Monday, 19 July 2021

මාධ්‍ය විචාරය හා එහි අවශ්‍යතාව

ර්තමාන සමාජය තුළ ජීවත්වන මිනිසාට මාධ්‍යයෙන් තොර පැවැත්මක් පිළිබඳව සිතීමට දුෂ්කරය.ඒ තරමට මිනිස් ජීවිතයේ සියලුම අංශ කරා හා පොදු මුළු සමාජයේ සෑම අංශයක් කරාම මාධ්‍යයන්ගේ බලපෑම වර්ධනය වී තිබේ.මේ තත්වය තුළ මාධ්‍ය විචාරයකින් තොරව කටයුතු කරන විටදී අපට නොදැනීම අප යොමු වන්නේ අවිචාරවත් ජීවිතයකටය. වර්තමානයේ බොහෝ විට මෙම අවිචාරවත් බව සමාජයේ පවතින බව පෙනේ. මෙම අවිචාරවත් බවින් මිදීමට විසදුම වන්නේ ග්‍රාහකයා විචාරශීලි ග්‍රාහකයකු බවට පත් කිරීමයි. මාධ්‍ය සදහා විචාරයන් අවශ්‍යවන්නේ මුලිකවම ඒ සදහාය. එය සමාජ අවශ්‍යතාවයක් අනුවම බිහිවන බව පැහැදිලිය.



  වර්තමාන සංකීර්ණ සමාජයේ මාධ්‍ය සංදේශයන්හි මතුපිට අරුත පමණක් නොව යටි පෙළක්ද ක්‍රියාත්මක වේ. මතුපිටින් යමක් පෙන්නුවද එහි යටින් මාධ්‍ය නියෝජනය,ව්‍යාපාරික අරමුණු ආදී බොහෝ දේ ක්‍රියාත්මක වේ. මෙම යටි පෙළ ගැන අවබෝධ කර ගැනීමට මාධ්‍ය විචාර ක්‍රියාවලිය ඉතා අවශ්‍ය වේ.

කිසියම් දෙයක් අගය විශ්ලේෂණය කර දැක්වීම විචාරය ලෙස හැදින්විය හැකිය. විග්‍රහය, අර්ථකථනය හා අගය කිරීම මාධ්‍ය විචාරයේ ප්‍රධානම සාධක බවට පත්වේ. එමගින් සිදු කරනුයේ නිර්මාණය පැහැදිලි කිරීම, ආකෘතිය විශ්ලේෂණය කිරීම හා එහි ඇති අගයන් විමර්ශනයට කිරීමයි. විචාරාත්මක චින්තනය පෞරුෂයෙන් යුතු සන්නිවේදන චරිතයක් බවට පත් වීමට තිබිය යුතු අත්‍යවශ්‍ය ගුණාංගයකි.

අතීතයේ සිට වර්තමානය දක්වා කලා නිර්මාණ විචාරය කිරීම පිණිස නොයෙක් සිද්ධාන්ත ගොඩ නැගී ඇත. කිසියම් නිර්මාණයක තේමාව, ග්‍රාහක අත්දැකීම් හරහා එහි ඇති ආස්වාදය පැහැදිලි කර දීම, ග්‍රාහක අවබෝධය වර්ධනය කිරීම සදහා විචාරක අත්දැකීම් පාදක කර ගනිමින් නිර්මාණය තේරුම් කිරීම සහ එම නිර්මාණ ජීවිතයට වැදගත්වන ආකාරය විග්‍රහ කර දීම විචාරයේදී වැදගත් වන මුලික කරුණු කිහිපයකි. මාධ්‍ය හා සමාජය වටහා ගැනීමෙහිලා මාධ්‍ය විචාරයේදී වැදගත් වේ. විචාරශිලිත්වයෙන් තොරව නුතන මාධ්‍ය භාවිතය හා ප්‍රවණතා හදුනා ගැනීම දුෂ්කරය. මාධ්‍ය හමුවේ විචාරකයා යන චරිතය වෙනුවට ග්‍රහකයාම තම විට විචාරකයා වන්නේය.  

