Thursday, 27 December 2018

අවිහිංසාවාදී සන්නිවේදනය

 



අවිහිංසාවාදී සන්නිවේදනය





අවිහිංසාවාදී සන්නිවේදනය (සානුකම්පික සන්නිවේදනය සහ සහයෝගී සන්නිවේදනය ලෙසද හැඳින්වෙන) 1960 මුල් භාගයේ දී මාර්ෂල් රොසෙන්බර්ග් විසින් ගොඩනගන ලද සන්නිවේදන ක්‍රියාවලියකි. අවිහිංසාවාදී සන්නිවේදනය බොහෝ අවස්ථාවලදී සංඝට්ටන ක්‍රියාවලියක් ලෙස ක්‍රියාකරයි. එය සන්නිවේදනයේ අංශ තුනක් කේන්ද්‍ර කරගෙන ඇත. ඒවා නම් ස්වයං තදනුභූතිය (යමෙකුගේ අභ්‍යන්තර අත්දැකීම් පිළිබඳ ගැඹුරු සානුකම්පික වැටහීම), තදනුභූතිය (යම්කෙනෙක් වෙත ඕනෑකමින් කාරුණිකව සවන්දීම) සහ අවංක ස්‌වයං ප්‍රකාශනයයි. (අන් අය තමා කෙරෙහි සනුකම්පිකව බැලීමට පොළඹවන සත්‍යවාදීබව ප්‍රකාශ කිරීම.)
අවිහිංසාවාදී සන්නිවේදනය රඳා පවතින්නේ සියලු මානව වර්ගයා තුළ අනුකම්පාවට ඉඩක් පවතී යන අදහස හාමිනිසුන් තම අවශ්‍යතා සපුරා ගැනීමට ඵලදායී ක්‍රමෝපායන් හදුනන නොගන්නා විට ඇතිවන අන් අයට කරදරකාරී ප්‍රචණ්ඩත්වයට මුල්වන හැසිරීම් මතයි. ප්‍රචණ්ඩත්වයට මුල්වන සිතීමේ හැ කතාකිරීමේ චර්යාවන් (මානසික හැ ශාරීරික) සංස්කෘතිය හරහා ඉගැන්වේ. අවිහිංසාවාදී සන්නිවේදන සිද්ධාන්ත වලට අනුව මනුෂ්‍ය චර්යාවන් ගෝලීය මානව අවශ්‍යතා හඹා යාමට උත්සාහ දරන අතර මෙම අවශ්‍යතා කෙදිනකවත් සංඝට්ටනය නොවේ. එසේ නොවන සංඝට්ටනයක් ඇතිවන්නේ අවශ්‍යතා සපුරාලන උපක්‍රමයන් නොගැලපෙන විටය. මානව වර්ගයාට තම අවශ්‍යතා, අනයගේ අවශ්‍යතා සහ මෙම අවශ්‍යතා වටා ඇති හැගීම් දැනීම් හඳුනා ගත හැකිනම් එයින් සමගිය කුලුගන්න්වන බව අවිහිංසවාදී සන්නිවේදනයේ අදහසයි.
අවිහිංසාවාදී සන්නිවේදනය අන් අය කෙරෙහි අනුකම්පාවක් උපදවන සම්බන්ධතාවක් ලෙස වර්ධනය කිරීමට නිර්මාණය කෙරුණු සන්නිවේදන ක්‍රියාවලියක් ලෙස ඉගැන්වෙන තුරු එය අධ්‍යාත්මික ප්‍රගුනණයක්, සාරධර්මයක්, ඉගෙනුම් ක්‍රමයක් හා ලෝකදර්ශනයක් ලෙස විවරණය වී තිබෙනු ඇත.

නියැලුම


අවිහිංසාවාදී සන්නිවේදනය සන්විධානීය සහ ව්‍යාපාර සැකසුම් වලදී, මාපිය රැකවරනයෙදී, අධ්‍යාපනයේදී, සමාදානය සඳහා සිදුවන මැදිහත් වීම් වලදී, මනෝ රෝග චිකිත්සාවේදී, සෞඛ්‍ය ආරක්ෂක කටයුතු වලදී සහ ළමා ග්‍රන්ථයන්හි මූලකරණයක් ලෙස ද, මෙවන් අනෙකුත් සන්දර්බ අතරද යෙදවේ.
රොසෙන්බර්ග් විසින් අවිහිංසාවාදී සන්නිවේදය රුවන්ඩාව, බුරුන්ඩි, නෛජෙරියාව, මැලේසියාව, ඉන්දුනීසියාව, ශ්‍රීලංකාව, කොලොම්බියාව, සර්බියාව, ක්‍රොආටියාව, අයර්ලන්තය, වැනි ගැටුම් පවතින කලාප වල සහ පලස්තීනු ත්‍රස්තවාදය නියුක්තව ඇති මැදපෙරදිග හි ද සාම වැඩසටහන් වලදී භාවතා කර ඇත.
අවිහිංසාවාදී සන්නිවේදනය එක්සත් ජනපදයේ කොස්ටා රිකා හි පාසල් වල සහ අනෙක් රටවල සාමය වර්ධනය හා සමාජ හැ සිතුම් පැතුම් වර්ධනය විෂය මාලාවක් ලෙස ඉගැන්වුණු BePeace or Connection Practice ලෙස නම් කෙරුණු Heart Math භාවනා ක්‍රමයක් සමඟ ද එක්ව පවතී.

