් වැදගත් සමාජ දේශපාලන හා ආර්ථික විචක්ෂණයක් ලබා දීම සඳහා ය. වර්ථමාන කුල භේදය වැරදි අරමුණක් සඳහා යොදාගත් දෙයක් බව එයින් පැහැදිලි කර දෙයි. පැරණි යුගයේ කුල භේදය එක්තරා ප්‍රායෝගික හේතු කීපයක් නිසා කාලීන ව ඇති කර ගත් සම්මුතියක් වශයෙන් එකලට අර්, සම්පන්නව තිබුනත් දැන් එහි අර්ථ සම්පන්න බව ගිලිහී ඇති බව මැනවින් පහදා දී ඇත. එමෙන් ම රජ පදවිය මහජනතාව විසින් පොදු සම්මුතියක් මත ප්‍රජාත්‍රාන්ත්‍රික ලෙස ඇතිකරගත් දෙයක් බව ද ගම්‍ය වෙයි. එය වැදගත් වන්නේ තත්කාලීන රජවරුන්ට තමන් ජනතාවට වග කිවයුතු බව එමගින් සිහිපත් කර දෙන හෙයිනි. 

අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වෙන කතා පුවත ඇරඹෙන්නේ ලෝකය විවට්ටමාන යුගයට පිවිසීමත් සමඟය. බෞද්ධ ලෝක විභාගයේ දැක්වෙන්නේ අප ජීවත්වන ලෝකය වරින් වර සංවට්ටනය ( හැකිලීම ) හා විවට්ටනය ( විකසනය) වන බවය. ලෝකය නම් විශ්වයයි. බුදුරදුන් දුටු විශ්වය වුලනිතා ලෝකධාතුව මජ්ඣිමකා ලෝක ධාතුව හා මහා ලෝක ධාතුව වශයෙන් තුනකට බෙදේ.  වුලනිතා ලෝකධාතුව මෙයින් කුඩාම ඒකකයයි. එහි අප වසන සෞරග්‍රහ මණ්ඩලය බදු සෞරග්‍රහ මණ්ඩල රාශියක් අන්තර්ගත ය. නූතන විද්‍යාත්මක ව්‍යවහාරය හා සම කර බලන්නේ නම් එය ගැලැක්සියකට සම කළ හැක. එබදු වුලනිතා ලෝක ධාතු සමූහයකින් මජ්ඣිමකා ලෝක ධාතුවක් සෑදේ. එය ගැලැක්සි පොකුරක් හා සමානය. එබදු මජ්ඣිමකා ලෝක ධාතු රැසක් එක් වී මහා ලෝක ධාතුව තැනී ඇත. මෙම ලෝක ධාතුවෙහි සංවට්ටමාන යුගය එහි ස්වභාවය මුළුමනින් ම විකෘ.කරන්නකි. එබදු යුගයක දී පෘථිවියේ සත්ව ජීවිතය අපහසුයි. සත්වයෝ ආභස්සර කායික ව ( සූක්ෂම ස්වරූපයකින් ) රැකී සිට විවට්ටමාන යුගය පටන් ගත් විට පෘථිවියට එති. පෘථිවිය එකම ජල ගෝලයක් මෙන් අඳුරෙහි දිගු කලක් පවති යි.  මෙහි වාසයට එන සත්වයා අහසෙහි හැසිරෙන්නට සමත් මනෝමය සිරුරින් යුත් , ප්‍රීතිය ආහාර කරගෙන ජීවත් වන සිරුරින් ආලෝකයක් විහිදුවන ජීවීහු වෙති.මෙසේ කලක් ගත වූ පසු දිය මත රස තලය හෙවත් වර්ණවත් රසවත් සුවඳ පොළෝ තලයක් සැකසෙයි. මේ මිහිරි පෘථිවිය දක්නා එක් සත්වයෙක් ස්වකීය ලොල් බව ( ආශාව ) නිසා පොළොවේ ඇඟිල්ල හා රස බලයි. ඔහුට එය රසවත් ව මිහිරිව දැනීමෙන් ඒ කෙරහි තෘෂ්ණාව උපදියි. අනිකුත් සත්ත්වයෝ ද එය රස විදිති. හැම දෙනා ම ඊට ගිජු ව අනුභව කරන්නට පටන් ගනිති. මෙහි ප්‍රතිඵලය වන්‍න් ඔවුන්ගේ ශරීරවල ප්‍රභාව අතුරුදහන් වීමයි. ඉන් පසු ඔවුන් ආලෝකය දකින්නේ හිරු - සඳු ඇසුරෙනි. මෙසේ දිගු කලක් රස පොළොව අනුභව කරන සත්ත්වයන් ගේ ශරීර ක්‍රමයෙන් ගොරෝසු විය. සමහරුන් තුළ වර්ණවත් බව හා සමහරුන් තුළ දුර්වර්ණ බව ඇතිවිය. ඔවුනතුරෙන් වඩා පැහැපත් සිරුරු ඇත්තෝ පැහැපත් බවින් ඌන වූවන් හෙළා දක්නට පටන් ගත්හ. මෙම මානය හෙතුවෙන් රස පොළෙ‍ාව අතුරුදහන් විය. ( පොළොවේ රසය නැති විය. ) එවිට මිනිස්සු තමන් කලින් අනුභව කළ රස පොළොව මතක් කරමින් “අනේ රසයි, අනේ රසයි” යනුවෙන් සිහි කරන්නේ එම පැරණි වහර මතු කරමිනි. එය මතක් කළ ද අරුත නො දනිති.