 මාධ්‍ය විචාරයේදී විවිධ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් වන සංදේශ විශ්ලේෂණය කිරීම සිදු වේ. මාධ්‍ය මගින් විචිත්‍රවත් ආකෘති ඔස්සේ ගලා එන සංදේශවලට සාමාන්‍ය පුද්ගලයාගේ මනසෙහි ඇල්මක් ඇති කරවයි. එය මාධ්‍යයට වහල් වීමකි. මාධ්‍ය විචාරය අවශ්‍ය වන්නේ මෙම මාධ්‍ය වහල්භාවයෙන් පුද්ගලයා මුදවා ගැනීම පිණිසය. 

මාධ්‍ය සාක්ෂරතාවයේ අඩුකම හා විචාරශීලිත්වයේ ඌනතාව හේතුකොටගෙන පුද්ගලයා මාධ්‍යට හසු වේ. එම නිසා මාධ්‍ය පුද්ගලයාගේ දෛනික ජීවිතයට, ඔවුන් සතු විශ්වාසයන්ට සහ සදාචාරයන්ට ප්‍රබල ලෙස බලපෑම් කරන බැවින් එම තත්වයෙන් මිදීම සදහා විචාරශිලිත්වය අවශ්‍ය වේ. 

           එසේම මාධ්‍ය දෛනික ජීවිතයට බලපාන ආකාර ළමයාට, තරුණයාට, කාන්තාවට ආදී වශයෙන් විමසිය හැකිය.  

👉 මාධ්‍ය හා දෛනික ජීවිතය 

මාධ්‍ය අපගේ එදිනෙදා ජීවිතය හා සම්බන්ධව පවතී. මාධ්‍ය තොරතුරු හා විනෝදාස්වාදය සදහා මුලාශ්‍රයකි. විවිධ මාධ්‍ය මගින් ආදරය, විලාසිතා,විවිධ සම්බන්ධතා හා කාටුන් ඇතුළු වෙනත් දේ නැරඹීමට බොහෝ ළමුන්, යෞවනයන් කැමැත්ත දක්වයි. වැඩිහිටියන් ප්‍රවෘත්ති, ආහාර, සෞඛ්‍ය, ව්‍යායාම, ආගමික ආදී විවිධ දේ නැරඹීමට, ඇසීමට, කියවීමට කැමතිය. වර්තමාන පර්යේෂණවලින් හෙළිකරගෙන තිබෙන්නේ ලොව බොහෝ ළමයින් රුපවාහිනිය දෙස පැය දෙක හමාරක් පමණ වෙලාගෙන බලා සිටින බවයි. 

  රූපවාහිනි නාට්‍ය හා සිනමා, චිත්‍රපට මගින්ද මත් ද්‍රව්‍ය, මත්වතුර පානය ,වැරදි හැසිරීම් ආදී දේ නිරතුරුව පෙන්වීමට කටයුතු කරයි. එවිට ඒවා නරඹන ඇතැමුන් ඔවුන් එම දේවල් සිදු කරනවා නම් අප නොකළ යුත්තේ ඇයිදැයි යන ආකල්පය වර්ධනය වන බවයි.

ඵසේ ම ලෝකය පුරා ම මාධ්‍ය මඟින් ගොඩනංවා ඇති ක්ෂණික ආහාර පුරුද්ද හේතුකොටගෙන විවිධ ගැටලුවලට මුහුණ දී ඇත. මෙයට හේතුව වෙළද දැන්වීම්වල පෙළඹවීමට නිරතුරුවම ග්‍රාහකයා යොමුවීම හේතුකොටගනිමිනි. මාධ්‍ය මගින් අපගේ පෙනුම,විශ්වාසයන්,ආශාවන් හා මතයන් හසුරවමින් බලපෑම් ඇති කර තිබේ. එමෙන්ම නගර හා මාවත්වල නිරතුරුවම දක්නට ලැබෙන අතර විවිධ විශාල දැන්වීම් පුවරු,පෝස්ටර්වල පවතින භෞතික පරිසරයද මාධ්‍ය නිර්මාණය කර ඇත. මේ සියල්ලම ග්‍රාහකයා කෙරෙහි විවිධ අයුරින් බලපායි.