යටගියාව හා විකාශනය


අවිහිංසාවාදී සන්නිවේදන පුහුණුව සාමසාධන හැකියාවන් සීග්‍රයෙන් වැපිරවීමේ මාර්ගයක් ලෙස රොසෙන්බර්ග් ගේ සෙවීම් වලින් ක්‍රමයෙන් විකාසයට පැමිනුණි. එය ඔහු විසින් 1960 හි මුලදී කරන ලද මහජන අයිතිවාසිකම් ක්‍රියාවාදයන් වල සිට එළිදරව් වුනි. මෙම කාලය තුළදී ඔහු කැරලි කෝලාහල වල යෙදුනු සිසුන් සහ පාසල් පරිපාලකයන් අතර අතරමැදියෙක් ලෙසද වියුක්ත පළාත් වල රජයේ පාසල් වල වර්ණබේදවාදය නැති කිරීම සඳහා ද ක්‍රියාකරන ලදී. මේරියන් ලිට්ල් (2008) ට අනුව රොසෙන්බර්ග් එක්සත් ජනපද පාසල් වල හා සංවිධාන වල ජාතීන් ඒකාබද්ධ කිරීමේ යෙදී සිටි 1960 අග භාගයේ අවිහිංසාවාදී සන්නිවේදන ආකෘතියේ මූලයන් ගොඩනැගූ බව කියවේ. මුල්ම ආකෘති සංස්කරණය රොසෙන්බර්ග් විසින් 1972 දී සකසන ලද පුහුණු කාර්ය සංග්‍රහයකින් කොටසකි.ආකෘතිය දැන් පවතින ආකාරයට විකසනයවූයේ 1992 දීය. රෝසේම්බ්ර්ග් සහ ඔහුගේ සගයන් අතර පැවතුන සකච්ඡා ආකෘතියේ පවත්වාගෙන යාම සඳහා ඉවහල් වුණු අතර පසු කාලීනව වසර 2000 දී පමණ ගෙන එන ලද ‘self – empathy’ යන සංකල්පය මෙම ආකෘතියේ වර්ධනයට ප්‍රධාන ලෙස ඉවහල් වුණි. වසර 2000 සිට මෙම ආකෘතිය ක්‍රියාවලියක් ලෙසද ඉදිරියට පැමිනුණි. ක්‍රියාවලියේ පියවර සඳහා වැඩි අවධානයක් යොමු නොකෙරුණත් වියුක්තිකයන් හා රොසෙන්බර්ග් ඇතුළු පිරිස විසින් අරමුණු සම්බන්ධ කතා බහ හා පුද්ගලයන් ට සවන්දීම් වැනි සම්බන්ධතා අනෙක් අය සමඟ බෙදා ගැනීම සිදු කළහ.
අවිහිංසා සන්නිවේදනයෙන් සංවර්ධනය කේන්ද්‍ර කර ගනිමින් ලිට්ල් නැමැත්තාට අනුව රොසෙන්බර්ග්, කාල් රෝජෙර්ස් සමඟ ‘සබඳතාවන් පැවතීම සඳහා උපකාරක උපාංග විමර්ශනය’ සඳහා වූ පර්යේෂණයකට සම්බන්ධ වී ඇත. එහිදී රොජර්ස් විසින් 1) අනුභාවත්මක ඉගෙනීම, 2) කෙනෙකුගේ හැගීම් පිළිබඳ අවංක භාවය, 3) අනයට ඇහුම්කන් දීමෙන් සහෙමකට පැමිණීම, 4)නිර්මාණාත්මක බව, ක්‍රියාකාරී බව,සංවේදී බව, නිවැරදිතාවය, තදනුභුතී සවන්දීම, යන කරුණු පිළිබඳ වූ දිරිගැන්වෙන අත්දැකීම්, 5)කෙනෙකුගේ අභ්‍යන්තර අත්දැකීම්, සන්නිවේදනය පිළිබඳ වූ ගැඹුරු සංගතිය සහ 6) කොන්දේසි විරහිතව ආදරය කිරීම හෝ අගය කිරීම සහ කරුණාව දැක්වීම පිළිබඳ ප්‍රාණවත් අත්දැකීම්, යන කරුණු අවධාරණය කරන ලදී.
එරිච් ෆ්රෝම්ම්, ජෝර්ජ් ඇල්බී සහ ජෝර්ජ් මිලර් යන පුද්ගලයන් ගේ අනුබලය යටතේ රොසෙන්බර්ග් සායනික මානසික ප්‍රතිපත්තියෙන් ඉවත් වෙමින් ඔහුගේ ක්‍රියාවන් පිළිබඳ ඇති සමාජ අවධානය කෙරෙහි සැලකිලිමත් විය.

1) පුත්ගලයන්ගේ මානසික සෞඛ්‍ය සමාජ ව්‍යුහය මත රඳා පවතින බව හා. 
2)තනිව සිදුකරන පිළිවෙත් සමාජ මානසික අවශ්‍යතා සැපිරීමට අසමත් බවත් නිසා (ඇල්බී ට අනුව) සහ 
3) මනෝවිද්‍යා සංකල්ප සමාජය වෙත නිදැල්ලේ ලැබෙන විට මානව හැසීරීම් වර්ධනය වන බවත් (මිලර් ට අනුව) නිසා රොසෙන්බර්ග් ගේ මෙම විකාසනය සිදුවිය.

ඉගෙනුම් අබාධ සහිත ළමුන් හා රොසෙන්බර්ග් ගේ පෙර කටයුතු ඔහුගේ සහයෝගීත්වය පිළිබඳ හොදින් තහවුරු කරන අතර එය ඔහු තුළ වූ මනෝචිකිත්සක හැකියාව හා භාෂා භාවිතයන් ගේ හැකියාවට හොඳම සාක්ෂි වේ. අවිහිංසාවාදී සන්නිවෙදනයේ මූලීක ක්‍රියාවලීන් තුළ වූ සිසු-ගුරු සම්බන්ධතාවල නැවත සකස් කරමින් සිසුන් වෙත තමන්ගේ ඉගෙනුම් පිළිබඳ තීරණ ගැනීමේ වැදගත් වගකීම පවරන ලදී. ආකෘතිය විකාසනය වසර ගණනක් තිස්සේ සිදුවෙමින් සංස්ථායික බලවත් සම්බන්ධතා (උදා ; පොලිස්-පුරවැසි, ප්‍රධානීන්- වියුක්තිකයින්) සහ අනාකෘතික සම්බන්ධතා (උදා ; ගැහැණු - පිරිමි, දුප්පත් - පොහොසත්, වැඩිහිටි - තරුණ, දරු - දෙමාපිය) නීතිගත කරන ලදී. බියජනක ආධිපත්‍යක් වැනි හැගීම් වෙනුවට මෙහි එකම අරමුණ වුයේඅන්යෝන්ය ගෞරවය සහ ශක්තිමත් සම්බන්ධතා සහිත සමාජගත හිතවත් කම් ගොඩනැග්වීමයි.
රොසෙන්බර්ග් විසින් මහත්මා ගාන්ධි මැතිතුමා අවිහිංසාවාදී සන්නිවේදන ආකෘතියේ අනුප්‍රාණයක්සේ අදුනගන්නා ලදී. ගාන්ධි තුමාගේ “අහිංසා ” දර්ශනයනයේ ප්‍රායෝගික ක්‍රියාවලියක් ලෙස මෙය වර්ධනය රොසෙන්බර්ග් ගේ පරමාර්ථය වන්නට ඇත.

