Wednesday, 21 July 2021

මනෝ විශ්ලේෂණවාදී විචාරය

මෙම විචාරයට පදනම සකස් වන්නේ සිග්මන් ෆ්‍රොයිඩ් මහතා ඉදිරිපත් කර ඇති මනෝවිද්‍යාත්මක සිද්ධාන්තය. ඔහු ඉදිරිපත් කර ඇති ඊඩිපස් සහ ඉලේක්ට්‍රා සංකීර්ණයන්හි බලපෑම් පුද්ගල චර්යයා තීරණය කරන බව දක්වා ඇත. ඉන් විග්‍රහ වන්නේ කුඩා කාලයේ පටන් පිරිමි දරුවන් මවටද,ගැහැනු දරුවන් පියාටද සමීපව කටයුතු කරන ස්වභාවය පිළිබදවය. මෙතුමා තව දුරටත් චිත්තවේග ක්‍රියාකාරිත්වය අදියර තුනක් යටතේ විග්‍රහ කර දක්වයි. එනම්  ID, EGO, සහ SUPER EGO වශයෙනි. 

ID යන්න මගින් දළ සිත හදුන්වයි. එනම් මතුපිට සිතයි. EGO යන්නෙන් පහන් සිත හදුන්වයි. මිනිස් සිත තුළ විවිධ ආශාවල් ඇති වේ. බඩගින්න,පිපාසය ,නිදිමත යනාදී උවමනා අපගේ සිතට නැගුණු අයුරින්ම ක්‍රියාත්මක වන්නේ නැත. මෙම පහන් සිතේ ක්‍රියාකාරිත්වය තුළින් අප අපගේ සිත තුළ  ඇති වන ආශාවන් කිසියම් සමාජ සම්මතයකට අනුව හසුරුවා ගනී. මෙම  EGO හෙවත් පහන් සිත සකස් වන්නේ සමාජ ඉගෙනුම් තුළිනි. අපගේ ආශාවන් සමාජ සම්මතයන්ට අනුගත වෙමින් පාලනයට ලක්කර ගැනීම මෙහිදී සිදු වේ.

SUPER EGO යනු සුපසන් සිත වේ. හෘද සාක්ෂිය ලෙස මෙය හදුන්වයි. අප කරන ක්‍රියාවන් පිළිබද අප තුළ ම යම් විනිශ්චයක් ඇති වන්නේ සුපහන් සිතේ බලපෑමෙනි.

මීට අමතරව සිග්මන් ෆ්‍රොයිඩ් මහතා මනස ජලය මත පාවෙන හිම කුට්ටියකට සමාන කර දක්වයි. ජලයේ පාවෙන හිම කුට්ටියක හතරෙන් එකක් ජලය මතුපිට දර්ශනය වන අතර එහි හතරෙන් තුනක ප්‍රමාණයක් ජලය යට වැසී පවතී. මනස කර එන පණිවිඩවලට ප්‍රතිචාර දැක්වීමේදී මේ සැගවුණු මනසේ ක්‍රියාකාරිත්වය බලපෑමක් එල්ල කරයි. නමුත් එය අපට ඇතැම් විට වටහා ගැනීමට අපහසු වේ.


👉විඥානය යනු මනසේ සවිඥානික කොටස වේ. එහි තැන්පත් වී ඇති ඇති තොරතුරු අපේ මතකය තුළ  පැහැදිලිය.

👉පෙර විඥානය නොගැඹුරු මුහුදට සමාන වේ. එහි තැන්පත් වී ඇති දේ මතකයෙන් දුරස් වේ. නමුත් යම් වෙහෙසක් දරා පසුව එය මතකයට කැදවා ගත හැකි වේ.

👉අවිඥානය ගැඹුරු මුහුදට සමාන වේ. එහි ඇති දේ අපට වටහාගත නොහැකිය. එහෙත් අපගේ චර්යාවන් තීරණය වීමේදී සහ අප සමාජය වෙත දක්වන ප්‍රතිචාර තීරණය වීමේදී අවිඥානය තුළ ගබඩා වී ඇති මතකයන් ඉතා තීරණාත්මක බලපෑමක් එල්ල කරන බව සිග්මන් ෆ්‍රොයිඩ් මහතා දක්වයි. 

