වර්තමානයවන විට සමස්ථ ජනමාධ්‍ය පද්ධතිය තුළ සමාජීය ජීවිතය මෙන්ම පුද්ගලික ජීවිතය කෙරෙහිද ප‍්‍රබල බලපෑමක් කරමින් තීරණාත්මක ආධිපත්‍යයක් පවත්වාගෙන යන්නේ රූපවාහිනී මාධ්‍යයයි.
මානව සංජානන ක‍්‍රියාවලියෙහි පවත්නා යම් යම් විශේෂතාත්, දෘශ්‍ය මාධ්‍යයෙහි පවත්නා තාක්‍ෂණික ගති ස්වභාවයනුත් පදනම් කරගෙන රූපවාහිනී මාධ්‍ය සෙසු මාධ්‍ය අභිබවා සිටී. එම තත්වය තුළ මිනිසාගේ පෞද්ගලික මෙන්ම සමාජ ජීවිතය කෙරෙහි සෘජු බලපෑමක් කිරීමට රූපවාහිනී මාධ්‍යයට හැකියාව ලැබී ඇත . රූපවාහිනිය ගෝලීය ප‍්‍රපංචයකි. ලොව පුරා පේ‍්‍රක්‍ෂකයන් රූපවාහිනිය නරඔති. ඒ අනුව වර්තමාන ලෝකයේ ගෝලීයකරණයේ තීරණාත්මක ජනමාධ්‍ය බවට රූපවාහිනී මාධ්‍ය පත්ව ඇත. එම තත්වය තුළ සංස්කෘතිකාංග සමාජගතවීම සඳහා රූපවාහිනී මාධ්‍යය සෘජුලෙස බලපෑම් කරයි.
මානව සමාජය වෙනත් සත්ව සමූහයාගෙන් වෙන්කර පැහැදිලිවම දැක්විය හැකි මුලික සාධකයක් වශයෙන් සංස්කෘතිය හඳුනාගැනීමට ලැබේ. සංස්කෘතිය යන සංකල්පය එදිනෙදා ව්‍යවහාරයේ යෙදෙන ආකාරයට වඩා වෙනස් ස්වරූපයෙන් සමාජ ශාස්ත‍්‍ර වලදී අධ්‍යනය කෙරේ. සංස්කෘතිය සම්බන්ධයෙන් ප‍්‍රධාන වශයෙන් අධ්‍යයනය කරනු ලබන්නේ මානව විද්‍යාඥයින්ය. ඊට අමතරව සමාජ විද්‍යාඥයන්ද මේ සම්බන්ධයෙන් විවිධ අධ්‍යයන සිදුකොට ඇත. නමුත් සංස්කෘතිය යන සංකල්පය සම්බන්ධයෙන් එක් පැහැදිලි නිර්වචනයක් සැපයීම අපහසුවී ඇත. සංස්කෘතිය චර්යාත්මක විෂයන්ට සම්බන්ධවූවකි. මිනිසාගේ චර්යාව කලින් අනාවරණය කිරීමට හැකියාවක් නොමැත. එය සැනෙකින් වෙනස්වන සුළුය. සමාජය පිළිබඳව විමසා බලන විට එය තවදුරටත් සංකීර්ණවේ. එබඳු තත්වයක් තුල පුද්ගල චර්යාවන් පිළිබඳව විවරණ සපයන සංස්කෘතිය නැමැති සංකල්පය පිළිබඳව පොදු නිර්වචනයක් සැපයීම අපහසුවී ඇත. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් පිළිගත් නිර්වචන ගනණාවක්ම ඉදිරිපත්වී ඇත.
”1951 දී සංස්කෘතිය පිළිබඳව ගවේෂණාත්මකව අධ්‍යනයකළ ඒ.එල්. ක්‍රෝබර් හා ක්ලයිඞ් ක්ලක්හෝන් යන මානව විද්‍යාඥයන් පෙන්වාදුන්නේ මෙම සංකල්පයට එවකට නිර්වචන 164ක් තිබූ බවයි ”
”සංස්කෘතිය යන සංකල්පය සමාජ සංවිධාන හා සම්බන්ධ කරගනිමින් මලිනොවුස්කි හා ප‍්‍රාන්ස් බෝආස් නම් මානව විද්‍යාඥයින් පැහැදිලිකර ඇත. මලිනොවුස්කි ප‍්‍රකාශකල පරිදි සංස්කෘතිය ශිල්පීය ක‍්‍රම, භාණ්ඩ, තාක්‍ෂණික ක‍්‍රියාවලින්, අදහස් පුරුදු සහ ඇගයීම් වලින් සංයුක්තවී ඇතිබව කියවේ. ඔහු වැඩිදුරටත් පවසනුයේ මේ සියලූ අංග ලක්‍ෂණ අන්තර් සම්බන්ධවී ඇති අතර සමස්ත ජිවන රටාවේ ස්වරූපයක් එමගින් ගොඩනංවන බවයි.”