පර්යේෂණ


අහිංසාවාදී සන්නිවේදනය පිළිබඳව සිදු කෙරුණු දේශාන්තර විශ්ලේෂණීය පර්යේෂණයන් අවම වන අතර අහිංසාවාදී සන්නිවේදන පුහුණු වැඩසටහන්හි සඵලත්වය පිළිබඳව ඇගයනු අධ්‍යයන කිහිපයක් දැකිය හැකිය. අධ්‍යයන සන්දර්භය තුල අහිංසාවාදී සන්නිවේදනය පිළිබඳව සිදු කෙරුණු සාකච්ඡාවන්ද ඉතා අල්පය. මෙම අහිංසාවාදී සන්නිවේදනයේ සඵලත්වය හා කාර්යසාධනීය බව සඳහා වන සාක්ෂ්‍යයන් බොහෝ විට උපාඛ්‍යාත වී ඇති අතර න්‍යායාත්මක කරුණු මත පදනම් වෙයි.
2011 වසරේදී පශ්චාත් උපාධි තිසීසයන් හා ආචාර්ය නිබන්ධන හයක් මෙම මාදිලිය පරීක්ෂණයට ලක් කලේය. එහි නියැදිය 108ක් හෝ ඊට කුඩා වූ අතර මෙය බොහෝ ප්‍රතිඵලදායක බව අනාවරණය විය.
1972දී රොසෙන්බර්ග්ව පළමු වරට මුන ගැසුණු ඇලන් රොල්ෆ්ස් අහිංසාවාදී සන්නිවේදන මධ්‍යස්ථානයේ ආරම්භකයා වූ අතර මේ පිළිබඳව වන අධ්‍යයනයන්ගේ අල්පත්වය පිළිබඳව මෙසේ විස්තර කරයි.
සැබැවින්ම ගැටුම් නිරාකරණය පිළිබඳව වන වැඩසටහන් සියල්ලටම ඒවායේ පදනම ලෙස අධ්‍යයනමය පසුබිමක් ඇති අතර එනිසාම උපාධි ශිෂ්‍යයන් විසින් එහි සඵලත්වය පිළිබඳව ඇගයෙන ආනුභුතික අධ්‍යයනයන් සිදු කර ඇත. අහිංසාවාදී සන්නිවේදනය ඉතා වැදගත් වන්නේ එහි මූලයන් නිසාවෙනි. ආචාර්ය උපාධියක් ඇති මාර්ෂල් රොසෙන්බර්ග්, (සායනික මනෝ විද්‍යාව, විස්කොන්සින් වි.වි.) පැමිණෙන්නේ පූර්ණකාලීන සායනික මනෝවිද්‍යා භාවිතයෙන් හා උපදේශනයෙන් වන අතර අධ්‍යයන පලකිරීම් තුලින් නොවේ. ඔහුගේ නිර්මාණයක් වන අහිංසාවාදී සන්නිවේදනය සම්පූර්ණයෙන්ම බිම් මට්ටමේ සංවිධානයක් වන අතර මෑතක් වන තෙක්ම කිසිදු පදනම් සංවිධානයක් හෝ ආධාර මුදලක් නොමැතිව පැවතිණි. එයට 100%ක්ම මුදල් ලැබුනේ ලොව පුරා කළ මහජන වැඩමුළු වලින් ලැබුණු ආධාර මුදල් වලිනි. ස්වාධින පර්යේෂකයින් තම මුදල් වලින් හා තම සමානයන්ගේ විවරණයන් සහිතව ආනුභූතික අධ්‍යනයන් සිදු කර ප්‍රකාශයට පත් කරන බැවින් දැන් ක්‍රමක්‍රමයෙන් ආනුභූතික දත්ත පිවිසෙමින් තිබේ.
ඉහල ප්‍රචන්ඩත්වයක් සහිත පසුබිමක පැවතෙන අධිකරණ වෛද්‍ය මනෝචිකිත්සීය හෙදකම තුල විශාල වෙනස්කම් ඇතිකළ මැදිහත්වීම් ගණනාවක් අහිංසාවාදී සන්නිවේදනය මගින් සිදු කෙරිණි. ප්‍රචණ්ඩත්වය අවම කිරීම සඳහා දරන ලද වෙනත් මැදිහත්වීම් සමග සංකලනයෙන් අහිංසාවාදී සන්නිවේදනය සැකසී ඇත. මෙමගින් මධ්‍යම ආරක්ෂක ඒකකයක් තුල වසර තුනක් ඇතුලතදී ප්‍රචණ්ඩත්වය සියයට 90කිනුත්, උපරිම ආරක්ෂක ඒකකයක් තුල වසරක් තුලදී සියයට 50කිනුත් ප්‍රචණ්ඩත්වයේ ප්‍රධාන දර්ශකයන් අඩු කළ බව කියැවේ.
මෑත කාලීන පර්යේෂණයන් මගින් පෙන්නුම් කරණු ලබන්නේ විශ්වීය මානය අවශ්‍යතාවයන්ගේ වලංගු භාවයයි.

