අලුත් අවුරුද්ද ගැන ඔබ නොදත් දෑ…
'' මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවල පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලොව උයනක් කරවන්නී ''
මේ මඟුල අන් කවරකුගේ වත් නො වෙයි; වසත් කුමරියගේ යි.
පැහැදිලි සෘතු භේදයක් නොදැක්වූවත් අපට සිංහළ අවුරුද්ද එළඹෙනුයේ වසත් උතුවට අයත් බක් මස දී යි. ‘බක්’ නම් ‘බා’ (භාග්‍යය) ‘අක්’ (අග්‍ර) මාසය යි. ඇයි එය භාග්‍යයෙන් අග්‍ර මාසය වන්නේ?
කාලගුණය අමුතු සිහිලසක් පණවත් බවක් ගන්නවා : සියලු ගහ වැල මලින් පලින් බර වනවා : කුරුල්ලන් කූ®ඩු තනා බිජු ලන්නේත් මේ මාසයේදී යි. සොබාදහම එලෙස සැරසෙන කල ‘නවම්’ මහේ පුරන් කෙටීමෙන් ‘නව කම්’ ඇරඹූ සිංහළයා ‘මැදින්’ මස ‘මහ’ කන්නයට වැපිරූ ‘දින්’ (ධාන්‍ය) අස්වැන්න නෙළාගෙනැ, අටු කොටු සහලින් පුරවාගෙනැ සොම්නස් වනවා.
සිය පෙම්වත් කෙවිලිය කැඳවන්නට කොවුලා ද සුමිහිරි හඩින් ‘කොහෝ’ ගීය ගයනවා. අවුරුදු ළඟ මැ එන වග ලක් දනන් දැනැගන්නේ මේ කොවුල් නදින්. පෙර ද පැවැසුණු සේ මෙසමයේ හැම ගසක් මැ වැලක් මැ පලබර වන නමුදු අවුරුදු උදාව හඟවන වෙසෙසි මැ ලකුණ වනුයේ ‘එරබදු’ මල යි.
'' එරබදු මල් මොට්ටු මොට්ටු
අවුරුද්දත් කිට්ටු කිට්ටු ''
අවුරුද්දත් කිට්ටු කිට්ටු ''
යනුයෙන් ගැමි දරුවන් තුටින් නටන්නට ගන්නවා. මෙසෙයින් සොබාදහමේ මහිමය විදහා ලන සිංහළයාගේ මහ මැ උළෙල එළැඹෙනවා.
සියලු සිංහළ වදන් සකුවෙන් පාළියෙන් බිඳී එන සේ දකින්නත් ‘අවුරුදු’ යන්නට ‘සංවත්සර’ අරුතත් අටවන්නේ මේ සොබාදහම ද අමතක කැරැලමින්. එසේ නම් අවුරුද්දේ සැබෑ අරුත කිමෙක් ද? එ-නම් ‘වෙසෙසි දවස’ යනු යි. දවසට අරුත් නඟන ‘වර’ යන වදන වටා යි එය තැනෙන්නේ. ‘බර’ම ‘බරතු’ ‘බුරුතු’ වන අයුරින්, ‘වර’ පදය ස්වාර්ථ තද්ධිත ‘ත’ ප්‍රත්‍ය ගැන්මෙන් ‘වරතු’ වී, පරස්පර සාම්‍යයෙන් ‘වුරුතු’ බවට පැමිණ, ඝෝෂාදේශයෙන් ‘වුරුදු’ බවට පත් වනවා. එය වෙසෙසි අරුත්හි ‘අ’ උපසර්ග ගැන්මෙන් ‘අවුරුදු’ වදන තැනෙනවා.
ඉතින් මෙදවස ඇයි ‘වෙසෙසි දවස’ වන්නේ?
සාමාන්‍යයෙන් සිංහළ අවුරුද්ද යෙදෙන්නේ අප්‍රේල් 13 දාට යි. වත්මන් දින ගණන් අනුව මාර්තු 21 වන දා සමකයට මුදුන් වන හිරු උතුරු අතට ගමන් කරද්දී අංසක 23 1/2ක් උතුරින් පිහිටි කටක (කර්කටක) නිවර්තනයට මුදුන් වන්නේ ජූනි 21 වැනි දාට යි. අංසක 23 1/2ක් ගමන් කිරීමට දින 92ක් ගන්නා හිරුට අංසකයක් යෑමට ගත වන කාලය දවස් 3.9ක් සේ දළ වශයෙන් සලකන්නට පුළුවනි.
