|
|
බමුණු දහම භාරතයේ ව්‍යාප්ත වීමට පෙර හෙවත් ප්රාග් වෛදික යුගයේ කාන්තාවට හිමි විය යුතු නිදහස ලැබී ඇත. භාරතයේ ඉපැරැණි ශිෂ්ටාචාර දෙකක් වන මොහෙන්දොජාරෝ හරප්පා වැනි ශිෂ්ටාචාරවල දී හමු වූ පුරාවිද්‍යාත්මක නටබුන් වලින් කාන්තාව එකල දේවත්වයෙන් සලකා ඇති බව පෙනී යයි. ජගන්මාතා වන්දනාව වැනි පිළිවෙත්වලින් එය පැහැදිලි වන බව සර් ජෝන් මාර්ෂල් නම් විද්‍යාඥයා විසින් පෙන්වා දෙන ලදී. කාන්තාවන්ට සමාන දේවරූප නිර්මාණය කොට ඔවුන්ට උදේ සවස වන්දනාමාන කළ බවට සාධක ඇත.
එපමණක් නොව එකල පවුලේ නායිකාව වුයේ ද කාන්තාවයි. නව යොවුන් වියේ පසුවන කාන්තාවන්ට විවිධ වර්ණයන්ගෙන් යුත් වස්ත්රාභරණ හැඳ පැළඳගෙන විවාහ උත්සව ආදි තැන්වලට යෑමට ඉඩ ලබා දී තිබුණි. ගී සින්දු කියමින් නටමින් විනෝදවීමට සම්පූර්ණ අයිතියක් තිබුණි.
මෙසේ පැවැති කාන්තා නිදහස බිඳ වැටුණේ බ්‍රාහ්මණ ආධිපත්‍ය භාරතීය සමාජයේ පැතිරීමත් සමඟය. කාන්තාවන්ගේ සිතුම් පැතුම්වලට සීමා පැනවිණ. බමුණන්ගේ තර්ජන තදින්ම කාන්තාව වෙත එල්ල වූ අතර ඇයගේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම පාහේ නැතිවී ගියේය. කුල සතරෙන් පහත් ම කුලය වූ ශුද්‍රයින්ටත් වඩා පහත් තැනක් ඔවුන්ට හිමි වී තිබුණි. පුරුෂාධිපත්‍ය වැඩි දියුණු වූ මේ යුගයේ පුරුෂයන්ට ආවතේව කිරීම හා කීකරු වීම පමණෙකින් ස්වර්ග සම්පත් ලබා ගත හැකි බව ඔවුන් වෙනුවෙන් සකසන ලද නීති – රීති මාලා ඇතුළත් මනුස්මෘතියෙහි සඳහන් වේ.
නාස්ති ස්ත්‍රීනාං පෘතග් යඥෙ
වන වූතං නාප්‍යුපොසථම්
පතිං ශුශ්‍රෑයතේ යෙන
යන්නෙන් එය පැහැදිලි වේ. එපමණක් නොව කාන්තාව බාල කාලයේ පියා යටතේ ද, තරුණ කාලයේ ස්වාමියා යටතේ ද, මහලු කාලයේ පුත්‍රයන් යටතේ ද ජීවත් වියයුතු බව සඳහන්වේ.
