Sunday, 15 September 2019

'වාරණය' හඳුනාගනිමු (Censorship) ලිපිය 01

හැඳින්වීම


වාරණය යන්නෙහි වාච්‍යාර්ථය ලෙස වැළකීම බාධක වළකන යන්නක් බැව් ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයෙහි දක්වා ඇත. එනම් කිසියම් වූ දෙයක් අරඹයා සිදු කරනු ලබන පරීක්ෂාවක් වැනිය. වාරණය යන්නට පර්යාය පදයක් වශයෙන් පරිහාර කිරීම ලෙස ද හඳුන්වනු ලැබේ. 
“ලිපි හෝ වාර ප්‍රකාශන නාට්‍ය සිනමා ආදිය පරීක්ෂා කිරීමේ හා සදාචාරයට විරුද්ධ වූ හෝ වෙනත් අයුරකින් අහිතකර වු දෙය දුරාචාරය ලෙස සළකා ඕනෑම දෙයක් කපා හැරීමේ බලය වාරණය වේ.”
                                                                                                    -ඔක්ස්ෆඞ් ශබ්ද කෝෂය-
මේ අනුව ප්‍රධාන වශයෙන් මාධ්‍ය සන්දේශයන් අරමුණු කොටගෙන ක්‍රියාත්මක වන්නකි මෙම වාරණයේ දී සමාජයට ඉදිරිපත් වන සන්දේශයන්ගේ ගුණාත්මක බව සළකා බලා එය ග්‍රාහකයා අතරට යාම සුදුසු ද නැතිනම් නුසුදුසු ද යන්න තීරණය කිරීම මඟින් වාරණය විවිධාකාරයෙන් ක්‍රියාත්මක වීම සිදුවන බැව් පැහැදිලි වන කරුණකි

“පොදුවේ ගත් කළ වාරණය (Censorship) යනු දෝෂ පරික්ෂාවයි. සාහිත්‍ය කලාව ඇතුඵ යම් සන්නිවේදන මාධ්‍යයක දෝෂ නැතිනම් යෝග්‍යතාව පරීක්ෂා කර නොගැළපෙන දෑ ඇතොත් ඒවා ඉවත් කොට අනුමත කිරීම මින් අදහස් කෙරේ. එහි වචනාර්ථය වැළකිම වැළැක්වීම තහනම මුවාව හෝ බාධක ලෙස ගත හැකි බව සරසවි ශබ්දකෝෂයේ දක්වා ඇත. වාරණය යනු පොදු යහපතට නුසුදුසුය පොදු යහපතට අහිතකරය යන පදනම මත කතා කිරීම හෝ ලිවීම තහනම් කිරීම හෝ යටපත් කිරිමයි.

ඒ අනුව වාරණය ක්‍රියාත්මක වන විට දී අවධානය යොමු වන තවත් අංශයක් වන්නේ ග්‍රාහකයා කෙරෙහි මාධ්‍ය සන්දේශයෙන් සිදුවන බලපෑම කෙසේ ද යන්න ය. එහි ස්වභාවය මත සන්දේශය වාරණය කළ යුතු ද නැති ද යන වග තීරණාත්මක වේ.
ඇමරිකාවේ සහ කැනඩාවේ සිට ක්‍රියාත්මක වන (Project censored) ආයතනය මඟින් වාරණය යන්න අර්ථ ගන් වන්නේ මෙපරිදි ය. 

''බලය යොදා හෝ නොමැතිව පක්ෂ භජනය අතහැර දැමීම කරුණු සැඟවීම හෝ ස්වයං වාරණය තොරතුරු සැඟවීම මඟින් සමාජය තුළ සැබැවින්ම සිදුවන දේ ජනතාවට දැන ගැනීම වැළැක්වීම වාරණය යි.''