මෙම පදනම මත මාධ්‍ය විචාරයාගේ භූමිකාව වඩාත් කැපී පෙනේ. මාධ්‍ය විචාරකයා විසින් කරනු ලබන විශ්ලේෂණය කිරීම හා ඇගයීම් තුළින් මාධ්‍ය විචාරකයා සන්නිවේදකයාට ඉතා සුවිශේෂ වූ ප්‍රතිපොෂණයක් ලබා දේ. එවිට සන්නිවේදකයා හැකිතරම් තම වගකීම් නිවැරදිව සිදු කිරීමට කටයුතු කිරීමට පෙළඹේ.

එමෙන්ම මාධ්‍ය විචාරයා නිසා ග්‍රහකයට මග පෙන්වීමක් සිදු කරයි. මාධ්‍ය සංදේශය තුළ සංකීර්ණ ලෙස සැගවී ඇති යටි අරුත් පෙළ ග්‍රහණය කර ගැනීමටත් එහි සුවිශේෂිත්වය වටහා ගැනීමටත් යොමු වීම තුළ මාධ්‍ය ග්‍රාහකත්ව මට්ටම් සංවර්දනය වේ. 

මෙලෙස මාධ්‍ය විචාරකයා ඇතැම් විට මාධ්‍යකරුවෙක් විය හැකිය. මාධ්‍ය විචාරකයෙකු ලෙස සුවිශේෂිව මතු වීමට එම විචාරකයා විසින් අත්පත් කරගෙන තිබිය යුතු ගුණාංග රැසකි.


01. මාධ්‍ය විචාරකයා, මාධ්‍ය, සන්නිවේදකයා, සන්දේශය සහ ග්‍රාහකයා යන අංශ පිළිබඳ ව මෙන්ම එය ඇතුළත් වන සමාජ පිළිබදව වගකීම් සහගතව කටයුතු කරන්නෙකි. ඒ සියල්ල ම කෙරෙහි බැදීමක් ඇති ව විවේචනාත්මක ව සහය පළ කරන්නෙකි.


02. මාධ්‍ය විචාරකයා අදාල මාධ්‍ය පිළිබදව හා එහි ක්‍රියාකාරිත්වය හා සංයුතිය පිළිබඳ ව විශේෂ දැනුමක් සහිත අයෙකි.


03. මාධ්‍ය විචාරකයා සුවිශේෂී ජීවන දෘෂ්ටියක් සහිත පුද්ගලයෙකි. එසේ ම හෙතෙම ග්‍රාහකයාගේ පාර්ශවය නියෝජනය කරන්නෙකි. 


04. මාධ්‍ය විචාරකයා දැනුම්වත් සහ විමසිලිමත් මාධ්‍ය ග්‍රහකයෙකි. ඔහු අන් සියලු ග්‍රාහකයන්ට පෙර ගමන් යන්නෙකි. මග පෙන්වනෙකි. ආපසු හැරී බලන්නෙකි. කැටුව යන්නෙකි.


ආචාර්යතුමා



Sunday, 18 July 2021

නව මාධ්‍ය ප්‍රවණතා හා එහි සමාජ බලපෑම


ශ්‍රී ලංකාවේ සමකාලීන සමාජ සන්දර්භය තුළ සාම්ප්‍රදායික මාධ්‍ය භාවිතය ක්‍රමිකව යටපත් වෙමින් නව මාධ්‍ය (Online Journalism) භාවිතය ඉස්මතුවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ. විශේෂයෙන්ම නූතන තරුණ පරපුර නව මාධ්‍ය ප්‍රවාහයේ ප්‍රධාන පාරිභෝගිකයා බවට පත්ව තිබේ.


