Wednesday 21 July 2021

මනෝ විශ්ලේෂණවාදී විචාරය

මෙම විචාරයට පදනම සකස් වන්නේ සිග්මන් ෆ්‍රොයිඩ් මහතා ඉදිරිපත් කර ඇති මනෝවිද්‍යාත්මක සිද්ධාන්තය. ඔහු ඉදිරිපත් කර ඇති ඊඩිපස් සහ ඉලේක්ට්‍රා සංකීර්ණයන්හි බලපෑම් පුද්ගල චර්යයා තීරණය කරන බව දක්වා ඇත. ඉන් විග්‍රහ වන්නේ කුඩා කාලයේ පටන් පිරිමි දරුවන් මවටද,ගැහැනු දරුවන් පියාටද සමීපව කටයුතු කරන ස්වභාවය පිළිබදවය. මෙතුමා තව දුරටත් චිත්තවේග ක්‍රියාකාරිත්වය අදියර තුනක් යටතේ විග්‍රහ කර දක්වයි. එනම්  ID, EGO, සහ SUPER EGO වශයෙනි. 

ID යන්න මගින් දළ සිත හදුන්වයි. එනම් මතුපිට සිතයි. EGO යන්නෙන් පහන් සිත හදුන්වයි. මිනිස් සිත තුළ විවිධ ආශාවල් ඇති වේ. බඩගින්න,පිපාසය ,නිදිමත යනාදී උවමනා අපගේ සිතට නැගුණු අයුරින්ම ක්‍රියාත්මක වන්නේ නැත. මෙම පහන් සිතේ ක්‍රියාකාරිත්වය තුළින් අප අපගේ සිත තුළ  ඇති වන ආශාවන් කිසියම් සමාජ සම්මතයකට අනුව හසුරුවා ගනී. මෙම  EGO හෙවත් පහන් සිත සකස් වන්නේ සමාජ ඉගෙනුම් තුළිනි. අපගේ ආශාවන් සමාජ සම්මතයන්ට අනුගත වෙමින් පාලනයට ලක්කර ගැනීම මෙහිදී සිදු වේ.

SUPER EGO යනු සුපසන් සිත වේ. හෘද සාක්ෂිය ලෙස මෙය හදුන්වයි. අප කරන ක්‍රියාවන් පිළිබද අප තුළ ම යම් විනිශ්චයක් ඇති වන්නේ සුපහන් සිතේ බලපෑමෙනි.

මීට අමතරව සිග්මන් ෆ්‍රොයිඩ් මහතා මනස ජලය මත පාවෙන හිම කුට්ටියකට සමාන කර දක්වයි. ජලයේ පාවෙන හිම කුට්ටියක හතරෙන් එකක් ජලය මතුපිට දර්ශනය වන අතර එහි හතරෙන් තුනක ප්‍රමාණයක් ජලය යට වැසී පවතී. මනස කර එන පණිවිඩවලට ප්‍රතිචාර දැක්වීමේදී මේ සැගවුණු මනසේ ක්‍රියාකාරිත්වය බලපෑමක් එල්ල කරයි. නමුත් එය අපට ඇතැම් විට වටහා ගැනීමට අපහසු වේ.


👉විඥානය යනු මනසේ සවිඥානික කොටස වේ. එහි තැන්පත් වී ඇති ඇති තොරතුරු අපේ මතකය තුළ  පැහැදිලිය.

👉පෙර විඥානය නොගැඹුරු මුහුදට සමාන වේ. එහි තැන්පත් වී ඇති දේ මතකයෙන් දුරස් වේ. නමුත් යම් වෙහෙසක් දරා පසුව එය මතකයට කැදවා ගත හැකි වේ.

👉අවිඥානය ගැඹුරු මුහුදට සමාන වේ. එහි ඇති දේ අපට වටහාගත නොහැකිය. එහෙත් අපගේ චර්යාවන් තීරණය වීමේදී සහ අප සමාජය වෙත දක්වන ප්‍රතිචාර තීරණය වීමේදී අවිඥානය තුළ ගබඩා වී ඇති මතකයන් ඉතා තීරණාත්මක බලපෑමක් එල්ල කරන බව සිග්මන් ෆ්‍රොයිඩ් මහතා දක්වයි. 

මෙම කාරණා මනෝ විශ්ලේෂණවාදී විචාරයේදී ඉතා සියුම්ව යොදා ගැනේ. මේ අනුව සෑම මිනිසෙකුගේ ම හැසිරීම් රටාව අවිඥානික ස්වභාවයන් බොහෝ පවතින බව ඉහත විග්‍රහය ගම්‍ය කරනු ලබයි. 

👌මෙම කරුණු තවදුරටත් පුළුල්ව අවබෝධ කර ගැනීමට ජෝ ලෆ්ට් සහ හැරී ඉන්ග්‍රම් යන දෙදෙනා ඉදිරිපත් කර ඇති ජෝහාරිගේ කවුළුව විග්‍රහයද ඉතා වැදගත්ය.

01. කවුළුව  - 

මනසේ විවෘත ප්‍රදේශය යි. යම් පුද්ගලයෙකුගේ චර්යාවේ ස්වභාවය තමන් මෙන්ම අනුන්ට ද  වටහාගත හැකි තරම් විවෘතය.