අනතුරුව ඔවුන්ගේ ප්‍රයෝජනය පිණිස “ පප්පටක” නම් බිම් හතු වර්ගයක් පහළ විය. එය ද ඉතා වර්ණවත් සුවදැති රසවත් ආහාරයක් වූයෙන් සත්ත්වයෝ එය අනුභව කරමින් කලක් විසූ හ. එහෙත් එහි ප්‍රතිඵය වූයේ ඔවුන්ගේ ශරීර වඩාත් ගොරෝසු වීමයි. පැහැපත් - දුර්වර්ණ වෙනස් කම් ද වැඩිවිණි. පැහැපත් වූවෝ මානාධික ව පැහැපත් නොවූවන් හෙළා දුටූ හ.   මෙම වර්ණ මානය නිසා භූමි පප්පටක ද අතුරුදහන් විය.

ඉන් පසු බද්‍රලතා නම් රසවත් වැල් වර්ගයක් පහල වූයෙන් සත්වයෝ එය අනුභව කරන්නට පටන් ගත් හ. එයින් ද වූයේ වර්ණ භේද වැඩි වීමයි. එයින් මානය වර්ධනය කර ගත් පැහැපත් වූවන් ගේ නො මනා මානය නිසා එය ද අතුරුදහන් විය. එයින් තැවුලට පත් සත්ත්වයෝ එක් රැස්ව සාකච්ඡා කළහ. “ අපට තිබුන දේ නැති වුණා” යි ඔවුහු දුක් වූහ. වත්මන් මිනිස්සු ද යමක් තිබී නැති වූ විට “අපට තිබුණ දේ නැති වුණා” යි දොම්නස් වෙති. එහෙත් එහි ආදි නිදානය නො දනිති.   

