Sunday, 2 May 2021

බුදු දහම සහ ජාතිවාදය

 මිනිසා ජාති , කුල ගෝත්‍ර ආදී වශයෙන් විවිධ කණ්ඩායම්වලට බෙදී සිටීම සහ ඔවුනොවුන් අතර විවිධ ගැටුම් සහ භේදකාරී තත්ත්වයන් ඇති කර ගැනීම ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් එන තත්ත්වයකි. ක්‍රි.පූ. 5000ටත් වඩා ඈතට ගමන් කරන වෛදික සාහිත්‍යයේ පවා වර්ණයට අනුව මිනිසුන් වර්ග කිරීමක් පැවැති බව පෙනේ.


ව්‍යවහාර වශයෙන් මිනිසුන් අතර නානාත්වයක් ඇති බව බුදුදහම පිළිගන්නා නමුත් (නානත්තකායා නානත්ත සඤ්ඤා) ජාති, වර්ණ, කුල, ගෝත්‍ර, වශයෙන්ම ම මිනිසා විසින් ඇති කරගෙන තිබෙන එකී සම්මතයන්ට අනුව එක් වර්ගයක් තවත් වර්ගයකට වඩා උසස්ය හෝ පහත්ය යන අදහස බුදුසමය සහමුලින්ම බැහැර කරයි. කවර නම් වලින් හැඳින්වුවද, මිනිසුන් අතර ජාති භේදයක් පැවතිය නොහැකි බවත් මිනිසාට ඇත්තේ එකම ජාතියක් බවත් පළමුවරට ප්‍රකාශ කළ ශාස්තෘවරයා බුදුන් වහන්සේය.


බුදුන් වහන්සේ පහළ වන අවධිය වන විට භාරතීය සමාජයේ ඉහළම වරප්‍රසාද හිමි කරගෙන සිටියේ බ්‍රාහ්මණයන්ය.ආගමික වශයෙන්ද බ්‍රාහ්මණ ආධිපත්‍යය සමාජයේ සෑම අංශයක් කෙරෙහිම තදින් බල පැවැත්විය. උත්පත්තිය අනුව මිනිසා උසස් පහත් වශයෙන් වර්ග කිරීමේ ක්‍රමයක් හෙවත් දැඩි වර්ණ භේද වාදයක් එකල සමාජය තුළ තහවුරු වී තිබිණ. බ්‍රාහ්මණ ධර්මයට අනුව මිනිසා බ්‍රහ්මයාගේ නිර්මාණයකි. ඒ අනුව බ්‍රාහ්මණ වංශය බ්‍රහ්මයාගේ මුඛයෙන්ද ක්ෂත්‍රියයා බාහුවෙන් ද ,වෛශ්‍යයා නාභියෙන්ද, ශුද්‍රයා පාදයෙන් ද බිහිවූයේ වෙයි. බ්‍රාහ්මණයා සෑම අතින්ම පාරිශුද්ධ වූ අතර අනෙක් අය ඊට පහත්ය. ශුද්‍රයන් යනුවෙන් හැඳීන්වූ කොටස කෙතරම් පහත් තත්වයක ලා සැලකුවේ ද යත් නිදහසේ ආගම ඇදහීම වැනි මානව අයිතිවාසිකම් පවා අහිමි කර තිබිණි. මෙසේ උත්පත්තිය අනුව මිනිසුන් උසස් පහත් සේ වර්ග කිරීම සහ මිනිස් අයිතිවාසිකම් පාගා දැමීම බුදුරජාණන් වහන්සේ පිළිකුල් කළ අතර, එබඳු තත්ත්වයක් කවර මූලධර්මයකට අනුව වූවත් පිළිගත නොහැකි බව ශාස්ත්‍රීය මෙන්ම විද්‍යාත්මක පදනමකින් යුතුව පැහැදිලි කළහ.


ජාතිවාදය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් පැහැදිලි කරන ඉතාමත් වැදගත් දේශනාව ඇතුළත් වන්නේ මජ්ක්‍ධිම නිකායේ වාසෙට්ඨ සූත්‍රයෙහිය. උන්වහන්සේ එය මෙසේ පැහැදිලි කළහ.


“වාසෙට්ඨයෙනි, මම තොපට ප්‍රාණීන්ගේ ජාති විකාශය ඇති සැටියෙන් මෙසේ විවරණය කරමි. ජාතීහු නානාප්‍රකාරයහ. යම් තෘණ, වෘක්ෂ කෙනෙක් ඇත්ද, ඔවුන්ගේ වෙන වෙනම ජාතිමය ලිංගයක් ඇත. කවර හෙයින්ද යත් තෘණ ලතාවෝ නානා ප්‍රකාරය .එක ගස් වර්ගයකින් අනෙක් ගස් වර්ගය වෙනස්ය. එය ලතාවකින් අනෙක් තෘණ ලතා වෙනස්ය. එසේම කුරුකුහුඹුවන්ගේ පටන් පණුවන්ද පළගැටියන්ද වෙනස්ය. උන්ගේ ජානමය ලිංගයක් ඇත. පා දෙක ඇති සතුන්, පා සතරක් ඇති සතුන් අතරද ජාති වශයෙන් වෙනසක් ඇත. ඔවුන් නානාප්‍රකාරයහ. ජලයෙහිම උපන් ජලයම ගෝචර කොට සිටින මත්ස්‍යයන් ආදී සතුන්ගේ ද වෙනස් ජාති ඇත. එක් ජලජ සත්වයෙකුගෙන් අනෙක් සත්වයා වෙනස් ය. පියාපත් විදහා අහසේ පියාසර කරන සත්වයන් (පක්ෂීන්) ගේද, වෙනසක් ඇත. පක්ෂීන් විවිධය. නානාප්‍රකාරය. මෙසේ විවිධ සත්ව කොටස් අතර වෙන වෙනම ජාතිමය ලිංග ඇත්ද, ඒ ආකාරයෙන් මිනිසුන් කෙරෙහි ජාතිමය ලිංගයක් නැත.


“යථා එතාසු ජාතිසු ලිංගං ජාතිමයං පුථු

එවං නත්ථි මනුස්සෙසු ලිංගං ජාති මයං පුථු”


මෙයින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ජීව විද්‍යාත්මක සත්‍යතාවයකි. ජීව විද්‍යාවට අනුව විවිධ සත්ව කොට්ඨාශයන්හි ලක්ෂණ විශේලේෂණය කරන විට සතුන් මෙන් මිනිසා ගේ විවිධ ජාතීන් දැක්විය නොහැක. මිනිසා කෙබඳු ස්වරුපයන්ගෙන් යුක්ත වූවත් එකම ජීව විශේෂයකි. එම නිසා මිනිසුන් අතර ජාති භේදවාදයක් පවතින්නේ නම් ජීව විද්‍යාත්මක පදනමක් මත බුදු දහම එය ප්‍රතික්පේෂ කරයි.


භෞතික විද්‍යාත්මක සාධක වලට අනුවද මිනිසුන් අතර සත්ව ජාති මෙන් විවිධ වර්ග දැක්විය නොහැක. බුදුරජාණන් වහන්සේ එකී සාධක පැහැදිලි කර දෙමින් වාසෙට්ඨ සූත්‍රයෙහිදී පැහැදිලිවම ජාතිවාදය බැහැර කරති. එනම් ඕනෑම මිනිසෙකුගේ ශාරිරික අංග ලක්ෂණ පිහිටා ඇති ආකාරය බලන විට ඇත්තේ එකම ස්වරූපයකින්ය. කේශයෙන්, හිසින්, කනින්,ඇසින්, මුවින්, නැහැයෙන් ,තොලින් විභේදයක් නැත. ගී‍්‍රවයෙන්,අංශයෙන්,උදරයෙන්, පිටින්,උරයෙන්,අත්වලින්, පාවලින්, ඇඟිලි , නිය, කලවා ආදියෙන් හා මෛථූනයෙන්ද විභේදයක් නැත.මෙම ශරීර අංගවල වර්ණය,උස, පළල, හැඩය ,ආදියෙහි නානාත්වයක් දක්නට ලැබුණද විද්‍යාත්මක වශයෙන් ඇත්තේ එකම පදනමකි. එහෙත් සිවුපාවුන් පමණක් ගතහොත් එක් එක් සිව්පා වර්ගයන්ගේ ශරීර අංගයන්හි සංයුතිය වෙනස්ය.ප්‍රජනනය හා මෛථූනයද වෙනස්ය. භෞතිකව බලන විට මිනිසා තුළ ඇති ඒකීයත්වය අනුව ජාතිවාදයක් ඇති කර ගැනීමට පදනමක් නැති බව බුදුදහම පෙන්වා දෙයි.


ආචාර විද්‍යාත්මකව සලකන විට මිනිසුන් අතර ඔවුන්ගේ උප්පත්තියට අනුව ජාති, වර්ග, වශයෙන් ප්‍රභේදයක් ඇති කළ නොහැකි බව ඉතාමත් පැහැදිලිව පෙන්වා දී ඇත. ඒ බව වාසෙට්ඨ සූත්‍රයේ හි දක්වා ඇත්තේ මෙසේය.