මෙම කාරණා මනෝ විශ්ලේෂණවාදී විචාරයේදී ඉතා සියුම්ව යොදා ගැනේ. මේ අනුව සෑම මිනිසෙකුගේ ම හැසිරීම් රටාව අවිඥානික ස්වභාවයන් බොහෝ පවතින බව ඉහත විග්‍රහය ගම්‍ය කරනු ලබයි. 

👌මෙම කරුණු තවදුරටත් පුළුල්ව අවබෝධ කර ගැනීමට ජෝ ලෆ්ට් සහ හැරී ඉන්ග්‍රම් යන දෙදෙනා ඉදිරිපත් කර ඇති ජෝහාරිගේ කවුළුව විග්‍රහයද ඉතා වැදගත්ය.

01. කවුළුව  - 

මනසේ විවෘත ප්‍රදේශය යි. යම් පුද්ගලයෙකුගේ චර්යාවේ ස්වභාවය තමන් මෙන්ම අනුන්ට ද  වටහාගත හැකි තරම් විවෘතය.


02. කවුළුව - 

අදාළ පුද්ගලයාගේ චර්යාවල ස්වභාවය අන්අයට නොවැටහෙතත් තමන් දකි. ඇතැම් පුද්ගලයන් තමන්ගේ චර්යාවන්ගේ අරමුණු පිළිබද දැනුවත්ය. එහෙත් අනුන්ට අවබෝධ කර ගැනීමට අපහසුය. එම කවුළුව විශාල වූ විට අන් අයට අවබෝධ කර ගත නොහැකි අයෙක් බවට පත් වේ.


03. කවුළුව - 

අපගේ ඇතැම් චර්යයා ස්වභාවයන් අප හට නොවැටහුණද අන් අයට වැටහීම මින් අදහස් වේ.    නිදසුනක් ලෙස තමන්ගේ හැසිරීමේ ගැටලුවක් අන් යට පෙනුන ද තමන්ට එය නොවැටහීම මෙම  තත්ත්වයේ ස්වභාවයයි.


04. කවුළුව - 

තමනුත් නොදන්නා අනුන් ද නොදන්නා ප්‍රදේශයක් ගැන මින් කියවේ. 

👉අප එම අවස්ථාවේ එලෙස හැසිරුණේ  ඇයි ?

👉එවන් ප්‍රතිචාරයක් දැක්වුයේ කෙසේද ? 

යන්න තමාටත්, අන් අයටත් නොවැටහේ. එය වී ඇත්තේ යටි හිත හෙවත් අවිඥානය නම්  ගැඹුරු මුහුදේ හෙවත් අදුරු අගාධයේ සැග වී තිබෙන මතකයන් අපගේ ප්‍රතිචාර දැක්වීමට මෙහෙය වීමෙන් බව මින් විග්‍රහ වේ.

ඕනෑ ම සන්නිවේදකයකු සංදේශ සැලසුම් කිරීමේ දී ඔහුගේ මානසික ස්වභාවයන් සවිඥානිකව හෝ අවිඥානිකව සංදේශය තුළට ගමන් කරයි. එසේ ම ග්‍රහකත්වයේ දී ග්‍රාහකයා සංදේශය පිළි  ගැනීම හෝ නොපිළිගැනීම කෙරෙහි මෙම තත්ත්වය බලපානු ලැබේ.
 
මනෝ විශ්ලේෂණවාදී විචාරය සදහා පාදක කර ගනු ලබන්නේ මෙම සිද්ධාන්ත ය. මානව ජීවිතය සංදේශ තුළ ප්‍රතිනිර්මාණය වීමේ දී එම චරිත ස්වභාවයන් පොළඹවනු ලබන හේතු විශ්ලේෂණය කිරීම අතිශය සියුම් කාර්යයක් වේ.  

මනෝ විශ්ලේෂණවාදී සංදේශ විචාරකයා එම විශ්ලේෂණ සිදු කරන්නේ ඊට අදාළ වන සිද්ධාන්ත පාදක කර ගනිමිනි. මනෝ විශ්ලේෂණවාදී විචාරයේ දී මනෝ විද්‍යාව ඔස්සේ මාධ්‍ය සංදේශ අවධානයට ගනිති. 