අනතුරුව පොතු ( දහයියා ) නැතිව පැසෙන පිරිසිදු සුවඳ ඇල් හාල් වර්ගයක් ඇති විය. ඒ සුවඳ සහල් උදේ කපා ගත් විට සවසට යළි වැවෙයි. ඉවර නොවෙයි. හිඟ නොවෙයි. එය අනුභව කරමින් සත්ත්වයෝ බොහෝ කලක් සුවසේ විසූ හ. එහි ප්‍රතිඵල ලෙස ශරීර වඩ වඩාත් රළු වූවා මෙන් ම ස්ත්‍රී හා පුරුෂ වශ‍ෙයන් ලිංග භේදය ද ප්‍රකට විය. මෙසේ ස්ත්‍රී පුරුෂ දෙවර්ගය වෙන වෙන ම පැහැදිලි වූ පසු ස්ත්‍රී පුරුෂයෝ ඔවුනොවුන් දෙස බොහෝ වේලා බලා සිටින්නට පටන් ගත්හ. එයින් ඔවුන්ගේ සිත් තුළ රාගය ඇති විය. ඔවුහු මෛථුන සේවනයෙහි යෙදුණා හ.  මේ කවර විදියේ හැසිරීමක් දැයි නො දත් අය “ සත්ත්වයෙක් තවත් සත්ත්වයෙකුට මෙ බදු දෙයක් කරන්නේ කෙසේ දැයි” විමසමින් පස්, ගොම ආදියෙන් දමා ගැසූ හ. නිග්‍රහ කළහ. අද වුව ද මනාලියක ගෙන යන විට ඇතැම් සමාජවල  මෙසේ පස් , ගල්කැට, ගොම ආදියෙන් දමා ගසති. එහෙත් එම ක්‍රියාවෙහි ආදි අරුත නො දනිති. පසුව සත්ත්වයෝ එබදු ක්‍රියාවක යෙදෙන අය වෙනුවෙන් වෙන ම පිළිවෙතක් යෙදූ හ. එනම් මසක් දෙකක් ගම මැදට පිවිසෙන්නට ඉඩ නො තබා කොන් කිරීමයි. මේ දඩුවමින් මිදී ලිංගික හැසිරීම් වල යෙදෙනු කැමැත්තෝ රහසිගත ව එය ඉටුකරගනු පිණිස ගෙවල් තනා ගත්හ.

මේ අතර එක් අලස පුද්ගලයෙක් වේලෙන් වේලට හැල් කපා ගෙන ඒම කරදරයක් සේ සිතා දෙතුන් වේලකට එක වර කපා ගෙනවුත් ගබඩා කර ගත්තේ ය. මෙය දුටු අන්‍යයෝ ද එසේ කරන්නට පටන් ගත් හ. ඔවුන් මෙසේ රැස් කර  ගබඩා කර ගැනීම ( සන්ධිකරණය ) ඇරඹූ පසු සහල්වල දහයියා හා කුඩු ඇතිවිණි. කැපූ තැන වැවීම ද අඩු විය. තැන තැන පාළු වී ගියේ ය.

මෙයින් දොම්නසට පත් ඔවුහු රැස්ව කතිකා කර සහල් කෙත් බෙදා මායිම් ගසා ගත්හ. එහෙත් එක් තෘෂ්ණාධික පුද්ගලයෙක් තම කොටස පරෙස්සම් කර ගෙන අනුන්ගේ කෙතින් හැල් කපා ගත්තේ ය. ඔහු අල්ලාගෙන තර්ජනය කළ නමුත් දෙවන තෙවන වරට ද එසේ කළ හෙයින් අතින් පයින් හා පොලුවලින් ද පහර දෙන්නට සිදු විය.

මේ තත්වය යටතේ මිනිසුන්ට නැවත රැස්ව කතා කරන්නට සිදු විය. මෙය ඔවුන් සාමූහික ව රැස් ව සාකච්ඡා කළ තුන්වන වතාවයි. “ අප අතර පාපී හැසිරීම් හෙවත් අපරාධ නැති වී තිබේ. නුදුන් දේ ගැනීම, ගැරහීම , බොරු කීම , දඬු මුගුරු ( ආයුධ වශයෙන් ) භාවිත කිරීම යන වැරදි වැඩ අප අතර පහළ වී ඇති හෙයින් හෙළා දැකිය යුත්තන් හෙළා දැක, ගැරහිය යුත්තන්ට ගරහා, පිටුවාහල්  කළ යුත්තන් පිටුවාහල් කරන්නට සමත් එක් සත්වයකු තෝරා ගනිමු. ( සම්මත කර ගනිමු.) අපි ඔහුට අපේ හැල් අස්වැන්නෙන් කොටසක් දෙමු.” යි කතිකා කර ගත් හ. ඒ අනුව ඔවුහු අභිරූපී දර්ශනීයතර , සිත් පහදන සුළු, මහේශාක්‍ය පෙනුමක් ඇති පුද්ගලයෙකු තෝරා ඔහුට පූර්වෝක්ත කාර්යය පැවරූහ. මහජනතාව ගේ සම්මතයෙන් පත් වූ හෙයින් මහා සම්මත යන නමද  කෙත් වතුවලට අධිපති ව ඒවායේ නිසි පරිහරණය සහතික කරන්නා හෙයින් ඛත්තීය යන නම ද ධර්මයෙන් අනුන්ගේ සිත් රංජනය ( සතුටු කිරීම) කරන හෙයින් “රාජා” යන නම ද මේ පුද්ගලයාට  යෙදිණි. දැන් මේ වචන ක්ෂත්‍රීයයන් අරබයා යොදන නමුත් එහි මුල් අරුත් අමතක ව ගොස් ඇති බව බුදුරදහු පෙන්වා දුන් හ. එසේ වුවද ඒවා යෙදි ය යුත්තේ ඒ පැරණි අයට ම සම, එම ධර්මය ම අනුගමනය කරන සුදුසු ම අයට මිස නුසුදුස්සන්ට නොවන බව ද උන්වහන්සේ අවධාරණය කළ හ.    