“සමඤ්ඤා හෙසා ලොකස්මිං නාමගොත්තං පකප්පිතං

සමුච්ච සමුදාගතං තත්ථ තත්ථ පකපපිතං”


සහ ලේ නෑ ආදින් විසින් කරන ලද නාම ගෝත්‍රයක් ඇද්ද එය ලෝකයෙහි ව්‍යවහාර මාත්‍රයක් පමණි. බොහෝ කාලයක් තුළ පාරම්පරිකව පැවත එන බැඳීම මුල්කොට ගෙන ඒ ඒ තන්හි උපන් කල්හි කරන ලද නාමගෝත්‍රය සම්මතයක් පමණි. එය නොදන්නාහු ජාතියෙන් බ්‍රාහ්මණ යයි කියති.


මේ අනුව මිනිසුන් උප්පත්තියට අනුව උසස් පහත් වශයෙන් සැලකීමත් එක් කොටසක් වරප්‍රසාද හිමි කරගැනීමත් තවත් කොටසකට අයිතිවාසිකම් අහිමි කිරීමත් සමාජ ධර්මයට එකඟ නොවන බව බුදුන් වහන්සේ ප්‍රකාශ කළහ. යමෙක් ජාති වාදයෙන් ගෝත්‍රවාදයෙන් යුක්තව අන්‍යයන් පහත් කොට සලකා ක්‍රියාකරන්නේ නම් ඔහු පිරිහීමට පත් වන බවද උන්වහන්සේ පැහැදිලි කළහ.


“ජාති දෙධා ධනත්තද්ධෝ ගොත්තදධෝචත්ද්ධෝ යො නරො

සඤ්ඤාතිං අතිමඤෙඤති තං පරාභවතො මුඛං”


බුදුදහමේ උගන්වන අවසාන නිෂ්ටාව හෙවත් නිර්වාණය සියලු බැඳීම් වලින් නිදහස් වීමයි. අම්බට්ඨ සූත්‍රයෙහිදි බුදුරජාණන් වහන්සේ යමෙක් ජාතිවාදයෙන්, ගෝත්‍රවාදයෙන් බැඳුණේ වෙයිද, ඔහු ඒකාන්තයෙන්ම නිවනින් ඈත් වන්නේ යැයි ප්‍රකාශ කරති. එයින් පැහැදිලි වන්නේ බෞද්ධ ප්‍රතිපදා මාර්ගයෙහි උත්තරීතර අවස්ථාව හෙවත් නිර්වාණබෝධය ලැබූ උතුමන් තුළ ජාති, ගෝත්‍ර, කුල වශයෙන් ඇති වන පටු ආකල්ප කවර ආකාරයකින් වුවත් පැවතිය නොහැකි බවය.


බුදුරජාණන් වහන්සේ මෙසේ ජාතිවාදය උන්වහන්සේගේ ඉගැන්වීම් තුළින් බැහැර කළා පමණක් නොව ජාතිවාදයෙන් තොර තෘප්තිමත් සමාජයක් බිහි කළ හැකි බව ආදර්ශයෙන්ද ඔප්පු කළහ.උන්වහන්සේ ඇති කළ භික්ෂු සමාජයට එවකට භාරතයේ සිටි සියලු ජාති, කුල ,ගෝත්‍රවලට අයත් පුද්ගලයන් ඇතුළත් කර ගත්හ. එසේ ම කිසිදු විශේෂයක් නැතිව ඔවුන්ව සංඝ සමාජයේ හිමි විය යුතු ස්ථාන ලබාදුන්හ. බුදුන් වහන්සේ සඳහන් කළේ බෞද්ධ පැවිද්ද හරියටම මහ මුහුද හා සමාන බවය. එනම් සියලු ගංගාවලින් එන ජලය මහ මුහුදට වැටුණු කල (මුහුදුවතුර) එකම ලුණු රසයෙන් යුක්ත වන්නා සේ කවර ජාතියක, කුලයකින් සසුනට ඇතුළු වූවත් ඒ සියලු දෙනාම එකම බුද්ධ ශ්‍රාවකයින් බවය. සසුන බොහෝ කලක් පැවතියේ ද ඒ ආකාරයෙන්ය. මේ අනුව අවසන් වශයෙන් සඳහන් කළ යුතු වන්නේ දර්ශනයක් වශයෙන් බුදුසමය ජාති භේදය පිළිකුල් කරන අතර සමාජය තුළ ඇති විවිධ ජාති, වර්ණ, කුල,ගෝත්‍ර අභිභවා මනුෂ්‍යත්වයට ජයගත හැකිබව පැහැදිලිවම විවරණය කරන බවය.

Thursday, 22 April 2021

නිර්මාණාත්මක සන්නිවේදනය - ලිපිය 01



අපූර්ව වස්තු නිර්මාණය සඳහා කලාකරුවකු තුළ පවතින කුසලතාව හඳුන්වනු ලබන්නේ ‘ප්‍රතිභාව’ හෙවත් ‘ප්‍රතිභානය’ යනුවෙනි. මේ දුර්ලභ නිර්මාණ කුසලතාව කෙබඳුද යන්න මතුපි‍ටින් වටහාගත නොහැක්කකි. එහි ප්‍රාචීනවාදී අර්ථ සමුදායක් ඊට සමාන හා අසමාන ප්‍රතිචීන අර්ථ සමුදායක් තුලනය කළ යුතුය. ඒ තුලනය විද්වතුන් මඟින් සිදුකෙරේ.‘ප්‍රතිභානය’ ශාස්ත්‍රීය ලිපි ලේඛන සැපයීම ඉක්මවූ තලයක පවතී. කාව්‍ය ප්‍රභේද වශයෙන් බුදුන්වහන්සේ කවි සූත්‍රයේ පෙන්වා දෙන්නේ අර්ථ කවි, සුත කවි, චින්තා කවි සහ ප්‍රතිභාන කවිය. ඒ සිව් ප්‍රභේදයන්ගෙන් වඩාත් අපූර්ව කුසලතාව පෙන්නුම් කරන්නේ ප්‍රතිභාන කවිවලය. මෙය ‘කාව්‍යය’ යනුවෙන් හඳුන්වන නිර්මාණ විශේෂයට මෙන්ම ඒවායේ නිමැවුම්කරුවන් හඳුන්වන කවීන්ට ද යොමු වේ.

කලා නිර්මාණ හා සාහිත්‍ය නිර්මාණවල අර්ථ පරිණාමය වෙනස්වී පවතී. චිත්‍ර කලාව, නර්තන කලාව, මූර්ති කලාව වැනි කලා නිර්මාණවලට වෙනස් වූ එහෙත් සමාන නිර්මාණ චින්තාවන් ගෙන් සැදුම්ලද කාව්‍යය, නාටකය, නවකතාව, කෙටිකතාව වැනි ලිඛිත සන්නිවේදනාංග මෙහිලා වර්ගීකරණය කළ හැකිය. පෙර පටන්ම කතා වර්ග ආඛ්‍යාන හා වෘත්තාන්ත වශයෙන් ද සැලකේ.ආඛ්‍යානය හා වෘත්තාන්තය ද බහුවිධය. ඒවායේ කතා වස්තු මෙන්ම ජීවන අනුභූතීන් ද අන්තර්ගත ය. විටෙක සමාජ සත්තාවෙන් ද විටෙක ආගමික හා ආධ්‍යාත්මික සත්තාවෙන් ද පිරිපුන් ය. නිර්මාණශීලී ගුණාංග ඒක රේඛීය මෙන්ම බහු රේඛීය වශයෙන් ද සැලකේ. මේ නිර්මාණ හැඩතල කෙමෙන් සමාජ පරිණාමයන්ට හා සංස්කෘතික පරිණාමයන්ට අනුකූලව වෙනස් වේ. ඒ නිර්මාණාංග පිළිබඳව පවතින දැක්ම මෙන්ම ආකල්ප ද බහුවිධ ය.

සම්මත අර්ථවලින් මෙන් ම අසම්මත අර්ථවලින් ද ගහණ ය. නිදසුන් සපයාගත හැක්කේ සමාජ ඉතිහාසයට අනුකූලව ය. නිදසුනක් වශයෙන් ගතහොත් පියදාස සිරිසේන කතුවරයාගේ නවකතා හා ඩබ්ලිව්.ඒ.සිල්වාගේ නවකතා පිළිබඳ දැන් කතාබහක් දැක ගත නොහැකි ය. ඒවා සම්මත කතා රටාවලින් සුසැදිනැයි සැලකේ. එහෙත් ඉන් සිදුවූ මෙහෙවරක් නොමැති යයි බැහැර කළ නොහැකි ය. එහෙත් එසමයේ දී ම බිහිවූ බහුතරයක් වූ වෙනත් නවකතා බොළඳ ප්‍රලාප ලෙස සලකා බැහැර කළ හැකි ය. එය සිදුවූයේ කෙසේද? සහෘදයාගේ මන දොළ සන්සිඳවීමට මෙන්ම ජීවන දැක්මක් ඇති කරවීමට නොසමත් වූ බහුතර නිර්මාණ සමුදායක් බැහැර කෙරිණ.මේ සංසිද්ධිය සැසඳිය හැක්කේ ‘පථ්‍ය’ හා ‘අපථ්‍ය’ ආහාරවලට ය. පෝෂණීය ගුණයෙන් සංයුක්ත ආහාර වර්ග පථ්‍ය ආහාර ලෙස සැලකේ. එසේ නොවන කටට රහ, කිසිදු ගුණයක් නැති ආහාර අපථ්‍ය ආහාර ලෙස සැලකේ. මේ න්‍යාය පළමුව සාහිත්‍ය ලෝකයේ ගෙනහැර දක්වන ලද්දේ රුසියන් මහා වෘත්තාන්තවේදියා වූ ලියෝ තෝල්ස්තෝයි විසිනි. එ‍ෙහත් පොදුවේ ගත් කළ පථ්‍ය හා අපථ්‍ය යනු සරු හා නිසරු වශයෙන් සැලකීමට බාධාවක් නැත.