ළදරුවන් නොසන්සුන් කිරීමට මාධ්‍ය බලවත් බලපෑමක් කරන බව මනෝ විශ්ලේෂණවාදී මතයකි. මෙය අප අවධානයට ගත යුතු වේ. වෙළද දැන්වීම් අපගේ මුලික සිහිකල්පනාවන්හි සැගවුණු සිතුවිලිවලට ආමන්ත්‍රණය කිරීමේ මාර්ගයක් බව ලෝක මනෝ විශ්ලේෂණවාදීහු දක්වති. එමගින්ද අපට නව චින්තන ආලෝකයක් ලැබේ. මේ ඔස්සේ සංකේතාත්මක මාධ්‍ය භාවිතාවන්හි යටි අරුත් විමසිය හැකිය. මනෝ විද්‍යාත්මකව බැලීම තුළින් ග්‍රාහක චින්තනය වර්ධනය වේ. 

එසේ ම මෙම විචාරයේ මාධ්‍ය මගින් සිදු කෙරෙන චිත්තවේගී බලපෑම් කෙරෙහි ද අවධානය යොමු කරයි. මාධ්‍ය උපදවන සිතුවිලි හා හැගීම් මගින් ආතතිය ඇති වන්නේ කෙසේ ද යන්න විමසයි. එසේ ම වෙළද දැන්වීම් වැනි මාධ්‍ය ක්‍රියා හේතුවෙන් බිහි වන පුනරුක්තිය (නැවත නැවත ප්‍රචාරය) මගින් සිදුවිය හැකි මානසික බලපෑම ග්‍රාහක සාකච්ඡාවට එකතු කිරීම පිණිස ද මෙම විචාර දෘෂ්ටිය උපකාරී කර ගත හැකි වේ. 

ඊට අමතරව මාධ්‍ය ඇසුර මගින් ගොඩනැගෙන අන්තර්වර්ති හා අන්තර්පුද්ගල සම්බන්ධතා කෙරෙහි අවධානය යොමු කළ හැකිය. මනඃකල්පිත ජිවිතවලට තල්ලු කිරීමට මාධ්‍ය ක්‍රියාකාරකම් හේතුවන අන්දම ආදිය විමසීමෙන් සියුම් බුද්ධියකින් යුතු පුද්ගලයෙකු බිහි වේ. 

ආචාර්යතුමා




Tuesday, 20 July 2021

ජන මාධ්‍ය ප‍්‍රතිපත්ති, ගොඩනැංවීමට මුල් වූ අණපනත් හා ඒවායේ අන්තර්ගත විය යුතු කරුණුවල වැදගත්කම

ප‍්‍රතිපත්ති යනු ලිඛිත

ව්‍යස්ථාපිත ලේඛනයකි . ඒ අනුව මාධ්‍ය ප‍්‍රතිපත්ති යනු වඩාත් යහපත් සදාචාරවත් නිවැරදි මාධ්‍ය භාවිතයක් ගොඩනැගීම සදහා හදුන්වා දෙන ලද නිශ්චිත ව්‍යස්ථාපිත ලේඛනයකි . ජන මාධ්‍යන්හි සන්නිවේදන හා ප‍්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් වඩාත් සාධනීය ප‍්‍රතිඵල අත්පත් කර ගැනීම සදහා තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ සංග‍්‍රහයක් ලෙස ලිඛිතව සකස් කර තිබෙන කි‍්‍රයා පටිපාටියක් හෝ මූල්‍ය ලේඛනයක් ලෙස නිර්වචනය කළ හැකි ය .

රටක මහජනතාවගේ මූලික ආචාර විද්‍යත්මක , සදාචාරාත්මක , සංස්කෘතික , දේශපාලන සීමාවන්ට පටහැනි නොවන ආකාරයට මාධ්‍ය නියාමනය කිරීම සදහා හදුන්වා දී ඇති නිර්නායක මාධ්‍ය ප‍්‍රතිපත්ති බව හදුනාගත හැකි ය .

මාධ්‍ය කි‍්‍රයාකාරීත්වය ප‍්‍රතිපත්තිවලට අනුව මාධ්‍යයේ පාර්ශවකරුවන් සැමටම සාධාරණය වන පරිදි ප‍්‍රශස්ත අන්දමින් පවත්වාගෙන යන කි‍්‍රයාවලියකි . මාධ්‍ය ප‍්‍රතිපත්ති ආචාර ධර්ම මාලාවක් වශයෙන් ද හදුනාගත හැකි ය .