විවාහක කාන්තාවක තරුණ කාලයේ දී ම ඇයගේ ස්වාමියා මළහොත් එම ගිනි ගොඩටම පැන ඇය ද සියදිවි නසාගත යුතුය. නැතහොත් ජීවිතාන්තය දක්වා වැන්දඹුවක වශයෙන් සුදු වස්ත්‍ර, කිලිටි වස්ත්‍ර අඳිමින් කටුක අමිහිරි ආහාර ගනිමින් කිසිම ආභරණයක් නොපැළැඳ කල් ගෙවිය යුතුය. මෙකී සම්ප්රදාය වර්තමානයේ ද ඉන්දියාව තුළ දැකිය හැකිය. විවාහ කර ගැනීමේදී වයස අවුරුදු තිහක පුරුෂයන්ට අවුරුදු දහයේ ගැහැනු ළමයින් ද අවුරුදු විසිහතක පුරුෂයන්ට අවුරුදු හතක ගැහැනු ළමයින් ද විවාහ කරගත හැකිය. වනිතාව පිළිබඳ දක්වන මෙවැනි ආකල්ප මානව හිතවාදී සමාජයක් සංස්කෘතියක් ඇති කිසිම තැනකට නොගැළැපේ. සමහර කාන්තාවන් කෙතරම් ස්වාමියාට අවනත ව සිටියත් කිසිදා වහල් තත්ත්වයෙන් මිදිය නොහැකි විය. මෙම තත්ත්වය විඳීමට නොහැකි වූ ඇතැම් කාන්තාවෝ ගණිකා වෘත්තියෙහි යෙදුණාහ. කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්රයේ ගණිකා වෘත්තිය එකල නීත්‍යානුකූල එකක් යැයි සඳහන්වේ. අම්බපාලි, අඩ්ඪකාසි සහ පදුමා වැනි අය ප්‍රසිද්ධ ගණිකාවෝ වූහ.
යම් පුරුෂයෙකුට කාන්තාවක දැකීමෙන් සිහි විකල් වන බවත්, ස්පර්ශ කිරීමෙන් ධනය හානිවෙන බවත්, එක යහනෙහි නිදාගැනීම මරණයට හේතුවන බවත් දක්වමින් ස්ත්‍රිය ප්රත්යක්ෂයෙන් ගතහොත් රාක්ෂසියක් වන බවත් දක්වා තිබේ.
ලොව අභව්‍ය සිදුවීම් වන අට්ටික්කා ගහේ මල් පිපීම, සුදු කපුටන් ඇතැයි කීම, ජලයෙහි මසුන්ගේ පාද දැක්කේ යයි කීම යනාදිය කිසිවකු කියන්නේ නම් එය විශ්වාස කළත් ගැහැනුන් කියන වාක්‍ය විශ්වාස නොකළ යුතු බව මනුස්මෘතියෙහි දක්වා තිබේ.
භාරතීය වනිතාව කෙරෙහි උපහාසාත්මක බැල්මෙන් බැලූ බමුණන් ප්‍රකාශ කර ඇත්තේ ඇයගේ මුහුණ පියුමක් සේ පියකරුය, වචන සඳුන් සේ සිසිල් වේ, දිවඟ මී බඳුය, එහෙත් හදවතෙහි ඇත්තේ හලාහල විෂයි යනුවෙනි.
ක්‍රි. පූ. 6 වන සියවසේ බුදුරජුන් පහළ වන විට විවිධ ආගමික දාර්ශනිකයෝ භාරතය පුරා සිටියහ. ඔවුහු විවිධ ආගමික ප්‍රචාරයන් පතුරුවමින් තැන් තැන්වල ගියහ. මේ සියලු පිරිස් ශ්‍රමණ හා බ්‍රාහ්මණ වශයෙන් දෙයාකාර වූහ. ශ්‍රමණ සම්ප්‍රදායට අයත් වූයේ ෂට් ශාස්තෘවරුන්, ආජීවක, පරිව්‍රාජක, අචේලක, තුන්බෑ ජටිල ආදී විවිධ ව්‍යවහාරයන්ගෙන් සමන්විත පිරිස්ය. මීට පෙර කාලයේ පටන් ආගමික කාර්යයන් කරමින් පැවැතගෙන ආවේ බ්‍රාහ්මණ සම්ප්රදායයි. බ්‍රාහ්මණ සම්ප්රදාය තුළ කාන්තාවට හිමිවූයේ ඉහතින් සඳහන් කළ ආකාරයට පහත් තත්ත්වයකි. බුදුන් වහන්සේ පහළවීමත් සමඟ කාන්තාවට නිසි තැනක් ලැබුණි. සම්බුද්ධ ශාසනය තුළ මූලික වශයෙන් කාන්තාවට හිමි වුයේ උපාසිකා තත්ත්වයයි. යස කුල පුත්‍රයාගේ මෑණියන් බුදුසසුනේ තෙරුවන් සරණ ගිය මුල්ම කාන්තාවයි. අනතුරුව මහා ප්‍රජාපතී ගෝතමියට සහ පරිවාර ස්ත්රීන්ට ලබා දුන් පැවිද්ද සමඟ භික්ෂුණී තත්ත්වය හිමිවුණි. එසේම ගෘහය තුළ ගෘහණිය වශයෙන් ද මවක ලෙසද ඇයට ලැබුණේ උත්තරීතර තත්ත්වයකි. දරුවන්ගේ පූර්වාචාරීන් ලෙස මව හා පියා සලකන ලෙසට බුදුන් වහන්සේ අනුදැන වදාළ සේක.