ඇතැම් නිර්මාණ සරු ලෙස සැලකේ. එසේ නොසැලකෙන නිසරු නිර්මාණ බැහැර කෙරේ. මෙය කලා විචාරයේ පදනමයි. සරු බව අවශ්‍යතාවකි. අවශ්‍යතාවක් පදනම් කොටගෙන සරු නිර්මාණයක් විනා නිසරු නිර්මාණයක් බිහි නොවේ. මේ කාරණය ප්‍රාචීනවාදී සම්මත සාධු ධර්මතාවකි. අර්නස්ට් ෆිෂර් නමැති ප්‍රතිචීන විචාරකයා ස්වකීය විචාර කෘතිය වන ‘ණෙcඑස්සිට්ය් ඔෆ් ඇර්ට්’ නමැති කෘතියෙහි මේ ධර්මතාව මැනැවින් විග්‍රහ ‍කළේය. එබැවින් කලා නිර්මාණයක අවශ්‍යතාවම එහි සරු හා නිසරු පද්ධතීන් මිනුමකි. එහෙත් එක් සමාජයක් සරු ලෙස සලකන හා පිදුම් ලබන නිර්මාණයක් තවත් සමාජයක් විසින් නිසරු ලෙස ද සැලකේ. සරු හා නිසරු බව ගඳ සුවඳ මෙන් ශික්ෂණයකින් පුහුණු කරනු ලබන්නකි.අර්ථ ශූන්‍ය වූත් නිසරු වූත් දුගඳ හමන අහර බඳුන් පහක් මේසයක් මත තබා මින් කිනම් බඳුනක් සරුදැයි කෙනකුට හඳුනාගැනීමට ඉඩ සැලැස්වීමෙන් කුමක් සිදුවේද? කිව යුත්තේ ඒ අහර දුගඳ හමන පථ්‍ය අහර නොවන වැළලිය යුතු බුදීමෙන් වැළැකිය යුතු අහර බවයි. අහර රුචිය ඇති කෙනකුට වුවද ඒ දුගඳ හමන අපථ්‍ය ආහාර නොසුදුසු බව කිව යුතුය.

කලා නිර්මාණශිල්පියාට වඩා කලා විචාරකයාගේ කාර්යය ද මීට සමාන ය. අපථ්‍ය ආහාර නිෂ්පාදනය කිරීම පහසු ය. ඒවා අපථ්‍ය බව මෙරමාට පෙන්වාදීම ‍බැරෑරුම් කාර්යයක් බව පසක් කර ගත යුතු ය. අපථ්‍ය ආහාර අනුභව ‍නොකටයුතුය කීම මෙන්ම අපථ්‍ය කලා නිර්මාණ වින්දනය නොකිරීමට පුහුණු කිරීම ද අපහසුය. මෙය තවදුරටත් බලන කල ප්‍රමිති කරණයකි. ප්‍රමිතිකරණය වර්ගීකරණයකි.කලා නිර්මාණ වින්දනය, නිර්මාණ හා ඇගයුම කෙමෙන් පුහුණු කළ යුතු ධ්‍යාන මාර්ගයකි. එය වූ කලි ඕලාරික ලෝකාස්වාදී මාර්ගවලින් කෙමෙන් ධ්‍යාන මාර්ගයකට ප්‍රවේශවීමකි. රොබට් ප්‍රොස්ට් කාව්‍ය වින්දනය ගැන කළ ප්‍රකාශය නම් “Cඔම්මෙන්cඑ ඉන් ඩෙලිඝ්ට් අන්ඩ් එන්ඩ් ඉන් විස්ඩොම්” යන්න මා සිංහලට වතාවක් පෙරළුවේ “ආනන්දයෙන් පටන්ගෙන ප්‍රඥාවෙන් කෙළවරවීම” වශයෙනි.

එහෙත් මගේ එම පරිවර්තනය බොහෝ දෙනා කල්පනා කළේ, ප්‍රාචීනවාදී සකු විචාර මතයක් වශයෙනි. අන්තිමට එහි මුල් ප්‍රකාශකයාගේ නම පවා නොයෙදුණු අවස්ථා බෙහෙවි. කෙමෙන් කායික හා මානසික සහනයක් නොසළකන නිර්මාණ අපථ්‍ය ආහාරවලට තවදුරටත් සමාන වන අයුරු හඳුනාගැනීමට නම් ඒ අපථ්‍ය ආහාර බුදින්නන්ගේ චර්යා පද්ධතිය හඳුනාගත යුතුය. යම් අපථ්‍යදායී ආහාරයක් මිනිසුන්ට නොසුදුසු වුවත් ඌරන්, බල්ලන්, බළලන් හා පණුවන් වැනි අන්‍ය සත්වයන්ට සුදුසු වනු ඇත. ප්‍රඥාසම්පන්න මිනිසාට අගෝචර දෑ මුග්ධ නැණ හීනයන්ට සුදුසු විය හැකිය. එහෙත් විටෙක මිනිසාට නොගැළපෙන අපථ්‍ය දුගඳ ආහාර සතුන් විසිනුදු ප්‍රතික්ෂේප කරනු ලබන අවස්ථා දැක බලාගත හැකි ය.

අපූරු වස්තු නිර්මාණය ප්‍රඥා සම්පන්න තලයකින් කෙළවර වන ශික්ෂණයකින් ගොඩනැඟුණු කලා කෘති විශේෂ‍යකි. ප්‍රාචීනවාදී නිර්මාණ සම්ප්‍රදායන්ට අනුකූලව ‘අපූර්ව’ යනුවෙන් හඳුන්වා ඇත්තේ වින්දනය, පෝෂණය, ප්‍රඥාව හා ප්‍රතිකාර හෙවත් චිකිත්සාව අන්තර්ගත සාධක සහිතවය.ලියෝ තෝල්ස්තෝයි කුඩා උපමා කතාවක් ලියමින් හඳුන්වාදුන් සාධක සිහිපත් කරගත හැකිය. වෙළඳපොළට පැමිණෙන මහලු කාන්තාවක් බටර් මිලදී ගනියි. එහෙත් ඒ බටර් ප්‍රමිතියෙන් බාල පෝෂණ හීන, වර්ගයක් බව ඇය හඳුනාගනියි. ඒ අවබෝධය ඇයට සන්නිවේදනය කිරීමට ඉමහත් බාධක පවතී. ඇගේ හඬ වසා දමන්නට පළමුව සැරසෙන්නේ ඒ බාල වර්ගයේ බටර් විකුණන වෙළෙන්දෝ ය. ඊළඟට ඔවුන්ගේ හිතවත්තු ය. ඇය ගෙන යන්නේ තනි සටනක් වුවද එය නැණවත් ය. ඇයට එරෙහිව පැනනැ‍ඟෙන විරෝධාකල්ප වින්දනයෙන් තොර ළාමක නැණ හීන ප්‍රකාශනයන් ය. ඒවා සම්මත වාණිජ රැල්ලේ ප්‍රකාශනයන් ය. මේ කාරණය ම බුදුන්වහන්සේ ද ‘බහුභාතී’ සූත්‍රයේ වෙනත් අයුරකින් ප්‍රකාශ කළ සේක. වෙ‍ළඳපොළේ ඉල්ලුමට සරිලන නිර්මාණ භාණ්ඩ සැපයීම ප්‍රඥාසම්පන්න, ශික්ෂණයකින් සුසැදි නිර්මාතෘවරයකුට කළ නොහැක්කකි.

නිමැවුම්කරුවා හෙවත් නිර්මාණශිල්පියා සිදුකරන්නේ පෙලඹවීමකි. මෙය ප්‍රතිචීනවාදී චින්තකයන් විසින් හඳුන්වනු ලබන්නේ පෙර්සුඅසිඔන් හා මොටිවටිඔන් යන යෙදුම්වලිනි. තමන්ගේ නමින් ම පෙනී නොසිටිමින් ජන කවියා මෙන්ම ජනකතාකරුවා කළේ පෙලඹවීමකි. තමන් මුහුණදුන් අත්දැකීමක් වදනින් මෙරමාට සන්නිවේදනය කිරීමේ අග්‍රගණ්‍ය ජනමැවුම්කරුවා සාන්තුවර‍ෙයකුගේ තත්ත්වයට පත් විය.

