මානව සමාජය තුළ විවිධ සමාජ සංස්ථාවන් පරිණාමයට පත් වූ ආකාරය පිළිබඳව කථාන්තර ස්වරූපයෙන් කරුණු ඉදිරිපත් කිරීම සෑම සමාජ දර්ශනයක ම පාහේ දක්නා ලැබෙන ලක්ෂණයකි. මෙම කථා ඉතිහාසඥයන් හා පුරා විද්‍යාඥයන් කරුණු දක්වන නිශ්චිත විද්‍යානුකූල ඓතිහාසික ස්වරූපය දරන්නේ නැත. හරියට ම අසවල් දින අසවල් පුද්ගලයන් අතර මෙසේ සිදු වී යැයි සනාථ කර දැක්වීමට හැකි වන්නේ ඓතිහාසික කරුණු පමණි. මානව විද්‍යාඥයන් ශිෂ්ටාචාරයෙහි පරිණාමය සිදු වීම පිළිබඳ තම නිරීක්ෂණ දක්වන්නේ එබදු රටාවකින් නොව පුරාණ කථා (ම්ය්ත්) ආකෘතියෙනි. එබඳු පුරාණ කථා ඇත්ත හෝ බොරු වශයෙන් විග්‍රහ කරනු නො ලැබේ. අතීතය පිළිබඳව ලැබෙන සීමිත සාධක ඔස්සේ විචාරාක්ෂිය යොමු කරන චින්තකයන් ගේ සියුම් පරිකල්පන ශක්තිය දාර්ශනිකය. එහි තාර්කිකත්වය හා සත්‍යානුරූපී බව තහවුරු වන්නේ ඉතිහාසය ඇසුරෙන් ම නොවේ. එහෙයින් ම ඒවා ඉදිරිපත් කරන ස්වරූපය බොහෝ විට කථාරූපී බවක් ගනි යි. මානව සමාජයේ ආදීම අවස්ථාවෙහි මිනිසා ක්‍රියා කළ අන්දම හා ක්‍රමයෙන් මානව සමාජය සංකීර්ණ වූ ආකාරය පිළිබඳ මේ පුරාණ කථා තුළින් වැදගත් කරුණු උකහා ගැනීම මිස කථාවේ අංගෝපාංග සැබෑ දැයි විග්‍රහ කිරීම අනවශ්‍ය බව මානව විද්‍යාඥයෝ සිතති. මාක්ස්වාදීන් ආදිතාලීන සාමූහික සමාජය පිළිබඳව දක්වන පුරාණ කථාව මෙන්ම බුදුසමයෙහි එන අග්ගඤ්ඤ සූත්‍ර පුරාණ කථාව ද මෙ බඳු මානව විද්‍යානුකූල කරුණු ප්‍රකාශ කරන පුරාණ කථා ය.
බුදුදහම මිනිසාගේ හෝ සත්වයා ගේ සම්භවය පිළිබඳ විද්‍යාත්මක න්‍යායයක් ඉදිරිපත් නො කරන බව ප්‍රකට කරුණකි. ලෝකය ඉබේ ඇති වී ද, කවුරුන් විසින් හෝ මවන ලද ද, ප්‍රථම මිනිසා පහළ වූයේ කවරදා ද වැනි ප්‍රශ්න බුදු දහමේ විෂය කේෂත්‍රයට නො ගන්නා ලදී. මෙ බඳු අතීත ගවේෂණ කාර්යයන් බුදුරජාණන් වහන්සේ විසින් ඉවත ලන ලද්දේ එයින් මිනිසා ගේ විමුක්තිය විෂයයෙහි කිසි ම ප්‍රයෝජනයක් නැති බැවිනි. බුදුරදුන් විසින් පෙන්වා දී ඇත්තේ මිනිසා සසර දුකට මැදි වී මහත් ව්‍යසනයකට පත්ව සිටින හෙයින් , ඔහු එයින් විමුක්තිය ලබා ගත යුතු බවය. තමන් සසරට බැඳ තබන බැඳුම් මොනවාදැයි මැනවින් දැන ගැනීම තුළින් ඔහුට විමුක්තිය ලබා ගැනීමේ ශක්තිය ලැබේ. චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධය මේ සඳහා හොඳට ම ප්‍රමාණවත්ය. එහෙයින් අනවශ්‍ය වූත් ඉන්ද්‍රීය ඥාන විෂයයෙන් ( ඉදුරන් මෙහෙයවා ප්‍රත්‍යක්ෂ කර ගත හැකි දැනුම් පථයෙන් ) පරිබාහිර වූත් කරුණු පිළිබඳ ගැටළු බුදු දහමෙහි “අව්‍යාකෘත” ලෙස ඉවත ලා ඇත.