දක්ඛිණා විභංග සූත්‍රයෙහි සඳහන් වන අන්දමට මහා ප්‍රජාපතී ගෝතමියගේ මාතෘත්වය හා සේවය ඉතා ඉහළින් අගය කොට ඇත. ඇය ‘ බුද්ධමාතා’ යන නාමයෙන් පිදුම් ලැබූ අතර එය මිහිපිට කාන්තාවකට ලැබිය හැකි උතුම්ම සම්මානයයි. නිවන් අවබෝධ කිරීමේ දී පුරුෂයන්ට මෙන්ම කාන්තාවන්ට ද එම තත්ත්වය ලැබි ඇති බව භික්ඛුණීක්ඛන්ධකයෙහි දැක්වේ. එකල බ්‍රාහ්මණ සම්ප්රදාය තුළ කාන්තාවට ලැබුණු ස්ථානය නිසා කොසොල් මහරජතුමා තම දේවියට දියණියක ලැබුණු බව අසා මහත් කලකිරීමට පත්විය. එහෙත් බුදුරජුන් පෙන්වා දුන්නේ ගැහැනු දරුවකු වුවද ප්‍රඥාවෙන්, ගුණගරුක බවින් හා පතිව්‍රතාවෙන් යුක්ත වන්නේ නම් උසස් තත්ත්වයකට පත්වන බවය. (සංයුක්ත නිකාය -ධීතු සූත්‍රය ) එම නිසා කලකිරීම නුසුදුසු බව වටහා දුන් සේක.
බුදුන් වහන්සේ ස්වකීය මවට හා සුළු මවට විශේෂ සැලකිල්ලක් දැක්වූ සේක.තව්තිසා දිව්‍ය ලෝකයේ මාතෘ දිව්‍ය රාජයාණන්ට අභිධර්මය දේශනා කිරීම හා ප්‍රජාපතී ගෝතමියට පැවිද්ද ලබාදීම, ඇය පරිනිර්වාණයට පත්වූ පසු ඇයගේ දේහය පසුපස ගමන් කොට ගෞරව දැක්වීම හා ඇයගේ භෂ්මාවශේෂ නිදන්කොට ස්ථූපයක් කිරීම ආදී සියල්ල ඉටුකොට කළගුණ සැලකූ සේක. එයින් අන් අයට ද තමන්ගේ මෑණියන් කෙරෙහි දැක්විය යුතු ආකල්පය කෙබඳුද යන ආදර්ශය ලබාදුනි. එය බුදුන්ගේ ‘ යථාවාදී තථාකාරී’ (යමක් කියයිද එය සිදුකොට පෙන්වීම) ගුණය විදහා පෙන්වීමකි.