ජනශ්‍රැතිය නමැති විෂයය මේ හේතුවෙන් නිර්මාණකරණයේ ප්‍රාථමික මූලාශ්‍ර භූමිය බවට පත්වේ. ජනශ්‍රැතිය නූගන්වා හා නූගැන්මෙන් නිර්මාණකරණය වටහාගත නොහැකිය. ආදිතම ග්‍රීක නාට්‍ය රචකයා වන ඊස්කිලස්ගේ ප්‍රොමිතියස් බන්ධනය ග්‍රීක ජනශ්‍රැතියෙන් උගත් නිමැවුමකි. මෙලෙසින්ම හෝමර්ගේ ඊලියඩ් සහ ඔඩිසි කාව්‍ය ග්‍රීක ජනශ්‍රැතියෙන් උපන් කෘතීන්ය.ආගමික චින්තකයා හෙවත් ආගමික සන්නිවේදකයා ද ජනශ්‍රැති‍ෙය් පෝෂණය ලත් කෙනෙකි. බුදුන් වහන්සේ, යේසුස් වහන්සේ හා වෙනත් ආගමික නායකයෝ ජනශ්‍රැතිය තම න්‍යාය සඳහා ගුරුකොට ගත්හ. එමඟින් සවිඥානික ලෙස පෙලඹවීමක් ඇති කළ හැකි විය.

නිර්මාණකරණය විවිධ හැඩතලවලින් යුත් ශිල්පි ක්‍රමවලට හැරවීම මුලින් ම හඳුනාගන්නා ලද්දේ ජන නිර්මාතෘවරුන් ය. සැබෑ ලෝකය මෙන්ම මායා ලෝකයක් ඇති බව ද මිනිස්සු මෙන්ම දෙවිවරුන්, සුරඟනන් හා යකුන් සිටින බව ද හඳුන්වාලනු ලැබුවේ ජන නිර්මාතෘ විසිනි. ඒ නිර්මාණකරණයේ හැම අංගෝපාංගයක්ම එකිනෙකට බද්ධව පැවැතිණ. ඒවා ජන සමූහයා අතර ප්‍රචලිතව පැවතිණ. කෙමෙන් ඒ නිර්මාණ වර්ගීකරණයට හසුවිය. ජන ගායනා, ජන ඇදහිලි, ජන කවි, ‍ජන නාටක, ජන ක්‍රීඩා, ජන කතන්දර , සුරංගනා කතා, උපමා කතා, යනාදී වශයෙන් දහස් ගණනින් ඒවා වර්ගීකරණය වීමේ ප්‍රතිඵලය වශයෙන් සමානකම් හා අසමානකම් පැහැදිලි ලෙස වටහා ගැනීම ද අපහසුවීය. කෙමෙන් ඒ නිර්මාණ දේශකයන්ගේ දේශන මූලාශ්‍ර බවට පත්වීම‍ හේතුවෙන් අන්තර්ජාතික වශයෙන් ව්‍යාප්ත වන්නට පටන්ගති. මෙකල ආඛ්‍යාන බලය හා වෘත්තාන්ත බලය නමින් හඳුන්වන නිර්මාණාත්මක කතා කලාව නැරටලොජි (ණර්‍රටලොග්ය්) යනුවෙන් නම් කෙරේ. මේ අධ්‍යයනය සඳහා විවිධාකාර රීතින්ගෙන් නිමැවුණු මූලාශ්‍ර සමීප කෙරේ. ඒවා ප්‍රාචීන සමාජ වලින් බිහිවූ මහා භාරතය, ජාතක කතා මෙන්ම ප්‍රතිචීන සමාජවලින් බිහිවූ කැන්ටබරි කතාවලින් මෙන්ම බයිබල් කතාවලින් ද සංයුක්තය.

මේ සමාජ ස්ථර දෙක්හිම එක් පොදු මූලාශ්‍රයක් වී ඇත්තේ අරාබි ‍නිසොල්ලාසයයි. අරාබි නිසොල්ලාසය ඇරබිඅන් නිඝ්ට්ස් යනුවෙන් ද Oනෙ තොඋසන්ඩ් ඔනෙ නිඝ්ට්ස් යනුවෙන් ද හැඳින්වේ. මෙහි එන කතන්දර ලොව පුරා විසිරී පැතිරි පවතී. ඒවා විටෙක ආගමික බණ කතාවක මුහුණුවර ගනියි. විටෙක හුදු විනෝදය සපයන සුරංගනා කථාවක මුහුණුවර ගනියි.

එහි පරිවර්තන හා ඡායානුවාද හා ප්‍රත්‍යුත්පාදන රැසක් දැනට පාඨක ලෝකයට ප්‍රවේශ වී පවතී. භාෂා භේදයකින් තොරව ආදි කල්පිත මෙන්ම අතිශය නවීන අනුභූතිවලින් සුසැදි නිර්මාණ සාගරයක් ලෙස අරාබි නිසොල්ලාසය හැඳින්වී පවතී. ස්වදේශික මහා නවකතාකරුවකු වූ ඩබ්ලිව්.ඒ.සිල්වා ද අරාබි නිසොල්ලාස කතාවලින් නොමඳ ආභාසයක් ලද බව ඔහු විසින් කරන ලද පරිවර්තනවලින් ද වටහාගත හැකිය.සිල්වා ශූරීන් ඒ කතා සිංහලට නැඟුවේ ‘එක්දහස් එක් රැයක්’ යනුවෙනි. කොටස් වශයෙන් ප්‍රකාශයට පත්වූයේ 1946 තරම් ඈතදීය. ඊටත් ඉහත දී බෙන්තර ඇල්බට් සිල්වා සූරීන් ද ‘අරාබි නිසොල්ලාසයක්’ සිංහල පාඨකයා අතට පත් කළේය. සිංහල නවකතාකරණය සඳහා අරාබි නිසොල්ලාස ආභාසය ලැබී ඇතැයි හැ‍ඟෙන අවස්ථා අප හමුවේ ඇත.

පසු කල ශූර පරිවර්තකයකු වූ කේ.බී.සුගතදාස විසින් ද “අරාබි නිශානන්දය” නමින් එම කතා සිංහලට පරිවර්තනය කොට 1960 - 62 කාලයේ දී ‘රසවාහිණී’ සඟරාවේ පළ කළේය. පසුව පොතක් වශයෙන් ද බිහිවිය. වෘත්තාන්තවේදය ඉගැන්වීමට අරාබි නිසොල්ලාස කතා මූලාශ්‍ර කොට ගන්නේ එමඟින් නිර්මාණ ධාරා රාශියක් කතිකාවට ලක් කළ හැකි බැවිනි.හෝල්කේන් නමැති ඉංග්‍රිසි නවකතාකරුවා අරාබි නිසොල්ලාස කතාවලට නව ජීවයක් දෙන ලෙසින් කිසියම් වර්ගයක නව වෘත්තාන්තවාදයක් ගුරු‍කොට ගත්තේය. එමඟින් සමකාලීන විඥානය හඳුනා ගැනීමට ඔහු වෑයම් කළේය. මේ කාර්යයට සමාන නිර්මාණ කාර්යයක් ජේම්ස් ජොයිස් නමැති අයිරිෂ් ලේඛකයා අතින් සිදුවිය. ඔහු ඇතැම් සුරංගනා කතා ප්‍රත්‍යුත්පාදනය කළේය.

අරාබි නිසොල්ලාසය මෙන්ම පංචතන්ත්‍රය, හෝමර්ගේ ඉලියඩ් හා යුලිසිස් යන කෘතින් ද නව වෘත්තාන්තවේදී මූලාශ්‍ර සමුදායක් වශයෙන් සැලකේ‍. නූතන ඉන්දීය නිර්මාණ සාහිත්‍ය වර්ධනයට අතිශයින් වැඩදායක වී ඇත්තේ පංචතන්ත්‍රය, කථාසරිත් සාගරය, මහාභාරතය හා ජාතක කතාය. ජනශ්‍රැතියේ නිර්මාණාංග සමඟ මේ මූලාශ්‍රයන් හි නිර්මාණයන් චලනය කිරීම නිරතුරු සිදුවේ.ආගමික චින්තාවන්ගෙන් හැඩ ගැසුණු ජනශ්‍රැතිය යටකී හැම මූලාශ්‍රයකටම බලපෑවේය. පෙරළා ඒ බලපෑම අද්‍යතන නිර්මාණකරණයට ද බලපාමින් පවත්නේය. මේ කාරණය ඉතා මැනවින් ප්‍රකාශ කර ඇත්තේ ජෝසප් ජේකබ්ස් විසින් ලියන ලද ඉන්ඩියන් ෆෙයරි ටේල්ස් (ඓන්ඩිඅන් Fඅඉර්ය් ටලෙස්) නමැති කෘතියෙහි ය. ඔහු සුරංගනා කථා හා ජනකතා නූතන නිර්මාණ හා සන්සන්දනය කරයි. සියවස් ගණනාවක පරතරයක් ඇතිවුවද ‘නවීන’ (ණෙව්) යනුවෙන් හඳුන්වන නිර්මාණාංගවල ආදිතම ලක්ෂණ රැසක් දැකගත හැකි බව ජේක්ස් ඩෙරිඩ් නමැති කලා විචාරකයා පෙන්වාදෙයි. එහෙත් ඩෙරිඩ්ගේ මතය ප්‍රාචීනවාදී උගතුන්ට ආගන්තුක නොවන්නේය. මන්දයත් ප්‍රාචීනවාදී අද්‍යතන හා චිරන්තන නිර්මාණ සම්ප්‍රදායන්හි සදාතනික මානව අත්දැකීම් සමුදායක් දැකගත හැකි වන බැවිනි.