විද්‍යුත් සන්නිවේදනය විවිධ ක්‍රම මගින් මානව ලෝකය ඉදිරියට ගෙන යමින් සිටියි. තාක්ෂණය හෙවත් ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය මෙහි මුලද්‍රව්‍ය ලෙස හැඳින්විය හැක. ඒ අනුව අපි සියලු දෙනා විද්‍යුත් පවුලක සාමාජිකයෝ වී සිටිමු. නූතන නව මාධ්‍ය සම්ප්‍රදාය නව මාධ්‍ය භාවිතයේ  සුවිශේෂී ප්‍රවණතාවයක් වන්නේ එහි ඇති සමාජ මාධ්‍ය (social media) පැතිකඩයි.


තාක්ෂණය සන්නිවේදන අවකාශය අතික්‍රමණය කිරීමේ වැදගත්ම පරිවර්තනය වන්නේ මිනිසාගේ කාලයේ හා අවකාශයේ පරිමාව මිනිසාට සුදුසු පරිදි කළමනාකරණය කරගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර තිබීමයි. සාම්ප්‍රදායික මාධ්‍ය ග්‍රාහකයා ප්‍රචාරය වන වැඩසටහන ඒ මොහොතේම (On Time) නැරඹිය යුතු හෝ ශ්‍රවණය කළ යුතු හෝ වුවත් නව මාධ්‍ය ප්‍රවණතාවය තුළ ග්‍රාහකයාට තමන්ට පහසු විටක සහ තමන්ට අවශ්‍ය වේලාවක තමන්ට අවශ්‍ය මාධ්‍ය පඨිතය (Media text) පරිශීලනය කිරීමේ හැකියාව ලැබී තිබේ. එවන් පසුබිමක ශ්‍රී ලංකාවේ නව මාධ්‍ය ප්‍රවණතා සමාජයට කරන බලපෑම විමසා බැලීම ඉතා වැදගත් වන්නේය.


සම්ප්‍රදායික මාධ්‍ය අතික්‍රමණය කළ නව මාධ්‍යකරණය


මීට දශක කිහිපයකයට පෙර හෝ ඊට පෙර පැවති පූර්ව සාම්ප්‍රදායික මාධ්‍ය පුද්ගල හා සමාජ ජීවිතය ඒකාබද්ධ කිරීමට (Unity) ප්‍රමාණවත් කාර්යභාරයක් කළේය’ පූර්ව සාම්ප්‍රදායික මාධ්‍ය ලෙස සැළකිය හැකි බලිතොවිල් ශාන්තිකර්ම, කෝලම් සොකරි වැනි සන්නිවේදනයන් හි නිර්මාණාත්මක ජීව ගුණය පැවතියා සේම ඒ තුළ පුද්ගල හා සමාජ ජීවිත ඒකරාශී කරන ස්වරූපයක් අන්තර්ගතව තිබුනි. පසුගිය දශක 3 කාලයකට පෙර රූපවාහිනිය මෙන්ම තවත් දශක 5 කට හෝ 6 කට පෙර ගුවන්විදුලි මාධ්‍ය ද පුද්ගල හා සමාජ ජීවිත ඒකරාශී කරන සන්නිවේදන භාවිතයක් ව පැවතිනි. පුද්ගලයන් හා සමාජය අතර අන්තර් ක්‍රියාවන්ට මෙන්ම සමාජානුයෝජනයට මෙන්ම සම්ප්‍රදායික මාධ්‍ය වෙසැසි කාර්යභාරයක් ඉටුකළ බව සන්නිවේදන හා සමාජ විද්‍යා පර්යේශකයන්ගේ මතය වන්නේය.