ආධාත්මිකත්වය හා ඇති සම්බන්ධතාවය


තෙරේසා ලැටින් පවසන ආකාරයට රොසෙන්බර්ග් අහිංසාවාදී සන්නිවේදනය තේරුම් ගන්නේ මූලික වශයෙන් “ආධාත්මික ක්‍රියාවක්” ලෙසයි. සැබැවින්ම මාෂල් රොසෙන්බර්ග් අහිංසාවාදී සන්නිවේදනය සංවර්ධනයේ හා භාවිතයේ ලා තම ආධ්‍යාත්මික ජීවිතයේ බලපෑම විස්තර කරයි.
“අහිංසාවාදී සන්නිවේදනයේ පදනම තුල ආධ්‍යාත්මිකතාවය ඇති බවට ජනතාව තේරුම් ගැනීම වැදගත් යැයි මම සිතනවා. එමගින් ඔවුන් මෙම ක්‍රියාවලියේ යාන්ත්‍රණය ඉගෙන ගනු ඇති. මම පෙන්නුම් කිරීමට උත්සාහ කරන්නේ ආධ්‍යාත්මික හුරු පුරුද්දක් ජීවිතයට උකහා ගන්නා ආකාරය. අපි සඳහන් නොකරනවා වුනත් මිනිසුන් මෙම පුරුද්ද මගින් විමෝහනය වනවා. මෙය යාන්ත්‍රික ශිල්පයක් ලෙස ක්‍රියාත්මක කළා වුවත් මෙමගින් පෙරදී ඔවුන් තුලම හා අනෙක් මිනිසුන් තුල අත්දැකීමට නොහැකි වූ දේ අත්විඳින්නට පටන් ගන්නවා. එබැවින් අවසානයේදී ඔවුන් මෙම ක්‍රියාවලියේ ආධාත්මිකතාවය වෙත පිවිසෙනවා. ඔවුන් එය හුදෙක් සන්නිවේදන ක්‍රියාවලියන් පමණක් නොවන බවත් එය එක්තරා ආකාරයක ආධාත්මිකතාවයක් ප්‍රකාශ කිරීමේ උත්සහයක් බවත් තේරුම් ගැනීමට සමත් වෙනවා.”
රොසෙන්බර්ග් තව දුරටත් පුකාශ කර සිටින්නේ ඔහු අහිංසාවාදී සන්නිවේදනය සංවර්ධනය කළේ තමන් “ආදරණීය වූ දිව්‍යමය වූ ශක්තිය” ලෙස හඳුන්වන දෙය පිළිබඳව අවබෝධය ලබා දීමට බවයි.
සමහර ක්‍රිස්තියානුවන් අහිංසාවාදී සන්නිවේදනය දකින්නේ තම ක්‍රිස්තියානු විශ්වාසය හා සමවන්නක් ලෙසයි. එහෙත් තවත් බොහෝ අය දකින්නේ මෙය භාවිතයෙන් හා න්‍යායෙන් බුද්ධාගමේ පුරුෂාර්ථයන් පිළිබිඹු කරන්නක් ලෙසයි.

අනෙකුත් මාදිලි හා ඇති සබඳතාවය


මේරියන් ලිට්ල්, අහිංසාවාදී සන්නිවේදනය හා සම්බන්ධකමක් දැක්වෙන න්‍යායාත්මක රාමු පිළිබඳව සොයා බලයි. ෆිෂර්, යූරි, හා පැටන් මගින් 1980 දී හාවඩ් සාකච්ඡා ව්‍යාපෘතිය තුලදී සංවර්ධනය කළ ගැටුම් නිරාකරණ කතිකාව හා මැදිහත්වීම් පිළිබඳව වන අභ්‍යන්තරික-පදනම් මාදිලි එකිනෙක හා වෙනස් වුවත් ඒ සියල්ල මත සාංකල්පීයමය සම්බන්ධතාවයක් අහිංසාවාදී සන්නිවේදනය තුල ඇති බව පෙනී යයි. ඵලදායී සබඳතා පිළිබඳ ගෝඩන් මාදිලිය (1970), අහිංසාවාදී සන්නිවේදනය හා අභ්‍යන්තරික-පදනම් කතිකාව සමග සංකල්පීය ලෙස සබඳතා දක්වන බව ලිට්ල් පවසයි. රොසෙන්බර්ග් මෙන්ම ගෝර්ඩන් ද කාර්ල් රොජර්ස් සමග එක්ව වැඩකළ හෙයින් මෙම මාදිලි තුල පොදු බලපෑම් දැකිය හැකිය.
සුසෑන් ජේන්ස්, ගෝඩන් මගින් සැකසුණු සක්‍රීය සවන්දීම හා රොසෙන්බර්ග්ගේ තද්වේදී සවන්දීම අතර එකිනෙකට ස්වාධීන වූ වෙනස්කම් දකී. සක්‍රීය සවන්දීම යනු කථකයා කියූ දෙය තමන් අසා සිටින බවට පෙන්වීමට නිශ්චිත ක්‍රියාවන් ගැනීම වන අතර තද්වේදී සවන්දීම යනු කථකයාගේ අත්දැකීම් තේරුම් ගනිමින් ඔහුගේ අවශ්‍යතාවය හොඳින් අවබෝධ කර ගනිමින් එයට පිළිතුරු සැපයීමේ අරමුණ ඇතිව හදින් හා මනසින් සත්‍ය වශයෙන්ම කථකයා හා එක්ව කෙරෙන සවන්දීමයි.
“ප්‍රචන්ඩත්වය ඇති වන්නේ පුද්ගලයෙකුට හෝ කණ්ඩාමකට තම අවශ්‍යතාවයන් සපුරා ගැනීමට වෙනයම් මාර්ගයක් නැති විටක හා ඔවුනට තේරුම් ගැනීම ගෞරවය හා තම අවශ්‍යතාවයන් තේරුම් ගැනීම නොහැකි වූ විටය” යන අදහස සහිතව ගැටුම් මුලාස්‍ර හඳුනා ගන්නා සහ ගැටුම් නිරාකරණ ක්‍රියාවලීන් සකසන අධ්‍යයනමය මාදිලියක් වන “මානව අවශ්‍යතා න්‍යාය” සහ අහිංසාවාදී සන්නිවේදනය අතර සබඳතාවයක් ගර්ට් ඩැනියෙල්සන් හා හවුවා කොක් යන දෙදෙනාම දකී.
චැප්මන් ෆ්ලැක්, විචාරාත්මක චින්තනය, විශේෂයෙන්ම කරුණාව හා පැහැදිලි චින්තනය එක් කරන බර්ට්‍රම් රසල් ගේ සූත්‍රකරණය හා රොසෙන්බර්ග් පවසන දේ අතර සබඳතාවයක් දකී.
සංස්කෘතික කටයුතු පිළිබඳ ආයතනය මගින් සංවර්ධනය කරන ලද කේන්ද්‍රගත සංවාද මාදිලියේ අරමුණු, පරාවර්තක, අර්ථය දක්වන හා තීරණ ගැනීමේ අදියරයන් හා අහිංසාවාදී සංවර්ධනයේ නිරීක්ෂණ, හැඟීම්, අවශ්‍යතා හා ඉල්ලීම් අතර සමානතාවයක් මාර්තා ලෙස්ලි දකී.