බුදුන් වහන්සේ කිසිවිටෙකත් ගැහැනිය පහත් කොට නොසැලකූ සේක. රජ්ජුමාලා වැනි අසරණ දාසියන්ට, අම්බපාලි වැනි ගණිකාවන්ට, ඛේමා වැනි රූපය නිසා අහංකාරවූ තැනැත්තියන්ට, පටාචාරා සහ කිසාගෝතමී වැනි අසරණියන්ට පවා පැවිද්ද ලබා දුන් අතර සුදුසු පරිදි ශාසනයේ තනතුරු පිරිනැමීමද සිදු කළ සේක.
ජාතක කථා දේශනාවන්හිද කාන්තාවගේ ගුණ සමුදායන් අගැයීමට ලක් කර ඇත. චන්දකින්නර ජාතකය, කුරුධර්ම ජාතකය, මහා සුදස්සන ජාතකය සහ මාතංග ජාතකය ආදිය නිදසුන්ය. මේවායෙහි උසස් චරිතයකින් හෙබි කාන්තාවනට ප්‍රශංසා කර තිබේ. නුවණින් මුහුකුරා යන්නේ පුරුෂයන් පමණක් නොව ස්ත්‍රීන්ද ඒ ඒ තැන්වලදී ඤාණවන්ත වන බව දක්වා තිබේ.
මේ අනුව පුරුෂාධිපත්‍යයක් සමාජය තුළ හිස ඔසවා තිබුණු කාලවකවානුවේ කාන්තාවට නිසි තැන දීමෙන් පෙනී යන්නේ බුදුසමය තුළ කාන්තාවට ද පුරුෂයාට මෙන් ම සෑම අංශයකින් ම ප්‍රමුඛත්වය ලබාදුන් බවය. බුදුන් වහන්සේගේ මහා කරුණාව ඇය දෙසට ද යොමුවූ බවය.
මිනිසා ජාති , කුල ගෝත්‍ර ආදී වශයෙන් විවිධ කණ්ඩායම්වලට බෙදී සිටීම සහ ඔවුනොවුන් අතර විවිධ ගැටුම් සහ භේදකාරී තත්ත්වයන් ඇති කර ගැනීම ප්රාග් ඓතිහාසික යුගයේ පටන් එන තත්ත්වයකි. ක්‍රි.පූ. 5000ටත් වඩා ඈතට ගමන් කරන වෛදික සාහිත්‍යයේ පවා වර්ණයට අනුව මිනිසුන් වර්ග කිරීමක් පැවැති බව පෙනේ.
ව්‍යවහාර වශයෙන් මිනිසුන් අතර නානාත්වයක් ඇති බව බුදුදහම පිළිගන්නා නමුත් (නානත්තකායා නානත්ත සඤ්ඤා) ජාති, වර්ණ, කුල, ගෝත්‍ර, වශයෙන්ම ම මිනිසා විසින් ඇති කරගෙන තිබෙන එකී සම්මතයන්ට අනුව එක් වර්ගයක් තවත් වර්ගයකට වඩා උසස්ය හෝ පහත්ය යන අදහස බුදුසමය සහමුලින්ම බැහැර කරයි. කවර නම් වලින් හැඳින්වුවද, මිනිසුන් අතර ජාති භේදයක් පැවතිය නොහැකි බවත් මිනිසාට ඇත්තේ එකම ජාතියක් බවත් පළමුවරට ප්‍රකාශ කළ ශාස්තෘවරයා බුදුන් වහන්සේය.