නමුත් අද එම කාරණා උඩු යටිකුරු කිරීමට නව මාධ්‍ය ප්‍රවණතාවයන් බරපතල ලෙස ඉවහල් වී තිබේ. ඊට මූලිකම හේතුව වී ඇත්තේ කාලය හා අවකාශ්‍ය ග්‍රාහකයාගේ කැමත්ත පරිදි තෝරා ගැනීමට විශාල වපසරියක් නිර්මාණය කර තිබීමයි. සම්ප්‍රදායික මාධ්‍යයන්හි හැඩතලයන් සකස් කරගැනීමට හා ඒවා නව මාධ්‍ය ප්‍රවණතාවයන්ට ක්‍රමිකව අනුගත වීමට නව මාධ්‍යහි මෙම සුවිශේෂි ගුණය ප්‍රබල ලෙස බලපා ඇත. උදාහරණ ලෙස පොදු අර්ථයෙන් රූපවාහිනිය හා ගුවන්විදුලිය සාම්ප්‍රදායික මාධ්‍ය වුවත් (Peo Tv) හරහා තමන්ට අවශ්‍ය වේලාවට තමන් කැමති වැඩසටහන නැරඹීමට ඇති හැකියාව හරහා රූපවාහිනියද දැන් නව මාධ්‍යයක් බවට පරිවර්තනය වෙමින් පවතී. අන්තර්ජාලය හරහා තමන් කැමති වැඩසටහන තමන්ට අවශ්‍ය වේලාවකදී ශ්‍රවණය කිරීමට ඉඩ පහසුකම් විවර වීමෙන් සාම්ප්‍රදායික මාධ්‍යහි ලා ගැනෙන ගුවන් විදුලියද නව මාධ්‍යයක් ලෙස ගොඩනැගෙමින් පවතී.


නව මාධ්‍යයේ සංස්කෘතික බලපෑම


සාම්ප්‍රදායික මාධ්‍ය තුළ මෙම විප්ලවීය පරිවර්තනයේ පදනම වන්නේ අන්තර්ජාලයයි. අන්තර්ජාලය හරහා සිදුකෙරෙන සන්නිවේදනය සමාජ හා පුද්ගල ජීවිත වල ඇතිකර තිබෙන බලපෑමද සුලුපටු නොවේ. විශේෂයෙන්ම සංස්කෘතික මිනිසා යටපත් වී සංස්කෘතිකත්වය අතික්‍රමණය කළ නව මානව ජීවියෙකු බිහි කිරීමට නව මාධ්‍ය හෙවත් ශාස්ත්‍රාලීය වශයෙන් හඳුන්වන මාර්ගගත ජනමාධ්‍යවේදය (Online Journalism) ඉවහල් වී තිබේ. අතිශය සංකීර්ණ හා විශාල ප්‍රාග්ධන ආයෝජනයක් වූ සාම්ප්‍රදායික සන්නිවේදනයේ සුලභ මාධ්‍ය භාවිතය වන ගුවන්විදුලය හා රූපවාහිනිය වෙනුවට සරළ තාක්ෂණයත් සුගම භාවිතයත් අවම පිරිවැයත් නව මාධ්‍ය ග්‍රාහක ප්‍රජාව අතර ප්‍රචලිත වීමේ මූලික සාදක ලෙස අනාවරණය වී තිබේ.