අනතුරු ව එම සත්ත්වයන් අතුරින් එක්තරා පිරිසක් “ අප අතර පාපී හැසිරීම් ඇති වී තිබේ. අපි ඒ පවුකම් බැහැර කළ යුත්තෝ වෙමු.” යි සිතූහ. පවු බැහැර කරන්නෝ යන අරුතින් බ්‍රාහ්මණ නම් වූ ඔවුහු වනගත ව කොළ අතුවලින් පන්සල් ඉදි කර ගෙන දිනපතා ගම් නියම් ගම් වැද පිඬු සිඟා වළඳමින් යළි වනයට පිවිසෙමින් භාවනා කිරීමේ යෙදුණ හ. භාවනා හෙවත් ධ්‍යාන වඩන හෙයින් ඔවුහු ‘ඣායක’ නම් වූහ. ඔවුනතුරෙන් සමහරු  හරි හැටි භාවනා කරන්නට අසමත් ව යළි ගම් නියම් ගම් වාසයට අවුත් පතපොත ලියමින් හදාරමින් වසන්නට පටන් ගත්හ. “ඣායනය” හෙවත් භාවනාව අත්හළ නිසා ‘අජ්ඣායක’ යන නම ඔවුනට යෙදිණි. එකල අජ්ඣායකත්වය ( භාවනාව වෙනුවට අධ්‍යනය තෝරා ගැනීම ) එතරම් වැදගත් පිළිවෙතක් නො වීය.   බුද්ධ කාලය වන විට  එය ගෞරවනීය වු බව සූත්‍රයෙහි කියැවේ. මෙම ව්‍යවහාරයන්ගේ  ද නිසි අරුත් අමතක ව ගොස් ප්‍රඥප්ති වශයෙන් බුද්ධ කාලයෙහි ව්‍යවහාර වූ බව පෙන්වා දී ඇත.

මේ අතර විවාහ වී අඹු දරු පෝෂණය කරමින් විවිධ කර්මාන්තවල නිරත වූ පිරිස් ‘වෛශ්‍ය’ නමින් හඳුන්වන ලදී. අතපය දැඩි සේ වෙහෙසමින් ගොරෝසු  රළු රැකියාවල නිරත වූ සුළු ජනයා ‘ශුද්‍ර’ නමින් හැදින්විණි. මෙ සියළු වහර එකල විශේෂ අර්ථ අරබයා යොදා ගත් නිසා ඒවා එබදු අර්ථවත් පරිසරයක මිස නොයෙදිය යුතු බව පැහැදිලි ය. මේ කවර වර්ගයකට වෘත්තීය හා සමාජගත කාර්යයක නිරත වූ අයකු වුව ද ගිහිගෙයින් නික්ම ශ්‍රමණයන් බවට පත් වුවහොත් සියළු පෙර නම් ගොත් වෙනස් වී ‘ශ්‍රමණ’  නමින් හැදින්වෙයි. ගිහිගෙයි වසමින් සුසි‍රිතෙහි හැසිරෙන කවුරුන් වුව ද සුගතියෙහි ඉපදෙන අතර  දුසිරිතෙහි හැසිරෙන කවුරුන් වුව ද   සුගතියෙහි ඉපැදීම ස්වභාවය යි.

