Friday, 7 August 2020

ගුවන්විදුලි භාෂාව

අතීශයින් ප්‍රබල වනමාධ්‍යයක් වන ගුවන්විදුලිය ශබ්දය හෙවත් හඬ ආත්මය කොට ගන්නකී. ගුවන්විදුලි මාධ්‍ය ඔස්සේ සන්දේශයක් සමාජ ගත කරන මාධ්‍යකරුවන්, නිර්මාණකරුවන් ගුවන්විදුලියේ දී, මෙම ස්වභාවය පිළිබඳ ව විමසිලිමත් විය යුතුය. 

සෑම මාධ්‍යක ම භාෂාව එයට ආවේණික ගතිලක්ෂණවලින් යුක්ත ය. ඒ අනුව ගුවන් විදුලි මාධ්‍ය භාෂාව ද, ගොඩනැගෙන්නේ ඉහතින් දැක් වූ ශබ්දය හෙවත් හඬ පදනම් කරගත් අනන්‍යතාවක් යටතේය. සිනමාව, රූපවාහිනිය, වැනි මාධ්‍යයන්ගේ නිර්මාණශීලී වැඩසටහන්, වැඩසටහන් පිටපතක් තුළ භාවිත වන්නේ, සීමිත වදන් ප්‍රමාණයකී. එහි රූපය මඟින් පණිවිඩයෙහි වැඩි කොටසක් කියවෙයි. නමුත් ගුවන්විදුලිය ඔස්සේ එවැනි චලන රූප පෙන්වීමට හැකියාවක් නොමැත. පුවත්පතක මෙන් නැවත නැවත ගුවන්විදුලි සන්දේශ පරිශීලනය කිරීමේ හැකියාවක් නොමැත. එබැවින් ගුවන්විදුලි මාධ්‍ය තුළ දෑසින් කියවීමට නොව සවනින් කියවීමට සමත් භාෂාක්‍රමවේදයක් භාවිතයට ගත යුතු වේ. ගුවන්විදුලි මාධ්‍ය සන්දේශයක් ග්‍රාහකගත කිරීමේ දී ගුවන්විදුලි සන්දේශය අන්තර්ගතය විවිධ ශබ්දප්‍රභේදයන් යටතේ පෙළගස්වයි. 

ඒ අනු ව, ගුවන්විදුලි සන්දේශයක් තුළින්, පහත සඳහන් ශබ්ද ස්වභාවයන් හඳුනා ගත හැකිය. 

■ වචන
■ සංගීතය
■ කෘත්‍රිම ව නිපදවා ගත් හඬ
■ නිහඬ බව

නිර්මාණශී ව ගු.වි.මා භාවිත කිරීමේ දී සහ භාෂාව හැසිරවීමේ දී, ඉහත දැක් වූ ශබ්ද ක්‍රමෝපායන් පිළිබඳ ව, අවධානය යොමු කළ යුතුය. එසේ ම, ගු.වි.මා භාෂව භාවිතයේ දී, මූලික ව ගු.වි.මා සතු දුබලතාවන් ප්‍රබලතාවන් පදනම් කොට ගත් මාධ්‍ය ක්‍රියාකාරීත්වයේ ආකෘතිකමය ක්‍රියාකාරී ස්වභාවයන් පිළිබඳ ව, අවධානය යොමු කළ යුතු වේ. ස්වභාවයෙන් ම ගු. වි සැලකෙන්නේ ක්ෂණික සහ සෘජුමාධ්‍යක් වශයෙනී. මොහොතකින් එක විට විශාල ශ්‍රාවක සමූහයක් සෘජු ලෙස ඇමතීමේ හැකියාව ගු. වි සතුය. එමෙන් ම, ශ්‍රාවකයාගේ පරිකල්පනය පුළුල් කරවීමේ හැකියාව ගු. වි සතු වේ. මැනවින් චිත්තරූප මවමින් ඕනෑ ම අවස්ථාවක් ගු.වි බස භාවිතාව ඔස්සේ සමාජගත කළ හැකිය. 