👄ආචාර ධර්ම පිළිබදව විද්වතුන් විවිධ අදහස් දක්වා තිබෙන අතර එවැනි කරුණු කිහිපයක් මෙලෙස හදුනාගත හැකි ය .

"මිනිසුන් ජීවත්වන කුඩා වූත් විශාල වූත් සමාජයන්ගේ හැසීරීම් පද්ධතියේ නිගමනය කරන විද්‍යව ආචාරධර්ම වේ . එමගින් හොද හෝ නරක නිරවද්‍යතාවය හෝ සාවධ්‍යතාවය යන මූලික සාධකවලට විනිශ්චයක් ලබා දේ ."
                                                                       - විලියම් ලයිලි -

"නිවැරදි හා කළ යුතු දේ කුමක් ද යනුවෙන් දක්වන විද්‍යාව හෝ අධ්‍යනය"

                                                                        - හෙන්රි ස්මිත් -

මේ අනුව පැහැදිලි වන්නේ නිරවද්‍යතාවය , සත්‍යතාවය වගකීම පවත්වාගෙන යාම සදහා ගෙඩනැගෙන දේ ආචාර ධර්ම බවයි . එය එක්තරා ආකාරයක මාධ්‍ය ප‍්‍රතිපත්ති වේ .

මේ අනුව ජන මාධ්‍ය යහ පැවැත්ම මෙන්ම මාධ්‍ය කි‍්‍රයාකාරිත්වය විවිධ සමාජ සංස්ථාවන් හා ආයතන කෙරෙහි නිශේධනීය තත්ත්වයක් බලනොපාන ලෙස පවත්වා ගැනීමට මෙය හේතුවක් වේ .

ඕනෑ ම රටක මාධ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනය වනනේ එම රටෙහි පවතින ආර්ථික , දේශපාලන , සංස්කෘතික , සමාජ සාමාජිකයින්ට අනුරූපව ය . එසේ ම පුවත්පත් ජන මාධ්‍ය ප‍්‍රතිපත්ති හා නියාමනය මූලික වශයෙන් අංශ ගණනාවක් ඔස්සේ ගොඩනැගී කි‍්‍රයාත්මක  වේ.

👉   සමාජ ආචාර ධර්ම වටිනාකම් හා ධර්මතා

👉    දේශපාලන හා සමාජ කි‍්‍රයාවලිය

👉     ජාත්‍යන්තර නෛතික හා මානව අයිතිවාසිකම්

👉     එක් එක්් ජනමාධ්‍ය ගොඩනැගෙන තිබෙන මාධ්‍ය අචාර ධර්ම හා නෛතික සීමා

👄 ඒ අනුව පොදුවේ මාධ්‍ය ප‍්‍රතිපත්තිවල අන්තර්ගතය ප‍්‍රධාන පත‍්‍ර දෙකකින් සකස් වී තිබේ .

01  ආචාර ධර්ම

02   ව්‍යවස්ථාමය නෛතික ප‍්‍රතිපාදන

මේ අනුව ව්‍යවස්ථාමය නෛතික ප‍්‍රතිපාදන අණපනත් මාධ්‍ය ප‍්‍රතිපත්ති ගොඩනැංවීම සදහා බලපා ඇති ආකාරය මෙරට නීති මූලාශ ඇසුරින් පැහැදිලි කළ හැකි ය . 

නිදසුනක් ලෙස මෙරට ප‍්‍රතිපත්ති වලින් ආරක්ෂා කරන එක් අරමුණක් වන්නේ රටක ප‍්‍රකාශන නිදහස තහවුරු කිරීමයි . 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ජේදයේ 14 වගන්තියේ 01  අ කොටස යටතේ පුරවැසියන්ට තාක්ෂණයට , ලේඛනයට පොදුවේ ප‍්‍රකාශන නිදහසට ඇති අයිතිය තහවුරු කර තිබේ .