එසේ නම් සමාජ සංස්ථාවන් ගේ පරිණාමය ගැන ප්‍රවාදරූපී ව හෝ කථා කරන්නේ කුමට දැයි ප්‍රශ්නයක් මතු කළ හැකිය. සමාජ විකාශය පිළිබඳ ව කරුණු පුරාණයක් වශයෙන් හෝ කථා කිරීමෙන් ප්‍රයෝජනයක් තිබේද? එය මිනිසාගේ විමුක්තියට අදාල වන්නේ කෙසේ ද? ඒවා ගැන කථා නො කර විමුක්තිය ලද හැකිව තිබියදී ඒ පිළිබඳව සාකච්ඡා කරන්නේ කුමට ද? මීට ම අදාල ව නැගිය හැකි තවත් ප්‍රශ්නයක් නම් එම දුරාතීත සිද්ධීන් ගැන බුදුරද්න් ඉදිරිපත් කරන්නේ හුදු පරිකල්පනයන් ප්‍රබන්ධ කළ කථාවක් ද, නැතහොත් සර්වඥතා ඥානයෙන් දුටු යථාර්ථයක් ද යන්නයි. දෙවන ප්‍රශ්නයට මුලින් පිළිතුරු දීම වඩාත් යෝග්‍ය යැයිහැඟේ. සමාජ මානව විද්‍යාඥයන් හා දේශපාලන චින්තකයන් තම පුරාණ කථා ඉදිරිපත් කරන්නේ තමන් ලද විද්‍යානුකූල ශීක්ෂණය හෝ තමන් පිළිගත් දේශපාලන න්‍යාය පදනම් කර ගත් තාර්කික පරිකල්පනය මගින් දක්නා යමක් බව සැබෑය. ( එසේ වූ පමණින් එම අදහස් වැදගත් කමින් අඩු වන්නේ නැත. ) එහෙත් බුදුරදුන්ගේ නුවණට ගෝචර වන සත්‍යය ඊට වඩා යථාර්ථවත් වන්නේ සර්වඥතා ඥානයට දීර්ඝ අතීතය සම්මර්ශනය කිරීමේ ශක්තියක් අන්තර්ගත නිසාය. බුදු වරයකුට සත්වයන් පිළිබඳ දීර්ඝ අතීත ඉතිහාසය ආවර්ජනා කිරීමේ කෞශල්‍යය ලැබේ. එමෙන් ම අනෙක් ධාතුක වූ මහා විශ්වය පිළිබඳව ද ප්‍රත්‍යක්ෂ ඥානයක් බුද්ධඥානයට අයත්ය. එහෙයින් සර්වඥයන් වහන්සේට පරිකල්පනයෙන් කරුණු ගොතන්නට අනවශ්‍ය ය . එහෙත් ඒවා ශ්‍රාවකයනට දේශනා කිරීමේ දී උන්වහන්සේ ට කාලයට අනුරූප ව ( කාලවාදී ) ශ්‍රාවකයන් ගේ ආසය අනුසය විමසා ඔවුන්ගේ අවබෝධ ශක්තියට ගැලපෙන පරිද්දෙන් දේශනා කිරීමට සිදුවෙයි. සාමාන්‍ය පෘථග්ජන අසන්නන්ට මානව ඉතිහාසය හා විශ්ව විකාශය පිළිබඳ කරුණු ග්‍රහණය කර ගැනීමට හැකියාව අඩු නම් , ඔවුනට හුරු පුරුදු පුරාණ කථා ආකෘතිය තුළට මානව විද්‍යාත්මක කරුණු ආරෝපණය කර දේශනා කිරීම අවශ්‍ය වෙයි. එහෙයින් සන්නිවේදන ශිල්පයෙහි ඇති සුක්ෂම කෞශල්‍යයෙන් අනූන ව සිටි තථාගතයන් වහන්සේ විසින් තම ධර්මය ශාවක ජනයාට අනුරූප වෙමින් භාරතීය ජනතාවට එවකට හුරුව පැවති ආකෘතියෙන් දේශනා කළ බව නිරතුරුව ම සිත්හි තබා ගත යුතු ය. උන්වහන්සේ විසින් විශ්වය පිළිබඳ ව වදාළ කරුණු විද්‍යානුකූලව නිවැරැදි යයි මැනවින් සනාථ වී ඇති බව මෙහිදී සැළකිල්ලට ගැනීම ද වටි යි.