”මාග‍්‍රට් මීඞ්, ඒ.එල්.ක්‍රෝබර්,රූත් බෙනඩික්ත් සංස්කෘතිය සමාජීය විද්‍යාවන්වල මධ්‍යගත සංකල්පය ලෙස හඳුන්වාදී ඇත. 1940 දි රැල්ෆ් ලින්ටන් සංස්කෘතිය හඳුන්වා දුන්නේ සමාජයේ සාමාජිකයන් විසින් පවරනු ලබන බෙදාහදාගනු ලබන ඉගෙනගත් හැසිරීම් රටාව ලෙසයි.”
සංස්කෘතිය යනු සමාජ උරුමයකි. එය තනි පුද්ගලයෙකු එක මොහොතක ගොඩනගාගත් දෙයක් නොවේ. කාලයක සිට විවිධ සමාජ සමූහ ක‍්‍රම ක‍්‍රමයෙන් සකස්කරගන්නා ලද ක‍්‍රියාවලියකි. දැනුම, විශ්වාස, හෝ ඕනෑම මානවීය ක‍්‍රියාවලියක් කාලයක් තිස්සේ පරිණාමයවෙමින් ඉදිරියට ගමන්කරයි. මෙවැනි තත්වයක් මත සංස්කෘතිය සමාජයක් මගින් උරුම කරගත් දෙයක් වශයෙන් දැක්වීමට හැකියාවක් ඇත. එසේම පරම්පරාවෙන් පරම්පරාවට මිනිසා විසින් ගෙනයන ලද දෙයක් වශයෙන්ද සංස්කෘතිය අගයකළ හැකිය. සංස්කෘතියක් තුළ එකතු කිරීම්, අඩු කිරීම්, දක්නට ඇත. එසේ වන්නේ එක් එක් කාලයට සමගාමීව පුද්ගල අවශ්‍යතාවල වෙනසක් ඇතිවන බැවිනි. නව තාක්‍ෂණය, නව අදහස් සංස්කෘතියට අලූතින් එකතුවෙයි. එසේම පැරණි සංස්කෘතියට අදාල වූ එහෙත් නව සංස්කෘතියට එතරම් අදාල නොවන සංස්කෘතිකාංග ක‍්‍රමයෙන් බැහැරවේ.
සංස්කෘතිය යන සංකල්පය හඳුනා ගැනීමේදී එහි අන්තර්ගතය විමසා බැලීම ඉතා වැදගත්වේ. ඕනෑම සංස්කෘතියක් තුළ ප‍්‍රධාන වශයෙන් අංග ලක්‍ෂණ ත‍්‍රිත්වයක් හඳුනා ගැනීමට ලැබේ. අදහස්, ධර්මතා සහ භෞතික සංස්කෘතිය එම අංග ලක්‍ෂණයි. අදහස් යනු සිතන දේවල්ය. එහෙත් සියලූදෙනා සිතන සියල්ලක් අදහස් වශයෙන් සංස්කෘතියට ඇතුළත් නොවේ. සමාජයට හිතකර, සමාජයේ කටයුතු වලට දායකවන, කලක් තිස්සේ සමාජය තුළ පැවතුණු අදහස් මේ අනුව සංස්කෘතියට අන්තර්ගතවේ. සාම්ප‍්‍රදායික ජන ශ‍්‍රැති, ජන කතා, උපමා, ප‍්‍රස්ථා පිරුළු ආදිය අදහස් වශයෙන් ක‍්‍රියාත්මකවේ. නවීන සමාජවල සාම්ප‍්‍රදායක සමාජවලට වඩා සංකීර්ණ අදහස් හඳුනා ගැනීමට ලැබේ. තාක්‍ෂණික අදහස්, ආගමික අදහස්, විද්‍යාත්මක අදහස්, දේශපාලනික අදහස් ඒ අතර ප‍්‍රධානවේ. අදහස් පිළිබඳ ලැයිස්තුවක් රොබට් බියෙස්ටෙඞ් නම් සමාජ විද්‍යාඥයා සිය සමාජ පර්යාය නැමැති කෘතියේ ඉදිරිපත්කර ඇත. එනම්
”ආගමික සත්‍යයන්, ආගමික විශ්වාස, මිත්‍යාවන්, පුරාවෘත්ත, සාහිත්‍ය, අද්භූත කතා, උපමා, ප‍්‍රස්ථාව පිරුළු හා ජන ශ‍්‍රැතිවේ.”