ප්‍රාචීනවාදී උගතුන්ට අනුව, සම්භාව්‍ය යනුවෙන් හඳුන්වනු ලබන්නේ, සදාතනික අගයක් ඇති නිර්මාණාංගයන්ය. ඒවා ප්‍රතිචීනවාදී සමප්‍රදායන්හිදී හඳුන්වනු ලබන්නේ ‘ක්ලැසික්ස්’ (Cලස්සිc) යනුවෙනි. එහි සම්මත අරුත නම් සැමදා පවතින හෙවත් ‘සදාතනික’ යන්නයි. සම්භාව්‍ය කෘතීන් ලෙස සැ‍ලකෙන නිර්මාණ කලින් කල පුනර්ගවේෂණයට හා පුනර්නිර්මාණයට හසුවිම දැන් දැන් සිදුවන්නකි.මිනිස් දිවිපත්ලේ දුරාතීතයේ සිට මේ වනතුරු කිසිවක් නව්‍ය නොවේ. නව්‍ය දෘෂ්ටිය යනු ආකල්පයක් පමණි. නව්‍යභාවය හෙවත් අලුත්බව දැකගත හැකි වන්නේ ඒ සදාතනික දිවිපත්ල අර්ථකථනය වන ආකාරයෙනි. අතිශයින් අද්භූත ස්වභාවයකින් පවතින අත්දැකීමක් යථාර්ථයේම ප්‍රතිබිම්බයක් නොවිය හැකිද? නූතන වෘත්තාන්තවේදයක් සැකසීමට එම දැක්ම අවශ්‍යය. මේ බව පසක් කරගත් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ස්වකීය අපූරු නිර්මාණය වන ‘විලාසිනියකගේ ප්‍රේමය’ (1988) කෘතියේ පූර්විකාවේ මෙසේ සඳහන් කරයි.

“ජාතක පොත වූ කලී ජීවිතය පිළිබඳ මූල ද්‍රව්‍ය ආකරයකි. මිනිසුන්ගේ විවිධ චරිත ලක්ෂණ (එනම් එක සමාන අවස්ථාවට මුහුණ දෙන විවිධ පුද්ගලයන් විවිධ ආකාරයෙන් ක්‍රියාකරන හැටි) මිනිසුන් තම සිත්හී නංවන පාපී සිතුවිලි සමඟ සටන්කොට ඇතැම් කෙනකු ජයගන්නා හැටිත් ඇතැම් කෙනකු පරාජය වන හැටිත් මේ ආදී වශයෙන් අපට අප කෙටි ජීවිත කාලය තුළදී පසක්කරගත නොහැකි ප්‍රමාණයේ පෘථුල ජීවිත පරිඥානයක් ජාතක පොතෙහි ජනකථා වලින් හෝ එවැනි කථා සංග්‍රහයකින් ලබාගත හැකිය. මේ දැනුම ප්‍රත්‍යක්ෂඥානයක් නොවන බව සැබවි. එහෙත් පොතපතින් ලබාගන්නා එම දැනුම ජීවිතයෙන් අප ලබාගත් දැනුම සමඟ සසඳා උරගා බලා අපේම ප්‍රත්‍යක්ෂඥානය බවට පත්කරගත හැකිය.”

අතිශයින් අද්භූත ස්වභාවයකින් මිනිස් දිවිපත්ල විවරණය කැරෙන ග්‍රීක නාට්‍ය රචක ඊස්කිලස්ගේ ‘ප්‍රොමිතියස් බන්ධනය’ කාල්මාක්ස්ගේ ප්‍රියතම කෘතියක් වූයේ එහි අද්භූතය, පෙරළා ප්‍රත්‍යක්ෂඥානයක් බවට යථාර්ථවාදීව දැකගත හැකිවූ හෙයිනි. කාල්මාක්ස්, මේ පිළිබඳව තම දූවරුන්ට කීවේ, ප්‍රොමිතියස් බන්දනය මඟින් මානවයාගේ සදාතනික ජීවිත අරගලය මැනවින් ප්‍රකාශ වන බවකි. මානව සංහතිය ස්වකීය ජීවන අරගලය දෙවියන් හා සමඟ පවා දිගුකර ඇති බව ඔහු හඟවයි. අද්භූත බලවේග යනුවෙන් මිනිසා පළමුව හැඟවූ දේ කෙමෙන් විද්‍යාත්මක යථාර්ථයක් බවට පත්වීම මින් ගම්‍ය කෙරේ.

තමන් නොදන්නා හැම බලවේගයක් මිනිසා ඉඟි කළේ ‘අදිසි බලවේග’ යනුවෙනි. ඒවා ගුප්ත බලවේග ලෙසත් සැලකුවේය. එහෙත් විද්‍යාත්මක විධික්‍රම හා ග‍ෙව්ෂණ කෙමෙන් ප්‍රචලිත වෙත්ම කලක් පැවැති හැම ‘අදිසි බලවේගයක්'ම යථාර්ථයක් බවට පත්වේ. ඒවා විද්‍යාත්මක න්‍යායන්ට හසුවීම ඊස්කිලස් නම් වූ රංගවේදියා දැන හැඳිනගත්තේ පුරාණෝක්තියට අර්ථ කථනය කිරීමෙනි.මේ සියල්ල පසුබිම් කොට මාක්ස් සමාජ නිර්මාණ විචාරකයකු වශයෙන් විශද කළේ, මිනිස් අරගලය සන්නිවේදනය කිරීම සඳහා අද්භූතවාදී පුරාණෝක්ති බඳු මූලාශ්‍ර ගුරුකොටගත හැකි බවකි. මාක්ස් සහ එන්ගල්ස් සමාජ චින්තකයන් වශයෙන් තම මත තහවුරු කරගැනුම සඳහා ආදිතම ආඛ්‍යාන වර්ග ගුරුකොට ගත්හ. එහෙත් ඔවුහු නිර්මාණ විචාර න්‍යායවාදීහු නුවූහ.

ලියොන් ට්‍රොට්ස්කි (1879 - 1940) මේ න්‍යායයන් වඩාත් ප්‍රබල ලෙස භාවිතයට ගනිමින් සිය සමාජ දැක්ම සඳහා සාම්ප්‍රදායික නිර්මාණාත්මක සන්නිවේදන මූලාශ්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළේය. මාක්ස්වාදයේ සාහිත්‍යයික න්‍යායයන් ව්‍යාප්ත කිරීමට ලියෝන් ට්‍රොට්ස්කි කලාව පිළිබඳ කළ දේශන වැඩි බලපෑමක් ඇතිකළේය. ඔහු ආගමික චින්තාව නිසි ඇගයුමකට ලක්කළේය.අපූර්ව වස්තු නිර්මාණය සඳහා ප්‍රාචීන හා ප්‍රතිචීන භේදයකින් තොරව ආගමික චින්තන ධාරාවන් දෙකක් බලපා ඇත. ඉන් පළමුවැනි ධාරාව නම් ආධ්‍යාත්මික හා සදාචාරාත්මක චින්තන ධාරාවයි. දෙවැන්න නම් ආභිධර්මික නුවූ වඩාත් ඕලාරික වූ ලෞකික හැඩතල රැගත් මිත්‍යාවාදී හා අයාලේ ගිය නිර්මාණ චින්තන ධාරාවයි. මෙකී දෙවැන්න අද වුවද නිර්මාණ වෙළඳ ව්‍යාපාරයන් සශ්‍රීක කිරීමට හේතුවන භෞතිකවාදී බලවේග බවට පත්වී පවතී.

මානව හිතවාදී ලෙස මතුපිටින් පෙනුන ද, මෙකී දෙවැනි ධාරාව අසංස්කෘතික ජනප්‍රිය ලක්ෂණ සමුදායකින් පිරී පවතී. පිරිපුන් මිනිස් අත්දැකීම් කොතෙක් අන්තර්ගත වුව ද මෙකී අයාලේ ගිය නිර්මාණ සම්ප්‍රදාය නිසරු මුඩුබිමෙක වැඩෙන වල්පැළෑටි විශේෂයක් ලෙස සැලකිය යුතුය. ඒවායේ පවතින ක්ෂණික මෝහනයෙන් ඇලලී ගිය ද කලක් ඉතුරු වන්නේ නැත. සුලබ සන්ත්‍රාසය මෙකී දෙවැනි අයාලේ ගිය නිර්මාණවල ප්‍රබල ලක්ෂණයකි. සන්ත්‍රාසය නීච කුහුලකින්ම ඉතිරි වෙතොත් එය නිසරු පලයකි. එහෙත් එහි විකල්පය නම් කුහුලක් ඇතත් ඒ කුහුල මිනිස් හද සන්තානය විවරණය කිරීමට සමත්වීමයි. එබඳු කෘති නිර්මාණය කළෝ නම්, ලියෝ තොල්ස්තෝයි (1828 - 1910) හා ෆිය‍දෝර් දොස්තසව්ස්කි (1821 - 1881) වැනි නිර්මාණශිල්පීහුය.