ඕනෑම අයෙකුට අවම පිරිවැයක් යටතේ තමන් කැමති පණිවුඩයක් අන්තර්ජාලය  භාවිතයෙන් නව මාධ්‍ය ඔස්සේ සමාජගත කිරීමේ හැකියාව දැන් නිර්මාණය වී ඇත’ එය සාම්ප්‍රදායික හා වෘත්තීය ජනමාධ්‍යවේදියාගේ (Traditional And professional Journalist ) භූමිකාවද යටපත් කර ඇත. ඕනෑම අයෙකුට තමන් සතු නව මාධ්‍ය මෙවලම භාවිතයෙන් තම සිතැඟි පරිදි මාධ්‍ය පණිවුඩයක් (Media Massage) සමාජගත කිරීමේ හැකියාව මේ හරහා ලැබී තිබේ. මෙය පුරවැසි මාධ්‍යකරණය (Citizen Journalist) ලෙස හැඳින්විය හැකිය.


මේ සියල්ල හරහා සලකා බැලිය යුතු වැදගත්ම කාර්යය වන්නේ නව මාධ්‍ය ප්‍රවණතාවයන් පුද්ගල හා සමාජ ජීවිත වලට සිදුකර ඇති සංස්කෘතික බලපෑමයි. නියාමනයක් සුපරීක්ෂණයක් නොමැති නව මාධ්‍ය භාවිතාව පුද්ගල ජීවිත වල අනන්‍යතාවයන් හෙලිදරව් කිරිමට මෙන්ම අනන්‍යතාවයන් සැගවීමට තාක්ෂණික හැකියාව ඔස්සේ සමත් වී ඇත. මෙය විවිධ සමාජ ගැටලු කෙරෙහි ද බලපා තිබෙන අතර පුද්ගල අනන්‍යතාව සැඟවීම මෙන්ම ව්‍යාජ අනන්‍යතාවයන් නිර්මාණය කිරීම ඒ හරහා සමාජ සංස්කෘතික සබඳතාවයන්ට බලපෑම් කිරීමද සිදුකර තිබේ. විශේෂයෙන්ම නව මාධ්‍යයේ ජනප්‍රිය ප්‍රවණතාවයක් වන සමාජ මාධ්‍ය ධාරාවක් වන මුහුණු පොත හෙවත් Face Book හරහා ඇතැම් පුද්ගල ජීවිතවලට සිදුකර ඇති බලපෑම සිද්ධි අධ්‍යයනයන්ට මෙන්ම පර්යේෂණ මාතෘකාවක් සඳහා ද වැදගත් ප්‍රස්තුතයක් වී තිබේ. මේ ආකාරයෙන් නව මාධ්‍ය ප්‍රවණතා සහ එහි සමාජ බලපෑම සාකච්ඡාවය බඳුන්කල හැකිය.



නිගමන


■ තාක්ෂණය නව මාධයෙහි මූලිකම ප්‍රපංචය වී ඇති හෙයින් තාක්ෂණය අභිබවා නව තාක්ෂණය මතුවීම එහි සුලභ ගුණයකි. තාක්ෂණය සමාජ සංස්කෘතික කාරණයක් නොවන බැවින් සමාජයට එයින් කරන බලපෑම නිරීක්ෂණය කළ හැකි වුවත් එය පාලනය කිරීම සඳහා හැකියාවක් නොපවතී.


■ තාක්ෂණය දිනෙන් දින වැඩිදියුණු වුවත් ඊට සාපේක්ෂව පුද්ගල හා සමාජ චර්යාවන්ගේ ගතිලක්ෂණ මානවවාදී ස්වරූපයකින් වැඩිදියුණු නොවීම නව මාධ්‍ය හෙවත් මාර්ගගත ජනමාධ්‍යවේදයේ (Online Journalism) ව්‍යපහරණයකට හෙවත් අවභාවිතයකට හේතුප්‍රත්‍ය වී  ඇත




පරිශීලන ග්‍රන්ථ


සන්නිවේදන ප්‍රවණතා - ආරියරත්න ඇතුගල

යතාර්ථය සහ නිර්මාණය - චන්ද්‍රසිරි පල්ලියගුරු

ජනමාධ්‍ය හා සංස්කෘතිය - රාවය ප්‍රකාශනයක්

සයිබර් අවකාශයේ කරනම් ගසන්නට පෙර…