1945 දී විශ්වීය සංස්කෘතිය තුළ පවතින ලක්‍ෂණ පිළිබඳව ජෝර්ජ් මර්ඩොක් නැමැති සමාජ විද්‍යාඥයා අදහස් ඉදිරිපත්කර ඇත. ඔහු දැක්වූ ආකාරයට විශ්වීය සංස්කෘතියක අංග ලක්‍ෂණ මෙසේය.
- ආගම

- ඉවුම්/පිහුම්
- මෝස්තර
- ජනශ‍්‍රැති
- පවුලඅවමංගල්‍ය චාරිත‍්‍ර
- විවාහය
- මිත්‍යා විශ්වාස
- නීති ක‍්‍රීඩා
- දින දසුන්භාෂාව
- අධිකරණ ක‍්‍රමවේදයන්
- දේශගුණික තත්වයන්ට ගැළපෙනසේ අනුගතවීම
- නෘත්‍ය රංගන
- සිහින අරත්නිරූපන
- ආහාර පුරුදු
- ආහාර තහංචි
- ත්‍යාග හුවමාරු
- කොණ්ඩා මෝස්තර
- වෛද්‍ය ක‍්‍රම
- සංගීතය අක්ෂර
- පුද්ගල නාම
- දේපළ
- ලිංගික තහංචිවානිජ කටයුතු අවි නිපැයුම”
සංස්කෘතිකාංග සමාජගතවීම විවිධ ස්වරූපයන්ගෙන් හඳුනා ගැනීමට ලැබේ. සංස්කාතික විසරණය යනු එවැන්නකි. එහිදී සිදුවන්නේ කිසියම් සංස්කෘතියකට අයත් අයත් සංස්කෘතිකාංග තවත් සංස්කෘතියක අංග අතරට ඇතුළත් කරගැනීමයි. උදාහරණ වශයෙන් බි‍්‍රතාන්‍ය පාලනය යටතේ දකුණු ආසියාතික රටවලට ඉංග‍්‍රීසි සංස්කෘතික ලක්‍ෂණ ඇතුළත්වීම දැක්විය හැකිය. සංස්කෘතිකාංග විසරණයට අමතරව විකාශනයවීමක්ද සිදුවේ. එමගින් නව සංස්කෘතිකාංග සමාජගතවීම සිදුවේ. ඒ ඔස්සේ ජනප‍්‍රිය සංස්කෘතියකට මගපෑදීමක්ද සිදුවේ.
” ප‍්‍රචාරණ ආකෘතිය භාවිතාකර අවධානය අල්ලාගැනීමේ කාර්යය මේවනවිට වැඩිවශයෙන් ක‍්‍රියාත්මක කෙරෙන්නේ ජනප‍්‍රිය සංස්කෘතිය යනුවෙන් හැඳින්වෙන ක්ෂේත‍්‍රයේය. හුදෙක් ග‍්‍රාහක අවධානය අල්ලාගැනීමේ අරමුණෙන් නොයෙක් වැඩසටහන් වලින් මෙකළ මතුවන කලාව , කලා රුචිය, විලාසිතා, හැසිරීම් රටා, පරිභෝජන රටා, විනෝදාස්වාද මාර්ග ආදිය සාමාන්‍යයෙන් ඇතුලත්කෙරෙන්නේ ජනප‍්‍රිය සංස්කෘතිය යටතටය. මේ නිසා ජනප‍්‍රිය සංස්කෘතිය යන අංගයද රූපවාහිනිය යන මාධ්‍යයද තෙවැනි ලොව සංස්කෘතික ආරක්‍ෂණවාදීන්ගේ කෝපයට හේතුවී ඇත.” (විකිපීඩියා නිදහස් විශ්වකෝෂය,)
නව සංස්කෘතිකාංග සමාජගතවීම කෙරෙහි රූපවාහිනී මාධ්‍යයේ බලපෑම පිළිබඳ හැඳින්වීමේදී අවධානය යොමුකළයුතු අනෙක් වැදගත් අංශය වන්නේ රූපවාහිනි මාධ්‍යයයි. එසේම නව සංස්කෘතිකාංග සමාජගතවීමට රූපවාහිනී මාධ්‍යයෙන් සිදුවන බලපෑම පිළිබඳවද අවධානය යොමුකිරීම වැදගත්වේ.