ග්‍රීසියේ වීර කාව්‍ය (එපිcස්) කියැවූ මධ්‍යකාලීන ඉංග්‍රිසි කවියකු වූ ජෙෆ්රේ චෝසර් (1340 - 1400) ලියූ කැන්ටබරි කතාවලට නිර්මාණ ආභාසය ලැබිණ. ග්‍රීක මහා කාව්‍යවලින් හා රෝම නිර්මාණවලින් ආභාසය ලද විලියම් ශේක්ස්පියර් (1564 - 1616) වීනස් ඇන්ඩ් ඇඩෝනිස් නාට්‍ය, ඇතුළු මැක්බත්, මෙට්පස්ට් වැනි නාට්‍ය රචනා කළේය. ඒ අභාසය මඟින් ස්වතන්ත්‍ර නිර්මාණ කුසලතාවන්හි ප්‍රත්‍යුත්පාදන ලක්ෂණ දැකගත හැකිවිය.පැරණි ග්‍රීක රෝම හා භාරතීය නිර්මාණ මඟින් ලද නිර්මාණ ආභාසය ප්‍රතිචීන නිර්මාණයන් කෙරෙහි බලපෑම අනුව මහා නිර්මාණ සම්ප්‍රදායක් බිහිවීමට අඩිතාලම දැමිණ. එය මහාචාර්ය එෆ්.ආර්. ලීවිස් හඳුන්වන්නේ ඝ්‍රේට් ට්‍රඩිටිඔන් යනුවෙනි.

ග්‍රීක හා භාරතීය නිර්මාණ සම්ප්‍රදායයන් පිළිබඳ මට පළමුවරට කියැවීමට ලැබුණේ ජර්මන් ජාතික මහා විද්වතකු වන මැක්ස් මියුලර් ස්වකීය ධම්මපද පරිවර්තනයට ලියූ ප්‍රස්තාව මඟිනි. ප්‍රාචීනවාදය යන්නට සරිලන වඩාත් සුදුසු යෙදුම Orientalism බව පෙන්වා දී ඇත්තේ ද මියුලර්ය.නිර්මාණ සම්ප්‍රදායක, මහා සම්ප්‍රදායයන් මුල්බැස ගන්නේ කිනම් කාරණා අනුව ද යන්න විමසා බැලිය යුත්තේ ශාස්ත්‍රඥයින් විසිනි. අප රටේ එබඳු සම්ප්‍රදායන් බිහිවීම පිළිබඳ විමර්ශන ඉදිරිපත් කර ඇති අය අතරින් මුල් තැන ලැබෙන්නේ මූලිකව පස්දෙනකුටය. ඔවුන් නම් මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ආචාර්ය ආනන්ද කුමාරස්වාමි, මාර්ටින් වික්‍රමසිංහ සහ මුනිදාස කුමාරතුංග යන විද්වතුන්ය.

මහාචාර්ය සෙනරත් පරණවිතාන, සඳකඩපහණ පිළිබඳව ලියා ඇති සටහන මෙන්ම අන්‍ය බොහෝ පුරාවිද්‍යා සටහන් මඟින් ද පෙන්නුම් කරන්නට වෑයම් කරන්නේ ස්වදේශක මහා නිර්මාණ සම්ප්‍රදායක් තිබූ බවය. ඒ සම්බන්ධයෙන් පරණවිතානයෝ ඉතිහාසය, සම්භාව්‍ය පාලි හා සංස්කෘත කෘති, තුලනාත්මක අධ්‍යයන මූලාශ්‍ර ගුරු කොට ගනිති.මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝත් එබඳු කාර්යයක් ‘පබාවතී’ කෘතියට සපයන ලද ‘බෝසත් සර වැනුම්’ මඟින් ද සිංහල නවකතා ඉතිහාසය හා විචාරය මඟින් ද ‘ සාහිත්‍ය විද්‍යාව’ හා ‘කල්පනා ලෝකය’ මඟින් ද පෙන්වා ඇත. තවද සරච්චන්ද්‍රයෝ නිර්මාණශිල්පියකු වශයෙන් ජාතක පොතේ හා ජනශ්‍රැතියේ මූලාශ්‍ර ගණනාවක් ප්‍රත්‍යුත්පාදනය කරති. ඒවා අධ්‍යයනය කිරීමෙන් ස්වදේශිකමය මහා සම්ප්‍රදාය වැටහේ.ආචාර්ය ආනන්ද කුමාරස්වාමි, ස්වකීය මහා පරිවර්තන කෘතිය වන ‘මධ්‍ය කාලීන සිංහල කලා ශිල්ප ඇතුළු ඉංග්‍රිසියෙන්ලියන ලද කෘති ගණනාවකින් අප ප්‍රස්තුත කාරණය මැනවින් පෙන්වාදීමට වෑයම් කරයි. මහා නිර්මාණ සම්ප්‍රදායයක් තිබූ බවත් එය කෙමෙන් වාණිජ්‍යයටම යටවී යන අයුරුත් කුමාරස්වාමි උගතකු වශයෙන් සනාථ කරයි.

මාර්ටින් වික්‍රමසිංහ මහතා තම ‘විරාගය’ නවකතාව මඟින් ස්වදේශක මහා අධ්‍යයන සම්ප්‍රදාය ගමන් කළ යුතු ඉසව්ව අපට පෙන්වා දුනි. ඒ හැරුණුකොට වික්‍රමසිංහයෝ ජාතක කතාව හා ජනශ්‍රැතිය මඟින් මහා නිර්මාණ සම්ප්‍රදායක් බිහිකිරීමට ගත හැකි ආභාෂය සනිදර්ශිතව පෙන්වා ඇත. සම්මත ස්වදේශක උගතුන්ගේ අවධානය නිසි ලෙස කුමාරතුංගයන් කෙරෙහි යොමු නොවිණි. කුමාරතුංගයන් ස්වකීය ‘ප්‍රබන්ධ සංග්‍රහය’ හා ‘ප්‍රබන්ධෝපදේශය’ මඟින් ස්වදේශීය නිර්මාණ සම්ප්‍රදාය ගමන් ගත යුතු මඟ පෙන්වා දුන්හ. ඒ හැරුණු කොට කුමාරතුංග ලියූ ‘හත්පණ’, ‘මඟුල්කෑම’, හා ‘හීන්සැරය’ යන රසායන කෘතීන් දැනුදු නිසි ඇගයුමට ලක්වී නොපවතී.

වික්‍රමසිංහයන්ගේ මඩොල්දූව හා වි.ඩි.ද ලැනරෝල් ගේ ‘පාසල් සමය’ යන යොවුන් කෘතීන්ට වැඩි විකල්ප නිර්මාණ මඟකින් රසායන කෘතින් නිමවී පවතී. මිනිසා හා තිරිසන් සත්වයා, මිනිසා හා සොබාදහම, මිනිසාගේ නුවණක්කාරකම් හා අනුවණකම්, ගැඹුරු සමාජ විශ්ලේෂණයකට යොමු කිරීමට මඟ පෑදූ කෘති තුනකි ඒ. දැනුදු ඒවා ආපසු සොයා ගත යුතු නූතන ආඛ්‍යානවේදයට අන්තර්ගත කළ යුතුය. ස්වදේශක වශයෙන් මහා නිර්මාණ සම්ප්‍රදාය බිඳ වැටී පවතී. මැනවින් මුල්බැසගත් නිර්මාණ සම්ප්‍රදායක් කෙමෙන් මෙසමය වන විට බිඳ වැටී ඇත්තේ කෙසේද යන්න සමකාලීන කතිකාවකට අපූරු මැයක් විය හැකිය. ප්‍රතිචීන වාදී අනුකාරක ආඛ්‍යානයෙන් ලබන ආභාසය ප්‍රබල සාධකයක් විය හැකිය.

''මා තුළ ඇති යහපත් වූ හැම දෙයකට ම මම පොත්වලට ණය ගැති වෙමි. මනුෂ්‍යයන්ට වඩා කලාව ත්‍යාගවන්ත බව මම මගේ තරුණ කාලයේදී ම පසක් කළෙමි. මම පොත්වලට ආදරය කරන්නෙමි. හැම පොතක් ම මට පෙනෙන්නේ හාස්කමක් හැටියට ය. ගැඹුරු හැඟීම්වලින් හා ප්‍රීතිමත් උද්‍යෝගයෙන් යුතු ව මිස මට පොතක් ගැන කතා කළ නොහැකි ය.මා අතට පොතක් පත් වූ විට ජීවමාන දෙයක්, ආශ්චර්යවත් දෙයක්, මා අමතා කතා කළ හැකි දෙයක් මගේ අතට, මගේ ජීවිතයට ඇතුළු වූවාක් මෙන් දැනෙයි.''

- මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර-

''මේ ලෝකයේ ඇත්තා වූ සෑම දෙයකට ම වඩා සංකීර්ණ වූ, අද්භූත වූ, ආදරය කිරීමට ඉතා යෝග්‍ය වූ, මේ ලෝකයේ ආශ්චර්යය හා සුන්දරත්වය විසින් පොලඹවනු ලදුව හැම දෙයක් ම තම ශ්‍රමයෙන් හා කල්පනා ශක්තියෙන් නිර්මාණය කළ මිනිසා විසින් ම මිනිසා වෙනුවෙන් මිනිසා ගැන ලියන ලද අලුත් තෙස්තමේන්තුවක් වැන්න.''