මාධ්‍ය ප‍්‍රතිපත්තිවල තවත් අරමුණක් වන්නේ ප‍්‍රකාශන නිදහස සීමාව ඉක්මවා භාවිත කිරීමෙන් වලක්වා ගැනීමයි . 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 03 වන පරිච්ජේදයේ 14 වගන්තියේ 01  අ යටතේ පෙන්වා දි ඇති ප‍්‍රකාශන නිදහස එම ව්‍යවස්ථාවේ 15 වේ 02කේ හා 15 වේ 07  යන වගන්ති මගින් නැවතත් සීමා කර ඇත .

👄මෙයට අමතරව ජන මාධ්‍ය සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක වන නීතිමය අණපනත් 33 න් පමණ මෙරට දැකගත හැකි ය .

👉    1833 අංක 05 දරන ප‍්‍රවෘත්ති පත‍්‍ර ආඥා පණත
👉    1885 අංක 01 දරන මුද්‍රණකරුවන් හා ප‍්‍රකාශනයන් සම්බන්ධ ආඥාපනත
👉    1921 අංක 04 දරන  අසත්‍ය ප‍්‍රකාශන පනත
👉    1951 අංක 23 දරන ප‍්‍රසිද්ධ රැගුම්පාලක මණ්ඩල පනත
👉    1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප‍්‍රසාද පනත
👉    1955 අංක 32 දරන නිළ රහස් ආඥා පනත
👉    1958 අංක 41 දරන දේව අපහාස අඥා පනත
👉    1966 අංක 37 දරන ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථා පනත
👉    1971 අංක 41 දරන ජාතික චිත‍්‍රපට සංස්ථා පනත
👉    1973 අංක 05 දරන ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩල පනත
👉    1980 අංක 30 දරන බුද්ධිමය දේපල පනත
👉    1982 අංක 06 දරන ශී‍්‍ර ලංකා රූපවාහිනි සංස්ථා පනත


පෙර සදහන් කළ ප‍්‍රවෘත්ති පත‍්‍ර අඥා පනතේ හා මුද්‍රණකරුවන් හා ප‍්‍රකාශකයන් සම්බන්ධ ආඥා පනත මගින් අපේක්ෂා කරන්නේ මුද්‍රිත ප‍්‍රකාශනවල අන්තර්ගත විය යුතු කරුණු විධිමත් කිරීම හා  නීති විරෝධී මුද්‍රණ කටයුතු වැලැක්වීමට අදාල නෛතික ප‍්‍රතිපාදන හදුන්වා දීමයි .

👄 ප‍්‍රසිද්ධ රැගුම්පාලක මණ්ඩල පනත මගින් අපේක්ෂා කරන්නේ සමාජයට සදාචාරයට අහිතකර අසභ්‍ය ප‍්‍රකාශන සමාජගත කිරීම වැලැක්වීමට අවශ්‍ය නීතිමය ප‍්‍රතිපාදන සැලැස්වීමකි .

👄අසත්‍ය ප‍්‍රකාශන පනත මගින් සමාජයට අහිතකර අසත්‍ය ප‍්‍රකාශන සමාජගත කිරීම වැලැක්වීමට අවශ්‍ය නීතිය දක්වා ඇත .

👄පුවත්පත් මණ්ඩල පනත තුලින් පුවත්පත් යහපත් මට්ටමින් පවත්වාගෙන යාම පුවත්පත් වැරදි වැලැක්වීම පුවත්පත් ආචාර ධර්ම පවත්වාගෙන යාම සදහා ප‍්‍රමිති ඇති කර ගැනිම.

👄බුද්ධිමය දේපල පනත මගින් සිදුකොට ඇත්තේ නිර්මාණකරුවන්ගේ නිර්මාණාත්මක බුද්ධිය දේපලක් ලෙස ආරක්ෂා කර දීමයි .

👄 මෙයට අමතරව නිති මූලාශ‍්‍ර ද මාධ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනයේ දි ප‍්‍රයෝජනයට ගනි .

