Sunday 15 September 2019

'වාරණය' හඳුනාගනිමු (Censorship) ලිපිය 01

හැඳින්වීම


වාරණය යන්නෙහි වාච්‍යාර්ථය ලෙස වැළකීම බාධක වළකන යන්නක් බැව් ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයෙහි දක්වා ඇත. එනම් කිසියම් වූ දෙයක් අරඹයා සිදු කරනු ලබන පරීක්ෂාවක් වැනිය. වාරණය යන්නට පර්යාය පදයක් වශයෙන් පරිහාර කිරීම ලෙස ද හඳුන්වනු ලැබේ. 
“ලිපි හෝ වාර ප්‍රකාශන නාට්‍ය සිනමා ආදිය පරීක්ෂා කිරීමේ හා සදාචාරයට විරුද්ධ වූ හෝ වෙනත් අයුරකින් අහිතකර වු දෙය දුරාචාරය ලෙස සළකා ඕනෑම දෙයක් කපා හැරීමේ බලය වාරණය වේ.”
                                                                                                    -ඔක්ස්ෆඞ් ශබ්ද කෝෂය-
මේ අනුව ප්‍රධාන වශයෙන් මාධ්‍ය සන්දේශයන් අරමුණු කොටගෙන ක්‍රියාත්මක වන්නකි මෙම වාරණයේ දී සමාජයට ඉදිරිපත් වන සන්දේශයන්ගේ ගුණාත්මක බව සළකා බලා එය ග්‍රාහකයා අතරට යාම සුදුසු ද නැතිනම් නුසුදුසු ද යන්න තීරණය කිරීම මඟින් වාරණය විවිධාකාරයෙන් ක්‍රියාත්මක වීම සිදුවන බැව් පැහැදිලි වන කරුණකි

“පොදුවේ ගත් කළ වාරණය (Censorship) යනු දෝෂ පරික්ෂාවයි. සාහිත්‍ය කලාව ඇතුඵ යම් සන්නිවේදන මාධ්‍යයක දෝෂ නැතිනම් යෝග්‍යතාව පරීක්ෂා කර නොගැළපෙන දෑ ඇතොත් ඒවා ඉවත් කොට අනුමත කිරීම මින් අදහස් කෙරේ. එහි වචනාර්ථය වැළකිම වැළැක්වීම තහනම මුවාව හෝ බාධක ලෙස ගත හැකි බව සරසවි ශබ්දකෝෂයේ දක්වා ඇත. වාරණය යනු පොදු යහපතට නුසුදුසුය පොදු යහපතට අහිතකරය යන පදනම මත කතා කිරීම හෝ ලිවීම තහනම් කිරීම හෝ යටපත් කිරිමයි.

ඒ අනුව වාරණය ක්‍රියාත්මක වන විට දී අවධානය යොමු වන තවත් අංශයක් වන්නේ ග්‍රාහකයා කෙරෙහි මාධ්‍ය සන්දේශයෙන් සිදුවන බලපෑම කෙසේ ද යන්න ය. එහි ස්වභාවය මත සන්දේශය වාරණය කළ යුතු ද නැති ද යන වග තීරණාත්මක වේ.
ඇමරිකාවේ සහ කැනඩාවේ සිට ක්‍රියාත්මක වන (Project censored) ආයතනය මඟින් වාරණය යන්න අර්ථ ගන් වන්නේ මෙපරිදි ය. 

''බලය යොදා හෝ නොමැතිව පක්ෂ භජනය අතහැර දැමීම කරුණු සැඟවීම හෝ ස්වයං වාරණය තොරතුරු සැඟවීම මඟින් සමාජය තුළ සැබැවින්ම සිදුවන දේ ජනතාවට දැන ගැනීම වැළැක්වීම වාරණය යි.''



මේ අනුව පැහැදිලි වන තවත් කරුණක් වන්නේ වාරණය ග්‍රාහකයාගේ යහපත උදෙසා ක්‍රියාත්මක කරන්නක් ලෙස අදහස් වුවත් එහි යටිපෙළින් මාධ්‍ය සන්දේශයන් සිතා මතා ග්‍රාහකයා වෙතට සැපයෙන සත්‍යතාවන් වසන් කර ගැනීමේ පළිහක් ලෙසින් වාරණය ක්‍රියාත්මක කරන්න වුන් විසින් ක්‍රියාවට නංවන බවයි.  වාරණය එක් පැත්තකින් සමාජ යහපත උදෙසාත් අනෙක් පැත්තකින් වාරණය මාධ්‍ය මර්ධනය සඳහා ඉවහල් කර ගන්නා අවියක් ලෙසින් ද ක්‍රියාත්මක වන බැව් අවබෝධ කර ගත හැකි වේ. 


No comments:

Post a Comment