- මැක්සිම් ගෝර්කි -

''පොත හැරීම මරණයට හේතුවෙක් නො වේ. එය හරිමු ද? එයට උත්තරයක් දෙන්නට පෙරැ, සැලැකියැ යුතු කරුණු කිහිපයෙක් වෙයි. මිනිසා ද තිරිසනා ද අතරැ ඇති වෙනස කිමෙක් ද? දෙ දෙන මැ අහර ගනිති; දෙ දෙන මැ කෙසේ නමුත් එය සපයා ගනිති; දෙ දෙන මැ පැන් බොති; දෙ‍ දෙන මැ නිඳති. ඉතින් කොහි ද ‍ද වෙනස? තිරිසනාට නුවණ වඩන ම‍ඟෙක් නැත්තේ යැ. මිනිසාට ඒ ඇත්තේ යැ. එය ‍හළ හොත් මිනිසා ද තිරිසනෙකි. මිනිස් බව රකිනා ඒ මඟැ හැරැ තිරිසනකු වීම මැනැවි ද? නො වේ මැ යි. එ හෙයින් නුවණ දෙන පොත ද මිනිසා විසින් නො හළ හැක්කේ මැ යැ.''

- කුමාරතුංග මුනිදාස - ප්‍රබන්ධ සංග්‍රහය 


ආචාර්යතුමා

Wednesday, 24 March 2021

බුදු දහම හා විශ්වය





බුදුරජාණන් වහන්සේ තේවිජ්ජ සූත‍්‍රයේ දී සර්වබලධාරී දෙවියෙකු ලොව මවන ලදැයි යන ඊශ්වරනිර්මාණවාදය ප‍්‍රතික්ෂේප කරයි. අග්ගඤ්ඤ සූත‍්‍රය අනුවත්, අංගුත්තර නිකායේ අසංඛෙයිය සූත්‍රරය අනුවත් විශ්වයට ඇත්තේ හැකිලෙන දිග හැරෙන දෝලන ස්වභාවයක් වන අතර එහි ආරම්භයක් හෝ අවසානයක් දැකගත නොහැකිය.


අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ඉන්ද්‍රිය වග්ගයේ අසංඛෙයිය සූත්‍රයේ සුත‍්‍රයේ විග්‍රහය අනුව විශ්වයේ මූලික යුග 4 කි. මෙම අනතඃකල්ප 4 හි එකතුව මහා කල්පයකි.


1. විවට්ඨ කප්ප – විශ්වය ප‍්‍රසාරණය වන කාලය.

2. විවට්ඨති කප්ප – විශ්වයේ ප‍්‍රසාරණය අවසන් වෙමින් නිශ්චිත තත්ත්වයක පවතින කාලය.

3. සංවට්ඨ කප්ප – විශ්වයේ හැකිලීම සිදු වන කාලය.

4. සංවට්ඨති කප්ප – විශ්වයේ හැකිලීම අවසන් වෙමින් නිශ්චිත ස්වභාවයක පවතින කාලය.


නවීන විද්‍යාවේ දියුණුව සමඟ දුරේක්ෂ නිර්මාණය වී විශ්වය හා එහි ස්වභාවය පිළිබඳව නිරීක්ෂණය කළ හැකි වීය. ඉතා බලවත් දුරේක්ෂයක් වූ හබල් දුරේක්ෂයෙන් විශ්වයේ ස්වභාවය නිරීක්ෂණය කරද්දී, විශ්වයේ ලෝක ධාතු එකින් එක කෙමෙන් කෙමෙන් ඈත් වෙමින් පවතින බැව් නිරීක්ෂණය කෙරුණි. ඒ අනුව විශ්වය ප‍්‍රසාරණය වෙමින් පවතින බවට වූ බුදු වදන සැබෑවක් බව අද ඔප්පු වී තිබේ. මෙම ප‍්‍රසාරණය පැහැදිලි කිරීමට නිර්මාණය කෙරුණු විද්‍යාත්මක උපන්‍යාසය වනාහි ස්ටීවන් හෝකින්ස් ඇතුළු භෞතික විද්‍යාඥයන් මඟින් වර්ධනය කෙරුණූ මහා පිපිරුම්වාදයයි. (ථෙ ඹිග් ඹන්ග් ථෙඔර්ය්)


විශ්වය ඈත අතීතයේදී සංයුක්ත පරමාණුවක් බවට පත්ව තිබී, එය පිපිරීමෙන් විශ්වයේ සම්භවය සිදු වූ බවට ඉන් පැවැසුණි. මෙහිලා මතුවූ අර්බුදය වනාහි මෑතක දී Hඉග්ග්ස් සහ ඹොසොම් ලෙස විද්‍යාඥයන් දෙපළකගේ නම් වලින් නම් කෙරුණු මෙම මුල් පරමාණුව, කෙසේ නිර්මාණය වූයේ ද? එය පුපුරා යෑමට මුල් හේතුව (ඵ්‍රිමෙ Mඔවෙර්) කුමක්වීද? යන්නයි.


දේවවාදීන් මෙහිලා පැවැසුවේ එය දෙවියන් වහන්සේගේ කාර්යයක් බවයි. ඊට පෙරලා විද්‍යාඥයන් පැවැසුවේ එම මුල් පරමාණුවේ සම්භවය ස්වාභාවික නීතීන්ගේ ක‍්‍රියාකාරීත්වයේම ප‍්‍රතිඵලයක් බවත්, ඇසට නොපෙනෙන භෞතික තල දෙකක ගැටීමෙන් එම පරමාණුව සම්භවය ලබා පුපුරා යන්නට ඇති බවත්ය.


මහා පිපිරුම්වාදයට විකල්ප ලෙස ඉදිරිපත් වූ දෝලනවාදී න්‍යායක් (ඇ තෙඔර්ය් ඔෆ් ඔස්cඉල්ලටිඔන්) වූ ඹිග් ඹොඋන්cඑ නම් න්‍යායයට අද භෞතික විද්‍යා ලෝකයේ විශාල පිළිගැනීමක් ලැබී ඇත. ඉන් කියැවෙන්නේ විශ්වයේ ඇත්තේ දෝලන ස්වභාවයක් බවයි. එනම් විශ්වය මහා පිපිරුමක ප‍්‍රතිඵලයක් ලෙස සකස් වී, ප‍්‍රසාරණය වී යද්දී, වසර බිලියන ගණනක ඇවෑමෙන් එම පිපිරුමේ බලය හීන වී ගොස්, ද්‍රව්‍යයන් අතර ගුරුත්වාකර්ශණ බලය ක‍්‍රියාත්මක වී විශ්වය හැකිළී යන බවය. එසේ හැකිළීමේ ක‍්‍රියාවලියේ යම් අවස්ථාවක ද්‍රව්‍ය වල සංයුක්තභාවය දරාගත නොහැකිව විශ්වය නැවත පිපිරී යන බවයි. මෙලෙස ඹිග් ඹන්ග් නම් මහා පිපිරුම හා ඹිග් Cරුන්ච් නම් වූ මහා හැකිළුම අතර කාලයන් තුළ විශ්වය පවතින බවයි. විශ්වයේ ආරම්භයක් නොමැති බවත්, ඇත්තේ පැවැත්මක් පමණක් බවත්, මෙම න්‍යායයෙන් කියැවේ. ඒ අනුව මෙම න්‍යාය අසංඛෙයිය සූත‍්‍රයේ බුදු වදන හා සමානුපාතික වේ.


තවද විශ්වයේ ලෝක ධාතූන්ගේ ඇති සංකීර්ණ ස්වභාවය බුදුරජාණන් වහන්සේ මනාව පැහැදිලි කොට දී තිබේ.


රෝහිතස්ස සූත‍්‍රයේදී බුදුරදුන් දේශනා කරන්නේ විශ්වය පරක් තෙරක් දැකිය නොහැකි අතිවිශාල එකක් බවයි.


සං.නි.1 අරුණාවතී සූත‍්‍රයේදී සිඛී බුදුරජාණන් වහන්සේගේ සමයෙහි අභිභූ නම් හිමි නමක් ”ආරභථ නික්ඛමථ” යන ගාථාව සහස්සී ලෝක ධාතුව සිසාරා, ඇසෙන සේ පැවසූ බව ආනන්ද හිමියන් සමඟ වරක් බුදුරජාණන් වහන්සේ පැවැසුහ. අංගුත්තර නිකායේ තික නිපාතයේ ආනන්ද වග්ගයේ අවසාන සූත‍්‍රය වූ චුලනිකා සූත‍්‍රයේදී, මේ පුවත සිහිකරමින් ආනන්ද හිමියන් මෙසේ ප‍්‍රශ්න කරති. ”අභිභූ හිමියන්ට එබඳු හැකියාවක් තිබුණා නම්, භාග්‍යවතුන්වහන්සේට කොපමණ දුරට ශබ්දය ඇසීමට සැලැස් විය හැකිද ?” මීට පිළිතුරු දෙන භාග්‍යවතුන්වහන්සේ, ආනන්ද හෙතෙම (අභිභූ හිමි) ශ‍්‍රාවකයෙකි. භාග්‍යවතුන් වහන්සේලාගේ හැකියාව ප‍්‍රමාණ කිරිමට නොහැකි වෙතියි පිළිතුරු දුන්හ.