මේ දැක්වූයේ සමාජ විකාශය පිළිබඳ අග්ගඤ්ඥ සූත්‍රයෙහි ඉදිරිපත් වන පුරාණයයි. එය නූකන මානව  විද්‍යානුකූල නිරීක්ෂණ හා සමගාමී වැදගත්කමක් දරන්නේ මානව ශිෂ්ටාචාරයෙහි ආර්ථික දේශපාලන සංස්ථාවන් ගේ පරිණාමය පිළිබඳ යථාර්ථවාදී රීතියකින් මූලික නැඹුරුවීම් ( උපනතින් ) පිළිබඳ පිළිගත හැකි විවරණයක් ඉදිරිපත් කරන නිසාත් , ඊශ්වර නිර්මාණය වැනි අධිභෞතික සංකල්පවලින් තොරව කරුණු ඉදිරිපත් කරන නිසාත ය. එමෙන් ම දේශපාලන බලය මහජනතාව තුළින් මතුවන්නක් බව අතිශය ප්‍රජාත්‍රාන්ත්‍රික ස්වරූපයකින් දක්වන අතර සියළු සමාජ සංස්ථා සුනම්‍ය හා ප්‍රායෝගික බව ද එයින් ගම්‍යමාන වෙයි.

මූලික මිනිස් ස්වභාවයන් වූ තෘෂ්ණාව ( ලෝල ජාතිකත්වය ) අනුකරණය (දිට්ඨානුගති) සහ අලසකම සමාජ පරිණාමයෙහි ලා ක්‍රියාත්මක වූ ආකාරය මෙම පුරාණයෙන් සිත් ගන්නා සුළු අයුරින් දක්වා තිබේ. මිනිසා සදාචාරය අතින් පිරිහෙන විට සොබා දහම ඔහුට දැක් වූ දයාන්විත දායකත්වය හීනව ගිය බව ද ජීවිතය වඩ වඩා කර්කශ වූ බව මේ සූත්‍රය පැහැදිලි කරයි.

මෙම සූත්‍රය මගින් දේපල අයිතිය , රාජ්‍ය පාලනය, බදු ක්‍රමය, අධිකරණය වැනි සංස්ථා මෙන් ම පවුල් ජීවිතය සංවිධානය වූ ආකාරය ද යථාර්ථවාදී ලෙස විවරණය වෙයි. ලිංගික හැසිරීම් හේතුවෙන් ස්ත්‍රී පුරුෂනයට සහවාසය සඳහා ගෘහයක් අවශ්‍ය වූ බව කියැවේ. පවුල් ඒකක වශයෙන් සමාජය සංවිධානය වූ පසු පෞද්ගලිකත්වය වර්ධනය විය. සොරකම හා ආයුධ භාවිතය පැතිර ගියේ මෙම පෞද්ගලික අයිතිය පිළිබඳ සංකල්පයේ වර්ධනය සමගය.

බුදු දහම අධි‍ෙභෟතික සංකල්පය ප්‍රතික්ෂේප කරමින් ප්‍රතිත්‍ය සමුත්පාදයට අනුව සියලු සංසිද්ධීන් පිළිබඳ හේතු - ඵල  විග්‍රහය යෙදෙ යි. යථාර්ථවාදී චින්තනයක් ඉදිරිපත් කරයි. එහෙයින් සමාජ සංස්ථාවන් ගේ විකාශය පිළිබඳ  මෙම පුරාණ කථාව ද ඓතිහාසික වාර්ථාගත  නියාමයන් පැහැදිලි කරන ස්වරූපයෙන් ඉදිරිපත් වන්නක් බව කිව යුතුය. අප එහි කතා පුවතට වඩා එයින් ධ්වනිත වන නියාම ධර්මයන් පිළිබඳව අවධානය යොමු කරන්නේ නම් බුදු දහමේ ගැබ්වන මානව විද්‍යාත්මක පරිඥානය පිළිබඳ ව වඩාත් නිවැරදි ඇගයුමක් කර ගන්නට හැකි වෙයි.

No comments:

Post a Comment