Monday 19 July 2021

මාධ්‍ය විචාරය 'මාක්ස්වාදී විචාරය'

මාක්ස්වාදී විචාරයේ පදනම ලෙස ආර්ථික නියතිවාදී සිද්ධාන්තය යොමු කරනු ලැබේ. මෙම විග්‍රහය සමාජ විශ්ලේෂණය සදහා කාල් මාක්ස් මහතා විසින් යොදා ගනු ලැබූ අතර කලා සාහිත්‍ය විචාරය සදහාද එය පාදක කර ගනු ලබන බැවින් එය මාක්ස්වාදී විචාරය ලෙසින් හදුන්වනු ලැබේ.

මාක්ස්වාදී විචාරයේ ප්‍රමුඛ අදහස වන්නේ ධනේශ්වර සමාජයේ අවශ්‍යතා හා වරප්‍රසාද ලත් සහ පවත්නා බල සමූහ ශක්තිමත් කිරීම සදහා මාධ්‍ය නිෂ්පාදන කාර්යය මගින් ග්‍රාහකයා හට විවිධ දේ පැවරීම,පතුරුවා හැරීම හා පරාවර්තනය කිරීම පිළිබද මෙම මාධ්‍ය විචාරයෙන් විමර්ශනය කෙරේ. මාධ්‍යවල පවත්නා ආර්ථික හා සංස්කෘතික පදනමත්,බලය හා මුදල් ඉලක්ක කොට මාධ්‍ය නිර්මාණ බිහි වීමත් මෙමගින් විශ්ලේෂණය කළ  හැකිය. එසේම මෙම විචාරයට අනුව ධනය හා බලය පිළිබද අසමතුලිතතාව සහිත සමාජීය ආයතන මාධ්‍ය විසින් ශක්තිමත් කරනු ලබන ආකාරයත්, මාධ්‍ය ආධිපත්‍ය පවත්වාගෙන යනු ලබන ආකාරයත් විමසිය හැකිය. මෙවැනි විචාර නුතන ග්‍රාහකයාට අත්‍යවශ්‍ය වේ. 


මෙම විචාරයට අනුව ධනේශ්වර චින්තනයට අනුගත වුවන් සංදේශ ක්‍රියාවලිය මෙහෙයවන්නේ තම ධනේශ්වර ආර්ථික වුවමනාවන් ශක්තිමත් කරන අදහසිනි.ඒ තුළින් ධනේශ්වර දෘෂ්ටිවාදය පෝෂණය කරනු ලබයි.

මාක්ස්වාදී විචාරය සදහා පාදක කර ගනු ලබන ආර්ථික නියතිවාදී සිද්ධාන්තය පිළිබද යම් අදහසක් පහත සටහනෙන් තේරුම් ගත හැකිය.





👌ඉහත සිද්ධාන්තයට අනුව, 

සමාජයක දේශපාලන,බලය,නිතිය,අධ්‍යාපනය,සාරධර්ම,සංස්කෘතිය,වෙළදපල,සාහිත්‍ය හා මාධ්‍ය ඇතුළත් සමස්තය ගොඩ නැගෙන්නේ එකී සමාජයේ සම්පත් ඒකරාශී කර ගැනීමේ ක්‍රමය හෙවත් අර්ථ ක්‍රමය පදනම් කර ගනිමිනි. ඒ අනුව රටේ ප්‍රධාන ධාරාවේ සාහිත්‍ය කලා සහ මාධ්‍ය ක්‍රියාවලියද ගොඩනැගෙන්නේ ඉහත අර්ථ ක්‍රමයට පාදකව ඊට අනුගත වෙමිනි. ඒ තුළ නිර්මාණය වන විවිධාකාර සංදේශ එම පදනම නිරුපණය  කරමින් ආරක්ෂා කිරීම් හා නඩත්තු කිරීමට වෙහෙසෙයි.
 
ආර්ථික නියතිවාදී සිද්ධාන්තයට අනුව පුද්ගල අපේක්ෂාවන්,ලැදියාවන් සහ හැසිරීම්වලට හේතුකාරක වන්නේද මෙම ආර්ථික පදනමයි. පුද්ගලයා නියෝජනය කරන ආර්ථික පදනම හෙවත් පන්තිය අනුව ඔහුගේ සිතුම් පැතුම් හා අපේක්ෂා, චර්යාවන් තීරණය වන ආකාරය තේරුම් ගැනීමෙන් ඉහත සිද්ධාන්තය තේරුම්ගත හැකි වේ. මෙම විචාරය ඔස්සේ විවෘත සමාජය මෙන්ම  සංදේශවල චරිත හැසිරීම් විභාගකර බැලීමද මෙම සිද්ධාන්තය පාදක කර ගැනේ.

ආර්ථික නියතිවාදී සිද්ධාන්තය ඔස්සේ ආර්ථික පදනම නමැති අධෝ ව්‍යුහයට අනුව උපරි ව්‍යුහයේ සියලු සාධක ගොඩ නැගෙන ආකාරය විශ්ලේෂණය කිරීමට මාක්ස්වාදී විචාරයේදී උත්සහ දරති. මෙහිදී සමාජ ව්‍යුහයේ ස්වරූපය පමණක් නොව පුද්ගල ලැදියා හා අපේක්ෂා විභාගයට ද ඉහත පදනම භාවිතා කළ  හැකිය. 

වහල් සමාජය තුළත්,වැඩ වසම් සමාජය තුළත්, ධනවාදී සමාජය තුළත්, පශ්චාත් නුතනවාදී සමාජය තුළත්  ජීවත්වන පුද්ගලයාගේ පැවැත්ම තීරණය කරනු ලබන්නේ මෙම සමාජයේ අධෝ ව්‍යුහයේ සාධක විසිනි. පුද්ගලයා සමාජානුයෝජනය වන්නේ එම අධෝ ව්‍යුහීය පදනම මත ගොඩ නැගෙන උපරි ව්‍යුහීය සමාජ වටපිටාව තුළ ය.


No comments:

Post a Comment