මේ අනුව පැහැදිලි වන තවත් කරුණක් වන්නේ වාරණය ග්‍රාහකයාගේ යහපත උදෙසා ක්‍රියාත්මක කරන්නක් ලෙස අදහස් වුවත් එහි යටිපෙළින් මාධ්‍ය සන්දේශයන් සිතා මතා ග්‍රාහකයා වෙතට සැපයෙන සත්‍යතාවන් වසන් කර ගැනීමේ පළිහක් ලෙසින් වාරණය ක්‍රියාත්මක කරන්න වුන් විසින් ක්‍රියාවට නංවන බවයි.  වාරණය එක් පැත්තකින් සමාජ යහපත උදෙසාත් අනෙක් පැත්තකින් වාරණය මාධ්‍ය මර්ධනය සඳහා ඉවහල් කර ගන්නා අවියක් ලෙසින් ද ක්‍රියාත්මක වන බැව් අවබෝධ කර ගත හැකි වේ. 


Saturday, 1 June 2019

සන්නිවේදන පුරෝගාමීයෝ




ජර්මනියේ උපත ලද විල්බර් ශ්‍රාම් නුතන සන්නිවේදනයේ පියා ලෙස ඉමහත් ආඩම්බරයෙන් සලකනු ලැබේ.ඔහු විසින් සන්නිවේදනය පිළිබඳ පළ කරන ලද නිර්වචනය සන්නිවේදනයේ සමස්ත හරය ගොනු වූ විශිෂ්ට නිර්වචනයක් ලෙස හැඳින්විය හැක.එනම්,

''තොරතුරු ගැබ් වූ සංඥාවක් නිසා දෙපාර්ශයක් අතර එක හා සමාන මානසික තත්ත්වයක් ඇති කරලීම සන්නිවේදනයයි'' යනු එම නිර්වචනයයි.

මෙම නිර්වචනය පිළිබදව පැහැදිළි කිරීමක් කිරීමේ දී ශ්‍රාම් මෙහි ''දෙපාර්ශවයක්''යනුවෙන් හදුන්වන්නේ ''සන්නිවේකයා'' හා ''ග්‍රාහකයායි'' එක් පාර්ශ්වයක සන්නිවේදකයා සිටින අතර ''තොරතුරු'' ගැබ් වූ සංඥාව යනු සංදේශයයි. මෙම තොරතුරු ගැබ්ව ඇත්තේ සංඥාව තුළය. එම ''සංඥාව'' දෙපාර්ශ්වය අතර හුවමාරු වන බව ශ්‍රාම් විස්තර කරයි. එසේම විල්බර් ශ්‍රාම් තම නිර්වචනයේ ද ඵලය හෙවත් බලපෑම පිළිබදව ද අවධානය යොමු කරයි. එනම් ''සමාන මානසිකත්වයක් ඇතිකරලීමයි''

සන්නිවේදනය දෙස සියලු අංශ නියෝජනය වන අයුරින් විමර්ශනයට ලක් කොට ඇති මොහු සන්නිවේදනය විධිමත් අඩිතාලමක් කරා ගෙන ඒමට පුරෝගාමී වූ දාර්ශනිකයෙන් ලෙස පෙන්වා දිය හැක.

තව ද සන්නිවේදන අධ්‍යයනය විධිමත් ලෙස ආයතනගත කිරීමට මෙන්ම සන්නිවේදන විෂයෙහි ප්‍රමුඛ දායකත්වයක් සපයන ලද පුද්ගලයා වන්නේ මහාචාර්ය විල්බර් ශ්‍රාම්ය. ඔහු විසින් සන්නිවේදන අධ්‍යයනය විධිමත් ආකාරයට අධ්‍යයනය කිරීමට අවශ්‍ය පදනම සකස් කරනු ලබීය.සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි විවිධ අංශ කෙරෙහි අවධානය යොමු කළ ශ්‍රාම් පර්යේෂකයකු ලෙස ද න්‍යායවාදියකු ලෙස ද විෂය පෝෂණය කරන ලදි. සන්නිවේදන විෂය දෙස නව දෘෂ්ටිකෝණයකින් බැලීමට අවශ්‍යය පරිසරය ඔහු විසින් ගොඩ නගන ලද්දේ යැයි සඳහන් කළ හැකිය.