බුදුන් වහන්සේ පහළ වන අවධිය වන විට භාරතීය සමාජයේ ඉහළම වරප්‍රසාද හිමි කරගෙන සිටියේ බ්‍රාහ්මණයන්ය.ආගමික වශයෙන්ද බ්‍රාහ්මණ ආධිපත්‍යය සමාජයේ සෑම අංශයක් කෙරෙහිම තදින් බල පැවැත්විය. උත්පත්තිය අනුව මිනිසා උසස් පහත් වශයෙන් වර්ග කිරීමේ ක්‍රමයක් හෙවත් දැඩි වර්ණ භේද වාදයක් එකල සමාජය තුළ තහවුරු වී තිබිණ. බ්‍රාහ්මණ ධර්මයට අනුව මිනිසා බ්‍රහ්මයාගේ නිර්මාණයකි. ඒ අනුව බ්‍රාහ්මණ වංශය බ්‍රහ්මයාගේ මුඛයෙන්ද ක්ෂත්රියයා බාහුවෙන් ද ,වෛශ්‍යයා නාභියෙන්ද, ශුද්‍රයා පාදයෙන් ද බිහිවූයේ වෙයි. බ්‍රාහ්මණයා සෑම අතින්ම පාරිශුද්ධ වූ අතර අනෙක් අය ඊට පහත්ය. ශුද්‍රයන් යනුවෙන් හැඳීන්වූ කොටස කෙතරම් පහත් තත්වයක ලා සැලකුවේ ද යත් නිදහසේ ආගම ඇදහීම වැනි මානව අයිතිවාසිකම් පවා අහිමි කර තිබිණි. මෙසේ උත්පත්තිය අනුව මිනිසුන් උසස් පහත් සේ වර්ග කිරීම සහ මිනිස් අයිතිවාසිකම් පාගා දැමීම බුදුරජාණන් වහන්සේ පිළිකුල් කළ අතර, එබඳු තත්ත්වයක් කවර මූලධර්මයකට අනුව වූවත් පිළිගත නොහැකි බව ශාස්ත්‍රීය මෙන්ම විද්‍යාත්මක පදනමකින් යුතුව පැහැදිලි කළහ.
ජාතිවාදය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් පැහැදිලි කරන ඉතාමත් වැදගත් දේශනාව ඇතුළත් වන්නේ මජ්ක්‍ධිම නිකායේ වාසෙට්ඨ සූත්‍රයෙහිය. උන්වහන්සේ එය මෙසේ පැහැදිලි කළහ.
“වාසෙට්ඨයෙනි, මම තොපට ප්‍රාණීන්ගේ ජාති විකාශය ඇති සැටියෙන් මෙසේ විවරණය කරමි. ජාතීහු නානාප්‍රකාරයහ. යම් තෘණ, වෘක්ෂ කෙනෙක් ඇත්ද, ඔවුන්ගේ වෙන වෙනම ජාතිමය ලිංගයක් ඇත. කවර හෙයින්ද යත් තෘණ ලතාවෝ නානා ප්‍රකාරය .එක ගස් වර්ගයකින් අනෙක් ගස් වර්ගය වෙනස්ය. එය ලතාවකින් අනෙක් තෘණ ලතා වෙනස්ය. එසේම කුරුකුහුඹුවන්ගේ පටන් පණුවන්ද පළගැටියන්ද වෙනස්ය. උන්ගේ ජානමය ලිංගයක් ඇත. පා දෙක ඇති සතුන්, පා සතරක් ඇති සතුන් අතරද ජාති වශයෙන් වෙනසක් ඇත. ඔවුන් නානාප්‍රකාරයහ. ජලයෙහිම උපන් ජලයම ගෝචර කොට සිටින මත්ස්‍යයන් ආදී සතුන්ගේ ද වෙනස් ජාති ඇත. එක් ජලජ සත්වයෙකුගෙන් අනෙක් සත්වයා වෙනස් ය. පියාපත් විදහා අහසේ පියාසර කරන සත්වයන් (පක්ෂීන්) ගේද, වෙනසක් ඇත. පක්ෂීන් විවිධය. නානාප්රකාරය. මෙසේ විවිධ සත්ව කොටස් අතර වෙන වෙනම ජාතිමය ලිංග ඇත්ද, ඒ ආකාරයෙන් මිනිසුන් කෙරෙහි ජාතිමය ලිංගයක් නැත.