ගු.වි ජංගම සේවා මාධ්‍යකී. ඕනෑ ම අයෙකුට පහසුවෙන් හැසිරවීමටත් එහා මෙහා ගෙනයාමටත් හැකිය. ගු.වි සතු ප්‍රබලතාවයන් මෙසේ එන විට එය සතු දුබලතා කීපයක් ද පවතී. ප්‍රධාන ම දුර්වලතාව වන්නේ ගු.වි ශ්‍රවණභංගුරත්වයයි. (ක්ෂණයෙන් ඇසී නෑසී යයි) එබැවින් ඕනෑ ම සන්දේශයක් ඇසී නෑසී යාමට පුළුවනී. ඇතැම්විට මෙය ගැටළුවක් බවට ද පත්වේ. 

අනෙක් දුර්වලතාව වන්නේ ගු.වි දුරස්ථ සහ ආගන්තුක මාධ්‍යක් වීම යි. මෙම දුරස්ථ බව හා ආගන්තුක බව ශ්‍රාවකයා ගු.වි ඈත් කර තැබීමට සමත් වේ. එවිට ගු.වි ඔස්සේ ගෙන එන සන්දේශයන් පිළිබඳ ව විශ්වසනීයත්වය පළුදු කරගැනීමට ශ්‍රාවකයාට සිදු වේ.

 මෙපරිද්දෙන් ගු.වි සතු සියලු ම ස්වභාවයන් පිළිබඳ ව ගු.වි භාෂා භාවිතයේ දී අතීශයින් ඈත්කර තැබීම නොව සමීප කර ගැනීමේ අරමුණෙන් සිදු කළ යුතුය.

මී ළඟ ලිපිය ගුවන්විදුලි ආකෘති පිළිබඳ ව ය.


Thursday, 9 July 2020

නව මාධ්‍ය




ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ලෝකය ගෝලීයකරණයට ලක් විය. තාක්ෂණික විප්ලවයේ ප්‍රථිඵලයක් ලෙස නවමාධ්‍ය බිහි විය. අන්තර්ජාලය හා සමාජජාල මාධ්‍ය සන්නිවේදන මාධ්‍ය ස්වරූපවල සියලු ආකෘතික ලක්ෂණ ඉවත් කළේය. වර්තමානයේ වඩාත් ජනප්‍රිය ව ඉදිරියට ගමන් කරනු  දක්නට ලැබෙනුයේ නවමාධ්‍ය යි.

තවත් ලෙසකින් දක්වන්නේ නම් නවමාධ්‍ය යනු, අංකිත තාක්ෂණය ඔස්සේ තොරතුරු අංකිත කිරීම, ශබ්දය, වචන, දත්ත, ග්‍රැෆික්ස්, චිත්‍ර, රූප, වීඩියෝ, හකුළුවා ඒවා ඉතාපහසුවෙන් පිටපත් කර, අඩු පිරිවැයක් යටතේ, ඉතා වේගයෙන් බෙදාහැරිය හැකි මාධ්‍යකී. මෙම දත්ත, හඬ, යනා දී සියල්ල බින්දුවත් එකත් අතර අංකිත තාක්ෂණ ක්‍රමවේදයන්ට හකුළුවා දැක්විය හැක.
නවමාධ්‍ය දුරකථනය හා අන්තර්ජාලය ඔස්සේ බිහිවූවකී.

 දුරකථනය ප්‍රධාන වශයෙන් කටහඬ, හා සංඥා මත රැඳී පවතී. රැහැන් සහිත දුරකථන ක්‍රියාවලිය මේ වන විට රැහැන් රහිත වී ඇති අතර එය අංකිත දුරකථන තාක්‍ෂණය දක්වා වර්ධනය වී ඇත.