විල්බර් ශ්‍රාම් විසින් 1948 දී ඉලිනෝයි විශ්ව විද්‍යාලයෙහි "සන්නිවේදන පර්යේෂණ ආයතනය" නම් ආයතනය පිහි‍ටුවනු ලැබීය. ඔහු එම ආයතනයේ අධ්‍යක්‍ෂක වරයා ද විය. 1947 සිට 1955 දක්වා ඉලිනෝයි විශ්ව විද්‍යාලයෙහි සන්නිවේදන අධ්‍යයනය පිළිබඳ  මහාචාර්ය වරයකු ලෙස ද ඔහු කටයුතු කළ  අතර ඉන් පසුව 1955 දී ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ද ඉහත ආකාරයේම පර්යේෂණ ආයතනයක් පිහි‍ටුවීමට ශ්‍රාම් කටයුතු කරන ලදි. 1955 සිට ස්ටැන්ෆර්ඩ් පර්යේෂණ ආයතනයේ අධ්‍යයක්ෂක ලෙස කටයුතු කළ අතරම ජාත්‍යන්තර සන්නිවේදනය පිළිබඳ මහාචාර්යයවරයා ලෙස ද කටයුතු කරන ලදි. තුන්වන ලෝකයේ රටවල සංවර්ධනයට සන්නිවේදනය දායක කර ගත හැකි බව තේරුම් ගත් මුල්ම පුද්ගලයා වන්නේ ද ශ්‍රාම්ය. 1964 දී විල්බර් ශ්‍රාම් හා ඩැනියල් ලර්නර් හවායි නුවර දී “Communication and Change in the Developing Countries” නමින් විශාල සම්මන්ත්‍රණයක් සංවිධානය කළ අතර ඒ නමින් පොතක් ද නිකුත් කරන ලදි. එහි දී ශ්‍රාම් පහත කරුණු අවධානයට ලක් කොට තිබේ.

1.  තුන්වන ලොකයේ රටවල පාසල්වල ජන සන්නිවේදනය පිළිබඳ අවබෝධය වර්ධනය කිරීම තුළින්  ජන ජීවිතය පරිපූර්ණත්වයට පත් කළ හැකිය යන්න.

2.    අධ්‍යාපන ක්ෂේත්‍රයට හා අනෙකුත් සංවර්ධනය සඳහා උරදෙන ආයතන වලට ජන සන්නිවේදනය පිළිබඳ  අවබෝධය වර්ධනය කිරීම තුළින් වඩා හොඳ ඵලදායිතාවක් ලබා ගත හැකි බව.

3.    ජන සන්නිවේදනය තුළින් ලබා දෙන දැනුම් සම්භාරයක් තුළින් පාසල් ළමුන් සේම සාමාන්‍ය  ජනයා ද සංවර්ධනය සදහා දිරි ගැන්විය හැකි බව.

4.    ජාතික සංවර්ධනය උදෙසා ජන සන්නිවේදනය විශාල පි‍ටුබලයක් වන බව.