02. කවුළුව - 

අදාළ පුද්ගලයාගේ චර්යාවල ස්වභාවය අන්අයට නොවැටහෙතත් තමන් දකි. ඇතැම් පුද්ගලයන් තමන්ගේ චර්යාවන්ගේ අරමුණු පිළිබද දැනුවත්ය. එහෙත් අනුන්ට අවබෝධ කර ගැනීමට අපහසුය. එම කවුළුව විශාල වූ විට අන් අයට අවබෝධ කර ගත නොහැකි අයෙක් බවට පත් වේ.


03. කවුළුව - 

අපගේ ඇතැම් චර්යයා ස්වභාවයන් අප හට නොවැටහුණද අන් අයට වැටහීම මින් අදහස් වේ.    නිදසුනක් ලෙස තමන්ගේ හැසිරීමේ ගැටලුවක් අන් යට පෙනුන ද තමන්ට එය නොවැටහීම මෙම  තත්ත්වයේ ස්වභාවයයි.


04. කවුළුව - 

තමනුත් නොදන්නා අනුන් ද නොදන්නා ප්‍රදේශයක් ගැන මින් කියවේ. 

👉අප එම අවස්ථාවේ එලෙස හැසිරුණේ  ඇයි ?

👉එවන් ප්‍රතිචාරයක් දැක්වුයේ කෙසේද ? 

යන්න තමාටත්, අන් අයටත් නොවැටහේ. එය වී ඇත්තේ යටි හිත හෙවත් අවිඥානය නම්  ගැඹුරු මුහුදේ හෙවත් අදුරු අගාධයේ සැග වී තිබෙන මතකයන් අපගේ ප්‍රතිචාර දැක්වීමට මෙහෙය වීමෙන් බව මින් විග්‍රහ වේ.

ඕනෑ ම සන්නිවේදකයකු සංදේශ සැලසුම් කිරීමේ දී ඔහුගේ මානසික ස්වභාවයන් සවිඥානිකව හෝ අවිඥානිකව සංදේශය තුළට ගමන් කරයි. එසේ ම ග්‍රහකත්වයේ දී ග්‍රාහකයා සංදේශය පිළි  ගැනීම හෝ නොපිළිගැනීම කෙරෙහි මෙම තත්ත්වය බලපානු ලැබේ.
 
මනෝ විශ්ලේෂණවාදී විචාරය සදහා පාදක කර ගනු ලබන්නේ මෙම සිද්ධාන්ත ය. මානව ජීවිතය සංදේශ තුළ ප්‍රතිනිර්මාණය වීමේ දී එම චරිත ස්වභාවයන් පොළඹවනු ලබන හේතු විශ්ලේෂණය කිරීම අතිශය සියුම් කාර්යයක් වේ.  

මනෝ විශ්ලේෂණවාදී සංදේශ විචාරකයා එම විශ්ලේෂණ සිදු කරන්නේ ඊට අදාළ වන සිද්ධාන්ත පාදක කර ගනිමිනි. මනෝ විශ්ලේෂණවාදී විචාරයේ දී මනෝ විද්‍යාව ඔස්සේ මාධ්‍ය සංදේශ අවධානයට ගනිති. 

ළදරුවන් නොසන්සුන් කිරීමට මාධ්‍ය බලවත් බලපෑමක් කරන බව මනෝ විශ්ලේෂණවාදී මතයකි. මෙය අප අවධානයට ගත යුතු වේ. වෙළද දැන්වීම් අපගේ මුලික සිහිකල්පනාවන්හි සැගවුණු සිතුවිලිවලට ආමන්ත්‍රණය කිරීමේ මාර්ගයක් බව ලෝක මනෝ විශ්ලේෂණවාදීහු දක්වති. එමගින්ද අපට නව චින්තන ආලෝකයක් ලැබේ. මේ ඔස්සේ සංකේතාත්මක මාධ්‍ය භාවිතාවන්හි යටි අරුත් විමසිය හැකිය. මනෝ විද්‍යාත්මකව බැලීම තුළින් ග්‍රාහක චින්තනය වර්ධනය වේ. 

එසේ ම මෙම විචාරයේ මාධ්‍ය මගින් සිදු කෙරෙන චිත්තවේගී බලපෑම් කෙරෙහි ද අවධානය යොමු කරයි. මාධ්‍ය උපදවන සිතුවිලි හා හැගීම් මගින් ආතතිය ඇති වන්නේ කෙසේ ද යන්න විමසයි. එසේ ම වෙළද දැන්වීම් වැනි මාධ්‍ය ක්‍රියා හේතුවෙන් බිහි වන පුනරුක්තිය (නැවත නැවත ප්‍රචාරය) මගින් සිදුවිය හැකි මානසික බලපෑම ග්‍රාහක සාකච්ඡාවට එකතු කිරීම පිණිස ද මෙම විචාර දෘෂ්ටිය උපකාරී කර ගත හැකි වේ. 

ඊට අමතරව මාධ්‍ය ඇසුර මගින් ගොඩනැගෙන අන්තර්වර්ති හා අන්තර්පුද්ගල සම්බන්ධතා කෙරෙහි අවධානය යොමු කළ හැකිය. මනඃකල්පිත ජිවිතවලට තල්ලු කිරීමට මාධ්‍ය ක්‍රියාකාරකම් හේතුවන අන්දම ආදිය විමසීමෙන් සියුම් බුද්ධියකින් යුතු පුද්ගලයෙකු බිහි වේ. 

ආචාර්යතුමා




No comments:

Post a Comment