“යථා එතාසු ජාතිසු ලිංගං ජාතිමයං පුථු
එවං නත්ථි මනුස්සෙසු ලිංගං ජාති මයං පුථු”
මෙයින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ජීව විද්‍යාත්මක සත්‍යතාවයකි. ජීව විද්‍යාවට අනුව විවිධ සත්ව කොට්ඨාශයන්හි ලක්ෂණ විශේලේෂණය කරන විට සතුන් මෙන් මිනිසා ගේ විවිධ ජාතීන් දැක්විය නොහැක. මිනිසා කෙබඳු ස්වරුපයන්ගෙන් යුක්ත වූවත් එකම ජීව විශේෂයකි. එම නිසා මිනිසුන් අතර ජාති භේදවාදයක් පවතින්නේ නම් ජීව විද්‍යාත්මක පදනමක් මත බුදු දහම එය ප්‍රතික්පේෂ කරයි.
භෞතික විද්‍යාත්මක සාධක වලට අනුවද මිනිසුන් අතර සත්ව ජාති මෙන් විවිධ වර්ග දැක්විය නොහැක. බුදුරජාණන් වහන්සේ එකී සාධක පැහැදිලි කර දෙමින් වාසෙට්ඨ සූත්‍රයෙහිදී පැහැදිලිවම ජාතිවාදය බැහැර කරති. එනම් ඕනෑම මිනිසෙකුගේ ශාරිරික අංග ලක්ෂණ පිහිටා ඇති ආකාරය බලන විට ඇත්තේ එකම ස්වරූපයකින්ය. කේශයෙන්, හිසින්, කනින්,ඇසින්, මුවින්, නැහැයෙන් ,තොලින් විභේදයක් නැත. ගී්රවයෙන්,අංශයෙන්,උදරයෙන්, පිටින්,උරයෙන්,අත්වලින්, පාවලින්, ඇඟිලි , නිය, කලවා ආදියෙන් හා මෛථූනයෙන්ද විභේදයක් නැත.මෙම ශරීර අංගවල වර්ණය,උස, පළල, හැඩය ,ආදියෙහි නානාත්වයක් දක්නට ලැබුණද විද්‍යාත්මක වශයෙන් ඇත්තේ එකම පදනමකි. එහෙත් සිවුපාවුන් පමණක් ගතහොත් එක් එක් සිව්පා වර්ගයන්ගේ ශරීර අංගයන්හි සංයුතිය වෙනස්ය.ප්‍රජනනය හා මෛථූනයද වෙනස්ය. භෞතිකව බලන විට මිනිසා තුළ ඇති ඒකීයත්වය අනුව ජාතිවාදයක් ඇති කර ගැනීමට පදනමක් නැති බව බුදුදහම පෙන්වා දෙයි.
ආචාර විද්‍යාත්මකව සලකන විට මිනිසුන් අතර ඔවුන්ගේ උප්පත්තියට අනුව ජාති, වර්ග, වශයෙන් ප්‍රභේදයක් ඇති කළ නොහැකි බව ඉතාමත් පැහැදිලිව පෙන්වා දී ඇත. ඒ බව වාසෙට්ඨ සූත්‍රයේ හි දක්වා ඇත්තේ මෙසේය.
“සමඤ්ඤා හෙසා ලොකස්මිං නාමගොත්තං පකප්පිතං
සමුච්ච සමුදාගතං තත්ථ තත්ථ පකපපිතං”
සහ ලේ නෑ ආදින් විසින් කරන ලද නාම ගෝත්‍රයක් ඇද්ද එය ලෝකයෙහි ව්‍යවහාර මාත්‍රයක් පමණි. බොහෝ කාලයක් තුළ පාරම්පරිකව පැවත එන බැඳීම මුල්කොට ගෙන ඒ ඒ තන්හි උපන් කල්හි කරන ලද නාමගෝත්‍රය සම්මතයක් පමණි. එය නොදන්නාහු ජාතියෙන් බ්‍රාහ්මණ යයි කියති.