👉    මානව හිමිකම් පිලිබද ප‍්‍රඥප්ති
👉    යුනෙස්කෝ මාධ්‍ය ප‍්‍රතිපත්ති
👉    මැක්බ‍්‍රයිට් වාර්තාව
👉    ජාත්‍යන්තර විදුලි සංදේශ ප‍්‍රතිපත්ති
👉    යුරෝපා සන්නිවේදන ප‍්‍රතිපත්ති
👉    ෆෙඩරල් සන්නිවේදන ප‍්‍රතිපත්ති

මේ අනුව පැහැදිලි වන්නේ රටක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඇතුළු මෙම අණපනත් පවතින නෛතික ප‍්‍රතිපාදනයන්හි අවසාන ඉලක්කය වී ඇත්තේ ජන මාධ්‍යයේ මූල ධර්ම සංස්කෘතික හා සාරධර්ම අගයකින් වටිනාකම් වගකිම් යුතුකම් හා ගෞරවයන් ඇතුළු ජන මාධ්‍ය ආචාර ධර්ම සුරක්ෂිත කිරීම බවයි .

👄මාධ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී අවධානය යොමු කළ යුතු හා අන්තර්ගත කරුණු ගණනාවක් පවති.

👉    මාධ්‍ය පාලනය
👉    මාධ්‍ය ප‍්‍රමිතීන්
👉    පුද්ගලිකත්වය
👉    මාධ්‍ය නිදහස
👉    බුද්ධිමය දේපල හිමිකම
👉    සාපරාධි අපරාධ
👉    තොරතුරු දැන ගැනිමේ අයිතිය
👉    මාධ්‍ය කර්මාන්ත හා මාධ්‍ය ආර්ථිකය
👉    මාධ්‍ය කොමිසම් හා සිමා
👉    දුරස්ථ සන්නිවේදන ප‍්‍රතිපත්තීන්
👉    මාධ්‍යයේ සමාජ බලපෑම්

මෙම ප‍්‍රතිපත්තිවල අන්තර්ගත විය යුත්තේ මොනවාදැයි විවිධ මාධ්‍ය ප‍්‍රතිපත්ති මාලාවන් මගින් පෙන්වා දිය හැකි ය .

👄 යුනෙස්කෝව මැදිහත් වීමෙන් 1983 දී පැරිස් නුවරට රැස් වූ මාධ්‍ය ආදි සංවිධාන පහත සදහන් ප‍්‍රතිපත්ති කෙරෙහි ද අවධානය යොමු කර තිබේ .

👉   ජනතාවගේ සත්‍ය තොරතුරු දැන ගැනීමේ අයිතිය
👉   විෂය මූලික යථාරූපී වාර්තාකරණය
👉   ජනමාධ්‍යවේදියාගේ වෘත්තිය
👉   මහජන කැමැත්තට ගරු කිරිම
👉   විශ්වීය වැදගත්කම් හා සංස්කෘතික විවිධත්වයට ගරු කිරීම

👄මෑත කාලිනව ලංකාවේ ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශය විසින් හදුන්වා දුන් ජාතික මාධ්‍ය ප‍්‍රතිපත්ති කලාව තූළ අවදානය යොමු කළ කරුණු ගණනාවක් පවති.

👉     මාධ්‍ය නිදහස හා තොරතුරු වලට ප‍්‍රවේශවීමේ අයිතිය
👉     ජාතික හා සමාජ වගකීම්
👉     මාධ්‍ය සංවර්ධනය
👉     පුද්ගලභාවය ආරක්ෂා කිරිම
👉     පිළිතුරු දීමේ අයිතිය ආරක්ෂා කිරිම
👉     කර්තෘ මණ්ඩල ස්වාධීනත්වය
👉     මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම්
👉     අපරාධ හිංසනය පිටු දැකීම

මෙහි දි රාජ්‍ය මධ්‍ය ප‍්‍රතිපත්තිවල ඇති වැදගත්කම පිලිබදව අවධාන යොමු කළ යුතු ය . 

මාධ්‍යප‍්‍රතිපත්ති අත්‍යවශ්‍ය වන්නේ යහපත් ජන මාධ්‍යවේදයක් හෙවත් සදාචරවත් මාධ්‍ය භාවිතයක් පවත්වාගෙන යාම සදහා ය .

යහපත් ජනමාද්‍යවේදය තුළ පිලිගැනෙන සාරධර්ම ගණනාවකි .