සමාජ පරිණාමය ගැන පුරාණ කථා ස්වරූපයෙන් හෝ කරුණු දක්වන්නේ කුමට ද, එයින් විමුක්තියට කවර උපයෝගිතාවක් තිබේ ද යන ප්‍රශ්නය ගැන දැන් අපේ සිත් යොමු කළ හැකිය. බුදු දහම මිනිසාගේ ආධ්‍යාත්මික විමුක්තිය ගැන මෙන්ම සමාජගත විමුක්තිය හෙවත් යහපත් සමාජයක් තුළ ප්‍රසන්න පරිසරයක ජීවත් වීමේ අවස්ථාව සලසා දීමගැන ද උනන්දු වන බව මෙහිදී කිව යුතුව තිබේ. වෙනත් වචන වලින් කියතොත් පුදුගලයාගේ සන්තානගත දුක මෙන්ම සමාජයේ සංස්ථාගත දුකද නිවාරණය කිරීම බුදුදහමෙහි අරමුණ වෙයි. එහෙයින් සමාජයෙහි පවත්නා ජාති- කුල භේද, වර්ගවාදී ගැටුම් , අපරාධ , අයුක්තිය, අසාධාරණය, දිළිඳුකම වැනි ගැටළු කෙරෙහි යම් ආලෝකයක් ලැබෙන ඉගැන්වීම් ද බුදු දහම තුළින් ඉදිරිපත් කර ඇත. සමාජ සංස්ථාවන් ගේ පරිණාමය පිළිබඳ පුරාණ කථාව ඉදිරිපත් කර ඇත්තේ ද පූර්වෝක්ත අතිශය වැදගත් අරමුණ සනාථ කර ගැනීමට මිස අසන්නට රසවත් කථා පුවතක් මඟින් විනෝදාස්වාදයක් සැපයීමට නොවේ. දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රයෙහි ආරම්භය මඟින් ම මෙය සනාථ කළ හැකිය. වාසෙට්ඨ හා භාරද්වාජ නම් උපතින් බ්‍රාහ්මණයන් වූ හිමි ෙදනමක් අමතා කර ඇති මෙම දෙසුම තුළින් මානව සමාජයේ සංස්ථාවන් සංකීර්ණ වූ ආකාරය පිළිබඳ කථා පුවත ඉදිරිපත් කර ඇත්තේ වර්ණ භේදය ( කුල , ජාති, ගොත්ත ආදී වචන වලින් ද හදුන්වා ඇති උපතින් මිනිසුන් උස් - පහත් වශයෙන් බෙදා දක්වන ක්‍රමය) පිළිබඳ දුර්මත නිරාකරණය කර චතුර් වර්ණයෙහි ජනයාගේ සාම්‍යය තහවුරු කරණු පිණිසය. එක් යුගයක දී කිසියම් කාලීන ප්‍රයෝජනයක් සඳහා ඇතිකර ගත් සම්මුතියක් කලකට පසු විකෘති වී මූලික අරමුණින් ඈත් වී යල් පැන ගිය හා අහිතකර සංස්ථාවක් බවට පත් වූ ආකාරය එයින් පැහැදිලි කර ඇත. එමෙන් ම නීතිය , රාජ්‍යය, බදු ක්‍රමය, දණ්ඩනය ආදී සංස්ථාවන් ගේ ද මූලික අරමුණු පහදා දීම තුළින් තත් කාලීන සමාජ සංස්ථාවන් වෙන මාර්ගෝපදේශයක් සැපයීම ද එයින් ඉටු වෙයි. යම් යම් දේශපාලන හා සමාජ ආයතන වෙත එක එල්ලේ දැඩි විවේචන එල්ල කිරීම තුළින් සිදු කර ගත නොහැකි සංසෝධන හා සංස්කරණ මෙ බදු සියුම් හා මෘදු දාර්ශනික සන්නිවේදන උපාය මාර්ග මඟින් සාධනය කර ගත හැකි බව බුදුරජාණන් වහන්සේ ගේ දේශනාවලින් පෙනේ. උන්වහන්සේ ගේ මෙ බදු දේශන මඟින් තත් කාලීන සමාජ චින්තනයේ වෙනසක් සිදු වූ බව පසු කාලීන බ්‍රාහ්මණ ආගමික ලේඛන පවා කුල භේදය හා රාජ්‍යය වැනි විෂය පිළිබඳ ව කරුණු දැක්වීමේ දී පෙරට වඩා මෘදු වූත් හිතකර වූත් ස්වරූපයෙන් කරුණු දැක්වීමට පෙළඹීමෙන් පෙනේ. එහෙයින් බුදුරදුන් සමාජ සජස්ථාවන් ගේ ක්‍රම විකාශය පිළිබඳව වදාළ දේශන ඉතා වැදගත් සමාජ කාර්යය භාරයක් අරමුණු කරගත් අර්ථ සම්පන්න දේශන බව කිව යුතුව තිබේ.