ළංකාව පිහිටියේ උතුරු අක්ෂාංශ 5ත් 10ත් අතර යි. මෙහි ඉපැරැණි රජදහනක් වූ කොග්ගල ‘වළස්ගල’ පිහිටියේ හරියට ම අංසක 06 සලකුණු වන තැන යි. වලසා යන තිරිසන් සතා සිතට ගෙන ඇතැමුන් මෙය ‘වලස්ගලැ’යි ලියූවත්, වා +අළ+අස්+ගල> වළස්ගල යන නිවැරැදි අරුත් දෙන නිරුක්තියක් මෙයට තිබෙනවා. ‘වා’ නම් අවුරුද්ද යි (පස්වාන් දහසකට බඳු යෙදුමින් ඒ වග පැහැදිලි වෙයි). ‘අළ’ නම් එළැවූ (ඉදිරිපත් කළ) බව යි. ‘අස්’ නම් අංසක යි. මේ අනුව, ‘අවුරුද්ද ඉදිරිපත් කළ අංසක ගල’ යන පැහැදිලි අරුත ලැබෙනවා වළස්ගලට. ආදි හෙළයන් හිරු මුදුන් වීම (සූර්ය විශුවය) මිනූයේ මේ වළස්ගල සලකා යි.
දැන්, අංසකයක් යෑමට දින 3.9ක් ගන්නා හිරුට අංසක 06ක් ගමන් කිරීමට ගත වන කාලය මැන බලමු. දළ වශයෙන් එය දින 23 1/2කි. මාර්තු 21 වන දින සිට ඉදිරියට දින 23 1/2ක් ගණන් කල කල්හි එනුයේ අප්රේල් 13 වැනි දින සවස යි. ‘අවුරුදු උදාව‘ ලෙස සිංහළයන් සලකනුයේ මේ වෙසෙසි දවස යි.
මෙදවසෙන් ම සිදු වන තවත් වැදගත් කටයුත්තෙකි. එනම් හිරු දොළොස් රැසෙහි මුල මැ වන ‘එළු’ රැසට එළැඹීම යි.
සක්වළ වටය අංසක 360ක් ලෙස ගත් පෙර හෙළයෝ එය අංසක 30 බැගින් වූ දොළොස් රැසකට බෙදා, අවුරදු දා සිය දෙස (හෙළ දෙස, හෙළු දෙස, එළු දෙස) එල්ලේ අරඹන මුල් රැසට දෙසෙහි නම ම දුන්හ. මේ ‘එළු’ යන්නෙහි තිරිසන් අරුත පමණක් දුටු බමුණෝ එය ‘මේෂ’ යැයි සකු බසට නඟාගෙනැ නොනැවැතී එළු රුවක් අහසෙහි ද ඇඳගත්හ!
එක් එක් අයට එක් එක් සේ පෙනෙන තිරිසන් රූ අනුව නොව, අරුත්+බර අදහසක් හැඟවෙන සේ ම දොළොස් රැසට නම් දුන්නෝ හෙළයෝ යි. අවුරුදු දා හිරු ‘එළු’ රැසට එනුයේ කොහි සිට ද? ඒ ‘මින්’ රැසෙහි සිට යි. ‘මින්’ යනු අවසන් (රාසිය) යන අරුත දෙන ‘නිම්’ යන්නෙහි ම අකුරු පෙරැළිය යි. (‘වක’ ම ‘කව‘ වන්නේත් මේ හෙළ වදන් නියරට අනුව යි.) ඒ නැති ව, දඹදිව් ඇදුරන් දුටු ‘මාළු’ රුවක් අනුව නොවේ. බමුණන් දුන් මේ එකදු නමක් වත් ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට ද සබඳකමක් නොදක්වන බැව් විමසුම් ඇසින් බලන කල පෙනෙයි.
ආචාර්යතුමා
No comments:
Post a Comment