👉    නිරවද්‍යතාවය
👉    මධ්‍යස්ථ බව
👉    සංවර බව
👉    ස්වාධීන බව
👉    සත්‍ය ප‍්‍රකාශනය
👉    වැරදි නිවැරදි කිරීම්
👉    සත්භාවයෙන් කටයුතු කිරිම
👉    සමාජ ප‍්‍රශ්නවලට විසදුම් සෙවීම
👉    ත්‍යාග, අල්ලස් නොපිළිගැනීම

පෙර සදහන් කළ සාරධර්ම සු
ක්ෂිත කර ගැනීමට නම් රටකට මාධ්‍ය ප‍්‍රතිපත්ති මාලාවක් අත්‍යවශ්‍ය වේ .

නමුත් නූතනයේ ජන මාධය තු අහිතකර ප‍්‍රවනතා රැසක් දැකගත හැකි ය .

👉    ලිංගිකත්වය , කාමුකත්වය , ප‍්‍රචණ්ඩත්වය හුවා දැක්වීම
👉    වෙළද අරමුණු වෙනුවෙන් පෙනී සිටීම
👉    පක්ෂපාතී ජන මත නිර්මාය කිරීම
👉    අයහපත් සමාජානුයෝජනය
👉   රසවින්දනයකින් තොර වැඩසටහන් බහුල වීම

මෙවැනි අහිතකර ප‍්‍රව
තාවලට විසදුම් සෙවිය හැකි වන්නේ මාධ්‍ය ප‍්‍රතිපත්ති තුළිනි .

එසේ ම තව දුරටත් මාධ්‍ය ප‍්‍රතිපත්ති,

👉    රටක සංවර්ධනය අරමුණු සාක්ෂාත් කිරීම සදහා
👉    යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැංවීම සදහා
👉    රටක අධ්‍යාපනය හා සාක්ෂරතාවය වර්ධනය කර ගැනිම සදහා
👉    මාධ්‍ය නිදහස,  තොරතුරු දැන ගැනීමේ අයිතිය ආරක්ෂා කර ගැනීම සදහා
👉    සංස්කෘතික අනන්‍යතාවය සුරක්ෂිත කිරීම සදහා
👉   වෘත්තිය අචාර ධර්ම අනුව කටයුතු කිරීම සදහා
👉    මාධ්‍යවේදියාගේ සමාජ වගිකීම් ආරක්ෂා කිරිම සදහා අවශ්‍ය මගපෙන්වීම් සිදු කරයි

මේ අනුව බලන කල ජන මාධ්‍ය ප‍්‍රතිපත්ති ගොඩනැංවීමට මුල් වූ අණපනත් හා එමගින් ඉටුවන්නා වූ කාර්භාරය හා වැදගත්කම මෙලෙසින් හදුනාගත හැකි ය .

- ආචාර්යතුමා -





Monday, 19 July 2021

මාධ්‍ය විචාරය 'මාක්ස්වාදී විචාරය'

මාක්ස්වාදී විචාරයේ පදනම ලෙස ආර්ථික නියතිවාදී සිද්ධාන්තය යොමු කරනු ලැබේ. මෙම විග්‍රහය සමාජ විශ්ලේෂණය සදහා කාල් මාක්ස් මහතා විසින් යොදා ගනු ලැබූ අතර කලා සාහිත්‍ය විචාරය සදහාද එය පාදක කර ගනු ලබන බැවින් එය මාක්ස්වාදී විචාරය ලෙසින් හදුන්වනු ලැබේ.

මාක්ස්වාදී විචාරයේ ප්‍රමුඛ අදහස වන්නේ ධනේශ්වර සමාජයේ අවශ්‍යතා හා වරප්‍රසාද ලත් සහ පවත්නා බල සමූහ ශක්තිමත් කිරීම සදහා මාධ්‍ය නිෂ්පාදන කාර්යය මගින් ග්‍රාහකයා හට විවිධ දේ පැවරීම,පතුරුවා හැරීම හා පරාවර්තනය කිරීම පිළිබද මෙම මාධ්‍ය විචාරයෙන් විමර්ශනය කෙරේ. මාධ්‍යවල පවත්නා ආර්ථික හා සංස්කෘතික පදනමත්,බලය හා මුදල් ඉලක්ක කොට මාධ්‍ය නිර්මාණ බිහි වීමත් මෙමගින් විශ්ලේෂණය කළ  හැකිය. එසේම මෙම විචාරයට අනුව ධනය හා බලය පිළිබද අසමතුලිතතාව සහිත සමාජීය ආයතන මාධ්‍ය විසින් ශක්තිමත් කරනු ලබන ආකාරයත්, මාධ්‍ය ආධිපත්‍ය පවත්වාගෙන යනු ලබන ආකාරයත් විමසිය හැකිය. මෙවැනි විචාර නුතන ග්‍රාහකයාට අත්‍යවශ්‍ය වේ. 