ප්‍රතිචාර


අහිංසාවාදී සන්නිවේදනය පිලිබඳව පල කළ විචාරයන් ඉතා අවමය. කෙසේ වෙතත් පර්යේශකයන් දකින්නේ මෙහි සාඵල්‍යතාවය පිළිබඳ වන සාරවත් උපාඛ්‍යාතයන් හැරුණු කොට මේ පිළිබඳව කෙරුණු න්‍යායාත්මක සංවාදයන් අවම බවයි.
රොසෙන්බර්ග්ගේ පුහුණු වීඩියෝවක් විවරණය කරන චැප්මන් ෆ්ලැක්, මූලික අදහස් ඉදිරිපත් කිරීම චිත්තාකර්ශනීය බවත් උපාඛ්‍යාතයන් “ නිහතමානී හා බලපෑම් සහගත” බවත් දකිමින් ඔහුගේ “කාර්යයයේ සුන්දරත්වය” පිළිබඳව පවසන අතර තම ප්‍රේක්ෂකයන් හා ගණු දෙණු කිරීමේදී ඇති “නිපුන වූ සැලකිලිමත් චින්තනය” පිළිබඳවද මෙනෙහි කරයි. එහෙත් “චින්තනය සඳහා වන ස්ථානය පිළිබඳ ඡායා මාත්‍රයක්” හා වෝල්ටර් වින්ක් ගේ “අපගේ චින්තනයේ සම්භවය” සංවර්ධනය කරන ආකාරය පිළිබඳව ෆ්ලැක් ප්‍රශ්ණ කරයි. ෆ්ලැක්ට අනූව රොසෙන්බර්ග් සමහර මතයන් මානව ස්වභාවයේ, සාහිත්‍යයයේ හා කලාවේ සංකීර්ණතාවයන් හා නොගැලපෙන සරල පිළිතුරු බවට පත් වී ඇත.
අහිංසාවාදී සන්නිවේදනයේ “ප්‍රබල සංවේදය”, අවධානය තුලින් වර්ධනය කරගත හැකි වීම හා ආත්මයේ ඇති අනුකරණය කිරීමේ “දුබල සංවේදය” පිළිබඳ වෙනසක් ෆ්ලැක් දකී. ප්‍රබල සංවේදය මගින් කෙනෙකුගේ චින්තනය, ක්‍රියාවන්, ව්ශ්ලේෂණය කිරීමට හැකිවන භාෂාව සකසන අතර එමගින් අවබෝධය ලබා ගැනීමට කෙනෙකුගේ උපරිමය ප්‍රජාවට ලබා දීමට හා කෙනකුගේ හැඟීම් වලට ගෞරව කිරීමට සහය ලැබේ. “ දුබල සංවේදය” කෙනෙකුගේ භාෂාව වාදයන්ගෙන් ජයග්‍රහණය ලබා ගැනීමට, දේශපාලන වාසි වෙනුවෙන් අන් අය ලේබල් කිරීම හෝ අනෙකෙකුට එසේ හැසිරීමට බලපෑම් කිරීමට යොදා ගැනේ. රොසෙන්බර්ග් පවසන සමහර දේ තුලින් දුබල සංවේදය කෙරෙහි කෙනෙක් යොමු වන බව දුටුවද ෆ්ලැක් පවසන්නේ ප්‍රබල සංවේදය තහවුරු කරගැනීමට එය දවු වන බවයි. වැඩමුළු සඳහා සහභාගී වන්නන් සමග රොසෙන්බර්ග් “ සත්‍යෙ දේ” ආදර්ශණය කර පෙන්වයි. එහෙත් ෆ්ලැක් පවසන්නේ එමගින් “දුබල සංවේදය” සඳහා වන පෙළඹවීම නැති නොවන බවයි. ෆ්ලැක් මෙසේ පවසයි “ඔබ කරන දේ පිළිබඳව ගතානුගතික වන්න, අනෙක් අයගෙන් පිළිගන්නා දේ පිළිබඳව නිදහස්වාදී වන්න. ( දැඩි ප්‍රතිපත්තිය ලෙසද හැඳින්වේ). එමෙන්ම අහිංසාවාදී සන්නිවේදනය, එනමින් සිදු කෙරෙණ සියුම් ප්‍රචන්ඩකාරීත්වයක් වෙත රූපාන්තරණය වීමෙන් ආරක්ෂා කර ගන්න” .
රොසෙන්බර්ග්ගේ “අහිංසාවාදී සන්නිවේදනය: කරුණා දයාවේ භාෂාව” (1999) නම් කෘතිය සම්බන්ධව විවරණයේ යෙදෙන බෝලිං ග්‍රීන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එලන් ගෝර්සෙව්ස්කි භූ දේශපාලනික වාගාලංකාරය සම්බන්ධව මෙසේ පවසයි “පුද්ගලයාගේ සාපේක්ෂ ශක්තිය විශාල වශයෙන් අධිතක්සේරුවට ලක් කර ඇති අතර ව්‍යුහාත්මක ප්‍රචණ්ඩත්වය පිළිබද ප්‍රධාන ගැටළුව මුළුමනින්ම මග හැර ගොස් ඇත.”
“PuddleDancer Press” පවසන්නේ අහිංසාවාදී සන්නිවේදනය විවිධ ප්‍රසිද්ධ පුද්ගලයන් විසින් අනුමත කර ඇති බවයි.
ස්වෙන් හාර්ටෙන්ස්ටයින් අහිංසාවාදී සන්නිවේදනය පිළිබඳ කාටුන් මාලාවක් අනිතික ලෙස සකසා ඇත.


Wednesday, 26 December 2018

වැව්වල ඉතිහාසය හා බැඳි රසවත් ජන කතා


මේ දවස්ව, ආචාර්යතුමාට වැව කියන මාතෘකාව හරි ම රසවත් එකක්.අන්න ඒක නිසා නිකමට හිතුණා වැව් ගැන මොනවාහරි ලියන්න ඕනා කියලා.ඔහොම ඉද්දි වෙන ම අවශ්‍යතාවයකට පරණ පත්තර ගොඩ ඇවිස්සුවා.ඒ වෙලාවෙ අතට අහු වුණා පත්තරයක්.ඒකෙ නම තිබුණේ විජය කියලා



කලා වැව







කලා වැව හදන්නට මුල් වුණේ ධාතුසේන රජතුමාය. එය ඉදි කෙරුණේ කඩවර නම් තැනැත්තෙකු දුන් තොරතුරකට අනුවයි. ජලයෙන් පිරුණු තැනක් දුටු කඩවර ඒ බව රජතුමාට දන්වා සිටියා. රජතුමා ඒ තැන ගැන සොයා බැලුවා. වැවකට ඉතාමත් සුදුසු නිසා එතැන වැවක් හැදුවා. වැව හදලා වැවේ රාජකාරි සොයා බලන්න කඩවරට පැවරුවා. කඩවර ඒ රාජකාරිය ඉතාම හොදින් ඉටු කළා. රජතුමා සතුටු වී කඩවරට බව බෝග පවා තෑගි කළා.