වසර 10ක පමණ කාලයක් තිස්සේ මෙම ග්‍රන්ථය සංවර්ධනය වන රටවල සන්නිවේදන පසුබිම හැදෑරීමට උසස්ම ගනයේ කෘතියක් ලෙස ලොව පුරාම භාවිත වන්නට විය. වසර 10කට පසු මුල් සම්මන්ත්‍රණයේ දැක්වූ අදහස් ගොනුකොට "සන්නිවේදනය හා විපරිනාමය: පසුගිය දස වසර සහ ඉදිරි දස වසර" නම් ග්‍රන්ථය පළ කෙරිණි. ලොව පුරා සන්නිවේදන අධ්‍යයන විධිමත් ලෙස ආයතන ගත වීමට අවශ්‍ය පදනම මෙමගින් සකස් කරනු ලැබූ බව සදහන් කළ හැකිය.
1900 අවසාන දශකය වන විට විධිමත් ලෙස පාඨමාලාගතව සන්නිවේදන අධ්‍යයනය විශ්වවිද්‍යාල තුළ අධ්‍යයනය කිරීම මුළු ලොව පුරා විසිරී යන ලදි.1970 දශකයෙන් පසුව සන්නිවේදන අධ්‍යයනය විෂය කෙරෙහි ප්‍රමුඛතාවක් යුරෝපීය විශ්වවිද්‍යාල ලබා දෙන ලදි. යුරෝපය තුළ පමණක් 1970 දී ජන සන්නිවේදනය ප්‍රථම උපාධිය සඳහා හැදෑරූ සංඛ්‍යාව 11000කි. 1990 දශකයේ මුල් කාර්තුවේ දී ජනසන්නිවේදන අධ්‍යයනය හැදෑරූ පිරිස 50000ක් ලෙස ලොකයෙන් වාර්ථා විය.
1970 දී වසරකට මෙම විෂයෙන් ප්‍රධානය කරන ලද උපාධි සංඛ්‍යාව 1700 ක් වූ අතර අද වන විට එය 4000 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඇමරිකාව තුළ පමණක් ඇති විශ්වවිද්‍යාල මඟින්  එනම් කොලොම්බියා, හාවඩ් ආදී ලොව ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල මගින් වසරකට ආචාර්ය උපාධි 250 ක් පමණ අද වන විට පිරිනමණු ලබයි. එසේම ඇමරිකාව තුළ ප්‍රමුඛ විෂයක් ලෙස ජනසන්නිවේදනය හැදෑරීමට අවකාශ ඇති විද්‍යායතන හා දෙපාර්තුමේන්තු ගණන අද වන විට 2000කට අධිකය.
තව ද අද වන විට වෙස්ටර් , සිටි, වේල්ස්, වෙස්ට් මිනිස්ටර් ආදී බ්‍රිතාන්‍යය ප්‍රමුඛ විශ්වවිද්‍යාල රාශියකම මෙම විෂය සදහා ප්‍රථම උපාධි හා පශ්චාත් උපාධි පිරිනමනු ලබයි. සුප්‍රකට වෙස්ටර් විශ්ව විද්‍යාලය සතුව යුරෝපයේ ජනප්‍රියම සන්නිවේදන පාඨමාලාව පවතින අතර එම සරසවිය මගින් යුරෝපය තුල එම විෂය සදහා පවතින ගෞරවනීයම උපාධියද පිරිනමනු ලබයි.
යුරෝපය තුළ ජනසන්නිවේදන අධ්‍යයනය මුලින්ම ආරම්භ වී ආයතන ගත වීම සිදු වූ අතර අද වන විට ආසියානු, අප්‍රිකානු, ලතින් ඇමරිකානු හා කලිබියානු ආදී රටවල ද විශ්වවිද්‍යාලවල පාඨමාලා ගතව අධ්‍යයන කටයුතු සිදු කරන හා උපාධි ප්‍රදානය කරනු ලබයි. විශේෂයෙන්ම ඉහතින් ද සදහන් කරන ලද අන්දමට විල්බර් ශ්‍රාම්ගේ මැදිහත්වීම තුළින් ජන සන්නිවේදනය විෂයෙහි ඇති වූ ප්‍රබෝදය මේ සදහා සෘජුව බලපාන්නට ඇත.

Friday, 5 April 2019

තොරතුරු දැනගැනීම පුරවැසි අයිතියකී. ( RIGHT TO INFORMATION )




තොරතුරු අයිතිය යනු පොදු අරමුදල් භාවිතා කරන ආයතනවල පවතින තොරතුරු පුරවැසියන්ට ලබාගැනීමට ඇති අයිතිය වේ.

මෙම අයිතිය අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකමක් වන අතර ම 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ එකී අයිතිය භාවිතා කිරීම පිළිබඳ ව ප්‍රතිපාදන සලසා දී තිබේ.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු දැනගැනීම සඳහා හැකියාවක් ඇත්තේ කුමන ආයතනවලින් ද යන්න දැනගැනීම තුළින් පුරවැසි ඔබට මුහුණ පෑමට වන ගැටලු මගහැරවා ගත හැක.

  • මධ්‍යම රජයට හෝ පලාත් සභාවකට අයත් සියලූ ම ආයතන

  • රජයට අයත් සමාගම්

  • කොටස් සියයට 25කට වඩා වැඩි රජය සතු පෞද්ගලික සමාගම්

  • රාජ්‍ය ආයතනයක් සමඟ ගිවිසුම් හෝ බලපත්‍ර මත ක්‍රියාත්මක වන පෞද්ගලික ආයතන

  • රාජ්‍ය නොවන සංවිධාන

මෙම ආයතනවලට තොරතුරු පනත අදාළ වන අතර මෙම ආයතන පොදු අධිකාරිය යන විශේෂ පදයකින් තොරතුරු පනතේ හැඳින්වේ.