එහෙත් ආනන්ද හිමියන් නැවත නැවත ප‍්‍රශ්න කළ බැවින් විශ්වයේ විපුලත්වය පිළිබඳ විවරණය කරමින් බුදුරජාණන්වහන්සේ මෙසේ පිලිතුරු දුන් සේක.


“ආනන්ද, යම්තාක් සඳ – හිරු දෙදෙනා හැසිරෙත් ද, සියලූ දිශාවන් බබළමින් ආලෝකමත් කෙරෙද්ද?, ඒ තාක් සක්වල සහස්සී ලෝක ධාතුවයි. ඒ සහස්සී ලෝක ධාතුවෙහි සඳ හිරු දහසකි. මේරු පර්වත දහසකි. දඹදිව් දහසකි. අපරගොයාන දහසකි. උතුරුකුරු දිවයින් දහසකි. පූර්ව විදේහ දහසකි. සිව්මහ සයුරු දහසකි. සිව්වරම් දිව්‍ය රජවරු දහසකි. චතුම්මහාරාජික දහසකි. නිර්මාණරති දිව්‍යලෝක දහසකි. පරනිම්මිත වසවත්ති දිව්‍යලෝක දහසකි. බඹලොව දහසකි. ආනන්ද මේ සහස්සී චුලනිකා නම් ලෝක ධාතුවයි. දහසින් ගුණ වූ චූලනිකා ලෝකධාතු යම්තාක් වේද ඒ තාක් ද්වි සහස්සි මජ්ඣිමා ලෝක ධාතුව වේ. ද්වී සහශ‍්‍රි මජ්ඣිමා ලෝක ධාතුව යම්තාක් වේද එය දහසින් ගුණ කළ කල්හි තිසහස්සී මහා සහස්සී ලෝක ධාතුවයි. ආනන්ද, මෙන්න මේ තිසහස්සී මහා සහස්සී ලෝක ධාතුව දක්වා භාග්‍යවතුන් වහන්සේට අවශ්‍ය නම් ආලෝක ධාරා යවා ඒ ඔස්සේ ශබ්දය යවා, පිටසක්වල ජීවීන්ට ධර්මය දේශනා කළ හැක්කේය.”


මෙම බුද්ධ දේශනාව දෙස මුල සිට අවධානය යොමු කිරීමේදී, පළමුව පැහැදිලි කරගත යුත්තේ සහස්සී ලෝකධාතුව දක්වා අප හිරු – සඳු හැසිරෙමින් ආලෝකය විහිදුවන්නේද? යන්නයි. හිරු සඳු (චන්ද සූරියෝ) ලෙස කෙටියෙන් හැඳින්වෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයම විය හැක. වර්තමාන විද්‍යාඥයින් සොයාගෙන ඇති ලෙස අපගේ සූර්යයා ඇතුළු සෞරග‍්‍රහ මණ්ඩලය ක්ෂීරපථ මන්දාකිණිය වටා ගමන් ගන්නා අතර, එම වටය සම්පූර්ණ කිරීමට ගතවන කාලය වසර මිලියන 230 කි. එම කාලය ඝලටිc ‍යේර් එකක් ලෙස හැඳින්වේ. මෙලෙස අප සූර්යයා ඇතුළු සෞරග‍්‍රහ මණ්ඩලය ක්ෂීරපථ මන්දාකිණියේ ජීවයට හිතවත් ප‍්‍රදේශය (ළිෆෙ හේල්ත්ය් ෆීල්ඩ්) හි වටයක් කරකැවෙද්දී, අප සූර්යයාගේ ආලෝකය තරුවක් ලෙස ක්ෂීරපථ මන්දාකිණියේ කෙළවර දක්වා විහිද යයි. එහෙයින් සහස්සි ලෝක ධාතුව ලෙස බුදුරජාණන් වහන්සේ හැඳින්වුයේ ක්ෂීරපථ මන්දාකිණිය බැව් අනුමාන කළ හැකිය.


මීළග ගැටළුව වන්නේ දඹදිව් – අපරගෝයාන – උතුරු කුරු දිවයින් – පූර්ව විදේහ හා මහාමේරු පර්වත යනු කුමන ඒවාද? අනෙක් ලෝකවලත් එබඳුම මහද්වීප පවතිද්ද ? යන්නයි. ‘


සූත‍්‍ර පිටකයෙන් හෙළිවන පුරාණ ලෝක විස්තරයේ කියැවෙන්නේ, මහා පෘථිවියෙහි මහාමේරු පර්වතය පිහිටා ඇති බවය. ඊට උතුරින් උතුරුකුරු දිවයිනත්, නැගෙනහිරින් පූර්ව විදේහයත්, දකුණින් දඹදිවත්, බස්නාහිරින් අපරගෝයානයත් පිහිටා ඇති බවයි.


වත්මන් විද්වතුන් විශ්වාස කරන්නේ මහාමේරු පර්වතය වනාහී ආක්ටික් මහා අයිස් කන්ද නොහොත් උත්තරධ‍්‍රැවය බවත්, ඒ වටා පිහිටි ඇමරිකා මහද්වීපය උතුරුකුරු දිවයින ලෙසත්, පූර්ව විදේහය ලෙස ඕස්ටේ‍්‍රලියා මහද්වීපයත්, දඹදිව ලෙස ඉන්දියාව ප‍්‍රමුඛ ආසියා – යුරෝපා මහද්වීපයත්, අපරගෝයානය ලෙස අප‍්‍රිකා මහද්වීපයත් අදහස් කළ බවය.


පළමුවන ධර්ම සංගායනාවේදී ධර්මය සූත‍්‍ර ලෙස සකස් කිරිමේදි සජ්ඣායනා කිරිමට පහසු ලෙස බුද්ධ දේශනා සකස් කෙරුණි. අනෙකුත් විශ්වයේ ලෝකවලද මෙලෙසම මහද්වීප පවතින බවට උක්ත දේශනාවෙන් පෙනෙන්නේ, එසේ අප ලෝකයේ මහද්වීප (ඓන්හබිටෙඩ් ර්‍එගිඔන්ස්) අනුවම යමින්, අනිත් ලෝකයන් ද ඊට ඇතුලත් කළ නිසා බව පැහැදිලිය. එය සජ්ඣායනාවට පහසු ලෙස සකස් කිරීමට ගොස් ඇති වූ දෝෂයක් බැව් පෙනේ.


මීළගට අවධානය යොමු කළ යුත්තේ, බුදුරජාණන්වහන්සේ ආලෝක ධාරා යවා, ඒ දිගේ ශබ්දය යවන බැව් ප‍්‍රකාශ කළේ මන්ද? යන්නයි. ඇතැම් විද්වතුන්ගේ අදහස වන්නේ, අප පෘථිවියේ වායුගෝලයෙන් එපිට ඇත්තේ රික්තයක් බවත්, එහි ශබ්දය ගමන් නොගන්නා බැව් බුදුරදුන් දැන සිටිය බවත්, ඒ අනුව ශබ්දය සන්නිවේදනයට නම් සිදු කළ යුත්තේ රික්තයේ ගමන් ගන්නා ආලෝකය හරහා ශබ්දය යැවීම බවත්, බුදුරදුන් දැන සිටි බවයි.


මේ සියල්ලටම අමතරව තවත් විස්මිත කරුණක් වනුයේ බුදුන්වහන්සේ පහත දේශනාව විශ්වයේ ඇති සුවිශේෂී සංසිද්ධියක් වන කලුකුහර සම්බන්ධයෙන් අනාවරණය කළාක් මෙන් පෙනී යාමය. එම දේශනාව මෙසේය.


අත්ථි, භික්ඛවෙ, ලොකන්තරිකා අඝා අසංවුතා අන්ධකාරා අන්ධකාරතිමිසා, යත්ථමිමෙසං චන්දිමසූරියානං එවංමහිද්ධිකානං එවං මහානුභාවානං ආභාය නානුභොන්තී’’ති.


“මහණෙනි, ලොකයන්ගෙන් අතරෙහිවූ වැස්මක් නැත්තාවූ අඳුරෙන් පිරී ගියාවූ මේ මහත් ඍද්ධි ඇත්තාවූ මහත් ආනුභාව ඇත්තාවූ චන්ද්‍ර සූර්‍ය්‍යයන්ගේ ආලෝකය නොවැටෙන්නාවූ ආකාශ කුහරයෝ ඇත්තාහ”


සංයුක්ත නිකාය, සච්ච සංයුක්තය , පපාත වර්ගය, ලෝකන්තරික සූත්‍රය.


මෙබඳු විශ්වය පිළිබඳ සුවිශේෂී කරුණු වසර දෙදහස් පන්සියයකට ඉහතදී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට, සංඝයා විසින් සූත්‍රගත කොට තිබීමෙන් පෙනී යන්නේ උන්වහන්සේ සතුව තිබූ “ලෝකවිදූ” ඥානයයි. උන්වහන්සේගේ විස්මිත ප්‍රඥාවට හා අනාවරණ ඥානයට මේවා සාක්ෂිය.