            රජතුමාගෙන් සැලකුම් ලද කඩවර ටික කලකින් ධනවතකු බවට පත් වුණා. කාල සිටාණන් ලෙස ප්‍රකට වුණා. වැව නිසා රජුගෙන් පැසසුම් ලත් කඩවරට මැති ඇමතිවරුන් ඊර්ෂ්‍යා කළා. ඔවුන් වැව් බැම්ම විනාශ කරන්නට උපාය යෙදුවා. එයින් වැව් බැම්ම විනාශ වුණා. දුක උහුලා ගත නොහැකි වුණු කඩවර වැවට පැන සිය දිවි නසා ගත්තා. පසුව ඔහු කඩවර දෙවි යනුවෙන් ප්‍රකට වුණා. කඩවර දෙවියන් සෑම වැවක්ම ආරක්ෂා කරන බවට ජනප්‍රවාදවල සදහන් වෙනවා.




මින්නේරිය වැව





මින්නේරිය වැව මහසෙන් රජතුමා විසින් කරවන ලද්දකි. එය තනා ඇත්තේ රජුගේ ගව පට්ටියේ එළදෙන තණ කෑ ස්ථානයක් පාදක කර ගනිමිනි. එළදෙනගෙන් දොවාගත් කිරි ඉතා මිහිරි රසයකින් යුක්ත විය. ඇගේ කිරි එතරම් රසවත් ඇයි දැයි විමසා බලන්නට රජු නියම කළා. රජුට දැනගන්නට ලැබුණේ වැල් මී වැවී ඇති වගුරු බිමකින් ඇය තණ බුදින බවයි. සතුටට පත් රජතුමා වගුරු බිමේ වැවක් තනවා කුඹුරු අස්වද්දන්නට තීරණය කළා. එනමුත් වැවේ වැවේ වැඩ කෙසේවත් අවසන් කිරීමට නොහැකි වුණා. කොතැනකින් හෝ කැඩී විනාශ වුණා. රජතුමා නැකැත් කරුවන් ලවා ඒ ගැන සොයා බැලුවා. මේ කාර්‍යය සාර්ථක කර ගැනීමට නම් රජකුමරවකු වැවට බිලිදිය යුතු බව නැකැත් කරුවන් කියා සිටියා. එහෙත් මහසෙන් රජුගේ බිසව තම පුතු බිල්ලට දීමට අකැමැති වුණා. මේ නිසා රජතුමා කනස්සල්ලට පත් වුණා. රජුගේ වැඩිමහල් සොහොයුරිය වූ බිසෝමැණිකා කුමරිය තම පුතු බිලිදීමට කැමැත්ත පළ කළා.

කුමරු බිලිදීමෙන් පසුව වැවේ කටයුතු අවසන් කළ හැකි වුණා. එහෙත් මේ සිදුවීම පිළිබඳව රජතුමා ඉතාමත් දුකට පත් වුණා.අවසානයේ මහසෙන් රජු මියගොස් දෙවි කෙනෙකු වී ඉපිද වැව් ඉස්මත්තේ වාසය කරන බවට ගැමියන් විශ්වාස කරන්නට වුණා. මින්නේරිය දෙවියන් ලෙස අදටත් පුදනු ලබන්නේ මහසෙන් රජතුමාය.






කැකිරාව වැව




දුටුගැමුණු රජ දවස ජීවත් වූ ගොවියෙක් දිනක් හේනක ඇවිදිමින් සිටියා. හේනේ කුරක්කන් ගස් කිහිපයක් තැලී පොඩිවී තිබෙනු දුටු ඔහු ඊට හේතුව සොයා බැලුවා. දුටු දෙයින් ඔහු විශ්මයට පත් වුණා. එමෙන්ම කණගාටුවටද පත් වුණා. විශාල නාගයකු හා මුගටියන් දෙදෙනෙකු සටන් කරන අයුරු ඔහු දුටුවා. ගොවියාට නාගයා ගැන අනුකම්පාවක් ඇති වුණා. ඔහු මුගුරකින් පහර දී මුගටියන් පළවා හැර නාගයා බේරා ගත්තා. වතුර ගෙනැවිත් නාගයාට පෙව්වා. එදා රැයේ ගොවියා පැල් රැක්කා. රැයේ අදුර මකමින් එළියක් විහිදෙනු දුටුවා. ඔහු ඒ ගැන විමසිලිමත් වුණා. ඔහු දුටුවේ පුදුම දසුනක්. කැකිරි ගෙඩියක් තරම් විශාල මැණිකක් නයා සිටි තැන තිබුණා. ඒ දැක බිය වුණු ගොවියා මේ පුවත දුටුගැමුණු රජුට සැල කර සිටියා. රජතුමා කැකිරි මැණික බැලීමට හේනට ආවා. මැණික දුටු රජු අප්‍රමාණ සතුටට පත් වුණා.

            රජතුමා මැණික තිබූ තැන වැවක් තැනුවා. එය නම් කළේ කැකිරාව වැව නමින්. එළාර සමග කළ සටනින් පසුව ස්වර්ණමාලී චෛත්‍යය ඉදිකොට කැකිරි මැණික එහි නිදන් කළා. කැකිරාව වැවට එම නම් ලැබුණේ එලෙසින් බවයි ජනප්‍රවාදයේ සදහන් වන්නේ.






හල්මිල්ල වැව






කලා වැවට ආසන්නව දක්ෂ බෙර වාදකයන් පිරිසක් ජීවත් වුණා. බෙර වාදනය ගැන ඔවුන් ප්‍රකටව සිටියා. පෙරහැරවලට ඔවුනට නිතරම ආරාධනා ලැබුණා. දිනක් එගම් වැසියෙක් බෙර වාදනයට පිටත්ව ගියා. ඒ යන අතර මගදී රජතුමා මුණ ගැසුනා. ඔහු පෙරහැරට ඉඩදී යටහත්ව පාරෙන් ඉවත් වුණා. රජුගේ පෙරහැරේ ගමන් කළ හේවායෙක් අසු පිටේ හිදිමින්ම බෙරයට පයින් ඇන්නා. බෙර වයන්නාට කේන්ති ගියා. ඔහු අහින පදයක් වැයුවා. ඒ බෙර වාදනය අහන් ඉන්න අයට ඉබේම නැටවෙනවා. ඒ සද්දෙ ඇහිලා රජතුමා එතැනට දුවගෙන ආවා. 