තොරතුරු පනතට අනුව තොරතුරු ලබා ගන්නා ආකාරය පිළිබඳව මීළඟට ඔබ දැනුම්වත් විය යුතුය.

තොරතුරු පනතේ දැක්වෙන පනතට යටත් සෑම පොදු අධිකාරියක් ම පුරවැසියන්ට ආකාර දෙකකින් තොරතුරු සැපයීමට බැඳී සිටියි.

මෙය දෙයාකාරයකට සිදුවන්නකී.

  1. ස්වේච්ඡාවෙන් තොරතුරු ප්‍රසිද්ධ කිරීම
මෙහි දී තොරතුරු කොමිෂන් සභාව විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව සෑම පොදු අධිකාරියක් ම එම ආයතනයට අදාළ ප්‍රධාන තොරතුරු ආයතනය තුළ හා ආයතනයේ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කළ යුතුය.

   2. පුරවැසියෙකු තොරතුරු ඉල්ලා සිටින අවස්ථාවක දී තොරතුරු ලබා දීම 

පුරවැසියන් විසින් ඉල්ලා සිටිනු ලබන අවස්ථාවක දී ස්වීච්ඡාවෙන් ප්‍රසිද්ධ කර නොමැති තොරතුරු ලබා දීමට කටයුතු කිරීම.එම වගකීම මෙම පනත යටතේ එම ආයතන වෙත පැවරේ.

මතක තබා ගන්න ඔබට තොරතුරු ලබා ගැනීම සඳහා වයස් සීමාවක් නැත.එහෙත් ඔබ ශ්‍රී ලාංකීක පුරවැසියෙකු වීම අත්‍යවශ්‍ය කාරණයකී.

මී ළඟට ඔබ දැනුම්වත් විය යුත්තේ ඔබ තොරතුරු ඉල්ලා සිටින්නේ කෙසේ ද යන්නයි.
ඔබ විසින් තොරතුරු ඉල්ලා සිටීම කළ යුත්තේ ලිඛිතව ය.මේ සඳහා ඊමේල් ද අදාළ වේ.

තොරතුරු ලබා ගැනීම සඳහා වන අයදුම් පත්‍රයක් ඕනෑ ම පොදු අධිකාරියක තොරතුරු නිළධාරියෙකු වෙතින් නොමිලයේ ලබා ගත හැක.එසේ නොමැතිනම් www.rti.gov.lk වෙබ් අඩවියෙන් බාගත කළ හැක.

තොරතුරු ලබා ගැනීම සඳහා නියමිත තොරතුරු ආකෘතිය පුරවා දීම අත්‍යවශ්‍ය නොවේ.තමන්ගේ නම ලිපිනය පැහැදිලි ව හා නිවැරදිව සඳහන් කර ලිපියක් මඟින් අදාළ තොරතුරු ඉල්ලුම්පත්‍රය අදාළ පොදු අධිකාරියේ තොරතුරු නිළධාරියා වෙත යොමු කළ හැක.

සෑම පොදු අධිකාරියක් සඳහා ම එක් තොරතුරු නිළධාරියෙකු හෝ තොරතුරු නිළධාරීන් වැඩි ගණනක් පත් කර ඇත.

ඔබට අවශ්‍ය තොරතුරු ඉල්ලා සිටීමේ දී ඊට අදාළ හේතු දැක්වීම අදාළ නොවේ.

තොරතුරු ලබා ගත හැකි ආකාර මොනවාදැයි ඔබ දන්නවා ද?

  • අදාළ වැඩ, ලේඛන, වාර්ථා අධීක්ෂණය කිරීම

  • අදාළ ලේඛනයෙන් හෝ වාර්ථාවලින් සටහන්, උද්ධෘත හෝ සහතික පිටපත් ලබා ගැනීම

  • අදාළ ද්‍රව්‍යන්ගේ සහතික කළ නිදර්ශන ලබා ගැනීම.