අන්තර්ජාලය නව මාධ්‍යයක් ලෙස සැලකිය හැකි වන්නේ එමඟින් ජාල ගත වේගවත් තොරතුරු හුවමාරුවක් සිදු වන බැවිනි. 1960 දශකයේ පරිගණකය ආශ්‍රයෙන් එකිනෙකා අතර විශේෂයෙන් පර්යේෂණ පදනම් කර ගෙන විද්‍යාව සම්බන්ධ තොරතුරු සංසරණය හා යුද හමුදා ක්ෂෙත්‍රවලට අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීමට ගත් උත්සාහයේ ප්‍රතිඵල ලෙස නව මාධ්‍ය බිහි විය.

නව මාධ්‍ය බිහි වීම සඳහා ආර්ථික සමාජ, දේශපාලන, තාක්‍ෂණය ආදි ක්ෂේත්‍රවල වෙනස්කම් බලපා ඇත. ඒ අතර තොරතුරු තාක්‍ෂණයේ වර්ධනය වීම ද ප්‍රධාන වේ.
 
ටිම් බර්නස් ලී (Tim Berners Lee) විසින් ලෝක ව්‍යාප්ත ජාලය (World Wide Web - www)පිළිබඳ අදහස ඉදිරිපත් කිරීමත් සමග නව මාධ්‍යයේ වර්ධනය වේගවත් විය.

විවිධ මාධ්‍ය සමීප වීම සහ එක් වීම එනම් අභිසාරිතාව නව මාධ්‍ය ව්‍යාප්ත වීම කෙරෙහි බලපෑ ප්‍රබල සාධකයකි. මෙය නව සන්නිවේදන තාක්‍ෂණ වර්ධනයේ ප්‍රතිඵලයකි.

නවමාධ්‍ය, ලෝකයේ ක්‍රියාත්මක වන නවතම මාධ්‍ය ස්වරූපය යි. මෙය ජනමාධ්‍යයෙන් පසු ලෝකයේ බිහි වූ මාධ්‍ය ස්වරූපය සඳහා භාවිත කෙරෙන නාමය යි. විශේෂයෙන් ඩිජිටල් තාක්ෂණය තුළ නිර්මාණය වූ උපකරණ සහ හැකියාව නවමාධ්‍ය ලෙස හඳුන්වයි. අන්තර්ජාලය මෙහි ප්‍රමුඛත ම සාධකය වේ. ඊට CD, DVD, ජංගම ස්මර්ට් දුරකථන, පරිගණක ක්‍රීඩා ආදිය අයත් වේ.

නව මාධ්‍ය ලක්ෂණ

  1. අංකතිකරණය                         (Digitalisation)  
  2. ජාලගතකරණය                      (Networking) 
  3. අන්තර්කිය්‍රාකාරිතව්ය          (Interactive)  
  4. අධිපාඨනයීතව්ය                     (Hypertextuality) 
  5. සව්යංකරණය                          (Automation) 
  6. දත්ත සංචිතකරණය              (Database) 
  7. වේගවත් සන්දේශකරණය    (Fastest massaging)










මෙමඟින් පණිවිඩ හුවමාරු කරගැනීම පහසුය; වේගවත්ය; පහසුය; ලාභදායක වේ.

  •  ප්‍රතිපෝෂණය සිදුවීම.
  • බහුමාධ්‍ය ස්වරූපය.
  • ඕනෑ ම ස්ථානයක සිට සම්බන්ධ විය හැකි වීම. 
  • ඕනෑ ම කෙනෙකුට සම්බන්ධ විය හැකි වීම.
  • තනිපුද්ගලයෙකුගේ සිට පුද්ගලයන් අති විශාල සංඛ්‍යාවකට ආමන්ත්‍රණය කළ හැකි වීම, වැනි සාධක ගණනාවක් හේතුවෙන් නවමාධ්‍ය විශේෂ වේ.

නවමාධ්‍ය ලක්ෂණ මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.