මෙතරම් ලස්සනට බෙර වයන්නේ කොහොමද කියලා කල්පනා කළා. බෙර වාදනයෙන් සතුටු වුණු රජතුමා රහසේම ඒ ගමට ගියා. ඒ අවස්ථාවේදී බෙර වාදකයෝ ගුරුන්නාන්සේ කෙනෙකු යටතේ හල්මිල්ල කැලයට වැදී බෙර වාදනය පුහුණු වෙමින් සිටියා. ඒ දුටු රජතුමා පිරිසට හල්මිල්ල යාය පවරා දුන්නා. ඔවුනට වැවකුත් හදා දුන්නා. ඔවුන් ඒ වැවේ දියවරින් ගොවිතැන් කළා. හල්මිල්ල යායේ එදා හැදූ වැව හල්මිල්ල වැව යනුවෙන් ප්‍රකට වුණා.






සොරබොර වැව






සොරබොර වැව දුටු ගැමුණු රජු විසින් ඉදි කෙරුණු තවත් වැවක්. දුටුගැමුණු රජු එලාර සමග සටන් සදහා පිටත්ව ගියා. ඒ යන අතරමගදී ඊශාන දිග වැස්සට හසු වුණා. මහවැලි ගඟ පිරී ඉතිරී ගලන්නට වුණා. මේ නිසා ගඟෙන් එතෙර වීමට නොහැකි වූවන් මහියංගනය අවට ලැගුම් ගත්තා. මහියංගනය චෛත්‍යය ගරා වැටී තිබෙන අයුරු ඔවුන් දුටුවා. දුටුගැමුණු රජතුමා චෛත්‍යය අලුත්වැඩියා කිරීමේ කටයුතු කළා. ඒ අවස්ථාවට විහාර මහා දේවියද සහභාගී වුණා.

දුටුගැමුණු රජුගේ මෙහෙකරුවන් අතර බුලත් සැපයීමට කෙනෙක් සිටියා. ඔහු බුලතා යෝධයාය. බුලත් මෙහෙවර කරන අතරතුර කඳු ගැට දෙකක් අතරින් ගලා බස්නා දොළ පහරක් දුටුවා. ඔහුට අපූරු අදහසක් පහළ වුණා.

බුලතා දොළ පහර හරස් කොට වැවක් තැනීමට පටන් ගත්තා. ඔහුගේ උදව්වට කිසිවෙකු සිටියේ නෑ. ඔහුගේ බිරිඳ පමණයි උදව්වට හිටියේ. ඇය හැදින්වූයේ යෝධී නමින්. ඇය ශක්තිමත් කාන්තාවක්. ඇය බුලතාට අවශ්‍ය ආහාර පාන දිනපතා ගෙන ආවා. ඇය ගමන්ගත් මාර්ගය ඉතාම දුෂ්කරයි. ගල්මුල්, කදුවැටි ආදියෙන් යුක්තයි.

දිනපතා බුලතාට ආහාර ගෙන එන අතරතුරදී දිනපතාට බුලතාට ආහාර ගෙන එන අතරතුරදී ඇය ගල් තබමින් මාර්ගයේ ගල් පඩිපෙළක් හදන්න පටන් ගත්තා. බුලතා වැවේ කටයුතු හමාර කරන විට ඇය පාර සාදා අවසන් කළා.

බුලතා යෝධයා අලුත් වැව රජතුමාට තෑගි කිරීමට කැමැත්තෙන් සිටියා. රජු පිරිවර සමඟ වැව බලන්නට පැමිණියා. නිල් දියවර පිරි වැව දුටු රජතුමා පුදුම වුණා. රජතුමා ‘හරබර’ වාරිකර්මාන්තය අන් අයටද ආදර්ශයක් බව පවසමින් බුලතා යෝධයාට ප්‍රශංසා කළා. එතෙක් වැවට නමක් තිබුණේ නෑ. රජතුමාගේ බස් ඇසූ අය වැවට හරබර වැව යැයි කියන්නට පටන් ගත්තා. පසුව එය සොරබොර වැව නමින් ප්‍රකට වුණා. බුලතා යෝධයාට හා බිරියට තෑගිත් ගම්වරත් ලැබුණා. එදා යෝධී ඉදිකළ මඟ අද දහ අට වංශුවයි.







ගෝණපතිරාව වැව


ධාතුසේන රජතුමාට මල් සැපයූ තැනැත්තා හැදින්වූයේ කඩඉම් රාල යනුවෙනි. ඔහුගේ ගම කඩඉම්ගල. ඔහු ගෙන එන මල් අතරේ ලස්සන රතු නෙළුම් මල් තිබුණා. එක යායට මල් පිපී ඇති මල් බලන්නට රජතුමාට ආසා හිතුණා. රජතුමා කාටත් රහසේ කඩඉම් රාලගේ ගමට ගියා. මල් පිපුණු වතුර පිරි වළ දුටුවා. ඒ වෙලාවේ වතුර වළෙන් වතුර බිබී උන් ගෝණා නාද කළා. නෙත දුටු සුන්දර දසුනත් කණ වැකුණු නාදයත් නිසා රජතුමා බොහෝ සේ ප්‍රීතියට පත් වුණා. රජතුමා ඒ ඉසව්වේ වැවක් තනන්නට කල්පනා කළා. ඒ කටයුත්ත කඩඉම් රාලට පැවරුවා. ඔහු ඒ රාජකාරිය අකුරටම ඉටු කළා. හැමදාම වැව අසල ගෝණුන් ප්‍රතිරාව නැංවූ නිසා වැවට ගෝණපතිරාව වැව නමින් කටවහර පුරුදු වුණා.