රූපවාහිනී මාධ්‍ය හුදෙකලාව වර්ධනයවූවක් නොවේ. එය ඊට පෙර පැවති ගුවන් විදුලිය, නිශ්චල රූපය, සිනමාව වැනි මධ්‍යයන්ගේ තාක්‍ෂණික ශක්‍යතාවය ආශ‍්‍රය කරගෙන නිර්මාණයවූවකි ”ශ‍්‍රව්‍ය හා දෘශ්‍ය වශයෙන් සම්පේ‍්‍රෂණය කළහැකි මෙම මාධ්‍ය සඳහා Television යන යෙදුම මුලින්ම භාවිතාකර ඇත්තේ ප‍්‍රංශ ජාතිකPerski නැමැති අයෙකි. Tele යන්නෙන් දුරත්, " Vision යන්නෙන් දැකීමත් අර්ථවත්වේ. . තාක්‍ෂණික වශයෙන් රූපවාහිනී මාධ්‍යය දියුණුවීමෙන් පසු එය ව්‍යාප්තවූයේ මහජනසේවා මාධ්‍යයක් වශයෙනි. II වන ලෝක යුද්ධයෙන් පසු මුලින්ම තොරතුරු දැනගැනීමේ අවශයතාවය පදනම් කරගෙන රූපවාහිනිය ජනතාවට සමීපවිය.රූපවාහිනිය ආරම්භවී දශකයක් පමණ ගතවනවිට රූපවාහිනිය සඳහා නාට්‍යය නිෂ්පාදනය කිරීම වැනිදෑ ආරම්භවිය. ඒ අනුව රූපවාහිනිය විනෝදාස්වාදය සපයන මාධ්‍යයක් වශයෙන්ද ජනතාවට වඩාත් සමීප විය.
කිසියම් රටක් තුළ වැඩි වශයෙන්ම නව සංස්කෘතිකාංග සමාජගතවීම සඳහා දායකත්ව සපයනු ලබන්නේ එම සමාජයට සහ සංස්කෘතියට පරිබාහිරවූ සංස්කෘතිකාංග ඇතුළත්වන ලෙස සකස්කරන ලද ටෙලි නාට්‍යයන්ය. ටෙලි නාට්‍ය යනු විනෝදාස්වාදය සපයන වැඩසටහන් විශේෂයක් පමණක් නොව ඉන් ඔබ්බට ගිය කාර්යයන් ගණනාවක්ම සිදුකරන වැඩසටහන් විශේෂයකි. නව සංස්කෘතිකාංග සමාජගතකිරීම එවැන්නකි. ඇතැම් විට සෘජු ලෙසද ඇතැම් විට වක‍්‍රාකාරයෙන්ද මෙම කටයුත්ත සිදුකෙරේ. මෑත කාලයේදී ශ‍්‍රී ලංකාවේ විකාශනය වූ සහ වර්තමානයේ දී විකාශනයවන ටෙලි නාට්‍ය කිහිපයක් උදාහරණ ලෙස ගෙන විමසා බැලීම තුළින් එය සිදුවන්නේ කෙසේද? යන්න මනාව පැහැදිලි කරගත හැකිය.