මේ අනුව මිනිසුන් උප්පත්තියට අනුව උසස් පහත් වශයෙන් සැලකීමත් එක් කොටසක් වරප්‍රසාද හිමි කරගැනීමත් තවත් කොටසකට අයිතිවාසිකම් අහිමි කිරීමත් සමාජ ධර්මයට එකඟ නොවන බව බුදුන් වහන්සේ ප්‍රකාශ කළහ. යමෙක් ජාති වාදයෙන් ගෝත්‍රවාදයෙන් යුක්තව අන්‍යයන් පහත් කොට සලකා ක්‍රියාකරන්නේ නම් ඔහු පිරිහීමට පත් වන බවද උන්වහන්සේ පැහැදිලි කළහ.
“ජාති දෙධා ධනත්තද්ධෝ ගොත්තදධෝචත්ද්ධෝ යො නරො
සඤ්ඤාතිං අතිමඤෙඤති තං පරාභවතො මුඛං”
බුදුදහමේ උගන්වන අවසාන නිෂ්ටාව හෙවත් නිර්වාණය සියලු බැඳීම් වලින් නිදහස් වීමයි. අම්බට්ඨ සූත්‍රයෙහිදි බුදුරජාණන් වහන්සේ යමෙක් ජාතිවාදයෙන්, ගෝත්‍රවාදයෙන් බැඳුණේ වෙයිද, ඔහු ඒකාන්තයෙන්ම නිවනින් ඈත් වන්නේ යැයි ප්‍රකාශ කරති. එයින් පැහැදිලි වන්නේ බෞද්ධ ප්‍රතිපදා මාර්ගයෙහි උත්තරීතර අවස්ථාව හෙවත් නිර්වාණබෝධය ලැබූ උතුමන් තුළ ජාති, ගෝත්‍ර, කුල වශයෙන් ඇති වන පටු ආකල්ප කවර ආකාරයකින් වුවත් පැවතිය නොහැකි බවය.
බුදුරජාණන් වහන්සේ මෙසේ ජාතිවාදය උන්වහන්සේගේ ඉගැන්වීම් තුළින් බැහැර කළා පමණක් නොව ජාතිවාදයෙන් තොර තෘප්තිමත් සමාජයක් බිහි කළ හැකි බව ආදර්ශයෙන්ද ඔප්පු කළහ.උන්වහන්සේ ඇති කළ භික්ෂු සමාජයට එවකට භාරතයේ සිටි සියලු ජාති, කුල ,ගෝත්‍රවලට අයත් පුද්ගලයන් ඇතුළත් කර ගත්හ. එසේ ම කිසිදු විශේෂයක් නැතිව ඔවුන්ව සංඝ සමාජයේ හිමි විය යුතු ස්ථාන ලබාදුන්හ. බුදුන් වහන්සේ සඳහන් කළේ බෞද්ධ පැවිද්ද හරියටම මහ මුහුද හා සමාන බවය. එනම් සියලු ගංගාවලින් එන ජලය මහ මුහුදට වැටුණු කල (මුහුදුවතුර) එකම ලුණු රසයෙන් යුක්ත වන්නා සේ කවර ජාතියක, කුලයකින් සසුනට ඇතුළු වූවත් ඒ සියලු දෙනාම එකම බුද්ධ ශ්රාවකයින් බවය. සසුන බොහෝ කලක් පැවතියේ ද ඒ ආකාරයෙන්ය. මේ අනුව අවසන් වශයෙන් සඳහන් කළ යුතු වන්නේ දර්ශනයක් වශයෙන් බුදුසමය ජාති භේදය පිළිකුල් කරන අතර සමාජය තුළ ඇති විවිධ ජාති, වර්ණ, කුල,ගෝත්‍ර අභිභවා මනුෂ්‍යත්වයට ජයගත හැකිබව පැහැදිලිවම විවරණය කරන බවය.