කනදරා වැව


කනදරා වැව මහසෙන් රජුගේ වාරි නිර්මාණයක්. රජතුමා කනදරා ඔය හරස් කොට බාණුවාපි නමින් වැවක් ඉදි කළා. බාණුවාපී වැවට ජනයා වැහැරුවේ කණා වැව යනුවෙනුයි. මහවැසි ඇද හැලුණා. මේ වැවේ හිටි කණයකු වැවේ සොරොව්වේ හිර වුණා. කණයා ඉවත් කරන්නට කිසිවකු හෝ ඉදිරිපත් වුණේ නෑ. ඒ නිසා රජු ඒ සදහා කෙනෙකු සොයා ගන්නට අණ බෙරයක් පිටත් කළා. අණ බෙරය කණ වැදුණු කදරා රාළ නම් තැනැත්තා ඒ කාරිය බාරගෙන රජවාසලට පැමිණියා. ඔහු නියමිත දිනයේදී කණයා අයින් කිරීමට සූදානම් වුණා. තමා වැවේ කිමිදී කණයා ඉවත් කළ පසු ගොඩට ගන්නැයි යහළුවෙකුට පැවැරුවා. කනදරා රාල වැවේ කිමිදුණා. කණයා කපා ඉවත් කළා. නමුත් යහළුවා ඔහු ඉහළට ගත්තේ නැහැ. සොරොව්වෙන් ගලා ආ දිය කඳට කනදරා රාල ගහගෙන ගියා. සියල්ල අවසානයේ තමා විසින් කණයා කපා ඉවත් කළ බව පවසමින් මිතුරා රජුගෙන් තෑගිබෝග හා ගම්වර ලබා ගත්තා. කනදරා රාළ ගසාගෙන ගිය වැව පසුකාලයක කනදරා වැව ලෙස ප්‍රකට වුණා.





ඌරු සිටා වැව


මහානාග රජුට මනරම් මඟුල් උයනක් තිබුණා. දිනක් ඌරු රංචුවක් පැමිණ මේ උයන විනාශ කළා. කෝපයට පත් රජු සේවකයින් යොදවා ඌරු රැලේ අයිතිකරු අල්ලා ගත්තා. ඔහු කැලේම සිටි කෙනෙක්. කිසිදාක මිනිසුන් හා ඇසුරක් නොතිබුණු කෙනෙක්. එනිසා ඔහුට කතා කරවන්නට පුරුදු කරන්නට රජතුමාට සිදුවුණා. ඒ සදහා බොහෝ කාලයක් ගත වුණා. මේ කාලය අතරතුරදී රජතුමාගේ කෝපයත් සන්සිදුණා.
මේ තැනැත්තාට කතා කිරීමට හැකිවූ පසු රජු ඔහුගෙන් තොරතුරු විමසා සිටියා. ඔහු කැලයේ වතුර රැස්වී ඇති තැනක් ගැන විස්තර කළා. මේ පුවත ඇසූ රජතුමා එතැන වැවක් ඉදිකොට ඒ වැව ඔහුට පරිත්‍යාග කළා. වැවේ දියවර උපකාරයෙන් වගා කළ ඔහු ටික කලකින් ධනවතකු බවට පත් වුණා. ඉන්පසුව මේ තැනැත්තා ඌරු සිටුවරයා ලෙස ප්‍රසිද්ධ වුණා. පසු කාලයකදී රජතුමා ඔහු හා උරණ වුණා. වැව විනාශ කරන්නට කටයුතු කළා. මේ නිසා දුකට පත් සිටුවරයාත් දේවියත් වැවට පැන දිවි නසා ගත්තා. එදා සිට මේ වැවට ඌරු සිටා වැව නමින් වහරන්නට වුණා.





රන්තිසා වැව


මහසෙන් රජු බලසම්පන්නයි. ඒ වගේම ජනතාවගේ ගෞරවාදරයට පත්වූ රජ කෙනෙක්. මේ රජතුමාට සොහොයුරියන් දෙදෙනෙක සිටියා. එක් අයෙක් බිසෝ මැණිකාය. අනෙක් සොහොයුරිය ටිකිරි මැණිකාය. ටිකිරි මැණිකා කුමරිය පත්තා නම් වැදි නායකයා සමග විවාහ වී සීගිරිය ආසන්නයේ පදිංචි වුණා. ගම්වැසියන් ඇයට බොහෝ සේ ගෞරව කළා. ඒ ඇයගේ පුත් හිඟුරක්ගොඩ බණ්ඩාර මින්නේරිය වැව රැක ගැනීමට ජීවිතය පරිත්‍යාග කළ නිසා. බිසෝ මැණිකා කුමරිය ජනයා සමඟ එක්‍රැස්ව කවුඩුල්ල ප්‍රදේශයේ වැවක් ඉදි කරන්නට පටන් ගත්තා. ඒ එයට රන්තිසා වැව යැයි නම් කළා.

සිය සොහොයුරා වූ මහසෙන් රජු ඉදි කළ මින්නේරිය වැවට වඩා කවුඩුල්ල වැව ප්‍රමාණයෙන් විශාල වුණා. ඉන් ආඩම්බරයට පත් ඇය අයියා මින්නේරිය කියලා නැඹිලියක් හැදෙව්වා. මම ඒ නෑඹිලිය දාන්න පුළුවන් කොරහක් හැදෙව්වා. ඇය උඩගුවෙන් කියා සිටියා. මේ පුවත රජතුමාට සැලවුණා. ඉන් කෝපයට පත් රජතුමා රන්තිසා වැව කඩා දැමීමට කටයුතු කළා. ඒ සදහා මිත්‍ර යක්ෂ පිරිසකගේ සහය ලබා ගත්තා. යක්ෂයන් මුවන්ගේ වේෂය ගෙන වැවේ වෑකන්ද විනාශ කළා. ඒ අවස්ථාව බිසෝමැණිකා කුමරියට සිහිනෙන් පෙනුණා. ඇය අවදිවී කෑ ගසාගෙන වැව් ඉස්මත්තට දිව්වා. සිදුවී ඇති හානිය දැක වාවාගත නොහැකි තැන ඇය වැවට පැන දිවි නසා ගත්තා. මේ පුවත ඇසූ රජතුමාට සොහොයුරිය ගැන දුක හිතුණා. දුරදිග නොබලා කළ දේ ගැන පසුතැවිලි වුණා. වරද නිවැරදි කරගැනීමට සිතූ රජතුමා මින්නේරිය වැවේ සිට සැතපුම් 6ක් පමණ දිග ඇළක් කප්පවා රන්තිසා වැව ඊට සම්බන්ධ කළා. සොයුරිය දේවතාවක්ව ඉපිද ඇතැයි විශ්වාස කළ මහසෙන් රජතුමා ඇය වෙනුවෙන් බිසෝ බණ්ඩාර දේවාලය ඉදි කළා. ඒ රන්තිසා වැව අද හදුන්වන්නේ කවුඩුල්ල වැව නමින්.




(උපුටා ගැනීම විජය පුවත්පත - 2016 අගෝස්තු)