මෑත කාලයේ දී විකාශනය වූ සුජාත දියණිය ටෙලි නාට්‍ය මෙරට සමාජයේ ඉහළ ප‍්‍රතිචාර ලබාගැනීමට සමත්වූ ටෙලි නාට්‍යයකි. කොරියන් සමාජය සහ එයට අයත් සංස්කෘතිකාංග ඇසුරින් නිර්මාණය කරනලද එය හඬකැවූ ටෙලි නාට්‍යයක් ලෙස විකාශනය විය. එම ටෙලි නාට්‍යය ශ‍්‍රී ලංකාව තුළ සාර්ථක අන්දමින් ග‍්‍රාහකගත විය. එහි ප‍්‍රතිපලයක් වශයෙන් එම ටෙලිනාට්‍යය තුළ අන්තර්ගතව තිබූ ඇතැම් සංස්කෘතිකාංග අනුකරණය කිරීමට ඇතැමුන් පෙළඹී තිබේ. ඇඳුම්, පැළඳුම් එහිදී ප‍්‍රමුඛතාවයක් ගෙන ඇත.
- උදා- චංගුමී කටුව නැමැති හිස් පළඳනාව
ශ‍්‍රී ලංකාව තුළ කොරියන් ටෙලි නාට්‍යවලට අමතරව තවත් විවිධ භාෂාවන්ට අයත් ටෙලි නාට්‍ය හඬකවා විකාශනය කෙරේ. එහිදී ඉංදියානු ටෙලි නාට්‍යවලට වැදගත් ස්ථානයක් හිමිවේ. එමගින්ද එම සංස්කෘතියට අයත් ඇතැම් සංස්කෘතිකාංග මෙරටෙහි සංස්කෘතිය සමඟ බද්ධවී ඇත. එම කටයුත්තේදී ඇතැම් විට සංස්කෘතිකාංගයන්හි මුල් ස්වරූපවල යම් යම් වෙනස්වීම් සිදුවේ.
නව සංස්කෘතිකාංග සමාජගතවීමේදී සිනමා කෘති මගින් ද ඉහත ක‍්‍රියාවලියට සමාන ක‍්‍රියාවලියක් සිදුවේ. බොහෝවිට විවිධ රටවලට අයත්, විවිධ සංස්කෘතිවලට අයත් සිනමා කෘති අදාල සංස්කෘතීන් හෝ රටවලට පරිබාහිරව විකාශනය කිරීම තුළින් මෙම ක‍්‍රියාවලිය සක‍්‍රිය ලෙස සිදුවේ.
උදාහරණ- ඉංග‍්‍රීසි, කොරියන්, හින්දි වැනි භාෂාවලට අයත් සිනමාකෘති ශ‍්‍රී ලංකාව තුළ විකාශනය කිරීම තුළින් එම සංස්කෘතීන්ට අයත් ඇඳුම්,පැළඳුම්, ආහාර පාන සහ ආහාර රටා, සිරිත්, විරිත් වැනි අංගලක්ෂණ මෙරට සංස්කෘතියට ඇතුළත්වීම.
අතට අත දීම, සිප වැළඳගැනීම වැනි සංස්කෘතිකාංග මෙරට සංස්කෘතිය යටතට අතුළත්වී ඇත්තේ වෙනත් සංස්කෘතීන් තුළිනි. එවැනි සංස්කෘතිකාංග සමාජගතවීමට රූපවාහිනිය මගින් විකාශනයවන ඉහත ආකාරයේ වැඩසටයන් සෘජු ලෙස දායකවී ඇත. ඊට අමතරව රූපවාහිනිය මගින් විකාශනයවන වාර්තා වැඩසටහන්, සංගීත වැඩසටහන් , වැනි විවිධ වැඩසටන් මගින් ද නව සංස්කෘතිකාංග සමාජගතකිරීම සඳහා යම් දායකත්වයක් ලබාදේ.
ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය
පෙරේරා ටෙනිසන් ,2013 ,සමාජ විද්‍යාව ,නුවණි ප‍්‍රින්පර්ස් ඇන්ඞ් පබ්ලිසර්ස්.
විජේතුංග ගාමිණී,1994, සිනමාව සංස්කෘතිය හා මතවාදය,
සරච්චන්ද්‍ර ඩබ්ලිව්.ඒ2003 ,සමාජ විද්‍යාව ,ඇම්.ඞී. ගුණසේන සමාගම.
සෙනෙවිරත්න සේනක,1999 ,ජනපි‍්‍රය සංස්කෘතිය හා ජනමාධ්‍ය ,රත්න ප‍්‍රකාශකයෝ.