අග්ගඥ සූත්‍රය මෙම ප්‍රස්තුතය පිළිබඳ ප්‍රධානතම මූලාශය හෙයින් ඒ පිළිබඳ ව විධිමත් ව සාකච්ඡා කිරීම අවශ්‍ය ය. දීඝ නිකායෙහි එන මෙම සූත්‍රය බෞද්ධ සමාජ දර්ශනයෙහි මූලික සංකල්ප රාශියක් ඉතා රමණීය ආකෘතියකින් ඉදිරිපත් කරන දේශනයකි. මහාචාර්යය කේ. එන්. ජයතිලක මෙම සූත්‍රයෙහි ප්‍රධාන තේමා තුනක් දකියි.
වර්ණ භේද සංකල්පය උපකාරී කර ගනිමින් බ්‍රාහ්මණයන් විසින් තමන් අන් අයට වඩා උසස් බව කියා ගැනීමෙහි සාවද්‍ය බව හෙළි කිරීම.
පොළොවෙහි ක්‍රම විකාශය දැක්වීම
මානව ස්වභාවයෙහි ඇතිවන වෙනස්කම් හා භෞතික ආර්ථික සාධකයන්හි ඇතිවන වෙනස්කම් සදාචාර සංකල්පවලට බලපාන ආකාරය හෙළි කිරීම.
මේ කරුණු විවරණය කරන ආකෘතියෙහි ඇති තවත් සුවිශෙෂ වැදගත් කමක් නම් අතීතයෙහි පැවති යම් යම් ව්‍යවහාර වර්තමානය දක්වා පැවත ඒමේ දී මූලික පැරණි ස්වරූපය අමතක කර බාහිර රූපය විසින් පමණක් පුරාණ දෙය ( පෝරාණං අග්ගඤ්ඤං අකඛරං) පැවති ඇති අයුරු පෙන්වා දීමය. මෙය මානව විද්‍යාඥයන් වත්මනෙහි බල්ලන් කවර තැනක නින්දට යතත් වට තුනක් කැරකී නින්දට යාම පිළිබඳ ව ඔවුන් වනචාරී සත්වයන් ලෙස ජීවත් වූ යුගයෙහි කළ ක්‍රියාවක් දිගට ම අනුකරණාත්මක ව පවත්වා ගෙන ඒමක් සේ කරන විග්‍රහයට සම කළ හැකිය. අග්ගඥ සූත්‍රය එබඳු කරුණු හතක් මුල්කරගෙන අතීතය පිළිබඳ සමාලෝචනයක යෙදෙයි.
අහෝ රසං, අහෝ රසං ( අනේ රසයි, අනේ රසයි.)
අහු වත නෝ , අහායි වත නෝ. ( අපිට තිබුණා, නැති වුණා)
වධුයා තිබ්බුයහමානාය ...... පංසුං ඛීපන්ති , සෙට්ඨිං ඛීපන්ති , ගොමයං ඛීපනති ( මනාලියක කැදවා ලගන යන විට පස් , ගල් කැට, ගොම ආදියෙන් දමා ගසති. )
මහා සම්මත, ඛත්තිය , රාජා. (ක්ෂත්‍රීය)
බ්‍රාහ්මණ , කඣායක, අජ්ඣායක. (බ්‍රාහ්මණ)
වෙස්ස ( වෛශ්‍ය)
සුද්ද ( ශුද්‍ර)
මෙම සමාලොචනය කරනු ලබන්නේ පූර්වෝක්ත තේමාවන් මුල් කරගනිමින් වර්ථමාන සමාජයට අතිශයින් වැදගත් සමාජ දේශපාලන හා ආර්ථික විචක්ෂණයක් ලබා දීම සඳහා ය. වර්ථමාන කුල භේදය වැරදි අරමුණක් සඳහා යොදාගත් දෙයක් බව එයින් පැහැදිලි කර දෙයි. පැරණි යුගයේ කුල භේදය එක්තරා ප්‍රායෝගික හේතු කීපයක් නිසා කාලීන ව ඇති කර ගත් සම්මුතියක් වශයෙන් එකලට අර්, සම්පන්නව තිබුනත් දැන් එහි අර්ථ සම්පන්න බව ගිලිහී ඇති බව මැනවින් පහදා දී ඇත. එමෙන් ම රජ පදවිය මහජනතාව විසින් පොදු සම්මුතියක් මත ප්‍රජාත්‍රාන්ත්‍රික ලෙස ඇතිකරගත් දෙයක් බව ද ගම්‍ය වෙයි. එය වැදගත් වන්නේ තත්කාලීන රජවරුන්ට තමන් ජනතාවට වග කිවයුතු බව එමගින් සිහිපත් කර දෙන හෙයිනි.