මෙම විචාරයට අනුව ධනේශ්වර චින්තනයට අනුගත වුවන් සංදේශ ක්‍රියාවලිය මෙහෙයවන්නේ තම ධනේශ්වර ආර්ථික වුවමනාවන් ශක්තිමත් කරන අදහසිනි.ඒ තුළින් ධනේශ්වර දෘෂ්ටිවාදය පෝෂණය කරනු ලබයි.

මාක්ස්වාදී විචාරය සදහා පාදක කර ගනු ලබන ආර්ථික නියතිවාදී සිද්ධාන්තය පිළිබද යම් අදහසක් පහත සටහනෙන් තේරුම් ගත හැකිය.





👌ඉහත සිද්ධාන්තයට අනුව, 

සමාජයක දේශපාලන,බලය,නිතිය,අධ්‍යාපනය,සාරධර්ම,සංස්කෘතිය,වෙළදපල,සාහිත්‍ය හා මාධ්‍ය ඇතුළත් සමස්තය ගොඩ නැගෙන්නේ එකී සමාජයේ සම්පත් ඒකරාශී කර ගැනීමේ ක්‍රමය හෙවත් අර්ථ ක්‍රමය පදනම් කර ගනිමිනි. ඒ අනුව රටේ ප්‍රධාන ධාරාවේ සාහිත්‍ය කලා සහ මාධ්‍ය ක්‍රියාවලියද ගොඩනැගෙන්නේ ඉහත අර්ථ ක්‍රමයට පාදකව ඊට අනුගත වෙමිනි. ඒ තුළ නිර්මාණය වන විවිධාකාර සංදේශ එම පදනම නිරුපණය  කරමින් ආරක්ෂා කිරීම් හා නඩත්තු කිරීමට වෙහෙසෙයි.
 
ආර්ථික නියතිවාදී සිද්ධාන්තයට අනුව පුද්ගල අපේක්ෂාවන්,ලැදියාවන් සහ හැසිරීම්වලට හේතුකාරක වන්නේද මෙම ආර්ථික පදනමයි. පුද්ගලයා නියෝජනය කරන ආර්ථික පදනම හෙවත් පන්තිය අනුව ඔහුගේ සිතුම් පැතුම් හා අපේක්ෂා, චර්යාවන් තීරණය වන ආකාරය තේරුම් ගැනීමෙන් ඉහත සිද්ධාන්තය තේරුම්ගත හැකි වේ. මෙම විචාරය ඔස්සේ විවෘත සමාජය මෙන්ම  සංදේශවල චරිත හැසිරීම් විභාගකර බැලීමද මෙම සිද්ධාන්තය පාදක කර ගැනේ.

ආර්ථික නියතිවාදී සිද්ධාන්තය ඔස්සේ ආර්ථික පදනම නමැති අධෝ ව්‍යුහයට අනුව උපරි ව්‍යුහයේ සියලු සාධක ගොඩ නැගෙන ආකාරය විශ්ලේෂණය කිරීමට මාක්ස්වාදී විචාරයේදී උත්සහ දරති. මෙහිදී සමාජ ව්‍යුහයේ ස්වරූපය පමණක් නොව පුද්ගල ලැදියා හා අපේක්ෂා විභාගයට ද ඉහත පදනම භාවිතා කළ  හැකිය. 

වහල් සමාජය තුළත්,වැඩ වසම් සමාජය තුළත්, ධනවාදී සමාජය තුළත්, පශ්චාත් නුතනවාදී සමාජය තුළත්  ජීවත්වන පුද්ගලයාගේ පැවැත්ම තීරණය කරනු ලබන්නේ මෙම සමාජයේ අධෝ ව්‍යුහයේ සාධක විසිනි. පුද්ගලයා සමාජානුයෝජනය වන්නේ එම අධෝ ව්‍යුහීය පදනම මත ගොඩ නැගෙන උපරි ව්‍යුහීය සමාජ වටපිටාව තුළ ය.