  • අවශ්‍ය තොරතුරු පරිගණකයක හෝ වෙනත් යම් උපාංගයක ගබඩා කර ඇති අවස්ථාවක දී ඩිස්කට්, ෆ්ලොපි, පෙන්ඩ්‍රයිව් හෝ වෙනත් ඕනෑ ම විද්‍යුත් ක්‍රමයකින් හෝ මුද්‍රිත පිටපත් වශයෙන් තොරතුරු ලබා ගැනීමට හැකිය.
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඕනෑ ම පොදු අධිකාරියකින් තොරතුරු ලබාගැනීමට හැකි වූවත් තොරතුරු ඉල්ලීමක් ප්‍රතික්ෂේප වන අවස්ථා 22ක් පනතේ සඳහන් කර තිබේ.එවැනි තොරතුරු සාමාන්‍ය තත්ත්වයන් යටතේ ලබා නොදෙයි.

ඒ අනුව යම් තොරතුරු ලබා දීමක් මඟින් ජාතික ආරක්ෂාවට හෝ ආර්ථිකයට දැඩි ලෙස අගතිගාමී එමෙන් ම පෞද්ගලිකත්වය ආක්‍රමණය කරන තොරතුරු වැනි තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළ හැක.

මතක තබා ගන්න.එම තොරතුරු වූව ද නිදහස් කිරීම මඟින් දඩි මහජන යහපතක් සිදු වන්නේ නම් එවැනි විටෙක එම සීමා කර ඇති තොරතුරු ද නිදහස් කිරීමක් සිදු කෙරේ.

ඔබ ඉල්ලා සිටින තොරතුරු ඔබට ලබා නොදුන්හොත් ඔබට ගත හැකි පියවර කිහිපයකී.

1. තොරතුරු අයදුම්පත්‍රය යොමු කරන ලද නිළධාරියා විසින් එම තොරතුරු ඉල්ලීම  ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ බව දින 14ක් ඇතුළත හේතු සහිත ව ලිඛිත ව දන්වනු ලැබේ.

2. එසේ දැන්වීමක් ලැබුණු විට හෝ දින 14ක් ඇතුළත ප්‍රතිචාර නොමැති නම් එම ආයතනයේ ම සිටින නම් කළ නිළධාරියා වෙත අභියාචනයක් සිදු කළ හැකිය.

3. ඔහු විසින් ද එම අභියාචනය ප්‍රතික්ෂේප කළහොත් මාස දෙකක කාලයක් තුළ තොරතුරු කොමිෂන් සභාව වෙත ද ඉන් පසු ව අභියාචනාධිකරණය වෙත ද අභියාචනා කළ හැකිය.මීටත් අමතරව ද අභියාචනයක් සිදු කළ හැකි අවස්ථා කිහිපයකී.

  • තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම 
  • 5වන වගන්තිය යටතේ ප්‍රධානය කිරීමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සඳහා අවස්ථාව ලබා දීම ප්‍රතික්ෂේප කිරීම.
  • මෙම පනත මඟින් නිශ්චිත ව දක්වා ඇති කාලසීමාවන්ට අනුකූල නොවීම.
  • සම්පූර්ණ නොවූ , නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ලබා දීම.
  • වැඩියෙන් ගාස්තු අය කිරීම.
  • අදාළ තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශ වීම වැළැක්වීම සඳහා එම තොරතුර විකෘති කර, අස්ථානගතකර ඇති බවට එම තොරතුර ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම.
තොරතුරු අයදුම්පත සඳහා කිසිඳු මුදලක් අය නොකරන අතර තොරතුරු ලබා දීම සඳහා මුදල් අය කරනු ලැබේ.එසේ ම එම අදාළ ගාස්තු ගෙවීම බැංකු අණකර මඟින් හෝ සෘජුව ම පොදු අධිකාරිය වෙතට ගොස්, ගෙවිය හැකිය.

තොරතුරු ලබා දෙන්නේ ගාස්තු ගෙවීම සිදු කළ පසුව බව මතක තබා ගන්න.

"තොරතුරු දැනගැනීම ඔබේත් මගේත් අයිතියකී.මෙම දනුම්වත් කිරීම එම අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා ය."